Thursday, August 4, 2011

බ්‍රැන්ඩි

දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.

දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.

"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.

එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.

"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.

ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."


"අන්තිම දවස නේ?" කවුදෝ කියයි.
ලක්මාල් "හ්ක්." කියා නිහඬ සිනාවක් දක්වයි.
"සර් ආවෙ නෑනෙ ඊයෙ වැඩ සටහනට. අපි බලං හිටියා නෝනත් එක්කම එයි කියලා."
ලක්මාල්ගේ සිනහව අඳුරු වෙයි.
"ඊයෙ වැඩ වගයක් තිබුණා සමිත. අදින් පස්සෙ මෙහෙ නැති හින්දා සේරම ඉවරයක් කර ගන්ඩ ඕනෙනෙ. කොහොමද, අපේ වැඩේ හොඳට කෙරුණද?"
"හොඳට කෙරුණා සර්." කීප දෙනෙක්ම ඉදිරිපත් වී ළමා නිවාසයෙහි සිල් ඇත්තන්ට පෙරදින  දුන් දානය පිළිබඳව විස්තර කියති. ලක්මාල් අතරින් පතර ප්‍රශ්නයක් නගා උනන්දුව පෙන්වයි.

"හොඳයි හොඳයි. වැඩේ හොඳට කෙරිලා තියෙනවා. අපේ කට්ටිය එකතු වුණොත් ඉතින්, ආ?" කිට්ටුවෙන්ම සිටින්නාගේ උරහිසට තට්ටුවක් දමන ලක්මාල් සිය කූඩුව තුළට රිංගාගනී. බෙල්ල යට කසන ලද බළලුන් සමූහයක් මෙන් පිරිස පුරු පුරු ගාති.

"නිහතමානි මනුස්සයා..... අපරාදෙ."


සරා නාන කාමරයෙන් එළියට එන්නේ මේ නාඩගමේ අවසානයටය. ඇගේ විසිර තිබුණු හිස කේ යළි පීරා සකසා ඇත; වත්සුණු යළි තවරා වියැකී යන සම ආයිත්තම් කර ඇත; මේ දැන් දැවටූ පුසුඹ ඉස්මොළ හාරාගෙන යන තරමි. මුහුණ සිනහවකින් ආලෝකමත්ව ඇත.

"මේ, ඔයා සර්ජිකල් ස්ප්‍රීට්ද දාන්නෙ?"
"නෑ, වයින් ස්ප්‍රීට්."
"බලාගෙන ගිනි ගනී."
"ගිනි, නේද?"
අවලම් සිනහවක් නැගෙයි. සරා දෙකේ පන්තියේ කොල්ලන් දෙස හෙළන බැල්මෙන් බලා අසුන් ගනී.

චමිලා මුහුණ පුරා සිනාවේගෙන අවුත් සරාගේ මේසයෙහි තැවරෙයි; එහි දාර අත්ලෙන් පිරිමදින ඈ ආදරයෙන් අමතයි.
"සරා මිසී."
"ගුඩ් මෝනිං." සරා නළවමින් කියයි.
"සරා මිසී ආවෙ නෑනෙ ඊයෙ."
"ඊයෙ සරා මිසීට හුඟාක් වැඩලු." එකෙක් හොට දමයි. "සිල් ගත්තලු, කොහොමද..."
"සිල් ගත්තා තමා." සරා බොරු කෝපයක් මවාගෙන කියයි.
"ෂුවර්ද? ඇත්ත කියන්න, හාමුදුරුවො දුන්නු සිල් සේරම ඔයා ගත්තෙ නෑ නේද?"
"අරන් බෑනෙ. නේද සරා?"
"එන්න එපා." සරා නළවමින් කියයි.
"ඕක මචං ඔය බුදු හාමුදුරුවො සිල් දේසනා කරපු පිළිවෙලේ තියෙන වැරැද්ද." එකෙක් කියයි. "මුසාවාදා කියන්ඩ තියෙන්නෙ හතරවෙනියටනෙ. මුල් තුනම කියන්නෙ බොරුවට."

සරා සිනාසෙයි.

ඇගේ සිනාවෙන් සතුටු වෙන චමිලා නැවතත් කියවයි. "අපි ඊයෙ සරා මිසීගෙ කෝපි බෙදුවා උදේ තේවලට."
"තේවලට කොහොමද චමිලා කෝපි බෙදන්නෙ?" එකෙක් අසයි. කණිටු සේවිකාවක නිසාවෙන් චමිලා ඔවුන් හා එකටෙක නොකියයි.

"උදේට උණු කෝපි එකක් තිබ්බනම් හොඳයි අයිස් කෝපිවලට වඩා." කිසිම දෙයක හොඳක් නොදකින හේරත් කියයි.
"අයිස් කෝපි හොඳයි." හේරත් සමග ජන්මාන්තර වෛර ප්‍රියන්ති පිළිතුරු දෙයි. "උණු කෝපි බීලා අර ඌස්නෙ ඉන්නෙ කොහොමද?"
"හැබැයි සරාගෙ කෝපි එකනම් නියමයි, ආ." හර්ෂ තෘප්තිමත් හඬින් කියන්නේ ප්‍රියන්ති හා හේරත් අතර වාග් සංග්‍රාමයක් ඇති වීම වළක්වනු පිණිසය.
සරා ආඩම්බරකාර සිනහවක් පායි.

"බ්‍රැන්ඩි හින්දා ඒ රහ."

"මොකක්?" හේරත්ගේ ඇස් දොට්ට පැනීමට ආසන්නය. "පෝය දවසෙ, සිල් සමාදන් වෙලා ඉන්න, පොඩි ළමයින්ට දුන්නු කෝපි එක බ්‍රැන්ඩි දාලද හැදුවෙ?"
"එහෙම තමයි අයිස් කෝපි හදන්නෙ." සරා ටිකක් සැරෙන් කියයි.
"වෙන දවසකට කමක් නෑ. පෝය දවසෙ..."
"ඇයි, පෝය දවසට රහට බොන්න තහනම්ද?"
"බ්‍රැන්ඩි..." හේරත් අත වනා පසෙකට හැරෙන්නේ කතා කිරීමෙන් පලක් නැති වග හඟවනු පිණිසය. "හරි වැරැද්ද දන්න කෙනෙක් එක්ක එපායැ කතා කරන්ඩ. රහ!"
"ඒකෙං මේකෙං ආයෙනං ඉතින් හර්ෂයට කසාද හොයලා හමාරයි." ප්‍රියන්ති සිනාසෙයි. "දැන් කොහොමද උඹලගෙ අම්මා කටක් ඇරලා කියන්නෙ මත්පැන් පොදක් කටේ තියලා නැති දරුවා කියලා?"
"සමහරවිට දැන් එකක් හරියයි. නොබොන එකද දන්නෑනෙ පරහට හිටියෙ." සමිත සිනාවට එක් වෙයි.

"එකක් කියන්නම් හර්ෂ." හේරත්, බණක් දෙසීම පිණිස, ශ්‍රාවකයකු හමු වීමේ ප්‍රීතියෙන් එදෙසට හැරේ; හර්ෂ සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ සිත් නොරිදවයි.
"එකයි." සමිත අහක සිට ගණන් කරයි.
හේරත් ඔහු දෙස නොබලා කතාව කරගෙන යයි.
"ඔය අම්මට ඕනෙ විදිහටයි පුංචි අම්මට ඕනෙ විදිහටයි ඔක්කොම බල බල හිටියොත්නම් පුතා, උඹට මේ ආත්මෙ කසාදයක් බඳින්ඩ වෙන්නෙ නෑ."
"මම අවුරුදු හතළිස් පහක් වෙනකං බලනවා. එතකනුත් කවුරුවත් හම්බුණේ නැත්නම් සරාව බඳිනවා!" හර්ෂ කියන්නේ අවධානය වෙනතකට හැරවීම පිණිසය.

සරා නැවතත් දෙකේ පන්තියේ කොල්ලන් වෙත හෙළන බැල්ම හෙළයි.

"සරා එක්ක යන්ඩ එහෙම ලේසි නෑ බං..."

කතාව නවතින්නේ රණසිංහ නැවතත් සීරුවෙන් සිට දොර විවෘත කිරීමට සූදානම් වන හෙයිනි.

ලාච්චු ඇරේ; ලියකියවිලි මේස මතට එයි; පරිගණක බුම්ම් ගාති.

"ගුඩ් මෝනිං." සිය බ්‍රීෆ් කේසය අතට ගත් රණසිංහට ගොරවන විජේනායක කාර්යාලයට ඇතුළු වෙයි. ඇතැම්හු නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් හදති; ඇතැම්හු 'වැඩ නිසා ළඟට එනකං දැක්කෙ නෑ' මෙන් බලා කලබලයෙන් නැගිට සිනාපාති.

'තොපි සේරටම හෙණ වැදිය' වැනි හඬින් "ගුඩ් මෝනිං" කියාගෙන විජේනායක කූඩුවට රිංගා ගනී. රණසිංහ බ්‍රීෆ් කේසය රැගෙන ඔහු පසුපසින් ඇදෙයි.

"ගුඩ් මෝනිං සර්." හේරත් සද්දෙන් කියයි. සමිත ඔහු දෙස අවඥාවෙන් බලයි.

එවර පිරිස ඇත්තටම ලියකියවිලි අදිති.

හරියටම නවයයි දහයට, නව පත්වීමෙහි වැඩ භාරගනු පිණිස රතු පැහැ ටයි පටියක් හා ඉදිරිපස උල් වූ සපත්තු ජෝඩුවක් පැමිණෙයි. විජේනායකගේ කූඩුවෙන් ලක්මාල්ගේ කූඩුවට මාරුවන ටයි පටිය හා සපත්තු ජෝඩුව එහි කාර්ය බහුල වෙයි.

"සරාත් ගියොත් හොඳ නැද්ද ඇතුළට?"
"මොකටද?" සරා ඇද පැද අසන්නේ නොතේරෙන නියායෙනි.
"නෑ ඉතිං, ලක්මාල් සර්ගෙ වැඩ සේරම බාර දෙන්ඩ එපැයි."
"එන්න එපා." සරා ගයයි.

තත්පර කටුව හැල්මේ දුවයි; විනාඩි කටුව පනියි; හෝරා ගෙවෙයි.

ෆයිල් කවර මේස මතට එයි; ඇරෙයි; තවත් කොළ කිහිපයක් ගිලගෙන නැවත කොහේදෝ යයි.

ඉලක්කම් හුවමාරු වෙයි; අකුරු වචන වෙයි; වාක්‍ය වෙයි; මැකෙයි; නැවත ලියැවෙයි.

චමිලා එහෙ දුවයි; මෙහෙ දුවයි. ඉස්පාසුවක් ඇතත් නැතත් සරා අසල මඳක් නවතින ඈ සිහින් හඬින් යමක් කියයි. සරාගේ පිළිතුරු අසා සතුටු වෙයි.

රණසිංහ දොර අරියි; වසයි.

ෆයිල් කවරයක් ඕනෑවට එපාවට පෙරළන හර්ෂ, එය පසෙක තබා පුටුවෙහි දිග ඇදී ඇඟමැළි කඩයි.
"අදනං කිසිම වැඩ කරන මානසිකත්වයක් නෑ."
"උඹට වෙනදට එහෙම එකක් තියෙනවද?"
"නෑ බං, අඩු ගානෙ වැඩක් නොකරන මානසිකත්වයක්වත් තියෙනවනෙ."
"ලක්මාල් සර්ට කියමුද පාටිය ටිකක් කලින් ගන්ඩ කියලා?"
ප්‍රියන්ති ඇසෙන් සරාව දක්වයි.
"සරා" සමිත අමතයි. සරා හොර සිනාවක් පාමින් එදෙසට හැරෙයි.
"පාටිය කලින් ගමුකො."
"කලින් ගන්නෙ කොහොමද?" සරා දැනමුතු හඬකින් පිළිතුරු දෙයි. "වැඩ බාර දීලා ඉවර වෙන්ඩ ඕනෙනෙ."
"වැඩනම් ඉතින් පස්සෙ සරාට වුණත් හෙමීට බාර දෙන්ඩ බැරියැ."
"සරා සේරම වැඩ දන්නෑනෙ, නේද සරා?"
"දවල්ට කාලා පැයක් ගියෙ නෑ." සරා බොරු කෝපයක් මවා ගනී.
"දවල්ට හරියට කෑවෙත් නෑ."
"ඕක කලින් ඉවර කරගත්තහම අනික් වැඩේටත් ටිකක් කලින්ම සෙට් වුණහැකි." සමිත සිහි කරන්නේ කාර්යාලයීය සාදයෙන් ඉක්බිති වෙරළ අසබඩ වාඩියෙහි සූදානම් කර ඇති මත්පැන් සාදය පිළිබඳවය.

    ***************

අඳුර යන්තමින් පැතිරෙයි. වාහන, නළා හඬ පතුරමින් කෝපයෙන් දිවෙති. මග දෙපස පහන් කණුවලින් එළියක් වැනි යමක් ගලයි. සරා වීදි කොණෙහි සුපුරුදු ස්ථානයේ රැඳී සිටී.

සාදයෙන් ඉක්බිති යළි ගැල්වූ විලවුන් සුවඳ අවට පැතිරෙයි. මග යන්නෝ අමුතු විදිහකට ඈ දෙස බලති. ඒ බැලුම් ගණන් ගන්නේ සරා නොවේ.

ඈතින් කාර්යාලයෙහි දොරකඩ දිස්වෙයි. උදෑසන වීදුරු දොරටුව අසල රාජකාරි කළ රණසිංහ, දැන් අඳුරු කාර්යාලයීය ගරාජයේ සිට මහමගට බසින වාහන සඳහා ආවතේවකම් කරයි. මත්පැන් සාදය සඳහා යනු වස්, වාහන ඇතියවුන් දෙතුන්දෙනා කැමැත්තෙන්ම සෙස්සන් නංවා ගනිති. නොබොන්නවුන් සමුගෙන නිවෙස් බලා පිටත් වෙති.

ලක්මාල්ගේ රත් පැහැ කාරය රණසිංහගේ සංඥාව අනුව මගට බසී. සරා සූදානම් වන්නීය. වීදියේ වාහන හා මුසුවන කාරය අකමැත්තෙන් මෙන් ඈ අසලදී වේගය බාල කරයි. සරා පදික වේදිකාවෙන් මහමගට බසින්නේ දොර විවර කරනු වස් අතද දිගු කරගෙනය. එහෙත් ඉදිරිපස වීදුරුව පහත් වනු දැක ඇය මොහොතකට නවතින්නීය. අසුන මත විසිතුරු ආවරණයෙන් යුත් තෑගි පෙට්ටියක් වෙයි.

ලක්මාල් රියැදුරු අසුනේ සිට දිග ඇදී ඈ අමතන්නේ හදිසිය හැඟවෙන කටහඬිනි.

"අදනම් බෑ සරා. හිතුවට වඩා වෙලා ගියා. දැන් කෙළින්ම යන්න ඕන වාඩියට, කට්ටියත් එක්කම. නැත්නම් හරි නෑ."

ඇගේ පිළිතුර බලාපොරොත්තු නොවෙන ලක්මාල් රැගත් රිය, වීදුරුව නොඔසොවාම ඉදිරියට ඇදෙයි.

කුමක් කළ යුතුදැයි නොහඟින සරා ඈත දිවෙන කාරය දෙස හිස් සිතින් බලා සිටී. අඩ අඳුරේ අනෙක් වාහන හා මුසු වන රත් පැහැ කාරය වෙන් කොට හඳුනාගැනීම අපහසුය; බොඳ නෙත් තුළින් ඒ හඳුනාගැනීම වඩාත් අපහසුය.

ඈ නැවත පදික වේදිකාවට නගින්නීය. බස් නැවතුම්පොළට යා යුතුය. මේ වේලාවට බස් තිබෙනු විය යුතුය. පැයක්, එකහමාරක් වැනි කාලයක් තුළ ඇයට නිවෙසට යාමට හැකි වනු ඇත. ලක්මාල් කියනුයේ සත්‍යයකි. සාදයට ඔහු ප්‍රමාද වීම නුසුදුසුය. ඈ ඒ පිළිබඳව කලින් කල්පනා කළ යුතුව තිබුණි. සමහරවිට පෙර දිනම ඒ පිළිබඳව කතා කරගෙන තිබුණානම් අද මේ සිදුවීම වළකා ගත හැකිව තිබුණි. මාරු වීම පිළිබඳව සාකච්ඡා කිරීම ලක්මාල් හිතාමතාම මග හැරියේ හේතුවක් ඇතිව විය යුතුය. ඉඩ ලද විටෙක ඔහු නැවත පැමිණෙනු ඇත.
සමු ගැනීමක් අවශ්‍ය නොවේ.

සමු ගැනීමක්....?

සරාට ඉකි ගැසෙන්නේ සිතීම කල් දමමින් තිබූ දේ අනපේක්ෂිතවම සිදු වූ හෙයිනි. මග යන්නෝ අමුතු විදිහට බලනු සරාට තව දුරටත් නොපෙනෙයි. ඇයට අවැසි මෙතැනින් දිව යාම පමණෙකි. සුවඳ කැවූ ලේන්සු පොඩියෙන් දෙනෙත් පිසිමින් සරා පිය මනින්නේ කොහේ යන්නේදැයි නිනවු නැතිවය.

"සරා මිසී."
ටිකක් ඈතින් ඇසෙන වෙහෙසට පත් කටහඬින් සරා නැවතෙන්නීය. රණසිංහ කාර්යාල දොර දෙස හැරි හැරී බලමින් ඈ වෙත කඩිනම් ගමනින් එයි.
 

"චුට්ටක් ඉන්ඩ මිසී. තව ටිකකින් මං ඕෆ් වෙනවා. මාත් හෝමාගම බස් එකේමයි යන්නෙ. මිසීව ගෙදර ළඟින් බස්සන්නං. ඔහොම යන්ඩ එපා."

58 comments:

  1. කථාවක් කියනකොට ඒකෙ තියන්න ඕනෙ යමක් කෙනෙක්ට හිතා ගන්න, මේ කථාවෙ ඒ ගුණය ඉහලින්ම තියනවා. කථාවෙ නොකියා කියන ටික තමයි ඒකෙ හරය වෙන්නේ, මම හැමදාම කියනව වගේ ඔබ නම් නියම ලේඛිකාවක්.
    ජය!!

    ReplyDelete
  2. මම දන්න තරමින් ඔය වගේ චරිතයක් කාර්යාලයක නැතිවෙන්නෙ කලාතුරකින්...පෙළ ගැස්වීම හරිම අපුරුයි..

    ඒක නෙවෙයි,,සරා ඉටි කොලයක් එලාගෙන බස් ස්ටෑන්ඩ් එකේ නිදාගනිද /...එහෙම නිදා ගත්තොත් එයා අශීලාචාරද / එහෙම නොකලොත් ශීලාචාරද ?........

    ReplyDelete
  3. නියම ලියවිල්ලක්නේ

    ReplyDelete
  4. බ්‍රැන්ඩි..???සරා...සිල් පද...

    කතාව බලලා අන්තිමට ලකී අහපු ප්‍රශ්නේ ගාව ඇස් ගෙඩි දෙක නතර උනේ...ඒකත් හොඳ පැත්තක්...

    ශීලාචාර...?ඇත්තටම සරා ශීලාචාරද..?ඇත්තටම හර්ෂ මොකටද 45ක් වෙනකල් බලං ඉන්නේ..?සරා හොඳයිනේ නේද..?

    මං දන්නේ නැහැ මට පිස්සු වගේ...

    ReplyDelete
  5. එළ... වෙද මහතාගේ කීම අනුමත කරමි..
    එපා කඳුලැල් සලා හඬවන්න ඔබේ සිත..
    මල් සුවඳ ගලා සනසවයි ඔබේ සිත...

    ReplyDelete
  6. මමත් කියනවා ඔබ නියම ලේඛිකාවක් ..මේ චරිත එකක්වත් මනස් චරිත නෙමේ ..අපිට මේ හැමෝම කවද හරි හමු වෙනවා . ඔයාගේ කතා කියද්දී ඔය හැම එකකටම මන් දන්නා කෙනෙක් ආරුඩ කරන්න මට පුළුවන්

    ReplyDelete
  7. මේ කතාවේ චරිත අපට නිතරම හමුවෙන සුපුරුදු චරිත.. ඔය කතාවේ එන ලක්මාල් හා සරා දෙන්නාම බොහෝ වෙලාවට ඉන්නේ ඔය රාමුවේමයි..

    හොද නිර්මානයක් ....

    ReplyDelete
  8. මේ සරාල කියන අය අමුතුම චරිත. හැම කාර්යාලයකම වගේ ඉන්නව. ඒ අය මොකක් ‍හෝ දෙයක අතරමං වීමෙන් තෘප්තියක් ලබනව. එක අතකින් ස්ථාවරයක්, හෙට දවසක් නැති දේවල් තුළ අතරමං වීම තුළ ඊටම අයත් මිහිරක් ඇති.
    මොන දේද සදාකාලික..

    ReplyDelete
  9. එක දිගටම කියෙව්වා...මොනවා කියන්නද හිතාගන්න බැහැ...

    ReplyDelete
  10. නියම ලියවිල්ලක්!

    ReplyDelete
  11. ඇත්තටම ලස්සනයි අක්කෙ.

    ReplyDelete
  12. නැවතත් සිත් ඇද ගන්නා සුලු.. ලියන අයට ආදර්ශයක් ගත හැකි කතාවක්..

    ReplyDelete
  13. සරා ගෑන මහා දුකක් හිතේ ඈතිල්ලීගෙන ගියා...

    උපරිමයි !!!! ජය !!! :)

    ReplyDelete
  14. ලකීගේ ප්‍රශ්නය මමද අසමි.ඉටි කොලයක් එලාගෙන ඇත්තටම නිදාගනියිද?

    ReplyDelete
  15. මම එක දිගට කියව ගෙන ගියා. ආයේ දෙවෙනි පාරටත් කියෙව්වා. ඒත් මට හිතෙනවා ඔයා කියන කතාවෙන් එහා තවත් කතාවක් මේකේ තියෙනවා කියලා.

    නලිනිගේ රටාවට ඉතින් අපි පිස්සු හැදුනේ නැත්නම් ඇති.

    ReplyDelete
  16. දිනෙන් දින ම තවත් හැඩවන නලිනිගේ ලියමන්. දකින්නත් ආසයි නලිනි.

    කතාවේ චරිත හරි ශක්තිමත්. සරා නම් මනා සේ නිර්මාණය වී තියෙනවා. ඉතාමත් ඉහළින්.

    සොඳුරු ලේඛනයට මෙන්න උදාහරණ. මහා ලොකු දේවල් නොවේ.

    "තත්පර කටුව හැල්මේ දුවයි; විනාඩි කටුව පනියි; හෝරා ගෙවෙයි.

    ෆයිල් කවර මේස මතට එයි; ඇරෙයි; තවත් කොළ කිහිපයක් ගිලගෙන නැවත කොහේදෝ යයි.

    ඉලක්කම් හුවමාරු වෙයි; අකුරු වචන වෙයි; වාක්‍ය වෙයි; මැකෙයි; නැවත ලියැවෙයි.

    චමිලා එහෙ දුවයි; මෙහෙ දුවයි."

    මේ කතාව ඔයාගේ අනික් නිර්මාණ වලටත් වඩා උසස් මට්ටමක තියෙනවා.

    ReplyDelete
  17. එක එක පැති වලට ගියා කතාව කියෝගෙන යද්දී---

    ReplyDelete
  18. කථාවේ ගැලීමත් එක්ක චරිත මාරුව අපූරුවට හසුරවා තිබීම තුළින් කාර්‍යාලයේ සිදුවන පෙරළිය ලස්සනට මතුකරනවා. එතැන කලබගෑනිය, පිල්මාරුව වචනයෙන් නොකියා කීම රචනයේ දකින විශේෂයක්. කවදත් ගෙරහිල්ලට ලක්වෙන රණසිංහලා තමයි අසරණ වෙලාවට පිහිටවෙන්නේ.

    බ්‍රැන්ඩි - අලුත් බෝතලයක පරණ ඒවා පිරවීමද, පරණ බෝතලයක අලුතින් පිරවීමද කියන එක හිතන්න පෙළඹ වූවා.

    නංගී, විවිධත්වයෙන් පිරුණ ඔබේ ලිවීම් එකතුවෙන් තවත් ලස්සන ඉදිරිපත් කිරීමක් රසවින්ඳෙමි - Hat-off.

    ReplyDelete
  19. අනේ මන්දා, දොස්තර නෝනා ඉස්පිරිතාලෙට අමතරව තව කාර්යාල වලත් වැඩ කරනවද? නැත්තන් මෙච්චර හොඳට චරිත සජීවී කරණය කරන්නෙ කොහොමද?
    වෙනද කියන ටිකම තමයි.
    "විශිෂ්ටයි".

    ReplyDelete
  20. නොකියා කියන දේ අති විශිෂ්ටයි නලිනි. නිර්මානය උපරිමයි.
    මැණික්

    ReplyDelete
  21. මේ වගේම පරිසරයක ඉන්න කෙනෙක් විදියට මට මේකෙ රසය අනිත් අයට වඩා විදින්න පුලුවන්. මෙතනදී සරා නිදාගන්නෙ කොහේද කියන එක වැදගත් දෙයක් නෙවේ කියලයි මම හිතන්නෙ. මොකද මේ වෙනකොට ඛේදවාචකය සිද්ධවෙලා ඉවරයි.
    //ඉඩ ලද විටෙක ඔහු නැවත පැමිණෙනු ඇත.සමු ගැනීමක් අවශ්‍ය නොවේ.//
    හිත හදාගන්න(රවටාගන්න) තියන්නෙ ආන්න ඒ ටික විතරයි.

    ReplyDelete
  22. ලස්සනට ලියල තියෙනවා. ආශාවෙන් කියෙවුවා...

    ReplyDelete
  23. නලිනි හැකිනම් මේ පැත්තෙත් එන්න. http://kavimuthumal.blogspot.com/

    ReplyDelete
  24. මම දන්න විදිහට මේ කථාව ඇත්ත කථාවක් කෙටි කථාවක් බවට හැරවීමක්.... නිර්මාණශීලීත්වය ගැන කියන්න තියෙන්නෙ හැමදාම කියන එකමයි.....

    ReplyDelete
  25. ලඟ්කදි කියෙවු හොඳම කතාව

    ReplyDelete
  26. //ඉඩ ලද විටෙක ඔහු නැවත පැමිණෙනු ඇත.
    සමු ගැනීමක් අවශ්‍ය නොවේ.//

    ...හිත හොඳ ගෑනි.....

    ReplyDelete
  27. @ වෙද ගෙදර මහ වෙදනා: බොහොම ස්තුතියි. මම ඇවිත් කියවලා යනවා ඔබගෙ ලිපි. කමෙන්ට් කරගන්න නොතේරේ.

    @ Luckey: අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ගැන සිතා ගැටළු ඇති කරගැනීම අනවශ්‍යයි. සරා පිළිවෙලට අඳින පලඳින, ලේන්සු පාවිච්චි කරන කෙනෙක්නෙ. ඒ කියන්නෙ සීලාචාරයි. :D

    @ නදී: :D බොහොම ස්තුතියි කියෙව්වට.

    @ මාරයාගේ හෝරාව: අන්තිම වාක්‍යය සමග සපුරා එකඟ වෙමි.

    ReplyDelete
  28. @ මාතලන්: සරා සඳ සොමි ගුණය අගැයෙන ලොවක ඈ යළි උදා වේවා. ;-)

    @ බින්දි: එහෙම අය අප අවට ඕනෙ තරම්. අපි පිළිගත්තත් නොගත්තත්.

    @ Gimhani: ඔව්, සමාජයේම කොටසක්.

    @ ```Outsider```: අතරමං වීමෙත් එක්තරා මිහිරක් ඇති, අනිවාර්යයෙන්ම.

    @ ප්‍රසංග: හුඟක් දේවල් එහෙමයි. :-)

    @ පූසා: නියම කියවිල්ලක්. ;-) ස්තුතියි කියෙව්වට.

    ReplyDelete
  29. @ Kasun: බොහොම ස්තුතියි මල්ලි.

    @ Weni: බොහොම ස්තුතියි.

    @ ජීවිතේ මල්: මට හමුවුණු එවැනි චරිතයක් ගැන හිතලයි ලිව්වෙ. මටත් හුඟක් දුක හිතුණා ඇය ගැන.

    @ වෙද ගෙදර මහ වෙදනා: මම හිතන්නෙ නැහැ.

    @ සුජීව: :-) බොහොම ස්තුතියි. මම දැන් මුරුංගද නැද්ද නොබලා ගහේ උඩටම නැගගෙන නැගගෙන යමි. මොකද, අද හිත සන්තෝස වෙන දෙයක් ඕනෙ වෙලා ඉන්නෙ. :D

    @ Il mondo di una povera pazza: හැම දේකම වචනවලින් නොකියවෙන කතාවක් තියෙනවනෙ. :-)

    ReplyDelete
  30. @ ItalyDilan: එක එක පැති....

    @ ඩීන් අය්යා: ඇත්ත අය්යා, නොහිතන තැන්වලින් තමයි අන්තිමට පිහිට ලැබෙන්නෙ. ඒ හුඟක් වෙලාවට, රණසිංහ වගේ දුක් කරදර මැද ඉන්න මනුස්සයෙක්ගෙන්.
    බ්‍රැන්ඩි- සිල්වතුන්ගෙ ජීවිත රස කිරීමට යෙදවුණු තහනම් රසය.

    @ පොත් ගුල්ලා: සිද්ධියට පාදක වුණු කෙනාව දුටුවෙ රෝහලේදි. නමුත් ඒක ඒ තරම් පොදු අත්දැකීමක් නෙවෙයිනෙ. කාර්යාලයක් පසුබිමට යොදාගත්තෙ ඒ නිසා.

    ReplyDelete
  31. @ මැණික්: බොහොම ස්තුතියි.

    @ රාජ්: ඛේදවාචකය සිදුවෙන බව දැන දැනම, ඒ ගැන නොසිතා ජීවත් වෙන අය.

    @ ප්‍රසන්න: බොහොම ස්තුතියි.

    @ සුජීව: ඇවිත් බලන්නම්.

    @ අභීත: ඔව්, ඔව්. මම ලක්මාල් කියලා වෙනස් කරලා තියෙන්නෙ අභීත කියන නම තමයි. :P

    @ Obserever: බොහොම ස්තුතියි.

    @ සපතේරු උන්නැහේ: හිත හොඳ ගෑනි.... ඉතුරු ටික? :D

    @ කතන්දර: බොහොම ස්තුතියි.

    ReplyDelete
  32. නියම ලියවිල්ලක් චන්දිමා අක්කේ.
    මට නම් මේකෙන් කියවෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න දෙපාරක්ම කියවන්න උනා. මොකද අක්කගේ ලියුම් රටාවට මම් ගොඩක් ම අලුත් නිසා.

    මේ ලිපියට සම්බන්ධ නැති උනත් ඔය බ්‍රැන්ඩි වලට මධ්‍යම ස්නායු පද්ධතිය සම්පීඩනය කිරීම වගේ දේඅල් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවද ? බය උන කෙනෙක්ට බ්‍රැන්ඩි ටිකක් දීම සුදුසුයිද ? වෛද්‍යවරියක් ලෙසෙ ඔබේ පිලිතුර අපේක්ෂා කරමි !!!!

    ReplyDelete
  33. [[මම දැන් මුරුංගද නැද්ද නොබලා ගහේ උඩටම නැගගෙන නැගගෙන යමි. මොකද, අද හිත සන්තෝස වෙන දෙයක් ඕනෙ වෙලා ඉන්නෙ. :D]]

    අනේ මං හැමදාම කියන විදිහට අහිංසක විචාරයක් ලිව්වේ. ඔයා එනවා මෙතන එලවලු බිස්නස් කරන්න.

    හිත අප්සෙට් නම් ඕන ගහක නැග ගන්න. හැබැයි මතක ඇතුව ආපහු බහින්න පුළුවන් තරමට නැග ගන්න.

    නැත්නම් බ්‍රැන්ඩි ටිකක් අරන් යන්න.

    @මධුරංග: මචෝ උඹට තිස්සෙම බය වෙන්නවත් හිතුනද?

    ReplyDelete
  34. නියම කතාවක් නලීනි අක්කා, සමාජයේ කොහොත් වෙන සිදුවීම් හරි අපූරුවට ලියලා තියෙනවා. ඔබේ ලිවීමේ හැකියාව උපරිමයි. !

    ReplyDelete
  35. මේ දවස්වල Rani Manicka ගේ The Rice Mother කියන පොත (won the South East Asia and South Pacific Region 2003 Commonwealth Writers’ Prize ) කියවනවා. ඒ පොතේ මෙන්න මේ ටික දැක්කාම මගේ හිතට ඉබේටම ආවේ සරා.

    “I thought I had grasped the moon that day and it was many, many years later that I realized it was only the reflection of the moon in a blue plastic pail that I had touched. The moon is beyond my grasp. Always has been and always will be. It was time that has finally revealed that to me…….”

    ඇහැට කඳුලක් එක් කරන තවත් එක් අවාසනාවන්ත ගැහැනියකගේ චරිතයක්.... අපූරුවට ගොඩ නගලා.

    ReplyDelete
  36. මාරයි නලිනි . . . . හැමදාම වගේ නියමයි . . .

    ReplyDelete
  37. මේක නම් මාරම කතාවක්...

    ReplyDelete
  38. රටාවනම් ඉතින් කොහොමත් එළනේ.....

    138 හෝමාගම බස් නැති උනොත් තමයි රණසිංහට වැඩේ දෙල් වෙන්නේ....

    ReplyDelete
  39. බොහොම කාලයක් ඔෆිස් වල ඒ ජීවිතේට බැණ බැණ වැඩකළ මට දැන් ආපහු ඒ ජීවිතේ හොඳයි කියල හිතෙන තරමට ඔබේ කතාව මාව බැඳ ගත්ත.. දිගු කලක් එක තැනක සේවයකරන කෙනෙකුට සාමාන්‍ය සිදුවීමක් වෙන දේ පවා ඔබ අපුරුවට රසට ලියනවා. ඔක්කොම ඉහලින් සටහන් කල ය කියන දේ ඇත්ත.. ඔබේ නියම ලේකිකාවක් .. එකයි මන් අර ලියපු නැති දවස් වලත් එබිලා බැලුවේ කියවන්න මොකුත් ඇද්ද කියල..

    ReplyDelete
  40. කතාව කිහිප වතාවක්ම කියෙව්වා.( කමෙන්ට් පරක්කුත් ඒකයි ) අපූරු රටාවක් තියෙන්නෙ. ඔයාට පුළුවන් වෙයි හොඳ නවකතාවකුත් ලියන්න. මගෙන් සුභ පැතුම් !!!

    ReplyDelete
  41. @ මධුරංග: බොහොම ස්තුතියි. මදැයි, ලේසියෙන් තේරෙන්නෙ නැතිද? හෑල්ල දිග වැඩි නිසා වෙන්න ඇති.
    මම දන්න විදිහටනම් මත්පැන් වර්ගවලින් යම් උත්තේජනයක් ඇති වුණත්, ස්නායු පද්ධතිය අඩපණ කිරීමක් තමයි අවසාන වශයෙන් සිදු වෙන්නෙ. බය වුණහම බ්‍රැන්ඩි දීමක් අවශ්‍ය නොවේ. එහෙම වුණු වෙලාවට සිත සන්සුන් කිරීමට සාමාන්‍යයෙන් ඖෂධ අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම සර්ප දෂ්ඨනයක් වගේ වෙලාවකනම් හොඳම නැහැ. මොකද, මත්පැන්වලින් රුධිරය කැටි ගැසීම අඩු කරනවා. ඇතැම් සර්ප විෂවලිනුත් රුධිරය කැටි ගැසීම අඩු කරලන නිසා ප්‍රශ්නය උග්‍ර විය හැකියි.

    @ සුජීව: බොහොම ස්තුතියි සහෝදරයා. :-)
    හිත අප්සෙට් වෙලාවට බ්‍රැන්ඩිවලින් පලක් නැත.
    ;-)

    @ Anithkona: බොහොම ස්තුතියි නංගි.

    @ Podi Kumarihami: අතට හසුනොවන මායිමේ ඇති සොඳුරු ලොව ස්පර්ශ කිරීමට වෙර දරන අසරණ ජීවිත. :-(

    @ දුකා: බොහොම ස්තුතියි සහෝදරයා.

    @ සාතන්: බොහොම ස්තුතියි ඔබටත්.

    @ හීනියට: යෙෂ්! රණසිංහටයි සරාටයි දෙන්නටම සොරි වෙනවා. :D

    @ සරත් ලංකාප්‍රිය: ඔහොම සිදුවීම් අපේ වැඩපොළවල අනන්තවත් සිදු වෙනවා. පව්, අසරණ ජීවිත.
    සමහර කාලවලට ලියවෙන්නෙම නෑ අප්පා. :-(

    @ හරී-පිණිපළස: බොහොම ස්තුතියි. කීපවරක් කියවන්න වුණේ, තේරුම් ගන්න අමාරුද? නම් ගොඩක් යෙදී ඇති නිසා ටැපලයිස් වෙනවා ඇති.

    ReplyDelete
  42. එතකොට බ්‍රැන්ඩි හොඳම නැද්ද..?

    ReplyDelete
  43. @ මාරයා: මං කිව්වයි කියලා හිතා ගං.

    ReplyDelete
  44. ආ හරි මං හිතා ගත්තා..
    බ්‍රැන්ඩි හොඳයි..එහෙම නේද කිව්වේ..?

    (මෙය පල නොකලාට කම් නැත)

    ReplyDelete
  45. අනේ තේරුම් ගන්න අමාරුවකට නෙමෙයි ආසාවට කියෙව්වෙ,, බොරු වල්පල්, කඳුළු, හොටු කතා වලට වඩා කොච්චර අගේද කියලා හිතුනා..

    ReplyDelete
  46. @ හරි- පිණිපළස: බොහොම ස්තුතියි.

    ReplyDelete
  47. සතුටුයි අක්කියේ මේ පැත්තේ එන්න ලැබුණ එකට

    ReplyDelete
  48. Exceellent writing Nalini Cheers with Red Wine !!

    ReplyDelete
  49. නියමයි නලිනි,

    ReplyDelete
  50. @ nawammawatha: මේනම් කියන්නෙ බ්‍රැන්ඩි ගැන වෙන්නම ඕන. :D

    @ batti: සතුටුයි ඔයා මේ පැත්තෙ ආවට. බොහොම ස්තුතියි.

    @ TG: දකින්න තියෙන අමාරුවක් ඔයාව.

    @ චේජනා: බොහොම ස්තුතියි සොයුරිය.

    ReplyDelete
  51. අනිත් ඔක්කොම බලාගෙන බලාගෙන එනකොම බ්‍රැන්ඩි ‍‍හොඳයි කියලා තියෙනවා දැක්කා..... දොස්තර නෝනා හොඳයි කියනවා නොබී කොහොමද ? අද අරගෙන යන්න ඕනේ බ්‍රැන්ඩියක්...

    කථාව ගැන නම් කුමන කථා ද?

    "අදනං කිසිම වැඩ කරන මානසිකත්වයක් නෑ."
    "උඹට වෙනදට එහෙම එකක් තියෙනවද?"
    "නෑ බං, අඩු ගානෙ වැඩක් නොකරන මානසිකත්වයක්වත් තියෙනවනෙ."

    මේකත් මරැ කෑල්ල....

    ReplyDelete
  52. අපොයි බස්සො, මං කිව්වෙ නෑ බ්‍රැන්ඩි හොඳයි කියලා. එහෙම කියන්නෙ අර ඔෆිස් එකේ වැඩ කරන උං.

    ReplyDelete
  53. නලිනි ගේ මේ කතාව අද 21 ඉරිදා ලක්බිම පත්තරේ ගිහින් තියෙනවා.

    මෙවැනි හොඳ නිර්මාණ බ්ලොග් අවකාශය තුලට පමණක් හිර කිරීම වරදක් බව මං කාලෙකට කලින් කිව්වා.

    එය ලක්බිමත් වටහා ගැනීම අපි හැමෝටම හොඳයි.

    ReplyDelete
  54. අන්තිමට හොයාගත්තා... මේ කතාව හෙට ලක්බිම පත්තරේ පලවෙලා තියනවා.. මම බ්ලොග් ලියන්න අලුත්.. ඒ නිසා මේ බ්ලොග් එක මගෙ ඇහැ ගැටිල නෑ.... කතාව ගැනනම් කියන්න වචන නෑ. පුදුම වෙනස් රචනා ශෙලියක් තියෙන්නෙ....

    ReplyDelete
  55. adai me site eka dekke, math sara kenek:(

    ReplyDelete