Monday, September 15, 2014

පාන් කෑව සුරංගනාවි

දිව්‍ය ලෝකෙ තියෙන්නෙ වළාකුළුවලට ඉහළ අහසෙ බවත්, සුරංගනාවන් වාසය කරන්නෙ එහෙ බවත් අපි දන්නවා. එහෙම ඉහළ අහසෙ පාවෙවී ඉන්නට පුළුවන් වෙලා තියෙන්නෙ, සුරංගනාවන්ගෙත් දිව්‍යලෝකයෙත් ඝනත්වය අඩු හින්දා; වළාකුළුවලටත් වඩා ඒ අය සැහැල්ලු හින්දා. 
ඔව්, වළාකුළු වලටත් වඩා. 
වළාකුළු පවා ඔවුන්ට වඩා ඝනත්වයෙන් වැඩියි, ඒවායේ වැස්සට අවශ්‍ය කරන වතුර රැස් කර තිබෙන හින්දා.

සමහර දවස්වල, හිමිදිරි පාන්දර, වළාකුළු ඉහළ අහසේ නොරැඳී පහළට පාවෙලා එනවා.  ඉතින් ඔන්න පොළොව අවට ඝනැති සුදු පටලයකින් වැහෙනවා. ඒ අතරින් ගමන් කරන කෙනෙකුට තද සීතලක් දැනෙනවා; අඩියකට දෙකකට වඩා ඒ තුළින් පෙනෙන්නෙ නෑ.

එහෙම පොළොවට පහත් වුණු වළාකුලක නැගිලා, එක් සුරංගනාවක් මහ පොළොවට බැස්සා. ඈ පොළොවෙ තියෙන පුංචි පැලෑටි, මල් ආදිය ආසාවෙන් අත ගෑවා. ඝනැති වළාව පීරාගෙන ඈ හෙමින් හෙමින් ඉදිරියට ගියා.

ඔන්න ඇයට පෙනුණා ඈතින් ආලෝකයක්. ඒ, උදෙන්ම විවෘත කරන ලද පාන් කඩයක්. මිනිස්සු කඩේට ඇවිත් නැවුම් සුවඳැති, උණුසුම් පාන් අරගෙන යනවා. සමහරු, පාන් තුරුළු කරගෙන ගියා. තවත් සමහරු, පාන් කඩාගෙන කමින් ඇවිදගෙන ගියා.
සීතල හිමිදිරි වෙලාවක, එහෙම උණුසුම්, රසැති පාන් කෑමට ලැබීම හරිම අපූරු අත්දැකීමක්. සුරංගනාවිටත් පාන් කෑමට ආස හිතුණා. ඈ කවදාවත් පාන් කාලා තිබුණෙ නැහැ. දිව්‍ය ලෝකෙ පාන් නැහැ. එහෙ තියෙන්නෙ දිව්‍ය භෝජන විතරයි. 
පාන් ගෙඩියක් ඉල්ලාගැනීමට ඈ කඩේට ගියා.

මුදලාලි දන්නෙ නැහැ මේ සුරංගනාවියක් බව. ගෑණු ළමයෙක් කඩේට ඇවිල්ලායයි ඔහු කල්පනා කළා.
"ඔය ළමයට මොනවද?" ඔහු ඇහුවා.
"පාන් ගෙඩියක් දෙන්න." සුරංගනාවිය කිව්වා.
මුදලාලි පාන් ගෙඩියක් කඩදාසියක එතුවා. "රුපියල් හැටයි."
සුරංගනාවිය අතේ සල්ලි නැහැ. දිව්‍ය භෝජන සඳහා එහෙ සල්ලි අය කිරීමක් නැහැ. ඉතින් සල්ලි ළඟ තබා ගැනීමට හේතුවක් නැහැ.
" සල්ලි ගෙනාවෙ නැද්ද? සල්ලි මග වට්ටා ගත්තාද? මෙහෙ පිනට පානුත් නැහැ; ණයට පානුත් නැහැ." මුදලාලි ටිකක් තදින් කිව්වා. කියලා, පාන් ගෙඩිය වෙන කෙනෙකුට දුන්නා.

සුරංගනාවියට කණගාටුයි. ඇය පැත්තකට වෙලා කඩේ ඇති පාන් දෙස බලා හිටියා. මිනිසුන් ගෙන යන පාන්වල සුවඳ ඇගේ නැහැයට දැනුණා.  ඒවා පපුවට තුරුළු කරගත්විට කොයි තරම් සුවදායක ඇද්ද කියා ඈ කල්පනා කළා.

ටික ටික එළිය වැටෙනවිට, පාන් ගැනීමට කඩයට එන මිනිසුන් අඩු වුණා. තවමත් බලා සිටින ලස්සන ගෑණු ළමයා දැක්කවිට මුදලාලිට අනුකම්පා හිතුණා. ගෙදරින් පාන් ගැනීමට දුන් මුදල් ඇය මගදි නොසැලකිල්ලෙන් වට්ටා ගන්නට ඇතැයි හිතලා, ඔහු ඇයට කතා කළා.
"හොඳයි, මෙන්න අදට විතරක් පාන් ගෙඩියක්. ඊලඟ දවසෙ ගෙදරින් දෙන සල්ලි මග වට්ටා ගන්නට එපා. නුඹලාට පාන් දීමට, අපි බොහොම සල්ලි වියදම් කරනවා!"

සුරංගනාවියට සතුටුයි. ඇය මුදලාලිට ස්තුති කරලා, පාන් ගෙඩියත් තුරුළු කරගෙන තණ පිටියට දිව්වා. පාන් ගෙඩියෙ උණුසුම ඇයව ප්‍රබෝධමත් කළා. එහි ප්‍රණීත සුවඳ ඇයව වශී කළා. තණ පිටියෙ වාඩි වෙලා, ඈ පාන් කන්නට වුණා.

පාන් කාලා සුරංගනාවිය වටපිට බැලුවා. හොඳටම එළිය වැටිලා. පාන්දර පොළොවට පහත්වැ තිබුණු වළාකුළු නැවත ඉහළ ගිහින්. දැන් ඒවා කඳු මුදුන්වල දැවටෙමින් තිබෙනවා. සුරංගනාවිය වළාකුලකට නැගෙන්නට කල්පනා කරලා, කඳු මුදුනට දිව්වා. හරියට ඈ එනතුරුම වගේ, එහි වළාකුලක් තිබුණා. 

සුරංගනාවිය වළාකුලට නැගුණා. ඇයට අමුත්තක් දැනුණා. හරියට, ටික ටික ඇයව පොළොවට ඇද ගන්නවා වගේ.
ඔව්, ඇත්තටම, මෙන්න ඇය වළාකුල ඉරාගෙන ආපහු පොළොවට වැටිලා! 
මොකද දන්නවද? වළාකුලේ තිබුණු වැසි ජලය, ඇය කෑ පාන්වලට උරාගෙන, ඇගේ බර වැඩි වෙලා! 

වළාකුල අහසට නැගිලා පාවුණා. සුරංගනාවිය හොඳටම බය වෙලා අඬන්නට වුණා.

"ඇයි ඔයා අඬන්නෙ?" කවුදෝ ඇහුවා.
ඒ, උදෑසන අසිරිය සිතුවමට නැගීමට කඳු මුදුනට ඇවිත් හිටිය චිත්‍ර ශිෂ්‍යයෙක්.

"මම සුරංගනාවියක්. පාන් කෑව හින්දා මාව වෙනස් වෙලා; වළාකුළුවල තිබුණ වතුර පාන්වලට උරාගෙන, මගේ බර වැඩි වෙලා." සුරංගනාවිය පැහැදිලි කළා.

චිත්‍ර ශිෂ්‍යයා කල්පනා කළා. කල්පනා කරලා, කතා කළා.

"ඇත්තෙන්ම, මේක මගේ විෂය පථයට අයත් නැහැ. ඔන්න ඔයාගෙ සුන්දරත්වය වර්ණනා කිරීමට හෝ ඔයාව සිතුවමට නැගීමට තිබුණානම්, එය කරන හැටි මම දන්නවා. නමුත් ඔයා කණගාටු වෙන්නට එපා. මම ඔයාව විද්‍යා ශිෂ්‍යයා ළඟට එක්කගෙන යන්නම්. ඔහු ඔයාට උදව් කරාවි." ඔහු කිව්වා.

චිත්‍ර ශිෂ්‍යයා සුරංගනාවිය සමග විද්‍යා ශිෂ්‍යයාගෙ ගෙදර ගියා. ඔහු විද්‍යාව ඉගෙනගනිමින්, ඒ ගැන පුදුම වෙමින් හිටියා. චිත්‍ර ශිෂ්‍යයා, සුරංගනාවියව හඳුන්වා දුන්නා.
"මේ සොඳුරු සුරඟනගෙ ඇඟේ ඇති පාන්වල ජලය ඉවත් කර දෙන්න." ඔහු ඉල්ලා සිටියා. "එවිට ඇයට ආපහු සුරංගනා ලෝකයට යා හැකියි."

විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා. 
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "පිළිතුර තියෙන තැන තමා මට එකපාරට මතක් නොවෙන්නෙ!"

"කරුණාකරලා, කල්පනා කරන්න. ඔබට එය මතක් කරගන්න පුළුවන් වීම තුළයි මගෙ ආපහු ගමන රැඳෙන්නෙ." සුරංගනාවිය ඉල්ලා සිටියා.

"මතක් වුණා!" විද්‍යා ශිෂ්‍යයා කෑ ගැහුවා. "ඩූ නොට් ඊට්!"

"අනේ, මං පාන් කාලා ඉවරයිනෙ." සුරංගනාවිය කිව්වා.

"නෑ, නෑ. පාන් නෙවෙයි. අර රට කජු ඇසුරුම් ඇතුළෙ තියෙන පුංචි කවරය දැකලා තියෙනවා නේද?" විද්‍යා ශිෂ්‍යයා චිත්‍ර ශිෂ්‍යයාගෙන් ඇහුවා. "පුංචි කැට වගයක් පිරවූ කවර? නුඹ දන්නවාද?"
"ඔව්, ඔව්, මං දන්නවා." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "ඒවා තියෙන්නෙ, රටකජුවල ඇති තෙතමනය උරාගැනීමට..."
විද්‍යා ශිෂ්‍යයා බොහොම සතුටට පත් වුණා. 
"අන්න හරි, නුඹ කාරණා කාරණා දන්න හැඩයි. ටිකක් මහන්සි වුණොත්, නුඹට විද්‍යාව ඉගෙනීමට පවා පුළුවන් වේවි."
"මම චිත්‍ර ඉගෙනීමට වැඩියෙන් කැමතියි." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "නමුත් නුඹට අවශ්‍යනම්, මම රටකජු ගෙනත් දෙන්නම්."
"රටකජු නොවේ. ඒ ඇසුරුම් තුළ තියෙන පුංචි කැට, 'ඩූ නොට් ඊට්'. අන්න ඒවාට පුළුවනි, පාන්වලට උරාගත් වතුර ඉවත් කිරීමට." විද්‍යා ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. 
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු ඊට එකතු කළා.

චිත්‍ර ශිෂ්‍යයාත් විද්‍යා ශිෂ්‍යයාත් එකතු වෙලා, 'ඩූ නොට් ඊට්' කැට ටිකක් හොයාගෙන ආවා.
"ඔයා මේවා කෑ යුතුයි." ඔවුන් සුරංගනාවියට කිව්වා.
"අනේ මේවා කන්නෙ කොහොමද?" ඈ බය වෙලා ඇහුවා. "ඩූ නොට් ඊට් කිව්වොත් කන්නට බැහැ නොවේද?"
විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා.
"ඔයා කියන එක හරි. නමුත් හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "මේ ඩූ නොට් ඊට්, ඊට් බවට පත් කළ යුතුයි. මං හිතන්නෙ, ඊට අදාල ප්‍රතික්‍රියා අයත් වෙන්නෙ, අකාබනික රසායනයට..."

"පොඩ්ඩක් ඉන්න." චිත්‍ර ශිෂ්‍යයා බාධා කළා. "ඒක ඇත්ත වශයෙන්ම අයත් වෙන්නෙ, කලාවට. විද්‍යාව තුළ විතරක් නෙවෙයි, සමහර ප්‍රශ්නවලට කලාව තුළත් පිළිතුරු තියෙනවා. සමහරවිට වඩාත් හොඳ පිළිතුරු..."
"නුඹ මොකක්ද යෝජනා කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා අමනාපයෙන් ඇහුවා.
"මකනය" චිත්‍ර ශිෂ්‍යයා සතුටින් කිව්වා. "ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දැමූවිට, ඊට් ලැබෙන බව නුඹට තේරෙනවද? වඩා සරලයි, ඉක්මන්."
"හොඳයි, එහෙම කරමු." ඔවුන් එකඟ වුණා.

ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දමා ඊට් ලබා ගත්තා. ඊට් කෑ හැකි බැවින්, සුරංගනාවිය ඊට් කෑවා. පාන්වල තිබුණු වතුර ඊට්වලට උරා ගත්තා. ඒත් වතුර උරාගත් ඊට් තවමත් සුරංගනාවියගෙ ඇඟ ඇතුළෙ.
"දැන් මොකද කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා. "නුඹට උත්තරයක් තියෙනවද?"
ඇත්තෙන්ම චිත්‍ර ශිෂ්‍යයාට උත්තරයක් තිබුණා. ඔහු පැන්සල අරගෙන, ඊට් ඉදිරියෙන් ඩූ නොට් ලිවූ නිසා, ඊට් නැවතත් ඩූ නොට් ඊට් වුණා. එතකොට සුරංගනාවිය ඒවා කෑවේ නෑ. කෑවෙ නැති නිසා ඇඟ ඇතුළෙ ඒවා නෑ.

"දැන් හරි. අපි එකතු වෙලා ඔබට උදව් කළා." චිත්‍ර ශිෂ්‍යයා හා විද්‍යා ශිෂ්‍යයා කිව්වා.
"ඒත් මම ආයෙම වළාකුලකට නැග්ගොත්, ආයෙමත් පාන්වලට වතුර උරා ගනීවි නේද?" සුරංගනාවිය ඇහුවා.
ශිෂ්‍යයන් කල්පනා කළා.
"නුඹට පාන් මකා දමන්නට බැරිද?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා.
"බැහැ. පාන් කියන්නෙ, ලිව්ව දෙයක් නෙවෙයි." චිත්‍ර ශිෂ්‍යයා කණගාටුවෙන් කිව්වා.
"ඉතින් මම නුඹට කිව්වා නේද, විද්‍යාව තුළනම් මේ හැම එකටම පිළිතුරු තියෙන බව?" විද්‍යා ශිෂ්‍යයා ආඩම්බරයෙන් කිව්වා. "කරන්නට තියෙන්නෙ, බොහොම සරල දෙයක්: පාන් කෑව එක තෝරාගෙන, ඒක අන්ඩූ කළ යුතුයි."
"ඒ කිව්වෙ?" සුරංගනාවිය ඇහුවා.
"මොනවා? දිව්‍ය ලෝකයෙ පරිගණක නැද්ද?" විද්‍යා ශිෂ්‍යයා පුදුම වෙලා ඇහුවා.
"මුළින් ඇයට උදව් කරලා හිටපන්. ඉන් පසුව ප්‍රශ්න අහපන්." චිත්‍ර ශිෂ්‍යයා අමනාපයෙන් කිව්වා.
විද්‍යා ශිෂ්‍යයා, සුරංගනාවියට අන්ඩූ කරන අයුරු කියා දුන්නා.

පුරුදු නැති නිසා, ඇය අන්ඩූ කළේ පියවරෙන් පියවර.
එක වරක් අන්ඩූ කළා: ඩූ නොට් ඊට් ආයෙම ඊට් වුණා; සුරංගනාවිය ඒවා කෑවා.
දෙවරක් අන්ඩූ කළා: ඊට් ආයෙම ඩූ නොට් ඊට් වුණා; ඒ නිසා සුරංගනාවිය ඒවා කෑවෙ නෑ.
තෙවරක් අන්ඩූ කළා: එවිට සුරංගනාවිය පාන් කෑවෙත් නෑ.

පාන් කෑවෙ නැති හින්දා සුරංගනාවිය ආයෙමත් සැහැල්ලු වුණා. ඇය බොහොම සතුටු වෙලා, ශිෂ්‍යයන් දෙන්නාට ස්තුති කරලා, වළාකුලකට පැන්නා. වළාකුලේ වතුර ඇයට උරාගත්තෙ නැහැ. ඒ වෙනුවට, වළාකුල ඇයත් රැගෙන ඉහළ ගියා.
ශිෂ්‍යයන් දෙන්නා වාද කරමින් ගෙදර ගියා.

Sunday, May 18, 2014

අසූ ගණන්වල එක දවසක...

අසූ ගණන්වල එක දවසක...

මම හිටියෙ දහයෙ පන්තියෙ. තට්ටු හතරක සෙන්ටිනරි බිල්ඩිං එකේ පහළම තට්ටුවෙ, දෙවෙනි පන්තියෙ. පන්තියෙ උගන්නමින් හිටියෙ රත්නායක මැඩම්. මම හිටියෙ මැද පේළියෙ, ඉස්සරහම පුටුවෙ.

එක පාරටම වෙඩි හඬක් ඇහුණා. මුලින් එකක් දෙකක් ඇහිලා, ඊට පස්සෙ එක දිගට ඇහෙන්න ගත්තා.

ළමයි කෑ ගහන්න පටන් ගත්තා. අපිට ඒ වෙනකොට දෙතුන් වරක් ඩ්‍රිල් කරල තිබුණෙ, හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් ආවොත් කළ යුතු දේ ගැන. අනික් ළමයිනුත් එක්කම මමත් පුටුව පස්සට තල්ලු කරලා, ඩෙස්ක් එක යටට රිංගගත්තා. පාඩම වෙලේ අතේ තිබුණු පෑන, දත් ඇඳි අතර හරහට තියා ගත්තා.

රත්නායක මැඩම් ගල් ගැහුණා වගේ. මැඩම් මේසෙ ළඟ, හිටිය තැනම බිමට පාත් වුණා. එතකොටම ළමයෙක් කෑ ගහගෙන මැඩම් ළඟට දුවගෙන ආවා. ඒ ඉරේෂා. මැඩම්ගෙ දුව. එයා හිටියෙ අල්ලපු පන්තියෙ. එයා පන්තියෙන් එළියට පැනලා අම්මා ළඟට ඇවිත්.

ඒ අතරෙ මට එහා පැත්තෙ පේළියෙ හිටිය කාන්ති ඩෙස්ක් අස්සෙන් දණගාගෙන, මැඩම් ළඟට ආවා. කාන්තිගෙ දත් අතරින් පෑන තියාගෙන හිටියෙ අනික් පැත්තට, හරියට බීම බෝතලයක බටේ තියාගෙන ඉන්නව වගේ. කාන්තිගෙ අතේ තව පැන්සලක් තිබුණා. එයා ඒක මැඩම්ට දීලා, අතින් කිව්වා, කටේ දත් අතරින් තියා ගන්න කියලා.

ඔය වෙලාවෙදි විතර, ඉස්කෝලෙ බෙල් එක වැදුණා. අපි බලාගෙන හිටියෙ ඒ සඥ්ඥාව එනතුරු. අපි හිටිය බිල්ඩිමට බෝම්බයක් වැදුණනම් එහෙම, අපි මැරෙන්නෙ බිල්ඩිමට යට වෙලා. බෙල් එකට අපි පේළියක් හැදිලා ග්‍රවුන්ඩ් එකට යන්න නියමිතයි.

අපි එහෙම පේළියට ගිහින් ග්‍රවුන්ඩ් එකේ පෙළ ගැහුණා. මුලු ඉස්කෝලෙම ළමයි.

තවත් ටික වෙලාවක් යනකොට, අපිට ඇහුණ වෙඩි හඬ ගැන ඇත්ත තොරතුරු ලැබුණා. ඉස්කෝලෙට එහා පැත්තෙ තිබ්බ හින්දු සංස්කෘතික ශාලාවෙ මොකක්ද උත්සවේකට රතිඤ්ඤා පත්තු කරලා. ඊට පස්සෙ අපි පන්තිවලට ගියා. එතකොටත් අපි වෙව්ලනවා.

අක්කලා පන්තියට ගියාට එක ළමයෙක් අඩුයිලු. පස්සෙ හොයල බලනකොට, අනුරුද්ධිකා අක්කා, ග්‍රවුන්ඩ් එකේ හරි මැදට වෙලා තාමත් හිටගෙන ඉන්නවලු.

ඔය දහයෙ පන්තියෙ ඉද්දි. මං හයේ පන්තියට එනකොට, අපේ ඉස්කෝලෙ ස්කූල් කැප්ටන්, තිරුණි රාමනාදන්.