ඉස්පිරිතාලෙ වැඩ කරන එක හරි ෂෝක් වැඩේ. කොච්චර වැඩ වැඩියි කියල නහකුණු ගෑවත්, නිදි මරන්න වෙනකොට කෙඳිරි ගෑවත්, දවස් දෙකක් ගෙදරට වෙලා ඉන්නකොට ආපහු වැඩට යන්න හදිස්සියි. ගෙදර ඇවිත් ආපහු ඉස්පිරිතාලෙට කතා කර කර ලෙඩ්ඩු ගැන හොයන පුරුද්ද නවත්තගන්න මට අවුරුදු ගානක් ගියා. යාළුවෙක් කතා කරත් අර ලෙඩා ගැන නැත්නම් මේ ලෙඩා ගැනම තමයි කියවන්නෙ- කාට හරි බැන්නත් ලෙඩෙක්ගෙ විස්තරයක් සම්බන්ධවම තමයි. රෑ මැද ඉස්පිරිතාලෙ කොරිඩෝරයක් දිගේ යනකොට හිතට දැනෙන සාමකාමී හැඟීම වෙන කොහෙදිවත් දැනෙන්නෙ නෑ. ඒ වගේම ඉස්පිරිතාලෙ සිද්ද වෙන හිනා යන වැඩත් කෙළවරක් නැහැ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒ දේවල් බොහොමයක් කිව්වට තේරුම් යන්නෙත්, හිනා යන්නෙත්, එතන වැඩ කරන අයට විතරක් වීම.
මම තුන්වන වසරෙ ඉද්දි කෑගල්ලෙ ඉස්පිරිතාලෙ මාස හතරක් හිටියා. එහෙ ඒ දවස්වල හිටිය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා චන්ද්‍රසේකර මහතායි. ඔහුනම් ඇත්තටම හොඳ ගුරුවරයෙක්- අපි ඉගෙන ගත්තෙ නැතුවට. වැඩි උස මහතක් නැහැ; සුදුයි; උපැස් යුවලක් පළඳලා; බොහොම පිළිවෙලට පිරිසිදුවට ඇඳුම් පැළඳුම් කරලා; නැවතිල්ලෙ කතාබහ..
සායනයට එන දියවැඩියා රෝගීන් වැඩි දෙනෙක් කෑම බීම ගැන බොරු කියනවා- ඇත්තටම කාපු බීපු තරම කිව්වොත් බනියි කියන බයට. වාට්ටුවෙ ලෙඩ්ඩුත් එච්චර තමයි. ඉතින් මේ බොරු කියන රෝගීන්ගෙ ඇත්තම ආහාර පුරුදු එළියට ගැනීම සඳහා චන්ද්‍රසේකර මහත්තයා පාවිච්චි කරන්නෙ සරල උපක්‍රමයක්. කෑගල්ල අවට එතරම් උගත්කමක් නැති රෝගීන් මේ උපායට පහසුවෙන් හසු වෙනවා.
චන්ද්‍රසේකර මහත්තයා දවසක් අපට මේ ක්‍රමය පැහැදිලි කරනවා: රෝගී කාන්තාවගෙන් ඔහු අහනවා "අම්මා කෑමබීමෙන් පරිස්සම් වෙනවද?"
"ඔව්."
"කොහොමද?"
දැන් ඉතින් ලෙඩා බොහොම අහිංසක විදිහට තමන්ට ලැබිලා තියෙන ආහාර පිළිවෙත් පිළිබඳ උපදේශය අනික් පැත්තට කියලා දානවා:
"පැණි රස මොකෝවත්ම කන්නෙ නෑ! තෙල් දාපු කෑමත් කන්නෙ නෑ!! පලා වර්ග, රතු හාලෙ බත්, දිය එළවළු එහෙම තමා කන්නෙ!!!"
"එතකොට තේ බොන්නෙ?"
"නිකං!!"
ඔහොම කිව්වහම චන්ද්‍රසේකර මහත්තයා ලෙඩාගෙ ලේවල සීනි වාර්තාව පරිස්සමෙන් කියවලා බලනවා:
"මේ වාර්තාවෙනම් තියෙන්නෙ අම්මා තේ එක්ක හකුරු කෑල්ලක් කනවා කියල..."
ඔන්න දැන් ලෙඩා ඇඹරෙනවා- "හකුරුනම් ටිකක් කැවෙනවා!!"
චන්ද්‍රසේකර මහත්තයා අපි දිහාව බලලා, කට කොණකින් හිනා වෙලා, ආයෙමත් වාර්තාව බලනවා: "විස්කෝතු එහෙමත් කනවා කියල තියෙන්නෙ?"
"ටිකක් කැවුණා!!"
"තෙල් කෑම එහෙමත් කනවා කියල තියෙන්නෙ?"
"තෙල් පොඩ්ඩක් කැවෙනවා!!!"
ඒ දවස්වල මම නැවතිලා හිටියෙ කෑගල්ලෙ ඉස්පිරිතාලෙ කිට්ටුව ගෙදරක. ඉතින් මම ගෙදර ඇවිත් බෝඩිමේ ඇන්ටිත් එක්ක ඔය කතාව කියලා හිනා වුණා. ඇන්ටි ටිකක් හිනා වෙලා ඊට පස්සෙ මගෙන් අහනවා,
"ඉතින් දුව, ඇත්තටම ඒ රිපෝට් එකේ එහෙම තිබුණද?!"
ගෙවල්වල ටෝච් එක වුවමනා වෙන වැඩ ගොඩක් තියෙනවා- විශේෂයෙන් කලුවරේ එළිපහළියට යනකොට එහෙම. ඉස්පිරිතාලෙදි ටෝච් එක වුවමනා වෙන්නෙ සීමිත වැඩ කොටසකට. දැඩි සත්කාර ඒකකයෙදිනම් ඕක ඕන වෙන්නෙ හුඟක් වෙලාවට ඇහේ බබාලා දෙන්නා එක ගානද, ලොකුද පොඩිද, එළියට ප්‍රතික්‍රියා දක්වනවද කියලා බලන්න තමයි. අපේ නර්ස්ලත් උදේට ලෙඩා හෝදලා කරලා, ඊට පස්සෙ කටු දාපු තැන් රතු වෙලාද, ඇඳ වණ තියෙනවද යනාදී පිරික්සුම් ලැයිස්තුවේ එක් අංගයක් විදිහට ඇහැට ටෝච් එක ගහලත් බලනවා. ඉතින් කවුරුහරි ටෝච් එක ගන්නකොටම අනික් අය දන්නවා මොකටද කියලා. ටෝච් එක සාමාන්‍යයෙන් තියෙන්නෙ බෙහෙත් බඩු තියෙන තැන.
දවසක් උදේ ඔහොම අපේ නර්ස් කෙනෙක් ලෙඩා ළඟ ඉඳන් බෙහෙත් ට්‍රොලිය ගාව හිටපු නර්ස් කෙනෙකුට කිව්වලු "නංගි, ටෝච් එක දෙන්ඩකො." කියලා. අර නර්සුත් වෙන මොකක්ද කල්පනාවක් පිට ඉඳලා "මොකටද?" කියලා අහලා.
"ඇඳ යට නයෙක් ඉන්නවද බලන්ඩ!"
පොස්ට් එක ගොඩාක් රසවත්.
ReplyDeleteමේ කොටස නම් සුපිරි "...කටු දාපු තැන් රතු වෙලාද, ඇඳ වණ තියෙනවද යනාදී පිරික්සුම් ලැයිස්තුවේ එක් අංගයක් විදිහට ඇහැට ටෝච් එක ගහලත් බලනවා..."
:D බොහොම ස්තුතියි ඩීන් අය්යා. අයිසීයූ එකේ ඉන්න සමහර දවස්වලට කට රිදෙනකම් හිනා වෙවී ඉන්නෙ. ඒත් ගෙදර ඇවිත් මතක් කළාම මතක නෑ මොනවටද හිනා වුණේ කියලා.
ReplyDeleteමේ දවස්වල වර්ක්ෂොප් එකක්. ෆුල් බිසී වෙලා ඉන්නෙ. :D
"ඇඳ යට නයෙක් ඉන්නවද බලන්ඩ!"
ReplyDeleteඇත්ත කියන්ඩ. ඔයා ඇඳ යට බැලුවා නේද? :D
ReplyDeleteහෆොයි අර නර්ස්ට මැරෙන්න හිතෙන්න ඇති . . හික්ස්
ReplyDelete"බොහොම පිළිවෙලට පිරිසිදුවට ඇඳුම් පැළඳුම් කරලා; නැවතිල්ලෙ කතාබහ.."
ReplyDeleteඅපූරු වහර (මාරය කියපු දේ අමූලික ඇත්ත ඕO)
@ දුකා: ඔව්, ඒ අහගත්තු එක මදිවට අපි හැමෝම මතක් කර කර හිනා වුණා.
ReplyDelete@ Heeniyata: :D අමුතුයිද එහෙම කියන එක? එයාගෙ හැටි එහෙම තමයි.
කෑමෙන් පරිස්සම් වෙන්න කිවුවම පරිස්සම් වෙන අය බොහොම ටිකයි ඉන්නේ.. මගේ කොලෙස්ටරෝල් ටිකක් වැඩියි කියල අපේ ඩොක්ට (එයත් ඔයා වගේ කාන්තාවක් .. හරිම හොඳයි) .. ප්‍රශ්නයක් නැහැ කෑම පාලනය කරලා ව්‍යායාම දිගටම කලාම හරියයි.. කියල. .ගිය නොවැම්බර් මාසේ කිවුව. කියල ඉතිරි හරිය කියන්නත් ඉස්සර මම කිවුව. අනේ ඩොක්ට කෑම නොකන්නයි ව්‍යායාම කරන්නයි කියල නම් කියන්න එපා.. පෙත්තක් ගන්න කියන්න.. ඒ මොකද දෙසැම්බර් මාසේ ලංකාවට ගියාම ඔය දෙකම කරන්නත් බැහැ කරන්නෙත් නැහැ .. ඔය දෙක කලොත් කොහොමද නිවාඩුවක් වෙන්නේ ? මම යන්නේ කන්නයි මොකුත් නොකර ඉන්නයි ..කියල.. හිනාවෙලා පනගියා..
ReplyDeleteඔය චන්ද්‍රසේකර වෛද්‍යතුමා වෙන්න පුළුවන් , මම හඳුනානොගත් උණ රෝගයකට (2001 දී) රත්නපුර රෝහලේ නතර වෙලා ඉන්න කොට හිටියේ. මගේ රෝග ලක්ෂණ අනුව ටයිපොයිඩ් උණ කියලා සැක කලත් රුධිර පරීක්ෂණ වලට අනුව මට කිසිම ආසාදනයක් තිබුනේ නැහැ.
ReplyDeleteදිව සුදු පාට වෙලා තිබුණ එක චන්ද්‍රසේකර වෛද්‍යතුමා වෛද්‍ය සිසුන්ට කියලා, හැමෝම ගිහින් බලන්න කියලා. ඉතින් කට්ටිය සැරෙන් සැරේ එනවා, මල්ලී දිව දික් කරන්න කියනවා.
එයා වෙන්න ඇති. උගන්වන්න රුසියා.
ReplyDeleteහිටුකෝ අද රෑට මං ඔය නයි කතාව පූසෙකුට මතක් කරලා දෙන්න...
ReplyDeleteඅනේ ඉතිං අච්චර හොඳ ගුරුවරුත් ඉඳලානේ මෙහෙම වෙලා තියෙන්නේ.. දුක්ඛීතයි...
අක්කගෙ ලිපිය මාව අතිතයට රැගෙන ගියා. මමත් ඉද්දි කෑගල්ලෙ ඉස්පිරිතාලෙ වැඩ කරල තියනව(අර 2MB ඉවර වෙලා සෙක්න්ඩ් ඉයර් එකටත් තර්ඩ් ඉයර් එකටත් නැති කාලෙ).පුදුමාතලන් කාලයක් තමා.අපට බුලත්කොහුපිටිය පාර පැත්තෙ ආතල් බෝඩිමකුත් සෙට් උනා..
ReplyDeleteමම බ්ලොග් ලියන්න පටන් ගන්නව කිව්වම යාළුවො කියාපි "උඹට පිස්සුද බන්. ෆ්‍රී වෙලාවෙ පොලක් කරගෙන හිටපන් මේ RHO කාලෙ" කියල.බලන් ගියාම ෆ්‍රී වෙලාට බ්ලොග් ලියන එකම පිස්සා මම නොවේ.. ලොල්ස්.
බයිද වේ.. අක්ක පේරද?
යෙෂ්! පේරා. මමත් ඔය ගන්ධබ්බ අවදියෙ තමයි කෑගල්ලෙ හිටියෙ. :D හිනා ගිහින් පණ යනවා ඒ කාලෙ මතක් කරනකොට.
Deleteඅපොයි, තව ඕනෙ තරම් කට්ටිය ඉන්නවා. :D අකු http://lahiruakuratiyage.blogspot.com, අනුරුත් http://supunsblogworld.blogspot.com/, සිංහල පද්‍ය රටා http://sinhala-gee-sithuwili.blogspot.com/,
අනිත්කොණ http://anithkona.blogspot.com/, ගී රස විනිස http://geerasavinisa.blogspot.com/ මම දන්න තරමින් හැමෝම ෆ්‍රී නැතත් බ්ලොග් ලියන අය. :D