Thursday, January 26, 2012

කැලෑ නීතිය

රාජකාරි අතරතුර පුංචි විවේකයක්. සමහරු උදේ ආහාරය ගන්නට සූදානම. සමහරු පොත් පෙරළාගෙන පාඩම් කරනවා. එක්කෙනෙක් පුවත්පතක් පෙරළාගෙන.

"අනේ බලන්න, අපේ අය්යගෙ පොඩි දුව, හරිම ලස්සන, සුදුම සුදු බබෙක්. ඒත් එයාගෙ උපතින්ම මුහුණෙ එක පැත්තක මාංශ පේශි වැඩ කරන්නෙ නැහැනෙ." මිහිරි කතාව පටන් ගත්තා. කවුරුත් වැඩ නවත්වලා ඇයට සවන් දෙන්නට වුණා.
"ඒ පැත්තෙ කන් පෙත්තත් නැහැ. ඒකනම් කොන්ඩෙන් වහ ගන්න පුළුවන්. ඒත් කටේ ඇදේ කොහොම වහන්නද? ඇහැ හරියට වහන්නත් බැහැ. මේ ළඟදි මොන්ටිසෝරියෙ ටීචර් නාට්‍යයකට ගන්න ළමයි තෝරලා. දුවට හිනා වෙන්න කිව්ව ගමන් එයා එක පාරටම හිනා වෙන්න ලෑස්ති වුණත් ඒ ගමන්ම ආපහු කට වහ ගත්තලු. එයා දන්නවා ටිකක්වත් ඒ ඇදේ නොපෙනෙන්නෙ කට වහගෙන ඉන්නකොට බව."
"අනේ....." "ඔච්චර පුංචි ළමයෙක් වෙලත් ඔය දේවල් තේරෙනවද?" "පව්ව්ව්ව්."
"එයාට හොඳටම ඒක තේරෙනවා. එයාගෙ උපන්දිනේට අක්කා ලස්සන ගවුමක් මහලා දීලා. එයා ඒක ඇඳලා කියනවලු, 'අම්මා, මේක කොච්චර ලස්සන වුණත් මගෙ කටේ ඇදේ වැහෙන්නෙ නෑනෙ' කියලා."
"අනේ පව්. සමහරවිට මොන්ටිසෝරියෙ අනික් ළමයි ඒ ගැන අහනවා ඇති."
"ලොකු මිනිස්සු වුණත් ඔහොම දෙයක් දැක්ක ගමන් අම්මලගෙන් ඒ ගැන අහනවනෙ, ළමයට ඇහෙන එක ගැන නොහිතා."
"නැතත් අපේ බබාලා වුණත් කොච්චරවත් කන්නාඩියෙන් එහෙම බලනවනෙ. මෙයත් එහෙම බලනකොට එයාටම පේනවා ඇතිනෙ වෙනස."
"ලොකු වෙනකොට තවත් දුක  හිතෙයි."
කවුරුත් තම තමන්ගේ අදහස් කියති.
"කෙල්ලෙකුත්නෙ." මිහිරි කල්පනාවෙන් කියයි.
"කොල්ලෙක් වුණත් එච්චර තමයි. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අනික් කොල්ලො කොච්චර සවුත්තු කරනවද? අපි වුණත් ඒ කාලෙ එහෙමයි. දැන් තමයි තේරෙන්නෙ ඒක නරකයි කියලා." සමන් කියයි.


"අනේ ඔව්." සරෝජිනි එකඟ වෙයි. "අපේ පුතාගෙ මූත්‍ර මාර්ගය හරියට පිහිටලා තිබුණෙ නෑනෙ. ඒක හරි ගස්සන්නෙත් අදියර තුනකින්, ළමයා ටික ටික ලොකු වෙනකොට. එයා වාඩිවෙලා මූත්‍රා කරන නිසා පන්තියෙ ළමයි 'ගෑනි' කියලා නමක් දාලා. ඒත් මොන්ටිසෝරි වයසෙ ළමයි. පුතා යන්නම බෑ කිව්වා ඉන් පස්සෙ. ගෙදර ආ වෙලේ ඉඳන් අඬනවා. බොහොම අමාරුවෙන්, ඉස්කෝලෙ වෙලාවෙදි වැසිකිළි යන්න ඕනෙ වුණොත් තනියම යන්න උගන්නලා, බලෙන්ම තමා අන්තිමට යවා ගත්තෙ."

"ඒක තමා මම කිව්වෙ. අපිත් ඒ දවස්වල ඇවිදින විදිහ, කතා කරන විදිහ බලලා ගෑනි, ලතා වගේ නම් දැම්මා. හෘදය වස්තුවෙ හිලක් තියෙන එකා හිලා. ගොතයක් තියෙන එකා ගොතයා. කන්නාඩි දාන එකා කන්නාඩි පොළඟා. ඒ ළමයින්ට ඒකෙන් කොච්චර රිදෙන්න ඇද්ද කියලා හිතෙන්නෙ දැන් තමයි." සමන් නැවතත් කියයි.

"අපේ පන්තිවලත් හිටියා ගොතයෙක්. මං ඌට ගොතයා නොකිව්ව හින්දා ඌ මගෙත් එක්ක විතරක් යාළුයි. දැන් මිනිහා හෙන ලොකු තනතුරක. ඒත් ඒ කාලෙ කා එක්කවත් කතා නැහැ. කිසි දේකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මගෙත් එක්ක හිතවත්කමනම් තාම එහෙමමයි." කස්තුරි සිය හිතවතෙකු සිහි කරයි.

"ඕවා වැඩිහිටියන්ගෙත් වැරදි. මිනිස්සුන්ගෙ වැඩේම අනුන්ගෙ ඇදකුද හොයන එක; ඒවට හිනා වෙන එක. ළමයිනුත් ඒවා අහගෙන ඉඳලා ඉගෙන ගන්නවා ඇති."

"එහෙමම කියන්න බැහැ." සමන් කල්පනාවෙන් කියයි. "ළමයි කොහොමත් අවංකයි. උන් හිතට එන එක කියනවා. ලොකු මිනිස්සු කියා දීලා නෙවෙයි. දැන් මෙහෙම වුණාට, කැලේ ජීවත් වෙනකොට ඔය වගෙ අඩුපාඩු තිබුණු උන්, ලෙඩ උන් ඉතුරු වුණේ නෑනෙ. ශක්තිවන්තයා උන්ව පාගලා, නැති කරලම දැම්මා. ඒක තමා කැලෑ නීතිය. දැනුත් අපේ කැලෑ ගතිය ඉඩක් හම්බුණු හැටියෙම මතු වෙනවා. ළමයින්ගෙ වුණත්."

"හ්ම්."

සමහරවිට ඒ නිසා වෙන්නට ඇති මිනිස්සු ලෙඩ රෝග හංගන්නට හදන්නෙ. එහෙම නැති බව පෙන්වන්නට ගිහින් ඇතැම්විට මරණයට පවා අත වනන්නෙ. හිතන්නටත් පුදුම වුණත්, ඒ විදිහට රෝගයක් නිසා සමාජයෙන් ප්‍රතික්ෂේප වනු ලැබීමෙන් වළකිනු පිණිස, සමාජයෙ පිළිගත් ජීවන රටාවෙන් බැහැර නොවනු පිණිස, දරුපෙම, සහෝදර පෙම පවා ඉක්මවන අයුරු මම දැක තිබෙනවා.
ඉන් එක් සිද්ධියක් අපේ හෙද නිලධාරිනියකම පැවසූවක්. ඇගේ සොහොයුරිය බරපතල හෘද රෝගයකින් පෙළෙන බව සොයා ගත්තේ ඇය කුඩා කාලයෙදිමයි. සැත්කමකින් ඇයව සුවපත් කරවීමට හැකියාව තිබුණත්, එවිට ඇයව කවුරුන්වත් විවාහ කර නොගනු ඇතැයි කියන අරුම පුදුම බිය තමයි ඇගේ දෙමවුපියන්ට වැදගත් වුණේ. ඊටත් වඩා, හෙදියක වීමෙන් පසුව පවා, ඇගේ සොහොයුරියත් දෙමවුපියන්ගෙ මේ මතයම පිළි ගත්තා. ඔවුන් කළේ ඇය කිසිම රෝගයක් නැති කෙනෙකු ලෙස පෙන්වා විවාහ කර දීම. රෝග තත්වය අනුව ගැබිණියක වීම ඇගේ මරණයට හේතු විය හැක්කක්. නමුත් ඔවුන් කළේ, ඇයට ගර්භණී වීමට ඉඩ හැර, අනතුරුව ගැබිණි සමයේදී රෝගය අලුතෙන් "සොයා ගන්නට" ඉඩ හැරීමයි.

සම්මත තත්වයනට වෙනස් විදිහකට උපත ලැබූවිට සමාජයේ පිළිගැනීම එහෙමනම්, අපි තවමත් කැලේ බව නොසිතා කොහොමද?

62 comments:

  1. ඒවගේ කෙනෙක් එක්ක කතා කරද්දි මම් නම් ගොඩක් පරිස්සම් වෙනව.කවදාවත් ඒ අඩුපාඩුව ගැන අහන්නෙ නෑ එයා කීවොත් මිසක්.අපිට එහෙම උනානම් අපිටත් දුක හිතෙනවනේ.ඒ නිසා.සමහරු එහෙම නෙමේ අඩුපාඩුවක් දැක්කම පැන පැන අහන්නෙ ආ...ඇයි ...මේ මොකද උනේ..අනේ..පව් නේ... බ්ලා බ්ලා...

    ReplyDelete
    Replies
    1. ඔව්, අහලා උදව් කරන්නත් නෙවෙයිනම් ඒ ගැන එතරම්ම අහන්නෙ මොකද කියලා හිතෙනවා නේද සමහරු එහෙම හාර හාර අහනකොට.

      Delete
  2. අපේ ගමේ හිටපු මිනිස්සුන් ගේ නම්

    චෝක් කණා, බකලයා, ගල් තොප්පියා.. .. ...

    ඒ දවස්වල ඒවා ගැන වැඩිය තේරෙන්නේ නැති වුණාට පස්සේ මට හිතුනා මේ වැඩ කොච්චර කැත ඒවද කියලා.

    ශාරීරික ආබාධ ගැන හිනා වෙන එක තරම් කැත වැඩක් තව තියේද?

    මං තුනේ පන්තියේදී මට කණ්ණඩි දෙකක් අරන් දුන්නා. කොල්ලෝ කණ්ණඩි පොළඟා කියපු නිසා මං ඒක අත හැරලා දැම්මා. වයස 32 දී තමයි තේරුනේ ඒකේ රඟේ.

    මේවා ජාතික ප්‍රතිපත්තියක් මත පදනම්ව මහා මාකටින් ව්‍යාපෘතියක් සහිතව වෙනස් කළ හැකි දේවල්!

    ReplyDelete
    Replies
    1. මතකද ලාදුරු ගැන ගිය ටෙලිය?

      අන්තිම කොටසේදීයි අපි දන්නේ මේක මාකටින් වැඩක් කියලා. මං හිතන විදියට ඒ කතාව මාර වෙනසක් ඇති කළා සමාජයේ ලාදුරු ගැන.

      Delete
    2. ඒක ඇත්ත. මහාචාර්ය නිමල් සේනානායකයන් විසින් තිර රචනය ලියැවුණු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශනය වුණා ඒ කාලෙදි, ඔය වගේ. ලාදුරු කතාවත් මට මතක ඔහුගෙ රචනයක් වගෙ. සමහරවිට මම වැරදි ඇති. අපස්මාරය සහ මානසික ආබාධ ගැන කතා කළ නාට්‍ය තිබුණු බව මතකයි. මේ වගෙ නාට්‍යවලින් සමාජයේ හිතන ක්‍රමය වෙනස් වුණා. නමුත් පසුකාලීන නාට්‍යවල ආබාධ සහිත පුද්ගලයින්ව යොදා ගත්තෙ හාස්‍යය පිණිස.

      Delete
    3. ලාදුරු ගැන ගිය ටෙලිය "ඉර පායා"... සමිතා රඟපාන ගමන්ම සිංදු කියපු කථාව..

      Delete
  3. අන්තිම කොටස කියෙව්වාම මතක් උනේ . . අපි පුංචි කාලේ අපි ඉස්ස්‍ර හිටි ගෙවල් ලඟ ගෙවල් ලඟ ලස්සන අක්ක කෙනෙක් හිටියා අශෝකා කියලා . . .එයාලගේ පවුලෙ අය කලෙත් ඔය වැඩේමයි . . අනේ ළමයා හම්බවෙන්න ගිහින් අක්කා මැරුනා. අපි අපේ ගේ ඇතුලට වෙලා අඬ අඬ හිටියා. . . මිනිය උස්සන දවසේ අක්කයි මායි හොඳටම ඇඬුවා කියලා මතකයි. දැන් ඒ පුතා ලොකු ඇති.

    අර කියපු අනිත් වැරදි නම් අපි තාමත් කරනවා නලිනි.

    එක එක්කෙනාගේ සරීර අඩුපාඩු හොයලා නම් දාන එක.

    කබර තියෙනවනම් ඌ කබරයා හරි කබරි හරි . .
    කකුල ඇදයි නම් නොන්ඩියා . .
    වපරයිනම් බොම්බේ ලුකින් කල්කටා . .

    මාව පිච්චුනාට පස්සේ බස් වල යද්දී මිනිස්සු මට තියෙන්නේ කබර කියලා හිතලා පිලිකුලෙන් ඈත් වෙනකොට මානසික වේදනා විඳිනකොට තමා තේරුනේ ඒ මිනිස්සු කොයි තරම් නම් දුකක් වේදනාවක් විඳිනවා ඇද්ද කියලා . .

    ReplyDelete
    Replies
    1. අර අක්කා වගේ අකාලයෙ මිය යන තව කීදෙනෙක් ඇද්ද? හිතන්නත් අමාරුයි මිනිස්සු තවමත් මේ විදිහට වැඩ කරන බව.

      Delete
  4. ඇත්ත සහතික ඇත්ත. අපි කවදා හැද්න ජාතියක්ද? ලමයි නම් අවංකයි තමා. ඒත් මුල ඉඳලම උන්ට කියලා දෙන්න ඕනෙ අනිත් අයගේ අමාරුව. බැරිකම ගැන. කොටින්ම මිනිහා කියන්නේ සුන්දර සතෙක් කියන එක තේරුම් කරලා දෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්, වැඩිහිටියන්ගෙ වගකීම.

      Delete
  5. මෙය කැලෑ නීතිය නොව කැලෑ ගතියයි.

    අවාසනාවකට මෙන් උපතින් ලැබේ, අවබෝධයෙන් දුරු කර ගත යුතුය!

    ReplyDelete
  6. පොඩිකාලේ නොදැන කලා..

    දැන් දැන දැනත් කෙරෙන වෙලාවල් නැතිවා නෙවෙයි..

    ඉස්සරහටවත් නොකර ඉන්න බලමු..ඒත් මගේ කැලෑ ගති එහෙම් පිටිම්ම යයි කියලත් හිතන්න අමාරුයි... අවුරුදු සිය දහස් ගානක් තිස්සේ ජාන වලින් ආව දේවල් ආයාසයෙන් යටපත් කර ගත්තත් නැත්තට නැති වෙන එකක් නැහැ...

    ReplyDelete
  7. ඔයාකාරයෙන් කොන් වන අයගෙන් බොහොමයක් දිගටම කොන් වෙලා තමයි ජීවිතය ගත කරන්නේ.ඒත් අත්දැකීම් වලින් පන්නරය ලබා අනිකුන් අබිභවා යන ධෛර්යවන්තයෝත් නැතිවා නොවෙයිනේ.

    මිනිස්සු දැන ගන්න ඕනි අනිත් අයගේ අඩුපාඩු,දුර්වලතා මත අනිකුන් කොන් නිකිරීමට, අපහාස නොකිරීමට. ඒ වගේම ඒ ආකාරයෙන් කොන් වන අයට කියා දිය යුතුයි අනිත් අයට තමන්ගේ තිබෙන හැකියාවෙන් පාඩම් කියා දෙන ආකාරය.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම අයගෙ තියෙන හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාව සැලසීම තමා හොඳම දේ.

      Delete
  8. මමත් පොඩි කාලේ ඔය වගේ ආහෙට නාහන අනුන්ට ඇද කරන කමකට නැති එකෙක් . ඒත් දවසක් මම නොන්ඩි ගහන කෙනෙකුට ඇද කරනවා දැකලා මගේ සීයා මට කීවා

    "උඹටත් ලබන ආත්මේ ඔහොම තමයි යන්න වෙන්නේ"

    ඔය කතාව ඒ කාලේ පොඩි එකෙක් වෙච්ච මට හොඳටම දැනුනා ඊලඟ ආත්මේ කියන දේ මගෙ හිතට වැදුනේ නිකම් ඊලඟ මාසේ කියන තරම් ලඟින් .. අන්තිමේදී මම කවදාකවත් මනුස්සයෙකුට ඇද කරන්න ගියේ නෑ ..

    දැන් ඉතින් පොඩි එකා නෙවෙයිනේ . ඒ හින්දද කොහෙද තව මිනිහෙකුගේ දුකක් මට හොඳට තේරුම් ගන්න හැකියි ..

    ReplyDelete
    Replies
    1. සීයාගෙන් වැදගත් පාඩමක්.

      Delete
  9. සහතික ඇත්ත අපි ඉන්නේ ගල් යුගේටත් අන්ත යුගයක. ඉස්සර මට කොල්ලො කියන්නේ කරෝලිස්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. කරෝලිස් කියන්නේ පාරේ කියව කියව යන (පිස්සූ) ගැහැනියක්. නමුත් මේ මනුස්සයා මාත් එක්ක හොඳට කතා බහ කරනවා. අපේ ගේ ගාව ඇන්ටිත් මේ මනුස්සයට ආදරෙයි. එයා හිතන්නේ ඒ මගේ අම්මා කියලා. ඉතින් ඇන්ටිවත් මමවත් ඒ දේ වෙනස් කරන්න ගියේ නෑ. ඒත් මම දවසක් කිව්වම ඒ මගේ අම්මා නෙමෙයි කියලා. කරෝලිස් කිව්වා මම දන්නවා මහත්තයෝ. මම හොඳටම දන්නවා. ඒත් මහත්තයගේ වත් ඒ රත්තරන් නෝනගෙවත් හිත රිද්දන්න මට හිත් දුන්නේ නෑ කියලා. එතකොට කාටද පිස්සු...?

    ReplyDelete
    Replies
    1. මේක නම් මාරම කතාවක්

      Delete
    2. එක්තරා විදිහක සුන්දර අත්දැකීමක්. අන්‍යොන්‍යව හිත් නොරිදවා ඉඳලා.

      Delete
  10. මානසික හා ශාරීරිකව වෙන සුලු හෝ ලොකු අබාධ වීම් , බාහිර ශාරීරික පෙනීමේ විරූපී කම් , සුව කිරීමට අපහසු ලෙඩ , සෙක්ෂුවලි ට්‍රාන්ස්මිටඩ් ඩිසීසස් එහෙම නැත්නම් පරම්පරාවෙන් බෝවෙන්න පුලුවන් ලෙඩ වලදි අපි ජීවත් වෙන මේ සමාජේ බොහොම දරුණුයි .

    ඔය කියන සම්මත රාමුවේ නැති මිනිස්සු එයාලගේ මුලු ජීවිත කාලෙම ගොඩක් වෙනක් කර සැලකීම් , හෙලා දැකීම් , අපහාස වලට ලක්වෙනවා ඒක ගෙදරදි , අසල්වැසියො අතින් , පාසලේදී , රැකියාවක් ගන්න ගියහම , එහෙම නැත්නම් තමන්ට මනුස්සයො හැටියට ඇති යම් අයිතියක් ලබාගන්න ගියහම හැම වෙලාවෙම කොන් වෙනවා .

    ඒත් මේ බොහොමයක් දෙවල් සුව කිරීම් , පාලනය කිරීම් කල හැකියි . ඔවුන්ටත් සාමාන්‍ය සමාජයට එන්න පුලුවනි .අපි වගේම ඉගෙන ගන්න , රැකියා කරන්න , සමාජ ජීවිතයක් ගෙන්වන්න ඔවුන්ට අයිතිවාසිකම් හිමියි .ඔවුන් හැම කෙනෙක්ම මනුස්සයො . ඒ මනුස්ස ගෞරවය අපි ඔවුන්ට දෙන්න ඕනේ . පවුල සමාජයට මග පෙන්වන කුඩාම ඒකකය කිව්වට , එතැන එක ව්දියකට බොහොම දරුණු බෙදා වෙන්කිර්‍රිම් , වෙනස් කර සැලකීම් , කලහකාරී හැසිරීම් ( violence and discrimination) අපිට පුංචිකාලෙම බොහොම උපක්‍රමිකව උගන්නන දරුනු තැනක් කියලයි මට හිතෙන්නේ .

    අපිට වඩා වෙනස් මිනිස්සුන්ට ඔය වෙන්ස්කර සැලකීම් අපහාස කිරීම් ලයිස්තුව තව දිග්ගැහෙනවා ...එත්නික් (ethnic identity ) අයිඩෙන්ටිටි එක , කුලය -race , සෙක්ෂුවල් අයිඩෙන්ටි ( sexual identity ) එක ඔය වගේ දේවල් තව ලයිස්තුවට පස්සේ කාලෙකදී එකතු වෙනවා

    එකම දේ බැන බැන ඉන්නේ නැතුව අපේ පුද්ගලික ජීවිත වල හරි මේ දේවල් ගැන පොඩි වෙනසක් කිරීම.අඩුම ගානෙ ..අපි යමක් ලියද්දී කතා කරද්දී ඔහොම උදවිය හඳුන්වා දීම් කරද්දී අපහාස නොවෙන වචන වලින් ඔවුන් හඳුන්වන්න පුලුවන් නම් ......
    අන්තිම කාරණාව පුද්ගලිකව මම ඇත් දැකපු දෙයක් .ඔහොම මොනවහරි අපිට අනුවනම් අඩු පාඩුවක් ඇතුව ඉපදිච්ච එහෙම නැත්නම් අපේ මහා සම්මත සමාජෙට අයිති නැති කියන ඔය මිනිස්සු වැඩි දෙනෙක් බොහොම හොඳ හදවත් තියෙන , දක්ෂකම් තියෙන සුන්දර මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැදගත් අදහස් ටිකක් ... ඔයාට ගොඩක් ස්තුතියි!
      මගේ හොඳම යාලුවෙකුත් මෙහෙම 'උපතින් ආබාධිත' කියන ලේබල් එක තියෙන කෙනෙක්. ඒත් එයාට ඒ ලේබල් එක ගහල තියෙන්නේ අපේ සමාජෙන්. නැත්නම් එයාගේ වැඩ කිසිසේත්ම 'ආබාධිත' නැහැ.

      Delete
  11. මගෙත් උපතින්ම කටේ උඩු ඇන්ද ඉස්සරහට ඇවිත් තිබ්බේ. ඒකට පොඩි කාලෙම ප්ලේට් එකක් දැම්මා. මම ඒක අවුරුදු 5කටත් වඩා දැම්මා. අප්පේ ඒ කාලේ අපේ ඉස්කෝලේ උන් මට දාලා තිබ්බ නම් ගොඩ! අපේ අම්මා තාමත් මතක් කරනවා ඒ කතා අහහෙන අවුරුදු ගානක් ඕක දැම්ම එකම පුදුමයි කියලා.

    තවදුරටත් ඒක දාන්න අවශ්‍යය නෑ කියලා මාව පරීක්ෂා කරපු දොස්තරලා කියලා දැන් අවුරුදු 7කටත් වැඩියි. පොඩි කාලේ මට කට වහන්න බෑ. ඒත් දැන් එහෙම දෙයක් තිබ්බද කියලවත් හොයන්න බෑ. ඇත්තමයි මේක කියෙව්වාම තමයි මට එහෙම දෙයක් වෙලා තිබ්බයි කියලත් සෑහෙන කාලෙකට පස්සේ මතක් උනේ!

    ReplyDelete
    Replies
    1. සෑහෙන හිතේ හය්ය තියෙන ළමයෙක් වෙන්න ඕන. හුඟක් වෙලාවට ළමයින් කන්නාඩි, ප්ලේට් වගෙ දේවල් භාවිතා කරන්නෙ නෑ ඉස්කෝලෙදි.

      Delete
  12. පොඩි දවස් වල යාළුවන්ට එක එක දේවල් වලට නම් හැදුවා.. කකුල් වල ඇදයක් තියෙන අයට බකලයා කිවුවා.. කාලයත් එක්ක තමයි ඒ දේවල් වැරදියි කියලා තේරෙන්නේ.. පුංච් කාලේ කාට හරි ඇද කරනකොට එහෙම කරන්න එපා පුතේ ඒක හොද නෑ කියලා අපේ අම්මා කියනවා තාම මතකයි..

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියන් ඒ විදිහට පෙන්නලා දෙන එක හුඟක් වටිනවා.

      Delete
  13. කුඩා කාලයේ නොදන්නා කමට කියන්න ඇති. දැන්නම් කවදාවත් එහෙම වචන කියන්නේ නැ. අපි දැනගත යුතුයි අපේ දරුවත් මේ ගැන දැනුවත් කිරීමට. ඒක දෙමපියන් විසින් කල යුතු දෙයක්. බොහෝ අය නොසිතන මාතෘකාවක්
    ඔබ ‍රැගෙනවිත්. බොහොම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. වෙනස් කෙනෙක් දැක්කහම ළමයින් ඒ ගැන කුතුහලයෙන් බලනවනෙ. නමුත් නිවැරදි කරගන්නට ඕන ගතිගුණයක්.

      Delete
  14. මේ වේදනාව හොඳටම දන්නා විඳින කෙනක් මම.. සමහරක් මිනිස්සු දරුවා පණ නැති බිත්තියක් කියල හිතල කතාකරනවා. එතකොට දරුවාට එන වේදනාව අපිට දැනෙනවා. ඒ හින්දා එවැනි අවස්ථා කලින්ම මගහරින්න අපිට සිද්ද වෙනවා. දරුවා කෙනෙහිලිකම් වලින් බේරන්න අපි සමාජයෙන් ඈත්වෙනවා.. අඩුපාඩු ඇති දරුවන්ට අවශ්‍ය වෙන්නේ අනුකම්පාව නෙවෙයි.. පිළිගැනීම.. වෙනස් ඇස් වලින් නොබැලීම..අඩුපාඩු වලට නොගැරහීම.. සුපිරි බවුද්දයෝ ඉන්නවයි කියන ලංකාවට වැඩිය ඒ අතින් අනිත් රටවල් හුඟක් ඉදිරියෙන්.. එක ප්‍රදාන හේතුවක් මගෙ පිටුවහල් උන ජීවිතයට..
    බුදු බන ඇසුවා නිරන්තරේ
    බුදු බන කීවා නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තාමත්
    වනන්තරේ .. වනන්තරේ..
    කියන ගීතය අහිංසක සත්තුන්ට අපහාසයක් නලිනී.. මන් ඇහින් දැක්කා අංග විකල අලියාට අනිත් අලි ආදාර කරන හැටි අනාතාගාරයෙදී . වනසත්තු හොඳයි මිනිස්සුන්ට වඩා..
    කැලේ නීතිය කියන්නේ බලවතා දුබලයා පෙලන එක කියල වැරදි මතයක් අපේ අතරේ තියෙනවා. කැලේ නීතිය කියන්නේ බඩගින්නට විතරක් සතෙක් මරාගෙන කන නීතියක්. ඒ සඳහා සොබා දහම ඉඩ සලසල සොබාවික ආයුද සපයලා තියෙනවා. මහා පරිමාන ජීවිත විනාශයක් නැහැ.. මැරීමක් ලොකු සතෙක් පොඩි සතෙක් මරා ගත්තට තනියම කන්නේ නැහැ.. දඩයම කල සතාගේ පටන් පොළොවේ ඉන්න පනුවා දක්වාත් ගහකොළ දක්වාත් මල සතා ආහාර බවට පත්වෙනවා.
    සමාවෙලා මේකේ ශීර්ෂය මනුස්ස නීතිය කියල වෙනස් කරනවද ?

    ReplyDelete
    Replies
    1. ඔය ගැන ඇතිවුණු කතාබහේදි, ස්වභාවිකවරණය ගැනත් ඇදිලා ආව නිසයි කැලෑ නීති, කැලෑ ගති ගැන අදහස් ආවෙ. දුර්වල සතෙකුට ජීවත් වීම අපහසු නමුත්, හිතාමතා අනෙකුත් සතුන් විසින් පාගා දමන අවස්ථානම් අඩුයි මම හිතන්නෙ. ආහාර වගේ දේකදි ශක්තිවන්තයා ජය ගන්නා නිසා එහෙම දේකට සටන් කළ නොහැකි සතුන් අයින් වුණොත් මිස. අනෙක් අතට අනුන්ට අපහාස උපහාස කිරීමනම් ඇත්තෙ මිනිස් සමාජය තුළම පමණයි. එහෙම බැලුවහම, මේක මනුස්ස නීතිය තමා.

      Delete
    2. මම කොමෙන්ට්එක දාන්න එද්දි සරත් අයිය කොමෙන්ට් කරල . . .
      http://lankapriyagesithivili.blogspot.com/2012/01/blog-post_26.html

      Delete
  15. සහතික ඇත්ත...

    ReplyDelete
  16. අනුන්ගේ ඇද වලට අපහාස කිරීමට කුඩා ළමයි ඉබේම පෙළඹෙනවාද කියන එක මටනම් සැකයි. මගෙ අත්දැකීමනම් ළමයි හැමවිටකම අනුකම්පා සහගතයි කියන එක. කකුළක් කැඩුනු බල්ලෙක් දැක්කොත් අනේ පව් කියන දරුවා කට ඇද වුනු ළමයෙක් දැකල හිනාවෙන්නෙ, විහිළු කරන්නෙ ඇයි?
    මේකත් ජාතිවාදය නෙවෙයිද?
    තමන්ට වෙනස් කර ගැනීමට නොහැකි ජන්මයෙන් ලැබුනු දේවල් විවේචනය කිරීම මනුස්සකමට නොහොබින දෙයක් බවයි මගේ හැඟීම.
    මේ පෝස්ට් එකට මේ වගේ මාතෘකාවක් තෝරාගැනීම අගය කළ යුත්තක්.

    ReplyDelete
    Replies
    1. එක් විදිහක ජාතිවාදයක්.

      Delete
  17. මගෙ මහත්තයාගෙ අක්කාගෙ දුවක් ඉන්නවා නංගි එයා ඔටිසම් බබෙක් . දැන් අවුරුදු 25ක් වෙනවා. මගෙ ලොකු පුතාට වඩා මාස හයක් බාලයි. මම කවදාවත් ඒ දුවව අපේ දරුවන් ගෙන් වෙන් කලේ නෑ. පුතාලා නංගිට අදටත් හරිම ආදරෙයි. ඒ උනාට නෑ ගෙදරකට ගියාම , පන්සලට ගිහාම එයා දිහා හරිම අමුතුවට තමයි කට්ටිය බලන්නෙ. හරිම දුකයි ඒ ගැන. අපිට දෙයක් උනාම තමයි ඒ වේදනාව දැනෙන්නේ. ස්තූතියි මෙහෙම වත් මේ වගේ ප්‍රශ්ණ ගැන කතා කරනවාට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කා, හුඟක් අයට තමන්ටම වෙනකම් තේරෙන්නෙ නැහැ. පොඩි කාලෙ ඉඳන්ම වැඩිහිටියො ඒ දේවල් කියා දෙන එක වැදගත් වෙන්නෙත් ඒ නිසා.

      Delete
  18. මේ නරුම කමින් මිදෙන්න අපිට තවම බැහැ.

    හැබැයි මේ තනිකර ම අනිකා පරයා නැගී හිටින "කැලෑ නීතිය" හෙවත් පරිනාමික තරගකාරිත්වය ම නොවේ. මෙහෙම කරන අයට එතුලින් ලැබෙන ලොකු වාසියක් නැහැ [වාසි ගන්නත් කරන අය ඉන්නවා]. ඊට එහායින් මෙතන තියෙන්නේ මිනිස් සිතට උරුම පරපීඩක තෘප්තිය.

    පරපීඩක තෘප්තියක් ලබන අප දන්නා එකම සතා මිනිසා නිසා [මේක නම් වැරදි ඇති. මං දන්නා තරමින් කිව්වේ] ඒකට "කැලෑ නීතිය" කියන්න බැහැ.

    මම පරමාදර්ශ ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒත් හැම දෙයක්ම නව්‍යකරණය වෙන්න ඕනේ බවත් ඒ හැම විටම යහපත් වෙනසක් වෙන්න ඕනේ බවත් විශ්වාස කරනවා. ඒ අතින් ලංකාව හරි ම පසුගාම්යි.

    හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. මූනට මැනර්ෆුල් විදිහට හැසිරිලා ඒ අඩුවෙන් වාසි ගන්න අය දියුණුයි කියන ලෝකේ සුලභයි. එතැනදී නම් එහෙත් වෙනසක් නැහැ. මේ වෙනස එන්න ඕනේ ඉන්ටෆේස් එකේ නොවේ හිත ඇතුලේ.

    ළඟදී අපිව රකින්න ගිහින් අංගවිකල වුන රණවිරුවන් නිසා මේවා ගැන වෙනස් කතිකාවක් ආවා. සිදුවිය යුතුව තිබ්බේ ඒවායින් වත් හිත්වෙනස් වෙන්න. ඒත් දැන් වෙමින් තියෙන්නේ ඒ මිනිසුන්ගේ කැප කිරීමත් අමතකව සමාජය උන්නු තැනටම යන එක.

    මට නම් මෙහෙම කැපිලි ආවොත් මට හිතෙන දේමයි කරන්නේ. ඒක නිසා වෙන්නැති මට ඕනේ විදිහට ඉන්න පුරුදු වුනේ. මගේ හිතට එකඟව නොකර ඉන්න හිතුනොත් ම විතරයි මම නොකර ඉන්නේ යමක්. හිනා වෙන උන් හිනා උන දෙන්.

    අද ඩොකියුමන්ටරි එකක් වගේ. ප්‍රබන්ධ වලින් පොඩි විරාමයක් ද?

    ReplyDelete
    Replies
    1. ඉඩ ලද අවස්ථාවේ, හැකි මට්ටමකින් ලබන පරපීඩක තෘප්තියක් බවනම් ඇත්ත. අනෙක් අතට ඒ තැනැත්තාව ප්‍රතික්ෂේප කිරීමක්. මම සුජීවට කිව්ව අනික් කතාවෙ වගේ.
      ප්‍රබන්ධ බාගෙට ලිව්ව ඒවනම් තියෙනවා. මේ දවස්වල හොඳටම අවිවේකියි. :( ඩොකියුමන්ටරිම වෙයිද මන්දා ඉස්සරහට.

      Delete
  19. මේ කතාවට පාදක වුනේ මේ දවස්වල බ්ලොග් අවකාශයේ යන ප්‍රකටම සිද්ධිය නොවෙයි නේද?

    "අනුන්ගේ අඩුපාඩු වලට හිනා වෙන්න එපා"

    ඒකටත් ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. සුජීවට පත්තු වෙන්න අද කල් ගියාද මංදා..?

      Delete
  20. පරිපුන් යැයි හිතන බහුතරයකගේ පෙලීමට ලක්වෙන කොටසක් ගැන මතක් කරපු වැදගත් පොස්ට් එකක්, කොමන්ට් වලින් කතිකාවේ වැදගත්කම තවත් මතු කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. නිතර නිතරම දකින්නට ලැබෙන දෙයක් ගැන කතා කරන්න හිතුවා ඩීන් අය්යා.

      Delete
  21. රීඩරේට පින් වෙන්න මේක කලින් කියවලා ගියා.
    (මේ දවස් වල බ්ලොග් විතරක් නෙමෙයි වැඩ අස්සේ හැමදේම ලිමිටඩ් වෙලා. )

    අනේ මන්දා..... මේ දවස් වල මම හැඬ්ල් කරන එක කේස් එකකත් ආබාධිත ළමෙක් ඉන්නවා. කොටින්ම ඒ කේස් එකට මම මේ තරමටම ඉන්වොල්ව් වෙන්නත් හේතුව ඒ ළමයා වෙන්න ඕනේ. මම ඉන්න රටේ නම් ඒ වගේ අයට හිනා වෙන්නේ නෑ. කොටින්ම අනිත් අයට වඩා හැම දේකම අයිතිවාසිකම් වැඩිමත් එයාලට. වෙලාවක් තිබ්බොත් මාත් ඉස්සරහට ඒ ගැන ලියන්න ඉන්නේ. ඒත් ආයේ මට බ්ලොග් ලියන්න වෙලා හම්බ වෙන එකක් නම් නෑ කාලෙකට. (මම පව්)

    ReplyDelete
    Replies
    1. ඒ අයට වැඩ කටයුතු කරගැනීම පහසු කරලා දෙන එක සමාජයෙ වගකීම.
      වැඩ වැඩි කාලයක් ඇවිත් වගෙ.

      Delete
  22. මමත් පුංචි කාලෙ නොතේරුම් කමට ඔහොම ගොං වැඩ කරලා තියෙනවා....ඒත් අර උඩින් කමෙන්ට් එකක් දාපු කෙනෙක් කිව්ව වගේ අනිත් අයගෙ අඩුපාඩු වලට ඇද කළොත් ඊළඟ ආත්මෙ මටත් එහෙම වෙයි කියලා අපේ අම්මා කිව්වට පස්සෙ මාත් හොඳටම බය උනා එහෙම කරන්න.... පසුකාලයකදි තමයි යථා තත්ත්වය ඇති සැටියෙන් තේරුම් අරගත්තෙ.....

    ඒත් අද මං මගේ දරුවන්ගෙ ඊට වැඩිය ලොකු වෙනසක් දකිනවා.... ඒ අය උස් මහත් වෙන්නෙ පිටරටක නිසා වෙන්නැති මං කවදාවත් අහලා නෑ ඒ අය කෙනෙකුගෙ ශරීර අඩුපාඩුවකට හිනා වෙනවාවත්, නම් පටබඳිනවාවත්....මගේ දරුවො විතරක් නෙවේ මෙහේ කිසිම කෙනෙක් එහෙම කරනවා මම නම් අහලා නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට නම් දාන එක, හිනා වෙන එක සාමාන්‍ය දෙයක් කියලා හිතන අයත් ඉන්නවනෙ. නමුත් අර විදිහට සමාජයෙන්ම ඒ හැඩ ගැහීම එනවානම්, ළමයින් ඒ වැරැද්ද නොකරනු ඇතැයි මමත් හිතනවා.

      Delete
  23. කිසිම දවසක කිසිම කෙනෙක්ට ශරීර අඩුපාඩුවක් ගැන සිනාවී නැත . අදටත් කෙනෙක් ගේ එවැනි අඩුවක් දුටු කල ඒ ගැන නාසා සිටීමටද හැකි තරම් උත්සාහ කරමි . මගේ දරුවන්ද එසේමය . මා ඔවුන්ට කියා දෙන්නේ අඩුපාඩුවක් ඇතත් ඔවුන් ජිවිතයට මුහුණ දෙන ආකාරය අපට ආදර්ශයක් බවය .
    ''කවද ඉඳන්ද ඔහොම වුනේ '' බෙහෙත් ගත්තේ නැද්ද ? ...ඔය වගේ ප්‍රශ්නත් රත්තරන් පිහි වැනිය .

    නලිනි ..කමෙන්ට් අකුරු ලොකු කරගන්න බැලුවේ නැද්ද . www.ramadasa.name ගිහින් බලන්න . මමත් ඉගෙන ගත්තේ එතනින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි, මම බලන්නම් ඒ ගැන.

      Delete
    2. මේකත් උපකාරී වෙන්න පුලුවන්:
      Change Blogger Comment Font, Size and Color

      http://www.southernspeakers.net/2012/01/change-blogger-comment-font-size-and.html

      Delete
  24. දොස්තර නෝනගේ ලිපිය කියවලු අය හැමෝම වගේ කථා කරලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා තියන දරැවන් ගැන බොහොම අනුකම්පා සහගතව....අපි ඔවුන්ව දකින්නේ ආබාධිත (Disable) පුද්ගලයින් විදියට නමුත් ඇත්තමට ඔවුන් ආබාධිත නෙමෙයි....ඔවුන් විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් (Different Able)....ඒ වගේම මේ දරුවන්ට වගේම විවිධ අවශ්‍යතා ඇති දරැවන්ට අවශ්‍ය අනුකම්පාව නෙමෙයි.. ඔවුන් අනුකම්පාව ලබන්න සුදානම් නැහැ...ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පිළිගැනීම.... උපතින්ම ඇස් නොපෙනෙන අයෙක් දැක්කම අපි ඔහ්ට අනුකම්පා කරනවා....නමත් ඔහුට ඒ අනුකම්පාව වැඩක් නැහැ.....මොකද ඔහු හෝ ඇය අපට වඩා හොඳට මේ ලෝකය දකින්න පුරුදු වෙලා තියනවා.... ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පිළිගැනීම.... ඔවුන්ව අතින් අල්ලා පාර මාරු කරවන එක නෙමෙයි... ඔවුනට පාර මාරු වෙන්න පුලුවන් ක්‍රමයක් හදලා දෙන එක.....රෝද පුටුවකින් යන කෙනෙක් බස් එකකකට නග්ගවන් එක නෙමෙයි.... කාගෙවත් උදව්වක් නැතිව රෝද පුටුව බස් එකට ඇතුල් කරන්න ක්‍රමයක්...

    විවිධ ආකාරයෙන් ඔවුනට අනුකම්පාව දක්වන අය කවදාවත් කැමති වෙයිද තමන් ගේ දරැවෙක් මේ වගේ විවිධ අවශ්‍යතා සහිත දරැවෙක් එක්ක පාසැලේ එක ලඟ බංකුවක වාඩි කරන්න... මෙන්න මෙතනයි අපි අසමත්.... අපි කොයි තරම් ඔවුනට අනුකම්පා කලත් වැඩක් නැහැ අපි ඔවුන්ව පිළිගන්නේ නැත්නම්.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බස්සා. ඒ අයගෙ කටයුතු කාගෙන්වත් පිළිසරණ බලාපොරොත්තු නොවී කරගන්න තියෙන එකම ඇති. අනෙක් අය හා සමානයන් ලෙසින් සැළකීමම ඇති.

      Delete
  25. මෑතකාලීනව ලැබුන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තියෙනවා සියලුම පොදු ගොඩනැගිලි වල ඩිෆරන්ට්ලි ඒබල් අයට ප්‍රවේශ පහසුකම් දෙන විදියට නිර්මාණය කරන්න කියලා .එය දැන් බලාත්මකයි


    ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(4) වගන්තිය අනුව මෙවැනි අය උදෙසා විශේෂ
    විධි විධාන Affirmative Actions - ගන්න නියම කරලා තියෙනවා . ඇෆර්මැටිව් ඇක්ෂන් ගනිද්දී රජයට ඒ වෙනුවෙන් මුදල් හා සම්පත් ආයෝජනය කල යුතු වෙනවා . මෙවැනි නීති ප්‍රතිපාදන තිබුණත් වැඩි වෙලාවට කැලෑ නීතිය තමා රජ වෙන්නේ .ඒවගෙම වැඩිපුර අපේ රජය කැමති ඇෆර්මැටිව් ඇක්ෂන් කියලා මේ අයට සහනාධාරයක් හැටියට සොච්චමක් දීලා ( ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරීන් හරහා )ගැලවෙන්න මිසක් ප්‍රතිපත්තියක් ඇතුව මේ අයගේ මානව සංවර්ධනය කරන්න නෙවේ . Problem of popular welfare vs social empowerment

    ඩිෆරන්ට්ල්යි ඒබල් අයට තියෙන අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලංකාවේ ඉතාම අඩුයි මම දන්න විදියට .රැකියා අවස්තාත් නැහැ . නමුත් ඉතා හොඳ දෙයක් මම දැක්කා මෑතක ශ්‍රීලංකා මහබැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනී රිකෘට්මන්ට් ඇඩ් එකේ වෙනමම වේකන්සීස් ප්‍රමාණයක් දලා තිබුනා ඩිෆරන්ට්ලි ඒබල් අයට ඒ වගේම ඔවුන් වෙනුවෙන් වයස් මට්ටමත් සාමාන්‍ය අයට වඩා ඉහල මට්ටමක් දීලා තිබුණා . ලංකාවේ ප්‍රකට පුද්ගලික ආයතන වල සම සාධාරණත්වය- equity යටතේ මෙවැනි අයට රැකියා හිමි වීම් අඩුයි එයාලා මොනතරම සුදුසුකම් සැපිරුවත් .විහිලුව තමයි ඒ වගේ කම්පැනි වල සී එස් ආර්- corporate social responsibility CSR යටතේ එයාල හරිම කැමතියි මෙහෙම මිනිස්සුන්ට පින් හෝ ප්‍රසිද්දිය තකා රෝද පුටු ,කිහිලි කරු බෙදන්න දාන දෙන්න .නමුත් එයාලගේ කෝපරේට් වැලියුස් වල කියන්න පුලුවනි නම් මේ වගේ උදවියට ඔවුන්ගේ බඳවාගැනීම් වල යම් අවස්තා ප්‍රමානයක් දෙනවා කියලා ඒක කොයි තරම් හොඳ ද ?මේක තමයි අර බස්සා කිව්ව වගේ අපේ අරටේ ක්‍රමේ තියෙන ප්‍රශ්නේ .අපි හරී කැමති තාවකාලික අනුකම්පාව බෙදන්න පින් රැස් කරන්න මිසක් දිගකාලීනව මිනිස්සුන්ට යහපත ගේන සමානාත්මතාව - equality , සම සාධාරණත්වය- equity ගැන හිතලා යමක් ක්‍රියාත්මක කරන්න නෙවේ .


    සියලුම මිනිස්සුන්ට ඔවුන්ගේ අයිතීන් ලැබෙන යුටෝපියාවක් , සැහැසිකම් නැත්තටම නැති පරමාදර්ශී සමාජයක් මවන්න බැරි වුනත් අඩුම තරමේ දැනට වත් මේ මිනිසුන්ට හිමි විය යුතු හිමි කම් වත් දෙන්න උත්සාහ කිරීම වැදගත් .

    ReplyDelete
  26. This is the link for SC decision -http://www.lankapuvath.lk/index.php/more-news/courts/4256-disabled-friendly-buildings-in-the-future-

    ReplyDelete
  27. //--නමුත් ඔවුන් කළේ, ඇයට ගර්භණී වීමට ඉඩ හැර, අනතුරුව ගැබිණි සමයේදී රෝගය අලුතෙන් "සොයා ගන්නට" ඉඩ හැරීමයි. --//
    මෙහෙමත් අම්මලා ඉන්නවද? කසාදය කියන්නේ ජීවිතේ එකක් විතරයි.., මේ මුග්ධ මිනිස්සු දරුවන්ගේ ජීවිතේ මෙහෙම දේ වලින් මනින්න ගත්තම අහිමිවෙන්නේ අර ළමයට තමන්ගේම ජීවිතේ බව එයා හෙදියක් වෙලත් තේරිලා නැද්ද?
    පුදුම ලෝකයක්..!

    ReplyDelete
  28. නලිනි අක්කගෙ අද ලියමන මගේ ජීවිතේට සෘජුවම අදාල නිසා මම විවෘතවම ලියනව...
    මටත් කතා කරද්දි ගොතයක් තියෙනව මගේ මවු පාර්ශවයේ මාමල දෙන්නෙකුත් බොහොම තදට ගොත ගහන අය...මගේ මල්ලිටත් මට තරම් නැතත් එක පොඩ්ඩක් තියෙනව මට දැනිල තියෙනව.... මේක අනිත් අයගෙ අවධානයට ලක් වෙන එක නවත්තන්ඩ හරි අමාරුයිනෙ... මම තාත්ත කියන්ඩ තත් තත් තත්... කියල ගොත ගහද්දි තත් තත් තත් තාර පැටිය කියපු අයත් හිටිය.... හිත නොරිදුනාම නෙවෙයි පොඩි වයස හන්ද.. හැබැයි ඒකෙන් මම මට ඉලක්ක හදා ගත්ත. මම මටම අභියෝගයක් වෙන්ඩ හිතා ගත්ත.එහෙම කළාම ඒ දේවලින් අපිට වෙන බලපෑම අවම කරගන්ඩ අපිට පුලුවන්.මට ගොත ගැහෙන එක ඉස්කෝලෙ ළමයින්ගෙ අවධානයට උසුලු විසුලුවලට කොච්චර ලක් වුණත් එහෙමයි කියල මම කවම දාවත් මුලු ගැන්නෙන්ඩ ගියේ නෑ.... කතා කරද්දි කොච්චර ගොත ගැහුණත් මම සින්දු කියනකොට එහෙම දෙයක් තියෙනවද කියලවත් හොයන්ඩ බැරි වුණා.... ඉතින් මං කතා කරද්දි අවඥාවෙන් හිනා වෙච්ච මාව අනුකරණය කරපු අය මං සින්දු කියද්දි කට ඇරගෙන බලන් හිටිය... මෙහෙම ගිහින් විශ්ව විද්‍යාල ජීවිතේට එද්දි මම තේරුම් අරන් තිබුණ මට ගොත ගැහෙන එක අනුකරණය කරල මාව මානසිකව වට්ටන්ඩ නං කාටවත්ම බෑ කියල... මට ඕනෙ කෙනෙක්ට කියන්ඩත් පුලුවන්කම තිබුණ මට පොඩි ගොතයක් තියෙනව කියල... වාසනාවට මට මුණ ගැහුණු යහපත් සරසවි මිතුරු මිතුරියන් ඒ දේ බොහොම බුද්ධිමත් විදියට කටයුතු කළා....තමන්ගේ අඩුපාඩුවක් ගැන දුක්වෙවී තැවෙන අය කවුරු හරි මේ කමෙන්ට් එක කියවනව නම් එයාලට මම කියන්නෙ මෙන්න මෙච්චරයි... ඒක අඩුවක් හෝ බාධාවක් ලෙස හිතන්ඩ එපා. එතනම ඔබ ඔබව අවතක්සේරු කරගෙන... ඔබ සතු අනෙකුත් දක්ෂතා දියුණු කරගන්න... ඉන් ඔබ බැබලේවි!!වැදගත්ම දේ තමයි...මෙන්න මේක. කවමදාවත් ඔබ මෙන්ම දුර්වලතාවක් ඇති කෙනෙක්ව ඔබ පත් වූ අපහසුතාවට පත් කරන්න එපා, පත් වෙන්න දෙන්නත් එපා...!! ඉන් ඔබේ හිත සුවපත් වේවි!!

    ReplyDelete
  29. හ්ම්ම් අපේ පන්තිවලත් ඔහොම ළමයි හිටියා. එත අපිනම් කවදාවත් ඒ අයට කිසිම විදියක හිත රිදෙන දෙයක් කියුවේ නැහැ

    ReplyDelete
  30. මාරයා අයියාගේ ලින්ක් එකකින් ආවේ....

    ඕවා ගැන මටත් අත්දැකීම් තියෙනවා මගේ කොණ්ඩේ අකලට සුදු වෙන නිසා මට 7 වසරේ ඉඳන් සීයා කියලා නමක් පට බැඳිලා තිබුනා ඒක කියන්න ගිහින් මගෙන් ගුටි කාලා තරහ වෙච්චි අයත් තාම ඉන්නවා ඒවා ඇහෙනකොට පුදුම මානසික පීඩනයක් දැනෙන්නේ...

    කට ඇද කතාව කියවනකොටම මට මතක් වුනේ අපේ උ/පෙ පන්තියට ආපු අක්කා කෙනෙක්ව....නුගේගොඩ බෝම්බෙන් අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක් මැරුණා එයත් එක්ක හිටිය අනික් අක්කට තුවාල වුනා... අන්තිමේ අපිත් එක්කයි උ/පෙ කරන්න ආවේ එයාගේ කටත් ඔය විදියටම ඇදයක් තිබුනා පුදුම ලස්සන අක්කා කෙනෙක් ඒත් එයා කවදාවත් හිනා වුනේ නෑ අපිට පේන්න ඒවා දකිනකොට සෑහෙන්න දුකයි... අපි හැමෝම අතරම ඔහොම කට්ටිය ඉන්නවා ඒ අයට වෙනසකින් තොරව සලකන එකම තමයි කල යුතුම දේ.... සෑහෙන්න වටින ලිපියක්

    ReplyDelete
  31. දොස්තර නෝනගේ සිත් ආර පැත්තේ ආවේ බොහොම කාලෙකින්. කමෙන්ට් කරන්න බොහොම ප්‍රමාදයි. නමුත් ප්‍රමාද වී හෝ අදහස් දැක්වීම වටී.

    හෘදයාංගම ලිපියක්!
    මට මතක් උනා, ඇට මැස්සා.
    තව ප්‍රන්ශුවා ට්රුෆෝ ගේ The Wild Child චිත්‍රපටය.

    ඉදින් අපි අඳුරට ශාප නොකොට එක් පහනක් හෝ දල්වමු. විශේෂ අවශ්‍යතා (differently able) ඇති දරුවන් කෙරෙහි අපෙන් විය යුතු දේ කරමු.

    ReplyDelete
  32. පවු.. වැඩ වැඩියි වගේ.. ජංජාලෙත් නැහැ ලියන්නෙත් කලාතුරකින්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. දැන් උදෙත් වැඩට ගිහින් ගෙදර ආවෙ දෙකහමාරට. ආයෙම හතරට යන්න ඕන. හෙට කීයට එන්න හම්බෙයිද දන්නෑ. :(

      Delete