Thursday, March 10, 2011

A 9

දුන් දෙයක් කා බී
ඉරුණු කමිසය ඇඳන්
ගමේ ඉස්කෝලෙ  ගුරු සිත නොරිදවා
දීපු සිල්පයක් අරගෙන,
ටිකක් තේරෙන වයසට එනකොටම
අතේ කරගැට නොතකා මටත් අත් උදව් දීගෙන,
උඹ සිල් ගත්තු දිනවල
බාලයින් බලාගෙන පන්සිලුත් රැකගෙන හිටි
අපේ පුතා,
කොලුකමට දඟලනු වෙනුවට
පුරාණ රජ දරුවෙක් වගේ
එක හිතින්
ඇස් ඉස් මස් ලේ පුදා රැක ගත් පින් බිම උඩින්
පාරක් ඇරලලු.

ඒ දිගේ
මැම්බර් මහත්තයා උන්නාන්සෙගෙ රට වැසියන් බලන්ට යනවලු;
රට නොරට මුදලාලි මහත්තුරු සුවිසාල කඩ අරින්ට යනවලු;
සිදාදියෙ බේබිලා සවාරි යනවලු.
සුදු මහත්තුරු, නෝනලා, දුප්පතුන් හොයන්ට යනවලු.
ගම්වල මිනිස්සු නඩ ගැහී වන්දනාවෙ යනවලු.

අපිත් යමුද
බුදුන් වැඩිය නාගදීපෙ වැඳලා
අපේ පුතාට පිං පමුණුවන්ට?

11 comments:

  1. හොඳ බ්ලොග් සටහනක් !!! ජය වේවා !! ලිපි කිහිපයක් තෑනින් තෑන කියෙව්වා... විවිධ වෘත්තිය ධාරාවන්ගේ නියැලෙන , ලෝකයට යමක් දායාද කිරීමේ උණෙන් පෙලෙන පිරිසක් මෙසේ බ්ලොග්කරණය වැලඳ ගැනීම සතුටක්...
    සතුටුයි සහෝදරී.... අපිට නොපෙනෙන මේ වගෙ ලෝක වලට අපිව අරන් යනවාට !!!!
    මාසෙ අන්තිමේ පඩිපතට වඩා යමක් හදවත උදෙසා උපයන්නට කැමැති , හෑමදේම 'තමන්ට'; එකතු කරනවාට වඩා 'අනුන්ට දෙන්නට' උණ තියෙන්නෙක් පමණයි බ්ලොග් එකක් ලියන්නට පෙලඹෙන්නේ....
    ජය වේවා සොහොයුරී.....
    දිගටම ලියන්න !

    ReplyDelete
  2. හරිම අපූරුයි . . . මතුපිටින් දකින මායාව විනිවිද දකින්න ගත්තු අගනා උත්සාහයක් . . නියමයි
    දුකා (දවස් කීපයක් තිස්සේ කම්නෙට් කරන්න බැරි අවුලක් තියෙනවා මට )

    ReplyDelete
  3. @ charmi: බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට.

    @ අභීත: බොහොම ස්තුතියි සටහනක් තැබුවාට.

    @ ජීවිතේ මල්: ජීවිතේ කොටසක් බෙදාගන්නකොට ජීවිතේට තවත් හුඟක් දේ එකතු වෙනවා. වෙනස් වෙනස් ඇස්වලින් ලෝකය දිහා බලන්නට හුරු වෙනවා.
    බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

    @ දුකා: හිතෙන් එළියට පනින්නට පොරකන අදහස් ලියාගත්තත්, ඒ ලිවූ දේ ඔබ වැනි කෙනෙකුගේ අගැයීමට ලක් වෙනවිට එය විශාල ප්‍රීතියක්. බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට.

    ReplyDelete
  4. "ඒ ලිවූ දේ ඔබ වැනි කෙනෙකුගේ අගැයීමට ලක් වෙනවිට"

    අනේ සහෝදරී මම එහෙමට කෙනෙක් නෙමෙයි.

    ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වගේ වැඩිපුර බ්ලොග් නොතිබුනු කාලේ අනිත් අය ලිව්ව විදිහට වඩා පෝඩ්ඩක් වෙනස් විදිහට ලියපු නිසාත් බ්ලොග් සහෘදයන්ගේ නිර්මානශීලීත්වය දියුනු කරන්න ඕන නිසා කමෙන්ට් කරලා මට හැඟුනු දැනුනු විදිහ පෙන්නලා දුන්නු නිසා දුකා කියල ඒ අය මට හිතවත් වුනා මිසක්කා මම පොරක් නෙමෙයි අප්පා.

    හැබැයි හොඳ රසවින්ඳනයක් තියෙන කෙනෙක් කියලා නම් කියන්න ඕන.

    ReplyDelete
  5. මේ පාරෙන් එන්න කියලා හඳහම ගේ ටෙලියක් තිබුණා. මට මුල් පැය කීපය විතරය බලන්න ලැබුනේ. ඒක අර 2002 කාලේ ඒ9 ඇරපු සමය ගැන කතාවක්.

    ReplyDelete
  6. ලියන්න දිගටම.. ඔබට බොහෝ දේ විනිවිද දැකීමේ හැකියාවක් පිහිටලා තියෙනවා. එක හොඳ ලේකිකාවකගේ ලකුණක්..
    මේ බ්ලොග් එක පටන් ගත්ත තැනට එනකම් කියවල ඉවර කලේ දැනුයි.. පලවෙනි එකේ ඉඳලම ආපහු බලන්න හිතෙනවා ..
    මහ පොළොවේ පය ගහල ඉන්න ඔබ වැන්නන් ඔය ක්ෂේත්‍රයේ හිඟයි කිවුවොත් තරහ වෙන එකක් නැහැ.. මුදලට හැමදේම යටවෙලානේ..

    ReplyDelete
  7. @ දුකා: මම හිතන්නෙ ගස් නැති රටේ පොල් ගසක් වෙන්නට ඇති- දල්ලේ සිට මුල දක්වාම අනෙක් අයට පිහිට වන. නවක අපටනම් බොහොම වටිනවා ඔබ වගේ අයගෙ පැමිණීමත් අගැයීමත්.

    @ කතන්දර: ඔය කතාව ගැන අසා තිබුණත් මම ඒක බලලා නැහැ. යුද්ධය අවසන්ව A 9 විවෘත වුණු සතියෙම යාපනේ ගියා හැබැයි.

    @ සරත් ලංකාප්‍රිය: බොහොම ස්තුතියි සහෝ. අපේ සමාජයේ හුඟක් දෙනෙක් මුදලට යට වෙලා වෙන්න ඕන. ඒකට වරදක් කියන්නත් බැරි විදිහයි වටපිට බලනකොට.
    බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමටත් දිරි ගැන්වීමටත්.

    ReplyDelete
  8. එකම පාරක් අරමුණු දහසක්...

    සමහර විට පාරට යටින් තියෙන හැම වැලි කැටයකටම.. කළු ගල් කෑල්ලකටම තාර බින්දුවකටම පවා තමන්ගේම කතාවක් තියෙනවා.. මේ තියෙන්නෙත් ඒ පාරේ දහදිය කඳුළක උරුමක්කාරයින්ගේ කතාව..ඒත් හුඟ දෙනෙක් බොහෝම ඉක්මනට අමතක කරන...

    ReplyDelete
  9. නියමයි අක්කේ. බ්ලොග් පෝස්ට් ඔක්කොම කියෙව්වා. තව තවත් ජීවිත බේරගන්න අතරේ බ්ලොග් අවකාශයට රසවත් හරවත් දේ දායාද කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා......

    ReplyDelete