Thursday, May 31, 2012

ලේ

ඇස් ඉස් මස් ලේ දන් දෙන සංකල්පය ඇති වෙන්නට ඇත්තෙ, සමහරවිට පුරාණ ශිෂ්ඨාචාරවල අවයව බද්ධය කෙරුණු නිසා වෙන්නටත් ඇති. කොහොම වුණත් ඒ විදිහට දන් දීලා බලාපොරොත්තු වෙන්නෙ "මම, මගේ" කියන හැඟීම අඩු කර ගන්න එක. වෙන විදිහකට කිව්වොත් ලෝබකම අඩු කර ගන්න එක. තමන්ගෙ ඇඟෙන් ඉවත් කරලා දුන්නට පස්සෙ ඒ දේ තව දුරටත් තමන්ට අයිති නැහැ.

එහෙම දෙන්නට පහසුම දේ තමයි ලේ.

පාරක් පාරක් ගානෙ "මා වැනි බිළින්දා" කියල දැන්වීම් ගහල තියෙන්නෙ, මිනිස්සුන්ට එහෙම ලේ දන් දෙන වුවමනාව ඇති කරවන්නට. හුඟක් මිනිස්සු ළමයින්ට කැමතියි. අනික් අතට හුඟක් මිනිස්සු කටු ගහනවට බයයි; ලේ දකින්නට බයයි; ලේ දෙන්නට අකමැතියි. අර විදිහෙ රූපයක් දැක්කහම මිනිස්සු රැවටෙනවා, "ආ, බබාලා ජීවත් කරවන්නට පුළුවන් මගෙ ලේවලින්."

එහෙම පෙළඹවීමක් අවශ්‍ය වෙන්නෙ ලේ දන් දුන් නමුත් ඒ කෙරෙහි ඇති "තමන්ගෙකම" අපේ හිතින් අයින් වෙලා නැති හින්දා. අපි කැමති අපේ ලෙයින් පලකට ඇති කෙනෙක් ජීවත් වෙනවා දකින්නට. තමන් කැමති කෙනෙක්, ආදරය කරන කෙනෙක් ජීවත් වෙනවා දකින්නට.
සමහරවිට හැමෝම එහෙම නැතුව ඇති.
නිතර නිතර ලේ වමනෙ දමාගෙන රෝහලට ඇතුළු වෙන මත්පැනට ඇබ්බැහි වූවන්,  එකිනෙකා සමග ගහමරාගෙන එන පාතාල කල්ලිකරුවන් හෝ මදාවියන් වැනි අය ජීවත් කරවීම පිණිස ලේ බිඳක් දන් දෙන්නටයයි දැන්වීම් ගැහුවොත් කී දෙනෙක් එයිද මන්දා. තමුන් පරිත්‍යාග කළ ලේ ටික භාවිතා වුණේ ඒ වගේ සමාජයට කරදරයක් වෙන විදිහෙ, පවුලට කරදරයක් වෙන විදිහෙ මිනිහෙක් ජීවත් කරවන්නට බව දන්නවනම්, කී දෙනෙක් ඒකට සතුටු වනු ඇත්ද?
එහෙම නොහිතිය යුතු ඇති. ඒත් මම අකමැතියි.
එහෙම අකමැත්තක් හිතට එන්නෙ, දන් දුන්නායයි කිව්වත්, ඇඟෙන් ඉවත් කළ ලේ ටිකට තියෙන බැඳීම අඩු වෙලා නැති හින්දා වෙන්නට ඕන.

අනෙක් අතට පසුගිය යුධ සමයේ හමුදා සොයුරන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්නටනම් බොහෝ දෙනා ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඇති. මමත් එහෙමයි.
කාලයක් මම හමුදා රෝහලේ සේවය කළා. එහෙ ලේ ගබඩා කරගෙන තිබුණෙ නැහැ. අවශ්‍ය වනවිට ලේ බැංකුවට ගිලන්රියක් යවා ගෙන්වා ගන්නට ඕන.
කියන තරම් ලේසියෙන් ලේ ගෙන්වා ගන්නට බැහැ. ප්‍රභූවරුන් යන එන හින්දා නිතරම පාරවල් වහලා. විනාඩියක් දෙකක් නොවෙයි; වරකට විනාඩි හතළිස්පහක් පමණ පාර වහනවා ඒ හරියෙ.
එක් දවසක, බරපතල සැත්කමකට ලක් වුණු සොල්දාදුවෙකුට ලේ පයින්ට් කීපයක්ම ඉතාම ඉක්මණින් දිය යුතුව තිබුණා. ඒත් ලේ ගෙන ඒමට ගිය ගිලන්රිය යාමේදීත්, ඒමේදීත් දෙවරම අර විදිහට ප්‍රභූවරයෙක් උදෙසා මාර්ගය වැසීමට හසු වෙලා. පැය තුනක් ගතවීත් අවශ්‍ය ලේ ලැබී තිබුණෙ නැහැ. එදා මම හිටියෙ යක්ෂ තරහකින්: මොන විකාරයක්ද? අඩුම ගානෙ ගිලන්රියකට යාමට ඉඩ දිය යුතුයි නේද? එක්කො අදාල ප්‍රභූවරයා එන වෙලාව හරියටම දැනගෙන විනාඩි කිහිපයකට පමණක් පාර වැසීමට බැරිද? මේ අනෙක් මිනිසුන් වෙනුවෙන් යුද පිටියට බට සොල්දාදුවෙක් නේද?
මම එහෙම යකා ආවේශ වෙලා හිටියට එතන හිටිය අනෙක් අය ඒ තත්වය එහෙමයයි පිළිගෙන වගේ. සමහරවිට අවුරුදු ගණනාවක් එතන සේවය කරන ඔවුන්, ඒ අත්දැකීමට නැවත නැවත මුහුණ දීම නිසාම එලෙස හැඩ ගැසෙන්නට ඇති. නොඑසේනම්, තමන්ට වෙනස් කළ නොහැකි දෙය උපේක්ෂාවෙන් විඳ ගන්නට ඇති.
එහෙම පුරුද්දක් නැති මම හිතින් ගැටෙන්නට පටන්ගෙන, මගේයයි හිතාගන ඉන්න ලෙඩා වෙනුවෙන්. ඒ විදිහෙ ගැටීමක් හිතේ ඇති වෙන්නෙ තවමත් යටපත් නොවුණු ද්වේෂය හින්දා වෙන්නට ඕන.

ලේ ගබඩා කර තබා ගත හැක්කේ මාස දෙකතුනක් පමණයි. එහෙම කල් ඉකුත් වෙන්නට ආසන්න ලේ, විශේෂයෙන් යුද කාලයෙදි, අසල රෝහල්වල අවශ්‍යතා විමසලා, ඒ තැන්වලට ලබා දෙනවා. නමුත් යාපනයේ ඉගෙනගත් වෛද්‍යවරියක කිව්වෙ, ඔවුන් එහෙම වෙනත් රෝහල්වලට ලේ යැව්වෙ නැහැ; ඒ වෙනුවට ඒවා රෝහල ඉදිරිපිට රෝස මල් පාත්තියේ පොහොර ලෙස යොදාගත්තාය කියලා.

"හරි ලස්සනට, ලොකුවට මල් පිපුණා." ඈ කිව්වා. "ලේ කියන්නෙ බොහොම හොඳ පොහොරක්!"

මිනිස් ලේ පොහොරක් වෙලා, ඒ මතින් පිපෙන මල් සුන්දර බව පිළිගන්නට මගේ සිත මැළිවෙන්නෙ මෝඩකම හින්දා වෙන්නට ඕන.

59 comments:

  1. ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා මනුස්සයෙක් රෝහලට ගෙනාවම මේ බේ බද්දා , බජාර් එකේ චණ්ඩියා , රට රකින සෙබලා , පොඩි දරුවෙක් කියලා වර්ග කරලා ,වෙන් කරලා ,වෙනස්කරලා සලකන්න බෑ නේ .අපි කාගෙත් ලේ රතු පාටයිනේ .කල් කිරියාව කොහොම වුනත් ඒ කවුරුත් ජීවත් කිරීමනේ වෛද්‍ය ආචාර ධර්මය .

    ReplyDelete
    Replies
    1. මම මෙතන කිව්වෙ ලේ දන් දෙන අය ගැන. රෝහල් සේවය ගැන නොවෙයි. පෞද්ගලිකව, මම කැමති නැහැ පවුලට රටට බරක් වුණු බේබද්දෙක් වෙනුවෙන් ලේ දෙන්න. නමුත් සෙබළෙක් වෙනුවෙන් දෙන්නට කැමතියි. එහෙම නැති ඔබ වගේ අයත් ඇති. මම නෑ කියන්නෙ නෑ.

      රෝහල් සේවය ගත්තහම, හැම කෙනාටම සමානව සැළකිය හැකියි අපට අසීමිතව සම්පත් ඇත්නම්. එහෙම නැති වුණහම, මූලිකත්වය දෙන දේවල් තෝර ගන්න වෙනවා. උදාහරණයක් විදිහට, දුර්ලභ ලේ වර්ගයකින් තියෙන්නෙ එක පයින්ට් එකක්නම්, ඒක පාවිච්චි කරන්නෙ බබා ලැබෙන්න ගිහින් රුධිර වහනයෙන් මිය යන්නට යන මවක වෙනුවෙන්ද, එහෙම නැත්නම් බීලා ලේ වමනෙ දාගෙන එන කෙනෙක් වෙනුවෙන්ද යන තීරණය ගන්නට වුණොත්. එහෙම නැත්නම්, තියෙන එකම දැඩි සත්කාර ඒකකයෙ ඇඳ පාවිච්චි කරන්නෙ සුවය ලැබීමෙන් පසු රටට සේවයක් කළ හැකි මට්ටමේ පසු වෙන හමුදා සෙබළෙක් වෙනුවෙන්ද, එහෙම නැත්නම් උපතින් ආ සුව කළ නොහැකි ශාරීරික මානසික රෝග ගණනාවක් තියෙන බබෙක් වෙනුවෙන්ද යන තීරණය ගන්නට වුණොත්.

      වෙනත් විදිහකට කිව්වොත්, හැම ජීවිතයකම වටිනාකම එකම නෙවෙයි. අපි කැමති වුණත්, අකමැති වුණත්, තෝරා ගැනීමට සිදු වෙනවා. එහෙම නොවුණොත් රටට වඩාත් පලදායි කෙනෙක් මිය යා හැකි නිසා.

      Delete
    2. "And then, besides, Rivarez, this is public business, and we have to look at it from the point of view of utility--the greatest good of the greatest number. Your 'final value'--isn't that what the economists call it?-- is higher than mine; I have brains enough to see that, though I haven't any cause to be particularly fond of you. You are a bigger man than I am; I'm not sure that you are a better one, but there's more of you, and your death would be a greater loss than mine."

      - The Gadfly -

      Delete
    3. //වෙනත් විදිහකට කිව්වොත්, හැම ජීවිතයකම වටිනාකම එකම නෙවෙයි. //
      ඇත්ත තමයි. මෙහෙම දේවල් ගැන මේ පිට ඉඳන් බලන අපිට (මට) කලින් හිතිලා නැහැ... මම ඔය තැන හිටියත්, වඩා 'වටිනා' ජීවිතේට ප්‍රයෝරිටි දේවි.
      දෙපාරක් ලේ දීල තියෙනවා දැනට. ලංකාවේදී ඒක පාරයි. මේ ඉන්න රටේදී තව පාරයි. ලේ දීමෙන් මම ඇත්තටම ලොකු සතුටක් ලැබුවා. ඒවා කවුරු පාවිච්චි කරාවිද කියල නම් හිතුවේ නැහැ.

      Delete
    4. ලෙඩෙකුට ලේ ඕන වෙලා හොයනකොට තමයි ඔය වගෙ ගැටළු එන්නෙ. අවශ්‍ය ලේ වර්ගය නොමැතිකමින් සැත්කම් කල් යනකොට, ලෙඩුන් මැරෙනකොට තමයි හිතෙන්නෙ, තියෙන ලේ පාවිච්චි කරන්නෙ කා වෙනුවෙන්ද කියන එක ගැන වඩා සැළකිලිමත් වෙන්න ඕන බව. ලේ විතරක් නෙවෙයි, අනෙක් සීමිත පහසුකම්නුත්.

      Delete
  2. හ්ම් , දුකයි .. ඒවගේම සතුටුයි ....

    ReplyDelete
  3. අහස පොලව නුහුලන අපරාධයක්නේ කරල තියෙන්නේ.....

    ReplyDelete
  4. මේ වගේ ගොන් කම් වෙන්නේ ඇයිද මන්දා..තමන්ගේ රට පල්ලෙහාට දාලා කතා කරනවා නෙමේ මම ඉන්න රටේ ගිලන් රථයක් යද්දි කොයි මොන යම් උනත් හැම වාහනේම එහාට මෙහාට වෙලා ඉඩ දෙනවා..ඇ‍යි එ ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙන කෙනෙක් මෙකේ ඇතුලේ ඉන්නේ ..අද එහෙම මිනිස්සු අඩුයි..අනේ මන්දා එන්න එන්න ම අපේ රටවල් වල මනුස්සකම පිරිහිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඔය නලිනි කිවුව අවස්තාව ඇරෙන්න ලංකාවෙදිත් මොන තරමේ ට්‍රැෆික් එකකදි උනත් ගිලන් රථ වලට යන්න ඉඩ හදල දෙනවා.
      හදිසියෙන් තමා එහෙම නොකරන අමනුස්සයෙක් ඉන්නෙ.

      Delete
  5. // අඩුම ගානෙ ගිලන්රියකට යාමට ඉඩ දිය යුතුයි නේද? එක්කො අදාල ප්‍රභූවරයා එන වෙලාව හරියටම දැනගෙන විනාඩි කිහිපයකට පමණක් පාර වැසීමට බැරිද? //

    ඔයා බණ කතා කරනවද.?? අපි වගේ නිකංම නිකං මිනිහෙකුගෙ ලේ වගේද ප්‍රභූ ලේ.?? අපි අපේ අන්තිම ලේ බිංදුව පුදා හෝ ඒ ප්‍රභූ ලේ රැකිය යුතුයි.. :P

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමයිනෙ කළේ. :D

      Delete
  6. ‍තව කතාවක් තියෙනවා නේද? යුද්ධ කාලේ අපෙන් අල්ල ගත්ත සෙබළුන්ව පණ ඇති ලේ ගබඩා හැටියට කොටි විසින් පාවිච්චි කල හැටි ගැන...

    ReplyDelete
    Replies
    1. ඔව්, කොටි එහෙම කළා. මම ඒ ගැන ගොඩක් දුරට විස්තර දන්නෙ නැහැ. නමුත් එහෙම කළ බව දන්නවා.

      Delete
    2. අය්යෝ "මානව හිමිකම් "

      Delete
  7. අවුරුදු තිහක් තිස්සේ කොයිතරම් ලේ කන්දරාවක් මහපොළොවට උරාගෙන ඒ විදිහට ලේ පොහොර වෙලා ගස්වල මල් පිපෙන්න ඇති දාස් ගණන්. ඒක නතරවෙන දවසක් එයිද ? අලුතින් බේද වපුරමින් යන මහා යතිවරුන් නයුවන් රජකරන රටක ආයිත් එහෙම කාලයක් නොඒවි කියල හිතන්න පුලුවන්ද ? ලේ වර්ගීකරණය වෙන්නේ මිනිස්සුන්ගේ පාට ආගම ජාතිය උඩ නොවෙයි කියල පැහැදිලිව පෙනෙන සත්‍යය පිළිගන්න මිනිස්සුන්ට කොච්චර පරම්පරා ගණනක් ගතවෙයිද ?

    ReplyDelete
    Replies
    1. තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක. නිකම් වචනයක් කතා කළත් ප්‍රශ්නයක් අවුළුවගෙන, ගහන්න මරන්න කතා කරන අය, යුද්ධ කරන්න කතා කරන අය බොහොමයි. ඇත්තටම යුද පිටියට බහින අය අඩුයි. ඇත්තටම ඒ දේවල් දැක්ක කෙනෙක් දන්නවා, ලේවල පැහැය එකම බව.

      Delete
  8. මම හිතන්නෙ ලංකාවෙ තරම් ලේ පරිත්‍යාග කරන මිනිස්සු ඉන්න රටක් නැතුව ඇති. සමහරු වාර සීය දෙසීය ලේ පරිත්‍යාග කරල තියනව. මම හිතන්නෙ බුදු දහමේ ඉගැනිවීම් බලපාන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බුදු දහමෙ බලපෑම හුඟක් දුරට හේතු වෙන්නට ඇති. මොකද, ලංකාවෙ වැඩියෙන්ම ලේ දන් දෙන්නෙ, අවයව දන් දෙන්නෙ බෞද්ධයින්.

      Delete
  9. ඇම්බියුලන්ස් සද්දෙ ඇහෙන්නැති මිනිහෙක්, වෙනත් කිසිම සද්දෙකට සංවේදී වෙයි කියලා හිතන්න අමාරුයි! ඉතින් ජනතාවගේ හඩ ඇහෙන්නැති එක අහන්නත් දෙයක් ද?

    කතාව ගොඩනඟදද්දි මැවෙන තාර්කික බවට මම හෙන කැමතියි!

    ReplyDelete
    Replies
    1. :) අදාල ප්‍රභූවරයාගෙ නම කියන්න බැහැනෙ ඉතින් මෙතන.

      එක අතකට, ආරක්ෂාව, මහ පාරෙ ඉඩ වගෙ සම්පත් හැමෝටම එක වගෙ ලබා දෙන්නට අපහසු හින්දා, අදාල අංශ තෝර ගන්නවා ඇති කාටද මූලිකත්වය දෙන්නෙ කියලා. එතනදි හදිසි රෝගියෙක් කියන කෙනා, විශේෂයෙන් අනතුරට ලක් වුණු සොල්දාදුවෙක් කියන කෙනා, යට ගිය එක තමයි ප්‍රශ්නෙ

      Delete
  10. ලේ පොහොර විදිහට..
    අනේ මන්දා මේ කතාවට දුක හිතෙන්නෙ මමත්වය නිසා වෙන්නැති..

    ReplyDelete
  11. අර රෝස මල් කතාව ඇහුවම නම් කලකිරුණා ඇත්තමය්..

    ReplyDelete
    Replies
    1. හ්ම්. මටත් ඒක සෑහෙන්න හිතට කරදර කළා. ඔය යුද්දෙ දවස්වල. ඒ කාලෙ එහෙම ලේ නාස්ති කළේ නැහැ. සෙබළුන්ට හුඟක් ලේ අවශ්‍ය වෙන හින්දා අනුරාධපුර වගේ රෝහල්වලට ලේ යවන එකයි කළේ. නමුත් මේ අය කැමති වුණේ නැහැ එහෙම සෙබළුන් වෙනුවෙන් ලේ එවන්නට.

      Delete
  12. "හරි ලස්සනට, ලොකුවට මල් පිපුණා." ඈ කිව්වා. "ලේ කියන්නෙ බොහොම හොඳ පොහොරක්!"

    හ්ම්..

    ReplyDelete
  13. //මිනිස් ලේ පොහොරක් වෙලා, ඒ මතින් පිපෙන මල් සුන්දර බව පිළිගන්නට මගේ සිත මැළිවෙන්නෙ මෝඩකම හින්දා වෙන්නට ඕන//
    මමත් ඔය කියන මෝඩයන්ගෙ ගොඩේද කොහෙද.......

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ලේ පොහොර විදිහට භාවිතා කරන්නට කැමති අය බොහොමයි!

      Delete
  14. ගොඩක් දේවල් හිතෙනවා. ලේ කියන්නෙ සම්පතක් බව ඇත්ත. ඒත් කල් ඉකුත් වෙන එක කල් තියා දැනගන්න හැකි දෙයක් නෙවෙයිනෙ, අතිරික්තයක් තියන එක, නැති තැනකට බෙදා හරින එක හොඳයි තම. එහෙම කරලත් ඉතුරු වෙන දේ බෙදාහරින්න බැරි වී ඉකුත් වෙන දේ ඉතින් දෙයියනේ කාණුවකින් ගලාගෙන යනවට වඩා පාත්තියකට වැටෙන එක හොඳ බවයි මට හිතෙන්නේ.

    ලේ පොහොරක් හැටියට යොදා ගන්න ඉතුරු කරගන්නෙ නැහැනෙ රෝහල් වල අය. ඉතින් කරන්නම දෙයක් නැති වුනු ඒ දේ මොකක් හෝ පලදායි දේකට යොදන එක හොඳ බවයි මට හිතෙන්නේ.

    අනේ මන්දා .. මට හිතෙන හැටි... :) සොබාදහමෙ කොටස් හැටියට නිර්මාණය වෙච්චි හැම දෙයක්ම සම්පත් හැටියටයි මට හිතෙන්නෙ නම්...

    ReplyDelete
    Replies
    1. පිළිගන්න හිත ඉඩ නොදුන්නත්, නැවතිල්ලේ හිතල බලන කොට දුවගේ කතාවත් හරි. (සම්මතයෙන් එහා)

      Delete
  15. මටනම් ලේ දෙන්න පුලුවන් කමක් නෑ මම දුන්නොත් අනිත් පැත්තට මට දෙන්න වෙයි (ඒ ගැන මගෙ ලිපියකුත් ඇති )

    ReplyDelete
  16. මම විසිරිලා නොගිය වැඩිම ලේ ප්‍රමාණයක් එක තැන දැක්කේ , බස් එකකට අහු වෙලා ඔළුව පොඩි වෙලා ගිය යතුරුපැදිකරුවෙකුගේ හෙල්මටයේ. නොපිට‍ පෙරලුනු ඒක පිරෙන්නම ලේ තිබුනා...

    ලේ ලැබෙන පුද්ගලයා කවුද කියලා දන්නවානම් සමහර අය ලේ නොදී ඉන්න පුළුවන් බව ඇත්ත.. අර බබා පොස්ටරයනම් කදිමයි.. මොන වැරැද්ද තිබුනත් අපේ මිනිස්සු තාම ලේ / ඇස් දන් දෙනවා අනිත් රටවල් එක්ක බලන කොට..

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටමද කීවේ?
      (මොන වැරැද්ද තිබුනත් අපේ මිනිස්සු තාම ලේ / ඇස් දන් දෙනවා අනිත් රටවල් එක්ක බලන කොට.)
      පසුගිය දවස් වල මගේ හිතවතෙකුට අවශ්‍යවෙලා අපි කිඩ්නි එකක් හෙව්වා.
      කොටින්ම මමම ඔහුට කීවේ මේ කියන මගෙ හිතවතා යහමින් මුදල් තිබුන කෙනෙක් නිසා අපි කිඩිනි එකක් හොයාගෙන ඒ දෙන පුද්ගලයාට සාධාරණ මුදලක් දෙමු කියලා.
      මම කිහිප දෙනෙකුට කතා කරලා කිඩ්නි හොයද්දි දැනගත්තේ බොහෝ අයගේ දානේ තරම? ඔය කියන මනුස්සකම මම නම් දැක්කේ නෑ. අන්තිමට මේ කියන කෙනා මැරෙන්න දවස් දෙකක් තුනක් තියලාත් අයි සී යූ එකෙ ඉන්න දවස් වලත් දොස්තර කියලා ඉක්මනට කිඩ්නි එක දාමු කියලා.
      මට නම් හිතුනෙ මේවා අස්සේ තියෙන්නේ ලොකු බිස්නස්. හැම එකාම තමන්ගේ කුට්ටිය ලොකු කරගන්න හදනවා.
      ඒ අස්සේ අර ලේ දන්දෙන ඕනේ දෙයක් වෙනුවෙන් පිහිටට එන මනුස්සකම දන්න හඳුනණ අයත් බාල්දු වෙනවා.

      Delete
    2. රංගි අපේ රටේ මනුස්සකම ගැන ගැටළුවක ඉන්නවා කියලා හිතුන හින්දා මං දන්න ටිකත් කියන්න හිතුවේ...

      වැඩිම අවයව දන්දීමක් කෙරෙන්නේ ලංකාවේ හාමුදුරුවරුන්ගෙන්..මම දැනුවත්ව එවැනි අවයව දන්දීපු බොහෝම පිරිසක් හිටියා.. ඒ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා එයින් දන් දීමට අමතව දේවල් බලා පොරොත්තු උන..ඒත් ඒ අතලොස්සක්... හුග දෙනෙක් ඒ මට්ටමේ නැහැ.. මේ ලියන මම පවා එක්තරා මොහොතක වකුගඩුවක් දන් දෙන්න ඉදිරිපත් උනා..ඒත් මට කලින් එයට ඉදිරිපත් උන කෙනෙකුගෙන් නියමිත ගැලපීම් ලැබීම නිසා ඒ අවස්ථාව එදා ගිලිහිලා ගියා...

      ඒ වගේම මම දන්න මනුස්සයෙක් තමන්ගේ වකුගඩුව දුන්නා නෝනගේ වකුගඩුව වෙනුවෙන්..වෙන කාගෙන්වත් හොය හොය ඉන්නෙවත් නැතිව... ඒ තමන්ගේ දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් ඉන්න ඕන හින්දා..ඒත් අවාසනාවකට ඒ අම්මා වකුගඩුව බද්ධ කරලා මාස කිහිපයකින් මිය ගියා... ඒත් අර මනුස්සයා ඇඩුවේ දරුවන්ට අම්මා කෙනෙක් නැහැ කියලා ළමයි දෙන්නගේ මූණු බල බල මිස..අනේ මගේ වකුගඩුව මටත් නැහැ එයාටත් නැහැ කියලනං නෙවෙයි...

      මගේ අම්මා දැන්ටම ඇස් දන් දෙන්න ෆොම් පුරවලා..මලාම සිරුර වෛද්‍ය විද්‍යාලයකට භාර දෙන්නත් අත්සන් කරලා තියෙන්නේ... එයට අමතරව මමත් මල්ලිත් දෙන්නම හැකි හැම‍ වෙලේම ලේ දෙනවා...

      රංගි හෙව්ව විදියට සල්ලි මුලට දාලා හෙව්වටනං දානපතියේ ඉදිරිපත් වෙන්නේ නැහැ. සල්ලි වලට කරන්න අමාරු දේවල් ලෝකේ හුගක් තියෙනවා... ඔය වගේ දේකදී අපේ අරමුණුත් පිරිසිදු වෙන්න ඕන..එහෙම උනානං වකුගඩුවක් හොයා ගන්න එක ඔය තරම්ම අමාරු දෙයක් නෙවෙයි..හැබැයි ඒ ඉස්සරහට ගනුදෙනුවක් දාලා කතා කලාමනං අපේ අය ගනු දෙනු කරන්න හොඳට දන්න අය හින්දා තියන්න පුළුවන් උපරිම ලංසුව තියනවා... අනික ඔයාලා වගේ අය ඇයි නිතරම ඈතින් ආධාර හොයන්නේ...? අනිත් අය විතරද දන් දෙන්න ඕන...

      අනිත් දේ තමා ආවට ගියාට දන්දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වකුගඩුවක් කියන්නේ..විශේෂයෙන්ම වැපෙන්නෝ ඉන්න කෙනෙකුට..වගකීම් තියෙන අයට.. ආදායම් මාර්ග හරියකට නැති අයට.. වැඩපල කරන්න තියෙන අයට.. ඒක බරපතල කාරණාවක්... මං දන්න තරමින් වකුගඩු දුන්න හැම කෙනාම එතැන ඉදන් ගෙවන්නේ අවදානම් ජීවිත..එයාලත් එතැන් ඉදන් බෙහෙත්වලට ‍යන්න වෙනවා.. අර තියෙන එක වකුගඩුව හරියට පවත්වා ගැනීම ලේසි වැඩක් නෙවෙයි...

      ඔයාලා තීරණය කල සාධාරණ මුදල කොයි මට්ටමේද කියලා කියන්න බැරිද..?

      Delete
    3. එක්තරා දුරකට මේ අංශයෙන් පරිහානියක් ඇති බව ඇත්ත. ඒත් මම දන්න තරමින් ලංකාවේ අයගේ ලේ/අවයව දන් දීම් අනිත් රට වලට වඩා වැඩියි.පුරුද්දක් හැටියට ලේ දෙන අය ඕනි තරම් තවම ඉන්නවා. හැබැයි ටිකෙන් ටික මේ දේවල් අපේ අයගෙන් ඈත් වෙලා යන්නත් බැරි නෑ..

      Delete
    4. අවයව බිස්නස් එකක් වෙනම තියෙනවා වෙන්න පුළුවන්, ඒ වගේ එකක් ගැන මම "අහල තියෙනවා", අවයවය කිව්වොත් ආයතනය හෙළිදරවු වෙන නිසා නොකිය ඉන්නම්. ඒත් මම "අහපු" විදියට එතනදී අවයවය දන් දෙන්න සද්භාවයෙන් නොමිලේ දන් දෙනවා, අතරමැදියන් පිට රටට‍ විකුනනවාලු.

      Delete
    5. මමත් දන්න තරමින් ලංකාවෙ ලේ/ අවයව දන්දීමට ඉදිරිපත් වන්නන් බොහොමයි. විශේෂයෙන් ලේ දෙන අය හුඟක් ඉන්නවා. වකුගඩු බද්ධය පටන් ගත් කාලෙ, හුඟක් හාමුදුරුවරු ඉතාම කැමැත්තෙන් එහෙම වකුගඩු දන් දුන්නා.
      නමුත් මිනිස්සු ඒ ප්‍රවණතාවය නරක විදිහට භාවිතා කරන්නට පටන් ගත්තා කියලා මම හිතන්නෙ. මහමෙවුනාව වගේ තැන්වල, හාමුදුරුවරුන්ට පෙනෙන්නට වකුගඩු ඉල්ලා දැන්වීම් ගහන්නට පටන් ගත් බව මම අහල තියෙනවා. අර කිව්වත් වගේ අතරමැදියන් මේවට සම්බන්ධ ඇති. දෙන කෙනා නිකම් දුන්නත්.
      වකුගඩුවක් දෙන එක ලේ දෙනවට වඩා වෙනස්. විශේෂයෙන් වකුගඩු රෝගීන් සුලභ රජරට වගෙ පැත්තක් ගත්තහම, එහි ඉන්න අනික් අයත් ඒ රෝගයට අවදානමක් ඇති අය. එක් වකුගඩුවක් ජීවත් වීමට සෑහෙන නමුත්, අද කාලෙ බහුලව ඇති රෝග දිහා බැලුවහම, කෙනෙක් ඒ ගැන දෙවරක් හිතන එක වරදක් නොවෙයි. මොකද, තමන්ට එහෙම ලෙඩක් නොසෑදේවියයි හිතන්නට නොහැකි නිසා. එක අතකින් තමන්ගෙන් යැපෙන්නන් සිටින කෙනෙක් ඒ ගැන හිතා මැළි වෙනවා සේම, එහෙම කවුරුත් තමන්ට කියලා නැති කෙනෙක්, තමන් රෝගී වුවහොත් බලන්නට කෙනෙක් නැති හින්දාම වකුගඩුවක් දීමට මැළි වෙන්නට පුළුවනි.
      රෝගවලට ඇති ඉඩකඩ ඇරුණුකොට, කැළලක් ඉතිරි වීමත් තව හේතුවක්.

      ඉන්දියාවෙ අවයව වෙළඳාම හුඟක්ම කෙරෙනවා. එක්කො දුප්පත්කම නිසා, අඩු ගණනකට අවයව විකුණනවා. එහෙම නැත්නම් පැහැරගෙන ඇවිත් අවයව ගලවා ගන්න අවස්ථාත් තියෙනවා. ඒ බව නොදැන නෙවෙයි යුරෝපීයයින් ඉන්දියාවෙ ඇවිත් ලාබෙට අවයව ලබා ගන්නෙ.

      Delete
    6. "ආවට ගියාට දන්දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වකුගඩුවක් කියන්නේ..විශේෂයෙන්ම වැපෙන්නෝ ඉන්න කෙනෙකුට..වගකීම් තියෙන අයට.. ආදායම් මාර්ග හරියකට නැති අයට.. වැඩපල කරන්න තියෙන අයට.. ඒක බරපතල කාරණාවක්... මං දන්න තරමින් වකුගඩු දුන්න හැම කෙනාම එතැන ඉදන් ගෙවන්නේ අවදානම් ජීවිත..එයාලත් එතැන් ඉදන් බෙහෙත්වලට ‍යන්න වෙනවා.. අර තියෙන එක වකුගඩුව හරියට පවත්වා ගැනීම ලේසි වැඩක් නෙවෙයි..."

      මාරයා එක්ක එකඟයි. කොච්චර සල්ලි දෙනවයි කිව්වත් ඒ දේ කරන්න කෙනෙකුට අමාරුයි. තමුන්ගෙම පවුලෙ, තමුන්ගෙම කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න ඉදිරිපත් උනත් අරහෙම සල්ලි වලට තමුන්ගෙ ජීවිතෙ අවදානම් තත්වයකට පත් කරගන්නෙ නෑ.
      වැඩි පුර තියාන ඉඳන් නොදී ඉන්න දෙයක් වෙන්න ඕනා, අමනුස්සයි කියලා කියන්න. නැත්නම් ඔයාටම ඕක ඔයාගෙ යහළුවා වෙනුවෙන් කරන්න තිබ්බනේ සත පහක්වත් අය නොකර, නේහ්?!

      Delete
    7. මාරයා දැනුවත් කිරීම ගැන ස්තුතියි.

      මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.

      මට අනුව මම කාගෙවත් දෙයක් නිකම් ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් අපි හෙව්වේ වකුගඩුවක් විතරක් නෙමෙයි.
      (එහෙම හෙව්වා නම් මේ ලෙඩාව දැක්ක දවසේ මම අවුල් වුන හැටි දැක්ක ගමන් මගේ රියදුරා මට කීවේ මැඩම් මම කිඩ්නි එකක් දෙන්නම් කියලායි. ඒ මනුස්සයා මට සල්ලි ඕනේ කීවෙ නෑ.) ඒත් මම ඔහුට හොඳටම බැන්නා. අපි කිඩ්නි එකක් හෙව්වේ බොහෝ දේවල් හොයලා බලලා. (ඒ ලෙඩා නිකම් ගන්න කැමති වුනත් එහෙම ගන්න ඉඩ දෙන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියේ.)
      ඒකට මූලික වුනෙ මම.
      මම කිඩ්නි එකකට දෙන වටිනාකම ඇහුවා නේද මම අවයව බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. ඒක හින්දා මම දන්නේ නෑ. ඒත් මම කිව්වේ ඔහු ජීවත් වෙන වට පිටාව අනුව ඔහුගේ අනාගතය බෙහෙත් වගේ දේවල් වෙනුවෙන් යම්කිසි වගකිවයුතු මුදලක් දියයුතු බවයි. දැන් ඉතින් ඔයාලා කියනවා නම් දානපතියෝ සල්ලි දික් කරාම එන්නේ නෑ කියලා ඔය ලංකාවේ පත්තර වල ඔය තරම් ආධාර ඉල්ලන්නේ මොකෝ හැමදාම? ඒ හැමෝටම ඒ ඉල්ලන හැමදේම ලැබෙනවද?
      ඒත් මට කතා කරපු මේ කියන පුද්ගලයා වෙනුවෙන් කිඩ්නි දෙන්න ප්‍රපෝස් කරපු අය ඉල්ලපු මුදල් ඒ අස්සේ ඒ අය කොයි තරම් ජෙනුයින්ද බිස්නස් ද කියලා අපිට වැටහුනා.
      මට මතකයි මේ වෙබ් අවකාශේ එක්කෙනෙක්ම මට කිවුවා කිඩ්නි එකක් ගැන. එවෙලේත් මම කිවුවේ නිකම් දෙනවා වුනාට ගන්න බෑ අඩු ගානේ ඒ අයගේ බෙහෙත් වෙනුවෙන් හරි අපි මුදල් දියයුතුබවමයි.
      ඇත්ත මේක කලයුතුයි කියලා ප්‍රෙටෙන්ඩ් වෙන්න බෑ. ඒත් කෝමා එකේ ඉන්න ලෙඩෙකුටත් ඉක්මනට කිඩ්නි එකක් දාන්න ඕනේ කියලා ලෙඩුන්ව හෝ ලෙඩුන්ගේ නෑයෝ ට බල කරන දොස්තරලා ගැන දෙපාරක් හිතන්න වෙනවා. මට හයිලයිට් කරන්න ඕන වුනේ ඒක.
      http://nihalw.wordpress.com/2012/06/01/%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB/
      මේ කතාව වගේ බොහෝ දේවල් ලෝකේ කොහෙත් වෙන නිසා මට නම් බොහෝ පුදුමයක් නෑ.

      Delete
    8. අනික ඔයාලා වගේ අය ඇයි නිතරම ඈතින් ආධාර හොයන්නේ...? අනිත් අය විතරද දන් දෙන්න ඕන...
      මේ කතාව නම් වැටහුනේ නෑ අහන්නේ මම දන් දෙන්නේ නැත්තේ ඇයි කියලාද?
      අපිට කොයි තරම් උවමනාවුනත් එහෙම දෙන්න බැරිකම් තියෙනවා. කොටින්ම අපි ජීවත් වෙන රටාව අනුව. පොඩි බබාල වගේ අනේ මට දෙන්න පුළුවන් කියන්න අපි හැඩගැහිලා නෑ. ඒකේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් හින්දා.
      අපිට කන්න බොන්න දෙන්න රස්සාවක් කරන්න කවුරුත් නෑ.
      මම දානේ දෙන්න මට පුළුවන් දේට මිසක් කල නොහැකි දේට නෙමෙයි.

      Delete
    9. ඉතින් ඔය බණේම තමයි අපි කියන්නෙත්. සේම් පොයින්ට්. ආෆ්ට ඉෆෙක්ට්ස් ගැන තමයි අනික් අය හිතන්නෙත්.
      "අපිට කන්න බොන්න දෙන්න රස්සාවක් කරන්න කවුරුත් නෑ.
      මම දානේ දෙන්න මට පුළුවන් දේට මිසක් කල නොහැකි දේට නෙමෙයි." ඔයාම ඔයාගේ චොදනාවට පිළිතුරු සපයගෙන. ඔය වගේ දේවල් වලදි මිනිස්සු ලඟ මිනිස් කම් නෑ කියලා කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න.

      ජය!

      Delete
  17. දන් දුන් ලේ මත සුවඳ කැකුළු මොනතරම් පිපිලා ඇද්ද?

    ReplyDelete
  18. නලිනිගේ කතාවට මන් එකඟයි . මනුස්ස ජිවිත කොයිකත් එකයි කිව්වට ඒ ඒ වෙලාවලදී ලැබෙන වටිනාකම් වෙනස් . රෝහල් වලදී යම් යම් අවස්ථාවලදී ආචාර ධර්ම වලට පටහැනි වුනත් තෝරා ගැනීම් කරන්න වෙනවා .

    ප්‍රභූ වරු පාරේ යද්දී ඇම්බියුලන්ස් යන්නේ කොහොමද . හුහ් ඔයා නම් කියයි . ඔය ලෙඩ්ඩු වගේද

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔය තෝර ගැනිල්ල ලේසි දෙයක් නෙවෙයි.

      ප්‍රභූවරුනුත් ඉතින් "තෝරා ගන්නා ලද" කස්ටියනෙ. :D ලෙඩ්ඩු වගේද! අපි මෙව්වා වෙන්න ඕන අපිට මෙහෙමවත් පාරෙ යන්න ඉඩ ලැබෙන එක ගැන

      Delete
  19. ඔයා වගේ අය විතරක් ඉන්නවනම් රෝහල් වල අර කියපු විදියට රෝගීන්ට ප්‍රමුඛතාවය ලැබෙයි. ඒත් ලංකාවෙ ගොඩක් වෙලාවට වටිනාකම මනින්නෙ ඔයා කියල තියෙන මිණුම් දඞු වලින් නොවන බව සිහිපත් කරන්න. කඩප්පුලි දේශපාලකයො, බලපුඵවන්කාරයෝ, සල්ලිකාරයෝ මොකක් හරි වෙලා ආවොත් ප්‍රමුඛත්වය දෙන්න සිද්ධ වෙනව. රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ගෙ සේවකයො බවට පත්වෙනව. අර මිණුම් දඞු වෙනස් වෙනව. වැඩකටම නැති එකෙක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙන්න වෙනව. කාර්ය මණ්ඩලයට රාජකාරිය දේවකාරියක් ගාණට කරන්න වෙනව. ඔවුන්ට එතනදි ස්වාධීන ප්‍රමුඛත්වයකට ඉඩක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, දේශපාලකයො වගෙ අය එහෙම බලපෑම් කරන්න හදනවා. නමුත් ඉඳහිට වෙනස් අය ඉන්නවා. ළඟකදි එහෙම සිද්දියක් වුණා. හෙළ උරුමයට සම්බන්ධ එක්තරා දේශපාලඥයෙකුගෙ කිට්ටුම ඥාතියෙක් රෝගීව සිටි වෙලාවක, ඒ ඥාතීන් දේශපාලන සම්බන්ධකම් මත බලපෑම් කරන්නට තැත් කළා. නමුත් අදාල දේශපාලඥයා රෝහලට ආ වෙලාවෙ කාර්ය මණ්ඩලයට වෙනම කතා කරලා කියා තියෙනවා, අදාල රෝගියාගෙ තත්වය තමන් දන්නා බවත්, තමන් දේශපාලකයෙක් හින්දා වෙනම විශේෂ සැළකිල්ලක් අනවශ්‍ය බවත්. :) එහෙම සිද්ධියක් මම ඒ ඇහුවමයි.

      Delete
  20. මම 5 පාරක් ලේ දීලා තියනවා.මම හොයලා නෑ මගේ ලේ දෙන්නෙ කාටද කියලා.ඒක මට අදාලත් නෑ. ඒත් මම හිතනව මම බීලා accident වුන වෙලාවට Hospital එක මු බේබද්දා කියල කොන් නොකරයි කියල
    අන්තිම පාර ලේ දෙන්න ගියාම මාර චාටර් වැඩක් වුනා, එතන හිටි Doctor මගේ Blood donation report eka බලල කිව්වා "තමා අවසන් වරට ලේ දීලා මාස 4 වෙන්න සති 2 ක් අඩුයි.මෙතන පොර වෙන්න හදන්නෙ නැතිව යන්න" කියල. මම අවුරුද්දකින් ලේ දෙන්න ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, බර අඩුවෙන් තියෙද්දි ලේ දෙන්න ගිහින් මාවත් පන්නගෙන තියෙනවා. ඒගොල්ලො ඒ දේවල් ගැන හුඟක් සැළකිලිමත්. රුධිර දායකයාගෙ ජීවිතේට අනතුරක් තියෙන නිසා.

      මම කතා කරලා තියෙන්නෙ අනතුරකට ලක් වෙලා එන අය ගැන නොවෙයි. බීමට ඇබ්බැහි වුණු පුද්ගලයින් ඉන්නවා නැවත නැවත ලේ වමනෙ දාගෙන රෝහල්ගත වෙන. ඔවුන් සඳහා ලේ විශාල ප්‍රමාණයක් දෙන්නට වෙනවා. එහෙම අත්දැකීමකට මුහුණ දුන්නත් ඔවුන් තමන්ගෙ බීම නවත්තන්නෙ නැහැ. සමහරුන්ගෙ බේබදු යාළුවො රෝහලට පවා මත්පැන් ගෙනත් පොවන අවස්ථා තියෙනවා. ඔවුන්ගෙ සහකාරියන්, දරුවන්, ඔවුන්ව ගෙදර එවන්නට එපා, ආවොත් බොන හින්දා කියා ඉල්ලන අවස්ථාත් තියෙනවා, විශේෂයෙන් උත්සව සමයන්හිදී. ගෙදර ගිහින් ආයෙම බීලා, (රෝහලේ ඉද්දි අඩු වුණු හරියට) සමහරු ඊලඟ සතියෙම ආපහු ලේ වමනෙ දාගෙන එන අවස්ථාත් තියෙනවා.

      ඕකෙ ප්‍රශ්නෙ එන්නෙ, විශාල ප්‍රමාණයක් මේ අය වෙනුවෙන් ලේ භාවිතා කළහම, අනෙක් රෝගියෙකුට ලේ නැතිකම. දුර්ලභ රුධිර ගණයක් ඇති රෝගියෙකුගෙ ජීවිතේ බේරා ගැනීම පිණිස ලංකාව පුරා ඉස්පිරිතාලවලට කතා කරලා ලේ හොයන්නට වෙන අවස්ථා තියෙනවා. ඇතැම් අයගෙ සැත්කම් කල් දමන්නට වෙනවා. ඇතැම් අය මිය යනවා, එහෙම ලේ නැති වීම නිසා.

      අන්න එතකොට, පලක් ඇති කෙනෙක් වෙනුවෙන් ඒ ලේ භාවිතා කරන එක ගැන හිතන්නට වෙනවා.

      Delete
  21. පුදුමයි ඒත් ඇත්තයි .

    ReplyDelete
  22. මම කවදාවත් කාටවත් ලේ දීලා නෑ. දෙන්න පුළුවන්කමකුත් නෑ.
    ඒත් මටත් හිතුනේ මාත් නම් ආවට ගියාට බේබද්දෙක් වගේ කෙනෙක් වෙනුවෙන් ලේ දෙන එකක් නෑ කියලායි.
    අපි කොහොමත් හිතන්නේ එහෙම. එතකොට අපි දෙන දේ ගැනත් ආශාවෙන් ඉන්නවා කියලා හිතෙනවාද මන්දා. ඒ උනාට මම නම් එහෙමයි.

    යුද්ධේ දවස් වල විතරක් නෙමෙයි තාමත් පාරවල් වහනවා නේද උතුමානෝ කෙනෙක් ගමන් බිමන් යනකොට?

    ReplyDelete
    Replies
    1. දුන් නිසාම ඒ ගැන ඇති ආශාව නැති වෙන්නෙ නැහැ කියන එක තමයි මගෙත් අදහස.

      උදාහරණයක් විදිහට, තමන්ගෙ දරුවට ඉගෙනීම වෙනුවෙන් දෙන මුදල, ඒ දරුවා පාවිච්චි කරනවනම් තමන්ගෙ ඉගෙනීම පැත්තකට දාලා තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අවශ්‍යතාවයකට එහෙම, "අනේ දරුවගෙ සන්තෝසෙනෙ" කියලා හිත හදාගන්නෙ කී දෙනාද?
      සුනාමියෙන් අවතැන් වුණු කෙනෙකුට ගෙදර හදාගනීවියැයි බලාපොරොත්තුවෙන් මුදල් දීලා, ඒ මුදලින් ඔහු බොනවානම්, සූදුවෙ යනවානම්, "ආ, කමක් නෑ, මං ඒක දීලා ඉවරනෙ, කැමති දේකට පාවිච්චි කරාවෙ" කියලා හිත හදාගන්නෙ කීදෙනාද?
      තමන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙලා, හොයලා අරන් දුන්නු තෑග්ගක් ඒ කෙනා පැත්තකට විසි කරලා දාලා තියෙනවා දැක්කොත් එහෙම කෙනෙකුට හිතෙන්නෙ මොනවද?

      දුන් පමණින් ලෝබකම නැති වෙන්නෙ නැහැ කියන එකයි මගෙ හැඟීම. එහෙම ලේසියෙන් ඒ අකුසල් දුරු වෙනවනම්, නිවන් දකින එක මාර ලේසි වෙන්න එපායැ

      Delete
    2. තමන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙලා, හොයලා අරන් දුන්නු තෑග්ගක් ඒ කෙනා පැත්තකට විසි කරලා දාලා තියෙනවා දැක්කොත් එහෙම කෙනෙකුට හිතෙන්නෙ මොනවද

      මේ කතාව නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

      Delete
  23. ඇගේ තියෙන ලේ ටික දෙන්නේ සතුටින්....
    ඒ සතුට ජීවිතේ 10පාරක් විතර ලැබුවා...
    ඉස්සරහටත් ලබන බලාපොරොත්තුවෙන් ඉන්නවා...
    මේ ඉන්න ටිකේ මොකට ලේ ටිකකට ලෝබකම් කරනවද...
    ඒ ලේ ටික ගන්න පුද්ගලයා මොකෙක් උනත් ඌ සන්තෝසෙන් ජීවත් වෙන්නේ නැතෑ...
    එච්චරයි...

    ජය වේවා!!!

    ReplyDelete
  24. සංවේදී කතාවක්..
    මම තුන් පාරක් ලේ දීල තියෙනවා.. ඉන් එකවතාවක් ගෙවල් ළඟ අයිය කෙනෙක් ලියුකේමියා (හෝ ඒ වගේ ලෙඩක්) හැදිලා අසනීපව ඉන්නකොට.. එයා ඊට මස 3-4 කට පස්සෙ මියගියා. ඇත්තටම මට දුක හිතුන ඒ වෙලාවේ.. මට හිතුවෙ මම ලේ දීපු එකෙන් වැඩක් නැහැ කියල.. පස්සෙ මම හිත හදා ගත්තේ එය මගේ ලේ හින්ද එයාගේ ජිවිතේ පැයක් හරි දික් කරගන්න ඇති කියල.. එහෙම හිතුවත් එක සාදාරන නැහැ නේ.. එහෙම නම් එයා දිගටම අනුන්ගේ ලේ වලින් අදටත් ජිවත් වෙන්න එපාය ?? අනේ මන්ද..
    තව වතාවක් 2008-2009 වගේ කාලේදී මුහමලේ ප්‍රහාරයකින් අපේ හමුදා වලට බරපතල හානිවෙලා ලංකාව පුරාම රෝහල් වල ක්ෂණික ලේ අවශ්‍යතාවයක් ඇති වෙච්ච වෙලාවේදී. එදා නම් හරිම සතුටු හිතුන.. අපේ කාර්යාලේ හිටපු සමහර 'මෙලෝ රහක් නැති' 'අපත' නමින් වර්ගීකරණයට ලක් වෙච්ච අය පවා ලේ දන් දෙන්න නාරාහේන්පිට ට ඇවිත් ඉන්නවා දැක්කම මම උන් ගැන හිතන විදිහත් වෙනස් වුණා..
    $Marumoos$

    ReplyDelete
  25. මමත් විශ්වාස කරනවා අපි දෙයක් දෙනකොට එයින් මම මගේ කියන හැඟීම නැතුව දීමෙන් අපි රටට ලෝකෙට අයහපතක් වෙනුවෙන් ඒ දේ කවුරුත් යොදවන්න කැමති නැති බව..
    කල්ඉකුත්වෙන්න කලින් ලේ කලමණාකරනයක් තිබුණනම් රෝස මල් තවත් සුවඳවත් වෙයි කියලා හිතුණා.. :)

    ReplyDelete
  26. ඔයාලට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න....මට දැන් අවුරුදු 32. මම ආසයි මම මැරුනට පස්සෙ මගෙ ඇස් වකුගඩු ඒ වගේ දේවල් දන් දෙනවනම්....මම අහ්ල තියෙනව මිනිහෙක් මැරුනට ඒව දෙන්න පුලුවන් කියල..මම කැමතියි මගෙ ඒව දෙන්න....මට මගෙ මේ නම්බර් එකට කවුරු හරි ඒ තැන් වල නම්බර් ස්ම්ස් එකක් හරි ඉමෝ එකෙන් හරි වයිබර් එකෙන් හරි එවන්න...0722220028

    ReplyDelete
    Replies
    1. http://www.eyedonation.slt.lk/sub_pgs/tissue_bank.html
      Contact them.

      Delete