එක් අඳුරු රැයෙක
නොතබා කිසිදු ලකුණක්
නිහඬවම නික්මුණු හෙයින් සිදුහත්...
සම්, මස්ද, නහරද,
ඇට, ඇටමිදුළු විනිවිද,
හද දවන දරුපෙම
ඉවසනු නොහී...
රන්රුව රැගත් කරදහිය
දරා වෙවුලන දෑතින්
මාවතක්, මාවතක් පාසා
විඩාපත් පා නගා
විමසමින්, පැකිළෙමින්
නොවිඳිය හැක්ක සොයමින්
සරන සුදොවුන් මමය.
නොදිරන නාමයක් අහිමිව
දිරන කය මරනු වස් වස බී
ගිලන්හල වැතිර, හෙමින් මියැදෙන
නාඳුනන පුත,
නුඹ ගෙනා මේ හැඟුම
සැනසුමද, ශෝකයද නොදනිම්...
නූපනද මා ලෙයින්
පිය නෙතක නැගි මේ කඳුල
නොනික්මුණු නුඹටය.
**********************************************
හුඟක් දෙනාව රෝහලට භාර දෙන්නෙ පවුලෙ උදවිය. එහෙම නැත්නම් යාළුවො. ඒත් සමහරුන්ගෙ භාරකාරයා හැටියට සඳහන් වෙන්නෙ පළාතෙ පොලිසිය.
හුඟක් වෙලාවට ඒ රාත්‍රී කාලයෙ රිය අනතුරුවලට ලක් වන අය. ඉනුත් බහුතරය යතුරු පැදිවල ගමන් ගත් තරුණ වයසෙ අය.
ඉඳහිට සිය දිවි හානි කරගැනීමට තැත් කළ අය.
කවුරු වුණත්, ඇතුළු කරනවිට නම සඳහන් කළ යුතු තැන ලියවෙන්නෙ "නම නොදනී." කියලා.
සමහර වෙලාවට හදිසි අනතුරු ඒකකයෙ රෝගීන් කිහිප දෙනෙක් ඉන්නවා එහෙම "නම නොදනී, වයස නොදනී" අය. ඒ අය හඳුන ගන්නෙ රෝගී වාර්තාපත් අංකයෙන්.
ටික දවසක් යනකොට මේ "නම නොදනී"ලට නමක් හම්බවෙනවා. ඒ ගෙවල්වල මිනිස්සු හොයාගෙන එන නිසා. දරුවා ගෙදර ආ යුතු දිනේට, වෙලාවට ආවෙ නැති වුණහම, මිනිස්සු ඒ දරුවගෙ පින්තූරයක් අරගෙන පාරට බහිනවා. පොලිසි ගානෙ, ඉස්පිරිතාල ගානෙ යනවා; මළ මිණියක් කොහෙ හරි තියෙනවා කිව්වොත් ගිහින් බලනවා; මිණී කාමර ගානෙ ගිහින් බලනවා.
අපේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ, අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන "නම නොදනී"ට එහෙම නමක් ලැබුණා; ඒ ගෙදරින් හොයාගෙන ආව නිසා. ඒ බව නොදැන, තවත් දිරාපත් තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවගෙ හැඳුනුම්පතත්, ඒ හැඳුනුම්පතේ ඇති ඡායාරූපයම සටහන් කොට හදාගත් අතටම දිය වුණු දැන්වීම් කරදහියකුත් අරන්, රෝගීන් බලන වෙලේ ආවා ඒ තමන්ගෙ පුතාද බලන්න.
පුතා නෙවෙයි.
එළඹෙනා මතු දිනයක..
ReplyDeleteකුමන හෝ මොහොතක..
යා යුත්තෙක්මි තනිවම..
එදිනට නම්ද නොව තව..
නොමැත්තෙක් වෙමි ඇඩ්රස්...
ඉතිං කුමකට මා හට..
සුදෝවන් බඳු පියවරු..?
හඳුනා ගත් මුත්
ReplyDeleteදරු සෙහෙනස
පියෙක් වන්නට
බෝ කලකට පෙර
හැඳින්නේමි පිය සෙනෙහස
පියෙක් වූ දා මමත්
සොදොවුන් පිය සෙනෙහස බඳු
සෙනෙහසක් ඉල්ලා
කෑ ගසන හද වසා අතකින්
දරමි තැත් වනන්ට
සුදොවුන් බඳු පියෙක් . . .
අනේ මන්දා මේ ලොකේ හැටි
ReplyDeleteලස්සනට ලියලා තියෙන දුක හිතෙන සටහනක් ..
ReplyDeleteමේ ලෝකයේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නෙ දරු සෙනෙහස මතයි. දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැහැ. දරුවෙක්ට සුළු අසනීපයක් හැදුනම දෙමව්පියන්ට කෑම බීම නින්ද මේ සේරම අමතක වෙනවා..දරුවෙක් විදියට මගේ මව්පියොත් මට ඒ විදියටම ආදරය දෙන්න ඇති . එත් ඒ හැඟීම මට ඒ කාලෙ දැනුනෙ නැහැ. ඒක නියම විදියට දැනෙන්නෙ මගේ දරුවෙක් අසනීප වුන වෙලාවට.
තමන්ගෙ දරුවා ගැන තොරතුරක් නැති තාත්තෙක්ගෙ මානසික තත්වය ගැන කුමන කතාද ?
මේ හැඟීම මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්.
ReplyDeleteමම පසුගිය දවසකදි මම ගැනම දුක් වුනා. මම ගැනම ලැජ්ජායි මට.
පසුගිය මැයි මාසේ මම ලංකාවට ආ වෙලේ මමයි තව මගේ යාළුවො දෙන්නෙකුයි එක්ක කොෆී බීන් එකේ කෝපි බීලා එලියට ඇවිත් කා පාක් එකට යමින් කොළඹ සිරි නරඹනවා. එක පාරට ජීප් එකක් ආවා පාරේ යමින් හිටිය මිනිහෙක්ව හැප්පුවා. කිසිම දෙයක් නොවිච්ච ගාණට ඒ වේගයෙන්ම යන්න ගියා. අපි පාරේ අනිත් පැත්තේ මීටර් 30 50 ක් වගේ දුරක. මේ සිදුවීම මමත් මගේ යාළුවො දෙන්නත් එහෙමම බලාගෙන හිටියා. ටිකකින් සෙනඟ පිරුනා. ඒත් අර මනුස්සයා එතන බිම.
මට ඒ මනුස්සයා හොස්පිටල් එකට අරන් යන්න ඕන උනත් එහෙම කරන්න නොහැකියාවක් තිබුනා. ඒ තමයි මොනවා හරි දෙයක් වුනොත් මට වග කියන්න වෙන නිසා. බැරි වෙලාහරි එයා පොලිසියට කීවොත් මම තමයි එයාව හැප්පුවේ කියලා. මට ඒ වගේ යන යන දේවාල කඩන් වැටෙන නිසා බලාන හිටියා ඔහේ. අර භාරකාරයා උසාවිත් යන්න ඕනලු නඩුවක් උනොත්. මගේ ළඟම හිතවතෙක් ලංකාවට යනකොට වොරන්ට් කරලා ඔය වගේ උසාවි නොගිය නිසා. අනේ ඒ වගේ දේවල් වලට භයේ මම නිහඬ වුනා.
ටිකකින් එතන පාස් කරගෙන යද්දි දුටු දෙයින් මාව තිගැස්සුනා. ඒ මනුස්සයා පුංචි බෑග් එකක දාගෙන ආව හාල් ටිකක් පාර පුරා විසිරිලා. කාර් එකෙන් බැහැලා ගිහින් සල්ලි කීයක් හරි දෙන්න හිතුනත් එහෙම කලේ නෑ. ලැජ්ජාව ද අසරණකමද මම දන්නෙ නෑ එවේලේ. මට මම ගැණම එදා නම් ලැජ්ජා හිතුනා. ඊට ටිකකට කලින් මම කිසිම රහක් නැති ප්ලේන් ටී එකක් බොන්න රුපියල් දෙදාහක් විතර වියදම් කලත් අර වගේ අහිංසකයෙකුට පිටු පාපු නිසා. වෙන එකක් තියා එදා රෑ නිදාගෙන ඉන්නකොටත් මට ඒ සිදුවීම මතක් වෙලා මහ රෑ ඇහැරුනා. අදටත් මට දුකයි. අනේ මන්දා අපි මේවගේ දේවල් කොයි තරම් නම් කරනවා ඇතිද?
මහා බරක් වෙලා ලේ කිරිකැටියන් මහ මඟ දමා යන දෙමව්පිය සෙනෙහසට එරෙහිව මහ මඟ හිඟා කමින් දුක්ඛ දෝමනස්සයක් දහසක් දරා ගනිමින් දරුවන් සොයා යන දෙමවිපිය සෙනෙහසක අරුමය !
ReplyDeleteබොහොම අපූරැයි දොස්තර නෝනේ.... හැමදාමත් වගේ හැඟීම් චවන වලට අපූරැවට ගොනුවෙලා තියනවා... මෙතන කාරණා දෙකක් කථා කෙරෙනවා....
ReplyDelete1. පිය සෙනෙහස..... මේ කියන්නා වගේ තමන්ගේ නැතිවුනු දරැවන්ගේ පිංතූර අරගෙන එන තාත්තලා මගේ වෘත්තීව ජීවිතේ දී අනන්තවත් හමුවෙලා තියනවා.... එක කොටසත් ආවේ... "අනේ බුදු මහත්තයෝ මගේ කොල්ලාගෙන් මාස ගානකින් ලියුමක් නැහැ... මගේ දරැවා ගැන විස්තරයක් හොයලා දෙන්න මහත්තයෝ කියාගෙන....
තව කොටසක් අවේ..."ආඩවනේ සාමී... එන්ගඩ මහන්.... නේට්ට රාත්ත්‍රි අවර් වීට්ට වර ඉල්ලෙයි...සාමී".... මේ කොයි තාත්තගෙත් මට ඇහුන අඳෝනාව එකයි.... පිය සෙනෙහසට ජාතියක් ජම්මයක් නැහැ දොස්තර නෝනනේ... හැබැයි මාත් ඇතුලුව ගොඩක් දරැවෝ තාත්තෙක්ගේ සෙනෙහස තේරැම් ගන්නේ තාත්තෙක් උන දවසට....
2. අනතුරකදී උදව් කිරීම.... අපේ රටේ සාමාන්‍යයෙන් හැමදේම වෙන්නේ අනිත් පැත්තටනේ... හාමුදුරැවෝ බිස්නස් කරනවා... බිස්නස්කාරයෝ බණ කියනවා... පොලිස්කාරයෝ මිනී මරනවා... මිනිමරැවෝ රජ කරනවා... මංකොල්ලාකාරයේ දනසැල් දෙනවා... දන්සැල් කාරයෝ මංකොල්ලා කනවා... දේශපාලකයෝ නිතීය ක්‍රියාත්මක කරනවා... පොලිසිය බලාගෙන ඉන්නවා...එහෙව් රටේ ... හදිසි අනතුරකට ලක්වෙච්ච අසරණයෙක්ව රෝහලට අරගෙන ගියාම ඒ මනුස්සයට වරෙන්තු කරන එක අසාමාන්‍යයෙන් සාමාන්‍ය දෙයකනේ.. "බුරැ බබා" ගේ කථාව හරි... ඔය නිසා තමයි මිනිස්සු කැමති නැත්තේ කාටවත් පිහිට වෙන්න...
හදිසියෙ වගේ මෙතනට ආ බව දැණුනී
ReplyDeleteනම නොදනිතත් හිත හඳුනන වග පෙණුනී
නොසිතුව පරිදි විය හැකි දේ ගැන හැඟුණී
මෙහි තොරතුරු ද දැක්මෙන් දැනුමක් ලැබුණී
හරිම සංවේදී තැනක් නලිනි. පොඩි කාලේ දෙමාපියෝ අපට ආදරේ කලතරමට අපි පෙරලා එයාලට ආදරේ කලේ නැහැ . ඒ ආදරේ ගමන් කරන්නේ ඉස්සරහට . පැටවුන් රැකබලාගන්න පරිනාමය වෙච්ච දා ඉඳන් ඒ ආදරේ ඉදිරියට ගලන් යනවා .
ReplyDeleteඅබිනික්මන් කරපු හරි කරවපු හරි සිදුහත්ල සොයා සොයා පාරක් පාරක් ගානේ සුද්දෝදනල මහාමායල කලින් කලට අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන් .
අපේ රටේ විතරක් නෙමේ මුළු ලෝකෙම .
බුරු ...හැමෝටම ඔය වගේ ඒවා වෙලා තියෙනවා . ඒ වෙලාවට දැනෙන අසරණ කම . ලොකු අනතුරකදී කරන්න දෙයක් නැහැ . ඒත් පුංචි පුංචි දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන් . ඒ වගේම තමයි උදව් කරන්න ගිහින් නිකන් සවුත්තු වෙච්ච අවස්ථාත් මගේ ජිවිතේ ඕන තරම් . අපේ රට තව හොඳයි . අඩු ගානේ රෝහලකට ගියහම ඉතුරු නොමිලේ ප්‍රතිකාර හරි ලැබෙනවා . හිතන්නකෝ මෙහෙ . කවුරුත් කැමතිද නම ගම නැති කෙනෙක් ගෙනිහින් සල්ලිත් ගෙවන්න . ගෙනියන කෙනා එපාය වග කියන්න . ඉතින් අහක බලන් යනවා . මරණයක් නම් කවුරු හරි හඳුන්කුරක් පත්තු කරයි . එච්චරයි .
අපේ රටේ මධ්‍යම පන්තිය කෙසේ වෙතත් අඩුගානේ දුප්පත් මිනිහෙක් වත් පිහිට වෙයි එහෙම වෙලාවට .
දෙන දාහක් මවු වරුන් පියවරුන් දරුවන්ගේ චායාරුප අරන් හොයන් යන යුගය උදා උනේ 1971 දී. ඉන් පස්සේ තවමත් අතොරක් නැතුව තාත්තලා අම්මලා දරුවන්ව හොයනවා. අමනුස්සයින්ගෙන පිරිච්ච ලෝකේ මේ සංගදිය කවදා නිමා වෙයිද ? ඔබ දකින්නේ එහි එක කොනක්.. නම් නැති සරීරවලින් ඉස්පිරිතාල පිරෙන්න අරන්.. ඔබේ සටහන මගේ හිත බොහොම දුරකට අරන් ගියා. ටික කලකට ඉහතදී මම වැඩට යනකොට පාරේ ඔය විදිහට මිනිස්සු වටවෙලා හිටියා. යන යන වාහනවලට අත ද දා. අනතුර වෙලා පැය කාලක් විතර ගිහින්.. කවුරුත් නතර කරලා නැහැ.. මම නැවැත්තුවා. ...තාත්තා කෙනෙක්.. හෙල්මට් ඒක ඔලුවේ.. වටේට ලේ ගලනවා. තවත් තරුණයෙක් එක්ක වාහනයට දාගෙන රෝහලට අරන් ගියා. රෝගියා ඇතුලට බාරදුන්නට පස්සේ මට විඳින්න උන කරදර අනන්තයි.. ඒ මනුස්සය දිගටම කියෙවුවෙ වචන දෙකයි "මල්ලී මගේ දරුවෝ""මල්ලී මගේ දරුවෝ""මල්ලී මගේ දරුවෝ" !! හෙල්මට් ඒක නොගලවා ගෙනා ඒක හොඳයි කියලයි අපිට කිවුවේ.. ඒ තාත්තා දරුවන් අත හැරලා ගියාද කියල හොයන්න මට බැරි උනා. අදත් මගේ හිතේ කොනක ඒක තැන්පත් වෙලා තියෙනවා .
ReplyDeleteLast bit reminded me of a Malayalam moview named "Piravi" I saw many years back. (Some say Pura Handa Kaluwara has some parallels to Piravi)
ReplyDeleteහම්.....මව් සෙනෙහස උපරිමයෙන්ම වින්දත් පිය සෙනෙහස ගැනනම් මට ඒ හැටි හැඟිමක් නැ....ඒත් අක්කා ලියලා තියන විදියටනම් හුඟක් හිතට දැණුනා....
ReplyDeleteමේක කියවද්දී මතක් වුණේ ඉස්කෝලේ යනකාලේදී කියවපු කෙටිකතාවක්... මුතුහර සගරාවේ තිබුණා වගෙයි මතක...
ReplyDeleteඑක්තරා රෝහලක මරණ මංචකේ ඉන්න මහළු පියෙක් තම අන්තිම ඉල්ලීම විදියට ඉල්ලන්නේ හමුදාවේ රාජකාරි කරන තම පුතාව දැකගන්න ආසයි කියලයි... කලබලෙන් යවන පණිවුඩය ලැබිලා නිල ඇඳුම පිටින්ම දුවගෙන එන හමුදා පුතාගේ අත අල්ලාගෙන මහළු පියා කඳුළු සලනවා...
හමුදා සෙබලා පියාගේ අත අල්ලාගෙන ඇඳ අසල මුළු රැයම පහන් කරන්නේ තාත්තාගේ හිත සැනසෙන කතා කියමින්... අළුයම් යාමයේ තම පුතාගේ අත අල්ලාගෙනම ඒ මහළු පියා සාමකාමීව අවසන් හුස්ම හෙලනවා...
පසුදා උදෑසන ඔහුගෙන් අවසන් කටයුතු ගැන විමසන රෝහල් කාර්යමණ්ඩලයට ඔහු දෙන්නේ අපූරු පිළිතුරක්...
"ඉස්සෙල්ලාම අපි හමුදා මූලස්ථානෙට කතාකරලා මෙයාගේ ඇත්ත පුතා හොයාගමු..!"
නොඉපදී ඉන්න එක විතරයි එකම සැපත කියල හිතෙනව..
ReplyDeleteඩොක්ටර්ගෙ හුඟක් කතා වගේ මේ පැදි පෙළත් හිතට වැදුන.
ReplyDelete@ Il mondo di una povera pazza,
ඔය කියන විදියෙ වැඩක් මගේ යාලුවෙකුට වුනා. හදිසි අනතුරකින් (hit & run ) තුවාල වුන හිඟන මනුස්සයෙක්ව ඉස්පිරිතාලෙට භාර දීල, අන්තිමට එයා ලෙඩාගේ භාර කාර වෙලා සෑහෙන්න කරදර වින්ද.
'පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී."
ReplyDeleteනෙතට කඳුලක් ඉනුවා පොඩි කුමාරිහාමීගේ පෝස්ට් එක වගේම.
පුතා නෙවෙයි.....!!
ReplyDeleteඅන්තිම වචනේ නිකන් පපුවට කිනිස්සකින් ඇන්නා.....!
ReplyDeleteගොඩක් හිතට වැදුන කවි පෙලක්.....
ReplyDeleteබොහොම දුක්බර අත්දැකීමක්.කවියට වඩා මගේ හිත ගියේ ඔබ ලියපු කෙටි සටහනට.ඊළඟට මගේ හිත ගියේ බීට්ල් ලියපු කමෙන්ට් එකට.
ReplyDeleteමොකක් කියන්නද කියල තේරෙන්නේ නෑ. සැහෙන්න හිතට වැදුනා.. :(
ReplyDeleteකොච්චර දුන්නත්
ReplyDeleteසසර සැප
ගිහි ගෙදරින් පලා ගියපු
සිදුහත්ලා
බුදු වෙන්නට බැරි වූ දා
අංගුලිමාල ලා වෙලා
හඬා වැටෙන සුදොවුන්ලා
මහමායා, ප්‍රජාපතී
යසෝදරා රහල් සමග
"අනේ පුතේ ගෙදර එන්න"
දාල තිබ්බෙ පත්තරයක
පුතා නෙවෙයි ! කන්දක් උඩට ගෙනිහින් අත ඇරියා වගේ..
ReplyDeleteසංවේදී කතාවක් අක්කා....