Wednesday, March 30, 2011

ඇන්ඩෲ අය්යා

රෝහල ඉදිරිපිට බස් නැවතුමට වී මා බලා සිටියේ තාත්තා එනතුරුය. සායනයේ නොම්මරයක් ලබා ගනු පිණිස මා කලින් පැමිණියේ තාත්තාගේ රස්තියාදුව අවම කිරීමටය. පැයක් පමණ වේලා මෙතැන වේලෙන මා දෙස බලමින් මිනිස්සු යති; එති. මම ඒ නොදැක්කාක් මෙන් සිටීමට වෑයම් කළෙමි. මා පසු කර මීටර කිහිපයක් ගිය මෝටර් රථයක් එක්වරම නතර විය. ඉන් බැස ගත් කවුදෝ මා දෙසට එනු මගේ නෙත් කොණට පෙනුණි. මම අහක බලාගෙනම සිටියෙමි. ඒ ආ රුව මා අසළ නැවතිණි.

"නංගි?"

*********************************

ළමයින් පස් දෙනෙකු සිටි අපේ පවුලේ ලොකු අක්කා යන යන තැන නායකත්වය ලැබීම නිසාද, දෙවෙනි ඇගේ සුන්දර රූ සපුව නිසාද, පොඩි අක්කා අති දක්ෂ සිසුවියක වූ නිසාද, මල්ලී පවුලේ එකම පිරිමි දරුවා වීම නිසාද කාගේත් සැළකිල්ලට ලක් වූහ. වැදගැම්මකට නැති චරිතයක් වූ මම වැඩිහිටි අවධානයෙන් මිදුණෙන් හිතූමතේ දඟ කිරීමට ඉදිරිපත් වීමි: පියාගේ බෑගයෙන් මුදල් සොරාගෙන කඩචෝරු කෑවෙමි; බුද්ධ පූජාවට තැබූ ගිලන්පස හොරෙන් බීවෙමි; පේර ගස මුදුනට නැග අල්ලපු ගෙදර ජෝඩුව රණ්ඩු වන අයුරු නැරඹුවෙමි; හැන්දෑවේ තාප්පය අයිනේ රැක සිට පාරේ යන එන්නන්ට වැලි පොල්කටුවලින් දමා ගැසුවෙමි.


වතු කිහිපයකට එහා විසූ කඩවසම් ලංසි තරුණයකු වූ ඇන්ඩෲ අය්යාව මා හඳුනාගත්තේ මේ වැලි සෙල්ලම නිසාය. තාප්පය අයිනේ වදලට ජම්බු ගස් වැවී තිබුණු නිසා පාරේ යන කෙනෙකුට පහසුවෙන් මා නොපෙනේ. ගේ සෑදීමට ගෙන ආ වැලි ගොඩ ගසා තිබුණේ ජම්බු ගස් සෙවණේය. ගස් අතු අතරින් ඔත්තු බලන මම මිනිසුන්ට ගේ පසුකර යාමට ඉඩ හැර පිටුපසින් වැලි ගසා සැඟවෙමි. වැලි පාරවල් කන මිනිස්සු, වැලි විසි කළ කෙනෙක් නොදැක බැන බැන යති. සෙල්ලම ඒකාකාරී වේගෙන එනවිට මම අලුත් ක්‍රමයක් අත්හදා බැලීමට තීරණය කළෙමි.

උඩු රැවුලක් වවා සිගරට්ටුවක් උරමින් පාරේ ගමන් ගන්නා සමූපයා කොහොමත් මට පෙනෙන්නට බැරිය. ඔහුට මා පසුකර යන්නට හැරිය මම එක්වරම "ස් ස්" හඬ නැගුවෙමි. සමූපයා ආපසු හැරී බලත්ම මුහුණට වැලි පොල්කට්ටකින් දමා ගැසුවෙමි. වැලි වැදුණේ කොහෙන්දැයි දුටු සමූපයාට යක්ෂාවේශ විය. ඔහු "යකෝ" කියාගෙන තාප්පය ළඟට පැන්නේය. එවන් ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු නොවුණු මම එතැනම බිම හිඳ ගතිමි. සමූපයා මගේ දිග කොණ්ඩ කරලක් අල්ලාගෙන "එන්ඩ කියපිය තොගෙ මහ එවුන්ට." කියමින් ගෝරණාඩු කරන්නට විය. 


ඇන්ඩෲ අය්යා කොහෙන්දෝ මතු වූයේ මෙවිටය. සමූපයාගේ අතින් මා මුදා ගැනීමට තැත් කරමින් ඔහු පින්සෙණ්ඩු වන්නට පටන් ගත්තේය. "අනේ අංකල්, එයා මට වැලි ගහන්න බලං හිටියෙ අංකල්; අංකල්ට ගැහුවෙ වැරදිලා අංකල්; අනේ ඇත්තමයි අංකල්; අනේ තරහ වෙන්න එපා අංකල්; මං හින්දා සමා වෙන්න අංකල්...."
සමූපයා මඳක් මෙල්ල වුවද ඇන්ඩෲ අය්යා මගේ දෙමවුපියන්ට මේ පිළිබඳව දැණුම් දෙන බවට පොරොන්දු කරවාගෙන, මෙවන් ක්‍රියා අනාගතයේදී සිදුවුවහොත් 'බලාගන්නා' බවට දෙදෙනාටම තර්ජනය කරනතුරු එතනින් නොගියේය. ඔහුගේ දීර්ඝ දේශනාවට මා සවන් නුදුන්මුත්, ඇන්ඩෲ අය්යා මුළු වෙලාවම "හා අංකල්, ඔව් අංකල්, මට තේරෙනව අංකල්, ආයෙ වෙන්නෑ අංකල්" කියමින් ඒ අසා සිටියේය.

ඉන්පසු මම කිසිවෙකුට වැලි නොගැසුවද ඇන්ඩෲ අය්යා එනතුරු තාප්පය අයිනේ සිටීමට පුරුදු වීමි. ඈතින්ම මිහිරි ලෙස සිනාවේගෙන එන ඔහු හැමදාම එකම ප්‍රශ්නයක් අසයි:
"නංගි අද දඟ කළාද?"
මම හිස වනා "නෑ." කියමි. 


මා වෙනුවෙන් බොරු කීමට ඉදිරිපත් වූ එකම කෙනා ඔහු වූ නිසා ඔහුට බොරු කීම මට අපහසු විය. එහෙයින් මම ඇත්තටම නරක වැඩ කිරීම හැකිතාක් අඩු කළෙමි. 

ඇන්ඩෲ අය්යාව අපේ අක්කලා හඳුනාගත්තේ "චූටි නංගිගෙ අය්යා" ලෙසය. මම ඉන් ආඩම්බරයට පත්වීමි. එතෙක් වැඩිය එළිපහළියේ නොසිටි අක්කලාද ටිකෙන් ටික හැන්දෑවට මිදුලේ සිටීමට පුරුදු වූහ. මා දඟ නොකළ බව දැන ගත් පසු ඇන්ඩෲ අය්යා අක්කලා සමග කතාවට වැටේ. ගණකාධිකාරීවරයකු වීමට උගනිමින් සිටි ඔහු ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම පිණිස දිනපතා සන්ධ්‍යාවේ ඇවිදීමට යයි. ඇතැම් විටෙක අප සමග මිදුලේ සිටි මල්ලී ඔහුට බැට් කිරීම පිණිස පන්දුව එවන ලෙස අක්කලාට වද කරයි. අක්කලා ඊට අකමැති වෙති. ඇන්ඩෲ අය්යා කැමැත්තෙන්ම ඉදිරිපත් වී මිදුලට ගොඩ වී මල්ලී සමග ක්‍රීඩා කරයි. මෙලෙස ගෙවුණු දින සති ඇවෑමෙන් තේ බීම පිණිස ඔහුව ගෙතුළට කැඳවූයේ අම්මාය. රෑ අට නවය වනතුරු ඔහුව රඳවා ගැනීමට පටන් ගත්තේ ලෝක ප්‍රවෘත්ති සාකච්ඡා කිරීමට කෙනෙක් නොමැතිකමින් පීඩා විඳිමින් සිටි තාත්තාය.

කෙටි කලක් තුළ ඇන්ඩෲ අය්යා අපේ ජීවිතවලම කොටසක් බවට පත් විය. සිංහල අවුරුද්දට අපි කැවුම් කිරිබත් ගෙන පවුල පිටින් ඔහුගේ නිවසට ගියෙමු. නත්තලට ගව ලෙන් සෑදීම පිණිස මල්ලිගේ ප්ලාස්ටික් සතුන් ගෙන යාමට පීටර් අංකල්ම පැමිණියේය. මේරි ඇන්ටි ඇගේ කොළඹ නෑයන්ගේ කර්මාන්ත ශාලාවලින් අපට නවීන පන්නයේ ඇඳුම් ගෙන ආවාය. පීටර් අංකල් බැංකුවෙන් ගත් ණය මුදලට ඇපයට අත්සන් කළේ තාත්තාය.

කාලය ඉක්ම ගියේය. ලොකු අක්කා විශ්ව විද්‍යාලයට තේරිණි. දෙවෙනි උනන්දුවෙන් උසස් පෙළ පන්ති යාමට පටන් ගත්තාය. කුඩා අපිද පන්ති කිහිපයක් ඉහළ ගියෙමු. ඇන්ඩෲ අය්යා තවමත් ගණකාධිකාරී විභාගයට උගනියි.
"දැන් රස්සාවක් කරන්ඩ කාලෙ. වෙන මිනිස්සු ඕවා අවුරුදු දෙකතුනෙන් ඉවර කරනවා." තාත්තා අම්මා සමග කීවේය.
"ලංසියොනෙ." අම්මා පිළිතුරු දුන්නාය. "ඔය මිනිස්සුන්ගෙ වැඩ ඔහොම තමා!"



****************************

මේරි ඇන්ටි රාත්‍රී ඇඳුම් කිහිපයක් දැමූ මල්ලක් රැගෙන ගෙට ගොඩ වුයේ තාත්තා ගෙදර නැති වෙලාවකය. ඇඳුම් අප සඳහා විය. අප එකිනෙකා ඇඳුම් බෙදාගෙන හැඩ බැලූ පසු මේරි ඇන්ටි සාමාන්‍ය කතාබහක් පරිද්දෙන් "එකක් හාරසිය පණහයි. මෙහෙ ඒ ගානට නැති හින්දමයි මම ගෙනාවෙ." යනුවෙන් පැවසුවාය. ඇඳුම් තෑගි දීමට නොව, විකිණීමට ගෙන ආ බව අම්මාට වැටහුණේ එවිටය.
"ගෙනත් දුන්නහම එපා කියන්නත් බෑ." අම්මා පසුව තාත්තා සමග පැවසුවාය.
"මොකද එපා කියන්න බැරි?" තාත්තා ගෙරවීය.  

"හා හා ඒක මං බේර ගන්නං." අම්මා කිව්වේ තාත්තාට සිද්ධිය කිවූ මෝඩකම යයි සිතමින් විය යුතුය.

පීටර් අංකල් ගත් ණය මුදලේ වාරික  නොගෙවන්නේනම් තාත්තාට විරුද්ධවද ක්‍රියා කිරීමට සිදුවන බව දන්වා ලිපියක් ලැබුණේ ඒ අතරතුරය. අම්මාගේ විරුද්ධත්වය නොතකා තාත්තා කෙළින්ම පීටර් අංකල් සොයා ගියේය. 

"තරහ වෙන්න එපා. පොඩි අතපසුවීමක් වුණා. මම කිව්වා කොළඹ අය්යලට සල්ලි දාන්න කියලා. ඒගොල්ලන්ට වැඩ අස්සෙ අමතක වෙලා. දැන් ඒක හරි. ආයෙත් එහෙම වෙන්නෙ නෑ. " පීටර් අංකල් පොරොන්දු වී තිබුණි.

ඇන්ඩෲ අය්යා එදින ආ විට තාත්තා මේ කතාව ඇද ගත්තේය. ඇන්ඩෲ අය්යා ඔහේ අසාගෙන සිට, "මං ගෙදරට කියන්නම්." යයි සෙමින් පිළිතුරු දුන්නේය. තාත්තා මේ ගැන ඔහුගෙන් විමසීම පිළිබඳව ලජ්ජාවට පත් වුණු මම එදින එළියට නාවෙමි. අක්කලාද තාත්තාට එරෙහිව හොරෙන් කුටු කුටු ගෑහ. අම්මා කුස්සියේ වැඩ අධික බවක් පෙන්වා සිටියාය. ණය විස්තරය මදිවාක් මෙන් තාත්තා ඇන්ඩෲ අය්යාගේ අධ්‍යාපන කටයුතු ගැනද විමසීය.
"ඕවා ඒ හැටි අමාරු විභාග නෙවෙයි, නේද? ඔය මිනිස්සු ඕනෙ තරම් පාස් වෙන්නෙ? ආයෙ ආයෙ කරන්න තියා ගත්තහම තමයි දෙමවුපියන්ට වියදම්."

එයින් දින කිහිපයක් ගත වන තුරු ඇන්ඩෲ අය්යා සවස ඇවිදින්නට නාවේය. එළිපිට කතා නොකළත් තාත්තා හැර අන් සියළුදෙනා සිටියේ නොසන්සුන්වය. ලොකු අක්කා හා දෙවෙනි රෑ මැදියම වනතුරු කුටු කුටු ගෑහ. මල්ලීගේ කරච්චලයෙන් බේරීමට බැරි තැන පොඩි අක්කා පන්දුව මල්ලක දමා ගැට ගසා ගහක අත්තක එල්ලා දුන්නාය. දින කිහිපයක් ඊට පත බෑ මල්ලී එක් සවසක පිත්තත් පන්දුවත් රැගෙන ඇන්ඩෲ අය්යාගේ නිවසට යාමෙන් පසු නැවත වරක් ඔහු අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. සියල්ලෝ කිසිවක් සිදු නොවූවාක් මෙන් හැසිරෙන්නට වූහ.



**************************

කුණාටුව පුපුරා හැළුණේ සෙනසුරාදා දිනකය. වෙනදා සවස් වන තුරු පන්තිවලට සහභාගි වන දෙවෙනි මහ දවල් හඬාගෙන ගෙදර පැමිණියේ කවුරුන් දැක්කත් කම් නැතැයි සිතන පරිද්දෙනි. ඇයට පිටුපසින් පැමිණියේ කිසියම් වුවමනාවකට නගරයට ගිය තාත්තාය.
"තෝ හදා ගං තොගෙ දුවව." යි වෙව්ලමින් අම්මාට කී තාත්තා කෙළින්ම කාමරයට වැදුණේය.

දෙවෙනිගේ නඩු විභාගයට සවන් දීමට අවකාශ නොදී අප සියළුදෙනා එළවා දැමිණි. දෙවෙනි රාත්‍රිය පුරා ලොකු අක්කා සමග මොනවාදෝ කියමින් හැඬීම  ඇරඹුණේ එතැන් පටන්ය; අම්මාත් තාත්තාත් අපට නෑසෙන හඬින් සාකච්ඡා පැවැත්වීම ඇරඹුණේ එතැන් පටන්ය; සන්ධ්‍යාවට මිදුලේ සිටීම තහනම් කරන නියෝගයක් අපට පැනවුණේද එතැන් පටන්ය. ඇන්ඩෲ අය්යා වසා ඇති ගේට්ටුව අසල කිහිප දිනක් නැවතී බලා සිට ගියේය. අපි "ගෙදර කවුරුත් නෑ" මෙන් සිටියෙමු.

 

"අරුන් ඊයෙ ගෙවල් වහලා පැනලා ගිහින්." යන ආරංචිය ගෙන ආවේ ඉරිදා පුවත්පත ගැනීම පිණිස හන්දියට ගිය තාත්තාය.
"රෑ වාහනයක් එන සද්දයක් ඇහිලා තියෙනවා සෝමෙලාට. එච්චර බලලා නෑ. කවුරුත් දන්නෑ කිසි විස්තරයක්. නිකමට අපිට කියලා පලයං? ගුණේ නැති කාල කණ්ණි."
තාත්තා ඉඳ ගත්තා නොව පුටුවේ වැටුණි.
"දැං අරකට මොකද වෙන්නෙ?" අම්මා තිගැස්මෙන් යුතුව ඇසුවේ ඇපයට අත්සන් කළ ණය මුදල පිළිබඳවය.
"මොනව වෙන්නද? අපිව අල්ලලා තියලා උං බේරිලා ගිහිං."
මාස ගණනාවක් පුරා ඇදුණු ඒ කතාව යළි යළිත් ඇන්ඩෲ අය්යා අපේ ජන්මාන්තර වෛරක්කාරයෙක් ලෙස හංවඩු ගැසුවේ තාත්තාට විඳින්නට සිදුවූ අනේක කරදර නිසාවෙනි. වයසට වඩා ඉක්මණින් තාත්තා රෝගියෙකු විය. ඇන්ඩෲ අය්යා පිළිබඳව ඇති පහන් හැඟුම් අපේ සිත් තුළම තෙරපා වළ දමන්නට සිදු විය. තවත් කලක් යනවිට ඒ අපේ නිවසේ තහනම් වචනයක් බවට පත් විය.

ළමාවියේ මගේ ප්‍රථම හා හොඳම හිතවතා එලෙස අකාලයේ මට අහිමි විය.

**********************************

මා ඉදිරියේ සිටිනුයේ මැදි වයසේ මිනිසෙකි. සුපුරුදු කටහඬේ ගැබ්ව ඇති දැඩි ශෝකය මගේ ඇටමිදුළු පසාරු කරගෙන යයි. දෙනෙතින් පළවන දයාව එදා මෙන්මය. කීමට බොහෝ දේ ඇත; ඇසීමට බොහෝ දේ ඇත. එහෙත් කාලය හා අවස්ථාව ඊට හරස් වෙයි. තාත්තා කොයි මොහොතක හෝ පැමිණිය හැක. ඔහු දැන් හදිසි කම්පනවලට ඔරොත්තු නොදෙන දැඩි හදවත් රෝගියෙකි. මෙපමණ වසර ගණනාවකට පසු ඇන්ඩෲ අය්යා හමුවූ මොහොතේ මට ඔහුගෙන් ඈත් වීමට හදිසිය. නොඉවසිල්ලෙන් ඈත මෑත බලන මා දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු මා බලන අත බලා නැවත මදෙසටම හැරෙයි.
"එහෙනම් මං ගිහින් එන්නද නංගි?"
ඒ හඬේ ඇත්තේ පරාජිත ස්වරූපයකි. මම යන්ත්‍රයක් මෙන් හිස සළමි.
"අනේ දෙවියනේ, ඇන්ඩෲ අය්යා මෙතනින් යනතුරු තාත්තා මෙතනට එවන්න එපා." මගේ සිත කෑ ගසා යදියි. 

එක් අතකින් මම තාත්තා ගැන බිය වෙමි; අනෙක් අතින් තාත්තාගේ මුවින් ගිළිහෙන වදනක් නිසා ඇන්ඩෲ අය්යා සිත් වේදනාවකට ලක් වෙතැයි බිය වෙමි. 
"තාත්තා එනකම් ඉන්නෙ." මම ආයාසයෙන් ගැට ගසා ගනිමි. යන්නට හැරුණු ඇන්ඩෲ අය්යා නැවතී මා දෙස බලා සිටී.
"ගෙදර අය සනීපෙන්ද නංගි?"
 මා හිස සළන්නේ "ඔව්" කීමටය. තාත්තාට පපුවේ අමාරුවකැයි කිවහොත් ඇන්ඩෲ අය්යා නැවතී විස්තර අසතැයි මට සිතේ.
"අපේ තාත්තා නැති වුණා ඒ දවස්වලම. අම්මයි මමයි ඉන්නෙ දැං." ඔහුගේ හඬේ තනිකමකට වඩා ඇත්තේ කලකින් දුටු හිතවතකු සමග සිය ජීවිතය බෙදාගන්නා හැඟීමකි.
මගේ සිත ගිනි ගනී. අපේ පවුලේ තොරතුරු දැනගැන්මට ඔහු කැමැත්තෙන් සිටිතැයි මට සිතේ. ඔහුගේ විස්තර ඇසීමට, දුක් සැප බෙදා ගැනුමට මටද අවැසිය. එහෙත් කතාව දික්ගස්සා ගත නොහැක.
"තාත්තා එනකම් මම ඉන්නෙ." මම නැවතද කියමි.
"මම යන්නම් නංගි."
 මා හිස සළන්නේ කතා කළහොත් කටහඬ වෙවුලාවියයි යන බියටය.



ආපසු හැරී පියවර කිහිපයක් තැබූ ඇන්ඩෲ අය්යා හදිසියේ යමක් සිහි වූවාක් මෙන් නැවත මා දෙස බලයි.
"දැන් ඉස්සර විතර දඟ නෑ වගේ."
කඳුළු සැඟවීමට මම තව දුරටත් වෑයම් නොකරමි.

22 comments:

  1. @Dil_mali: බොහොම ස්තුතියි ඔබේ ඇගයුමට.

    ReplyDelete
  2. @ AGA : බොහොම ස්තුතියි. :D

    ReplyDelete
  3. නියමයි..එක හුස්මට කියෙව්වේ...මේ පර්යේෂණ කරන අතරේ ලැබෙන පොඩි විවේකයේ මේකක් බලල තමයි අපි ලංකාව ගැන මතක් කරගන්නේ... :)

    ReplyDelete
  4. උපරිමයි.......අපහසුවක් නැතිව කියෙව්වැහැකි....

    ReplyDelete
  5. Ishara: බොහොම සතුටුයි ලංකාවෙ මතකයන් අවදි කිරීමට සමත් වුණානම්.

    Heeniyata: බොහොම ස්තුතියි සොයුර.

    ReplyDelete
  6. ඊයේ ඉඳං මං මේ බ්ලොග් එක හැම අස්සක් නෑර කියෙව්වා. ඉතාමත් ඉහල ලේඛන ශෛලියක්. හැම තැනම කොමෙන්ටු දැම්මේ නැත්තේ අපහසු නිසා. හැම සටහනක් ම වෙන වෙන ම ඇගයිය හැකියි. රණ විරුවට මිනි මරුව කිව්වකතාව ඇරෙන්න [එහෙම බැලුවොත් අපි ඔක්කොම මිනි මරුවෝ නේ] ඔබේ සියලු අදහස් ද ඉහළින ඇගයිය යුතුයි. ටික කාලෙකදී මෙච්චර හොඳ පොස්ට් ගණනක ලියපු නිසා අපිට තවත් හොඳ පොස්ට් ලැබෙයි කියා හිතනවා. ඔබට ජය.

    ReplyDelete
  7. සුජීව: නරක ගඩොල සම්බන්ධයෙන් මගේ අදහස: අප හොඳ විදිහට භාර ගන්න දෙයක නරක/වැරදි පැත්තකුත් තිබිය හැකියි. සමහරවිට "සමාන හා ප්‍රතිවිරුද්ධ" දෙයක්. යුද්ධය අර ගත්තොත්- අපි බෞද්ධයන්, අපි පස් පවු කරන්නෙ නෑ කියලා හිටියනම්, මේ වනවිට අපට රටක් හෝ බුද්ධ ධර්මයක් නොතිබෙන්න තිබුණා. අනෙක් අතට යුද්ධයකදි වෙන්නෙ අපේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දරන, අපේ යයි සිතන අයට හානි කරන අයව මර්ධනය කිරීම/නැසීම. "මගේ" කියා අල්ලා ගැනීම, "මගේ නොවන" අය කෙරෙහි ගැටීම, පර පණ නැසීම ආදිය බුදු දහමේ මූලික හරයන් සමග එකඟ වෙන්නෙ නැහැ.
    නමුත් ගිහි පුද්ගලයන් හැටියට, දිගින් දිගට පැවතිය යුතු සමාජයක්/සභ්‍යත්වයක් හැටියට, වඩා වටිනා දේ රැක ගැනීම පිණිස අපට ඒ මූලික හරයන් අමතක කළ යුතු වෙන්න පුළුවන්.

    යුද්ධය පැත්තකින් තියලා, අපේ එදිනෙදා ජීවිත ගත්තත්, ඔය විදිහට යමක් රැක ගැනීම උදෙසා ඒ දේම විනාස වෙන විදිහෙ වැඩ අපට කිරීමට සිදු වෙනවා නේද? එතනදි සමහරවිට අපි කෙටිකාලීන ප්‍රථිපලය අමතක කරලා දිගුකාලීන ප්‍රතිපලය තෝරා ගන්නවා වෙන්නට ඕන.
    හරියට ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම දිගුකාලීනව බොහෝ ජීවිත, ධර්මය හා රට ආරක්ෂා කිරීමට හේතු වෙනවා වගේ.

    නමුත් අනෙක් පැත්ත ගැන අප අවබෝධයෙන් සිටිනවනම් හොඳයි කියා සිතනවා.

    ReplyDelete
  8. බුදු දහම ගිහි ජිවිතයට යොදා ගැනීම කොයි තරම් සාර්ථක ද කියන එක [ආගමික සංස්ථා වල ප්‍රචාරයට එළියෙන්] විවාදාත්මකයි. බුදු දහමේ මුලික ඉලක්කයත් එය නොවෙයි. ඒ නිසා කුරානය වගේ නාන කොටයි කන කොටයි නිදියන කොටයි බොදුනු පිළිවෙත් ගැන ම හිතනවට වඩා හරි වෙලාවේ හරි දේ කිරීම වැදගත්. [හැබැයි ඉතින් හරි වැරැද්ද තීන්දු කිරීම ඉතාමත් අපහසුයි].

    රණ විරුවා ට මිනි මරුවා කීමෙන් ඔබ කරන එක දෙයකට මා කැමතියි. ඔබ එහි ඇත්ත දකිනවා බෞද්ධයෙක් හැටියට. ගොඩක් අය කියන්නේ මෙහි චේතනාව වෙනකක් ය වගේ කතා. ඒත් යුද පිටියේදී ක්ෂණික චේතනාව මැරීම තමයි. රට රැකිම ගැන හිතමින් නොවේ යුද්ධ කරන්නේ. ටාගට් කරලා වෙඩි තියන කොට වෙන මොන චේතනාද මරණ එක මිසක්.

    මගේ ප්‍රශ්නය ඔහු කරන ක්‍රියාව මොකක් උනත් එය ඉතාම ගරු කටයුතු රස්සාවක් බවයි. සාමාජිය ජිවිතයේ මිනිහෙකුගේ කාර්යභාරය බුදු දහමේ මිම්මෙන් මනින්න ඔබට අයිතියක් නැති බවයි. [මෙය ඔබත් ලියා තිබ්බා].

    ඔය චේතනා කතාව කිව්වම මතක් උනේ. අපි ඔය වගේ රැවටිලි එමට කරනවා. මියන්ගෙන් බේරෙන්න බැරිව වස දානකොට අපේ බෞද්ධ ප්‍රජාව කෑ ගහනවා එයට විරුද්ධව. මං ඇහුවා විසඳුමක් කියන්න කියලා. කියන්නේ පුසෙක් ගෙන්න කියලා. එ කියන්නේ යකඩ මි කතුර හෝ වස හොඳ නැහැ බයිලොජිකල් මි කතුර හොඳයි. මියන් අල්ලන්නට පුසන් හදන අයගේ මියන් මරණ චේතනාවක් නැද්ද?

    මා දකින ලෙසට නම් මිනිසා ඇතුළු සියලු සතුන් ඉන්නේ සම්පත් හිඟ පරිනාමික ජෛවගොලයක. අපට අනුන්ට කරදරයක් නොවී ඉන්න බැහැ [මියන්ගේ නිජබිම අල්ල ගෙන උන්ට වස දැමීම හරියට ඕස්ට්‍රේලියාවේ අබෝරිජින් කාරයින්ට කළා වගේ කැත වැඩක්]. අපි එය කල යුතුයි. හැබැයි අපි එය අවම කල යුතුයි. මහා පොළොවේ අපේ මුළු පිය සලකුණ ම අවම කල යුතුයි.

    ඔබ කියන්නා වගේ කරන දෙය හොඳට දැනගෙන කරන එකයි විසඳුම. හැබැයි හමුදා කාරයින්ට කතා කරලා බලන්න. උන් අතින් මැරුණු මිනිසුන් ගැන කොච්චර උපේක්ෂාවෙන් හා කරුණාවෙන් ඔවුන් හිතනවද කියලා. කොච්චාර අවබෝධයක් උනුනුන් ගැන තියෙනවද කියලා. මේ මිනි මරන්න නොතිබ්බා නම ඔවුන් කැමතියි. ඒත් ඊට වඩා ලොකු වින්නැහියක් නවත්තන්නයි ඔවුන් මිනි මැරුවේ.

    ReplyDelete
  9. ගඟක් ගලනව වගේ ලස්සනට ලියලා තියනවා .........
    ආසාවෙන් කියෙව්වා .........

    ReplyDelete
  10. @ සුජීව: රටේ සාමාන්‍ය මිනිසුන් ජයගොස නැගූ සමහර හේතුවලට හමුදාවේ අය වුණත් පුදුම වන බව මගේ හිතවත් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ම කියා තිබෙනවා. ඔබ ගෙන හැර දක්වන පරිදි අපේ මිනිස්සු හිතන්නෙ තමන්ගෙ පව් වෙන අය ලවා කරවගත්තහම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි. ඒ වගේම ප්‍රතිපත්ති රකින එකේ සීමා තිබෙනවා: දිවි පරදුවට තබා රකිනවද, එහෙම නැතුව තමන්ගෙත් අනුන්ගෙත් දිවි රැක ගැනීම පිණිස මඳක් ලිහිල් කරනවද, විනෝදය පහසුව පිණිසත් ලිහිල් කරනවද... වශයෙන්. එහෙම බලද්දි හමුදාවක් කරන්නෙ අනුන්ගෙ දිවි රැකීම වෙනුවෙන් ප්‍රතිපත්ති තරමක් ලිහිල් කිරීමක්.

    ReplyDelete
  11. @ කල්හාර: බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.

    ReplyDelete
  12. බොහොම අපුරු කතාවක්.. මං මේ ඔක්කොම කියවගෙන කියවගෙන යනවා... හොඳ වෙලාවට අද මට නිදහස් දවසක්..

    ReplyDelete
  13. @ සරත් ලංකාප්‍රිය: බොහොම ස්තුතියි සහෝ. ලිවූ දෙයක් කවුරු හරි කියවන බව ඇසීම තරම් ප්‍රිය උපදවන දෙයක් තියෙනවද? :)

    ReplyDelete
  14. I think I have read this previously. Did you publish this earlier?

    ReplyDelete
  15. ඔව්, මගේ මිතුරන් සමග එක්ව ගොඩ නැගූ මුරගල http://muragala-lanka.blogspot.com/ බ්ලොග් එකේ මේ කෙටි කතා/පද්‍ය හැම එකක්ම වගේ පළ කරලා තියෙනවා. මුරගල හදන්න මුල් වුණු හර්ෂණගෙ පෞද්ගලික බ්ලොග් එක හිටි ගමන් අතුරුදහන් වුණු නිසා, මුරගලටත් එහෙම වුණොත් ලිව්ව දේවල් එක තැනක තියෙන්න කියලයි සිත් ආර පටන් ගත්තෙ. හර්ෂණටත් ආයෙ මුල සිට පටන් ගන්න වුණා.

    ReplyDelete
  16. Hi Nalini,

    Thanks for the reply. I think I read this in a news paper some time ago. Definitely not in a blog. You have a very nice collection of work. Keep it up :-D.

    I hope you don't mine my comments in English. I have some tech difficulties as I'm using a non standard operating system.

    ReplyDelete
  17. I posted a few stories in a forum some time back; other than that, I haven't published elsewhere.

    Thank you very much. Don't worry about the language.

    ReplyDelete
  18. හරිම අගෙයි . .

    මිනිස් හිතේ ඇතිවන සිතුවිලි පරම්පරා වල ඝට්ටනයන් ඉස්සර ජී.බී. ගේ කතාවල, දැන් කරුණාසේන ජයලත්ගේ කතාවල කියවන කොට දැනුනු ආකාරයෙන්ම නැතත් ඊට කිට්ටුවෙන් දැනුනා.

    අපූරුයි . . .

    ReplyDelete
  19. @ දුකා: බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබේ අගැයීමටත්, කාර්යබහුල දිවියෙන් සටහනක් තැබීමට වෙලාවක් වෙන් කළාටත්.

    ReplyDelete
  20. "නංගි අද දඟ කළාද?"
    මම හිස වනා "නෑ." කියමි.

    මා වෙනුවෙන් බොරු කීමට ඉදිරිපත් වූ එකම කෙනා ඔහු වූ නිසා ඔහුට බොරු කීම මට අපහසු විය. එහෙයින් මම ඇත්තටම නරක වැඩ කිරීම හැකිතාක් අඩු කළෙමි.

    ..................................
    "තාත්තා එනකම් ඉන්නෙ." මම ආයාසයෙන් ගැට ගසා ගනිමි.
    ..................................
    "දැන් ඉස්සර විතර දඟ නෑ වගේ."
    කඳුළු සැඟවීමට මම තව දුරටත් වෑයම් නොකරමි.
    ...................................

    මට මේවට කියන්න දෙයක් නැහැ...

    ReplyDelete