Thursday, March 10, 2011

විසඳුම

ඉහේ හිටං බූමිතෙල් වක්කරගෙන ගිනි තියාගත්
සිරියලතා,
ඇඳේ දපා,
ඒ අතට ඉන්ටත් බැරුව
මේ අතට ඉන්ටත් බැරුව
බොල්ලෑ දත් අතරින් විලාප දෙයි.

රොද බැඳුණු මැස්සන් හා
පරදිනා සටනක නියැළි
දිරාගිය අම්මා,
හෙළන්නට කඳුලකුත් නොමැතිව
යටහත්ව විමසයි:
"උදේ බේතුත් බුන්නෙ නෑ; මී මැස්මොරේ එයිද, නෝනා?"

සුදෝ සුදු වතින් බැබළෙන
නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්
වේදනා නසන ඔසු දෙනු වස්
නහරයක් ඉතිරිව ඇත්දැයි සොයත්.

ගිලනහුද සුදනහුද
හකුළුවාගත් නාස්පුඩු ඇතිව
පිළිකුලින් බලමින්
අනුකම්පාව මුමුණත්.

"අම්මා මැරෙයි අද හෙට.
ලෙඩා වෙච්චි මං කවුරුන් බලන්ටද?"
සිරියලතාගේ වදන් සිහිවනවිට
"ඈ අදම මියෙත්වා" යි මට සිතේ.

12 comments:

  1. ඇත්තටම මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක.. මේ මෑතකදිත් තාත්ත පුතා මැරුවෙ, අනාගතේදී දරුව අසරන වෙයි කියල.. නඩුකාර හමුදුරුවොවත් මේ ගැන සාධාරන ඇසකින් බලයිද මංදා....

    ReplyDelete
  2. "ඈ අදම මියෙත්වා" යි මට සිතේ.
    මටත් එහෙම්මම හිතුනා සහෝදරී . . .
    මේ හැඟීම මේ විදිහට අපි එක්ක බෙදා ගන්න එක කොයි තරම් දෙයක්ද ??
    දුකා

    ReplyDelete
  3. @ මාතලන්: නඩුකාර හාමුදුරුවො එහෙම බලයිද කියලනම් සැකයි. මොකද, පොතේ හැටියටනෙ හරි වැරදි තෝරන්නෙ. හදවතේ හැටියට නෙවෙයිනෙ. නමුත් ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙන හින්දා හදවතට මුල් තැන දෙන්නත් බැරි වෙයි. ජීවිතේ වෙලාවකට හරි අසාධාරනයි.

    @ දුකා: මේ යුවතිය මම ඉගෙණුම ලබන කාලයෙදි රෝහලේදි දුටු කෙනෙක්. සුව කළ නොහැකි අසාධ්‍ය අපස්මාර රෝගියෙක්. රෝගය හා බෙහෙත් නිසාම ඇය විකෘතියි; සම්මත ක්‍රමයට අනුව බුද්ධි මට්ටම අඩුයි; රැකියාවක් කළ නොහැකියි. ඇයව බලා ගන්නෙ අම්මා. ඇය ඒ තෝරාගත් විසඳුමට වඩා උචිත විසඳුමක් දෙන්නට සමාජයක් හැටියට අපි අපොහොසත් වෙලා.

    ReplyDelete
  4. ඒ කතාව ඔබ කියන්න කලින් මම අර උඩ කවියෙන් කියෙව්වා නලිනි.
    මාරයට කොමෙන්ට් එකක් දාලත් මම කිව්වේ සිත ආර එක හුස්මට කියවල ඉවරකරන්න ඕන කියලා.
    මේ සංවේදී අව්‍යාජ සටහන් ඒ තරම්ම අපූරුයි

    ReplyDelete
  5. /* නයිටිංගේල් දියැණියෝ,
    මුදු වදන් තෙපළමින්
    */

    That must be a rare occassion...!!!

    ReplyDelete
  6. @ කතන්දර: සමස්තයක් විදිහට අපේ සමාජයෙ මුදු වදන් තෙපළීම අඩුයි. රෝහලකදි පමණක් වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයිනෙ.

    ReplyDelete
  7. මරණයට බියවෙන මිනිසාට මරණය සැපක් වෙන්නේ ජීවිතය මරණයටත් වැඩ වේදනාවක් කියල තෙරුනාමයි.. සත්‍යය තිත්තයි

    ReplyDelete
  8. @ සරත් ලංකාප්‍රිය: ඔව්, එහෙම දෙයක් තමුන්ටම වෙනකම් අපි ජීවිතය පවත්වන්නමනෙ වෙහෙසෙන්නෙ, බුදු හාමුදුරුවො අච්චර සිංහලෙන්ම කියල තියෙද්දි ජීවිතය දුකක් බව.

    ReplyDelete
  9. අන්න පෙන්නන්න මටත් ඔය බුදු හාමුදුරුවෝ සිංහලෙන් කීව තැන (D ) අපේ රටේ බුද්දාගම සිංහල කරගෙන ඉන්න අය කවදාහරි කියාවි ඔහොම.. හික්.. හික්...

    ReplyDelete
  10. අවස්ථාව විසින් විසඳුම තීරණය කරනවා ඇර..නීතිය තුලින් විසඳුම් තීරණය කරන්නේ කොහොමද..?

    මාත් පණ අදින මිනිස්සු කිහිප දෙනෙක් ගාව ඉදලා තියෙනවා... අවසන් මොහොතේදී පණ අල්ලගන්න ගන්න වෙහෙස දැක්කමනං සංසාරෙත් එක්කම කලකිරෙනවා... ඇත්තටම අවසාන මොහොත වේදනාවෙන් තොර කරවලා මරණයට යන්න ක්‍රමයක් සලසන්න ඇයි නීතියයි වෙදකමයි එක තැනකට එන්නේ නැත්තේ... ආගම හරහට හිටින හින්දද?

    ReplyDelete