Tuesday, October 18, 2011

ළමාවියට ආයුබෝවන් කියුවෙමි.

කවුරු හරි නැති වුණහම අපිට හුඟක්ම දුක හිතෙන්නෙ, ඒත් එක්ක අපිට නැති වෙන දේවල් හින්දා වෙන්නට ඕන. ටයි මාමා නැති වුණු බව ඇහුව ගමන් අපි හැමෝම ආපහු අපේ ළමා කාලයට ගිහින්; මතකයන් එකිනෙක අවදි වෙලා. ඒ දේවල් කොහොමත් ආයෙ කවදාවත් නොඑනවා වුණත්, ඒ බව අපිට මතක් වුණේ ටයි මාමගෙ මරණයත් සමග.

මටත් එහෙම මතකයක් තියෙනවා.
ඒ ලා තණකොළපෙත්තාස් කණ්ඩායමේ 'බෑයි කියල බෑ කියල බෑ' සින්දුව එවක බාලදක්ෂිකාවන් වූ අපව ගළව ගත්ත සිද්ධියක්.

ටයි මාමගෙ දායාදයන් එක්ක හැදුණු වැඩුණු අපි හැමෝටම මේ වගෙ පුංචි පුංචි මතකයන් ඇති.

ජෝ අබේවික්‍රමයන්ගෙ මරණය නිසත් අපි කම්පා වුණු බව ඇත්ත. මම හිතන්නෙ, ලංකාවෙ එදා මෙදා තුර පහළ වුණු දක්ෂතම රංගන ශිල්පියා ජෝ වෙන්නට ඕන. ඒත්, අපි පුංචි කාලෙදිම ඔහු වැඩිහිටියන්ගෙ චිත්‍රපටවල ශිල්පියෙක් වුණු නිසාද මන්දා, අපත් වැඩිහිටියන් වන තුරු ඔහුගෙ අගේ එතරම්ම දැනුණෙ නෑ. ඒත් ටයි මාමා ලොකු මිනිස්සුන්ගෙ ලෝකයෙන් ඉවත්ව, අපේ මට්ටමට බැහැලා, අපිත් එක්ක සෙල්ලම් කළ වැඩිහිටියෙක් වගේ. එහෙම අය කෙරෙහි ළමයින් තුළ ඇතිවන ආදරය, ලෙන්ගතුකම හුඟක් ගැඹුරුයි; දිගුකාලීනයි.
ටයි මාමට අපි මෙච්චර ආදරේ ඒ නිසා වෙන්නට ඕන.


ඒ ටයි මාමා මලින් සැරසුණු කුටියක, පුංචි මල්කිණිත්තක් දෑතින් දරාගෙන, ඇස් පියාගෙන හිටියා. කිසි හැලහොල්මණක් නැහැ. හරියට භාවනාවක් කරනවා හෝ ලා නින්දකට වැටිලා වගෙයි. දෙතොලෙ යන්තම් සිනහවක් ගෑවිලා. මොනවා හරි හිත සතුටු වෙන දෙයක් සිහි කරමින් ඉන්නවා වගෙයි.

හිත හොඳ අය එහෙම වෙන්නට ඇති.


අපේ ළමාකාලයෙන් වැදගත් කොටසක් අරගෙන, හෙට සවස හතරට ටයි මාමා නික්ම යනු ඇත.
ටයි මාමාට ආදරය කළ, එහෙත් ඒ බැව් නොදැන සිටි වැඩිහිටි ළමයින් රාශියක් හෙට බොරැල්ල කනත්තට එනු ඇත. එසේ එනු ඇති බව ටයි මාමා දැන සිටියාද?

සමහරවිට දැන සිටියා විය යුතුය. මන්ද, කළ යුතු, නොකළ යුතු දෑ ඔහු ළමා අපට කියා දුන් හෙයිනි.

24 comments:

  1. කියලා වැඩක් නැහැ, මාත් ඒ දවස්වල තොටවත්ත මහත්තයගේ හාවා හරි හාවා එහෙම බලන්න හරි ආසයි ........

    ටයි මාමාට නිවන් සුව .....

    ReplyDelete
  2. අපේ ජීවිතයේ එක්තරා අංශයක සැකසුම හා අදියුරුවම ටයි මාමා සතුයි.

    මළ ගෙදර යන්නට බැරි වුනත් මුළු හිතින්ම කනගාටු වෙනවා ඔහුගේ නික්ම යාම ගැන.

    ටයි මාමා වත් හිතන්නේ නැතුව ඇති මේ තරම් හදවත් තුල ඔහු ජීවත් වුනා කියලා.

    ReplyDelete
  3. ජීවිත කාලයක්ම මතක තියා ගන්න සොඳුරු මතකයන් රැසක් දුන් ආදරණීයයා වෙනුවෙන් ජීවිතයෙන් පුංචිම කාලයක් හරි වෙන් කරන්න පුළුවන් වීමත් කලගුණ දත් කෙනෙකු ලෙස දවසක සතුටු වෙන්න පුළුවන් මතකයක් වේවී...

    ලොකු කුඩා කාගේත් වෙනසක් නැති නෑ කම..මාමා... ටයි මාමා..මතකද අර සමහර වැඩ සටහන් ආරම්භ වෙන්න කලින් ඔහු මැදිරියේ පුටුවක වාඩි වෙලා ඉඳලා අපි පැත්තට හැරිලා කියන වචන කිහිපය... මට ඒ වචන හරියටම මතක නැහැ..ඒත් තාමත් මට හිතෙන් මවා ගන්න පුළුවන් ඒ දසුන... අපි පැත්තට හිමින් හැරිලා බොහෝම ආදරණිය හඩින් නිර්මාණය රස විඳින්න කරන පිළිගැන්වීමක් උන ඒ වචන ටික... ඔහු කියනා නිසල ගැඹුරු හඬ...

    ඔබ අවසන් දර්ශනය දුටු හැටි පෙල ගස්සවපු හැටි දැක්කම මට සිහි වෙන්නේ ඒ නිසල බව... ඉතිං කොහොමද අමතක කරන්නේ...

    ඔබේත් මගේත්..අපේත් ළමා කාළය අර්ථයෙන් රසයෙන් පෝෂණය කල ආදරණීය "ටයි මාමා"ට නිවන් සුවයම අත් වේවා..!

    ReplyDelete
  4. මොට්ට කඩුවෙන් යාන්තම් වචනයක් දෙකක් කතා කරපු අපේ පුංචි කාලෙ, උප සිරැසි දාලා, එහෙම නැත්නම් සිංහල හඬ කවලා හොඳ විදේශීය චිත්‍රපට බලන්න පුරුදු කරපු, ඒ හරහා රූපවාහිනිය සාරවත් කරපු ආදරණීය ටයිමාමා කොහොම අමතක කරන්නද.
    මා දන්නා තරමින් ඔබ කවදාවත් අමු අමුවෙ ඉංග්‍රිසිය සිංහලට පරිවර්තනය කලේ නැහැ. ඒ රූප රාමු පුංචි දරුවන්ට ගැලපෙන විදියට, අපේ කම රැකෙන විදියට සිංහල භාෂාවෙන් සරසලායි ඔබ අපිට දුන්නෙ...
    අනේ අවාසනාවක මහත..ඔබ ආරම්භ කල හඬ කැවීම් කලාව අද අපේ දරුවන්ට රස විඳින්න බැහැ ටයි මාමේ...පහත් ග්‍රාම්‍ය වචන වලින් පිරුනු මහා හරසුන් දේවල් අද අපේ දරුවන්ට ලැබෙන්නෙ...දරුවන්ට වෙන් කරපු කාලෙත් වැඩිහිටියො හොරු අරගන.....

    ආපහු එන්න ටයි මාමේ...

    ReplyDelete
  5. මක් කියන්නද ඔහුට නිවන් සුව පතනවා ඇර. මට නම් විටින් විට බැලු කාටුන් වලටත් වඩා ටයි මාමාට ආදරේ හිතෙන්නේ ''හඳයා '' චිත්‍රපටය හදුවටයි

    ReplyDelete
  6. හ්ම්..........................

    ReplyDelete
  7. ලංකාවෙ හිටිය නං . . . කොහොම හරි හෙට බො‍රැල්ලට යනව . . .මොනා කරන්නද . . . . ටයි මාමා හැමදාම අපේ මතකයේ ජීවත් වේවි

    ReplyDelete
  8. "ඒ ටයි මාමා මලින් සැරසුණු කුටියක, පුංචි මල්කිණිත්තක් දෑතින් දරාගෙන, ඇස් පියාගෙන හිටියා. කිසි හැලහොල්මණක් නැහැ. හරියට භාවනාවක් කරනවා හෝ ලා නින්දකට වැටිලා වගෙයි. දෙතොලෙ යන්තම් සිනහවක් ගෑවිලා. මොනවා හරි හිත සතුටු වෙන දෙයක් සිහි කරමින් ඉන්නවා වගෙයි.

    හිත හොඳ අය එහෙම වෙන්නට ඇති."


    වෙන්නට ඇති නෙමෙයි චව් චව්..! එහෙම තමයි... :D

    ReplyDelete
  9. මාත් ඉස්සර දොස්තර හොඳ හිත හරිම අසාවෙන් නැරඹුවා...
    චව් චව් චරිතෙ හරි ආසයි. එයාට වෙන අකරතැබ්බ දකින කොට උඩ පැන පැන හිනාවෙන්නෙ. තාමත් ඉඳ හිට හෝ මේවා යනකොට නරඹනව ...

    අපිව සතුටින් තියපු ටයි මාමට නිවන් සුව පතමු....

    ReplyDelete
  10. ළමයින්ට ටයි මාමා වීරයෙක් නොවී යාළුවෙක් උනා.ඒ නිසා ටයි මාමාට අපි ආදරය කළේ හරියට අපේ හොඳම යාළුවෙක්ට වගේ.වසර ගනනාවක් ගෙවිලත් තවමත් ටයි මාමා අපේ හදවතේ කොටසක සින්නක්කරටම ‍රැඳිල ඉන්නෙ අන්න ඒ හින්ද.
    හීන් නොපෙනෙන නින්දකට ටයි මාමේ සුභ රාත්‍රියක් !!

    ReplyDelete
  11. ළමා ළොව වීරයෙක්. ඒත් එතරම් සෙනගක් එයි කියා මා සිතන්නේ නැත. මන්ද පොරක් නොවන නිසාය..

    ReplyDelete
  12. හම්....පුංචි කාලේ ආයේ එන්නේ නැ.....අනාගත පරපුර වෙනුවෙන් මේ වගේ උසස් නිර්මාණ බිහිවෙයිද?
    ටය් මාමගෙන් ඒ ඇතිවුන හිස්තැන මකන්න කාට පුළුවන් වෙයිද?

    ආදරණීය ටයි මාමේ...ඔබට නිවන් සුව!!!!
    (නීනු නංගිගේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකම දැන්මා)

    ReplyDelete
  13. මම පුංචි කාලේ බලපු පලවෙනි චිත්‍රපටිය ටයි මාමගේ හදයා. තාමත් බලල තියෙන එකම සිංහල චිත්‍රපටිය තමා ඒක. දොස්තර හොදහිත, හා හා හරි හාවා, රොබින් හුඩ් තමා ටයි මාමගේ අනිත් බලපු ඒවගෙන මුලින්ම මතක් වෙන්නේ. අද වගේ අන්තර්ජාලය තිබුනේ නැති ඒ කාලේ අපේ විනෝදාස්වාද මාර්ගය වුනේ ඉතින් ඕවා බලන ඒක තමා.
    ඔක්තෝබර් 15 වෙනිදා හවස පහට විතර ඒ කාලේ නොතිබුන අන්තර්ජාලේ පිහිටෙන් ටයි මාම අපිව දාල ගිහින් කියල දැනගත්තම ඒක පාරට උගුරේ මොනවද හිරවුනා වගේ දැනුනේ. අද අපි ළමා කාලය පහුකරලා, ලංකාවෙනුත් හැතැප්ම දාස් ගානක් දුරස් වෙලා. නමුත් අර රොබින් හුඩ් වල කිව්වා වගේ "nothing is forgotten, nothing is ever forgotten!!"
    ටයි මාමේ නුබට නිවන් සුව...

    ReplyDelete
  14. // කළ යුතු, නොකළ යුතු දෑ ඔහු ළමා අපට කියා දුන් හෙයිනි.//

    සම්පූර්ණ ඇත්ත කියමනක්... අපි පුංචි කාලෙ ඔහුගෙ වැඩසටහන් වල හිටපු චරිත හරහා අපේ හිත් වලට ඇතුලු කරපු යුක්තිය සාධාරණය ගැන අදහස්... වීරත්වය ගැන අදහස් වගේ දේවල් අපිට ඒ වයසෙදි දැනෙන විදිහට ඉදිරිපත් කරපු එක ඒ පරම්පරාවෙ හිටපු ඕනම කෙනෙක් දන්නව ඇති...

    ජෝ ගියා... ටයි මාම ගියා... ප්‍රශ්නෙ මේකයි..... රිප්ලේස්මන්ට්ස් කෝ....?

    ReplyDelete
  15. මමත් ක්ලාස් වලින් හොරෙන් පැනලා ඇවිත් තියෙනවා සිංහල හඬ කවපු කාටුන් බලන්න....

    තවත් හොඳ මනුස්සයෙකුගේ අවසානය...!

    ReplyDelete
  16. මං තවමත් ආසයි ටයි මාමා කරපු වැඩසටහන් වලට.ඒවා කොයි තරම් රසවත්ද..

    ටයි මාමාට නිවන් සුව.

    ReplyDelete
  17. ටයි මාමාට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  18. ලක්ෂ ගණනක් හිස් මිනිස්සු තමුන්ගේ ට්‍රම්පට් ගහද්දී නිසලව නිහඬව අපි ඇතුලේ ජීවත් උන උතුම් මනුස්සයෙක් අපිට අහිමි උනා.

    ReplyDelete
  19. මේ ගෙවුන කෙටි කාලෙදි අපි ආදරය කල ගොඩක් දෙනෙක් ජීවිතෙන් සමු ගත්තා..

    ReplyDelete
  20. "ටය්ටස් තොටවත්ත මහත්මයාට නිවන් සුව පතමු"

    ඇඩ් එකක් දැම්ම කියල හිතන්න එපා. දොස්තර නෝනව මතක් කරලා තියෙනවා මේ පෝස්ට් එකේ. මෙතනින් ගියොත් කියවල බලන්න පුළුවන්.

    ReplyDelete
  21. ටයි මාමා ගේ කාටූන් රසාර බලන්නටම , පාසැල් වැඩ ගෙදර වැඩ ඉක්මනින් නිම කරපු හැටි මතක් වෙනවා. කොච්චර ලොකු උනත් තාම බලන්න පූළුවන් ඒ දේවල්. ටයි මාමේ ඔබ අප ජීවිත වල වෙනසක් ඇති කළ කෙනෙක්. !

    ReplyDelete
  22. කලාවට මහා මෙහෙවරන් කල බොහෝ දෙනෙක්ගේ අගය අපිට දැනෙන්නේ ඔවුන් නික්ම ගිය පසු.

    ඒත් ජීවත්ව සිටින කාලයේම ඔවුන් අපගේ ලෝකයේ සුවිශේශී පුද්ගලයින් බව නිකමට හෝ ඔවුන්ට දැනුම් දෙන්න අපිට කොයි තරම් නම් අමතක වෙනවාද . .

    මගේ අඩවියේ වික්ටර් ගැන සුජාතා, ශ්‍රීමතී ගැන ලියවුනු ලිපි කොමෙන්ටුත් සමඟ ප්‍රින්ට් කර ඒ ආය්ගේ ලිපින වලට පෝස්ට් කර යවන්න ඕන බව නිතර හිතුවත් හමදාම ඒ බව අමතක වෙනවා. . .

    මේ ලිපිය නිසා මම හිතුවා ඒ වැඩේ තව පරක්කු නොකර කරන්න ඕන කියලා . ..

    ReplyDelete
  23. රූපවාහිනි ළමා වැඩසටහන් සිංහලින් හඬකවන්න පටන් ගත් මුල් කාලයේ දී ඒ සඳහා පහසුකම් තිබුණේ නැතිලු. රූප පටිය දුවද්දී ටයි මහත්තයා හා ගෝලයෝ කිහිප දෙනෙක් ඊට හඬ සැපයූවාලු. දවසක් ඒ ගැන ටයි මහත්තයා විස්තර කර හැටි තවමත් මතකයි.

    ReplyDelete