Friday, April 1, 2011
නොපිපි කුසුම
බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද?
සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කර නොගත්තේ අපේ පවුල් දෙක අතර ගොඩ නැගී තිබුණු සහෝදර බැම්ම නිසාම විය යුතුයි. එදා සවස නිවෙස බලා එද්දී ඔබේ අතේ තිබුණා කාගෙන්දෝ ඉල්ලාගත් ගිතාරයක්. පටු මාවත දිගේ එද්දී, බෑගය උරහිසෙහි එල්ලාගෙන ඔබ ඇහුවා මගෙන්...
"මං ලිව්ව සිංදුවක් කියන්නද?"
"ටිකක් පාර මැදට වෙලා කියන්න. ගැරඬි ආවොත් ටක් ගාලා පේනවා එතකොට." මම කිව්වා.
මගේ නොහොබිනා උත්තරයෙන් නොසැළී ඔබ ගයන්න පටන් ගත්තා.
" මම ඉන්නම්
ඔබ යන මාවතේ
කුසුමක් වී
සුවඳ දෙමින්
කුළුඳුල් ආදරේ"
"මම හිටිවන කවියක් කියන්නම්." ඔබෙන් පිළිතුරක් ලැබෙන තුරු නොසිටම මම ගායනා කළා, ඔබේ තාලයටම.
"මම එන්නම්
ඔබ පිපි මාවතේ
හරකෙක් වී
ඔබව කන්නම්
වමාර වමාරා"
මම ගීතය නවත්වලා හය්යෙන් හිනා වුණා.
ඔබ දෙනෙත් බිමට හරවාගෙන, ගිතාරයේ තත් පිරිමදිමින් කිව්වා, "හරි නපුරු කෙල්ලක්."
මම තවත් හය්යෙන් හිනා වුණා. ඔබ එවර මා දෙස බැලුවා.
"හරි නපුරුයි."
මගේ විහිළුවට හිනා නොවී ඔබේ බොළඳ ගීය තුළම සිරවී මා නපුරුයයි චෝදනා කිරීම නිසා මට දුක හිතුණා. ඒ දුක තරහකට පෙරළුණා. ඔබට තවත් ටිකක් රිදවන්න මට හිතුණා. ඒ සමහරවිට ඔබේ දෙනෙතින් කියවුණු නුපුරුදු සෙනෙහසට මම බිය වුණු නිසාත් වෙන්නැති.
"තව තියෙනවා." මම කිව්වා.
"ඔබව කාලා
ගොම දාන්නම්.
ඒ ගොම අරගෙන
දොම්පෙ ආච්චිගෙ
කුස්සියෙ ළිප ළඟ අතුරන්නම්."
"හරි නපුරුයි." ඔබ ගිතාරයෙන් අත ඉවතට ගත්තා.
මම පාර පුරා යමින් හිනා වුණා. හිනා වෙලා හිනා වෙලා මටම ඇති වුණාම නිශ්ශබ්ද වුණා. ඉතිරි දුර අපි ගමන් කළේ කතාබහෙන් තොරව, තනි තනි ලෝකවල.
ඔබේ මුල්ම ගීයේ ඉතිරි ටික මට කවදාවත් අහන්න ලැබුණෙ නෑ. ඔබ නැවත කවදාවත් ඒ ටික කියන්න ඉදිරිපත් වුණෙත් නෑ. පන්ති ගිහින් සවස එනවිට අප කතා කරමින් ආවේ වෙනත් නොයෙකුත් දේවල්.
මතකද, තවත් දවසක්?
සවස අප එනවිට අහස කළු කර වැස්සකට සූදානම් වුණා. තද සුළං හමන්නට වුණා. මග දෙපස වූ මාර ගස් වියරුවෙන් මෙන් ඇඹරෙන්නට වුණා. කාක් පැටියෙක් කූඩුවත් එක්කම බිමට වැටුණේ අප බලා සිටියදීමයි. මම කාක් පැටියා ළඟට දිව්වා. ඔබ මා පසුපසින් ආවා.
කාක් පැටියා මට කොටාවියයි බිය වූ නිසා මම ඌව අතට නොගත්තත්, ඌව දෙනෙතින් පිරික්සුවේ තුවාලයක් වී ඇද්දැයි දැන ගැනීමට. කාක් පැටියා දුක්බර ලෙස කෑ ගැහුවා. උගේ දෙමාපියන් අහලක ඉන්න බවක් පෙණුනේ නෑ. ඔබ කෝටුවක් අරගෙන කාක් පැටියාව හරවන්න හැදුවෙ යටි පැත්තෙ තුවාල තියෙනවද බලන්න. ඒත් එතකොට ඌට රිදේවියයි සිතුණු නිසා මම ඒකට විරුද්ධ වුණා. එවර ඔබ ප්‍රවේශමෙන් කාක් පැටියව අල්ලාගත්තා. ඌ කෑ ගැහුවත් දැඟලුවෙ නෑ.
"පේන්නනම් තුවාලයක් නෑ." ඔබ කිව්වා. "ඒත් ඇඟ ඇතුළ තැළිලා ඇති."
"ඌට තාම ඉගිලෙන්නත් බැරි එකෙක්." මම කිව්වා. "උගෙ අම්මලා ආවත් ආපහු කූඩුවට ගෙනියන්න බැරි වෙයි. මෙතන වැටිලා හිටියොත් මොකෙක් හරි සතෙක් කාලා දායි."
"අපි උඩකින් තියලා යමු." ඔබ කිව්වා.
"මම ඌව ගෙදර අරන් ගිහින් හදා ගන්නවා." මම කිව්වා.
"කාක්කෙක්?" ඔබ හිනා වෙන්න හැදුවත් මගේ මුහුණෙ තිබුණු දුක දැකලා වෙන්නැති නැවතුණේ. ගෙදරට එනතුරු කාක් පැටියාව ඔසවාගෙන ආවෙත් ඔබමයි. මා පෙට්ටියක් සොයාගෙන එනතුරු ඌව උකුළෙහි හොවාගෙන උගේ හිස පිරිමදිමින් සිටියෙත්, අම්මා හදා දුන් කිරි පහන්තිරයක පොඟවා ඌට පෙවීමට තැත් කළෙත් ඔබමයි.
ඔබ ඉතා කාරුණික කෙනෙකැයි මා එදින සිතුවා.
ඔබේ පියා මිය ගියේ ඊට හරියටම දින තුනකට පසුවයි. බසයෙන් වැටී සිහිසුන් වූ ඔහු මිය යනතුරුම ඔබ සිටියේ රෝහලේ. දේහය එදිනම භූමදානය කිරීමට තීරණය කර තිබුණා. ඔබ බලා ගත් අතේ බලා සිටියා මිස කඳුළු සැළුවේ නැහැ. ඔබට කුමක් කියන්නදැයි මට නොතේරුණු නිසා මම මුළු දවසම හිටියේ ඔබව මග හැරලා. රාත්‍රී ආහාරය රැගෙන අපේ පවුලේ සියල්ලන් ඔබ නිවසට පැමිණියමුත්, මම ඔබ සමග කතා කළේ නැහැ. ඔබ මුලු කාලයම මගේ සොහොයුරා සමග කතා කරමින් සිටියා. පිටත්ව එන්නට සූදානම්වනවිට ඔබ මගෙන් සෙමින් ඇසුවා, "ඔයාගෙ කාක් පැටියට දැන් සනීපද?" කියලා.
"කාක් පැටියා එදාම රෑ මැරුණා." මම පිළිතුරු දුන්නා.
ඔබ කිසිවක් නොකියා මගේ හිස යන්තමින් පිරි මැද්දා. මම ඉක්මණට ඔබ වෙතින්ඉවත් වුණේ අම්මලා දකීයයි සිතුණු නිසයි.
***********************************
ඉන්පසු අප එතරම් මුණ නොගැසුණේ ඇයි? ඔබ පන්ති යාම අඩු කළා විය යුතුය. ඒ වන විට උසස් පෙළට ඉතිරිව තිබුණේ මාස දෙකකටත් අඩු කාලයකි. උසස්පෙළ අවසන් වූ වහාම මම රත්නපුර නැන්දලාගේ නිවසට ගියෙමි. සති දෙකකට පසු මා එනවිට ඔබ හමුදාවට බැදී තිබුණි. ඉන්පසු ගෙවුණු වසර තුනහතරක කාලය අතරතුර අප මුණ ගැසුණේ දෙතුන්වතාවක් පමණි.
කෙතරම් පුදුමද?
ඔබේ පියාගේ තෙමස් දානයට ඔබ පැමිණ ගියේ හදිසියෙනි. වර්ෂයේ පින්කමට එනවිට ඔබේ අතේ විවිධ වර්ණ පිරිත් නූල් වට කිහිපයක්ම විය. "හරි මිත්‍යාදෘෂ්ටිකයි." ඒ දුටු මට සිතුණි. ඒ දින කිහිපයේදී මගේ සොහොයුරා ඇතුළු තරුණයින් රැළ ඔබ වට කරගෙන සිටියහ. මා සරසවියට තේරුණු පසු ඔබටත් මටත් එකට නිවාඩු ලැබුණේ නැති තරම්ය. ඔබේ මව නිවස කුලියට දී ඇගේ සොහොයුරියගේ නිවසෙහි පදිංචියට යාම තව දුරටත් අප ඈත් කරවන්නට ඇත.
අප එකිනෙකා හා ඇසුර පවත්වා ගන්නට උනන්දු නොවූයේ ඇයි?
තමන්ගේ කෙනෙක් හමුදාවට බැඳීම කෙරෙහි අකමැත්තක් දරන පිරිසට මාද අයත් බව ඔබ හොඳාකාරවම දැන සිටියේ අප ඒ පිළිබඳව කතා කර තිබූ හෙයිනි. මා ඊට අකමැති හේතුව දැන සිටියේ ඔබ පමණෙකි. එය එළිපිට කීමෙන් ඇති විය හැකි ඝට්ඨනයන්ට මුහුණ දීමට මම බිය වීමි. හමුදාවට බැඳීමෙන් ඔබ මගේ රුචි අරුචිකම් නොවැදගත් කොට සැළකුවායැයි මම සිතීමි. මා අකමැති දෙය මට නොකියාම කළ ඔබටද මට මුහුණ දීම අපහසු වන්නට ඇත.
ඔබේ මව හරහා මගේ මවුපියන් වෙත ඔබ යෝජනාවක් එවුවාද, නොඑසේනම් ඇයම මේ යෝජනාව ගෙන ආවාදැයි මම නොදනිමි. මගේ අකමැත්ත පොදුවේ තරුණියන් විසින් ලැජ්ජාවට ප්‍රදර්ශනය කරනු ලබන රංගනයක් ලෙසින් මගේ දෙමවුපියන් විසින් භාර ගැනිණි. දන්නා හඳුනන හොඳ පුතෙකු හමු වූ මේ මොහොතේ හැකි ඉක්මණින් ඒ කටයුතු පිළිවෙලක් කිරීමට ඔවුනට වුවමනා විය. මගේ වචනවල බරක් නැති සෙයකි. ඒ නිසා මා අකමැති හේතුවෙන් මම ඔවුනට දමා ගැසීමි.
"මම ආස නෑ මිනී මරුවෙක් කසාද බඳින්න."
මගේ දෙමවුපියන් තුෂ්ණිම්භූත වූවා නිසැකය. එදිනෙදා කතා බහේදී රණ විරුවන් අගයන අතිමහත් බහුතරයට ඔවුන් මෙන්ම මාද අයත් වීම ඊට හේතු වන්නට ඇත.
"කවුරුත් එහෙම හිතන්නෑ." අවසානයේදී අම්මා තතනමින් කීවාය.
"කවුරුත් නොහිතුවට මම හිතනවා." මම කීවෙමි.
"ඔය විස්ස විද්‍යාලෙ ගිහින් ඉගෙනගත්තුව වෙන්නැති. උඹ දැන් නිදහසේ පාරෙ බැහැල යන්නෙ කා හින්දද?" සොහොයුරා කාමරයේ සිට කෑ ගැසීය. අම්මා හෝ තාත්තා හෝ ඉන්පසු මා හා කතා නොකළහ. බ්‍රහ්මදණ්ඩය පැණවී නිවසේ විසීම අපහසු වූ හෙයින් මම රත්නපුර පැමිණියෙමි. මගේ මවුපියන් ඔබේ මවට කුමන හේතුවක් දැක්වූවාද යනු මම නොදනිමි. ඔබේ මව ඔබට කුමන හේතුවක් දැක්වූවාද යනු මම නොදනිමි.
නමුත් ඔබ මගේ සිතැඟි හඳුනන බව මම දනිමි. මා ඔබේ සිත රිදවන බවද මම දනිමි. අපේ හදවත් වෙනස් රිද්මයන්ගෙන් වුවත් එකම වේගයකින් ගැහෙන බවද මම දනිමි.
ඔබ හමුදාවට බැඳෙන බව මා දැන සිටියානම්......
කාලය ආපසු හැරවිය හැකිනම් මම නැවත අපේ පාසල් කාලයට යන්නෙමි. අප එක්ව පිය නගන අතරතුර ඔබ ගයන ගීයට මම බාධා නොකරමි. ඔබේ කුළුඳුල් ප්‍රේමය පිළිබඳ බොළඳ ගීයට ඉඩ දී මම නිහඬ වන්නෙමි.
අද මට රිදවීමෙන් වැළැකිය නොහැකි ඔබේ හදවත එදිනවත් රිදවීමෙන් වළකිමි.
Labels:
කෙටිකතා,
නොපිපි කුසුම
Subscribe to:
Post Comments (Atom)
නපුරු නොවී අවස්තාවක් දෙන්න... ඔබ එදා ඔහු නැවැත්තුවාට වරදකරු ඔබම මිස ඔහු නොවේ, ඔබේ වරදකට ඇයි ඔහුට දඩුවම් කරන්නේ?
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
ReplyDeleteමගේ අදහසනම් තනිකර සුදු හෝ තනිකර කළු චරිත ලෝකෙ නැහැ කියන එක. ඒ වගේම හරි හෝ වැරදි කියන දෙයක් සාපේක්ෂයිනෙ. නපුරුද නැද්ද කියන එකත් සාපේක්ෂයි. කතාවෙ එන තරුණිය හා තරුණයා සිතුම් පැතුම් අතින් වෙනස්. එක් එක්කෙනා මුහුණ දෙන සිදුවීම් අනුව තමන්ට වඩාත් උචිත තීරණය ගන්නවා; ඒ අනුව තම තමාගෙ අනාගතය සකස් කර ගන්නවා. ඒක වරදක් හෝ දඬුවම් දීමක්/විඳීමක් හැටියට මම දකින්නෙ නැහැ.
Nice story and a good comment Nalini
ReplyDeleteබ්ලොග් එකේ සියළු කතා අතුරින් ඔබත් එක්ක එකඟ නොවෙන එකම අවස්තාව මෙයයි....
ReplyDeleteඒ තීරණය ගැන අද කම්පා වුනා වගේම මේ තීරණය ගැන ඉදිරියේදී කම්පාවේවි මේ තරුණිය....
හමුදා සේවයේ ඉන්න බොහෝ අය ඉතා දැඩි සංවේදී සිත් ඇති උදවිය කියන එක මම අත් දැකීමෙන් දන්නවා... හමුදා සෙබලෙක් මිනීමරුවෙක් ලෙස හඳින්වීම කතාවේ එන තරුණියගේ කාළකණ්ණි කතාවක් ලෙසයි මට පෙනෙන්නේ... කමෙන්ට් එක ටිකක් දිග උනාට කමක් නෑ නේද?
මරනයෙන් බේරා ගන්න බැරි රෝගියෙක් යන්ත්‍ර මඟින් ජීවත් වෙනවා... අදාල වෛද්‍යවරයා තීරණය කරනවා යන්ත්‍ර ඉවත් කරන්න.. ඔහු මිය යනවා... වෛද්‍යවරයා මිනී මරුවෙක්ද?
හමුදා සෙබලත්, වයිද්‍යවරයත් දෙදෙනම අදාල අවස්තාවේදී කරන්නෙ රාජකාරියක් විතරයි.. ඒකත් රටෙ මිනිස්සුන්ගේ යහපතට....
@අභීත: නාවික හමුදාවේ සේවය කළ මගේ මාමා මෙන්ම මා ඇසුරු කළ බොහෝ හමුදා සොයුරන්ද පිළිබඳව සිතූ කල, හමුදා සෙබලුන් කෙරෙහි ඇති ඔබේ ආකල්පය සමග මා එකඟයි. සිවිල් ජනතාව අතර සිටිනවාට වඩා මනුස්සකම් හඳුනන, දුක් විඳින්නන්ට 'පවු' කියා නොනැවතී උපකාර කරන සංවේදී පිරිසක් හමුදා සෙබලුන් අතර සිටිනවා.
ReplyDeleteඅර විදිහට කරන වෛද්‍යවරුන් සිටින අතර, ඉන් ජීවිතය ගලවා ගත හැකි රෝගියෙකුට අවස්ථාව ලබා දිය හැකිවන නිසා ඒ ක්‍රියාවේ යහපත් පැත්තක් තියෙනවා. ඔබ නිවැරදියි.
හැමෝටම තමන්ගේ කොටසක් තියෙනව....
ReplyDeleteමේ විදිහේ චරිතත් තියෙනවනේ.. ඉතින් එකම චරිත රටාවකට කොටු නොවේ මෙහෙමත් ලියු ඒක හොඳයි. ඇත්ත මිනිස්සු කළු සුදු කියල වර්ග කරන්න බැහැ.. කමෙන්ට් එකෙකින් ගොඩක් විස්තර කියන්න බැහැ.. ඔය අදහස් ගැලපීම එකට විසීමට හොඳ සාදකයක් කියල මම නම් පිළිගන්නේ නැහැ. මමයි මගේ බිරිඳයි වෙන වෙන අදහස් තියෙන අය.. එහෙම උන ඒක හොඳයි කියල මට හිතෙනවා. එහෙම නුන නම් මම සමහර දේවල අනිත් පැත්ත නොදකින්න තිබුන.. විශේෂයෙන්ම මිනිස්සුන් අඳුන ගැනීම මැනීම අතින් මම දුර්වලයි.. මම හුඟක් වැරදි තීරණත් ගන්න ඉඩ තිබුනා. ප්‍රතිවිරුද්ද දෙකක ගැටීමෙන් නේද අලුත් දෙයක් ඇතිවෙන්නේ ?
ReplyDelete@ Heeniyata: ඔව් සහෝ. හැමෝටම දෙයක් දිහා බලන තමන්ගෙම විදිහක් තියෙනවා; තමන්ගෙ කොටසක් තියෙනවා. :)
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: අපොයි ඔව්. අදහස් එක වගේ කියන්නෙ එකට ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. උදාහරණයක් විදිහට, හැම වෙලේම කතා කරන්ඩම මිස අහන් ඉන්ඩ ලෑස්ති නැති දෙන්නෙක්ට එකට ඉන්ඩ බෑනෙ. :D සමහර දේවල සමානත්වයක් තිබීම හොඳයි වගේම, තවත් දේවලදි ප්‍රතිවිරුද්ධ අදහස් තිබීම හොඳයි.
යකඩෝ මං මේකට කමෙන්ට් කරලා නැහැ නේද..?
ReplyDelete"කපුටු කතාව" මට හැමදාමත් මතක හිටින කතාව...
හඳුනා ගතිමි...