Monday, March 5, 2012

සේලයින්

රෝගීන් බලන වෙලාව එනතුරු අපි තුන්දෙනාවත් අල්ලගෙන අප්පච්චි හිටියෙ නොඉවසිල්ලෙන්. අපට කාලය ගෙවා ගන්නට පුංචි චොක්ලට් තුනකුත් අරන් දීලයි තිබුණෙ.

වාට්ටුව මට අලුත් තැනක්. අම්මා හිටියෙ හොඳින් පෙරවලා. ඇයට ඉහළින් සේලයින් බෝතලයක් එල්ලලා. අම්මා නිදි.

මම වටපිට බැලුවා. අම්මා ළඟම ඇඳේ හිටිය රෝගියාටත් සේලයින් එල්ලලා.

අම්මා අවදි වුණා. මම හෙමින් අම්මට කිට්ටු වුණා.
"අම්මා, මේ සේලයින් බෝතලේ ඉවර වුණහම මට අරන් තියා ගන්න හොඳද?"

අම්මා යන්තමින් කෙඳිරි ගාලා හා කිව්වා.

වෙලාව ඉක්මණින් ගත වුණා. අප්පච්චි අපව එක්කරගෙන ගෙදර දිව්වා. කඩියා වගේ එහෙ මෙහෙ පැනලා බත් ඉව්වා; අල හොද්දක් හැදුවා; කරවල හැදුවා. පිඟානකට බෙදාගෙන, ගුලි හද හද අපිට කැව්වා. ඊට පස්සෙ ආයෙමත් අපිව ඇදගෙන ඉස්පිරිතාලෙට දිව්වා.

අපි යනකොටත් අම්මා ඇඳේ. අම්මට ඉහළින් තවත් අලුත් සේලයින් බෝතලයක් එල්ලලා. ළඟ ඇඳේ රෝගියානම් නැගිටලා වාඩි වෙලත් හිටියා. අපේ අම්මා තවම වැතිරිලා. අම්මා ඇස් අරිනකම් බලා ඉඳලා මම කිට්ටු වුණා.
"අම්මා, උදේ සේලයින් බෝතලේ අරන් තියා ගත්තද?"
"නෑ දුව," අම්මා කිව්වා. "මට නින්ද ගිහින් හිටිය වෙලේ ඒක මාරු කරලා තියෙන්නෙ."
"එහෙනම් මේක ගලවනකොට අරන් තියා ගන්න හොඳද?"

ඊලඟට අපි අම්මා බලන්නට යනකොට අම්මට තවත් සේලයින් බෝතලයක් එල්ලලා. මම ආයෙත් අම්මගෙන් සේලයින් බෝතලේ ගැන ඇහුවා. එවර අම්මා අරන් තියා ගත් සේලයින් බෝතලේ ළඟ ඇඳේ රෝගියාව බලන්නට ආ ළමයෙක් ඉල්ලාගෙන.

මම වටපිට බැලුවා. ළඟ ඇඳේ ඒ වෙනකොට රෝගියෙක් නැහැ. සුන්දර තරුණ හෙදියක්  අසලින් ගමන් කළා. ඇගේ පා මේස්වල පුංචි රෝස මල් රඳවා තිබුණා. මම ආසාවෙන් ඒ දිහා බැලුවා. මටත් එහෙම මේස්වල රඳවා ගැනීමට රෝස මල් ඇත්නම් කියා හිතුණා.
"සනීප වෙලා ගිය කෙනෙක්ගෙ ගෙදරින් එයාට රෝස මල් දුන්නා. " මගේ නෙත් යොමු වෙලා තියෙන දිහා දුටුව අම්මා කිව්වා.
"මේ සේලයින් බෝතලේ අරන් තියා ගන්න හොඳද?" මම යන්නට පෙර අම්මාට මතක් කළා.

ඒත් ඉස්පිරිතාලෙන් එනකම්ම අම්මට මා වෙනුවෙන් සේලයින් බෝතලයක් අරන් තියා ගන්නට බැරි වුණා.

දැන් මට සේලයින් බෝතල් ඕනෙ නැහැ, මං හිතන්නෙ.

ඒත්, සැත්කම් සඳහා එන තේරෙන වයසෙ දරුවන්ගෙන් මම සමහරවිට අහනවා, "ඔයාට ගෙදර ගෙනියන්න සේලයින් බෝතලයක් දෙන්නද? සිරින්ජයක් දෙන්නද?"

සමහර දරුවන් ඒවා ආසාවෙන් ගත්තට, තවත් සමහර දරුවන් ඒවට ආස නැහැ. මම පුදුම වෙනවා.
"මේ බලන්න, මේකෙන් මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්; වතුර විදින්න පුළුවන්." මම වතුර විදලා පෙන්නනවා.
ඒත් ඒ ළමයි ඒවා ඉවතට තල්ලු කරලා අඬනවා.


මම බොහොම කණගාටුවෙන් මේ වටිනා සෙල්ලම් බඩු ඉවත හෙළනවා.

84 comments:

  1. මගෙ ලොකු අම්මා හෙදියක්.... අපි ඉස්සර එහේ ගියහම අපිට දෙන්න සේලයින් බෝතල් , බට , තවත් පුංචි ප්ලස්ටික් කුප්පි වර්ගයක්...( මම හිතන්නෙ ඩිස්ටිල්ඩ් වෝටර් තිබ්බ කුප්පි වෙන්නැති ) වගේ නොයෙක් දේවල් එකතු කරල තියෙනව... මල්ලියි මමයි ගෙදර ඇවිත් අපේ පෙට්ටි වල ඕව දාගෙන කාලයක් සෙල්ලම් කරනව...

    තව මම ආස කරපු දෙවල් දෙකක් මතක්වුණා... ආතගෙන් ඉල්ලගෙන එන ලී සුරුට්ටු පෙට්ටි... ඒ වගේම ඇඳුම් මහන නැන්දගෙන් ඉල්ලන් එන රෝදයක් වගේ තිබුන නූල් රෝද... ලංකාවෙදි නම් පුංචි කාලෙ දැක්කට පස්සෙ ඒ නූල් රෝද දැක්කෙ නෑ ... ඒත් මෙහේ නම් ඒ ක්ලැසික් හැඩේ නූල් රෝද තියෙනව )

    දැන් කාලෙ ළමයින්ට එක්ස් බොක්ස්, පී එස් පී මිසක් ඔය පුන්චි දේවල් වලින් සතුටු වෙන්න බෑ...

    හැත්තෑව දශකයෙ ඉපදුන අපි හුඟක් දේවල් දැක්ක... ඒ ගැන පෝස්ට් එකක්ම ලියන්න්යි ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. හැහ් . . ලී සුරුට්ටු පෙට්ටිය . . පස්ට භාන්ඩෙ ඈ. සෙල්ලම් බඩු ගොඩේ වගේම පොත් මේසෙ සයිඩ් එකෙත් යහමින් වැජබුන භාන්ඩයක් තමයි

      Delete
    2. ඒක මල්ටි පර්පස් එකක්. සෙල්ලම් බඩුවක්, පෑන් පැන්සල් දාන පෙටිටියක්. කියලා වැඩක් නෑ ඒ කාලෙ

      Delete
    3. ඉස්සර වීවින් එකේ වැඩ කරපු අත්තම්මෙක් හිටිය හින්දා, එතනින් අපට හම්බුණා කෝන් හැඩැති කාඩ්බෝඩ් නූල් පන්දු. ඒවගෙනුත් ගොඩක් ප්‍රයෝජන තිබුණා. :D

      Delete
  2. මමත් ඉස්සර අමාරුවෙන් සේලයින් බෝතලයක් හොයාගෙන කාබයිඩ් ලාම්පුවක් හැදුවා..

    ReplyDelete
  3. හරිම හැඟීම්බර සටහනක්.
    මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම පුංචි දරුවො තුලින් තමන්ගෙ ළමා කාලෙ දිහා බලනවනම් ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙයි..තමුන්ට නොලැබුන දේවල් තව කෙනෙකුට දෙන්න, එහෙම නැත්නම් තමන්ට ළමා කාලයෙදි ලැබුන සතුටම තවත් කෙනෙකුට දෙන්න හැමෝම උත්සාහ කරනවනම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. api hamoma uthsaha karenne apita podi kale nolabichvha dewal lamainta denda thami

      Delete
  4. වසිලිස්සාMarch 5, 2012 at 9:16 PM

    අත්දැකීමක් සමග හිතන්නට යමක් ලියල තියෙනවා බොහොම ලස්සනට

    ReplyDelete
  5. කළුබෝවිල ඉස්පිරිතාලේ 9 වාට්ටුවේ වැඩ කරපු ලියනගේ ඇන්ටි අපේ අම්මගේ හොඳම යාළුවෙක්. අපේ ගෙදර විශේෂ කෑමක් බීමක් හදපු දවස්වලට විශේෂයෙන් ආප්ප, ලැවරියා, කුකුල් මස්/මින්චි සම්බෝල/වම්බටු මෝජු එක්ක කහබත් හදපු දවස්වලට ලියනගේ ඇන්ටි වැඩ කරන දවසක් නම් මට ලැබෙන කොන්තරාත්තුව තමයි වාට්ටුවේ වැඩ කරපු ඇන්ටිලා හතර පස් දෙනාගෙම පංගුව ඩිලිවරි කරන්න. එහෙම ගිය දවසක කවදාවත් නිකං නම් එන්නෙ නෑ..... හිස් සේලයින් බෝතල්, බට, නීඩ්ල් එක නැතිව සිරින්ජර් මහ ගොඩක් මගේ සෙල්ලම් බඩු අතරේ තිබුනා.....! ඒ මතකේ අළුත් උනා....!

    ReplyDelete
    Replies
    1. ඒ මෙනු එක අහපුවමත් මට කටට කෙල ඉනුවා.මාත් ට්‍රයි කරලා බලන්න ඕනේ හදන්න...

      Delete
  6. ඉන්ජැස්සන් කටු වලට බයයි නේ පොඩි උන්. අපි පොඩි කාලේ නම් සේලයින් බෝතල් වලින් එක එක නිර්මාණ කරලා විකුනන්න හිටන තිබුනා. සිරිමාවොන්ගේ කාළේ ඒ කාළේ මෙළෝ දෙයක් නෑනේ රටේ. මට හොඳටම මතකයි. අපේ ගෙවල් ළඟ නර්ස් නෝනා කෙනෙක් උන්නා. එයාගේ දුව සේලයින් බෝතල් වලින් මොනරු හදනවා. ඒව ඒ කාළේ ලංගම බස්වලත් ඉස්සරහ එල්ලලා තිබුනා. අද දරුවොන්ට පිස්තෝලයක් දුන්නා නම් ගනීවී. කෙල්ලොත් කැමති ඒවට. බෝනික්කන්ට කැමහි නෑ..

    ReplyDelete
  7. මමත් පොඩි කාලේ හරිම අසයි සේලයින් බෝතල් එකතු කරන්න

    ReplyDelete
  8. හැමදාම වගේ ලස්සනට ලියලා තියෙනවා!
    හැමෝම එක වගේ නෑ!

    ReplyDelete
  9. නලිනිට හිතෙන්නෙ පුංචි ළමයි හිතන විදිහ වෙනස් වෙලා කියලද?
    ඒත් හැම මලක්ම එක වාගේ නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. පූසයි රූයි කියන කතාව ඇත්ත. හැම ළමයම ඒ දේවලට ආස නැහැ. තවත් ළමයි ඒ දේවලට බය ඇති. එහෙම නැත්නම් ඒවා සෙල්ලම් බඩු විදිහට නොදකිනවා ඇති.

      Delete
  10. ඉවත දමන බඩු උනත් මේක ඇවිල්ලා රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමක්...බරපතල වරදක්.මං හිතන්නේ මේ ගැන වෙනම කොමිසමක් පත් කරලා පරීක්ෂණයක් කරන්න වෙයි..ඉවතලන ප්ලාස්ටික් කිලෝවක් අද කීයද..?හහ් මෙයාලා ඒවා සෙල්ලං බඩු කරගෙන.

    (සැලකිය යුතුයි.හොරෙන් පෝස්ට් දෑමීම ගැන ඇති වූ කේන්තියට ලිව්වා නොවෙයි ඈ..)

    අර කකුලේ රෝසමල් ගැහිල්ල මොකක්ද..?මට නිකං මඤ්ඤං වගේ...

    " අප්පච්චි අපව එක්කරගෙන ගෙදර දිව්වා. කඩියා වගේ එහෙ මෙහෙ පැනලා බත් ඉව්වා; අල හොද්දක් හැදුවා; කරවල හැදුවා. පිඟානකට බෙදාගෙන, ගුලි හද හද අපිට කැව්වා."

    ඒ ටික තමා කැමතිම ටික..

    ReplyDelete
    Replies
    1. "ඉවත දමන බඩු උනත් මේක ඇවිල්ලා රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමක්...බරපතල වරදක්" එතකොට අර කකුල් උඩ දාං බයිස්කෝප් බලලා පොදු ජනයට හිමි බැමි, ගැටි සහ පුටු කිළිටි කර ඒම බරපතල නැද්ද මාරේ ඇත්තෝ? :P

      " අප්පච්චි අපව එක්කරගෙන ගෙදර දිව්වා. කඩියා වගේ එහෙ මෙහෙ පැනලා බත් ඉව්වා; අල හොද්දක් හැදුවා; කරවල හැදුවා. පිඟානකට බෙදාගෙන, ගුලි හද හද අපිට කැව්වා." ඒ කොටසට මමත් කැමතියි. ඒත් අන්තිමට සේලයින් බෝතලයක් පුංචි නලිනිට ලබා ගන්න බැරි උන එක ඛෙදයකි. දැන් පැංචලා පැංචිලාගේ සෙල්ලම් බඩු සහ සිහින වෙනස්.

      ඩී.

      Delete
    2. ගණන් ගන්ට එපා අප්පා..ඔව්වා මේ කේන්තියට කියපු කතානේ.

      අනික ඔයා දන්නේ නැද්ද අපි රාජ්‍ය හිතැත්තෝනේ..:D
      එතකොට රාජ්‍ය දේපල අම්මගේ අප්පගේ බූදලේ වගේ පාවිච්චි කොරන්ටත් පොදු දේපල තම්බං කන්ටත් නිශේධ බලයක් හිමි වෙනවා.:P

      Delete
    3. අප්පට උඩු මාරයාට ජාති ආලය ඇති වෙලා. මමත් අර කෑල්ලට කැමතියි

      Delete
  11. සේලයින් බට ඉරලා, ටීක්බෝල ඇස් වලට දාලා හදපු ගෝල් ෆිශ් කෙනෙක් මා ගාවත් තිබබා.., අපේ ආච්චිඅම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඉන්නකොට ගත්තු, අවාසනාවට මා ඇතුලු අපේ ගෙදර අයට අරන් එන්න පුලුවන් උනේ ඒ සේලයින් බට මාලුවයි.., ආච්චි අම්මා ගැන වූ මතකයයි විතරයි.
    සේලයින් බට වෙලාවකට මිනිස්සුන්ට ජෙවය පිඹින දියරය ගලන නාල වූවා ට, සමහර දරුවන්ට ඒවා එපා කියන්නේ ඒ අස්සෙන් ඒ අයට දැනෙන කටුක මතකය නිසා වෙන්නටත් පුලුවන්..!
    ලස්සන කතාවකට ස්තූතියි..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහරවිට කිහිප වරක් රෝහල්ගත වුණු, එන්නත් විදිනු ලැබූ දරුවකුට රෝහල හා සම්බන්ධ හැම දෙයක්ම භයංකර ඇති. සමහර දරුවන් හෙද නිල ඇඳුම, එහෙමත් නැත්නම් ශල්‍යාගාරයේ කොළ/නිල් නිල ඇඳුම් දකිනකොටම හූ තියන්නෙ ඒකනෙ.

      Delete
  12. කාළය අනුව හැම දෙයම වෙනස් වෙනවා. මින් පෙර කවරදාවත් නොවූ විදියට මාකටින් හකුවලට හිරවූ සමාජ රටාව එක කාරනයක් කියන්න පුළුවනි. තවද තරඟය විසින් දරුවන්ව ඉදිරියට තල්ලු කරගෙන යන්න කරන බලපෑම නිසා දරුවන්ට අත්වැඩ, විනෝදාංශයක් පෙන්වා දෙන්න පවා දෙමාපියන්ට වෙලාවක් නැහැ නේද? පාසැල් දරුවාගේ හිස මත පැටවෙන ගෙදර වැඩ ගොඩ, පිට මත එල්ලෙන පොත් ගොඩට යටවුන මල් කැකුළුවල සුන්දර කාළය උදුරාගත් කල දරුවන්ට ලැබෙන නිර්මාණ හැකියාව, උනන්දුව නැති වුනාම මොනතරම් සම්පත් තිබුණත් වැඩක් නැහැ. ඔවුන්ට පෙනෙන්නේ ඉවතලන දේවල් හැටියට විතරයි.

    අපි දරුවන්ව අත්වැඩ ක්‍රියාකාරකම්වලට යොමුකරන්න උත්සාහ කරන තරමට පල තියෙනවා. එය වියදම් දරන්න වෙන දෙයක්, අපේ විවේකය මිඩංගු කරන්න වෙන දෙයක් වුනත් ඉන් දරුවන් ලබන ඉවසීම හා ඇගයීමේ ගුණාංගය සල්ලිවලට ගන්න බැහැ. ආරෝපණය කරන්න බැහැ.

    දින කිහිපයකට කලින් (ලොකු පුතා ලියන)මතකයේ රැඳුන තැන් පොස්ටුවක් කියවා හිතෙන් පොඩි කාළයට ගියා (කොච්චර දුර යන්න වෙනවද කියන්න උවමනාවක් නැහැ නේ). අද මේ පොස්ටුවෙන් සෑහෙන දුර ගියා.

    අපි ජීවත් වෙන කෘතීම පරිසරය නිසා අපේ දරුවන්ට නැතිවූ දේවල් බොහෝය, වැරදි කරුවෙක් වෙමි. කාලෙකට කලින් ලියූ සමාවෙයන් පුතුනේ... අනේකවර තනිවම මුමුනනවා.

    මෙය ගොඩාක් දේවල් සරළව කතාකරන වටිනා පොස්ට් එකක්. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  13. පොඩි එකාල විවිදයි නොවැ

    ReplyDelete
  14. හැමදාමත් වගේ දැනෙන්න වැදෙන්න ලියලා තියනවා.... බොහොම සරළ දේ උනත් හිතන්න අවධානය යොමු කරන්න පුලුවන් තරමේ ලියවිල්ලක්.....
    ඇත්තටම ඒ ළමා කාලය කොයි තරම් සුන්දරයිද ?... අද අපිට අපේ දරැවන්ට ඒ සුන්දර ළමා කාලය නැති කරලා දාලා....
    ඉස්සර කැලේ පැනලා මා දං කඩන්න... පුහුලං අහුලන්න.... සරුංගල් අරින්න අපිට කොයි තරම් වෙලාව තිබුනද ?.....
    අද ක්‍රීඩා පිට්ටනියක් ඇරෙන්න හිස් ඉඩමක් තියනවද ? මා දං ගස් තියෙන්නේ මොරටුවේ විතරයි... ඒත් ලෑලී කරලා.... සරැංගල්.. .තියනවා ගෝල් ෆේස් එකේ... චීන මකරැ... වගේ ඒවා... කොම්බුවෝ... මොනරැ.. නයි.. ගොම්බෝ මේ ඔක්කෝම අතුරුදහන් වෙලා.....
    හිතන්න බොහෝ දේ ඉතිරිකරලා.. කථාව අවසන් උනත්...

    ReplyDelete
  15. අපි පුංචි කාලේ වගේ දැන් ලමයි ඒ වගේ සරල සෙල්ලම් බඩු වලට ආස නෑ.එයාලාගෙ ලොකේ ඉන්නේ බෙන් ටෙන්ලා..බාර්බිලා.. පිස්තෝල....
    එහෙම බලද්දි අපි පොඩි කාලේ හරිම අහිංසකයි කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි පුංචි කුමාරිහාමි, එයාලා බලෙන් බෙන් ටෙන් බලනවද පලවෙනි දවසේ... කවුරු හෝ එයාලව බලාගන්න අය ටීවී එක දාලා දීලා එයාලගේ වැඩක් කරගන්නවා,,,, ඉතින් පොඩ්ඩො ඒවාට ඇබ්බැහි වෙනවා,,, අපේ පොඩ්ඩටත් කෑම වෙලාවට සීබීබීස් කියලා චැනල් එකක් පෙන්නවනවා කෑම කවා ගන්න තියෙන ලේසිය නිසා.... ඌ ඒක බලලා දවසක් උදේ මට "හායි අප්පච්චී" කිව්වා.... එදා ඉඳන් ටීවී පෙන්නිල්ල තවත් සීමා කරා.... :D

      Delete
  16. කුරුනෑගල ඉස්පිරිතාලෙ නර්ස් නෝන කෙනෙක් වෙච්චි අපේ අඹහැර රංජි නැන්ද ඒ දවස්වල අපිට ලස්සන මාලු, මොනරු හෙම හදල දෙනව සේලයින්බට වලින්. මාර ලස්සනයි. එක එක පාට ටීක් බෝල දානව උංගෙ ඇස් වලට

    ඔය සේලයින් බට, බෝතල් වලින් එක එකදේ හදන කාලෙ ඉවරවෙනවත් එක්කම තමයි මට මතක හැටියට මැක්‍රම් හැදිල්ල කෙල්ලො අතරට ආවෙ

    ReplyDelete
  17. ඉන්ජෙක්ශන් කටු වලට නම් බය උනත් ඔය සේලයින් බෝතලකින් මල් වාස් එකක් වගේ පොඩි එකක් අපේ අයියා එක්ක එකතු වෙලා හැදුවා මතකයි..

    ReplyDelete
  18. මම ලගත් ඔය සේලයින් බට,සිරින්ජර් සෙල්ලම් බඩු තොගයක්ම තිබුනා,,ඒවා එක්ක අපි එක එක සෙල්ලම් කලා,,අද වෙනකොට මම දකින දෙයක් තියනවා අපේ රටේ පොඩි ළමයි සෙල්ලම් බඩු පාවිච්චිය අඩුද කියලා, විශේශයෙන් අහක දමන දේවල්,,ඉස්සර අපි ලග ටොෆි කොල පවා තිබුනා,සියඹලා ඇට,මදිටිය ඇට වගේ දේවල්...හරි ලස්සනයි ඒ අතීතය

    ReplyDelete
    Replies
    1. ඕඕ,මමත් ඊයම් කොළ, චොකලට් දවටන වගෙ දේවල් එකතු කළා. මදටිය ඇට වගේ දේවල් අලවලා රූප හදන්න ඉස්කෝලෙනුත් දෙනවනෙ.

      Delete
  19. බ්ලොග් එකටත් සේලයින් ලැබිලා! :D
    සේලයින් බෝතල් කිව්වම මට මතක්වුනේ සේලයින් බටයත් එක්ක තියෙන 'රෙගියුලේටර්' කෑල්ල, පොඩි රෝදයක් එහා මෙහා කරකවන්න තියෙන කෑල්ලට තමා මම වැඩිපුරම කැමති.

    දැන් ඉන්න පොඩි ළමයින්ට ඕවගෙන් සෙල්ලං කරන්න වෙලාවක් නෑ ආසාවකුත් නෑ. ස්කූල් බස් එකටයි, ටියුෂන් වලටයි, අරවටයි, මේවටයි යන්නම වෙලාව හරි. එහෙමත් පොඩි ඉඩක් තිබුනොත්, iPod,i Pad,PSP හැර සේලයින් බෝතල් වලින් සෙල්ලං කරන එකකුත් නෑ. :(

    අම්මට සේලයින් බෝතල් අරන් තියන්න කියපු පොඩි ළමයනම් තවමත් එහෙමමද මන්දා? ;)

    ReplyDelete
    Replies
    1. "අම්මට සේලයින් බෝතල් අරන් තියන්න කියපු පොඩි ළමයනම් තවමත් එහෙමමද මන්දා? ;)"

      දන්නෝ දනිති මචං...:D:D:D

      Delete
    2. ipod එකක්නම් යාළුවෙකුට තිබුණා. ඉතුරු දෙක මොනවද?

      බොරු කියන්නෙ මොනවටද? තවමත් බෙහෙත් කුප්පිවල පාට පාට පියන් විසි කරන්න මට ලෝබයි. මම ඒවා එකතු කරගෙන අක්කගෙ බබාලට සෙල්ලම් කරන්න කියලා ගිහින් දෙනවා. ඒත් ඒගොල්ලො බොහොම දුර දිග කල්පනා කරනවා; ඒවා ළමයි කටේ දාගත්තොත් කියලා, ඒවා ළමයින්ට දෙනවට කැමති නෑ. ඒත් ඒ පියන් හරි ලස්සනයි. :(

      Delete
    3. @මාරයා...

      :D


      @නලිනි චන්දිමා...

      iPod එක වගේම තමා ලොකුයි, iPad කියන්නෙ ටැබ්ලට් PC එකක්. අනික play station portable.

      මම කිව්වා හරි නේහ්..? තවමත් බෙහෙත් කුප්පිවල පියන් එකතු කරනවා. :D

      Delete
  20. පොඩි එකෙකුගෙ ඇහින් බලපු විදිය අපූරුයි.

    කුරුම්බැට්ටි මහන මැෂින්, නූල් රෝද ට්‍රැක්ටර්,මතක් වුනා.
    එතකොට පොළෙන් ගන්න තිබ්බ, මම්ම පප්ප නලා, ඇදගෙන යන කොට 'ටක ටක' ගාල බෙරයක් වදින කරත්ත

    ReplyDelete
  21. ඔය කාලෙ වෙනකොට මම සෙල්ලම් කළේ සිප්පි කටු සහ ගොළු බෙලි කටු කීපයකින්. ඒ "වස්තුව" දාගෙන හිටියෙ විස්කෝතු ටින් එකක. ඒක ඇතුළෙ දාගෙන තව මැරුණු මකුළුවො, තලගොයෙකුගෙ හිස් කටුවක්, චොකලට් දවටන, සමණළ පිහාටු වගෙ දේවලුත් එකතු කළා. ජනෙල් කූරුවලට කොහු ලණුවක් බැඳ ගත්තහම, ඒක මගෙ අශ්වයා. ඉවතලන කාඩ්බෝඩ් පෙට්ටි තීරුවලට කපලා, ඒවා එකිනෙකට අමුණලා, අපේ අප්පච්චි සෙල්ලම් බල්ලෙක් හදලා දුන්නත් මතකයි. අර කිව්වත් වගෙ හැත්තෑව දශකයෙ සෙල්ලම් බඩු එහෙම වෙන්නැති.
    ඒත් තවමත් එහෙම සෙල්ලම් කරන ළමයිනුත් ඇති. එහෙම ළමයි සේලයින් බෝතල්, හිස් සිරින්ජර් ලබා ගන්නට කැමැත්තෙන් ඇති.

    ReplyDelete
    Replies
    1. අස්සයො, බල්ලො, හැදුවෙ ඒ කාලෙ තිබ්බ සිගරෙට් පැකට් වලින්, දැන් තියෙන ඒවයින් හදන්න බෑ මයෙ හිතේ

      Delete
    2. හැත්තෑවේ විතරක් නෙවෙයි අසුවේ දශකයේ ළමයිනුත් එහම තමයි :D.

      මාත් සේලයින් බෝතල් වලට ආසාවෙන් හිටිය. ඒත් කවදාවත් හම්බෙලා නැහැ. එක පාරක් අර දිග හීනි බටයක් නම් හම්බුනා. ඉන්ජෙක්ෂන් සිරින්ජ නම් ගොඩක් හම්බවෙලා තියෙනවා. ඒ දවස් වල මට ඕනේ උනේ ඩොක්ට කෙනෙක් වෙන්න නිසා ඒවා මට ලොකු දේවල්.

      දැන් ළමයින්ට කෙලින්ම 'doctor sets' තියෙනවනේ.

      Delete
    3. ඔබා අය්යා හරි. සිගරට් පෙට්ටිවලින් තමයි බල්ලො හැදුවෙ.

      නිරෝෂිණි කියනවා වගේ දැන් ඩොක්ටර් සෙට්ස් තියෙනවනෙ. ඉතින් ඇත්ත සිරින්ජර ඕනෙ වෙන්නෙ ඒවා නැති ළමයින්ට.

      Delete
  22. කමෙන්ට් ටික කියෙව්වට පස්සේ අදහසක් කියන්න හිතුනා....

    මේ වෙනස් වෙලා තියෙන්නේ ළමයින්ගේ මොලේ නෙවෙයි..... දෙමවුපියන්ට වෙලාවක් නැති නිසා කෘතිම සෙල්ලම් බඩු අරන් දෙන්න එයාලත් පුරුදු වෙලා... මම තවමත් කුරුණෑගල ගියාම අක්ක මහලා ඉතුරු වෙන නූල් බෝල, රබර් ඇට, මුහුද පැත්තේ ගියාම සිප්පි කටු වගේම කවඩි බෙල්ලො වගේ දේවල් පොඩ්ඩට ගෙනත් දෙනවා... සේලයින් බෝතල් ගැන අවධානය යොමු වුනේ දැන්... කවුරු හරි ඉන්නවද සේලයින් බටයි හිස් සිරින්ජරයි එකතු කරලා පොඩි කාලේ බැකෝ, එස්කැවේටර් හදපු...? ඒක තමයි සුපිරිම වැඩේ ඒ කාලේ....

    ReplyDelete
    Replies
    1. සිප්පි කටු වගේ දේවලටනම් පොඩ්ඩොන්ගෙ ඇති ආසාව කවදාවත් අඩු වෙන දෙයක් නෙවෙයි. අපිත් තවම ආසනෙ.

      Delete
  23. කොහොම උනත් මට සේලයින් ගැන කියන්න බැරි උනානේ...

    මමත් පොඩි කාලේ හුගක් ආසාවෙන් හිටියේ සේලයින් බෝතල්..බට..එතකොට අර සමන්ත කිව්ව රෝදයක් කරකවන්න තිබුන ප්ලාස්ටික් කෑල්ලට..ඒ විතරක් නෙවෙයි තවත් ලොකුම ආසාවක් තිබුනා එක්ස්රේ කාඩ් වලට...ඒ වෙන මොකටවත් නෙවෙයි ඩ්‍රම් එකක් හදන්න..කොහොම උනත් මට ඔය එකක්වත් හම්බ උනේ නැහැ.

    අපේ ගමේ හිටියා රාගම ඉස්පිරිතාලේ වැඩ කරපු නැන්දා කෙනෙක්..එයා ඕවා ගෙනල්ලා එයාගේ ළමයින්ට දෙනවා..තව අහල පහල අයටත් දෙනවා..ඒත් අපි ටිකක් දුර හිටියේ..අනික මං ටිකක් ආඩම්බර කාරයා හින්දා කිසිම දෙයක් ඉල්ලන්න ආස නැහැ.ඒත් තාත්තට කිව්වම තාත්තා කියලා තිබුනා ඒ නැන්දට.එයා ගෙනල්ලා දෙන්නං කිව්වට ඒ ගෙනාපු ඒවත් තව කවුදෝ ඉල්ලං ගිහිං තිබුනා..කොහොම උනත් දිගින් දිගටම ඉල්ලන්න ගියේ නැහැ මංවත් තාත්තවත්..ඉතිං එතනින් ඒකත් ඉවරයි.

    පස්සේ කාලෙක සීටීබී එකේ මෙඩිකල් යද්දී ගත්ත මගේම පපුවේ එක්ස්රේ කාඩ් එක දෙකට කපලා හදපු ඩ්‍රම් පෑඩ් දෙකකින් මං යන්තං මගේ ඩ්‍රම්ස් හීනයනං පිරිමහ ගත්තා..ඒත් අදටත් මට සේලයින් බෝතල් හම්බ වෙලා නැහැ...

    දැන්වත් ඉල්ල ගන්න ඕන..:)

    කොහොම උනත් මගේ පුංචිකාලේ සෙල්ලම් බඩු උනේ කුරුම්බැට්ටි මැසිම..පොල්කොල රූං පෙති..ගොක්කොල නලා..රබර් ඇට බමරය..උණ බට අගිස්සෙන් වගේම බට ලී වලින් හදපු කිරිල්ල තුවක්කුව...රබර් ඇට කරත්තේ වගේම පොල් කොට කරත්තේ වගේ දේවල් තමා...පොල් කොට කරත්තෙට සුරුට්ටු පෙට්ටියකින් ටේලරයක් හදලා අමුණගෙන ස්පොක් කම්බියකින් ගියර් පොල්ලකුත් හදං ගියර් මාරු කර කර වතු ගානේ ගිය කාලෙකුත් තිබුනා...

    ඊට පස්සේ අවුරුදු ගානක්ම සරුංගල් වලින් ජීවත් උනා...අන්තිමට රොබින් හුඩ් පිස්සුව ආවම කැප්පෙටියා ලී වලින් දුනු බඳින්නයි... දවට පැල වලින් ඊ තල හදන්නයි ගත්ති... අදටත් මට ආයේම ආසාවක් තියේ දුන්නක් බදින්න...ඒත් ඒකට හරියන්න කැප්පෙටියා ලීයක් හොයාගන්න එක තමා ප්‍රශ්නේ.. මේ ලගකදීනං කැප්පෙටියා ගස් වගයක් දැක්කා..ඒත් කපං එන්න ගියානං මාත් එක්ක පිලිකුත්තු පන්සල් ගිය උදවියගෙන් මට අම්බානකට කතා අහගන්න වෙනවා...ඒ හින්දා ඒක හරි ගියෙත් නැහැ...

    කිතුල් පිත්තකුයි උණ පතුරකුයි ලැබුන හැටියෙම සරුංගලයක්නං හදන එක හදනවමයි...මං දැනටමත් මනුස්සයෙකුට කියලා තියෙන්නේ පුළුවන්නං හොයා දෙන්න කියලා..ලැබුන ගමන් කොල්ලා ආයේ සරුංගල්නං යවන එක යවනවා..:)

    ReplyDelete
    Replies
    1. දුනු ඊතල සහ හෙල්ලවලින් අපිත් සෙල්ලම් කළා ඒ කාලෙ. වත්තෙ කෙසෙල් ගස් ඉවරයි අපේ "සතුරා" වෙලා පහර දීමට ලක් වෙලා. සරුංගල් අරිනකොටනම් මට නූල අල්ලගෙන ඉන්නවත් දුන්නෙ කලාතුරකින්- මම අතාරියි කියලා. :(

      Delete
    2. @ මාරයා ..
      ඔය දැන් ළමයි හොයන්නේ සේලයින් බෝතල් දෙන්න . ඔය ළමයටත් ඉල්ලා ගන්න පුළුවන්

      Delete
    3. ඒ කාලෙ මට ලී කෑල්ලක් අහුවෙන්න බෑ, හදනවා තුවක්කු.. තව, මාරයට මතකද මන්දා ඒ කාලෙ අර කඩදාසි නවලා හදන තුවක්කු එහෙම..?? සබන් පෙට්ටිවලින් හදපු කාර්, ජීප් සෙට් එකකුත් තිබුනා.. ඒ කාලෙ ඕන දෙයක් හදන්න හැකියාව තිබ්බා, ඇයි ඉස්කෝලෙ අත්වැඩ වලට නානාප්‍රකාර දේවල් හදනවනේ..

      මතකද ටීවී එකේ ගියා ජපන් ළමා වැඩසටහනක් අර අහක දාන කාඩ්බෝඩ්, බට වගේ ඒවයින් එක එක සෙල්ලම්බඩු හදන්නෙ.. වැඩසටහනේ නම නං මතක නෑ, ගොන්ටා කියලා කැරැක්ටර් එකක් හිටියා මතකයි.. ඕක තමා මගෙයි අක්කගෙයි ෆේවරිට්ම..

      Delete
    4. @Buratheno
      ඕ ගොන්ටා සහ නිපෝ ගැන මේ කියන්නේ. ගොන්ටා කොච්චර නැගල ගියාද කියනවා නම් කැම්පස් එකේ කොල්ලොන්ට නම් දාද්දි ගොන්ටා කියලත් එක්කෙනෙක්ට දැම්ම අපි!! :D :D.
      මේ තියෙන්නේ ඔන්න ලින්ක් එක

      Delete
    5. Buratheno ටත් "ගොන්ටා" කියල කියන්න හිතෙනව. ;-)

      Delete
    6. තැන්කූ තැන්කූ නිරෝෂිනී.. අපේ ගෙදරත් හිටියා ගොන්ටා කියලා මහ ඇට්ටර දඩබ්බර පූස් තඩියෙක්.. :D

      Delete
    7. @තිෂ්ෂ භයියා,

      නෝ ප්‍රොබ්ල්ම්ෂ්.. බුරා the ගොන්ටා or ගොන්ටා the බුරා.. :D

      Delete
  24. නගරබද ළමයි කොහොම උනත් ඈත ගම්බදව ඉන්න ළමයි තවමත් ඕවයින් සෙල්ලම් කරන්න ආස ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්, හුඟක් වෙලාවට ආසාවෙන් මේ දේවල් අර ගන්නෙ ඈත පැතිවල ළමයි.

      Delete
  25. වතාවක් තාත්තව ඉස්පිරිතාලෙ නවත්තල සේලයින් දුන්නම එයා මගෙ හැටි දන්න හන්දම මට සේලයින් බෝතල් ටිකයි කටු ටිකයි සේරම එකතු කරල තිබුණ.. මං කලේ බෝතලේ උඩින් කපල වතුර පුරවල බටේ අග තියෙන කටුව ගස්වලට ගහල ඒවට සේලයින් දුන්න එක..ඒව දැකපු අපේ ගෙදර අය කෙසේ වෙතත් යන එන අය නං හිතුවෙ මං දොස්තරියක් වෙයි කියල..
    තව වාහන හැප්පිච්ච තැන්වල තිබුන වීදුරු කෑලි එකතු කළා.. ඒව දියමන්ති කියලයි මං හිතන් හිටියෙ...කට ඇරගෙන බලන්ඩ දොස්තර හොදහිත පිස්සු පූසා හා ටාසන් විතරයි නෙ තිබු‍ණෙ...නිසා පොත්පත් කියවල ඒවගෙ ඉන්න චරිතවලට ආරෑඪ වෙන එක තමා ලොකුම විනෝදාංශය වු‍ණේ...
    තව මිදුල වටේ පොලව හාර හාර මිදුලෙ වැලලිලා කියෙන පරණ ජොන්සන් පිගන් බඩුවල කටුත් එකතු කළා... ඒව දැක්ක නං මං නිදං මංකොල්ල කාරයෙක් වෙයි කියලත් හිතන්ඩ ඉඩ තිබ්බ... මාව අතීතයට එක්කං ගියාට බොහොම පින් නලිනි අක්කට!!

    ReplyDelete
    Replies
    1. ඕඕ, මමත් වත්ත හාර හාර පිඟන් කටු හොයා ගත්තා. මං හිතුවෙම ඒවා අවුරුදු දාස් ගානක් පරණ ඒවා කියලා. :D

      Delete
    2. එහෙනං ඔන්න අහගන්න මම කරපු දසම දස වැඩක්.. මම දවසක් තාත්තගෙ සිරින්ජර් සෙට් එකෙන් එකක් අරගෙන වතුරත් පුරවගෙන බැලුවා කාටද බෙහෙත් විදින්නෙ කියලා.. මට ඔය ගස් ගල් වලට වඩා ෂෝක් දෙයක් අහුවුනා, අපේ අක්කා (මේ ඇවිල්ලා මම බොහොම චූටිත්තං එකා කාලෙ).. ඔන්න දැන් මං යනවා අක්කට බෙහෙත් විදින්න, මොන මෙන්න මෙයා බෙහෙත් විදින්න දෙන්නෙ නැතිව හූ කියාගෙන දුවන්න තියාගත්තා.. මාත් වැඩේ අතෑරියෙ නෑ, පැන්නුවා පස්සෙන්.. දැන් ඉතිං අක්කා ගිරිය යටින් හූ කියාගෙන ගේ වටේ දුවනවා, මං සිරින්ජර් එකත් උරුක්කරගෙන පස්සෙන් දුවනවා.. ඔහොම වට 2-3ක් දිවුවට පස්සෙ සද්දෙ ඇහිලා ආපු අම්මා අක්කව බේරගත්තා.. :D

      Delete
  26. මගේ අම්මා වැඩ කලේ සෞඛ්‍ය අංශයට අදාල රජයේ තැනක නිසා සිරින්ජර්ස් නං අපිට ලැබිලා තියෙනවා. ඔව් ඇත්තටම පාවිච්චි නොකරපුවා...... (මාරයා අයියාගේ කොමිසමට අහුවෙන්න වෙයිද මන්දා)

    ඉතිං ඒ කාලේ මං කරන්නේ පිටි සීනි වගේ ජාති දියකරපු දියරයක් හදාගෙන, ඒකකට පුරවාගෙන, සිගරට් පෙට්ටි වල තියෙන ඊයම් කොල ‍චූටි කෑලි රෝල් කරලා අරගෙන,(ඉස්සර අපේ තාත්තා සිගරට් බිව්වා. එයාගෙන් තමයි ඒවා) වත්තේ තියෙන කෙසෙල් ගස් වල කඳන් වලට ඊයම් ගුළි ඔබලා, අර සිරින්ජරෙන් විදින එකයි. කොච්චර විද්දත් ඇඟට බෙහෙත් විදිනවා වගේ නෙමෙයි, ඒවා ආපහු එලියට එනවා. හැබැයි ඊයම් කොලේ ගහ ඇතුලේ. නිවාඩු දවසට මගේ බෙහෙත් කොහොමද වැඩ කරලා තියෙන්නේ කියල බලන්න යනවා. ඔව් හොඳට වැඩ කලා. වැඩේ කරපු තැන ඉදිමිලා කළු වෙලා නරක් වෙලා තියෙනවා බොහොම දවසට. කාලයක් යද්දි ගස් මැරුණේ සමහරවිට බෙහෙත හොඳට ම වැඩ කරපු නිසා ‍විය හැකියි.


    අක්කාගේ කථාව සිත් ගත්තා. ඒ වගේම අමතක වෙලා තිබුනු මං කරපු වැඩේත් මතක් වුනා.

    ReplyDelete
  27. //දැන් මට සේලයින් බෝතල් ඕනෙ නැහැ, මං හිතන්නෙ.//

    රෝගීන්ට සේලයින් දෙන්නේ ජීවය පිඹින්න .මට නිතරම හිතෙන්නේ අපේ අතීත මතකයන් සමහර අමාරු අපහසු හා ස්ට්‍රෙස් කාල වල අපි ගාවට ඇවිත් ජීවය පිඹිනවා .බලාපොරොත්තු දෙනවා . ඒ නිසා ලෙඩ නොවුන්ත් සමහර වෙලාවට අපිටත් සේලයින් ඕනේ හෙට දවසට ජීවත් වෙන්න

    //ඔය කාලෙ වෙනකොට මම සෙල්ලම් කළේ සිප්පි කටු සහ ගොළු බෙලි කටු කීපයකින්//

    පොඩි කාලේ සෙල්ලම් බඩු ගැන කිව්වොත් මට නම් උවමනා වුනේ එකම එක සෙල්ලම් බඩුවක් විතරයි .ඒ මගේ ට්‍රයිසිකලේ .මට තාම හිතෙන්නේ මම පැද්ද හොඳම වාහනේ ඒක කියලා .පස්සේ තුන්කාලේ බයිසිකලයක් ලැබුණ පහවසර පාස් වුනාම . අවුරුදු දාසයක් වෙද්දී ගෙදරින් ඒක විකුණලා දැම්ම .මගේ සෙල්ලම් ඔක්කොම එතනින් ඉවරයි .

    ReplyDelete
    Replies
    1. ඔයාට ට්‍රයිසිකලයක් හම්බුණාද? :( අපේ අක්කට තනියම ට්‍රයිසිකලයකුත්, අය්යට පිටිපස්සෙන් ඇදගෙන යන ආසනයක් සහිත ට්‍රයිසිකලයකුත් තිබුණා. තුන්වෙනියා වෙච්ච කරුමෙට මට ඉඩ ලැබුණෙ අර පිටිපස්සෙ ආසනය වාඩි වීම පමණයි. පස්සෙ කාලෙක මම හුඟක් ආසාවෙන් හිටියා සෙල්ලම් කාර් එකකට. ඒත් අම්මලා කිව්වා ඒ වෙනකොට මම කාරෙකක් පදින්නට ලොකු වැඩි බව. ඔහොම ඉඳලා ඉඳලා දවසක් අප්පච්චි ලස්සන රතු පාට කාරෙකක් ගෙනාවා. මම ගොඩක් සතුටු වුණා. ඉක්මණට ඒකට පැනලා පැදගෙන පැදගෙන ගියා. මම හිතුවෙ ඒක මට ගෙනාවා කියලා. ඒත් ඒක ගෙනල්ලා තිබුණෙ අපේ මල්ලිට. ඔය වෙනකොට මට අවුරුදු නවයක් දහයක් වෙලා නිසා මම කාරෙකකින් සෙල්ලම් කරන වයස පහු කරලා කියලයි අම්මලා හිතුවෙ. ඉතින් මට කාරෙකක් හම්බුණේ නෑ.

      Delete
    2. එදිනෙදා ජීවිතය ගෙවා ගන්න, ඒ ඒ දවසට මුහුණ දෙන්න ඇතැම් වෙලාවට සේලයින් ඕන කියන එකනම් සහතික ඇත්ත. ඒ සේලයින් එක එක ස්වරූපයෙන්: සමහරවිට හිතවතෙකුගෙ සුහද වචනයක්; එහෙම නැත්නම් කෝපි/චොක්ලට් කෝප්පයක්; විනෝද චාරිකාවක්; පුංචි දිනුමක්; මොකක් හරි හිත සතුටු වෙන පුංචි දෙයක්.

      Delete
    3. ඔවු අවුරුදු හයක් යනකන් මගේ ට්‍රයිසිකලේ තනි අයිතිය මට තිබ්බේ .පස්සේ නංගි එක්ක ශෙයාර් කරන්න වුනා . ඒකටනම් තරහ ගිහින් හිටියේ මට :)තරහට නංගිව බිම දාලත් තියේ ට්‍රයිසිකලෙන් :)අපි දෙන්නම පැදලා ඒක අපේ ලොකු කසින් මල්ලිත් පැද්දලා තමා අන්තිමට විසිකලේ .සෙල්ලම් බඩු හිඟ ඒකාලේ ඔහොම දේවල් පරම්පරාවෙම ලමයි එක්ක ශෙයාර් කරගන්න අපිට සිද්ද වුනාට දැන් එහෙම නැතුව ඇති කියල හිතෙනවා

      යාලුවන්ගේ පොඩ්ඩනට සෙල්ලම් බඩු තෑගි දෙනකොට මම ඒ බබාලගෙන් අහනවා මොනවද ඕනෙ කියලා . ප්ලේ ස්ටේශන් ඉල්ලුව අයත් ඉන්නවා .එතකොටනම් හොඳ අමාරුවක වැටෙනවා. ඒ නිසා යාලුවො කියන්නේ ලමයින්ගේ අයිතිවාසිකම් ගරු කරන්න එයාලගේ අදහස් විමසුවට පරිස්සම් වෙන්න පොඩ්ඩො අමාරු කාරයො කියලා :)

      ඒත් පොඩි ගෑණු ලමයි කාර් , හෙලිකොප්ටර් , බස් , එයාර් ප්ලේන් ,බැට් ,බෝල වගේ ඉල්ලුවොත් මම ගෙනිහින් දෙනවා .මොකද ගෑනු දරුවන්ට ඒ සෙල්ලම් බඩු ගැන එක්ස්පෝෂර් එක අඩුයිනේ .හැමෝම හදන්නේ පුංචි කාලේ ඉඳන් එයාලා හෝම් මේකර්ස්ල කරන්න නේ .ඒත් කිසිම දරුවෙක්ට තුවක්කු , යුද්ද ටැංකි , තව කෙනෙක්ට හානි කරන්න පුලුවන් සෙල්ලම්බඩු නම මම දෙන්නේ නෑ මොන තරම් ඉල්ලුවත් .

      හැත්තෑව දසකේ ළමයි ඉතින් කොස්කොල තොප්පි දාගෙන රජ වෙලා , ගොක්කොල නයි , රූං පෙති හදලා ,කුරුම්බැට්ටි මැසිමෙන් කොස්කොල මහලා ,ටීක් බෝල (ජිල් බෝල )ගහලා , කැඩුන වලං කෑලි වලින් කොටු පැනලා (බට්ටා පැනලා ), පොල්පිති හරක් දක්කං හිටපු අයනේ ,අපිට මොන iPad ද ? :)

      Delete
    4. අහ් අමතකවුනා අහන්න මෙතන කවුරුවත් බයිසිකල් ටයර් පැදලා නැද්ද ? ඒකත් මරු සෙල්ලම ටයර් එක් අතින් හරි කෝටු කෑල්ලකින් හරි තල්ලු කරන් පිටිපස්සෙන් දුවන එක , මටත් බයිසිකල් ටයර් එකක් ඕනෙ වුනාට ගෙදරින් ඉඩ දුන්නේ නෑ ඒ වැඩේට . පස්සේ නිවාඩුවට නෑදෑ ගෙවල් වල ගියාම ඒ අයියලගෙන් තමයි බයිසිකල් ටයර් ඉල්ලන් පැද්දේ .

      Delete
    5. බයිසිකල් ටයර්නම් හම්බුණේ නෑ, ඒත් වාහනවලට දාන ලොකු ටයර්නම් හම්බුණා අතින් ගගහ පස්සෙන් දුවන්න. :D අත්වල, ඇඳුම්වල ගන්න දෙයක් නැහැ.
      ඒ දවස්වල අපේ ගැන්සියෙ කොල්ලෙකුට රේස් කරත්තයක් තිබුණා. කට්ටියත් එක්ක ඕක ඇදගෙන කන්ද මුදුනට ගිහින්, ඊට පස්සෙ වේගෙන් පහළට එනවා ඒ දවස්වල තිබුණු වීරෝදාර පාඨ කෑ ගහමින්- මට මතක තියෙන්නෙ ඉන් "ගව මස් නොකනූ" විතරයි දැන්. ඒ මදිවට අර කොල්ලා අත් දෙකෙන් හිටගෙනයි එන්නෙ වේගෙන් යන රේස් කරත්තෙ උඩ.

      Delete
    6. මාත් ඒ කාලේ ට්‍රය්සිකල් පැද්ද. බයිසිකල් පදින්න ඉගෙනගත්තේ බොහොම අමාරුවෙන්. අම්මා බයිසිකලේ පස්සෙන් අල්ලන් දුව දුව හිටියේ. ඔහොම ඉන්දැද්දී, දවසක් 2 වසරේදී වගේ නෑදා අයියල වගයක් මට නොන්ඩි දැම්ම බයිසිකල් පදින්න බෑ කියල. ඕකට මල පැනල එදාම කොහොම හරි වැටී වැටී පදින්න ඉගෙන ගත්ත :D

      ඔව් ඒක හොඳයි. හැමෝම ගැණු ළමයින්ට බෝනික්කෝ නේ දෙන්නේ. ඒක නිසා මමත් දැන් බෝනික්කෝ වෙනුවට දෙන්නේ ලෙගෝ.

      ඕගොල්ලෝ කවුරුත් කරල නැද්ද අර පොයින්ට් බින්දුවේ හැන්ගෙන සෙල්ලම? 90 දශකය මුල් හරියේ ඕක තමයි අපේ ජනප්‍රියම සෙල්ලම! :D

      Delete
    7. චෑහ්! කැඩුනු වළං කෑලිවලින් බට්ටා පැනීම අක්කගෙයි මගෙයි ෆේවරිට්ම සෙල්ලමක්.. අටේ කොටුද හයේ කොටුද, ඕන දේකට රෙඩි!

      මමත් දැන් බොහෝ වෙලාවට පොඩි එවුන්ට දෙන්න ගන්නෙ Lego තමා.. තුවක්කු වගේ සෙල්ලම් බඩු ගන්නෙ මට සෙල්ලම් කරන්න විතරයි.. මේ ඊයෙ පෙරේදාත් Amazon එකෙන් ගත්ත Nerf gun එකක්.. :D

      Delete
    8. බූරෝ මටනම් පෙන්න බැරි ජරා සෙල්ලමක් Nurf Gun :) Its almost like a mania among IT people that I know in SL :)

      Delete
    9. මොකද්ද වැරැද්ද..!!?? අපි පොඩි කාලෙ බට ලී තුවක්කුවලින් වෙඩි තියාගත්තා, Nerf gun එකත් ඒ වගේ තමා.. ඒක මේනියා එකක් වෙන්නෙ ඉතිං අදාල පුද්ගලයින් අනුවයි..

      Delete
  28. මගෙත් ප්‍රියතම සෙල්ලම්බඩු අතරින් එකක් උනේ සේලයින් බටය. මම ඒක ගත්තෙ අල්ලපුගෙදර මගේ යාළුවට ජිල්බෝල අහුරක්ම දීල.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කත් ඇද්දට පස්සෙ මට අපේ අය්යගෙන් කැඩුණු තඩි නිල් පාට ජිල් බෝලෙකුයි, පාට පාට ඉරි වැටුණු සහ තද නිල් දිස්නෙකින් යුත් කුඩා ජිල් බෝල දෙකකුයි ලබා ගන්න පුළුවන් වුණා. මම ඒවගෙන් සෙල්ලම් කළේ කවුරුවත් නැති තැන්වල- කවුරුහරි ඒවා ඩැහැ ගැනීමේ අවදානමක් තිබුණු නිසා. :D

      Delete
  29. අපූරු මතකයන් රැසැක් මැවුනා.......

    පවු දැන් හැදෙන පොඩි උන්..................

    ReplyDelete
  30. අපි පොඩි කාලෙ සෙල්ලම් කලේ ඉවතලන බඩුත් එක්ක . යෝගට් හැඳිත් එකතු කරලා පුච්චලා ලස්සන මුතු වගෙ බෝල හදලා එවා පින්ස් වල අමුනනවා .
    …සේලයින් බෝතල ලස්සනට කපලා ලන්තැරුම් වගෙ හදලා එල්ලනවා .
    …පොඩි කාලෙට ආයෙත් ගියා වගෙ දැනුනා .

    ReplyDelete
  31. කීපදෙනෙක්ම කියා තිබුණු පරිදි ළමයින්ට මේ දේවලින් සෙල්ලම් කිරීමේ හැකියාව නැති කරල තියෙන්නෙත් වැඩිහිටියන්ම තමයි- ටීවී දාලා දෙන එක, කඩෙන් භාණ්ඩයක් ගෙනත් දෙන එක වඩා පහසු නිසා. අනෙක් අතට දැන් තියෙන සෙල්ලම් බඩු අතරත් හොඳ ඒවා තියෙනවා- උදාහරණයකට අර නොයෙක් උපකරණ/ ගොඩනැගිලි සාදන මෙවලම් කට්ටල වගේ දේවල්.

    ReplyDelete
  32. හදවතටම වැදුන . හැත්තෑව දශකයේ ළමයෙක් නිසා වෙන්න ඇති .පුදුමෙකට වගේ අපේ කෙල්ලෝ දෙන්න නම් තවම හිස් කාඩ් බෝඩ් පෙට්ටියක් වත් විසිකරන්න දෙන්නේ නැහැ . සේලයින් බෝතලයක් වුනත් එපා කියන එකක් නැහැ . කොච්චර බෝනික්කෝ හිටියත් මන් පොඩි කාලේ අම්ම මහල දීපු රෙදි බෝනික්ක ගැන අහන්න ආසයි . රෝහලට එන ළමයි සේලයින් බෝතල් සිරින්ජර් වලට බය ඇති මන් හිතේ . අනික දැන් කාලේ නානාප්‍රකාර ලෙඩ ගැන අපි දන්නවත් වැඩිනේ . රෝහලින් යමක් ගෙදර ගෙනියන්න ආදී මදි කිරීම පුදුමයක් නෙමේ . හැබැයි නලිනි මේ කියන්න හැදුවේ සේලයින් බෝතල් ගැන විතරක්ම නෙමේ කියල මන් දන්නවා . පරම්පරා කීපයක් යද්දී කාලෙත් එක්ක ලෝකේ වෙනස් වෙන හැටි වෙන්න ඇති . මට හිතෙනවා අදත් ළමයෙක් ඉරටු සරුංගලයක් , රබර් ඇට බඹරයක් හදල දුන්නොත් එපා කියන එකක් නැහැ කියල .
    අපිට තිබුන සෙල්ලම් බඩු ගණන මට මතකයි . අක්කට දම් පාට බෝනික්කෙක් , මට රෝස පාට බෝනික්කෙක් . මෙව්වා නිකන්ම අතපය ගලවන්න හැකි ප්ලාස්ටික් ඒවා . අක්කගේ දම් පාට බෝනික්කාගේ අතක් නැති වුනා . ඉතින් එයා මලා කියල අපි මල ගෙදරක් ගත්ත . පෙට්ටියක දාල වැලලුවත් එක්ක . ටිකක් පසු කලෙක වයින් කලහම රවුමක් යන බයිසිකල් කාරයෙක් ලැබුන . මන් පිනන තාරාවෙක්ට ආසයි කිව්වම අම්ම පිටකොටුව පුරාම ඇවිදලා ප්ලාස්ටික් කිකිලියෙක් තමයි හම්බ වෙලා තිබුනේ . තව අපි සෙල්ලම් බඩු හදාගත්ත . ටින් පියනක් ගහපු කරත්ත , පොල්පිති වස්සෝ, සරුංගල් .යෝගට් කප් ටෙලිෆෝන් .අපෝ ඇති නේද මේක බ්ලොග් පෝස්ට් එකක් වෙයි නැත්නම් .
    ඇයි ඔයාල කොන්දොස්තර මාමලාගෙන් ඉවර වෙන්න ඔන්න මෙන්න අයින් කරන ටිකට් රෝල් ඉල්ලුවේ නැද්ද .

    ReplyDelete
    Replies
    1. ඕඕ, සැරයක් අපිට මැරිච්ච කටුස්සෙක් හම්බෙලා, අපි උගෙ මළගම ගත්තා: කෙසෙල්පිතිවලින් මිණී පෙට්ටියක් හදලා, ඌව ඒකෙ තියලා, පෙරහැරෙන් අරන් ගිහින් ගොක්කොළවලින් සරසලා ඌව වැළලුවා. ඊට පස්සෙ උගෙ දානෙත් එතනම දුන්නා: කුස්සියෙන් බතුයි පොලුයි අරන් පොල් කට්ටක දාගෙන වහගෙන, සාදු සාදු කිය කිය පෙරහැරෙන් අරන් ගියෙ අපෙ "හාමුදුරුවො" හෙවත් ලකී නම් අපේ බල්ලාවත් මැදි කරගෙන. ඒ බල්ලත් අපේ විකාර වැඩවලට හොඳට හුරු එකෙක් හින්දා පෙරහැරෙන් ගිහින්, "දානෙ" පොල් කට්ට කටුසු සොහොන උඩින් තියනකම් ඉඳලා "වැළඳුවා". :D

      Delete
  33. අන්න හොඳයි කාලෙකට පස්සේ ලියලා.
    තාමත් ඉන්නවා ඈත පලාත්වල ඔයවගේ දේවලුත් හම්බවෙන්නේ නැති පොඩි උන්..

    ReplyDelete
  34. ඔබේ යටි හිත කියන්න හැදුවේ ඔය එකක්වත් නෙමේ...

    මහ පාලු ගතියක් තියනව මේ පෝස්ට් එක පුරාම...
    මම දුටුවේ නෑ සේලයින් බෝතලයක්... මම දුටුවේ නෑ සෙල්ලම් බඩුවක්...
    මම දැක්කේ කවදාවක් වත් සපුරා ගන්න බැරි වුණු සාංකාවක්, බලාපොරොත්තුවක්...
    එදා ආසාවෙන් හිටියදේට අද ලංවෙලා... ඒත් ඒක කාටවත් දැන් වටින්නේ නෑ... අද ඒක තියෙන්නේ වෙන ස්වරූපයකින්... ඒත් එදා වගේම ඒක දුරයි...

    මම එහෙම ගන්නව..
    එහෙම ගන්න මට නිදහස තියෙනව..
    "සිත් ආර" තුල බැරි නම් කොහෙවත් බෑ..

    ReplyDelete
  35. මං ඉස්කෝලෙ 13 වෙනකං ඕකෙන් සෙල්ලං කරා :D ඉස්කෝලෙට අරං ගිහින් එක එකාට විදිනවා සර්ලා මිස්ලා උගන්නන අතර. එකෙක් දවසක් බැරිම තැන අරං ආවා කං හෝදන තඩි සිරින්ජර් එකක්! මට එකෙක් හරි විද්දොත් ආයි බොලට මේකෙන් තියනවා කිව්වා විසික් වෙන්නම! :D

    ReplyDelete
  36. ඉන්ජෙක්ශන් සිරින්ජ එක්ක නම් හොද මතකයක් තියනවා.. හය වසරෙදි තිබ්බා අපේ ස්කෝලෙ ප්‍රදර්ශනයක්. ඒ කාලෙ දැකලා තිබ්බ අරුම පුදුම වාහනයක් වෙච්ච බැකෝ ( පස් කපන යන්තරයක් ) තමයි මම හැදුවේ හයිඩ්‍රොලික් වෙනුවට පාවිච්චි කලේ සේලයින් බට සහ සිරින්ජර දවස් 5ක් විතර ඉස්පිරිතාලෙ කට්ට කාල සිරින්ජර බටයි , සේලයින් බටයි ටිකක් එකතු කරගෙන වැඩේ ගොඩ දා ගත්තා. ප්‍රදර්ශනේ දවසේ විනිශ්චය මන්ඩලෙන් ලගට ආවම මන් ඉතින් කට කනේ තියාගෙන හිටියා. මැටි වලං , පත්තර මල් අතරේ ශුවර් එකටම මගේ නිර්මානෙට 1 ලැබෙයි කියලා. අනේ මැඩම් ගත්ත කටටම කිව්වා පිස්සුද ලමයෝ මේවගෙන ලෙඩ බෝවෙනවනේ නැති ලෙඩ හදාගන්නද හදන්නේ කියලා... එදත් එදයි මන් ප්‍රදර්ශන දිහා ඇහැක් ඇරලා බලන් නෑ

    ReplyDelete
    Replies
    1. දරුවෙකුගෙ නිර්මානාත්මක හිත විනාශ කරලා දැම්මා නේද ඒ මැඩම්ගෙ මෝඩ වචන ටික..

      Delete
  37. තිස්ස කියපුදේට මමත් එකඟයි,සේලයින් බෝතලේ නෙවෙයි කතාව ....කතාව තේරුම් ගන්න යොදාගතයුතු Additive එකක්....

    ඇඟිල්ල සහ සඳ.....හෙහ්, හෙහ්...

    ReplyDelete
  38. සේලයින් බට සිලින්ජර් අපිට මාර වටිනවා එ කාලයේ.එ තූලින් අපි අපේ සිගිති ලෝකය නිර්මාණය කලා.අර්‍මමො අපි කරපු දේවල්.අපේ අර්‍මමාගේ කාමරයේ දැන් පයට පැගෙන්නත් සිලින්ජර් ළමයි 7ක් 8ක් හිටියට කර්‍වරැවත් ගන්නේ නැ.වැරැද්ද අපේ අපි ළමයින්ට ළමාකම විදින්න දෙන්නේ නැ.අපේ හීන උන්ගෙන් එළිකරගන්න හදනවා

    ReplyDelete
  39. හිත අතීතයට කැඳවාගෙන ගියා නලිනි. මට පුදුම හිතුනෙ දොස්තර කෙනෙකුට මෙහෙම හිතුනු හැටියි.
    henryblogwalker the Dude

    ReplyDelete
  40. අක්කිගේ පෝස්ට් එක දැක්කම මටත් ළමා කාලෙ මතක් උනා. මමත් ආසයි ඉස්සර සේලයින් බෝතල් එක්ක සෙල්ලම් කරන්න. සේලයින් බෝතලේ කටුව ගහන තැන අර අලුපාට රවුම් හැඩයේ රබර් එකක් තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ මකනය විදියට පාවිච්චි කලේ ඕවා.

    ස්තුතියි අක්කි මතකය අලුත් කලාට.

    ReplyDelete
  41. පොඩි කාලෙට අයෙත් ගිය වගෙයි. මගේ ගාවත් සෑහෙන ලොකු සේලයින් බෝතල්, සිරින්ජ කලෙක්ශන් එකක් තිබුන ඒ දවස් වල.

    ReplyDelete