"මට ප්ලේන්ටියක් දෙනවද?"
මේ ඉල්ලීම මොන තරම් සරලද?
අපට තේ හඳුන්වලා දුන්නෙ සුද්දො වුණාට, සුද්දන්ට බනින සිංහලයන් පවා තේ පිළිගන්නෙ අපේ සංස්කෘතියෙ වැදගත් අංගයක් හැටියට. ලෝකෙ අනික් මිනිස්සු ටී කියන දේට නෙවෙයි අපි ටී කියන්නෙ. අපේ ටී යනු කිරි සීනි හොඳින් දැමූ, වැඩි සැළකිල්ල පිණිස චොකලට් හෝ මෝල්ට් වර්ගත් මිශ්‍ර කෙරුණු පානයක්. ප්ලේන්ටී කිව්වත් ඒකට ආදරේ තරමට සීනි සහ ඉඟුරු මිශ්‍රව තියෙනවා; එහෙම නැත්නම් හකුරු හෝ වෙනත් පැණි රසක් එක්ක.
අමතර මුකුත්ම නැතුව, ලෝකෙ අනික් මිනිස්සු ටී කියන ජාතිය ඕනෙනම්, ඒ හැම එකක්ම වෙන වෙනම එපා කියලා ඉල්ලන්නට ඕන. එහෙම බොන කෙනාට එක්කො මොකක් හරි ලෙඩක් ඇති, එහෙමත් නැත්නම් කෙට්ටු වෙන්නට හදනවා ඇති, මළ කෝලම්, කියල තමයි මිනිස්සු හිතන්නෙ.
අගෝස්තු මාසෙ රුසියන් පූසො ලංකාවට ආවා. මම ඒගොල්ලො හම්බෙන්නට යනවිට සති දෙකක් විතර පහු වෙලා. මාව හම්බුණාම කියන්නට කේළම් ගොඩක් ඒ දෙන්නා එකතු කරන් හිටියා. එයින් ප්‍රධාන එකක් තේ.
"ඕගොල්ලන්ගෙ හෝටල්වල තේ දෙන්නෙ නෑනෙ." ඔවුන් කියා සිටියා. "අපි ආවෙ ලෝකෙ හොඳම තේ මෙහෙ තියෙනවා කියල හිතාගෙන.."
"රෝමෙට ගිහාම රෝමන් කාරයො විදිහට ඉන්න ඕන." මමත් ඇරියෙ නෑ. "ඕගොල්ලොන්ගෙ විදිහට තේ ජීවිත කාලෙ පුරාම බොනවනෙ. මෙහෙ විදිහට තේ හම්බෙන්නෙ මෙහෙදි විතරයි. ලංකාව රස විඳින්නනම්, අපි වගේ තේ බොන්නත් ඕන."
"ඒ වුණාට ත්‍රිකුණාමළයෙදි අපි හිටිය හෝටලයෙන් ඔය විදිහට තේ දුන්නහම, එක් යුරෝපීයයෙක් තේ ප්‍රතික්ෂේප කළා."
"හරි මෝඩයි. ගෙදරදි වගේම තේ බොන්නනම් ගෙදරම ඉන්න තිබුණනෙ."
මම කොච්චර තර්ක කළත් හැන්දෑ වෙනකොට විතාලි බොහොම අහිංසක ඉල්ලීමක් කළා. "අනේ, හෝටලේ අයට කියන්න පුළුවන්ද අපිට පෝච්චියකට තේ ගෙනත් දෙන්න කියලා? අපි කියන එක සමහරවිට ඒ අයට තේරෙන්නෙ නැතුව ඇති."
හෝටලේ අයට පැහැදිලි කරලා කිව්වහම ඔවුන් එක්කෙනාට තේ දෙකක් පමණ තියෙන විදිහට පෝච්චියක් ගෙනත් දුන්නා. රාත්‍රී ආහාරයෙන් පසුව අපි තේ පානයට සූදානම් වුණා.
මම අමාරුවෙන් තේ බිව්වා.
රුසියන් පූසො සන්තෝසෙන් තේ බිව්වා.
තේ බොන ගමන් අපි සමොවාරයන් ගැන කතා කළා. හැම දෙනාම එක්ව මුල සිට අග දක්වා, මේසයෙහි ඇති සියළු කෑම බීම වර්ග අවසන් කරන, එක්කෙනෙක් පානය නවතන්නේනම් සියල්ලන්ම ඒ පානය නවතන ඔවුන්ගෙ සංස්කෘතිය ගැන ඔවුන් කිව්වා.
අපේ ගෙදර ගිය දවසෙ හවස, අම්මා විශාල තේ පෝච්චි දෙකක්ම හදලා දුන්නා. සමූහ පානයේ සංස්කෘතිය අමතක කරලා, දෙන්නත් එක්ක අර තේ පෝච්චි දෙකම බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ බොහොම සන්තෝසෙන් හිනා වෙලා, මුරු මුරු ගාලා තෘප්තිමත් හඬින් මෙහෙම කිව්වා:
"ලංකාවට ආවත් හරි, හිතේ හැටියට තේ බිව්වෙ අද. බොහොම ස්තුතියි."
එහෙම දවසුත් තියෙනවා.
රෝහලේ රෝගීන්ට හා කනිටු කාර්ය මණ්ඩලයට රෝහලෙන්ම තේ සපයනවා. අනික් සේවකයන්ට තේ අවශ්‍යනම්, තමන් සපයගන්නට ඕන. ඒ නිසා හුඟක් තැන්වල තේ සමාජ තියෙනවා. කට්ටියම එකතු වෙලා, මාසෙකට යම් මුදලක් දාලා, තේ හදාගෙන බොනවා. හුඟක් වෙලාවට හෙදියනුත් වෛද්‍යවරුනුත් එකම තේ සමාජයක ඉන්නෙ. එහෙම වෙලාවට තේ හදන්නෙ හෙදියන්ගෙන් කෙනෙක්. ඔවුන්ගෙ සංඛ්‍යාව වැඩි නිසා, ඒ වැඩේට පහසුවෙන් එක්කෙනෙක් නිදහස් කරන්නට පුළුවන් නිසා. එයිනුත් බොහෝවිට ඒ වැඩේට අහු වෙන්නෙ කනිටු හෙදියන්.
එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්.
සමූහයක් එකතු වෙලා තේ හදාගෙන බොන මෙහෙම තැන්වල කොහොමත් පොඩි ගැටුම් තියෙනවා. කවදාවත් කවුරුවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ.
මම හිටිය සමහර තැන්වල මේ ගැටුම් උග්‍රයි.
"මේකෙ කහට මදි. මේ විදිහට බොන්න පුළුවන්ද?"
"මෙච්චර කිරි දාලා බොන්න පුළුවන්ද? පුඩිමක් වගෙ! කිරි තේ බොන්නයි ඉල්ලුවෙ, කන්න නෙවෙයි!!"
"අය්යෝ කට ඇලෙනවා. ඇයි මෙච්චර සීනි දාන්නෙ?"
"අනේ කට ගාවට එනකම් පුරවලා!"
"මට ප්ලේන්ටි."
"මට අඩු සීනි ප්ලේන්ටියක්. ඇයි අනේ, හැමදාමත් කියන්න ඕනද?"
දෙන දෙයක් දෙන හැටියකට කාලා බීලා ඉන්න මම ඔහේ බලා ඉන්නවා.
"ඔයාට බොන්න පුළුවන්ද ඔහොම?"
"ගානක් නෑ." මම කියනවා.
"එහෙම පුළුවන්ද? තේ එක හොඳට ගානට තියෙන්න ඕන. කැමති විදිහ කියලා හදවගන්න."
"කියන්න කියන්න. කොහොමද ඕන?" හැමෝම අහනවා.
"එහෙනං ඔය අනික් අයගෙන් අඩු කරන කිරි සීනි සේරම මගෙ එකට දාලා ලොකු මග් එකක් ගෙනත් දෙන්න."
එහෙම දවසුත් තියෙනවා.
ඉස්සර දවසක වෙනත් දැඩි සත්කාර ඒකකයක රාත්‍රී සේවයෙ යෙදී සිටියදී වාට්ටුවකින් ඇමතුමක් ලැබුණා. ඒ උදව්වකට. ඔවුන්ගෙ අධි උපස්ථාන ඒකකයෙ සිටින රෝගියෙකුට බෙහෙත් වගයක් ලබා දීම පිණිස විශේෂිත නාලයක් ඇතුළු කර දෙන ලෙසටයි ඉල්ලීම.
මම යනකොට හෘද ඒකකයෙ ජ්‍යෙෂ්ඨ රෙජිස්ත්‍රාර්වරයා ඇවිත්. රෝගියා දහසය හැවිරිදි ගැහැණු දරුවෙක්. නුවර එළිය හෝ බදුල්ල වගෙ කඳුකර පැත්තකින් මාරු කර එවූ හෘද රෝගියෙක්. තදබල උණෙන් පෙළුණු ඇගේ හෘදය වටා දියර පිරෙන්නට පටන්ගෙන. එතකොට හෘදයට හරි හැටි ක්‍රියා කිරීමට බැහැ. හෘද ඒකකයෙ වෛද්‍යවරයා සිරින්ජයකින් ඒ දියර ඉවත් කරමින් හිටියෙ. ඔහුගෙ වැඩේ අවසන් වෙන තුරු මම ළඟට වෙලා බලා හිටියා. ඔහු බොහොම මහන්සියෙන් ඉවසීමෙන් දියර ඉවත් කිරීමේ නියැළුණා. හුස්ම ගැනීමේ අපහසුවෙන් හා පපුවේ වේදනාවෙන් පෙළුණු දැරිය දිගටම කෙඳිරි ගාමින් හිටියෙ. ඇගේ අම්මා හොඳටම වෙහෙසට පත් වෙලා පැත්තකින් වාඩි වෙලා හිටියා. වාට්ටුවෙ වෛද්‍යවරියටත්, හෙදියටත් හොඳටම තෙහෙට්ටුයි. ඔවුනුත් මුළු රාත්‍රියම මේ රෝගියා වෙනුවෙන් මහන්සි වෙන්නට ඇති. ඔවුන් ටිකක් ඈතින් අසුන් ගෙන බලා සිටියා.
"මට ප්ලේන්ටියක් දෙනවද?" දැරිය හදිසියෙම ඇහුවා.
"චුට්ටක් ඉන්න දුව. මේ වැඩේ ඉවර වෙලා දෙන්නම්." මම කිව්වා.
පැයක් විතර ගත වෙන්නට ඇති. මමත් ටිකක් නොසන්සුන්. මොකද, මගෙ ඒකකයෙ රෝගීන්ව පොඩ්ඩකට අනාථ කරලා තමයි මම මෙතනට ඇවිත් ඉන්නෙ.
කොතෙක් උත්සාහ කළත් තවත් දියර ඉවත් කළ නොහැකි වුණු තැන හෘද ඒකකයෙ වෛද්‍යවරයා වැඩේ නැවැත්තුවා. ඊලඟට මගේ වාරය. කෙමෙන් දුර්වල වෙමින් යන ඇගේ හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන බෙහෙත් ලබා දීම පිණිසත්, හෘදයෙ තත්වය මැන ගැනීම පිණිසත් තමයි ඒ නාලය ඇතුළු කළ යුතුව තිබුණෙ. කල් දාන්නට පුළුවන්කමක් තිබුණෙ නැහැ.
ප්ලේන්ටිය කල් දැමුණා.
නාලය ඇතුළු කර, බෙහෙත් පටන් ගත් පසු මම ඉක්මණින් ආපසු ගියා. මගේ ඒකකයට ගිහින් විනාඩි කිහිපයක් එතන ප්‍රශ්න සමග ගැටෙන අතරතුර මට කල්පනා වුණා අර ළමයට තවත් ඖෂධයක් දුන්නනම් හොඳයි කියලා. ඒ ගැන වාට්ටුවෙ අයට කීම පිණිස මම එතනට දුරකථන ඇමතුමක් ගත්තා.
දුරකථනය සෑහෙන වෙලාවක් නාද වුණා. අන්තිමේදි එතන හෙදිය රිසිවරය එසවූවා.
"අර ලෙඩාට.."
"එයාගෙ හෘදය නැවතුණා. බේර ගන්න බැරි වුණා.." ඇය කිව්වා.
පසුබිමින් දැරියගේ අම්මා විලාප තියන හඬ නොකඩවා ඇසුණා. මම රිසිවරය තැබුවා.
"මට ප්ලේන්ටියක් දෙනවද?"
ඇගේ අහිංසක ඉල්ලීම මගේ කන්වලට ආයෙ ආයෙත් ඇහුණා.
එහෙම දවසුත් තියෙනවා.
මං එකද?
ReplyDeleteදැන් තමා කියවලා ඉවර උනේ.. මේක අසාධාරණයි.. මං මුල ටිකක් කියවගෙන යද්දි මතක් උනේ එක වෙන්න බලන්න ඕන කියලා.. ඒත් ඒ කමෙන්ට් එක දාලා අනිත් ටික බලද්දි අර මුලින් තියෙන කතාවට වඩා වෙනස් පැත්තකින් කතාව ඉවර උනා.. මං නිකං මොනවද කෑව රිලවා වගේ උනා... ඇයි මෙහෙම කලේ...
ReplyDeleteහරි කමක් නැහැ අපි එතැනින් පටන් ගමු...අන්තිම ජවනිකාවෙන්...
දොස්තරලට මොනවා කියන්නද.. අර ඉල්ලන්නේ අවසාන ඉල්ලීම කියලා හිතලා නෙවෙයිනේ එයාලා වැඩ කරන්නේ..සමහර විට කරපු වැඩේ නැවැත්තුවනං කොහොමත් ඒ අවසාන ඉල්ලීම වෙන්න තිබුනා.. ඒත් උත්සහය ඒ ඉල්ලීම අවසාන ඉල්ලීම නොවන තැනට වැඩ කිරීම හින්දා එතනදී වරදක් කියන්ට බැහැ. ඒත් අවාසනාව...
මොනවා උනත් ඒ දරුවට ප්ලේන්ටි උගුරක් දී ගන්න තිබුනනං අන්තිම මොහොතේ මොන වගේ සිතිවිල්ලකින් හුස්ම ටික පිට කරයිද කියලත් කෙනෙකුට නොහිතෙනවනං තමා පුදුමේ... ඇත්තටම මටත් හිතුනා.. එහෙමනං ඒ රසයත් එක්කම සුවදායී විදියට ඒ ළමයා යන්න යයි.. කොහොම උනත් කියන්න තියෙන්නේ ..අවාසනාව දරුවාගේ විතරක් නෙවෙයි කියවන අපි දක්වාම ඒ දේ අත්දැකපු හැම කෙනාගේ ඉඳලම...
ඊ ළගට රුසියන් පූසෝ...උන්දලා ගැන දන්න හින්දා ඇත්තටම හිනා ගියා උනත්..ඒකත් එක්තරා අන්දමක අවාසනාව.. අපේ රටේ මිනිස්සුන්ගේ හෝ පිටරට උන්ගේ හෝ ලාංකීය තේ කර්මාන්තයේ හෝ වෙන මොනවගේ හෝ..අවාසනාව..වෙන මොනවද..?
ඊ ළගට මගේ කතාව...
තේ හැදීම ගැන මගේ ඒ හැටි අදහසක් තිබුනේ නැහැ මං පන්සල් ජීවිතේ ආරම්භ කරනකල්ම..ඊට කලින් ගෙදරදී ඉඳ හිට මං තේ හැදුවා..ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ තේ කියන්නේ ප්‍රධාන දෙයක් නෙවෙයි... අදටත් සමහර විට දවස් ගනන් තියෙනවා මං තේ නොබී ඉන්න. පහුගිය වකවානු තිබුනා මාස හයකින් තේ එකක් කිරි එකක් නොබිව්ව... ඒ ගැන මට කිසිම උවමනාවක් තිබුනේ නැති කම හා වෙන වෙන දේවල් බොන්න ගියාම ඕවාට වෙලාවක් නැති කම තමා හේතු උනේ...
ඊ ළගට මං තේ හැදීමේ පාඨමාලාව කල හැටි... ඒ තමයි ඇබිත්ත කාලේ.. පන්සලේ හාමුදුරුවරු තුන් හතර දෙනෙක් ඉන්නවා මදිවට සැරින් සැරේ ඇවිත් යන අයත් එමටයි.. ඒ අතරට පිරිතක් එහෙම වැටුනොත් එදාට දහ පාලොස් දෙනෙක් එකතු වෙනවා...
"නානත්ත කායා නානත්ත සංඥා"
මට ඔය බණ පදේ කියා දුන්නේ චන්ද විමල කියලා තරුණ හාමුදුරු කෙනෙක් ඒ මං දවසක් පස් දෙනෙකුට පස් ආකාරයකට තේ හදනවා බලං ඉඳලා උන්නාන්සෙටම හිනා ගිහින්...
වැඩිහිටි හාමුරුවරුන්ට කහට තේ..පොඩ්ඩක් එහෙම නෙවෙයි අර අත් කෝප්පයකින් එකක් ඕන...පොඩිහිටි අයට නෙස්ටමෝල්ට් තේ.. ඒ අතරේ සමහරුන්ට ලා කහට..සමහරුන්ට තද කහට... තවත් අයට කිරි කහට සීනි නැතිව... සමහරුන්ට යන්තම් සීනි සමඟ කිරි කහට.. තවත් අයට දිවේ ඇලෙන්නම... සමහරුන්ට බුලත් විට කාලාම දිවක් නැති ගානයි... මොනවා දුන්නත් ඔහේ බොනවා.. සමහරු හුගාක් තෝරනවා... ඉතිං හිතලා බලන්නකෝ පිරිතක් දවසකට පහලොස් නමකට විතර තේ දෙන්න ගියාම පැය දෙකෙන් දෙකට විතර... ඒ අස්සේ පන්සලේ පින්කමක පිරිතක්නං ඔය අස්සෙම සීයකට හමාරකට ගානට සීනි දාපු ප්ලේන්ටී...
අපරාදේ කියන්ට බැහැ ඕන කරන අඩු වැඩිය භාජන එහෙම තියේනං අදටත් මට දෙතුන් සීයකට උනත් තේ හදන එක මහ කජ්ජක් නෙවෙයි..ඒ පුහුණුවේ හොඳකම..
ඊට පස්සේ මහණ උනාට පස්සෙත් අහල පහල ඕනම පන්සලක පින්කමක් වෙලාවකදී කෘත්‍යාධිකාරී තනතුර (කුස්සිඅධිකාරී) මට පැවරෙනවා.. ඉන්න දායක මහත්තුරු උපාසක අම්මලා ටික ගානට හැන්ඩ්ල් කොරාන දාන ශාලාව සකස් කිරීම ඇතුළු හැම දේම.. දන්නවනේ ඉතිං මං ඔය අංසෙට අමනාපයක් නැති විත්තිය.. ඉතිං ඒ හැම දේටමත් බොහෝම සැදැහැ සිතින් දායක උනා... ඒ ඉතිං අර තේ හැදීමෙන් ආරම්භ වෙච්ච මගේ තේ කතාව...
ඒත් මමත් කැමතියි කවුරු හරි හදලා ළගටම ගේන තේ එකක් ඉඳ හිට හෝ බොන්ට... ඒත් ඊට වඩා කැමතියි හැම කෙනාගේම පදම දන්නවනං ඒ ඒ පදමට තේ හදලා අනිත් උන්ට පොවන්ට...
කොහොම උනත් හොඳ තේ කොළ නැති කමින් අපිට තේ කියලා හුරු වෙලා තියෙන්නේ නං අර කඩේ තියෙන කහට බොන්ට තමා.. ඒත් මට ඒ දවස්වල මාසෙකට සැරයක් තලවකැලේ ඉඳලා හොඳම වර්ගයේ තේ කිලෝවක් හම්බ උනා...ඒක තියෙනකල් ඉතිං මාත් චණ්ඩියා.. සීනි නැතිව කහට බොන්ට පුරුදු උනේ ඒ කාලේ.. ඒත් දැන්නං මේ තියෙන තේ කොල කොහොමද සීනි නැතිව බොනවා තියා ඒ ගැන හිතන්නෙවත්...හප්පා මට කම්මැලියි මේ ඇති ලියාගෙන ගියා...මං නැවතුනා ඕං...
තේ කලාවේ රහස...
රුසියන් පූසෝ ?
ReplyDeleteඔව් එහෙම දවසුත් තියෙනවා. මටත් කවද හරි එහෙම දවසක් ඒවි. එදාට මගේ ඇඳ උඩ මගේ ගාව රුසියන් පූසෙක්ව තියන්න කවුරු හරි ඉඳීවි නේද ?
මෙන්න තේ වලට අදාල නැති, ඒත් අන්තිම කතාවට ළඟින් යන කතාවක්..
ReplyDeleteඅපේ ගෙවල් ගාව ආප්ප කඩේ ස්වර්ණලාගෙ.. එහෙ බල්ලගෙ නම චූටි. පාරෙ බල්ලන්ගෙ පොඩි පොඩි රෝගාබාද වලට මම බෙහත් අරන් ස්වර්ණට දෙනවා හෙද කම් කරන්න කියලා..
පෙරෙයිදා බල්ලෙක් ලොරියක හැපුනා කියලා ආරන්චි උනා, මෙතන පාරෙ. ඊයෙ ආප්ප කඩේට ගියාම ස්වර්ණා විස්තරේ කිව්වා මට, ඇස් වල චූටිගෙ කඳුලු එකතු කරගෙන.. බෙහෙත් කළත් පැය දෙකකින් විතර චූටි මළා කියලයි ස්වර්ණා කිව්වෙ..
එයා මෙහෙමත් කිව්ව, "ගිය සතියෙ චූටිගෙ කණේ ගෙඩියක් ඇවිත් චූටි නිතරම කණ කසන්ඩ ගත්තා. මිස් එයිද කියලා බලන් හිටිය කඩේ පැත්තෙ. ආවෙ නැති නිසා පෙරේදා ෆාමසියට යන්ඩ යද්දි චූටි පස්සෙන් ඇවිත් තිබුනා. මට කලින් චූටි පාර පැන්න ලොරියට..
මිස් ගිය සතියෙ හිටියා නම්.. චූටි මැරෙන්නෙ නෑ..'
මට ඊයෙ ආප්ප කන්ඩ එපා උනා..
හ්ම්ම්ම්...
ReplyDeleteඅන්තිම ටික කියෙව්වම නං
හි-තේ
ගිනි ඇවිලෙ-තේ
පසේ බුදුවරු නැ-තේ
ඇසේ තෙත ඇතේ හි-තේ
පිසින්නේ කවුරුදෝ..?
ඇත්තටම රුසියන් පූසෝ කිව්වේ කාටද ???
ReplyDeleteසූස්තියෙන් ඇඟ පණ නැතිවේ පණ නැති වේ . . . .
ReplyDeleteප්ලේන්ටියෙන් එය තව වැඩිවේ තව වැඩිවේ . . . . .
අඩු සීනී ප්ලේන්ටී :)
ReplyDeleteහදවතට දැනුනු කථාවක්. මම හිතන්නේ කෙනෙක්ගේ අවසාන ඉල්ලීම තමයි ඉටු කල යුත්තේ. ඒත් වෛද්‍යවරුන් විදියට අපි බලන්නේ හැම කෙනෙක්වම තව තත්පරයක් හරි වැඩිපුර ජීවත් කරන්න. මට නම් හිතෙන්නේ අපි ජීවත් වෙන්නේ පුදුම ලෝකෙක. මොන තරම් දේවල් තියෙනවද තව අපිට ඉගෙන ගන්න.
ReplyDeleteඅපෝ ලංකාවේ තේ බීම මම අනුමත කරන් නැහැ. තේ බොනව කියන්නේ ටික ටික උනුසුම් තේ කහට හෙමින් බොන එකට. අපි බොන්නේ තේ නෙමෙයි පැණි බීමක්.
මාරයාත් එක්ක එකඟයි.
නානාත්ත කායා නානාත්ත සංඤා
විදේශිකයො තේ බොන්නෙ සීනි නැතුව ! හෆ්ෆේ කොහොම බොනවද මන්දා කහට විතරක් ඇරලා දමනවා..මාර ආසාවෙන්.. මදිවට අපි රසම රස ප්ලේනිටියක් සීනි යහමින් දමලා බොනකොට දමන නෝන්ඩි හිනාව !..
ReplyDeleteවෙද මහත්තයෝ, නලිනි නෝනා, තේ වලින් හෘද රෝග ඇතිවීමේ අවධානම අඩුකරනවා කියන්නෙ ඇත්තද?
ReplyDeleteහප්පා.. පව් අර කෙල්ල.. ඒත් මොනවා කරන්නද..?
ReplyDeleteමම නම් තේ වලට වඩා රස විඳිනවා අර සෙස්ටා තේ ඇඩ් එක..
http://goo.gl/opoA2
ReplyDeleteඑහෙම දවසුත් තියෙනවා.. :(
ReplyDeleteතේ කියන්නෙ මම ඒ තරම් කැමති දෙයක් නෙවෙයි.අදටත් බොන්නෙ එකම එකයි. ඒකත් ඉල්ලීමකින් තොරව හම්බවෙන කාර්යාලයේ උදේ තේ එක. ගෙදර ඉන්න කොට ටිකක් දවල් වෙන කම් නිදාගන්න තියන බාධක වලින් එකක් තමයි උදේ තේ එක...මට නම් ප්ලෙන්ටිත් එපා..ටීත් එපා..
ReplyDeleteමාරයා තේ හදන්න රුසියා වුනාට උගේ ගෙදරට ගොඩවෙන කෙනෙක්ට තේ එකක් ලැබෙන්නෙ ඉල්ලුවොත් විතරයි. ඒකට මහ වෙදනා..එපා කියද්දිත් මහ විශාල කිරි තේ ( කෝපි ? ) එකක් දුන්නා..මම බිව්වෙ නම් බාගෙට...ඒ තේ බීමට තියන කම්මැලිකම මිසක් තේ එක රස නැති නිසා නෙවෙයි...
හැමදාමත් වගේ ආයෙත් ලස්සන සටහනක්..වැඩ වැඩි කමටද කොහෙද අඩුවෙන්ම ලියනවා කිව්ව රෝහල් අත්දැකීමුත් ලියන්නත් පටන් අරන්...
එහෙම උනාම ඒ ගිල්ට් ෆීලින්ග් එකෙන් එලියට එන්න ගොඩක් අමාරු වෙනවද?
ReplyDeleteමමත් දවසට ප්ලේන්ටි 4කටවත් වග කියන එක කියනවම තමා :)
ජීවිතේක හැටි.. මෙතන කාගෙවත් වරදක් මමනම් දකින්නේ නැහැ.
ReplyDeleteඅපිට කවදාවත් අතීතය වෙනස් කරන්න බැහැ.
අක්ක ඒ ළමයට තේ එක දුන්නනම්, තේ එක බීපු ගමන් ලෙඩා මලානම් ඔයාටම හිතෙනවා නේද "අපරාදේ මම තේ දිදී හිටියේ, බෙහෙත් ටිකක් දුන්නනම් ලෙඩා ජීවත් වෙනවා නේද" කියලා.
මමනම් හිතන්නේ මනුස්සයෙක් මැරෙන්න තියෙන වෙලාව ෆික්ස් කියලා. මොන මොන හේතු නිසා හරි අපි ඒ ෆික්ස් වෙලාව එනකන් ජීවත් වෙලා ඉන්නවා. ලෙඩෙක් ගැන හිතුවොත්, ඒ වෙලාවේ මැරෙන්න නියම නැති කෙනෙක්නම් එයාව බෙහෙත් වලින් හොඳ වෙනවා. මැරෙන්න තියෙන කෙනෙක්නම් එයා ඒ වෙලාවට මොන දේ කලත් මැරෙනවා.
ඒකයි මගේ විශ්වාසය.
සමහර විට දෛවය කියන්නෙත් ඒකමද දන්නේ නැහැ.
තේ ගැනනම් කියන්න තියෙන්නෙ මමත් කහට බොන්න මනාපයි කියල තමයි
අනේ මන්දා.මට ලියන්න දෙයක් හිතට එන්නෑ.හිත සසල වුණා අර කුඩා ගෑනු දරුවගේ මරණය ඇහුවම.ඊටත් අන්තිමට තේ ටිකක් ඉල්ලපු එකට ඊටත් වඩා දුක හිතුනා.
ReplyDeleteමම නම් හිතන්නේ කෙනෙක්ගේ "අවසාන ඉල්ලීම" කියන දෙය කවදාවත් ඉෂ්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිස් (පෘථග්‍ජන) සිතට එකක් සම්පූර්ණ වෙද්දි තවත් දෙයකට ආස වෙනවා. උවමනා වෙනවා. නමුත් අන්තිම මොහොතෙ ඇතිවෙන හැඟීම (මට දැනෙන හැටියට) "තව ඩිංගක් ජීවත්වෙන්න දෙන්න" කියලයි මම විශ්වාස කරන්නෙ. ඉතින් දොස්තර නෝනට දෙන්න පුළුවන් දේ ඔබ දීල තියනවා.
ReplyDeleteමම පොඩිකාලෙ කඩේකට ගිහිල්ලා ටී එකක් ඉල්ලපුවාම කිරි තේකක් ගෙනල්ලා දුන්නා.ගෙදර එනකල් අප්පච්චිට පැහැදිලි කරලා දෙන්න සිද්ධ වුනා ඒක...
ReplyDeleteමරණාසන්න වෙන සමහර අය තේ ඉල්ලනවා නේද? මම ඒ දේ කීපවතාවක්ම අත්දැකලා තියනවා...
ටිකක් වෙලාව අඩු හින්දා මට එකිනෙකට උත්තර දෙන්න අමාරුයි.
ReplyDeleteගෑණු ළමයගෙ ඉල්ලීම ගැන මට තියෙන්නෙ ඒක ඉටු නොවීම පිළිබඳ ගැටළුවට වඩා ඒ ඉල්ලුව දේ ගැන. ඒ වෙලාවෙ ඇගේ රුධිර පීඩනය අඩු වෙලා නිසා ඇයට පිපාසය දැනෙන්නට ඇති. ඒත් බොන්න මොනව හරි කියලා ඉල්ලනු වෙනුවට ප්ලේන්ටී කියලම ඉල්ලුවෙ ඇයි?
බුද්ධික කියන කතාව ඇත්ත. මිනිස් හිත එකක් ඉවර වෙනකොට තව එකක් අල්ල ගන්නවා.
රුසියන් පූසො කියන්නෙ මගෙ යාළුවො දෙන්නෙක්; රුසියානුවන්. ඒගොල්ලොන්ට රුසියන් පූසො කියලා නම දැම්මෙ මෙහෙ ඉන්න යාළුවො.
ඩී: වාහනවලින් සත්තුන්ව යට කරගෙන යන එකට විසඳුමක් ඇත්තෙම නැද්ද? හරියට හිත සසල කරන දෙයක් ඒක.
තේවලින්, විශේෂයෙන්ම කොළ පැහැ තේවලින් කොලෙස්ටරෝල් අඩු කරන බවට හා සිරුරට අහිතකර රසායන ක්‍රියාවලින් අඩු කර හෘද රෝග අවදානම අඩු කරන බවට තරමක් සාක්ෂි තියෙනවලු. ඒ ගැන පරීක්ෂණ දිගටම කෙරෙනවලු.
උඩ ඉඳන් කියවගෙන එද්දි ගොඩක් දේවල් කියන්ඩ එකතු උනා කමෙන්ට් එකක් ලියන්ඩ. ඒත් අන්තිම ටික කියවද්දි ඒ ඔක්කොම කුඩු පට්ටම් වෙලා ගියා. තේ ගැන මට කියන්ඩ දෙයක් නෑ...
ReplyDeleteමම නම් කැමති උණුවතුර එකකකට ග්‍රීන් ටී එකක් විතරක්ම දාලා බොන්න.
ReplyDeleteමට මුකුත් ලියන්න හිතෙන්නෙ නෑ අර පොඩි කෙල්ලගේ ඉල්ලීම මතක්වෙනකොට
ReplyDeleteසුද්දෙක් ලංකාවෙ පොඩි හෝටලේක වේටර් කෙනෙක්ගෙන් ටී ප්ලීස් කියල ඕඩර් කරාලු. වේටර් කොල්ල සුද්ද හින්ද හොඳට කිරි දාල "පුඩිමක්" හදල ගෙනිහින් දුන්නලු. ඒක දැකපු සුද්දට මල පැනල what is this man? I asked you tea...tea..not milk!" කියල කිව්වලු. කොල්ලත් බිරාන්තට්ටුවෙලා බලන් ඉන්නකොට එතන හිටපු මහතැන් කෙනෙක් "මල්ලි මෙයා ඉල්ලන්නෙ කහට එකක්" කියල වැඩේ පැහැදිලි කරාලු. අනේ අර කොළුවත් බිම බලාගෙන " මූ සුද්දෙක් උනාට ඉංග්‍රීස්වත් දන්නෙ නෑනෙ. කහට ඔන්නං ප්ලේන් ටී කියල කියන්නෑපැයි" කියල ඇහෙන නෑහෙන ගානට අර මහත්තයට කියල කිරි කෝප්පෙත් අරන් ආයි කුස්සිය පැත්තට ගියාලු.
ReplyDeleteලංකාවෙ අපිට එහෙමට සීතලක් නැති නිසා ජොග්ගු ගනං තේ බොන්න අමාරුයි. දාඩිය දාලම මැරෙයි. අනික තේ කියන්නෙ අපේ රටේ අයටනං වවන නිසා බොන්න ගත්ත බීමක් මිස රස දැනං බොන්න ඕන නිසා වවන්න ගත්ත දෙයක් නෙමෙයිනෙ. ඒ උඩින් ගෙනත් දාපු ගතිය නිසා තේ බීමත් එක්ක ගොඩ නැගුන සංස්කෘතියක් අපිට නෑ.
හොස්පිටිතාලවල වැඩකරන කොට ජීවිත වෙනස් වෙනවා ඇති.
ReplyDeleteමං අඳුණන එකෙක් ඉන්නවා හිටපු JMO කෙනෙක්. දැන් යුනිවසිටියක වැඩකරන පොර ගේ රිසර්ච් ඉන්ටරෙස්ට් දාලා තියෙන්නේ Torture කියලයි!
බුදු අම්මෝ!
ලියන්න කියලා තේ කොප්පෙක දමාගෙන ආ කොමෙන්ටුව කෙල්ලගේ හදිසි මරණයත් එක්ක අතින් වැටී බිඳී ගියා. මරණය දරා ගන්න ඔයාලා තරම් අපිට බැහැ. ඒක අපිට වේදනාකාරියි. [ඔය කිව්වට දොස්තරලටත් වේදනාකාරී ඇති. ඒත් වේදනා කීයකට රෙස්පොන්ඩ් කරන්නද?]
ReplyDeleteනෝ කොමෙන්ට්ස්.
හ්ම්ම් කථාව මොන වර්ගයට අයිති වෙනවද මන්දා මුල් ටික විහිලුයි වගේ අන්තිම හරියට යද්දි ඇස් දෙකට කදුළු බින්දුවක් නොදැනිම ආව ....
ReplyDeleteමාරයියගෙ තේ හැදීම බලන්න එන්න බැරි උනානේ තවම .... :(
මාරයියා කිවිවහම මටත් හිතුන මගේ මුල්ම කිරිතේ එකේ අත්දැකීම කියන්න ...
ආයෙ ලේසි පහසු පුතයෙක් නෙවි මුලින්ම හැදුවෙ කිරිතේ හරිය ...
ආතල් තේ හැදිල්ල ....
ස්ථානය : ගෙදර කුස්සිය
දිනය: මතක නැත ආතල් කොලුවා 6 වසරෙ ඉන්න කොට
වේලාව: හවස 5ට විතර හද්ද බඩගින්නක තට්ට තනියම ඉන්න වෙලාවක
හා හා පුරා කියල ගත්ත හොද ඇලුමිනියම් කෝප්පයක් පිරෙවුවා වතුර එකක් ගැහුව හීටරේ උතුරගත්ත වතුර නටන ගානට, ගත්ත වතුර කෝප්පයක් වෙනම (ඉස්සර මට තිබුනේ චුට්ටන් කෝප්පයක් නේ). දැන් තමා කේස් එක තේ හදන හැටි බලන් උන්නට මන් ඔය තේකොල අඩුමකුඩුම වල ගනන් මිමි දන්න එකක්යැ නිකන් මලකඩ කාපු මොලේනෙ කියල ටිකක් කල්පනා කලා ඔලුවට දැනෙන්නම. ආව සුපිරි අදහසක් ගත්ත තේකොල හැදි 2ක් දැම්ම වතුර කෝප්පෙට පෙරුව බලන්නත් දුකයි කෝප්පේ අඩිය පේන්නේ නැති ගානයි කහට නියම පදමට ගත්ත උණුවතුර තව කෝප්පයක් දැම්ම ටිකක් ලොකු කෝප්පෙකට හැලුව හදපු කහට එක හ්ම්ම් දැන් නියම ගාන වගේ (හැබැයි තාම අඩිය පෙනව හොරයි) වෙන දෙයක් වෙච්චාවෙ කියල හැලුව ඔක්කොම වතුර ටික අප්පා කරපු මෝඩකම තේරුනේ එතකොට කහට දාපු පාටක්වත් පේන්න නෑ ආයෙ දැම්මා තේකොල හැදි දෙකකුයි අරික්කාලකුයි දැන්නම් ගානට වගේ නිසා ගත්ත පිටි බෝතලේ ගැහුව හැන්දෙන් සවල් පාරවල් 2ක් දැම්ම පිටි හැදි 2ක් පිටි දැම්මත් පිටි දාපු ගතියක් පේන්නවත් නෑ ආයෙ ගත්ත පිටි හැදි 3ක් දැම්මා හ්ම්ම් නියම ගාන නෙස්ටමෝල්ට් වලට කහට දාල වගේ හිතට ටිකක් මදි වගේ නිස දැම්ම තව පිටි හැදි 4ක් විතර අපරාදෙ කියන්න බෑ මෝර අක්ක කිවුව වගේ කිරි පුඩිමක ආසන්න අවස්තාවට ආව මාත් අතෑරියෙ නෑ ගත්ත තේකොල බෝතලෙ හැලුව තව තේ හැන්දක් විතර ගානට ආව කියල හිතුනහම පෙරල ගත්ත
දැන් කේස් එක සීනි කොච්චර ඕනද තේ කෝප්පෙ සයිස් එකටනම් අනිවා සීනි හැදි 10ක් වත් ඕන මමත් ඕන වෙඩිමක් වෙච්චාවෙ කියල ඇරල දැම්ම පුරෝල සීනි හැදි 3ක්ම (කලින් කාපු කට්ට නිසා ටිකක් අඩුවෙන් දාලම ගේම පටන් ගන්නව කියල හිතුන) හොදට කලතා බීලත් බැලුවා අපරාදෙ කියන්න බෑ අම්ම හදන තැම්බුම් හොද්ද මීට වඩා හොදයි කියල හිතුනා :P ගත්ත ආයෙම සීනි බෝතලේ හැලුව සීනි තේ හැදි 3ක් හ්ම්ම් දිය කරල බැලුවහම නියම ගාන අපරාදෙ කියන්න බෑ කටේ තියන්න බෑ තාම කහට රහයි :P ආයෙ ගත්ත සීනි හැදි 5ක්ම දැම්ම මදි නොකියන්න අප්පා කටේ තියන්න බෑ හරියට සීනි වලට වතුර දාල වගේ මේක හරියන තොවිලයක් නෙවේ කියල දමල විසික්කරල දාන්නත් හදල කොහෙන්දෝ ආපු මොරාල් එකකින් ආයෙම හදන්න පටන් ගත්ත උතුරගත්ත තව වතුර කෝප්පයක් ගානට රස එනකන් ටික ටික වතුර වක් කලා ඔහොම කරල යාන්තන් පැය 1කින් විතර හදාගත්ත සිරා තේ එකක් අපරාදෙ කියන්න බෑ බලපුවහම මාත් බීල අම්මයි තාත්තයිත් බීල අල්ලපු ගෙවල් 2කට විතර බෙදලත් දෙන්න පුළුවන් තරමට තේ හදල මොනා කරන්නද බැදගත්තු බෙරේ ගහන්නත් එපැයි අම්මල එන්න කලියෙන් තේ එකට ගේම දෙන්න ඕන කියල ගත්තට කොහෙද උඟුරු 2යි බොන්න පුළුවන් උනේ මෙන්න දොරට ගහනව පුතේ පුතේ කියල හදවත නැවතුනා වගේ උනා මොකද කියනවනම් කුස්සියට යකෙක් පැන්නත් මෙච්චර පිස්සු නටන එක්කක් නෑ ....
දොර ඇරියහමයි කාරණේ දැනගත්තෙ අම්මයි තාත්තයි කඩාගෙන බිදගෙන දුවගෙන ඇවිල්ලා තියෙන්නේ මට තේ ටිකක් හරි හදල දෙන්න ඕන කියල මාත් ඉතින් ලොකු හපන් කමක් කලා වගේ කිවුවා අපරාදෙ මන් තේ හදාගත්තනෙ කියල අම්මට ඒ කිවුවට විශ්වාස නෑ ගියා කුස්සියට ලඟින් හිටි නිසයි ඇහුනේ කුස්සිය දැක්කහම අම්මට ඉක්කාවකුත් ආව :P තාත්තට කථා කලා එන්නකෝ වැඩක් පෙන්නන්න කියල තාත්තත් ආව කට කොනකින් හිනා උනා හොදට තේ හදල තියනව කිවුව හවස බීල හෙට උදේටත් බීල හෙට හවසටත් බීල අනිද්දා දවසමත් බොන්න තේ හදල නේද ඇහුවා ....
අපරාදෙ කියන්න බෑ අපේ තාත්තා ඉල්ලුවා කෝ ගේමු බලන්න පුතන්ඩිය හදපු තේ එකෙන් කෝප්පයක් කියල මාත් ඉතින් පපුව පුම්බගෙන ගියා තාත්තගෙ කෝප්පෙන් තේ පුරෝල එකක් අරගෙන තාත්තා උඟුරක් බීල හොදට හදල තියනව අම්මගෙන් අහගන්න කීව හදන විදිහ ඊළඟ පාර හොදට හදන්න කිවුවා මාත් කුසිසියට ආව අම්ම ඉන්න නිසා තාත්තගෙනුත් එක වැටුන නිසා අම්මත් උඟුරක් බීල කිවුවා හොදයි තව ටිකක් පුරුදු වෙන්න කියලා ඊට පස්සේ තමයි ඕන් ඇගට ලේ ටිකක් ඉනුවේ ආයිබෝන්
පසු සටහන:
පස්සෙ තමා දැනගත්තේ තේ වල රසය ගුණය ඔක්කොම විදල තියෙන්නේ පොළවෙ ඉන්න අහිංසක පණුවො කියල .... :P
කොහොමින් කොහොමහරි දන ගගා වැඩේ පුරුදු උනා දැන්නම් අපරාදෙ කියන්න බෑ තේ එකක් හදාගන්න පුළුවන් එක පාරින්ම හැබැයි ටිකක් කහට වැඩියට හිටින්න තමා හදාගන්නේ මොක්ද මන් ආස එහෙමනේ ....
තේ කතා.........!
ReplyDeleteමට තරම් තේ කතා කියන්න වෙන කාටවත් නැතිව ඇති. ඔන්න දැන් සමහර අය මඩ කතා කියන්න ඔට්ටු නෑ.
මට නම් තේකක් කියන්නේ ලංකාවට ආවම තැඹිලි ගෙඩියේ ගානටම සමාන දෙයක්. ඕනේ රශ්නෙක ඕනේ සීතලක මම ලංකවේදි තේ බොනවා. ඔය පාට කරපු බීම නොබොන මට ලංකාවෙදි තියෙන බීම බොහොම සීමිතයි.
මගේ තේ කතා වල කිලෝ මීටර් පහ දහය පයින් ගිහින් තියෙනවා තේ බොන්න. කාර් එකේ නම් කිලෝමීටර් 20 -25ක් වුනත්.
එක තේ එකක් වෙනුවෙන් තේ පහක් හයක් වෙනකම් රිජෙක්ට් කරපු අවස්ථාත් තියෙනවා. කොච්චර කීවත් ඔච්චර තේ හැදෙන රටේ හරිම තේ එකක් බොන්න නම් යන්න වෙන්නේ සුද්දගේ හෝටලයකට. මටත් හිතාගන්න බෑ තේ කොහොමද කිරියි සීනියි එක්ක එන්නේ කියලා. සමහර තේ තේ රස නෑ. සමහර ඒවා පැනි දිය කරලා වගේ. සමහර ඒවයේ කූඹි අම්මෝ තේ කියලා නොහිතෙන දේවල්.
මම කොහේ හරි ගිහින් සීනි නැති කිරි නැති තේ එකක් ඉල්ලන හැමවෙලේම ඒ මිනිස්සු හිතන්නේ මට දියවැඩියාව කියලා. ලේ අඩු ලෙඩක් තියෙන මට ලංකාවෙදි බොන තේ ගානට කෙලින් ඉන්න නම් (අර මැලවිච්ච පැලෑටියක් වගේ)වෙනම විටමින් ගන්න ඕනේ. එහෙම කියලා මම නම් අතාරියි තේ. කොහොමද නාල තෙත පිටින් ආවා වගේ දාදිය දාමින් තේ එකක් බොනකොට......
ඒත් ඔය තේ බීම ලංකාවෙදි විතරයි. මෙහෙදි ඉඳලා හිටලා විතරයි. හවසට පොතක් බලන ගමන් බදුල්ලෙන් හරේ ගෙනත් දීපු හකුරු එක්ක හරි අපේ මල්ලිගේ ආදරේ එක්ක ආව රස කැවිලි එක්ක හරි විවේකයෙන් තේ එකක්බොන ගමන් පොත් බලන වෙලාවල් තමයි වැඩි.
මගේ පොඩි මෑන්ලාත් මගෙන් පුරුදු වෙලා තේ බොන්න හෙන ආසයි. ඒ අයත් මම හදන තේ විතරයි. එරික් මම ලංකාවට ආව ගමන්ම කීවේ මෙහේ අය තේ හදන්න දන්නේ නෑ ඔයාගේ තේ වගේ රස නෑ කියලා.
අර මලී වගේ අය මම තේ බොන දිහා බලල අපෝ කොහොමද අනේ තිත්ත රසට බොන්නේ කියලත් අහනවා. ඒ වුනාට මම යන එන හැම ගෙදරකම මා වෙනුවෙන්ම ලොකු තේ කෝප්පයක් තියෙනවා.
ලංකාව ගැන නොදන්න හද්ද පිටිසර අරාබියෙකු පවා ෂායි සයිලාන් (අරාබි බසින් සිලෝන් ටී)කිව්වාම ලංකාව ගැන මතකයට නඟා ගන්නවා.
ReplyDeleteමේ වසර මුලදී ඊජිප්තුවේ රජය පෙරලන්න ජනතාව එක් රැස්වූ අවස්තාවලදී වැඩිපුරම පරිභෝජනය කරලා තියෙන්නේ තේලු.
අරාබීන් අතර මින්චි (ෆ්‍රෙෂ් මින්ට්) කොළ එක කර තේ හරිම ප්‍රසිද්ධයි, තවද එනසාල් ද එක් කර ගන්නවා. ඒ හැම ප්ලේන් ටී.
කzකස්තානයේ ලුණු, ගම්මිරිස්, හා ඇඹුල් රසැති උකුකල කිරි ද තේ වලට එක් කරගන්නවාලු.
http://globaltableadventure.com/2011/09/16/salty-salty-chai/
බූතාන වැසියෝ තේවලට බටර් එක් කරගන්නවාලු.
ඒ වගේම මසාලා චායි (ස්පයිසි ටී) තවත් විශේෂයක්.
http://globaltableadventure.com/2011/07/11/recipe-masala-chai-for-uncle-g-spiced-tea-with-milk/
තේ කතාව කෙසේ වෙතත් අර දරුවාගේ කතාව මේ පොස්ට් එක කියවූ හැමෝමව වෙනත් මානයකට අරන යනවා. ජීවිතයක් ජීවත් කරවන්න හැම උත්සාහයක්ම දරන අවස්තාවක ඒ දරුවා ඉල්ලුවේ අන්තිම වශයෙන් කියන එක නොදැනෙන්න ඇති. ජීවිතය කොහොමත් පුදුමාකාරයි.
අන්තිම කතාව නොදැම්මා නම් හොඳයි කියල හිතුන අක්කේ.
ReplyDeleteඅන්තිමට දාපු කසුන්ගේ කමෙන්ට් එක දැක්කම තමා මට ආයෙමත් කලිපනා කලේ මේ නලිනි අපිව හතර වටේ එක්ක ගිය හින්දා අපිට අහු උනේ නැහැ නේද කියන්න ගිය දේ කියන එක..
ReplyDeleteඑයා පටන් ගන්නේ
"මට ප්ලේන්ටියක් දෙනවද?"
මේ ඉල්ලීම මොන තරම් සරලද?
ඔන්න ඔහොමයි.. ඒත් ඒක බලන අපි ඒක සරලයි කියලා හිතාගෙන කතාව බලාගෙන යනවා..අන්තිමට අපි හිතනවා මේක ඒ හැටි දෙයක් නෙවෙයි කියලා...
ඒත් ඇත්තටම ඒක සරලද කියලා කල්පනා කරන්න ඕන අන්තිම සිදුවීමත් එක්කම තමයි...
"මට ප්ලේන්ටියක් දෙනවද?"
මේ ඉල්ලීම මොන තරම් සරලද?
ඇත්තටම ඒක සරලද..?
මම නම් ප්ලේන්ටි බොන්නේ නෑ. කොහේ හරි ගියහම එක එක ගානට හදන තේ බොන්න හිතෙන්නෙම. නෑ. උදේට බොන ටී එක ඇරැනහම ආයේ බොන්න කැමති අතට සීනි ටිකක් දානෙ කුස්සියේ හිරමනේ උඩ වාඩිවෙලා හොදවයින් කහට කෝප්පයක්.
ReplyDeleteසමහරවෙලාවට වඩා හොඳදේ කරන්න ගියත් ඒක ඒ වෙලාවෙ සුදුසුම දේ නොවෙන්න පුලුවන්. ඒ පුංචි දරුවා ගැන ලොකු දුකක් ඇති වුනා.
ReplyDeleteමැණික්
පෝස්ට් එකයි, කොමෙන්ට් ඔක්කොමයි කියෙව්ව. තව කියන්න දේවල් ඉතුරු වෙලා නැහැ වගේ.
ReplyDelete"You should be ashamed of yourself ! your country produces the best tea in the world but you don't know the taste of it. You all drink sugar syrup.. not tea !!ඕක කිවුවේ රොජර් ටර්න්බුල් කියන මගේ එක්ක එක සමාගමේ වැඩ කල සුද්දා 1991 දී .. මම අන්තිමට සීනි දාල තේ බිවුවේ ඊට ඉස්සරින් දා.. දැන් මට සීනි දාල තේ බොන්න බැහැ අප්පිරියයි.. හැබැයි කිතුල් හකුරු එක්ක තේ ලීටරයක් විතර බොන්න පුළුවනි..
ReplyDeleteමෙන්න අර මං නොලියු තේ කතාව. කෙල්ලගේ මල ගේ දැකලා සිනහ ස්නායුව අඩපන උනා අර වෙලාවේ.
ReplyDeleteස්ථානය: මොරටුව කැම්පස් එකේ "පෙන්ගුයින් කැෆේ" එක [අර ගොසිප් සයිට් එකේ ගිය බල්ල මාක් එක තමා]
පුද්ගලයා: කවුන්ටරයේ හිටි වෙනදාට වැඩිය පෙනෙන්නට නොහිටින කෙල්ලකි.
මම: ඔයාලා ළඟ මැෂින් එකේ හදන ටී තියෙනවද?
[තේ "කුඩු" රී-යුස් කිරීමෙන් ඇතිවෙන ජරා රහ නිසා මං අතින් හදන තේ බොන්නේ නැත]
කෙල්ල: ඔව්
[කවදාවත් මුන්ගේ ටී මැෂිම වැඩ නොකරන නිසා]
මම: මං ඉල්ලන්නේ මැෂින් එකේ ටී එකක්
කෙල්ල: හරි තියෙනවා
මම: ....... එක්ක මැෂින් එකෙන් ටී එකක්.
[කෙල්ල කෝප්පයකට යමක පුරවා දෙයි. ආසනයට ගොස් සැක හැර ගන්නට ටිකක් බිව්වම මේක කෝපි]
මම: [ආපහු කවුන්ටරයට ඇවිත්] මේ කෝපි නේ. මං ඉල්ලුවේ තේ
කෙල්ල: මේ ටී එකක්
මම: මේක කෝපි එකක් තේ නොවේ
කෙල්ල: ඕක තේ නොවේ කෝපි. හැබැයි ඕක ටී එකක්.
[මොකක්?]
මම: මං කියන්නේ තේකොල දාලා හදන එකකට.
කෙල්ල: ඕක කිරිදාපු ටී එකක්. හැබැයි ඕක කෝපි. මැෂිමේ තේ දාලා හදන එක කැඩිලා.
මේ කියන හැටියට ටී කියන්නේ කිරි දාපුවට. ප්ලේන් කියන්නේ කිරි නොදාපුවට. ඒ කියන්නේ කොෆි ටී එකක් උනත් ගන්න පුළුවන්.
මට එකසිය ගානට මල පැන කැන්ටිමේ වෙන මනුස්සයෙකුට මේ කතාව කියූ විට වෙන දෙයක් බොන්නට ලැබුණි.
අපිට මහලොකුවට හිතෙන දේවල් අන්තිමට ලොකු දෙයක් නෙවෙයි නලිනි. ඒ ළමයා ඔයාගෙන්ම තේ එකක් ඉල්ලන්න ඇත්තේ සමහරවිට ඔයාගේ ආදරේ එයාට දැනිලා වෙන්න ඕනේ. ඒත් ඉතින් ඒ වගේ තේ එකක්ම ඉල්ලන්න නම් එයාට තේ එක්ක ලොකු බැඳීමක් තියෙන්න ඇති. හරියට අර තව කෙනෙක් වගේ.
ReplyDeleteඔයාගේ හැඟීම තේරුම් ගන්න පුළුවන්...
ReplyDeleteඒත් මට මෙහෙම හිතුන - ඒ ළමය ඔයාගෙන් 'තේ එකක්' ඉල්ලුවට, ඇත්තට ඒකෙන් හැඟෙන්නේ එයාගේ ජීවත් වීමේ ආසාව නේද? ඔයා උත්සහ කරේ එයාට ජීවිතය දෙන්න. ඉතින් ඔයා ඇත්තටම එයා ඉල්ලපු දේ තමයි දෙන්න මහන්සි උනේ :)
මෙන්න මගේ තේ කතාව - ලජ්ජාවෙන් හරි කියන්න වෙන්නේ ඉස්කෝලේ 7 වසරේදී ජීවන කුසලතා පාඩමේ 'තේ කෝප්පයක් සැදීම' පාඩමට තමයි පලවෙනි තේ එක හැදුවේ. එකත් තේ කෝප්පෙට තේ කුඩු තේ හැඳි පුරවල 2 දාගෙන අන්තිමට තේ ගංගාවක් උනා! ඒ දවස් වල මම තේ එක්ක තරහයි. මොකද 6 වසරේ ඉංග්‍රීසි පේපර් එකට තේ කෝප්පයක් හදන හැටි අහල තිබිල, මම දන්නේ නැති ව බොරු ලියල ලකුණු අඩු වෙච්චි හන්ද, පන්තියෙන් වැඩි ලකුණු ගන්න තිබ්බ චාන්ස් එක නැති උන නිසා (හැබැයි අදත් මම හිතන්නේ ඉංග්‍රීසි පේපර් එකෙන් මනින්න ඕන ඉංග්‍රීසි දැනුම මිසක් ගෘහ විද්‍යා දැනුම නෙවෙයි කියල).
අදටත් මම සාමාන්‍ය තේ බොන්න එච්චර ආස නැහැ. කෝපි තමයි මම කැමති. බිව්වත් බොන්නේ ප්ලේන් ටී. මටත් කිරි දාපු තේ අප්පිරියයි. හැබැයි හෙම්බිරිස්සාව වෙලාවට නම් ඉඟුරු තේ එකකට ගහන්න වෙන මොකටවත් බැහැ.
හැබැයි ඉන්දියානු මසාල තේ එකටත්, සමන්පිච්ච සුවඳ දෙන ග්‍රීන් ටී එකටත් ගොඩක් ආසයි...
කමෙන්ට් ටික කියවන්න දවසක් නිවාඩු ගන්න එපැයි. [ඔව් ඔව් නිවාඩු ඇයි අපිට ගෙදර වැඩ වලින් නිවාඩු ගන්න බැරිද ]
ReplyDeleteලියන්න ගොඩක් දේ තියෙනවා . ඒත් ගැහැණු ළමයාගේ කතාව දැක්කම මොනවටද කියල හිතුන . මේ වගේ දවසුත් තියනවා ...මොකවත් ලියන්න කියන්න නොහිතෙන
"මට ප්ලේන්ටියක් දෙනවද?"
ReplyDeleteනලිනි අක්කා/..කියන්ඩ දේවල් දාස් ගානක් හිතෙ එනවා යනවා! ඒත් එකක්වත් කියාගන්න බෑ..
එකක් කියන්නම්././// නලිනි අක්කේ ඔයාගෙ ජීවන දෘශ්ටිය ඔයා අකුරු කරන හටි දකිද්දි ලංකාවේ ආයෙමත් හොඳ නවකතා කෙටිකතා වසන්තය්ක් උදාවේගෙන එනවදෝ හිතෙනවා......
මම හිතන්නෙ පොත් වෙනුවට බ්ලොග් කියවන පුරුද්දකින් දැන් ජීවිතේ පිරෙන්නේ ඔයා වගෙ අයගෙ හරවත් වැදගත් ලිවීම් නිසා....
ජය!
ආපෝ...අපේ ගෙවල්වල ඉන්න තේ කිංලා.... ගෙට ගොඩවෙන්නෙම 'මට තේ එකක්...' කියාගෙන. දවසට තේ හයක් හතක් හැදෙනවාමයි..... වැඩිපුර කිරි තේ..... මම නම් ආස අඩු සීනි ප්ලේන්ටියට.... සීනි වැඩිඋනොත් බොන්න අප්පිරියයි....
ReplyDeleteඅර දරුවගෙ කතාව නම් කියෙව්වෙ නැත්නම් හොඳයි කියලා මට හිතුනා...
එහෙම දවසුත් තියෙනවා....
මට නම් තේ ගැන කියන්න හිතට ආපු කතා අහුරක්ම වීසි කරල දාන්න හිතුන අර ගෑනු ළමයගෙ කතාව කියෝපුවහම...
ReplyDeleteමනුස්සයෙකුගෙ හිතේ ඇතිවෙන ආසාවල් හරි පුදුමයි නේද...
තේ ගැන මං කියෙව්ව හොඳම ලිපිය....
ReplyDeleteහැමදාම කියවන්න හිටියත් අදයි නිදහසක් ලැබුනේ . .
ReplyDeleteමුල් ටික බලද්දී හිනා . .
ඇත්තෙන්ම මෙහේ (ඩුබායි ) ඉන්නකොට නම් අපිට ලොකු ප්‍රශ්න වෙන්නේ නෑ තේ සම්බන්ධව . .
මොකද තේ ඉල්ලපුවාම වතුරට ටී බෑග්ස් දාලා හරි නොදා හරි ලැබෙන්නේ සීනි, කිරි වෙන වෙනමත් එක්කනේ . .
ඒත් සාමාන්‍ය තැන් වලදී (මලබාරි හෝටල් වලදී) එහෙම බෑ . .
ප්ලේන්ටියක් ඕන නම් සුලෙයිමානි කියලා ඉල්ලන්න ඕන . . .
කහට ඕන නම් සුලෙයිමනි නෝ සුගර් කියන්න ඕන . . .
තේ කොලත් කිරිත් ලිපේ තියෙන පෝච්චියට දාලා තැම්බි තැම්බි තියෙන එකෙන් දෙන තේ එක චායි,
ටී බෑග් එක දාලා දෙන කිරි තේ එක ලිප්ටන් චායි . .
මම නම් දවසට හය පාරක් විතර තේ බොන එකෙක් . .
අහම්බෙන් දවසක මිසක් තේ සීනි පොඩ්ඩක් හරි නැතුව බොන්න හිත හදාගන්න බැරි හැටි තාම
ohoma sanweedi katha liyanna epa sister! mmm! :'(
ReplyDeleteමාත් මගේ තේ එකේ ස්පෙසිෆිකේශන්ස් ( ඒ කියන්නේ ,සීනි ,කහට , කිරි ,නෙස්කැෆේ , කෝපි දාන ප්‍රමාන ) ගැන හරිම උනන්දුවෙන කෙනෙක් .ඔෆිස් එක වගේ නිතර තේ බොන තැන් වලට ඒවා දැනුම්දීල තියෙන්නේ .
ReplyDeleteඒත් අද මේ මුලු කතාවම නිවී සැනසිල්ලේ කියවගෙන ගියහම මට හිතුනේ ජීවිතේ සතුටුවෙන්න ,ප්‍රිය හමුවීම් , ස්ට්‍රෙස් තුනී කරන්න , බඩ පුරවගන්න කියලා අපි බොන තේ එක තව කෙනෙක්ගේ ජීවිතේ අවසාන ඉල්ලීම වුනහැටි .
එහෙම දේවලුත් වෙන ලෝකෙක ඔෆිස් එකේ තිලක් හදන මගේ තේ එක පරක්කු වුනහම , එහෙම නැත්නම් මාව අමතක වෙලා තේ බෙදුවම , වැඩියෙන් තේකක් හදල දෙන්න හවස පහෙන් පස්සේ කවුරුත් නැතිවුනාම ,තිලක් නිවාඩු ගිහින් තේ නැතිවුනාම මොකට කේන්තිගන්නවද ,දුක්වෙනවද කියලා හිතුනා .අර පොඩි ලමය තේකක් නොලැබිම ඇහැපියාගත්තු එකේ ඔහොම පොඩි දෙයක් ඉවසන්න මට බැරිනම් වැඩක් නෑ කියලා හිතුනා