Saturday, March 26, 2011

ගුලි පුතා

"කවුද දන්නවද බං කට්ටිය?" එන්සී මොකක්දෝ චණ්ඩිකමකට හවුල් වුණු පිරිස විස්තර කරයි. "මම, සෝනා, රන්දුනු, ගුලි පුතා.."
"කවුරු? ගුලි පුතා?" මම අහක සිට හොට දමමි.
"ඇයි චූටි අක්කා දන්නෙ නැද්ද ගුලි පුතා?"
"නෑනෙ."
"අය්යො! මෙන්න මේකයි චූටි අක්කෙ සීන් එක. චූටි අක්ක අහල තියෙනවද මදන මෝදකේ?"
"නිකං අහල තියෙනව. මොනවද කියල දන්නෙ නෑ."
"ඒකෙ තියෙන්නෙ අබිං! කෑවම කොහොමද නිකං...මදන මෝදකේම තමයි. ඕක ඉතිං ඔහොම අහල තිබුණට අපි ටේස්ට් කරල නෑනෙ. ගුලි පුතාට ඕක ට්‍රයි කරල බලන්ඩ ඕන වුණා.


මෑන් ඉතිං කොහොම හරි අරේං මේං වචනෙ දාල, ඔන්න ගුලි තුනක් හොයා ගත්ත. හැබැයි ගුලි දීපු මෑන් කිව්වා, 'මල්ලී... එක දවසට එක ගුලියක් ගානෙ විතරක් ගන්ඩ' කියල.


ආතල් එක ගන්න වෙලාවෙ ෆුල්ම ආතල් එක ගන්ඩ එපායැ? ගුලි පුතා ගුලි තුනම එක සැරේ ගහල ඇරිය.


ටිකක් වෙලා යනකොට.... බුදු අම්මෝ! කැරකීගෙන ආවලු; බිත්ති කඩාගෙන ඇඟට වැටෙනව වගේ දැනුණලු; පාතාලෙකට විසි වෙලා වැටෙනව වගේලු; ඇස් අරින්ඩ බැරිලු. කොහොම හරි අන්තිමට සිහිය එනකොට ගුලි පුතා ඉස්පිරිතාලෙ.


පස්සෙ ඉතිං සිද්දිය ආරංචි වුණහම අපිත් බලන්ඩ ගියා. ලොකු අමාරුවක් තිබුණෙ නෑ එතකොට. ඒත් දවස් තුනහතරක් ඉස්පිරිතාලෙ තියා ගත්තා.


ඔහොම ඉන්නකොට මූට ඇහෙනවලු වාට්ටුවෙ නර්ස්ලා කතා වෙනවා ලෙඩ්ඩු ගැන: අර ගුලි බීලා ආපු පුතාට ඉස්සරහ ඇඳේ ලෙඩා, අර ගුලි බීලා ආපු පුතාට එහා ඇඳට එහා ඇඳේ ලෙඩා.. ගගා. ඕක මාට්ටු වුණා මූව බලන්ඩ ගිහිං හිටපු අපේ එකෙකුට.


පොර ටිකට් කපලා ආපහු ඉස්කෝලෙට එනකොට ඌට නම රෙජිස්ටර් වෙලා ඉවරයි: ගුලි පුතා!"

8 comments:

  1. ලස්සන සිද්ධිය... ගුලි පුතා...:)

    ReplyDelete
  2. අයියෝ . . පව් දෙයියනේ ගුලි පුතා . . හෙ හෙ හේ

    ReplyDelete
  3. ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩී ගුලි පුතාගේ....
    හිස් අහසගෙ හක්ක පටස් මතක් උනේ...හික්

    ReplyDelete
  4. අප්පා බොරු කියන්නෙ මොකෝ මටත් ඔය අත්දැකීම තියනවා ඉස්කෝලෙ කාලේ, මල ගෙදරක ගියා යාලුවෙකුයි මායි ෆුට් සයිකලේක, එහේ තිබුනා ගුලි, එකක් කෑවා කිසි ගතියක් නැහැ. තව එකක් කෑවා ම්හු, ඒත් නැහැ. ඒ ගමන සීනි වැඩි ප්ලේන්ටියක් බිව්වා, අප්පා විනාඩි 10 ක් ගියේ නැහැ මුලු ලෝකෙම කැරකෙනවා, ඉස්පිරිතාලේ නම් ගියේ නැහැ, බොහොම අමාරුවෙන් වලවල්වල වැටි වැටි බයිසිකලෙන් ගෙදර ගියා ........

    ReplyDelete
  5. දිනේෂ්, දුකා, Heeniyata, කල්හාර
    හැමෝටම බොහොම ස්තුතියි. කල්හාර විතරද මන්දා ඇත්ත කියන්නෙ..... :D

    ReplyDelete
  6. පුංචි කාලේ ඉස්කෝලේ ඇරියම බස් එක එනකම් හිටිය තැන කඩේ බෝතලේක මදන මොදකය තිබ්බ.. මොකක්ද කියල දන්නේ නැති හින්ද ගෙදර ඇවිත් අම්මගෙන් ඇහුව. තාත්ත වෙද මහත්තයෙකුත් හින්ද අම්ම කිවුව ඕක බෙහෙතක් කියල. එච්චරයි.. පස්සේ කාලෙකදී කෙට්ටු තරුණ ගුරුවරයෙක් ඇවිත් තාත්ත එක්ක කටු කුටු ගාල ගියා. ඔන්න මහා බෙහෙත් තොගයක් දාල ගුලි වගයක් හැදුවා. කළු කුකුල් බස්නය.. හැබැයි කුකුලෝ මැරිල්ල තහනම් හින්ද කුකුල් කෑලි නැතුවයි හැදුනේ.. ඕක අරන් ගියා මිසක් වියදම වත් දුන්නේ නැහැ කියල අම්ම සෝලි තිබ්බ... තාත්ත හිනා උන විතරයි.. ඔය මනුස්සය කසාද බැන්දම අම්ම ලොකු අක්කට කියනවා මම අහගෙනයි තහ්ත්තගේ බෙහෙත් නැත්නම් ඔය මිනිහ කොහොමද ඕක කරගන්නේ කියල..මම ඉතින් කල්පනාකළ බේතක් කොහොමද මේ මනුස්සයට කසාදයක් කරලා දුන්නේ කියල..

    ReplyDelete
  7. @ සරත් ලංකාප්‍රිය: :D කොහොමද බෙහෙතෙ බලේ? ස්තුතියි කතාව බෙදා ගත්තට.

    ReplyDelete
  8. හප්පා මට "සංජීවනී" සිහි උනා...

    ReplyDelete