මහල් නිවාස.
එහෙම කිව්වට මම ඉන්නෙ බිම් මට්ටමේ. අවුරුදු ගාණකට කලින්නම් හිටියා ඉහළම තට්ටුවෙ. නමුත් මේ මහල් නිවාසවල ඊට වඩා වෙනසක් තියෙනවා. පොඩි කාලෙ අහල විතරක් තිබුණු වට්ටි අම්මලාව මම ඉස්සෙල්ලම දැක්කෙ මෙහෙදි. දැනුත් අන්න "කීරේඒඒඒඒඒඒයි" කිය කිය එක්කෙනෙක් යනවා. ඒ විතරක්යැ. මාළු කාරයො, පලතුරු වෙළෙන්දො, පුටු වියන මිනිස්සු, ක්ෂණික ආහාරවර්ග, පාන් වර්ග ආදිය විකුණන්නො, සාස්තර කියන මිනිස්සු විතරක් නෙවෙයි, නිශ්චිත කාලයකට වරක් එන හිඟන්නොත් ඉන්නවා. ඔය අතරෙ වැදගත් චරිතයක් කොණ්ඩ සීයා.
"කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන."
කොණ්ඩ සීයට අවුරුදු හැත්තෑවක්වත් වෙන්න ඕනෙ. කොණ්ඩෙ තනි පුළුන් කැටියක්; බොහොම පිළිවෙලයි. සුදු ජාතික ඇඳුම ඇඳල, තමන්ගෙ කරුමාන්තෙට අවශ්‍ය ආම්පන්න ටික අරගෙන, සතියකට දෙකකට සැරයක් මහල් නිවාස සංකීර්ණවල කරක් ගහනවා: "කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන."
මේ මනුස්සයා දිහා බලලා මම හැමදාම කල්පනා කරනවා: දවසක කතා කරන්නට ඕන.
"කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන." සද්දෙ ඇහෙනකොට මම ගෙදර හිටියොත් මල්ලිගෙ කාමරේට ගිහින් (පාර පැත්තට තියෙන්නෙ ඒ කාමරේ.) ජනෙල් තිරය මෑත් කරලා බලනවා කොණ්ඩ සීයා දිහා. ඉහළ මහල් දිහාව පරීක්ෂාකාරීව බලමින් කොණ්ඩ සීයා එකම හඬින් ගයනවා: "කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන."
ඔහුගෙ කෙට්ටු, වයසක සිරුර දවසකට කොපමණ දුරක් ඇවිදිනවද? මෙච්චර වයසට ගිහිල්ලත් තවම වැඩ කරන්නෙ ඔහු ස්වාධීනව ඉන්නට කැමති නිසාද, විවේක ගන්නට විදිහක් නැති නිසාද, ඔහු තම රැකියාවට ඇළුම් කරන නිසාද?
දැන් කාලෙ කවුද මේ මනුස්සයට කියල කොණ්ඩෙ කප්පවගන්නෙ? මම එහෙම කල්පනා කරනවා. ඒත් කවුරුහරි කප්පව ගන්නවත් ඇති. නැත්නම් එන්නෙ නෑනෙ. පොඩි ළමයි, වයසක උදවිය.
කොණ්ඩ සීයව මම ඉස්සෙල්ලම දැක්කෙත් යාළුවෙකුගෙ ගෙදරදි. ඒ වෙනත් මහල් නිවාස සංකීර්ණයකදි. අවුරුදු ගාණකට උඩදි. එයාගෙ පොඩි පුතාගෙ කොණ්ඩෙ හොඳටම වැවිලා තිබුණෙ. වැඩට හිටපු කෙනා දුවලා ගිහින් පාරෙ යන කොණ්ඩ සීයව එක්කගෙන ආවා. පුතාට වයස අවුරුදු 2ක් විතර. මිනිහා හෙණ ගෝරි කොණ්ඩෙ කපන්න ගිහාම. කෑ ගගහ අඬනවා; අදිනවා; පෙරළි කරනවා. මගේ යෙහෙළිය දරුවා උකුළෙ තියාගෙන කොණ්ඩ සීයට උපදෙස් දෙනවා "මෙන්න, මේ හරියෙන් අඩු කරන්න; මේ ටික තව කොට කරන්න." ඒ අතරෙ අඬන දරුවා නළවගන්න ඇය මහ සද්දෙන් වෙනත් කතාවක් කියනවා: "කොණ්ඩ සීයා, කවුරුහරි ඇහුවොත් කියන්න අපේ පුතා ඇඬුවෙ නෑ කියලා. ග්‍රාමසේවක ඇහුවොත් කියන්න ඒ අඬන්නෙ වෙන ළමයෙක් කියලා. අපේ පුතා හොඳයි." කොණ්ඩ සීයා පෙරළිකාරයගෙ කොණ්ඩෙ ප්‍රවේසමෙන් හැඩ කරන අතරතුර උත්තර දෙනවා: "හා, මම කියන්නම්."
දැන් ඒ පුතා ලොකුයි. බාබර් සාප්පුවකට ගිහින් පිළිගත් සහතිකයක් ලත් බාබර් කෙනෙකු ලවා අලුත් මෝස්තරේට කොණ්ඩෙ කප්පවගන්නවා. ඉන්නෙත් දුර ඈත රටක.
කොණ්ඩ සීයා තවමත් මහල් නිවාසවල ඇවිදිනවා: "කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන."
මේ බ්ලොග් එක සින්ඩි වලට දාලා නැද්ද..?
ReplyDeleteදාලා නැහැ. ඒ ගැන එච්චර හිතුවෙ නැහැ. දැන් හිතන්නම්.
ReplyDeleteසුපිරි අවසානයක්. නියමයි.
ReplyDelete"සිප් කිරිපෙවූ මුසිලයන් උඩ මාලේ" අපේ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ " කියන ගී පදය මතක් උනා මේකට කෙලින්ම අදාල නැති උනත්.. ඒ ගීතය වගේම හිතේ කම්පනයක් ඇති කරනවා..
ReplyDelete@ සුජීව : බොහොම ස්තුතියි අගැයීමට.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: ඒ මනුස්සයා හරිම ප්‍රියමනාප කෙනෙක්. වෙනස් නොවෙන කෙනෙක්.