Friday, November 4, 2011

දන්න අය දන්නවා.....

නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව ගත්තොත්, නොයෙකුත් උත්තර හම්බෙන්නට පුළුවන්. නමුත් දන්න අය දන්නවා, මිනිස්සු ඇඳුම් අඳින්නට පුරුදු වුණේ අත පිහ ගැනීමට බව.

බොහෝම ඉස්සර කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙ නෑ. කෑවට පස්සෙ, අත් හෝදගෙන, අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඉන්නවා වේළෙනකම්. කොටින්ම ආපන ශාලා ආදියෙහි වෙනම කොටසක් වෙන් කරලා තිබුණා මෙහෙම අත් වේළන්නන් වෙනුවෙන්. අව්වෙන් අත් වේළන්නට මිනිස්සු අකමැති වුණු හින්දා, සිසිල් මඳ පවන සහිත එළිමහනක, වාඩි වෙන්නට බංකු තියලා, ඒ ඉදිරියෙන් අත් වේළෙනතුරු බල බල ඉන්නට මලින් බර පුංචි උයන් කෑල්ලක් එහෙමත් හදලා තිබුණා. කොටින්ම, මිනිස්සු ආපනශාලාවකට යන්නට පෙර සොයා බලන්නෙ එතන කෑම හොඳද කියලා නොවෙයි, අත් වේළන උයනෙ තියෙන මල් මොනවද කියලා. මේ හින්දා ආපනශාලා හිමියන් අතර තරගයක් ඇති වුණා තමන්ගෙ අත් වේළන උයනෙ වෙනසක් තුළින් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට; මොකද, කෑමනම් ඉතින් හැමතැනම එක වගේනෙ.

එක් ආපනශාලා හිමියෙක් වෙනස්ම විදිහකට කල්පනා කළා. මොන මල්ද කියලා තෝරනු වෙනුවට ඔහු තමාගෙ අත් වේළන උයනට ගෙන්නුවා මිනිහෙක්.

ඔව්, මිනිහෙක්.
මිනිහෙක් කිව්වට නිකම්ම මිනිහෙක් නෙවෙයි. බොරු කීමට දක්ෂ මිනිහෙක්. මේ මිනිහා අත් වේළන අය ඉදිරියෙ හිටගෙන බොරු කියන්නට වුණා. මිනිස්සු මේ මිනිහගෙ බොරු අහලා පුදුමයට පත් වුණා. ඒවා විශ්වාස කරලා රැවටුණා. පස්සෙ ඒවා බොරු බව දැනගෙන තවත් පුදුම වුණා. පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා.

ඉක්මණීන්ම අනික් ආපන ශාලා හිමියනුත් බොරු කාරයන්ව හොයා ගත්තා. බොරු කීම රැකියාවක් කර ගත් මිනිස්සු එන්න එන්නම වැඩි වුණා. ඔවුන් අතරෙත් තරගයක් ඇති වුණා. සමහර විශාල ආපනශාලාවල බොරු කියන මිනිස්සු කීපදෙනෙක් එකවර, එක පෙළට සේවය කරන වෙලාවල් පවා තිබුණා. වඩා හොඳින් බොරු කියන්නට දත් මිනිස්සු තමන්ගෙ හැකියාව වෙනුවෙන් වැඩිපුර සැළකිලි බලාපොරොත්තු වුණා. වඩාත් හොඳින් බොරු කියන බොරු කාරයින් ඉන්නා තැන්වලට ගොස් අත් වේළීම නම්බුවක්යැයි සාමාන්‍ය මිනිස්සු කල්පනා කළා.

කෑම බීම වලට වඩා බොරු කාරයින් ගැන මිනිස්සු සැළකිලිමත් බව දුටු ආපනශාලා හිමියන් බොරු කාරයින්ට වඩාත් හොඳින් සැළකුවා. ආපනශාලාවල ඉතිරි වෙන සියළුම කෑම ඔවුන්ට නොමිළේ දුන්නා. මේ නිසා බොරු කාරයන් ටික ටික තරබාරු වුණා. කොහොමත් කෑම ටික හම්බෙන හින්දා ඔවුන් කම්මැළි වුණා. අලුතින් බොරු ගොතා කියනු වෙනුවට, ඔවුන් හැමදාම එකම බොරු ටික කියන්නට වුණා.

අත් වේළන මිනිස්සුන්ට හැමදාම අහන මේ බොරු අහලාම එපා වුණා. ඒ නිසා ඔවුන් බොරු කාරයන් කියන දේවල් අහන් ඉන්නවා වගේ පෙනුණට, ඉන් එපිට තියෙන උයනෙ මල් දිහා බලන්නට පෙළඹූණා.

ඕනෑවට වඩා කෑම ලැබීමෙන් තරබාරු වී සිටි බොරු කාරයින්ගේ විනිවිදභාවය අඩු වෙලා තිබුණා. මේ නිසා මිනිස්සුන්ට උයනෙ මල් හොඳින් පෙනුණෙ නෑ. එතකොට මිනිස්සු කලබල වුණා.

ඔවුන් ආපනශාලා හිමියන්ට පැමිණිළි කළා. විනිවිදභාවයක් නැති බොරු කාරයින්ව ඉවත් කර නැවත මල් උයන් බැලීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඒත් බොරු කාරයින් බොරු ගොඩක් කියා ආපනශාලා හිමියන්ව රැවැට්ටුවා; තමන්ව දිගටම සේවයේ යෙදවිය යුතු බව ඔවුන් ආපනශාලා හිමියන්ට ඒත්තු ගැන්නුවා.

තමන් කැමති පරිදි අත් වේළීමේ මානව අයිතිවාසිකම අහිමි වීම නිසා මිනිස්සු කෝප වුණා. ඔවුන් එකතු වෙලා නඩු කාරයෙක් හොයාගෙන ගියා.

ඒ කාලෙ නඩු අහන්නෙ දැන් වගේ නොවෙයි. නඩු කාරයා කාමරේකට වෙලා ඉන්නවා. එක් එක් පක්ෂය ගිහින් වෙන වෙනම නඩු කාරයා හම්බෙනවා. ඊට පස්සෙ නඩු කාරයා අපක්ෂපාතී තීරණයක් දෙනවා.

ඉතින් නඩු කාරයා කාමරේට වෙලා හිටියා. මුළින්ම ඇතුළට ගියෙ සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා.
"නඩුකාරතුමනි, ආපනශාලා හිමියන් බොරු කාරයින්ව සේවයේ යොදවා ඇති හින්දා, අපට අත් වේළෙනතුරු මල් බලන්නට විදිහක් නෑ."
ඔවුන් කියා සිටියා. නඩු කාරයා බොහොම කෝප වුණා. ඔහු නැගිටලා අඩි පොළොවෙ හප්පලා මෙහෙම කිව්වා:
"මොනවා?"

ඉතින් මිනිස්සු ආයෙමත් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා. එතකොට නඩුකාරයා ආයෙත් සන්සුන් වෙලා ඉඳගත්තා. ඉඳගෙන අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
මිනිස්සු මූණෙන් මූණ බලා ගත්තා. හැමෝම ළඟ එක එක දේවල් තිබුණු නමුත් කවුරුත් කැමති වුණේ නෑ තමන් ළඟ තිබුණු දේවල් නඩු කාරයට දීමට. තමන් ළඟ තිබුණු දේවල් දුන් පසු, අනෙක් අය නොදී හිටියොත් තමුන් මෝඩයෙක් වෙන බව හැමෝම කල්පනා කළා.

නඩු කාරයා අත ආපහු ගත්තා. "කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ආපනශාලා හිමියන් ඇතුළට ගියා. ඔවුන් කිසිම දෙයක් කිව්වෙ නැහැ; නඩු කාරයා අත දික් කරන තුරු හිටියෙත් නැහැ. ඔවුන් තමන්ගෙ සේවකයන්ට අණ කළා ආපනශාලාවල තියෙන හොදම කෑම නඩු කාරයගෙ නිවසට ගෙන යන ලෙසට. ඒ නඩු කාරයට කරන ගෞරවයක් විදිහට. නමුත් අණ කරන ගමන් ඔවුන් සේවකයන්ට ඇස් ගැහුවා.

නඩු කාරයා ඔහුගෙ බුද්ධිමත් ඇස්වලින් ආපනශාලා හිමියන් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ඇතුළට ගියෙ බොරු කාරයින්. ඔවුන් දක්ෂ විදිහට කතා කළා; තමන් දිගටම සේවයේ යෙදී සිටිය යුත්තෙ මන්ද, හෙමින් පිපෙන මල් දෙස බලා සිටීමෙන් මිනිසුන්ගෙ ඉවසීම නැති වී ඔවුන්ට අධික රුධිර පීඩනය හැදෙන්නේ කෙසේද, අසා සිටීම වෙනුවට බලා සිටීම තෝරා ගැනීමෙන් වැඩ කරන කාලය අඩු වන්නේ කෙසේද  වගේ බරපතල කරුණු ඔවුන් සාකච්ඡා කළා.

නඩු කාරයා ඔහුගෙ අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
බොරු කාරයින් එකිනෙකා සමග තරගයට කතා කරන්නට වුණා. තමන් නඩු කාරයා වෙනුවෙන් කරන්නට සිටින බොහෝ දේවල් ගැන ඔවුන් කිව්වා; එකිනෙකට නොදෙවෙනි ආකර්ෂණීය පොරොන්දු රාශියක් ඔවුන් නඩු කාරයාට දුන්නා. එකවර දිය හැකි දේවල්, කොටස් වශයෙන් දිය හැකි දේවල්, වසර දහයකින් දිය හැකි දේවල් ආදී වශයෙන් විවිධ දේවල් ගැන ඔවුන් පොරොන්දු වුණා.

නඩු කාරයා අත ආපහු ගත්තා. ඔහු බලාපොරොත්තු පිරි දෑසින් බොරුකාරයින් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊට පස්සෙ නඩු කාරයා කාමරෙන් එළියට ඇවිත් තීරණය දුන්නා.
"මිනිස්සු අත් වේළීම සඳහා අනවශ්‍ය තරම් කාලයක් වැය කරන බව පෙනී යනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා." ඔහු කිව්වා.

ත්‍රිපුද්ගල කමිටුව කාමරේක රැස් වුණා. අත් වේළීම වෙනුවට මිනිස්සු අත් පිස දැමීමට පුරුදු විය යුතුයයිද, ඒ සඳහා නිරතුරුව බෙල්ලේ රෙදි පටියක් එල්ලාගෙන සිටිය යුතුයයිද ඔවුන් නිර්දේශ කළා.

ඊට පස්සෙ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නට පුරුදු වුණා. කාලයත් එක්ක වෙනස් වෙවී ඇවිත් අද තියෙන ඇඳුම් බවට පෙරළුණේ ඒ රෙදි පටිය. ඒත් අදත්, මුල අමතක නොකරන හොඳ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නවා; තමන් මල් බැලීමටවත්, අත් වේළීමටවත් කාලය නාස්ති නොකරන බවත්, අණට කීකරු බවත් ඔවුන් එයින් පෙන්නුම් කරනවා.


ඒ තරම්ම නිහතමානී නොවුණත්, අනික් මිනිස්සුත් වට පිට බලලා, ඇඳන් ඉන්න ඇඳුමෙ අත් පිහින එක අදටත් කරනවා.

මිනිස්සු අත් පිහ දමන්නට පටන් ගත් නිසා බොරු කාරයින්ට ආපනශාලාවල රස්සාව නැති වුණා. නමුත් ඔවුන්ගෙ හැකියාව නිසා වෙනත් රැකියා අවස්ථා ලැබුණා.

හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා.


ප.ලි. මං පව්. මට වැඩ වැඩියි මේ දවස්වල.

40 comments:

  1. මං පව්!!!
    දන්නෝ දනිති! මම නොදනිමි!

    දැන්නම් ආපන ශාලාවල මල් කඩන්නම කියලා තැන් හදල තියෙනවලු නේහ්..?

    ReplyDelete
  2. මං මඤ්ඤං...
    හිතලා බලලා ආයේ ලියඤ්ඤං...

    ReplyDelete
  3. ඉතින් ඊටත් පස්සේ නඩුකාරය තීරනයක් ගත්තා බොරුකාරයෝ ටික ඔක්කොම අල්ලලා කවුරුවත් නැති දූපතකට ගිහින් දන්න. ඒ සැරේ ඔක්කොම බොරුකාරයෝ අල්ලලා නැවකට දාල, මුහුදේ පාකරලා යැව්වා. ඒ නැව පාවෙලා පාවෙලා ආසියාවට ආවා. ඊටත් පස්සේ ඒක ගොඩ ගැසුවා. අඹ ගෙඩියක් හැඩේට තියෙන දූපතකට. මෙතැන් සිට මේ දූපතේ ජීවත් වෙන්න මේ බොරුකාරයෝ ටික හිතා ගත්තා.

    ReplyDelete
  4. බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහ ගෙන ඉන්න මිනිස්සු ආන් මුල අමතක කරලා, තමන්ගෙ හොඳත් අමතක කරමින් ඉන්නවා..නිහතමානි කම පැනලා යනවා පස්ස දොරෙන් ! කොහෙද ඔබට වැඩ වැඩි නිසා..ඔබ දකින්න නැහැ..!

    ReplyDelete
  5. මෙච්චර දවස් අනේ මාත් ඔය බෙල්ලේ එල්ල ගෙන ඉන්න එක පාවිච්චි කරන්න ඕනේ එකට කියලා මම දැන ගෙන උන්නේ නැනේ අක්කෝ.. අනේ එහෙමනම් මම ඒක අයේ ඒ දේටම පාවිච්චි කරන්නම්කෝ

    ReplyDelete
  6. බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහ ගෙන ඉන්න මිනිස්සු?
    අම්මෝ බය හිතෙනව අප්පා....
    වෙදනා කතාව සම්පූර්ණ කරල හරි අගෙයි....

    ReplyDelete
  7. නඩුකාර උතුමා තමන්ගෙ කාමරේට වෙලා චූටි බබෙක් වාගෙ නඩුවක් අහගෙන පාඩුවෙ ඉන්නකොට එක පාරටම වසංගතයක් වගේ ලෝයර්ස්ලා කියලා ජාතියක් බෝ වුණා.මේ බෝ වීම එන්න එන්නම වැඩි වුණා.කොයි තරම් වැඩි වුණාද කියනවා නම් අත් වේලන උයන්වල ලොකු කොටසක මෙයාලට ඉන්න නොයෙක් හැඩවලට කුටි හදන්නත් පටන් ගත්තා.දැන් මිනිස්සුන්ට එක පාරට නඩුකාරතුමාගේ කාමරේට නඩු කියන්න යන්න බැරි වුණා.මොකද නඩුකාරතුමා ළඟට යන පාරෙ දිගටම ලෝයර්ස්ලා කියන ජාතිය ඉන්න කුටි හදලනෙ.මිනිස්සුන්ට උදව්වක් විදිහට එයාලා කැමති වුණා නොයෙක් ප්‍රශ්න නඩුකාරතුමා ළඟට අරගෙන යන්න.
    එතුමන්ලා එපා....කියලා කෑ ගහද්දිත් මිනිස්සු හිත හොඳින් මොනරෙක්,දෙන්නෙක් තෑගි දෙන්න පටන් ගත්තා.අනේ මන්දා ඊට පස්සෙ නම් මොනා වුණාද කියලා.

    ReplyDelete
  8. මම දෙවියන් පිළිගන්නේ නෑ. ඒත් ඔබ දෙවියන් විසින් මෙලොවට එවපු කෙනෙක්දෝ කොහෙද. මා සිතන්නේ ඔබ තෝරගෙන තියෙන්නේ වැරදි ක්ශේෂ්ත්‍රයක්. ඒ වගේම දෙවියන් ඔබ එවා තියෙන්නේ වැරදි රටකට. ඔබට ලංකාවේ අරුන්දති රෝයි කෙනෙක් වීමේ සියලු සුදුසුකම් තියෙනවා. මේක ශ්‍රේෂ්ඨ නිර්මාණයක්..

    @ කාංචනා අම්ලානි
    ඊට පස්සේ මොනරු මාර මාකට් උනාලු ඔය ලෝයර්ලගේ කාමර ගාව කතරගම පැත්තේ සමන් කියල පොරක් තමයිලු මොනරු විකුනුවේ. පස්සේ මොනරු හින්දම පොර මාර මාකට් උනාලු. දැන් පොර එතන නෑලූ. කතරගම ගිහින් සමන් හම්බ වෙලා එයාට මොනර පූජාවක් කොරන්නම ඕනලු. ඊට පස්සේ තමයිලු ලෝයර්ලට මොනරු දෙන්න සමන් පර්මිට් දෙන්නේ.

    ReplyDelete
  9. තේරෙන හැටියට නං තඩිම තඩි හින්ට් එකක් ගහලා වගෙයි...

    ReplyDelete
  10. රුසියන් කථාවක පරිවර්තනයක් වාගේ ;-)

    ReplyDelete
  11. හික්ස්...නියම කතාව අක්කා...
    අක්කා කොහොමත් හරිම නිර්මාණශීලී විදිහට පහර ගහන්න ඕනෙ තැන් වලට පහර ගහනවා.

    ReplyDelete
  12. "මුල අමතක නොකරන මිනිස්සු තාම බෙල්ලේ රෙදි පරිය බැදගෙන ඉන්නවා"

    එක අතකට ලංකාවේ කීයෙන් කී දෙනාද ඔය දේ කරන්නේ.. මංවත් නෑ.. අර මහ වෙදනා අයියා කතාව සම්පූර්ණ කලා වගේ ඒ බොරු කාරයෝ මෙහේ ඇවිත්ද කොහේද.. රෙදි පටියට වෛර කල ඔවුන් ඇදන් ඉන්න ඇදුමෙම අත පිහිදුවා..

    ReplyDelete
  13. මම මේක කියවලා පුදුම වුණා... මේ රුසියානු කෙටිකතාවක් කියලා රැවටුණා... පස්සේ එහෙම නෙමෙයි කියලා මතක් වෙලා තවත් පුදුම වුණා... පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා...

    ඊට පස්සේ "මා බාල කාලේ" කියන එක අමාරුවෙන් හොයාගෙන ආයෙත් කියෙව්වා... ඒ කියවලා සතුටු වුණා... සතුටු වෙලා දිගටම පුදුම වුණා...

    :D :D

    ReplyDelete
  14. වෙද ගෙදර මහ වෙදන 100% හරි නැහැ, උං ටික ආසියාවෙ දුපතකට විතරක් සීමා වුනා කියල අපිට හිතෙනව ඇත්තෙ අපි ඒ දුපතේ කට්ටිය නිසා.
    බලන කොට උං ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා, තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බව තමා පේන්නෙ.

    ReplyDelete
  15. මට ටිකක් වෙලාව අඩු නිසා වෙන වෙනම ස්තුති කරන්නවත් සංවාදයකට එන්නවත් අපහසුයි මේ ටිකේ. ඒත් මට සතුටුයි කට්ටිය කතාව ඉදිරියට ගෙනියන එක ගැන. එතනින් පස්සෙ මොකද වුණේ.... මම හිතන්නෙ කට්ටියටම රසවත් සිතුවිලි එනවා ඒ ගැන. එහෙම කතාව නොයෙක් අතට, දිගින් දිගට ගොඩනැගෙන හැටි කියවන්න ආසයි.
    [ලෝයර්ස්ලා ගැන පොඩි කොටසක් හිතේ තිබුණු නමුත් මම ඒක අයින් කළා. :D (නිකම් මොකටද මිනිස්සු තරහ කරගන්නෙ?)]

    හැමෝටම බොහොම ස්තුතියි.

    ReplyDelete
  16. කෑමට අඳින්න පුරුදු වූ ඔවුන්, කා ඇද ඇද අත් පිසලා ගන්න පුරුදු වූ ඔවුන් ඇඳුම රඳවා ගැනීම ගැන එතරම් උනන්දු නොවූහ.

    ReplyDelete
  17. මං පව්
    මං නම් මේක ගැන මොකුත් කියන්නේ නෑ..
    ලෝයර්ස්ලා තරහා කරගෙන බෑ :-D

    ReplyDelete
  18. ඊට පස්සේ මේ බොරු කාරයෝ කෂ්ටිය තීරණය කළා දේශපාලනයට හොඳම සුදුස්සෝ ඒ ගොල්ල කියලා. දැන් ඒ ගොල්ල දේශපාලකයෝ වෙලා අර ගොන් වහන්සේලා ඔක්කොම දිගටම අන්ද අන්ද ඉන්නවා. බොරු නම් බලන්නකෝ ඒ අයගේ රුප සොභාව. කාල කාල තඩි වෙලා නැද්ද කියල..

    ReplyDelete
  19. රුසියන් කෙටි කතාවක් වගේ තමයි.. හරිම නිර්මාණශීලියි..

    මිනිස්සු තමන් ලඟ තිබුණු දේවල් නඩුකාරයට නොදුන්නෙ අනිත් අය නොදුන්නොත් තමන් මෝඩයෝ වේවි කියල හිතලද? නැත්නම් නඩුකාරය ත්, බොරුකාරයො එකතුවෙලා පත්කරපු අතකොළුවක් කියල දන්න නිසාද? එහෙම නැත්තං බොරුකාරයොන්ගෙ හෙංචයියො, නඩුකාරයගෙ කාමරෙන් එළියෙ සුදු වෑන් තියාගෙන රැකගෙන ඉන්න නිසාද?

    ReplyDelete
  20. @ කාංචනා අමිලානි,
    මම නං අහල තියෙන්නෙ අර බොරුකාරයො ටිකම පස්සෙ ලෝයර් ලා වෙලා පාඩුවේ ගාන කපාගෙන ජීවත් වුනා කියලා.

    ඔය දොරවල්වලට තිරරෙදි දාන්ඩ ගත්තෙත් ඔය අත් වේලන කේස් එක නිසාලු නේද?

    ReplyDelete
  21. මට නම් මෙ කතාව කියවගෙන යනකොට අපෙ fm චැනල් සිහිඋනා මම බැලුවෙ ඒ ගොල්ලො ගැන කියන කතාවක්ද කියලා

    ReplyDelete
  22. මම මේ පෝස්ට් එක කිහිප පාරක්ම කියෙව්වා.
    මම තාමත් කියවනවා මේ. ම්ම්ම්හ්හ්හු කිසි දෙයක් කියා ගන්න වචන එන්නේ නෑ තාම.
    එතකොට මම දන්නවා එතන ඉන්නේ(ලියන්නේ) නලිනි කියලා හැබැයි.

    ReplyDelete
  23. මාත් පව් වී ඇත.

    නොන්සේන්ස් ජෙන්රියේ තවත් පියවරක්.

    ReplyDelete
  24. කියෙව්වට කමෙන්ටුවක් දාන්න බැරි වුනා නේ . නලිනි අවන්කවම කියන්නේ ඔයාට හරිම ටැලන්ට් එකක් තියෙන්නේ . අමුතු විදිහට හිතන්න .

    @ මාතලන් ..

    නලිනි වෙන ක්ෂේත්‍රයක ඉන්න නිසා ලැබෙන අත්දැකීම් හොඳයි කියල මට හිතෙනවා . විවිධත්වය රසවත් නිසා .

    දැන් බලමු කතාව . අපි නම් අත පිහින්නේ සර්වියට් නැත්නම් පේපර් සර්වියට් කියල ජාතියකින් . නැත්නම් අර කරන්ට් එකෙන් ෂුශ් ගාල හුලන් එන එකක් තියෙන්නේ . බොරුකාරයෝ ඉන්නේ අපේ දුපතේ විතරක් නෙමේ . සේද මාවත ඔස්සේ එයාල ලෝකෙම ව්‍යාප්ත වුනාලු . කොලොම්බස් එක්ක ඇමරිකාව පැත්තෙත් ගියාලු . දැන් කන්න හිතුනම කබරගොයා තලගොයා කරන්නෙත් ඒ අයමලු.

    ලොයර්ස්ලට බැනල කෝපි සාජ්ජය නැති කරගන්න බැරි හන්දා ඒ කොටස කපා හැරියාලු නේද

    ReplyDelete
  25. හුගක් හොදයි. ලස්සනට ලියලා තියෙනවා. නොහිතන පැත්තක් වෙනස් ඇහුකින් දැකල තියෙනවා.

    ReplyDelete
  26. දෙතුන් පාරක් කියෙව්වා තාම අඤ්ඤකොරොස්...

    මට මතක් වුනේ අර පුල්ලි තියන සතෙකුග හමක් කමිසෙ වගේ උඩට ඇඳගෙන වෙන මුකුත් ඇඳල නැති ගල් යුගේ Fred Flintstones ත් ඔය රෙදි පටිය බෙල්ලෙ ගැටගහගෙන ඉන්න හැටි...

    ReplyDelete
  27. හාහා... සිරා කතාව.
    ඔය ඇත වේලෙන්න අල්ලන් හිටපු එකේ ඊලට ස්ටෙප් එක වෙන්න ඇති අර ටොයිලට් වල තියෙන එයා බ්ලේඩ්. :D
    බොරු කියන උන්ට රස්සාව නැති කරපු එකෙන් වෙලා තියෙන වැඩේ පේනවනේ...දේශපාලනයේ ඉදන්ම.
    හැබැයි බොරු කාරයින්ට වඩා වැඩ බැරි ලොයර්ල තමා දෙෂ්පලුවෝ වෙන්නේ. අර මොකක්ද පොතකත් ඕක තිබ්බා.
    කරන්න තියෙන්නේ බොරු කාරයන්ව ආයේ ඔය අත් වේලන රස්සාවට ගන්න. ඊට පස්සේ වැරදි කරලා අහුවෙන මිනිස්සුන්ව උන්ගේ කතා අහන ඉන්න දාන්න.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. ඔය බොරුකාරයොසෙට් එක එක් රටට එකා බැගින් ඔරුවක දාල යැව්වලු.ඔරුවකින් ආපු නිසත් නියමෙට බොරුකියන නිසත් රටේ උස් පු‍ටුවල්ට රටේ ජනතවම මේ අයව ඉන්දුවලු. :)

    ReplyDelete
  30. නියමෙටම නියමයි නලිනි අක්කේ!

    බොරු කාරයින්ට රස්සා නැති වෙච්චි හන්දා එයාලා රස්සා හොයාගෙන ලෝකේ එක එක රට වලට ගියා. පස්සේ එයාලා ඒ ඒ රට වලට ගිහින් තම තමන්ගේ බොරු ඒ ඒ රටවල හැම තැනම කියන්න පටන් ගත්තා. ඒ කතා අහගෙන උන්නු බොහෝ මිනිස්සු මේ බොරු කාරයින් කියන්නේ මහා දැන් උගත් අයයි කියලා හිතුවා. එහෙම හිතපු මිනිස්සු ඒ බොරු කාරයින්ව තමන්ගේ රටවල් වල පාර්ලිමේන්තු වලට පත් කළා. ඉතිං අද ලෝකේ හැම රටකම හැම පාර්ලිමේන්තුවකම බොරු කාරයෝ ඉන්නවා!

    (සමාවෙන්න අක්කේ කලින් කමෙන්ට් එකේ නම වැරදුනාට. අක්කා ඒක පබ්ලිශ් කරනකම් හිටියේ මකන්න :D)

    ReplyDelete
  31. මං මේච්චර කාලයක් හිතාගෙන හිටියෙ මිනිසාගේ මුලික අවශ්‍යතා ආහාර නිවාස ඇඳුම් කියලා. ඒවයිනුත් මුලිකවම ඇඳුම්වලින් කරන්නෙ විලි වසාගැනීම එහෙමනෙ අපිට කියලා දුන්නෙ.....

    බොරුකාරයො.....බලං යද්දි උයන්වල විතරයැ බොරුකාරයො ඉඳලා තියෙන්නෙ..

    සුපිරියි!

    ReplyDelete
  32. නියම කතන්දරේ. මම නලිනිගෙ දැක්ක හොදම නිර්මාණය. කවුද කියල තිබුන වගේ රුසියන් කතාවක් වගේ.

    ReplyDelete
  33. අන්තිමට බලනකොට මිනිස්සුම තමයි කෙලවගෙන තියෙන්නෙ, බොරු කියන එවුන්ට පාඩුවෙ බොරුවක් කියන්න දෙන්නෙ නැතුව, කේලම් කියන්න ගොස්, දැන් උන් අපිව පාලනය කරනවා....
    ඒ මදිවට අත් දෙකත් පිහිද ගනින්කො කලිසම් වටියෙන්.
    තව එකක්, ඔයා අරුන්දතී රෝයි කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. නාලිනීම වෙන්න.
    [ඔයාට නෙමෙයි කිව්වෙ... මාතලන්ට.]

    ReplyDelete
  34. කියන්න වචන නෑ..........

    ReplyDelete
  35. කට්ටියටම බොහොම ස්තුතියි. මේ දවස්වල කාලය සමග අරගලයක්.

    ReplyDelete
  36. මේක මං බ්ලොග් එකක කියෙව්ව හොඳම කතාවක්... මරේ මරු !!!

    ReplyDelete
  37. ශහ්! මේන්න කතා! සුපිරියි නලිනි අක්කා.... ආඩම්බරයි ඔයා ගැන ...

    මේ ආරෙම කතා ගොඩක් මම ලඟදි කියෙව්ව.. කොටින්ම මේ දිහෑව ආවෙත් අකුරු බ්ලොග් එකෙන්. ඒ කතාව වගෙම ඒ කතාවට මග පෑදුව මේ කතාවත් ඉතින් මල් නම් 7යි 7යි , 49යි.

    කියවගෙන ගියෙ හරිම සෑහෑල්ලුවෙන් උනාට , කියවපු දේ මම හිතන්නෙ ඔලුවටත් හදවතටත් එකපාර වෑදුනා ....
    මම හිතන්නෙ ඒ නිසාමයි ඔබ දක්ෂියක් වන්නෙත්.
    ජය!

    ReplyDelete
  38. මටත් මතක් උනෙ රුසියන් කතා,ලස්සනයි නලිනි

    ReplyDelete
  39. ඔහ් මේ කතාව මම දැක්කේ අදනේ

    හරි ඔන්න මෙහමයිලු අර බොරුකියන වෘතිකයන්ට සිද්ද වුනේ

    බොරු කාරයින්ගේ රස්සා නැතිවුන වෙලාවේ ජාත්‍යන්තර කම්කරු ආයතනය මැදිහත්වෙලා කොමිසමක් දලා නිර්දේශ කීපයක් කලා ලු බොරු කාරයන්ගේ රස්සා නැතිවීම හා ඔවුන්ගේ වෘතීය අයිතීන් ( ඒකියන්නේ තමන් කැමති රැකියාවක යෙදීමේ අයිතිය එහෙම ) රැකගන්න . ඒ අනුව බොරු කාරයන්ට ඉස්තරම් විදියට ප්‍රොෆෙශනල් ක්‍රමේට තියරි හා ප්‍රැක්ටිකල් විදියට බොරු කීම උගන්වන විශ්වවිද්‍යාල පාඨමාලා , පාසල් හා ඒවා රෙගියුලේට් කරන්න අධ්‍යාපන සභා එහෙම ආවලු .ඕවට ඇතුල්වෙන්නත් බොරු කාරයො අතර පුදුම තරඟයක් ලු තිබ්බේ .ඒවයින් එලියට ආව බොරු කාරයොන්ට නිල ඇඳුම එහමත් දුන්නලු . එකේ පිටිපස්සේ ලොකු සාක්කුවක් වගේ එකකුත් මහලා තිබ්බලු .එයාල කියන බොරු වලින් සන්තෝසෙට පත්වුන සේවාදායකයො අර සාක්කුවට තම කැමති ගානක් දාල ගියාලු

    එත් ඕවට ගිය සමහර බොරු කාරයො වෘතීය සුදුසුකම් සැපිරුවට බොරු කියන්න ටිකක් අදි මදි කලාලු .ඒ වෙනුවට එයාල සෑහෙන්න ඩීසන්ට් විදියට බ්ලොග් කියල ජාතියක් හදාගෙන බොරු ලියන්න ගත්තලු . ඒ වගේම ඔය ලියපු බොරු ගැන අනික් අය එක්ක කතා කරන්න ඉඳ හිට පොඩි පොඩි කෝපි සාජ්ජ දැම්මලු . හැබැයි ඒවට ගියාම බොරු කියලා , කාලා බීලා , සර්වියට්,පරණ පත්තර වලින් අත පිහිදුවලු .මොකෝ එයාල බොරු ලියන උදවිය මිසක් කියන උදවිය නෙවේ නෙ . එහෙම කඩදහි වලින්ම අත් පිස්සේ එයාලගේ බ්ලොග් ලේඛණ ගත කිරීමේ කලාවට උපහාර පිනිසලු :) kidding :)

    ReplyDelete