Tuesday, May 1, 2012

ආගන්තුක කුරුල්ලා

අප්පච්චියි අම්මයි උදෙන්ම වාඩි වෙලා පාතේගම සුමනරතන හාමුදුරුවන්ගෙ බණක් අහනවා. මම ඒ හිත නිවන හඬට කන් දෙමින් මිදුලට බැස්සා.

සියඹලා ගහේ ඉඳන් කවුදෝ ආගන්තුක කුරුල්ලෙක් ගී ගයනවා.

වදලට හැදී ඇති පලතුරු ගස්, මසුන් සහිත කුඩා පොකුණ සහ අම්මගෙ බත් දන්සල නිසත්, අපේ මිදුලට බැස්සහම ඕන තරම් කුරුල්ලො: කපුටො, කොහෝ, දෙමළිච්චො, බට්ටිච්චො, ඇටි බුක්කො, පැණි කුරුල්ලො, කහ කුරුල්ලො, කොබෙය්යො, පරෙය්යො, ගිරව්, කෑඳැත්තො, සිවුරු හොරු, සුදු රෙදි හොරු, කෑරල්ලු, පොළොස් කොට්ටෝරුවො, පිළිහුඩුවො, මයිනො, කරෝල පෙන්දො විතරක් නෙවෙයි, කොහෙ හරි දේවාලෙකින් පැන ගත්තු සෙබඩකුත් ආවා කාලයක්.

ඒත් මේ හඬ ආගන්තුකයි.
කන්කළුයි.
අමුතු අමුතු නාද රටාවන්ට අනුව ගැයෙන ගී හඬ මොන තරම් අහන් හිටියත් ඇති වෙන්නෙ නැහැ.

"අම්මා... අම්මා..."

අම්මයි අප්පච්චියි බණ පැත්තකින් තියලා මිදුලට බැස්සා. අපි අහන් ඉන්න බව දැනිලදෝ, ආගන්තුක කුරුල්ලා තව තවත් දිගු වැකි සහිත ගී ගයන්නට වුණා. 

සියඹලා ගහ උඩට අව්ව වැටිලා. ලපටි පලාවන් පත් අතරේ කොපමණ හෙව්වත් කුරුල්ලා පෙනෙන්නට නැහැ.

"කුරුල්ලා බොහොම ලස්සන එකෙක් වෙන්නට ඕන." ඇහැට නොපෙනෙන, නොදන්නා කුරුල්ලා ගැන මම එහෙම කල්පනා කළා.

අම්මලා ආපහු ගෙට ගියා. මම කුරුළු ගී අසමින් මිදුලේ ඇවිද්දා.

හැමතැනම මල් පිපිලා. එහෙම නැත්නම් ලපටි, පැහෙන, ඉදෙන ගෙඩි.
වසන්තය ඇවිත්!

සමහරවිට මේ ගී ගයන්නෙ වසත් කාලයට පිටරටකින් මෙහෙ ආව කුරුල්ලෙක් වෙන්නට ඕන. මල්, පලතුරු දැකලා, ලා හිරු රැස් නාලා, හිතට සතුටක් දැනිලා වෙන්නට ඕන.

වසර පුරාම අඩි කිහිපයක් ගනකම අයිස් තට්ටුවකින් වැසුණු සයිබීරියානු නගරයක වාසය කරන මගේ මිතුරන් දෙදෙනෙක් පසුගිය වසරෙදි මෙහි ආවා. ගස්වල පලතුරු හට ගන්නා හැටි ඔවුන් මුල්වරට දැක්කෙ මෙහෙදි. ලා වැස්සකට අහස අර අදිනවිට, එය ගණනකට නොගෙන, තෙමෙමින් වැස්සේ ගමන් කරන මිනිසුන් දිහා ඔවුන් බැලුවෙ පුදුමයෙන්. නිදා ගැනීමට දුන් කාමරයේ තිබුණු වා කවුළු ඔවුනට නුහුරු නිසා, සතෙක් ඒවිදැයි බියෙන් මුළු රැයම නිදිවර්ජිතව සිටි බැව් කිව්වෙ පසුවදා.

"ආ, ඔව්, ඒවගෙන් සර්පයො ගේ ඇතුළට එනවා!" මං කිව්වෙ සැහැල්ලුවෙන්. විතාලිගෙ ඇස් උඩ ඉන්දුණා!

අපි පොඩි කාලෙ මේ වා කවුළුවල පරෙය්යන් පදිංචි වුණා. එක ජෝඩුවක්; ජෝඩු දෙකක්; එක් දරු පරම්පරාවක්; තව පරම්පරාවක්...
පරෙයි මැක්කන් බෝ වුණේ ඒ අතරෙදි. අපේ අතපය පුරා පුංචි පුංචි තුවාල.
අප්පච්චි කලබල වුණා. පරෙය්යන් එළවා දමන්නට තීරණය කළා: "ළමයින් ලෙඩ වෙන්නට පුළුවනි..."

පරෙය්යන් ඉන්න වා කවුළු ළඟට වෙලා අප්පච්චි සද්ද කළා; දිග රිටි අරගෙන කූඩු කඩන්නට වගේ හැදුවා; පරෙය්යන් කූඩුවට ඉගිල එනවිට ෂෝ ෂෝ කිව්වා.
අප්පච්චිගෙන් කරදරයක් නොවෙන වග පරෙය්යො හරියට දැනන් හිටියා වගේ! උන් තමන්ගෙ රවුම් ඇස්වලින් අප්පච්චි දිහා බලලා, වා කවුළු තුළට රිංගලා ලැගගත්තා.

අප්පච්චි දැඩි තීරණයක් ගත්තා: කූඩුවට නැගලා, කූඩුව කඩන්නට ඕන.
ඉතින් ඉණිමගක් හොයාගෙන, බිත්තියට හේත්තු කරලා අප්පච්චි පරෙයි කූඩුවට නැග්ගා. අපි බිම සිට බලා සිටියා.
උඩට නැගලා බලනකොට කූඩුවෙ පරෙය්යෙක්. අප්පච්චි බොහොම පරිස්සමෙන් ඌව අතට ගත්තා. අප්පච්චිගෙ කට උල් වෙලා; ඇස් සුරතල් පාට වෙලා. හරියට අළුත උපන් දරුවෙක් දෝතින් ගත්තා වගේ.
"මේ බලන්ඩ." අප්පච්චි අපට පෙන්නුවා. පරෙය්යා බොහොම හුරුබුහුටි අන්දමින් අප්පච්චිගෙ අත්වල උණුසුමට තවත් ගුලි වුණා. අප්පච්චි බොහොම පරෙස්සමින් ආපහු පරෙය්යාව කූඩුවෙන් තැබුවා.

අප්පච්චිගෙ පරෙයි දඩයම ඉන් අවසානයි. මං හිතන්නෙ පව් කරන්නටත් එක්තරා තරමකට පව්කාරකම තියෙන්නට ඕන.

පස්සෙ කාලෙක පරෙය්යොම අපේ ගේ අතෑරලා ගියා.

මම එහෙ මෙහෙ ඇවිදින අතරෙදි ආගන්තුක කුරුල්ලා ගී නාදය නවත්තලා. මම කුස්සියට ගියෙ අම්මා උයන හින්දා. ළිප උඩ මුං ඇට බඳුනක් තැම්බෙනවා. ඒ අසල සෝදා දැමූ හාල් බඳුනක්.
"මුං ඇට කිරිබත් හදලා දෙන්නම්." අම්මා කිව්වා.
"සීනිත් දාලා හදනවද?" මම ඇහුවා.
අම්මා සමහර වෙලාවට කිරිබතටම සීනි මුසු කරලා හදනවා. මතක ඇති කාලෙකින් මුංඇට කිරිබත් කෑවෙ නැහැ. මම පල්හෑලි කියමින් සෝදා තිබුණු හාල් කන්නට පටන් ගත්තා.
"ඕක කාලා ඉවර කරන්ඩ එපා. තම්බලා දෙනකම් ඉන්ඩ." අම්මා සැර කළා.

"මෙන්න." අප්පච්චි පේර ගෙනත්. මම මිදුලෙ ඇවිදින අතර මේ පේර ගෙඩි දෙක දිහා බැලුවා. ඒවා හොඳට ඉදිලයි තිබුණෙ. ඒත් ගහේ ඉහළ අත්තක. අපි කුස්සියෙ ඉන්න අතරෙ අප්පච්චි කොහොමදෝ ඒවා කඩාගෙන.
"මෙන්න අම්මට." මම පේර ගෙඩියක් කෑලි හතරකට කපලා, අම්මට කෑල්ලක් දුන්නා.
"එපා." අම්මා කිව්වා.
"මෙන්න පද්මලතාට."
"අනේ මට එපා!" පද්මලතාටත් පේර ඕන නැහැ.
"අප්පච්චිට?"
"මට ඕනෙ නැහැ."
කාටවත් පේර ඕනෙ නැහැ.
"ඔයා කන්ඩ. ඔයාටනෙ පේර ප්‍රශ්නයක් තියෙන්නෙ." අම්මා හිනා වෙවී කිව්වා.

60 comments:

  1. පේලි අතරේ ආදර කතාවක්ද? ;)

    ReplyDelete
    Replies
    1. නෑ නේද? කොළපාට බැක්ග්‍රවුන්ඩ් එක.

      Delete
  2. අපේ ආගන්තුක කුරුල්ලා ගෙදර ගිහින් බඩ පිරෙන්න හිතේ හැටියට කාල ඇවිත් වගේ :)

    හා තව දෙයක්. ගෙදර යන්න ඕනේ නිතරම අනික් කුරුළු පැටවු ගෙදර නො එන දාට .එතකොට සැලකිලි වැඩියි .විශේෂයෙන් ඔය බාල කුරුලු පැටවු ගෙදර නො එන දාට :)

    ReplyDelete
    Replies
    1. යේෂ්! ගොඩක් සැළකිලි! ආස කෑම ජාති ගොඩක් හදල දුන්නා. අනික වත්ත පුරාම ලස්සන මල්, ගෙඩි, දළු. මට හිතට ආවෙම වසන්ත කාලය කියන එක.

      Delete
  3. ''මං හිතන්නෙ පව් කරන්නටත් එක්තරා තරමකට පව්කාරකම තියෙන්නට ඕන.''


    සහතික ඇත්ත .


    හිතට සතුටක් ගෙනාව කතාවක් . අපේ දිහා මෑතකදී කොණ්ඩ කුරුල්ලෝ කුඩුවක් හැදුවා . සාලේ මැද්දේ එල්ලෙන ලොකු විදුරු ලාම්පුව උඩ. පිහාටු වැටෙනවා ... බෙටි වැටෙනවා ..මැක්කෝ බෝවෙයි ...ඔයවගේ ප්‍රශ්න රාශියක් තිබුනා . පස්සේ කූඩුව ගහක් උඩින් තිබ්බ . මක් වුනාද දන්නේ නැහැ . ඊළඟ වාරෙත් ඒ දෙන්න කූඩුව එතනම හැදුවා . එතකොට බනිලගේ සියා භාවනා කරන්න පටන් අරන් . ඉතින් කුරුළු පැටව ටික ලොකු වෙලා යනකම් හිටියා . ඊ ළඟ පාර නම් ජනෙල් උඩ වා කවුළු මදුරු දැල් තදින් වැසුවා . ආයේ ආවද දන්නේ නැහැ . අතිශය නාගරීකරණය වේගෙන යන ප්‍රදේශයක කොණ්ඩ කුරුළු අම්මයි තාත්තයි සොයා ගත්ත පරිස්සන්ම තැන බලන්න .

    ''ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා...මගේ කුඩා කූඩුව ළඟ .......''

    සංචාරක කුරුල්ලෝ එන්නේ ඔක්තෝම්බර් වලින් පස්සේ නේද .

    ReplyDelete
    Replies
    1. ඒක තමා. කරදරයක් නොකරයි වගේ පේන ගෙවල්වල සත්තු පදිංචි වෙනවා. හරියට කූඩුව, බිත්තර, පැටව් පරිස්සම් කරන වගකීමෙන් කොටසක් අපේ ඇඟෙත් ගහලා වගෙයි.
      සීත රටවලින් එන අය ඔක්තෝබර්වලින් පසුව එනවා වෙන්නට ඕන. නමුත් ගහකොළවල ගෙඩි මල් පිරෙන කාලයටත් එනවා ඇති නේද? එදා ඔය ගැයුණු කුරුළු ගීයනම් මම කවදාවත් අහල තිබුණෙ නැහැ. මම අම්මලා එක්කත් කිව්වෙ, ඒ හඬේ තිබුණෙ විදේශීය බසක් කතා කරනවා වගේ ලක්ෂණයක්

      Delete
  4. "අප්පච්චියි අම්මයි උදෙන්ම වාඩි වෙලා පාතේගම සුමනරතන හාමුදුරුවන්ගෙ බණක් අහනවා. මම ඒ හිත නිවන හඬට කන් දෙමින් මිදුලට බැස්සා."

    "අම්මයි අප්පච්චියි බණ පැත්තකින් තියලා මිදුලට බැස්සා. "

    කාට කියන්නද මේවා..:D:D:D මට පරණ පිරුලක් මතක් උනා...
    ---------------------
    රුසියන් පූසන්ට දීලා තියෙන වදයක්...

    ReplyDelete
  5. දොස්තර නෝනා ආගන්තුක කුරුල්ලාව පෙන්නන්න කතා කළාම අම්මයි අප්පච්චියි හිතලා තියෙන්නේ දෝණිට පේර ඕන වෙලා කියලද? මුලින්ම හිතුනේ එහෙම. ආයෙම හිතාගෙන යද්දි තව තව දේවල් හිතෙනවා. මේ වචන ඇතුලේ මෙච්චර හැඟවිච්ච අරුත් හංගන්නේ කොහොමද මන්දා.

    /*මං හිතන්නෙ පව් කරන්නටත් එක්තරා තරමකට පව්කාරකම තියෙන්නට ඕන.*/ ඇත්තමයි. සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. අම්මලා දන්නවා මම කුරුල්ලො බලන්න, කුරුළු ගී අහන්න කැමතියි කියලා. පේර වගේ පලතුරු වර්ග හුඟක් ගෙදර තිබුණත්, ඈතක වැඩ කරන හින්දා මට ඒවා නිතර හම්බෙන්නෙ නෑනෙ. ඒ නිසා අම්මලා ඒවා හොය හොය කන්න දෙනවා ගෙදර ගිහාම.

      Delete
    2. මේ ළඟකදි පේර පිඟානක් ඇහැ ගැටිලා ඒ ගැන කියෙව්වද දන්නෙ නෑ අම්මයි අප්පච්චියි එක්ක.. :)

      Delete
  6. තෛපොංගල් වලට හර්ක්ට කවන්න හදන මුංඇට කිරිබත් වැඩියෙන්ම කන්නෙ අපි තමයි පොඩි කාලෙ..එච්චර රහට තාම හදන්න බැරි උනා කොච්චර ට්‍රයි කලත්..

    ReplyDelete
    Replies
    1. ඕඕ, පොඩිකාලෙ ලැබුණු රස ආහාර වර්ගවල රසය අපට වැඩියෙන් දැනුණාද මන්දා. මම තෛපොංගල්වලට හරක්ට කවන කිරිබත් කාලා නැහැ. :(

      Delete
  7. ආදර කථාවක් සහ තව දිග කථාවක් වගේ තමයි මට දැනුනේ......

    පේර ප්‍රශ්නය........... ම්ම්ම්.... :)

    ReplyDelete
    Replies
    1. කතාවක් නැති හින්දා ලිව්ව වාර්තාවක් තමයි ඒත් ඔය.

      Delete
  8. අවසාන වාක්‍යයෙන් කියවීම සම්පූර්ණයෙන් වෙනස් මානයකට යොමු විය...හෙහ්, හෙහ්,

    අපූරුයි.....නලිනි,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පුංචි වාර්තාවක්.

      Delete
  9. අර ආගන්තුක කුරුල්ලට මක්කැයි වුණේ අක්කා....

    ReplyDelete
    Replies
    1. හොරෙන්ම ඉගිලිලා ගිහින් වගෙයි. පලතුරු කන්න එන්න ඇත්තෙ.

      Delete
    2. අක්කට ශුවර්ද පළතුරු කන්න ආවයි කියලා....මටනම් පේන්නේ වෙන වැඩකට ඇවිත් වගේ....

      Delete
  10. කතන්දර කීපයක් හිතට ආවා.......

    අපූරු ලියවිල්ලක් නලිනි...................

    ReplyDelete
    Replies
    1. ඕඕ, ලියමු හිතට ආ කතන්දර...

      Delete
  11. ඉක්මනටම සයිබරයේ මංගල්‍යයකට ලෑස්ති වෙන්න වෙයි වගේ.....! "කුරුල්ලා ලස්සන එකෙක් වෙන්න ඇති...!" අනිවා ඩෙෆා...!

    ReplyDelete
    Replies
    1. ඔන්න, බීටලයගෙ ලණුව කාලා. :D

      Delete
  12. හැබෑටම මොකක්ද මේ පේරෙ තියන ප්‍රශ්නය?? හික්ස්

    ReplyDelete
    Replies
    1. :D මට නිතර කන්න නොලැබෙන එක තමා ඉතින්

      Delete
  13. මටත් පේර නෑ. මම අන්තිමට පේර කාපු දවසක් මතකත් නෑ.

    මම ඔයා කියන බොහො කුරුල්ලොගේ නම් ඇහුවෙත් අදමයි. (කපුටො, කොහෝ, දෙමළිච්චො, බට්ටිච්චො, ඇටි බුක්කො, පැණි කුරුල්ලො, කහ කුරුල්ලො, කොබෙය්යො, පරෙය්යො, ගිරව්, කෑඳැත්තො, සිවුරු හොරු, සුදු රෙදි හොරු, කෑරල්ලු, පොළොස් කොට්ටෝරුවො, පිළිහුඩුවො, මයිනො, කරෝල පෙන්දො)
    මම මෙයාලගෙන් කිහිපයයි දන්නේ. එහෙම කුරුල්ලෝ පොතේවත් නෑ ගොඩාක් එවුන්.
    ඊර්ෂයාව පිරෙමින් ඉපිලෙමින් ඔන්න....

    ReplyDelete
    Replies
    1. ඒ මෙහෙ ඉන්න කුරුල්ලොනෙ. ඉතින් ඔයා දැකල ඇති මෙහෙ නැති ඔහෙ ඉන්න කුරුල්ලො

      Delete
    2. ඇටි බුක්කා ට අපි කියන්නෙ ඇටි කුකුළා... හිබැයි කරේල පෙන්දානම් නොදනී තමා... :(

      Delete
  14. සුන්දර පරිසරයක ඇවිදින්න එක්ක ගිහින් කුරුළු ලෝකයක තනිකර කතාව ගොඩාක් ලස්සනයි. මිහිරි හඬ කිහිපයක් දැනුනි, අන්තිම කොටසට එනතුරුම. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට කුරුළු වර්ග හුඟක් එනවා අය්යා. උදේට හවසට කීචි බීචි කීචි බීචි

      Delete
  15. පේර ප්‍රශ්නයක් !!!!

    ReplyDelete
    Replies
    1. :D පේර කන්න නැති ප්‍රශ්නයක්.

      Delete
  16. ප්පලවෙනි පාර කියවනකොට කතාවෙන් හිත ඇදිල ගියා අම්මයි තාත්තයි එක්ක හිටි කාලෙට..
    ආපහු කියෙවුවා . හ්ම්ම් ආගන්තුක කුරුල්ලෙක්.. මේ කුරුල්ලා නම් අර සින්දුවේ එක්කෙනා වගේ අම්ම තාත්තා ගැන කියලා බය කරන්න බැරි කුරුල්ලෙක් වගෙයි..
    පවු !! කුරුල්ලට කන්න තිබුන පෙර ගෙඩි තාත්ත කඩාගෙන ඇවිත් ..

    ReplyDelete
    Replies
    1. ඕඕ, බයක් නැතත් හැංගිලා සින්දු කියන කෙනෙක්. මේ දවස්වල අපේ වත්තෙ පලතුරු පිරිලා: අඹ, පේර, ජම්බු, අලිපේර, අනෝදා, පැපොල්, වෙරළු.... ඇරත් අම්මගෙ බත් දන්සලත් තියනවනෙ. ඒ හින්දා කුරුල්ලා බඩගින්නෙ නෙවෙයි.

      Delete
  17. කාලෙකින් ගෙදර ගිහින්ද???

    ReplyDelete
    Replies
    1. අන්න හරියටම කිව්වා. :D එක අත්තෙ වහන කිරිල්ලියක් වගෙ

      Delete
  18. ඔයාගෙ කුරුලු ලිස්ට් එකේ මට ආගන්තුක වචන මෙන්න
    ඇටි බුක්කො - අපි කියන්නෙ ඇටි කුකුලො
    පොළොස් කොට්ටෝරුවා - මම හිතා හිටියෙ මේක අපහාසාත්මක වචනයක් කියලා. මේ සාමාන්‍ය කොට්ටෝරුවාමද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇටි කුකුළා තමා. අපේ පැත්තෙ ඇටිබුක්කා කියලත් කියනව. (පැත්තෙද නැත්නම් අපේ ගෙදර විතරද නොදනිමි.) පොළොස් කොට්ටෝරුවා කියලා වෙනම කුරුල්ලෙක් ඉන්නවා. මගෙ ළඟ හොඳම ෆොටෝ එකක්නම් නැහැ. නමුත් එකක් තිබුණා වගේ මතකයි. මම හොයලා මෙතනට දාන්නම්.

      Delete
    2. මගෙ පින්තූර හොයාගන්න නෑ. Brown-headed barbet කියලා සර්ච් කරන්න. ඒ පොළොස් කොට්ටෝරුවා.

      Delete
    3. පොලොස් කොට්ටෝරුවා මමත් ඇහුවමයි මෙහෙම නමක්. ඇටිබුක්කා කියන්නේ රතු පාටයි කලු පාටයි ගොලුබෙලි කන කුරුල්ලා වෙන්න ඕනේ. කරෝල පෙන්දා දැකලා නෑ.

      Delete
    4. පොළොස් කොට්ටෝරුවා කොළ පාට කෙනානෙ.. කිසිම දෙයක් තියාගන්න නැ එයාගෙන්...

      Delete
    5. ඇටි කුකුළා ඔය රංගි කියන කුරුල්ලා තමා. මෙහෙ මගෙ කොළඹ ගෙදර අවටත් ඇටි කුකුළො, පොළොස් කොට්ටෝරුවො, කොහෝ, දෙමළිච්චො, පොල් කිච්චො, ගිරව්... පිරිලා. :D

      Delete
  19. pera prashna => peradeniye prashna lol

    ReplyDelete
  20. හරි අපූරුයි!

    ඔන්න අපේ වත්තටත් කුරුල්ලෝ එනවා. පර්චස් පහළොවක් ඇතුලත ඉඳගෙනත් අපිත් කුරුළු ගී රසවිඳිනවා. හැමදාම හවසට කවුඩෝ දෙන්නෙක් එනවා. බට්ටිච්චෝ, කහ කුරුල්ලෝ, කොට්ටෝරුවෝ, පොල්කිච්චෝ, දෙමලිච්චෝ, කොණ්ඩ කුරුල්ලෝ, ඇටි කුකුලෝ, පොළොස් කොට්ටෝරුවෝ, කිරල්ලු, කොවුලෝ තව නාදුනන අයත් එනවා. සමහර අය කතන්දර කියනවා, ඒ ගොල්ලන්ගේ බාසාවෙන්. තවත් අය සින්දුවක් කිව්වට ඒක බොහොම කෙටියි. දිග සින්දු කියන අයත් ඉන්නවා. පොල්කිච්චන්ට පුළුවන් හීන් හඩින් තරමක් දිග සින්දුවක් ගයන්න. තියුණු මිහිරි හඬ තියෙන කුරුල්ලෝ බොහෝ වෙලාවට අපි ශබ්ධයට අනුව හිතන ප්‍රමාණයට වඩා හුඟක් කුඩයි.
    අපේ වත්තෙත් පේර ගහක් තියෙනවා. තව දෙළුම් ගහකුත් තියෙනවා. තාත්ත වවපු මල්බෙරි ගස් දෙකකුත් තියෙනවා. කුරුල්ලෝ ඔය පලතුරුත් කනවා. ඒත් ඒ ගොල්ලෝ වැඩිය කැමති මකුළුවන්ට යි, පුංචි කෘමීන්ට යි.
    එතකොට ලේන්නු. ඒ ගොල්ලොත් අපේ ගේයි වත්තයි තමන්ගේ කරගෙන ඉන්නේ. ඔය අව්වස්සේ ඉතින් වත්තට යන එන ගැරඬියෙකුත් ඉන්නවා. අපේ රොජර් ට නං ඌව පේන්ඩ බැහැ. එයා වත්තට ආව කියල අපිත් දැනගන්නේ රොජර් ගේ බිරිල්ලට.

    ඔන්න බලන්ඩ ඉතින් දොස්තර නෝනා මොකක් හරි ලිව්වම අපිටත් එක එක ඒව මතක් වෙනවා. හැබැයි ඔබතුමී වගේ නෙමෙයි, අපේ අතින් නං ලියවෙන්නේ පල්හෑලි.

    නලිනි ට උදා වූ වසන්තය සදා කල් රැඳේවා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හුඟක් වෙලාවට තියුණු මිහිරි නාද තියෙන්නෙ පුංචි කැත කුරුල්ලන්ට. මම මේ කිව්ව ආගන්තුක කුරුල්ලවත් කොච්චර හෙව්වත් පෙනුණෙ නැහැ. කොළ අතරෙ හැංගිලා. පුංචි කුරුල්ලෙක් වෙන්න ඕන. මොකද, ගහ මුදුනෙ දුවන ලේන්නුත් පහළට පෙනුණා.
      අර කිව්වත් වගේ, පලතුරු ගස් නිසාම, කෘමීන්, පණුවන් එහෙමත් වැඩි ඇති. කුරුල්ලො එන්නෙ ඒ සේරම බලාගෙන වෙන්න ඕන.
      අපේ බල්ලොත් සර්පයො හපලා මරනවා. අපි බයේ ඉන්නෙ කොයි වෙලේ හරි විස වෙලාම මැරෙයි, නැත්නම් සර්පයෙක් දෂ්ඨ කරයි කියලා.
      මොන පල්හෑලිද? අපි බලාගෙන ඉන්නෙ මකරන්දය කියවන්න. ඒකෙ මකුළු දැල් බැඳලනෙ.

      Delete
  21. ඔයා මගේ ගම්මනුමස් කියෙවුවෙ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. http://lankapriyagesithivili.blogspot.com/2012/04/blog-post_25.html

      නැහැ. ටිකක් වැඩ වැඩි වෙලා හිටියෙ පහුගිය කාලෙ දිගටම. ඒ හින්දා අතරින් පතරයි බ්ලොග් කියවන්න වුණේ. ඔන්න දැන් කියෙව්වා.

      Delete
  22. කුරුල්ලො ගැන වගේම තාත්තගෙ සත්ව කරුනාව ගැනත් අගේට ලියවිලා තියෙනවා. තාත්තලා ජීවිතේට උවමනා අනිත් හැමදේම වගේ සත්ව කරුණාවත් අපිට උගන්නනවා. ගෙදර හිටපු ටොමියට අපේ තාත්තා සැලකුවෙ හරියට එයාගෙ හොඳම යාලුවෙකුට වගේ. ඌ වරදක් කරන වෙලාවට තාත්තා රවලා බැලුවහම ටොමියා ඒක නවත්තලා බිම බලාගෙන ගිහින් හැංගෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අපේ අම්මලා අප්පච්චිලා අපට පෙන්නුවා අපට වඩා වැදගත් දේවල් මේ ලෝකෙ තියෙන බව. දැන් හුඟක් ළමයින් නොදන්නෙත් ඒක. දෙමවුපියො රස්සාවට බොරු කරලා, කලින් පනිනවා ළමයි හින්දා. පවුලෙ පොදු අවශ්‍යතා, යුතුකම් යට ගහලා, ළමයින් ආස කරන හැම දෙයක්ම කරන්න, අරන් දෙන්න කටයුතු කරනවා. එහෙම කළහම ළමයි ලොකු වෙන්නෙ මුළු ලෝකෙම තියෙන්නෙ තමන්ගෙ පරිභෝජනය සඳහාය කියල හිතාගෙන, අනුන්ට කරදරයක් නොකර සිටිය යුතු බව නොදැන. නමුත් අප්පච්චිලාගෙ මේ වගෙ වැඩවලින් අපි නිකම්ම තේරුම් ගත්තා, මට පුංචි යහපතක් වනු පිණිස තවත් සතෙකුගෙ නිවහන නොකැඩිය යුතු බව.

      Delete
  23. කාලයක් ගෙදරින් ඈත්වෙලා ඉඳලා ආයෙත් ගෙදර ආවාම ගෙදර අයගේ විශේෂ සැලකිලි නිසා අපිට ආගන්තුක බවක් දැනෙනවා! ගතියට ලියලා!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අපිත් ආගන්තුකයෝ.

      Delete
  24. කොහොමදෝ මන්දා මට මේ පෝස්ට් එක මිස් වෙලා නලිනි, අපදාරේ!! ඒකත් හොදයි එක අතකට ඔක්කොම කමෙන්ට්ස් ටික කියවගන්න ලැබුනා ඒක නිසා, අපදාරේ නෑ!! :)

    කුරුල්ලන්ගෙ සින්දුවලත් එකේක වර්ශන්ස් තියෙනවා.. රාග-තාල තියෙනවා.. ස්ලෝ බීට්ස්, ෆාස්ට් බීට්ස්, රී-මික්ස් කරපුවා, ශාස්ත්‍රීය ඒවා.. ලංකාවෙ ඉන්න කුරුල්ලන්ගෙන් ලස්සනටම සිංදු කියන එක්කෙනෙක් තමා වල්-පොල්කිච්චා..

    ReplyDelete
  25. එයාගෙ නමට "වල්" කෑල්ලක් තිබුනට එයා වල් නෑ මෙයා. මේ බලන්න , එහෙම වල් පාටක් තියේද කියලා:

    වල් පොල්කිච්චා

    ReplyDelete
    Replies
    1. හෑ! බොරු කියන්න එපා, ඔය ඉන්නෙ නිකං පොල්කිච්චා.. උඹ අපිව නොමග යවන්නයි හදන්නෙ.. :D

      මේ ඉන්නෙ බුවා.. White-rumped Shama කියලා සර්ච් කරලා බලාන්ට..

      Delete
    2. එහෙනම් අර සුමිහිරි ගී ගායනා කළේ මේ වල් පොල්කිච්චද දන්නෙ නැහැ.

      Delete
  26. අක්කො ඔයාගේ සයිබීරියන් යාලුවො දෙන්නාමට අඳුන්නලා දෙන්න බැරිද? මය ආසයි සයිබීරියාවෙ යන්ට :බල්ශේ බ්ලශ්

    ReplyDelete
  27. ශ්‍රීමාMay 11, 2012 at 1:12 AM

    මගේ අම්මේ මෙච්චර ජාති කුරුල්ලො එනවද ඔය වත්තට?
    මොනා උනත් සොබාදහමත් එක්ක කරපු ගැලපීමනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගස්කොලන් වදල හින්දා කුරුල්ලො ගොඩයි.

      Delete