Monday, September 15, 2014

පාන් කෑව සුරංගනාවි

දිව්‍ය ලෝකෙ තියෙන්නෙ වළාකුළුවලට ඉහළ අහසෙ බවත්, සුරංගනාවන් වාසය කරන්නෙ එහෙ බවත් අපි දන්නවා. එහෙම ඉහළ අහසෙ පාවෙවී ඉන්නට පුළුවන් වෙලා තියෙන්නෙ, සුරංගනාවන්ගෙත් දිව්‍යලෝකයෙත් ඝනත්වය අඩු හින්දා; වළාකුළුවලටත් වඩා ඒ අය සැහැල්ලු හින්දා. 
ඔව්, වළාකුළු වලටත් වඩා. 
වළාකුළු පවා ඔවුන්ට වඩා ඝනත්වයෙන් වැඩියි, ඒවායේ වැස්සට අවශ්‍ය කරන වතුර රැස් කර තිබෙන හින්දා.

සමහර දවස්වල, හිමිදිරි පාන්දර, වළාකුළු ඉහළ අහසේ නොරැඳී පහළට පාවෙලා එනවා.  ඉතින් ඔන්න පොළොව අවට ඝනැති සුදු පටලයකින් වැහෙනවා. ඒ අතරින් ගමන් කරන කෙනෙකුට තද සීතලක් දැනෙනවා; අඩියකට දෙකකට වඩා ඒ තුළින් පෙනෙන්නෙ නෑ.

එහෙම පොළොවට පහත් වුණු වළාකුලක නැගිලා, එක් සුරංගනාවක් මහ පොළොවට බැස්සා. ඈ පොළොවෙ තියෙන පුංචි පැලෑටි, මල් ආදිය ආසාවෙන් අත ගෑවා. ඝනැති වළාව පීරාගෙන ඈ හෙමින් හෙමින් ඉදිරියට ගියා.

ඔන්න ඇයට පෙනුණා ඈතින් ආලෝකයක්. ඒ, උදෙන්ම විවෘත කරන ලද පාන් කඩයක්. මිනිස්සු කඩේට ඇවිත් නැවුම් සුවඳැති, උණුසුම් පාන් අරගෙන යනවා. සමහරු, පාන් තුරුළු කරගෙන ගියා. තවත් සමහරු, පාන් කඩාගෙන කමින් ඇවිදගෙන ගියා.
සීතල හිමිදිරි වෙලාවක, එහෙම උණුසුම්, රසැති පාන් කෑමට ලැබීම හරිම අපූරු අත්දැකීමක්. සුරංගනාවිටත් පාන් කෑමට ආස හිතුණා. ඈ කවදාවත් පාන් කාලා තිබුණෙ නැහැ. දිව්‍ය ලෝකෙ පාන් නැහැ. එහෙ තියෙන්නෙ දිව්‍ය භෝජන විතරයි. 
පාන් ගෙඩියක් ඉල්ලාගැනීමට ඈ කඩේට ගියා.

මුදලාලි දන්නෙ නැහැ මේ සුරංගනාවියක් බව. ගෑණු ළමයෙක් කඩේට ඇවිල්ලායයි ඔහු කල්පනා කළා.
"ඔය ළමයට මොනවද?" ඔහු ඇහුවා.
"පාන් ගෙඩියක් දෙන්න." සුරංගනාවිය කිව්වා.
මුදලාලි පාන් ගෙඩියක් කඩදාසියක එතුවා. "රුපියල් හැටයි."
සුරංගනාවිය අතේ සල්ලි නැහැ. දිව්‍ය භෝජන සඳහා එහෙ සල්ලි අය කිරීමක් නැහැ. ඉතින් සල්ලි ළඟ තබා ගැනීමට හේතුවක් නැහැ.
" සල්ලි ගෙනාවෙ නැද්ද? සල්ලි මග වට්ටා ගත්තාද? මෙහෙ පිනට පානුත් නැහැ; ණයට පානුත් නැහැ." මුදලාලි ටිකක් තදින් කිව්වා. කියලා, පාන් ගෙඩිය වෙන කෙනෙකුට දුන්නා.

සුරංගනාවියට කණගාටුයි. ඇය පැත්තකට වෙලා කඩේ ඇති පාන් දෙස බලා හිටියා. මිනිසුන් ගෙන යන පාන්වල සුවඳ ඇගේ නැහැයට දැනුණා.  ඒවා පපුවට තුරුළු කරගත්විට කොයි තරම් සුවදායක ඇද්ද කියා ඈ කල්පනා කළා.

ටික ටික එළිය වැටෙනවිට, පාන් ගැනීමට කඩයට එන මිනිසුන් අඩු වුණා. තවමත් බලා සිටින ලස්සන ගෑණු ළමයා දැක්කවිට මුදලාලිට අනුකම්පා හිතුණා. ගෙදරින් පාන් ගැනීමට දුන් මුදල් ඇය මගදි නොසැලකිල්ලෙන් වට්ටා ගන්නට ඇතැයි හිතලා, ඔහු ඇයට කතා කළා.
"හොඳයි, මෙන්න අදට විතරක් පාන් ගෙඩියක්. ඊලඟ දවසෙ ගෙදරින් දෙන සල්ලි මග වට්ටා ගන්නට එපා. නුඹලාට පාන් දීමට, අපි බොහොම සල්ලි වියදම් කරනවා!"

සුරංගනාවියට සතුටුයි. ඇය මුදලාලිට ස්තුති කරලා, පාන් ගෙඩියත් තුරුළු කරගෙන තණ පිටියට දිව්වා. පාන් ගෙඩියෙ උණුසුම ඇයව ප්‍රබෝධමත් කළා. එහි ප්‍රණීත සුවඳ ඇයව වශී කළා. තණ පිටියෙ වාඩි වෙලා, ඈ පාන් කන්නට වුණා.

පාන් කාලා සුරංගනාවිය වටපිට බැලුවා. හොඳටම එළිය වැටිලා. පාන්දර පොළොවට පහත්වැ තිබුණු වළාකුළු නැවත ඉහළ ගිහින්. දැන් ඒවා කඳු මුදුන්වල දැවටෙමින් තිබෙනවා. සුරංගනාවිය වළාකුලකට නැගෙන්නට කල්පනා කරලා, කඳු මුදුනට දිව්වා. හරියට ඈ එනතුරුම වගේ, එහි වළාකුලක් තිබුණා. 

සුරංගනාවිය වළාකුලට නැගුණා. ඇයට අමුත්තක් දැනුණා. හරියට, ටික ටික ඇයව පොළොවට ඇද ගන්නවා වගේ.
ඔව්, ඇත්තටම, මෙන්න ඇය වළාකුල ඉරාගෙන ආපහු පොළොවට වැටිලා! 
මොකද දන්නවද? වළාකුලේ තිබුණු වැසි ජලය, ඇය කෑ පාන්වලට උරාගෙන, ඇගේ බර වැඩි වෙලා! 

වළාකුල අහසට නැගිලා පාවුණා. සුරංගනාවිය හොඳටම බය වෙලා අඬන්නට වුණා.

"ඇයි ඔයා අඬන්නෙ?" කවුදෝ ඇහුවා.
ඒ, උදෑසන අසිරිය සිතුවමට නැගීමට කඳු මුදුනට ඇවිත් හිටිය චිත්‍ර ශිෂ්‍යයෙක්.

"මම සුරංගනාවියක්. පාන් කෑව හින්දා මාව වෙනස් වෙලා; වළාකුළුවල තිබුණ වතුර පාන්වලට උරාගෙන, මගේ බර වැඩි වෙලා." සුරංගනාවිය පැහැදිලි කළා.

චිත්‍ර ශිෂ්‍යයා කල්පනා කළා. කල්පනා කරලා, කතා කළා.

"ඇත්තෙන්ම, මේක මගේ විෂය පථයට අයත් නැහැ. ඔන්න ඔයාගෙ සුන්දරත්වය වර්ණනා කිරීමට හෝ ඔයාව සිතුවමට නැගීමට තිබුණානම්, එය කරන හැටි මම දන්නවා. නමුත් ඔයා කණගාටු වෙන්නට එපා. මම ඔයාව විද්‍යා ශිෂ්‍යයා ළඟට එක්කගෙන යන්නම්. ඔහු ඔයාට උදව් කරාවි." ඔහු කිව්වා.

චිත්‍ර ශිෂ්‍යයා සුරංගනාවිය සමග විද්‍යා ශිෂ්‍යයාගෙ ගෙදර ගියා. ඔහු විද්‍යාව ඉගෙනගනිමින්, ඒ ගැන පුදුම වෙමින් හිටියා. චිත්‍ර ශිෂ්‍යයා, සුරංගනාවියව හඳුන්වා දුන්නා.
"මේ සොඳුරු සුරඟනගෙ ඇඟේ ඇති පාන්වල ජලය ඉවත් කර දෙන්න." ඔහු ඉල්ලා සිටියා. "එවිට ඇයට ආපහු සුරංගනා ලෝකයට යා හැකියි."

විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා. 
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "පිළිතුර තියෙන තැන තමා මට එකපාරට මතක් නොවෙන්නෙ!"

"කරුණාකරලා, කල්පනා කරන්න. ඔබට එය මතක් කරගන්න පුළුවන් වීම තුළයි මගෙ ආපහු ගමන රැඳෙන්නෙ." සුරංගනාවිය ඉල්ලා සිටියා.

"මතක් වුණා!" විද්‍යා ශිෂ්‍යයා කෑ ගැහුවා. "ඩූ නොට් ඊට්!"

"අනේ, මං පාන් කාලා ඉවරයිනෙ." සුරංගනාවිය කිව්වා.

"නෑ, නෑ. පාන් නෙවෙයි. අර රට කජු ඇසුරුම් ඇතුළෙ තියෙන පුංචි කවරය දැකලා තියෙනවා නේද?" විද්‍යා ශිෂ්‍යයා චිත්‍ර ශිෂ්‍යයාගෙන් ඇහුවා. "පුංචි කැට වගයක් පිරවූ කවර? නුඹ දන්නවාද?"
"ඔව්, ඔව්, මං දන්නවා." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "ඒවා තියෙන්නෙ, රටකජුවල ඇති තෙතමනය උරාගැනීමට..."
විද්‍යා ශිෂ්‍යයා බොහොම සතුටට පත් වුණා. 
"අන්න හරි, නුඹ කාරණා කාරණා දන්න හැඩයි. ටිකක් මහන්සි වුණොත්, නුඹට විද්‍යාව ඉගෙනීමට පවා පුළුවන් වේවි."
"මම චිත්‍ර ඉගෙනීමට වැඩියෙන් කැමතියි." චිත්‍ර ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. "නමුත් නුඹට අවශ්‍යනම්, මම රටකජු ගෙනත් දෙන්නම්."
"රටකජු නොවේ. ඒ ඇසුරුම් තුළ තියෙන පුංචි කැට, 'ඩූ නොට් ඊට්'. අන්න ඒවාට පුළුවනි, පාන්වලට උරාගත් වතුර ඉවත් කිරීමට." විද්‍යා ශිෂ්‍යයා පිළිතුරු දුන්නා. 
"හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු ඊට එකතු කළා.

චිත්‍ර ශිෂ්‍යයාත් විද්‍යා ශිෂ්‍යයාත් එකතු වෙලා, 'ඩූ නොට් ඊට්' කැට ටිකක් හොයාගෙන ආවා.
"ඔයා මේවා කෑ යුතුයි." ඔවුන් සුරංගනාවියට කිව්වා.
"අනේ මේවා කන්නෙ කොහොමද?" ඈ බය වෙලා ඇහුවා. "ඩූ නොට් ඊට් කිව්වොත් කන්නට බැහැ නොවේද?"
විද්‍යා ශිෂ්‍යයා කල්පනා කළා.
"ඔයා කියන එක හරි. නමුත් හැම දෙයකටම විද්‍යාව තුළ පිළිතුරක් තියෙනවා." ඔහු කිව්වා. "මේ ඩූ නොට් ඊට්, ඊට් බවට පත් කළ යුතුයි. මං හිතන්නෙ, ඊට අදාල ප්‍රතික්‍රියා අයත් වෙන්නෙ, අකාබනික රසායනයට..."

"පොඩ්ඩක් ඉන්න." චිත්‍ර ශිෂ්‍යයා බාධා කළා. "ඒක ඇත්ත වශයෙන්ම අයත් වෙන්නෙ, කලාවට. විද්‍යාව තුළ විතරක් නෙවෙයි, සමහර ප්‍රශ්නවලට කලාව තුළත් පිළිතුරු තියෙනවා. සමහරවිට වඩාත් හොඳ පිළිතුරු..."
"නුඹ මොකක්ද යෝජනා කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා අමනාපයෙන් ඇහුවා.
"මකනය" චිත්‍ර ශිෂ්‍යයා සතුටින් කිව්වා. "ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දැමූවිට, ඊට් ලැබෙන බව නුඹට තේරෙනවද? වඩා සරලයි, ඉක්මන්."
"හොඳයි, එහෙම කරමු." ඔවුන් එකඟ වුණා.

ඩූ නොට් ඊට්වල ඩූ නොට් මකා දමා ඊට් ලබා ගත්තා. ඊට් කෑ හැකි බැවින්, සුරංගනාවිය ඊට් කෑවා. පාන්වල තිබුණු වතුර ඊට්වලට උරා ගත්තා. ඒත් වතුර උරාගත් ඊට් තවමත් සුරංගනාවියගෙ ඇඟ ඇතුළෙ.
"දැන් මොකද කරන්නෙ?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා. "නුඹට උත්තරයක් තියෙනවද?"
ඇත්තෙන්ම චිත්‍ර ශිෂ්‍යයාට උත්තරයක් තිබුණා. ඔහු පැන්සල අරගෙන, ඊට් ඉදිරියෙන් ඩූ නොට් ලිවූ නිසා, ඊට් නැවතත් ඩූ නොට් ඊට් වුණා. එතකොට සුරංගනාවිය ඒවා කෑවේ නෑ. කෑවෙ නැති නිසා ඇඟ ඇතුළෙ ඒවා නෑ.

"දැන් හරි. අපි එකතු වෙලා ඔබට උදව් කළා." චිත්‍ර ශිෂ්‍යයා හා විද්‍යා ශිෂ්‍යයා කිව්වා.
"ඒත් මම ආයෙම වළාකුලකට නැග්ගොත්, ආයෙමත් පාන්වලට වතුර උරා ගනීවි නේද?" සුරංගනාවිය ඇහුවා.
ශිෂ්‍යයන් කල්පනා කළා.
"නුඹට පාන් මකා දමන්නට බැරිද?" විද්‍යා ශිෂ්‍යයා ඇහුවා.
"බැහැ. පාන් කියන්නෙ, ලිව්ව දෙයක් නෙවෙයි." චිත්‍ර ශිෂ්‍යයා කණගාටුවෙන් කිව්වා.
"ඉතින් මම නුඹට කිව්වා නේද, විද්‍යාව තුළනම් මේ හැම එකටම පිළිතුරු තියෙන බව?" විද්‍යා ශිෂ්‍යයා ආඩම්බරයෙන් කිව්වා. "කරන්නට තියෙන්නෙ, බොහොම සරල දෙයක්: පාන් කෑව එක තෝරාගෙන, ඒක අන්ඩූ කළ යුතුයි."
"ඒ කිව්වෙ?" සුරංගනාවිය ඇහුවා.
"මොනවා? දිව්‍ය ලෝකයෙ පරිගණක නැද්ද?" විද්‍යා ශිෂ්‍යයා පුදුම වෙලා ඇහුවා.
"මුළින් ඇයට උදව් කරලා හිටපන්. ඉන් පසුව ප්‍රශ්න අහපන්." චිත්‍ර ශිෂ්‍යයා අමනාපයෙන් කිව්වා.
විද්‍යා ශිෂ්‍යයා, සුරංගනාවියට අන්ඩූ කරන අයුරු කියා දුන්නා.

පුරුදු නැති නිසා, ඇය අන්ඩූ කළේ පියවරෙන් පියවර.
එක වරක් අන්ඩූ කළා: ඩූ නොට් ඊට් ආයෙම ඊට් වුණා; සුරංගනාවිය ඒවා කෑවා.
දෙවරක් අන්ඩූ කළා: ඊට් ආයෙම ඩූ නොට් ඊට් වුණා; ඒ නිසා සුරංගනාවිය ඒවා කෑවෙ නෑ.
තෙවරක් අන්ඩූ කළා: එවිට සුරංගනාවිය පාන් කෑවෙත් නෑ.

පාන් කෑවෙ නැති හින්දා සුරංගනාවිය ආයෙමත් සැහැල්ලු වුණා. ඇය බොහොම සතුටු වෙලා, ශිෂ්‍යයන් දෙන්නාට ස්තුති කරලා, වළාකුලකට පැන්නා. වළාකුලේ වතුර ඇයට උරාගත්තෙ නැහැ. ඒ වෙනුවට, වළාකුල ඇයත් රැගෙන ඉහළ ගියා.
ශිෂ්‍යයන් දෙන්නා වාද කරමින් ගෙදර ගියා.

48 comments:

  1. මං මේ කල්පනා කලේ මට මේ කපේට දිවිය ලෝකෙනං යන්න වෙන්නේ නැහැ.. එහෙ යන්නත් ඉංගිරිසි පුළුවන් වෙන්ට එපෑ... නොදකින් මේවගේ කූර දිවිය ලෝකයක්.. :D

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් චිත්‍රපටි බැලුවනම් තේරෙනවා, මුලු විශ්වයෙම ඉන්න සියලුම ජීවීන් කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්ම බව. මේ වළාකුලුවලට ටිකක් ඉහළින් තියන දිව්‍යලෝකෙ ගැන කවර කතාද?

      Delete
    2. "මුලු විශ්වයෙම ඉන්න සියලුම ජීවීන් කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්ම බව"

      අර ස්ටාර් ගේට් සීරිස් එකේ බැලුවම මේක ඔප්පු වෙනවා. හෙන සයන්ස් තියරි වලින් හොයා ගන්න එලියන්ස් ල ඔක්කොම කතා කරන්නේ ඉංගිසියෙන්.. හෙහ් හෙහ්

      Delete
  2. ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවෙ.... හරිම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, සිඳු, හුඟාක් කාලෙකින් ලිව්වෙ. :)

      Delete
  3. පොඩි රුසියන් ගතියක් ඇගට එනවා..

    කියෙව්වට පස්සෙ ලුනුමිරිස් හට්ටියක් කාල පැය බාගයක් විතර වතුර නැතුව හිටිය ගතියක් ඔලුවට දැනෙනවා..

    සුපිරි ඈ .. හාන්ස් ක්‍රිස්ටියන්ලා කැලේ..

    ReplyDelete
  4. මාරයි. මාරම මාරයි!

    අපිට ජීවිතේ කොයිතරම් දේ තියෙද අන්ඩූ කරන්න පුලුවන් උනානම්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. අන්ඩූ කරන්න හිතෙන දේවල් තියෙනවා. ඒත් ටයිම් ටනල් එක්කින් ගිහින් ආයෙම ජීවත් වෙන්න හම්බුණොත්, ඔය දැනට කරල තියෙන ඒවම තමා ආයෙත් කරන්නෙ. :D

      Delete
  5. හෑහ්! මං ඒත් කල්පනා මොකද අද පාන්දර ජාමෙ අම්බානකට වැස්සෙ කියලා.. මෙයා පෝස්ට් එකක් දාලා, ඒකයි‍‍..

    මට ප්‍රශ්නයක් මතු වුනා.. ඇයි විද්‍යා ශිෂ්‍යයා සුරංගනාවිට මුලින්ම පාන් කාපු එක අන් ඩූ කරන්ට කීවෙ නැත්තෙ.? එහෙම කලානං අර ඩූ නොට් ඊට් කැට ටික ඊට් කර කර දඟලන්ට ඕන නෑ නෙව.. ඔතන මොකක් හරි ලොකු අභ්‍යන්තරයක් තියෙනවා.. මම හිතන්නෙ අපි ඒ ගැන අහන්ට 'දේශපාලන ශිෂ්‍යයා' ළඟට යා යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඕඕ, චිත්‍ර ශිෂ්‍යයා හරියටම කෙරෙන්න ඕන දේ කිව්වෙ නෑනෙ විද්‍යා ශිෂ්‍යයාට. ඒ හින්දා ටිකක් වටයක් යන්න වුණේ. ඒත් දේශපාලන ශිෂ්‍යයාගෙන් ඇහුවනම් ඕකට වෙනස් විග්‍රහයක් තියෙයි තමා. :D

      Delete
  6. රහයි....
    ආයේ මාරම රහයි...
    උදේ පාන්දර නිකන් ඔලුවෙන් හිටෝලා කනට ගැහුවා වගේ... හෙහ් කොයිල් වෙලා ගියා...
    පට්ට... :D

    ReplyDelete
  7. පට්ට පට පට අය්යෝ.... ඒක නං මරේ මරු....

    ReplyDelete
  8. මැට්රික්ස් එකේ තවත් එකක්.. වගේ.. එළ

    ReplyDelete
  9. මරු! හාන්සි ක්‍රිස්ටිනා ඇන්ඩසනා වගේ!

    ReplyDelete
  10. කාලෙකට පස්සෙ.

    මේක කියවල ඉවර උනාට පස්සෙ මිරිස් කරල් තුන කෑව වගේ තමයි. :D

    ReplyDelete
  11. මටත් තියෙනවා ලිස්ට් එකක්ම අන් ඩූ කරන්න . හැබැයි ඒවා අන් ඩූ උනොත් ඊට පස්සේ වෙච්ච දේවලුත් නෑ . ඔහේ තිබිච්චාවේ

    හැබැයි අපිට නම් පාන් පොල් සම්බල් පරිප්පු , දිව්‍ය භෝජන තමයි :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ කෑම කොච්චර රසද?

      Delete
  12. සුපිරියි!

    බිල්ගේට්ස් නම් කියාවි: Use (Windows) the Last Known Good Configuration feature ...

    ReplyDelete
    Replies
    1. :D පරිගනක විද්‍යාව දන්න අයට හුඟක් පිළිතුරු තියෙයි.

      Delete
  13. මාව නිකන් අන් ඩූ වෙලා වගේ ගියා ....

    ReplyDelete
  14. මගෙ ජීවිතෙත් ඔහොම අන්ඩූ කරන්න කැමති එව්ව තියෙනවා. හැබැයි එව්ව අන්ඩූ කලාම හොඳ එව්වත් අන්ඩූ වෙනවා.. ඔන්න ඔය හින්දා එව්ව එහෙමම තිබ්බාවෙ..

    අපරාදෙ අර සුරංගනාවි ගමේ මිනිහෙකුගෙන් ඇහුවෙ නැත්තෙ.. ඇහුවා නම් එයා අර බේකරියෙ පිටි අනන හැටි එව්වට අනන අයගෙ දාඩිය හො‍ටු මිශ්‍රවෙන හැටි පෙන්නනවා. එතකොට සුරංගනාවි වමනෙ කරනවා.. සැහැල්ලු වෙලා නිකංම උඩ යනවා.

    අම්මෝ සන්තෝසයි දකින්නත්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. සමහර දේවල් අන්ඩූ කරන්න තිබ්බනම් හොඳයි වගෙ හිතුණට, ඒ දේවල්වල අතුරු පල විදිහට හම්බුණු හොඳ දේවලුත් නැති වෙන්න පුළුවන්නෙ.
      පිටි අනන එක ගැන කිව්වහම මතක් වුණේ- ළඟදි දවසක මම උදේ වැඩට යනකොට, බේකරියකින් මිනිස්සු දෙන්නෙක් පාන් ට්‍රේ එකක් ගෙනත් ලොරියකට පටවනවා- දාඩිය පෙරාගෙන, කමිසවත් නැතුව. පඩිපෙළකින් නැගල එන්න තිබුණෙ- ඉතින් පාන් පෙරළෙනවට සපෝට් කරගෙන ආවෙ දාඩිය පෙරෙන තඩි බඩගෙඩියෙන් තමා! :D

      Delete
  15. මට හිතෙන්නේ මේක එන්.ජී.ඕ. ව්‍යාපෘතියක්. අපේ ජාතික ආහාරේ වගේ තියන පාන් කෑවහම බර වැඩි වෙලා දිව්‍ය ලෝකේ යන්න බෑ කියලා මහජනයාගෙ ඔලුවට දාන්නයි මේ හදන්නේ. විජාතික බලවේගයක් මෙතන ක්‍රියාත්නක වෙනවා.

    ReplyDelete
    Replies
    1. පිසුද තිසර. මේක ව්මිල වීරවංසගෙ පංචායුධ බලකායෙ ව්‍යාපෘතියක්. මෙයත් ඒකට සෙට්වෙලාද කොහෙද!

      Delete
    2. අහ්, නෑ නෑ. මමත් පාන් ප්‍රධාන ආහාරය කරගෙන ජීවත් වෙන, බත් කන්න ආස නැති කෙනෙක්. :D

      Delete
  16. කේක් දෙන්න වෙනවට පාන් ගැන ලියලා:D.

    ReplyDelete
    Replies
    1. :D ඕඕ, කේක් වෙනුවට පාන් කන්න.

      Delete
  17. අලුත් ආරක සුරංගනා කතාවක්. ඇයි නලිනිට ආයෙම ලියන්න හිතුනේ? අර කාටද වගේ මුඩු බිම් අත්පත් කරගැනීමේ පනත යටතේ බ්ලොගර් කාරයා බ්ලොග ආපහු පවරා ගනී කියලා බය හිතුනා වද්ද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක අමතකම වෙලා තිබුණෙ. ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලානෙ දැන්. තව ටික දවසක් ගියානම් ඔය කිව්වා වගේ පවර ගනී නේද? :D

      Delete
  18. මට කියන්න වචන නෑ!!! ආපහු පුංචි කාලෙට ගියා වගේ. සුපිරි කතාවක්, තාක්ෂණෙත් එක්ක අද කාලේ ශිෂ්‍යයන්ගේ පරිකල්පන හැකියාව ගැන පොඩි උපහාසෙකුත් එකතු කරලා තියනවා නේද? මම සාමන්යෙන් comment කරන්න කම්මැලි කෙනෙක්. එත් මේකට නම් නොදම බැරි වුනා.ඔයා නම් දක්ෂතා පිරුණු දොස්තර නෝනා කෙනෙක්... ග්‍රීම් කතා මතක් වෙනවා, මේ වගේ ආරකට තමයි ඒවත් ලියවිලා තිබුනේ, සාහිත්‍ය මාසේ හැමෝම තමන් කියවපු පොත් ගැන සඳහන් කරලා තිබුනට කාටවත් ග්‍රීම් කතා මතක් වුනේ නෑ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ග්‍රිම් කතා පොත් ළඟකදි පොත් සාප්පුවකවත් දැක්ක මතකයක් නෑ. ඒක වෙන්නැති කවුරුත් ඒ ගැන කතා නොවෙන්නෙ. මටත් අලුතින් එන ළමාකතාවලට වඩා මොකක්ද මන්දා කිට්ටුවන්තකමක් දැනෙනවා පොඩි කාලෙ කියෙව්ව කතාවල.

      Delete
  19. ඔය ප්ලේන් යද්දී සුරංගනාවියෝ හැප්පෙනවා ඇතිනේ.. පව් අප්පා.. මෙන්න මෙහෙට වෙලා පාන් කකා හිටියනම් හරි නේ.. මොකට ඔය වලාකුළු අස්සේ රිංගන්න යනවද මන්ද..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. සුරංගනාවියොන්ට තරහ ගිහින්ද දන්නෑ අර ප්ලේන් වගයක් අතුරුදහන් කෙරෙව්වෙත්. :D

      Delete
  20. මමත් නිතරම පරිගණකය එක්ක ගණුදෙනු කරන එකෙක් නිසා මට සැබෑ ජීවිතයේදි ඇත්තටම අන්ඩූ කරන්න තියෙනවා නම් කියලා නිරායාසයෙන්ම හිතුන තැන් තියෙනවා....උදේට කලිසමට ෂර්ට් එක යට කරලා පොඩ්ඩක් විතර වැඩි වෙච්ච දවසට...අන්ඩූ කරන්න තිබුනා නම් කියලා නිතරම හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. :D කොච්චර දේවල් තියෙනවද පරිගණකයත් එක්ක එහෙම අපිට හුරු වුණු? කොටින්ම නිකං ආශ්‍රයෙදි ලේසියෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන්න, අන්ෆ්‍රෙන්ඩ් කරන්නවත් බෑනෙ. එතකොට, කිව්ව වචන ඩිලීට් කරන්නත් බෑනෙ.

      Delete
  21. ඇයි නැතිවුණ දෙයක් ctrl + f ගහලා හරි search කරලා හරි හොයාගන්න පුලුවන්නම් ඒකත් සෑහෙන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. මොකක් හරි කොළයක්/ පොතක් වගෙ දේවල් එහෙ මෙහෙ දැම්මා වගෙ නෙවෙයි, හොයාගන්න ගිහාම.

      Delete
  22. ජීවිතේටම, මෙච්චර ලස්සණ සුරංගනා කතාවක් කියෙව්වමයි. මගේ හැමදේම අන්ඩූ කරන්ට තිබ්බා නම් කියලා හිතුණා...:D

    ReplyDelete
    Replies
    1. හුඟක් කාලෙකින් ලොග් වුණේ. ඉතින් අදයි කමෙන්ට් එක දැක්කෙ. ස්තුතියි පොඩ්ඩි.
      ඔය නිකමට හිතුණට අන්ඩූ කරන්න, ආයෙ හිතෙන්නැද්ද එහෙම කළානම් අපි නෙවෙයි කියල. :D

      Delete
  23. වැලන්ටයින් එකට සුරංගනාවියක් වැඩල :P

    ReplyDelete
  24. පොඩ්ඩි සුරංගනාවි ටික දවසකට කලින් වැඩල තියෙන්නෙ. මම කමෙන්ට් එක දැක්කෙ පරක්කු වෙලානෙ. මාස ගානකටවත් ලොග් වෙන්නෙ නෑනෙ.

    ReplyDelete