කාලෙකට උඩදී, ඈ යාළුවෙකුගෙ ගෙදර ගිහින් තිබුණා. ගිනි අව්වෙ, බස් දෙකක ගිහින්, දැඩි වෙහෙසට හා පිපාසෙට පත්ව උන් ඇය යනවිට යාළුවා මිදුලේ වැඩක්. මේ ගෙදර ඇයට ඇගේ ගෙදර වගේ. ඒ නිසා කෙලින්ම ගෙට ගියා. මේසෙ උඩ නොයෙකුත් බීම බෝතල්වලට පුරවා තිබුණු වතුරවලින් එක බෝතලයක් අරං එහෙමම කටට හලා ගත්තා.
ඒ බෝතලයේ තිබුණේ අධි සාන්ද්‍ර ඇසිඩ් වර්ගයක්. ගෙදර කෙනෙක් අර වතුර බෝතල් අස්සෙම ඒකත් තියලා.
**********************
තරුණ මවක් සිය දෙහැවිරිදි දරුවා උස්සගෙන රෝහලට දුව ආවේ රෑ 11ට විතර. ඒ ගෙදර අය රුපවාහිනි බලමින් මේ වනතුරු ඇහැරගෙන සිටීම සාමාන්‍ය චර්යාවක්. කුඩා දරුවත් වැඩිහිටියන් සමග ඇහැරගෙන. ඒ අතරේ වැසිකිළියේ බිම පවිත්‍ර කිරීම සඳහා ගෙනත් තිබුණු සැර පිරිසිදුකාරකයක් දරුවා බීලා. දියරයේ නම ඇයට මතක නැහැ; ඒකෙන් ටික ටික හිස් බීම බෝතලයකට දාගෙන තමා ඇය පාවිච්චි කරන්නේ. දරුවා මේක පැණි බීම වර්ගයක් කියල රැවටිලා.
*******************
ඇය හිටියේ සිය සමීප ඤාති සහෝදරයකුගේ පිංකමට සහභාගී වෙමින්. හවස පිපාසෙට ඈ මෙගාබෝතලයක දමා තිබුණු පානයක් කටට හලා ගත්තා. උගුරු කීපයක් පෙවෙනවිටම, ඒ තමන් හිතුව පානය නොවන බව ඇයට තේරුණා. ඒ එක්කම එතන හිටිය ගෙදර කෙනෙක් බෝතලය උදුරා ගත්තා. එහි තිබුණේ උග්‍ර කෘෂි රසායන වර්ගයක්. මෙහි ඇති අධික විෂ නිසා කාලයකට පෙර ලංකාවෙ භාවිතයෙන් ඉවත් කරල, තහනම් කර තිබුණු රසායනිකයක්. අයථා අන්දමකින් ලබාගෙන, ගෙදර ගෙනත්, මෙගා බෝතලයේ තබාගෙන ඉඳලා.
ගෙදර හිටිය වැඩිහිටි කෙනෙක් මේ කාන්තාවට පොල්කිරි පොවලා, වමනය කරවලා! ඊට පස්සේ, මුකුත් අමාරුවක් පේන්නත් නැති හින්ද, පිංකම බොහොම වැදගත් හින්ද, ඒ වැඩ සේරම ඉවර වෙලා, රෝහලට එන්නේ පැය හත අටක් ගිහින්, රෑ මැද. ඒ වෙද්දී ප්‍රමාද වැඩියි.
*******************
ඔහු සිය පියාගේ බෙහෙත් පෙති තොගයක්, මත්පැන් සමග ගිල දාන්නේ හවස, අනික් අයව බය කරන්න. ගෙදර හිටිය පොඩි ළමයා බලාගන්න කෙනෙක් නැති හින්දත්, බීල ඉන්න, මහත දෙහෙත මේ මනුස්සය උස්සන් එන එක කෙට්ටු වයසක ගැහැණියකට කරන්න අමාරු නිසාත්, ඔහුව රෝහලට ගෙන එන්නේ පැය ගණනාවකට පසුව. ඒ වෙද්දී අර බෙහෙත්වලින් අවයවවලට හානි වෙන්න පටන්ගෙන.
************************
ඔවුන් කල්පනාකාරී මව්පියන්. ළමයින්ට අහු නොවෙන පරිදි, බෙහෙත් දාල තිබුණේ අල්මාරියක. තුන් හැවිරිදි දරුවට උණ. ළමයත් එක්ක මව මුළු රෑම ඇහැරගෙන. පාන්දර ඇය මුහුණ සෝදා ගැනීමට ගිය විනාඩි ගානට, දරුවා අවදි වෙලා. උදේ බෙහෙත් වේලක් බොන්න තියෙන බව දරුවා දන්නවා. අල්මාරිය ඇරලා, රස බෙහෙත් බෝතලයම දරුවා බීලා!
**************************
ඇය දොළොස් හැවිරිදි දැරියක්. ඔවුන්ගේ ඤාති නිවසට ආසන්නයේ මුහුද තියෙන නිසා එහෙ ගිය දවසට නිතරම වෙරළේ. තවත් ළමයෙක් අල්ලාගත් නිල්පාට මුහුදු ජීවියෙක් මේ දැරිය අතට අරගෙන. අත් දෙකෙන්ම සතාව මිරිකලා. අසල සිටි කෙනෙක් මේ ළමයින්ට අවවාද කළා, 'ඔය ජෙලි ෆිෂ් කෙනෙක්, අත හරින්න' කියලා. ටිකක් වෙලා යද්දී අත් කසන්න පටන්ගෙන, ඇඟට පණ නැති ගතියක් දැනුණා.
*****************************
අවුරුදු දෙකක් විතර වයසැති දරුවා රෝහලට ගෙනවිත් තිබුණේ මිත්තණිය. දරුවාගේ මව මානසික වර්ධනය අඩු කෙනෙක්. පියාගෙනුත් පල වුණේ බුද්ධි වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා අඩු බවක්. ඔහු පුංචි බැටරි දෙකක් දරුවට දී සෙල්ලම් කරමින් ඉඳලා. මේ පවුලේ රැකියාවක් කරන මට්ටමක සිටින්නේ මිත්තණිය පමණයි. ඇය ගෙදර එනවිට එක බැටරියක් අඩුයි. ඇහුවහම දරුවාගේ පියා කියනවා, බබා ඒක ගිල්ලා කියල!
**************************
ළමයින් පස්හයදෙනෙක් ඔහේ හදන මව්පියන් කරන පරිදි, ඒ පවුලේ බාල ළමයින් බලාගන්නේ ලොකු ළමයින්. අවුරුදු 2 ළමයා, අවුරුදු හතරේ ළමයා කරන සෙල්ලමට සහභාගී වෙමින් හිටියේ. අවුරුදු හතරේ ළමයා සෙල්ලම් ගෙදරක් දාලා. බැටරියක් කඩලා, ඒකෙ ඇතුළේ තියෙන ද්‍රව්‍ය තමයි ආහාර. පොඩි හැන්දකින්, ඒවා අවුරුදු දෙකේ ළමයට කවද්දී, අවුරුදු හයේ ළමයා දැකලා. ඔහු තමා වැඩිහිටියන්ට දැනුම් දීල තියෙන්නෙ. වැඩිහිටියන්ටනම් ඒත් එච්චර ගානක් තිබ්බේ නෑ.
***********************
ඔහු මැදි වියේ කෙනෙක්. රෝහලට ආවේ පපුවේ අමාරුවක් එක්ක. සිහි කල්පනාවත් ටිකක් අඩු වෙලා. ගෙදර අය ඉන් එහාට මුකුත් කියන්නේ නෑ. පෙනෙන්නට තිබුණු රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කළත්, තවත් විවිධ අමුතු රෝග ලක්ෂණ මතු වෙනවා.. ගෙදර බරපතල ප්‍රශ්නයක් නිසා ඔහු බෙහෙත් පෙති තොගයක් ගිල්ල බව ගෙදර අය එළි කරන්නේ නැවත නැවත විමසද්දී පැය ගානකට පස්සේ.
**********************
සියදිවි හානි කර ගන්න හිතාගෙන වස බොන එක වෙනම කාරණාවක්; අහම්බෙන්, පයට පෑගිලා සර්පයෙක් දෂ්ට කරන එක, තමන්ට විස හෝ අසාත්මික බව නොදන්නා බෙහෙතක්/ ආහාරයක් ගන්න එක වෙනම කාරණාවක්. නමුත් බහුලවම දකින්න ලැබෙන්නේ වළක්වා ගත හැකිව තිබුණු විස වීම්. මේ දේවල් වෙන්නේ අනුන්ටය, කාටවත් කරදරයක් නොකරන අපිට දෙය්යන්ගේ පිහිටෙන් ඔහොම ඒවා වෙන්නේ නැත කියල එකක් නෑ. අපි කාටත් ඔය විදිහට වස පෙවෙන්න පුළුවන්. ඔහොම වෙන්නේ පහළ සමාජ ස්ථරවල අයටය, අකුරු බැරි අයටය කියල එකක් නෑ- ඔබේ දරුවා බලාගන්න සේවිකාව, නැත්නම් ඤාති වැඩිහිටියන් අයත් වෙන්නේ ඒ ගොඩට වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන එකයි කරන්න ඕන.
වීදුරු හෝ ප්ලාස්ටික් බෝතල්, එක පාරින් අහක නොදා නැවත පාවිච්චි කරන එක හොඳයි තමයි. නමුත්, විශේෂයෙන් බීම බෝතල්වලට විෂ සහිත දේවල් නොදැමීමට පරිස්සම් වෙන්න ඕන. විෂ සහිත දේවල් ගෙදරට ගෙන ඒම අත්‍යවශ්‍යනම්, වඩා සුදුසු ඒවා අඩංගු භාජනයේම තියෙන්නට හැරීම. මොකද, එතකොට හඳුනා ගැනීමේ අපහසුවක් නැහැ. විෂ දේවල්, බෙහෙත් හෝ වෙනත් දේවල් අඩංගු භාජනවල පහසුවෙන් කියවිය හැකි පරිදි ලේබල් කර තිබීමත් වැදගත්. ලේබල් කියවිය හැකි කෙනෙක්ට එතකොට පරිස්සම් විය හැකියි. තමන්ටම වුනත් කලක් යද්දී ඒකෙ තියෙන්නෙ මොනවද කියල අමතක විය හැකියි.
වීදුරු හෝ ප්ලාස්ටික් බෝතල්, එක පාරින් අහක නොදා නැවත පාවිච්චි කරන එක හොඳයි තමයි. නමුත්, විශේෂයෙන් බීම බෝතල්වලට විෂ සහිත දේවල් නොදැමීමට පරිස්සම් වෙන්න ඕන. විෂ සහිත දේවල් ගෙදරට ගෙන ඒම අත්‍යවශ්‍යනම්, වඩා සුදුසු ඒවා අඩංගු භාජනයේම තියෙන්නට හැරීම. මොකද, එතකොට හඳුනා ගැනීමේ අපහසුවක් නැහැ. විෂ දේවල්, බෙහෙත් හෝ වෙනත් දේවල් අඩංගු භාජනවල පහසුවෙන් කියවිය හැකි පරිදි ලේබල් කර තිබීමත් වැදගත්. ලේබල් කියවිය හැකි කෙනෙක්ට එතකොට පරිස්සම් විය හැකියි. තමන්ටම වුනත් කලක් යද්දී ඒකෙ තියෙන්නෙ මොනවද කියල අමතක විය හැකියි.
ළමයින්ට හසු නොවන සේ තබන ලෙස ඔය හැම දේකම වගේ උපදෙස් දෙනවා. එහෙම තියන්නේ කොහොමද කියලා කල්පනා කළ යුතුයි. සාමාන්‍යයෙන් ඇවිදින්න පටන්ගන්න වයසේ දරුවන්, අවුරුදු 1-5 ත් අතර දරුවන්, අහු වෙන දෙයක් කටේ දාගන්නවා. ඒ වගේම මේ දරුවන්ට අල්මාරි, දොර අගුල් ආදිය විවෘත කළ හැකියි. අනික් අතට, තමන් වසක් විසක් කෑ බව කීමට හැකියාවක් බොහෝ විට ඔවුන්ට නැහැ. ඒ නිසා ඒ වයසේ ළමයින්ට හසු වන පරිදි කිසිම වසක් විසක් නොතැබීමට පරිස්සම් විය යුතුයි. බෙහෙත් වගේ දේවල් හැකිනම් ළමයින්ට විවෘත කළ නොහැකි බෝතල්වල දමා, අල්මාරියක දමා, අගුල් දමා, යතුර වෙනත් තැනක සැඟවිය යුතුයි.
කැරපොත්තන්, හූනන්, මදුරුවන් ආදී සතුන්ට විස වෙන දෙයක් දරුවන්ටත් විස විය හැකි බව මතක තබා ගත යුතුයි. ඒ නිසා කපුරු බෝල, මදුරු දඟර, බැටරි, විස රසායන කිසිවක් ළමයෙකුට ගත හැකි තැනක නොතැබිය යුතුයි.
සමහර දේවල් විස නොවුණත්, ළමයි ගිල්ලොත් උගුරේ හිර වී හුස්ම අවහිර වීමට, නැත්නම් ආහාර මාර්ගය තුවාල වීමට ඉඩ තියෙනවා. බැටරි, පලතුරුවල හැඩයට සාදන ලද රිජිෆෝම් සෙල්ලම් බඩු, බැලුම් හෝ ප්ලාස්ටික් කෑලි ආදිය ළමයින්ට දෙන සෙල්ලම් බඩු නොවේ.
ළමයා ගැන අවධානය දිගටම දෙන්න බැරිනම්, අනතුරුදායක දේ නැති කොටුවක හෝ ඉවතට යාමට නොහැකි සේ අවහිර කළ කාමරයක ළමයා තැබිය යුතුයි.
වෙනත් කෙනෙකුගේ ගෙදරක හෝ වෙනත් පිට තැනකට ගිහාම, ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව එක එක දේවල් කන බොන එක නුසුදුසුයි. මම වුණත් සහෝදරයෙක්ගේ, සහෝදරියකගේ ගෙදර ගිහාම, ෆ්‍රිජ් එක ඇරලා, කනබොන ජාතියක් හොයන් කන පුරුද්දක් තියෙනවා. නමුත් කන්න බොන්න කලින් ගෙදර අයගෙන් ඇහුවනම්, ඒ තියෙන්නෙ වසක් විසක්නම් අපව දැනුවත් කරනු ඇති.
වස පෙවුනොත්, වමනය කරවීම නුසුදුසුයි. සමහරවිට විස ද්‍රව්‍ය අඩංගු වමනය පෙනහළුවලට ගොස්, වඩාත් අවදානමකට ලක් වීමට ඉඩ තියෙනවා. ඒ වගේම පෙවී ඇත්තේ සැර අම්ල හෝ භෂ්ම ද්‍රව්‍යයක්නම්, වමනය වෙනවත් එක්ක ගලනාලය තව වරක් පිච්චෙනවා.
අම්ල හෝ භෂ්ම ද්‍රවයක් පෙවිලනම්, සමහරවිට ඇඟේ මේ විස හැලිලා තියෙන්න පුළුවනි. ඒ නිසා ඒ ඇඳුම් ඉවත් කළ යුතුයි. සමේ හෝ ඇස්වල තැවරී ඇත්නම් විනාඩි 20ක් විතර, ගලා යන ජලයෙන් සේදිය යුතුයි. නළ ජලය නැත්නම්, භාජනයකින් වතුර අරං වත් කළ හැකියි. අනික් අයත් වස ඇඟේ ගා ගැනීමෙන් වැළකිය යුතුයි.
ලෙඩාට සිහිය නැති වුණොත්, වලිප්පුව ආවොත්, වම් ඇලයට හරවා තබන්න. හුස්ම වැටෙනවද කියන එක ගැන අවධානයෙන් ඉන්න.
ලෙඩාට එක එක දේවල් බොන්න දෙන්න එපා.
මුකුත් රෝග ලක්ෂණයක් නොපෙන්නුවත් රෝහලට ගෙන යාම වැදගත්. බොහොමයක් විස ඇඟට උරා ගත්තට පස්සේ පැය ගානකින් තමයි රෝග ලක්ෂණ පෙන්නන්නේ.
සමහර විස ද්‍රව්‍ය ආමාශයේ තිබියදී ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙහෙම ඉවත් කළ හැක්කේ පැයක් දෙකක් ඇතුළත රෝහලට ගෙන ගියොත් පමණයි. ඒ නිසා හැකි ඉක්මණින් ළඟම ඇති රෝහලට යාම වැදගත්. පොඩි ළමයි තියල යන්න කෙනෙක් නැත්නම් එක්කො ළඟ ගෙදරකට බාර දෙන්න; නැත්නම් අරගෙන යන්න. එහෙම නැත්නම් විස්තර දීල, ලෙඩා වෙන කා එක්ක හරි හැකි ඉක්මණින් රෝහලට යවන්න. දකුණු පළාතේ හෝ බස්නාහිර පළාතේනම් 1990 ගිලන් රථ සේවයට කතා කරල ලෙඩා බාර දෙන්න.
වස බිව්වේ කීයටද කියන එක වැදගත්.
කොච්චරක් බිව්වද කියන එක වැදගත්.
මොනවද බිව්වේ කියන එක වැදගත්.
මත්පැන් එක්කද බිව්වේ කියන එකත් වැදගත්.
ගෙදරදී බලෙන් වමනය කෙරෙව්වද, මත්පැන් පොල්කිරි වගේ දේවල් බොන්න දුන්නද, වෙන මුකුත් ප්‍රතිකාරයක් කරාද කියන දේවල් වැදගත්.
වෙනත් රෝග, මානසික රෝග ආදිය තියෙනවද කියන එක වැදගත්.
ඒ නිසා මේ තොරතුරු හංගන්න එපා.
බිව්ව විස බෝතලය, ඉතුරු පෙති හෝ පෙතිවල නම් සහිත බෙහෙත් වට්ටෝරුව අරගෙන යන්න.
සමහරවිට, වසක් විසක් ගත් බව ඔබේ ලෙඩා කියන්නේ නෑ වෙන්න පුළුවන්. විශේෂයෙන් සියදිවි හානි කරගන්න අදහසින් හෝ කාව හරි බය කිරීමේ අදහසින් වස ගන්න තරුණ තරුණියන් එහෙමයි. වෙනත් ලෙඩක් නැති කෙනෙකුට හිටි ගමන් දඩස් ගාල පහල වෙන වමනය, වලිප්පුව, සිහි නැති වීම වගේ දේවල් මෙහෙම වස ශරීරගත වීම නිසා වෙන්න පුළුවන්. එහෙම අවදානමක් තියෙනවද කියන එක ගැන සෞඛ්‍ය සේවකයන් දැනුවත් කිරීම බොහොම වැදගත්. ලෙඩා ඉස්පිරිතාලෙට ගෙනියල, ඊට පස්සේ ගෙදර තිබුණු වසවිස, බෙහෙත් ආදියේ අඩුවක් තියෙනවද කියල හොයල බලන්න ඕන. කා එක්ක හරි සියදිවි හානි කර ගැනීමක් ගැන කියල තියෙනවද, පුද්ගල සම්බන්ධතා ආදියේ ප්‍රශ්නයක් තිබුණද කියල හොයල බලන්න ඕන. වහ බිව්වා කියල තරහට ළමය බලන්න නෑවිත් ඉන්නේ නැතුව, අපේ පවුල්වල මෙහෙම දෙයක් වුණු බව කාටවත් දැනගන්න ඉඩ තියන්න බෑ කියල නොඉඳ, ඒ ගැන සැකයක් ඇත්නම් සෞඛ්‍ය සේවකයන්ට කියන්න ඕන.
වස විස ගැන වැඩි විස්තර ජාතික වස විස තොරතුරු මධ්‍යස්ථානයෙන් ගන්න පුළුවන්.
http://www.toxbaselanka.info/ 0112 686 143
මෙන්න මෙයා ආයෙමත් ලියනෝ... :-D
ReplyDelete;) අවුරුද්දකට එකක් :D
Deleteපෝස්ට් එකක් වැටුනු එකට සතුටුයි. කියවන්න හදන්නෙ දැන්
ReplyDeleteඉතාම වටිනා උපදෙස් ටිකක්. මේවා වැඩි හරියක් නොහිතා කරන අතපසුවීම්. මේ දේවල් වලක්වා ගැනීමට දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවද? ඉස්කෝලෙ ලමයින්ව වත් දැනුවත් කරන්න.
ReplyDeleteමම අහල බලන්නම් වසවිස තොරතුරු මධ්‍යස්ථානයෙන්. ඉස්කෝලෙ කාලෙ, පොඩි පන්තිවල ඉඳන් දැනුවත් කරනවානම් තමයි වටින්නෙ
Deleteතව කට්ටියක් ඉන්නවා ෆ්‍රිජ් එකක් දැක්කොත් ඒක අරින්නේ නැතිව බැහැ... ඇරියොත් එකේ තියෙන ඒවා නොකා නොබී ඉන්න බැහැ... උණු උණු තේ එකක් බීලා අනිත් අතට අයිස් දාපු බීම බොනවා... ඔව්වත් වහ වෙනවා ඉතිං... :D
ReplyDeleteනලිනි කාලෙකින්.
ReplyDeleteපැණිබීම බෝතල්වල වස විස දාන එකනං මහ භයානක දෙයක්. මොකද දාපු එකාටම මතක නැතුව පෙවෙන්න ගොඩක් ඉඩ තියෙනව. මේවයින් වැලකෙන්න තියෙන හොඳම දේ ඉතිං පරිස්සම තමයි.
ඉස්සර මම වැඩ කළ එක වාට්ටුවක හිටි පිරිසිදු කරන කාන්තාව, ෆැන්ටා බෝතල්වලට දාන්නේ තැඹිලි පාට සේදුම්කාරක; කොළපාට පැණි බීම බෝතල්වලට දාන්නේ ඒ පාට සේදුම්කාරක. හරිම භයානකයි. අවවාද කරාට අහන්නෙත් නෑ.
Deleteපරිස්සම තමා වැදගත්ම.
සරළ සාමාන්‍ය දෙයක් හැටියට පෙනුන ද මාතෘකාව අත ලඟ ඇති ටයිම් බොම්බ් එකක් නෙවේද? මේ මාතෘකාව ගැන සාකච්ඡා කිරීම ගැන බොහෝම ස්තුතියි.
ReplyDeleteසති දෙකකට පෙර WebMD හි පලවූ ලිපියක සඳහන් වුනා ඇමෙරිකා එක්සත් ජනපදයේ බට්න් සෙල් බැටරි ගිලීමෙන් සිදුවන අනතුරු 2500ක් පමණ වසරකට වාර්තා වෙන බව. එය මීට දශකයකට පෙර වාර්තාගත අනතුරු සමඟ බලද්දි 12 ගුණයක වැඩිවීමක් හැටියටයි දක්වා තිබුණේ. නූතන ලෝකයේ බට්න් බැටරි බාවිතය සුලබ වීමත් සමඟ ඒ දත්ත ගැන සැකයක් නැහැ. පාවිච්චි කර බැටරි නිසි සෙල ඉවත් කිරීමට වැඩපිළිවෙලක් ඇති බටහිර රටක එවැනි අවදානමක් ඇත්නම් අපේ දෙසේ වැඩ සිදුවන පිළිවෙල හා පුරුදු ගැන මොන කතා ද? එම ලිපිය මං ෆේස්බුක් එකේ ෂෙයාර් කරද කීදෙනෙක් කියෙව්වා ද සැකයි.
බැටරියක් ගිලී පැය දෙකකටත් අඩු කාලයක දී මිනිස් සිරුරට හානිකර වෙන්න පුළුවන් යැයි එම ලිපිය අනතුරු හඟවයි. බට්න් බැටරියක් ගිල්ල අයෙකුට මී පැණි ප්‍රථමාදාර ලෙස පාවිච්චිය ගැන එම ලිපියේ සාකච්ඡා කෙරේ.
ලිපිය: Honey Helps When Kids Swallow Button Batteries
https://www.webmd.com/children/news/20180612/honey-helps-when-kids-swallow-button-batteries?ecd=soc_fb_180613_cons_news_honeybuttonbatteries&linkId=100000002752462#1
අය්යගේ ඒ ලිපිය මම කියෙව්වා. ඒක හුඟක් වැදගත්. බට්න් බැටරියෙන් ගලනාලයේ පටක දිය වෙලා හිල් වෙනවා. එහෙ අඩු ගානේ ඒක ප්‍රශ්නයක් විදිහටවත් හඳුනාගෙන. මෙහෙ ප්‍රශ්නේ බරපතලකමවත් අපි දන්නෙ නෑ
Deleteමෙන්න මෙයා ආයෙමත් ලියනෝ
ReplyDelete:D
Deleteමටත් මේ වගේ අත් වැරැද්දක් උනා කාලෙකට ඉස්සර . අපි අපේ අම්මලාගෙ ගෙදර ගියා මගෙ මහත්තයාගෙ අම්මලාත් එක්ක. අපේ තාත්තා වයින් ඒකක් කියලා මහත්තයාගෙ අම්මට බීම එකක් දුන්නා, එයා ඒක එක පාරටම කටේ හලා ගත්තා,පස්සෙයි දන්නෙ බීම දාන බෝතලේකට බිම මොප්කරන්න ගන්න පිරිසිදුකාරක දාල තිබිලා. අපි පරිස්සම් නූනොත් කරදරේ තමා. වටිනා ලිපියක්.
ReplyDeleteඔව් අක්කා. ඒක හැම තැනකම කෙරෙන වැඩක්. ඒ ගැන දැනුවත් වෙලා වළකින එක විතරයි පිළියම. දාන කෙනාටත් අමතක වෙන්න පුළුවන්නේ.
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete