Wednesday, June 15, 2011

දානය

කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.

මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.

"අනේ චූටි."

උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.

"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."

කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.

"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."


"ආ, පොඩ්ඩක් ඉන්ඩ."

නාඳුනන අයට ගේට්ටුව නාරින ලෙස අම්මා අවවාද කර ඇත. ඇයට එතනම සිටින්නට ඉඩ හරින මම ගෙතුළට යමි. අල්මාරි ලාච්චු අවුස්සා, රුපියල් දහයක් සොයා ගෙනවුත් ගේට්ටුවට උඩින් ඇය අතට දෙමි.

"අනේ චූටි, හුඟාක් පින් අයිති වෙනවා ඔයාට."

ඇගේ නෙතෙහි කඳුලක් නැගෙයි. ගෙලෙන් බේරෙන දහදිය සාරි පොටින් පිස ගන්නා ඇය යළිත් බැගෑපත් වෙයි.

"අනේ චූටි, මට බොන්ඩ වතුර ටිකක් ගෙනත් දෙනවද?"

පිට මිනිසුන්ට වතුර දෙනවිට වීදුරුවල දමා, බන්දේසියක තබා දිය යුතුයයි අම්මා උගන්වා ඇත. මම වීදුරුවක් සොයා කුස්සිය පෙරළමි. ඒ හඬට අත්තම්මා නැගිට එයි.

"මොකද?"

මම කාරණය කියමි. දීමටම නැමුණු අත්තම්මාගේ හිත උණු වී වැක්කෙරෙයි. ඇය එළියට ගොස් බලා කාන්තාව ගෙට කැඳවයි. මා තේ සාදනතුරු ඇගේ තොරතුරු විමසයි.
 වෙහෙස නිවාගෙන, හිතේ ගින්දරත් බෙදාගෙන, තේ බී පවස නිවාගත් කාන්තාව ගෙයින් පිට වන්නේ නැවත නැවතත් පින් දෙමිනි: මෙලොව මිනිස්කම් නැතිව ගොස් ඇතැයි කිව හැක්කේ කා හටද? විශාඛා, අනේපිඬු වැනියන් තවමත් වෙසෙත්.

අත්තම්මා හිතින් දෙව් ලොව යයි.


*****************************

පන්ති අවසන්ව ආ මට ගෙදර දොරෙන් ඇතුළු වීමට ඉඩ නොලැබෙයි.

"චූටි?"

එදාට වඩා පිරිසිදුව සැරසී සිටින කාන්තාව, ළඟට පැමිණ මා වැළඳ ගනී.

"මේ චූටි තමා මට උදව් කරේ."
ඇය ආදරයෙන් කියයි.

මම ලැජ්ජාවෙන් ඇඹරෙමි. කාගෙන්වත් හොඳක් ඇසීම විතර ලැජ්ජා හිතෙන වැඩක් තවත් නැත. හොඳ ළමයෙකු ලොවට දායාද කළ අම්මාත් අත්තම්මාත් ආඩම්බරයෙන් මදෙස බලති.

ටීපෝව මත මල්ලක දැමූ ආනමාළු ඇවරියක් සහ පැණි බෝතලයක් වෙයි. ඒ ළඟම අම්මලා සංග්‍රහ කළ විස්කෝතු තසිමක් සහ බී අවසන් කළ තේ කෝප්පයක් වෙයි.
මම ඇඹරෙමින් ගොස් දොරට හේත්තු වෙමි. වැඩිහිටියන් ඉදිරියෙහි හිඳ ගන්නා සිරිතක් හෝ මග හැර යාමේ සිරිතක් මට නැත.

"මම ආවෙ මම රට යන බව කියලා යන්ඩ."

කාන්තාව මදෙස බලමින් කියයි. "අනේ එදා මම හරියට අසරණ වෙලා හිටියෙ. කාගෙන් උදව්වක් ඉල්ලන්ඩද නොදැන. බයයිත්නෙ දැන් කාලෙ ගෙදරකට ගිහින් කතා කරන්ඩවත්, ගෑණු කෙනෙක් හැටියට. හොඳ වෙලාවට මේ ගෙදරට මම ආවෙ."

අම්මාටත් අත්තම්මාටත් ගෑණු ප්‍රශ්න හොඳින් වැටහෙයි.
"කාවවත් විශ්වාස කරන්ඩ බෑ මේ කාලෙ."

කාන්තාව කලින් අම්මලාට කියා තිබූ පුවතක් නැවත මට විස්තර කරයි.
"මම රට යන්ඩ කියලා. ලබන සතියෙ. ඉතින් ඊට කලින් මට උදව් කරපු අය බලලම යන්ඩ ඕනෙ කියලා හිතුවා. මට මීට වඩා දෙයක් ගේන්ඩ හිතේ තියෙනවා. ඒත් මට දැනට ශක්තියක් නෑ. රට ගිහින් ආවහම මම ආයෙත් එනවා චූටිව බලන්ඩ."

"හුඟක් මිනිස්සුන්ට මතක නෑ තමුන්ට උදව් කරපු අය." ජීවිතයෙන් මට්ටු වී සිටින අත්තම්මා කියයි. "අනේ අපිනං මේ කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. නිකං ඇවිත් කියලා ගියත් ඇති. ඒත් එදා හරී හිතේ ගින්දරෙන් හිටියෙ මේ ළමයා පරිස්සමෙන් ගෙදර ගියාද කියලා. ඒ මොකද, මටත් තනියම හැම දෙයක්ම කර ගන්න දුවෙක් ඉන්නවා."

කාන්තාවගේ නෙතෙහි කඳුලක් නැගෙයි. මම බිම බලා ගනිමි. අම්මා මහවැලිය වෙනතකට හරවයි.
"දැන් සේරම ලෑස්තිද යන්ඩ?"

බලාපොරොත්තුව සිටි පැනයක් මතු වුණු සෙයක් කාන්තාවගේ මුහුණෙන් දිස් වෙයි.
"ඇත්තටම, මට නංගිගෙන් අහන්ඩත් මොකක්ද වගේ. ඒත්, මට ජීවිතේට හිතවතෙක් කියලා කෙනෙක් ඉඳලා නෑ, එදා අහම්බෙන් මේ පවුල හම්බෙනකම්. අම්මා මට මගේම අම්මෙක් වගේ කතා කරේ. මට වෙන උදව්වක් ඉල්ලන්ඩ කෙනෙක් නෑ."

අම්මා හෝ අත්තම්මා හෝ කතා නොකරති. මම කොහොමත් වැඩිහිටියන්ගේ කතාවලට හොට නොදමමි.

ඇගේ හඬ බාල වෙයි. "අනේ නංගි, තියෙනවනම් මට පරණ සාරියක්..."

අම්මා මොකක්දෝ තතනමින් කියා ගෙට යයි.
අම්මාටද එහෙමකට ගොඩක් ඇඳුම් නැත. අවුරුදු දහය පහළොව පරණ සාරිත් අම්මා තවම අඳී.

මමද අම්මා පසුපස කාමරයට රිංගමි. අල්මාරියේ මලකඩ කෑ සරනේරු හඬමින් විවෘත වෙයි.

අම්මා සාරි එකිනෙක ඇඳ මත දමා කල්පනා කරයි. කොළ පැහැති කුඩා මල් ඇති සාරියක් අතට ගන්නා ඈ එය අත ගායි. මමද ඇඳ මත වාඩි වී එය අත ගාන්නෙමි. මා කුඩා කල අම්මාට තිබූ සාරි දෙකතුනෙන් එයද එකකි. සතියකට කිහිපවරක්ම  ඇය එය ඇන්දාය. ළමා වියේ මගේ මතකයන් බොහොමයක් ඒ සාරිය හා රැඳී පවතී. එය දෙනවාට මා අකමැතිය. එහෙත් වැඩිහිටියන්ගේ වැඩවලට මම හොට නොදමමි.

සාරිය මල්ලක දමන අම්මා එය රැගෙන සාලයට යයි. මමද ඇය පසුපසින් යමි.

කාන්තාව හුනස්නෙන් නැගිට අම්මා ළඟට පැමිණ සාරිය අතට ගන්නේ පිං වැසි වස්සවමිනි. ඒ දැක අම්මාගේ සිතේ කුසල් සිතුවිලි පහළ වූවාද යනු මම නොදනිමි.
මගේ සිතේ කාන්තාව ගැන පිළිකුලක්ද, ඇයව අපේ පවුලට සම්බන්ධ කර ගත් මා කෙරෙහි ස්වයංකෝපයක්ද ඇති වෙයි.

කාන්තාව අම්මාගේ කණට කර තවත් මොනවාදෝ මුමුණයි.

"ආ.." කියන අම්මා නැවත ගෙට යයි. මමද ඇය පසුපසින් යමි.
අම්මා නැවත අල්මාරිය අදී. ඉරුණු යට ඇඳුම් අතරින් හොඳ ඇඳුම් කිහිපය තෝරා ගන්නා ඇය ඒවාද මල්ලකට දමා ගෙනවුත් කාන්තාව අත තබයි.
සිය කද මළු අතින් කරින් ගන්නා කාන්තාව "රට ගිහින් ආවම මම තෑගිත් අරන් චූටිව බලන්ඩ එන්නම්." කියයි.
මම පිළිතුරු නොදෙමි.

****************************


"බිසෝලගෙ ගෙදරටත් ඇවිත් තියෙනවා. අපේ දිහාට ආව දවසට කලින් සතියෙ."
අම්මා අත්තම්මාට විස්තර කරයි.
" පෙරේරා මහත්තයා එයාට කලින් විස්තරේ කියලා තිබිලා. අන්තිමට මං විතරයි අහු වෙලා තියෙන්නෙ. හැමෝගෙම ගෙවල්වලට ඇවිත්; හැමෝම දැනං ඉඳලා. මට කවුරුත් කිව්වෙ නෑ."

අත්තම්මා පිළිතුරු නොදෙයි. මට ඇය කෙරෙහි තරහක් ඇති වෙයි.

"සාරිය දුන්නට මට දුක නෑ. ඇයි මට කිසි කෙනෙක් හිතවත් නැත්තෙ? මං හැමෝටම පිටස්තර ගෑනියෙක්. මට කවුරුවත් නෑ. මං මොනවා කරාටද?"

අම්මා තවත් මොන මොනවාදෝ කියයි. ඇගේ සිත බෙහෙවින් තැවුලට පත්ව ඇත. අත්තම්මා කිසිවකට පිළිතුරු නොදෙයි. අසන්නට කිසිවෙකුත් නැති කල කතා කිරීමෙන් පලක් නැති නිසාදෝ අම්මා නැගිට කාමරයට යයි.

මම අම්මා පසුපසින් යමි. ඇය ඇඳුම් මාරු කරන තෙක් මම ඉවත බලා සිටිමි. මේසය මත මගේ බාල කාලයෙන් ඉතිරිව ඇති එකම ඡායාරූපය වෙයි. එහි අම්මා රතු, කහ, තැඹිලි මල් සහිත සාරියකින් සැරසී මගේ අතින් අල්ලාගෙන සිටී.


"අම්මට තේ හදන්ඩද?" මම අසමි.

38 comments:

  1. හ් හ් හ් හ් හ්ම් ම් ම් ම් ම් ම් . .. .

    ReplyDelete
  2. මේ කතාව කියවා අවසන දුකද තරහද කේන්තියද . . . කියාගන්න බැරි හැඟීම් ගොඩකින් කොයි එකදැයි හරියටම අඳුනා ගන්න නොහැකි හේතුවක් වෙනුවෙන් ඉහත සුසුම පිටවිය . . .

    ReplyDelete
  3. දොස්තර නොනා..

    කතාව හොඳයි පවිච්චි කරපු රචනා විලාශයත් ලස්සනයි...

    ම්..මෙහෙමයි..... කතාව ඉවර කරපු ඡේදෙ පොඩ්ඩක් ඇඹුල් ගතියක් තියෙනව.... අර climax ද මොකද්ද කියන එක හරියට ආවෙ නැද්ද මන්ද...

    ..."මම අම්මා පසුපසින් යමි. ඇය ඇඳුම් මාරු කරන තෙක් මම ඉවත බලා සිටිමි. මේසය මත මගේ බාල කාලයෙන් ඉතිරිව ඇති එකම ඡායාරූපය වෙයි. එහි අම්මා රතු, කහ, තැඹිලි මල් සහිත සාරියකින් සැරසී මගේ අතින් අල්ලාගෙන සිටී...."

    ..............මේක ඕනැමද මෙතෙන්ට.. ඕනෙමනම්, අම්ම photo එකේ ඇඳන් ඉන්න සාරිය අර දුන්නු එක වත් කලානම් නරකද...

    ...ඕං මෙහෙම කිව්ව කියල තරහ ගන්නව හෙම නෙමෙයි....

    ReplyDelete
  4. අහුවුණාය කියන්නම බෑනේ.

    හොරෙක් නං ඇවිත් අවුරුදු පාලහක් පරණ සාරියකුයි, යට ඇඳුමුයි අරං යයිද?

    ඇත්තටම නැති බැරි කෙනෙක්. නමුත් සංසාරේ පුරුද්දටද කොහෙද හිත යන්නේ හොර-බොරු වැඩ වලටමයි.

    ඉරිදා ට දාන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් මතක් වුණා! Thanks Nalini.

    ReplyDelete
  5. //ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.//

    ඉහත කථාවනම් හරියටම හරි...මාත් ඇගලිතුඩින් හොරෙන් හෙමීට ඇවිත් එබෙනකොටම ඔන්න ලතෝනි දෙනව.. චූටි නෝනා කියල ...එයාලගේ සැටලයිට් එකට බොරු බෑ..

    සාරියේ කථාව මටත් ටිකක් පැටිලිලි??දෙවනවරටත් කියවල බැලුව පින්තූරේ සාරියමද කියල.
    ලස්සනයි..
    තුති

    ReplyDelete
  6. පොතේ පතේ මෙහෙම කිය වෙනවා නලිනි...

    අනාගතයේ දවසක් එනවා..ඒ මේ සම්බුද්ධ සාසනේ අවසානම යුගය...ඒ වෙනකොට අද දකින්න ඉන්න විදියෙවත් හාමුදුරුවරු නැහැ...අද හාමුදුරුවරුන්ට බනින අය එහෙම කාලෙක හිටියොත් එයාලට දකින්න ඉන්නේ මෙහෙම පිරිසක්...

    ‍පන්සල් කියලා කාලාන්තරයකට කලින් තිබුන වාසස්ථානවල ඉන්නවා මිනිස්සු ජාතියක් ඒ අයත් අනිත් මිනිස්සු වගේම තමයි..යන්තං පරම්පරාවෙන් දැන ගෙන ආව බණ පදයක් දෙකක් දන්නවා උනත් ඒවායේ තේරුමක් දන්නෙත් නැහැ..තව කෙනෙකුට කියා දෙන්න අවබෝදයකුත් නැහැ..ඒත් කවුරු හරි ඇහැවුවාම කීයක් හරි අරගෙන නොකියනවමත් නෙවෙයි.

    හොදට ඇදලා කරලා කාලා බීලා ඉන්නවා..ගෑණූ ඉන්නවා..ළමයි ඉන්නවා...කියන්න තරං වෙනසක් ඇත්තෙත් නැහැ..ඒත් බුංචිම වෙනසකට තියෙන්නේ මෙන්න අතේ බැඳලා තියෙනවා හීනි කහ නූල් කෑල්ලක්..ආන්න ඒ මනුස්සයාව අදුන්වන්නේ "කාසාව කණ්ඨක" යා කියන නමින්...

    ඒ තමා සම්බුද්ධ සාසනයේ අවසානම පුරුක...ඊටත් පස්සේ සාසනය ඉවරයි..කාසාව කණ්ඨක තෙමේත් නියෝජනය කරන්නේ සැරියුත් මුගලන් පරම්පරාවම තමා..උනනාන්සෙලට දෙන දානයත් අද අපි සාංඝික කරලා දෙන දානයත් එදා විසාකාව අනේ පිඬු සිටුතුමා සැරියුත් මුගලන් ආදී මහ රහතන් වහන්සේලා විෂයෙහි දුන්න සාංඝික දානයත් එක හා සමාන ආනිසංස තියෙනවා කියලා තමා කියවෙන්නේ...මොකද දෙන්නේ සාසනයට..ඒකේ දවසක් හරි පැවැත්ම ආරස්සා කොරගන්න..

    ඕකේ හොඳම එක තමා..එහෙමවත් කන්න ටිකක් දෙන්න තරං ඒ කාලෙ වෙනකොට මිනිස්සු හිතන්නේ නැහැ..ඉතිං මොකද කරන්නේ අර කාසාව කණ්ඨකයින් හොරෙන්ම ගෙවල්වලට පැනලා ගෙවල්වල කුස්සිවල තියෙන බත් මුට්ටි උස්සන් දුවනවළු...මේක දකින මිනිස්සු සමහරක් පොළු අරගෙන පහු පස්සේ ගෙහුන් දෙසා බාන අතරේ තවත් සමහරු "ඔන්න ඔහේ කාපුදෙන්" කියලා හිත හදා ගන්නවා..ආන්න එහෙම හිත හදා ගත්තනං ඇති දානයේ ඵලය අර කිව්ව සාංඝික දානයේ ආනිසංස වලට සමාන වෙන්න...

    ඔන්න අනාගතයේ දවසක දානමය පින්කං කෙරෙන හැටි..අපි ඉන්නේ අතර මග නෙව...

    දරුවන් පතාගෙන ආව ජූජක බමුණාත් ඒ දරුවෝ ඉල්ලුවේත් ඔහොමම තමා..ඒත් වෙස්සන්තර රජ්ජුර්වෝ ඔය දුන්නේ යස අගේට...මොකද පිනේ අඩුවක් උනා කියලද...පිනනං පිනම තමා...ආයේ ඉතිං මේකත් ලබන්නා කෙසෙ කීවත් දෙවන්නා දුන්නේ හොද හිතිං නෙව...

    වැරැද්ද කොරලා තියෙන්නේ ඒ දාන චේතනාව පස්සෙන් පහු නරක් කොරන්න ඇවිත් කේලම කියපු බිසෝලගේ ගෙදර උදවිය තමා..උන්දලා පිනට දීලත් නැතිව තව ලොකු කොමට ඇවිත් අර ආත්තමගෙත් හිත කෑවා.."ඇද්ද උඹලා අහු උනා නේද කියලා"
    උන් පින් කරන්නෙත් නැහැ..වැරදිලා හරි කොරගත්ත පින පරිස්සං කොරගන්න අනිත් උන්ට දෙන්නෙත් නැහැ...මේ දවස්වල ලියන එක බල්ලට ගෙහුන් හින්දා මිසක් නැත්තං දැන් මට ලියන්න කතා පෝලිමක් මතක් වෙනවා...

    ........................

    හැබැයි පුතෝ කවුරුහරි මාව ඇන්දුවොත් මං මරාගෙන මැරෙනවා...අනිනවා පිහියකින් මැරිලා වැටෙන්නම...ආ අද පෝය නේද..? හුටා...වැරදුනා...
    ....................
    හිතත් හරියටම එකම කාසියක දෙපැත්ත වගේ...

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්
    මටත් කතාවක් මතක් උනා අක්කා....... ලියන්න ඕනි දවසක් බලලා.

    අර සාරිය නම් මාත් කම්පනා ක‍ලෙමි.

    ReplyDelete
  8. මං වගේ එකෙක්..පුංචිම පුංචි පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නැහැ..ඒත් දිග කොමෙන්ට් ලියනවා..මේ ලියන වෙලාවේ මෙච්චර දිගට පෙනුනේ නැහැනේ..දැන් බලනකොට ඒක පෝස්ට් එකක් විතර ඇත...
    ආ මේකනං පල නොකලත් කමක් නැහැ...

    ReplyDelete
  9. @ දුකා: "අපරාදෙ කියෙව්වෙ" කියලද? නෑ ඉතිං, ඔහොම අයත් එක්කත් ජීවත් වෙන්න එපායැ. සුසුමක් හෙළලා දුක/තරහ අයින් කරාම ලේසියි. බොහොම ස්තුතියි සටහනක් එක් කළාට.

    @ සපතේරු උන්නැහේ: ඒකනම් ඇවිත් නෑ නේද? මටත් එහෙම හිතෙනවා. ඒ වුණාට ලිව්ව ගමන් අනික් පැත්තට දාන්ඩ හිතුණා ආයෙ වෙනස් නොකර. පස්සෙ සමහර තැන් වෙනස් කරන්ඩ හිතුණත් එතකොට කොම්පියුටර් එක නිවලත් ඉවරයි.
    ෆොටෝ එකේ සාරිය අර දීපු එකම වෙන එක සාමාන්‍යයෙන් කතාවල වෙන දේනෙ. ඒකයි එහෙම නොකළෙ. දුන්නු එක දීලම ඉවරයි. ඒක ආයෙ අම්මගෙ ජීවිතේවත් නෑ. ඒක දුන්නට අම්මට දුක නෑනෙ.

    තරහ අරන් බෑනෙ. ඇවිත් මොනව හරි අඩුපාඩු පෙන්නලා දෙන්ඩ ඉන්න අයත් එක්ක. (ආත්මාර්ථකාමීකම)

    @ කතන්දර: ඔව්, හොරෙක් කියන ලේබල් එක දෙන්නෙ අර අහක ඉන්න පිරිසක්. තමුන් මුකුත් උදව්වක් නොකර, ඒ වරද වහ ගන්න වෙන කතාවක් කියනවා.

    @ ගිම්හානි: පින්තූරෙ සාරිය කලින් එක නෙවෙයි. ඒක දීලා හිතින් අහක් කරලා ඉවරයි අම්මා. අම්මා දුවගෙ අතින් අල්ලගෙන ඉන්නවා විතරයි.
    ඔව් ඔව්, අපි හැංගෙන්ඩ හැදුවොත් මාට්ටු වෙනවම තමයි.

    @ මාරයා: මේ විස්තරය ඔයා කලිනුත් පෝස්ට් එකක දාලා තිබිලා මම කියෙව්වා. දෙන්නට පෙරත්, දෙනකොටත් පිරිසිදුව තියාගත්තු හිත, දුන් පසු බිඳින්නට හදන්නෙ අහක යන මිනිස්සු.
    වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ දීම එක්කනම් මම එකඟ වෙන්නෙ නෑ. දරුවන්ව හෝ බිසවව දන් දෙන්ඩ එයාට අයිතියක් නැහැ. බිසවත් දරුවනුත් වෙනත් මිනිස්සු. එයාට අයත් භාණ්ඩ නෙවෙයි. එච්චර ඇම්මක් තිබුණනම් ගිහින් එයාටම ජූජකගෙ ගෙදර වැඩකාරකම් කරලා දෙන්ඩ තිබුණනෙ.

    ඔය මතක් වෙන කතා පෝළිම ඔන්නොහෙ ලියලා දාන්ඩ.

    @ හා පැටික්කි: ලියන්ඩ ලියන්ඩ.
    සාරියනම් අම්මා දීලා, හිතෙන් අයින් කරලා ඉවරයි. ඒකෙ පින්තූරයක්වත් අම්මා තියාගෙන නෑ. ඔයත් ඒක හිතින් අයින් කරලා දාන්ඩ. :D

    ReplyDelete
  10. මාරයාගේ උත්තරෙත් සෑහෙන කල්පනා කරන්ඩ ඕන දෙයක්... කවදත් දැක්ක අපූරු රටාව නලිනි ගේ මේ කතාවෙත් තියෙනවා.... ලස්සනයි...

    ReplyDelete
  11. නෑ නෑ අපාරාදේ කියෙව්වේ කියලා මට සුජීව ප්‍රසන්නගේ බාලම බාල පොතක් බලල කලාතුරකින් හිතෙනවා මිසක් කියවපු කිසිම දෙයක් කියෙව්වේ අපරාදේ කියලා හිතෙන්නේ නෑ.

    මිනිස්සුත් එක්ක තරහක් . . . අසරණ මිනිස්සුන්ව රවට්ට අය ගැන කේන්තියක් . . . මනුස්සකම නිසාම රැවටෙන අසරණ මිනිස්සු ගැන උපන් ශෝකයක් . .

    ඔන්න ඔය වගේ හේතු ගොඩක් . . .

    ඒ කියන්නේ ඔයාගේ නිර්මාණය සාර්ථකයි.

    සපතේරු උන්නැහේ කිව්ව වගේ දන් දුන්නු සාරිය ඇඳ ගත්තු පින්තූරය කිව්ව නම් අගෙයි තමයි. ඒත් අම්මට තියෙන්නේ මතක හිටින තරම් සාරි කීපයක් කියන්න ඕන කමට කිව්ව ඒ කෑල්ලෙන් මට නම් අඩුවක් දැනුනේ නෑ . .

    ReplyDelete
  12. අඩේ වෙස්සන්තරගේ දන් දීම ගැන ඔයා ඉන්නේ මම ඉන්න මතේමයි .. . දැනුයි දැක්කේ . . දාන්න පහක් . . .

    ReplyDelete
  13. @ දුකා: මෙන්න දැම්මා පහක්. :D
    (මම හිතුවෙ පෝය දවසෙ කිව්ව කතාව කියලා කඩු කිණිසි අමෝරගෙන කට්ටිය එයි කියලා)
    ඔව්, තිබුණෙ සාරි දෙකතුනක් කියන එක තමයි කියන්න ඕනෙ වුණේ මටත්.

    @ Jeew: බොහොම ස්තුතියි කියවලා සටහනක් එක් කළාට.

    ReplyDelete
  14. හොරකමේම නෙමෙයි නොවැ ඇවිත් තියෙන්නේ......එහෙම ආවනම් අහවල් එහෙකටද කෙසෙල්, මී පැණි ගේන්නේ.....

    මාරයා බොට පිං බොලල්ලා නොදන්න දේ කියා දෙනවට.....බල්ලව එලෝල දාල ලියමු ඔන්න ඔහේ යන පැත්තකට යන්න කියල......

    දොස්තර නෝනා සිල් එහෙම ගත්තෙ නැතෙයි ඇඳේ ඉඳන්.....ගිය පෝයටත් වැඩේ දෙල් උන එකේ.....

    ReplyDelete
  15. වැඩේ පාඩුම නැහැ . කෙසෙල් මීපැණි වලට පරණ සාරියක්. අපේ ඉස්සර තිබුණු හුවමාරු ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක් එයා. බස් එකේ හිඟා කන අයට ගොඩක් වෙලාවට මම කියක් හරි දෙනවා.[අමුම හොරෙක් කියල සහසුද්ධෙටම පෙන විට හැර,] බොරු කිව්වා වුනත් ආත්ම ගව්රවය පවා දීල යදින එක ගැන සලකලා . දුන්නේ නැතුවම බැන බැන යන එක තමයි නරක .

    ReplyDelete
  16. හරිම සරලයි ගෑනියෙක් එනව රවට්ට්ල සාරියක් ගන්නව යනව...මේකෙ කිසි අලුත් දෙයක් නෑ නෙව...
    කන්සෙප්ට් එකනම් එකයි..චරිත වෙනස්...
    අර දුප්පත් මිනිස්සු හොරකම් කරන්නම දඟලනව කියන කොමෙන්ට් එකට මම කැමති නෑ....
    දුප්පත් මිනිස්සු ගොඩක් අය දුප්පත් වෙල තියෙන්නෙ හොරකම නොදන්න නිසා...

    ReplyDelete
  17. අනේ මන්දා ? හොරකමක් කියන්න නම හිත්දෙන්නෙ නැහැ...ඒත් ලිඳ ළඟ සංගම් වගේ ඒවා වලින් ඔය වගේ දේවල් වලක්වා ගන්න ලොකු මෙහෙයක් වෙනවා...
    කොහෙද..මට පේන්නෙ ඒ කිසි දේකට නියමිත විදියට සහභාගි වෙලා නැහැ වගේ...

    ReplyDelete
  18. මට හිතෙන විදියට නම් මෙහෙමයි, අපි දෙයක් වෙන කෙනෙකුට දුන්නම ඒ ගන්න කෙනා හොරෙක්ද, වංචාකාරයෙක්ද නැත්තම් අහිංසක අසරන මනුස්සයෙක්ද කියන එකට වඩා දීපු චේතනාවයි වටින්නෙ. අපි ඒක හොද හිතින් සතුටින් දුන්නනම් එච්චරයි.ඒ සතුට අපිට තියනවා අනික දුන්නට පස්සෙ දුන්නෙ කාටද එයා කවුද මොනව කරන කෙනෙක්ද හොරෙක්ද ඒවනම් හොයල වැඩක් නැ.:P මොකද දීල ඉවරනේ. ඒකෙන් වෙන්නෙ දුන්න කියල හිතේ ඇතීවෙච්ච සතුටත් නැති වෙනඑකයි. වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ ලග තියන යහපත් ගතිගුන වලින් අයුති ප්‍රයෝජන ගන්න අය ලගයි.

    ReplyDelete
  19. කවදත් වගේම කතාව ඉදිරිපත් කරපු ආර ලස්සනයි.

    දනක් දෙන්නේ කැරට්ටුව බලලා නොවුනත් රැවැටීමට ලක් වූවා කියලා හිතට දැනෙද්දී ඇතිවෙන්නේ කලකිරිල්ලක්. ඒ ඉතිං අපි පෘතග්ජන මිනිසුන් නිසා. රැවටිලිකාරයෝ ලංවෙන්නේත් බාගන්න පුලුවන් අයට විතරයි. මොනතරම් හිතාගත්තත් මින් පසුව අහුවෙන්නේ නැහැ කියලා ආයෙත් වතාවක් තක්කඩියෙක් හමු වෙන තුරු තාවකාලිකව විතරයි අපිට ඒ තීරණයේ ඉන්න පුලුවන් වෙන්නේ.

    ReplyDelete
  20. "පරන ඇදුම් පිනට දීමෙන් වලකින්න"

    ReplyDelete
  21. මොකක්ද දැන් මේකට දාන්න ඕන කමෙන්ට් එක... කතාව කියවද්දි එක එක හැඟීම් හිතට ඇවිත් දැන් අච්චාරුවක් වගේ..... ලස්සන කථාව... මේ වගේ ඒවානම් මට ඕනතරම් වෙලා තියෙනවා....

    ReplyDelete
  22. මට හිතෙන්නෙ නලිනි අක්කා අර පින්තුරෙ දිහා බලලා තමන්ගෙ හිතට ආපු දුක නැතිකරගත්තද කොහෙදෝ...අර සාරිය නැතුවට පොඩිකාලෙ මතකයන් එක්ක බැඳුනු තව සාරි අම්මට තියෙනවනෙ කියලා..හරියට අර රතු, කහ, තැඹිලි මල් ඇති සාරිය වගේ..කොල පාට මල් නැතුවට ඔය පාට තුනකින්ම මල් තියෙන්නෙ.. හරිම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  23. @ Heeniyata: ඔව්, මොකක් නිසා ආවද කියන එක වැදගත් නැහැ- 'අනුන්'නෙ. තමන් ගැන අම්මා කරදර වෙන්නෙ ඒකයි.
    සිල් නේද?

    @ Bindi: ඒක ඇත්ත බින්දි, අපිම කාට හරි දුන් දෙයක් වුණත් ආපහු ඉල්ලන්ඩ ගිහාම තියෙන අමාරුව ගැන හිතුවම, ජීවිකාව පිණිස කාගෙන්වත් යදින්ඩ වෙනවා කියන එක මටනම් හිතා ගන්ඩත් අමාරුයි. හැබැයි දැන් ඉන්න හුඟක් අය, දෙන දවසට අරන්, නුදුන්නු දවසට බැන බැන යන අය තමයි.
    ඔය ගැන කියනකොට මතක් වුණේ- දවසක් නුවර ස්ටේෂන් එකේදි නැග්ගා බේබද්දෙක්- මිනිහා මිරිකුවනම් අරක්කු හැලියක් ගන්න තිබුණා. උතුරන ගානයි. මිනිහා වැනි වැනී කියනවා, මිනිහත් ඔය ක්ලැරන්ස්ලා... (නම් සෙට් එකක් කිව්වා, මට දැන් මතක නෑ.) එක්ක සින්දු කිව්ව කෙනෙක්ලු. දැනුත් ඕනෙනම් කියන්ඩ පුළුවන් හොඳ ගායකයෙක්ලු. මේ දවස්වල පොඩි කැස්සක් හින්දා කියන්ඩ බැරිලු. :D මම මිනිහට සල්ලි දුන්නා, බොන්ඩ යන බව දැන දැනම, අර කම්මැළි වෙලාවෙදි දීපු ෆන් එක ගැන හිතලා.

    @ Indi: ඔව්, මෙතන ලියවෙන කිසිම කතාවක්, කවියක් අලුත් දෙයක් නොවෙයි; එදිනෙදා ජීවිතයෙදි මිනිසුන්ට මුහුණ පෑමට වෙන සිද්ධි.

    @ Luckey: ඒකනෙ. හරියට හෝම්වර්ක් කරලා නෑ. :D

    @ Blogger in සිංහල: ඔව්, දානය ගැන බැලුවොත් එහෙමයි. එහෙම අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අයත් සමාජයෙ බහුලයි.

    @ ඩීන් අය්යා: ඔව් අය්යා. සමහරු ආයෙ ආයෙත් රැවටෙනවා. ඒ විතරක්යැ. සමහරවිට අපි යමක් දෙන්නෙම අපව රවටන බව දැන දැන, නෑ බෑ කියන්න බැරිකමට, එහෙමත් නැත්නම් අනුකම්පාවට.

    @ හර්ෂණ: අකුරු වැරදි.

    @ අභීත: ඔව් ඔව්. එහෙම ඒවා නොවුණු කෙනෙක් හොයා ගන්න නෑ.

    @ මකුළු පැංචි: ස්තුතියි අදහස් බෙදා ගත්තට මකුළු පැංචි. ඔව්, ඒ සාරිය නැතුවට, හිතවතුන් නැතුවට, අම්මාට අතින් අල්ලාගෙන ඉන්න දුවෙක් ඉන්නවා.

    ReplyDelete
  24. කතාව නිතර දකින දෙයක්. අපූරුවට ලියලා තියෙන්නේ.. ඔය චරිත වල තියෙන ඇද අපිට යවන්න බෑ. පිංතූරෙ සාරිය මාරු කරපු එකෙන් මං හිතුවෙ ඔයාටත් ඒ දීපු සාරිය හිතින් අයිං කරන්න ලේසියි කියන එක පෙන්නන්න හැදුවා කියන එකයි. ඒත් ඔයා එහෙම හිතලා නෑ වගේ.
    තව දෙයක්. මං මෙච්චර දවස් ඔයා ගැන හිතං හිටියේ අපේ චන්දි අක්කා කියලා. සමා වෙන්න හොඳේ.. කමෙන්ට් වල අක්කා කියලා කිව්වට. දැන්නම් ඔයා අක්කද නංගිද කියලා දන්නේ නැහැ. හික්.. හික්...

    @මාරයා

    සුපිරි කමෙන්ටුව සහෝ...

    ReplyDelete
  25. @ චතුර: බොහොම ස්තුතියි කතාව ගැන අදහස් බෙදාගත්තට. මොනවා හරි ලිව්වම එක එක්කෙනා ඒ ගැන දරන මතයන්, තේරුම් ගන්න විදිහ එකිනෙකට වෙනස්. සමහරවිට මම කියන්න හැදූ දේට හාත්පසින්ම වෙනස් අදහස්. :D

    මම අක්කා. චාන්දි අක්කගෙ බ්ලොග් එක චාන්දිගේ සිතුවිලි උයනනෙ. http://chandigesithuviliuyana.blogspot.com/
    ඒ වගේම සිත නිවන පියුම් විල කියලා එකකුත් තියෙනවා එයාගෙ, බුදු දහමට නැඹුරු. http://piyumvila.blogspot.com/

    ReplyDelete
  26. පිනට දීපු දෙයක් ගැන ආයිත් හිතන්න එපා දොස්තර නෝනේ... දුන්න දේ දුන්නා...දුන්න දේ ගන්න කෙනාගේ හැඟීම කොයි විදිහක උන් දන් දීමෙන් ලැබෙන ආනිසංසය,ඒ පින ලැබෙයි..
    කොච්චර කොහොම කිව්වත් අපේ මිනිස්සු ලඟ තවමත් මනුස්සකම ඉතුරැවෙලා තියෙනවා...
    මම දන්න සිද්ධියක් තිහෙනවා... තමන්ගෙ කඩෙන් බඩු වගයක් හොරකම් කරපු මනුස්සයෙක් අහුවෙලා ගහලා තියෙනවා.. පස්සේ අර මනුස්සයා වැඳලා කිව්වළු හොරකම් කලේ ළමයින්ට කන්න දෙන්න කියලා.. මුදලාලි විස්තරේ හොයලා.. කථාව ඇත්ත.. පස්සේ ඒ පවුලට සතියනට පමන සෑහෙන බඩු මල්ලකුත් දීලයි හොරාව පිටත් කරලා තියෙන්නේ..
    ජය...

    ReplyDelete
  27. මේ වගේම සිද්ධියක් පසුගිය අප්‍රියෙල් මාසෙදි නෑදා ගෙදරකට ගිය වෙලාවෙ අත්දැක්ක. අදාළ කාන්තාව ඇවිල්ල හිටියේ දෙල් ගෙඩි දෙකක් එහෙම මල්ලක දාගෙන,කලින් කල උදව්වලට ස්තුති කරන්න, එත් පරණ ඇඳුම් විතර නෙමෙය්,දකින දකින දේ ඉල්ලුව.ගෙදර අයත් පුළුවන් දේවල් දුන්න,සමහර දේවල් තවම පාවිච්චි කරන දේ නිසා දුන්නෙ නැහැ. ඒ ගෙදර කට්ටියට අර කාන්තාවගෙ ක්‍රියා කලාපය ආරංචි වෙලා තිබුනෙ අසල් වැසියන්ගෙන්.

    දුකාගෙ, අභීතගෙ කොමෙන්ට් වල තිබුන වගේ කතාව කියවගෙන යද්දි මිශ්‍ර හැන්ගීම් පහල වුනත්,මාරයගේ කොමෙන්ට් එක කියෙව්වම නිකම් බණක් ඇහුව වගේ සිත සන්සුන් වුනා.

    සාරියක් තියෙන පින්තුරේ ඉවත් කලාද?

    ReplyDelete
  28. මට මතක් උනා ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තය දවසක් කැම්පස් එකේදී හිඟන්නෝ ගැන කතා කරනකොට උන දෙයක්.. එක කොල්ලෙක් ඇහුව "සර් බොරුවට තුවාල වගේ කරෝල කැලි බැඳගෙන.. අන්දයෝ වගේ පෙන්නගෙන ඔහොම රැවටිලි කරමින් හිඟාකන මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕන" කියල.. එතකොට රත්නපාල මහත්මය කී දේ හරිම අපුරුයි..
    "කවුරු හරි මනුස්සයෙක් මොන විදිහට හරි දෙයක් ඉල්ලන්න ඉස්සර තමුන්ගේ ආත්ම ගවුරවය යම් ප්‍රමාණයකට පහත්වීම පිළිගන්න ඕන. මහමග මලත් නොඉල්ලන මිනිස්සු කොච්චර ඉන්නවද ? හිඟන්නෙක් වෙනකොට එක ඊටත් වඩා දරුනුයි.. එයා සම්පුර්ණයෙන්ම ආත්ම ගවුරවය බිලිදීල ඉවරයි.. ඒ තත්වයට වැටීමට වඩා තවත් බරපතල දඬුවමක් මනුස්සයෙකුට දෙන්න පුලුවන්ද ? තමුන්ටම දඬුවම් කරගන්නා ඒ මිනිස්සුන්ට අනුකම්පා කරන්න " කියල...

    ReplyDelete
  29. මුල හරියෙදිම මට නම් හිතුනා මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා. මෙහෙම දෙයක් අපිටත් වෙලා තියෙනවා. හැබැයි තරහා අරගෙන වැඩකුත් නෑ. අර මාරයා ගේ කමෙන්ට් එක නම් සෑහෙන්ට වටිනවා.
    ඇත්තට අර කතන්දර කිව්වා වගේ පොතක් ලියන්න උත්සාහ ගන්න නලිනි.
    ජය !!!!

    ReplyDelete
  30. හ්ම්......නැති උනත් තියන දෙයින් හරි ඒ කාන්තාවට පිහිට උනානේ....නැති බැරි කම වෙනයි...එත් නැතැයි කියල ලෝකෙට පෙන්නන්න බැනේ.....ගොඩක් ඔය විදියට ඉල්ලන් එන අය හැම ගෙදරකටම ගිහින් තමා එන්නේ....අපේ අම්මා නම් පරණ එත් අදින්න පුළුවන් ඒවා අයින් කරලම තීනවා, ඉල්ලුවම දෙන්න බලන්....අර හොරෙන් බැලිල්ලනම් සහතික ඇත්ත.....

    ReplyDelete
  31. @ Observer: ඔව්, මම හිතන්නෙ ඕක ඔය කර්මාන්තයෙ යෙදෙන අයගෙ එක් ක්‍රමවේදයක්. තව තියෙනවා, නාට්‍යයකට ටිකට් විකිණීම (ඇත්තටම නාට්‍යයක් ඇත්තෙ නෑ.) නිකම්ම හිඟා කෑම වෙනුවට ළමයි වඩාගෙන ඒම, රෝග විනිශ්චය කාඩ්පතක ඡායා පිටපතක් අරගෙන බෙහෙත්වලට වියදම් ඉල්ලීම, හෘද සැත්කම් සඳහා ආධාර ඉල්ලීම, මිනිස්සුන්ට පලක් නැති ද්‍රව්‍යයක් විකිණීම (භාණ්ඩය නොගෙන නිකම් මුදල දීමට පෙළඹෙනවා මිනිස්සු එතකොට), වගේ නොයෙක් ක්‍රම තියෙනවා. ඔය දේවල් අත්නුදුටු කෙනෙක් මේ රටේ ඇත්නම් ඒ බොහොම පිටිසර ගම්මානෙක වෙන්න ඕනෙ.

    යෙෂ්. මාරයා පැහැදිලි හොඳ බණක් කියලා.

    සාරියක් තියෙන පින්තූරෙ? ඉවත් කළේ නැත.

    ReplyDelete
  32. @ සරත් ලංකාප්‍රිය: ඔබ කියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි. මටත් හිතෙන්නෙම, කොහොමද එහෙම ඉල්ලන්නෙ කියන එක. අපි කාට හරි පොතක් හෝ මුදලක් දීලා, ඒ කෙනා ඒ දේ ආපහු නුදුන්නොත්, අපිට කොච්චර අමාරුද ආපහු ඉල්ලන්නෙ? තමන්ගෙම දේ වෙලත්, ඉල්ලීමට අපට අයිතියක් තිබිලත්, අපිට එහෙම ඉල්ලන්න අමාරුනම්, මේ මිනිස්සුන්ට මොන තරම් අමාරුවක් ඇද්ද?
    සමහර හිඟන්නන් විශාල මුදල් ආදායම් ලබන බව කියනවා. නමුත් මුදලකින් ඇති පලය මොකක්ද ඒ මනුස්සයට පිරිසිදුවට ඉන්න නැත්නම්; ආත්ම ගරුත්වයක් නැත්නම්; හිතේ සැනසිල්ලක් නැත්නම්.

    ReplyDelete
  33. @ හරි- පිණිපලස: ඔව්, එහෙම සිද්ධි අප අවට නිරන්තරයෙන් වෙනවා. එහෙම සිද්ධියක් මතු කරායින් මාරයාගෙන් බණ පදයක් අහන්නත් ලැබුණා. බොහොම ස්තුතියි.

    @ සිතුවිලි නිහඬයි: ඔව්, තමුන්ට නැතත්, අනෙක් කෙනා ඉල්ලන්න වංචාවට බව දැන දැන වුණත්, අනුකම්පාවෙන් දෙන අය ඕනෙ තරම් ඉන්නවා. ඔබ කියනවා ව්අගේ අවශ්‍ය කෙනෙකුට දෙන්නට ද්‍රව්‍ය වෙන් කරගෙන ඉන්න එක පහසුවක්. එතකොට ගෙදර ඉන්න කෙනෙකුට පුළුවන් එහෙම කෙනෙක් ආවිට දෙන්න.

    ReplyDelete
  34. ලියන්න දේවල් බොහොමයි.

    මුලින්ම කතාව ගැන. දන්නවනේ මං ගුණ දොස් විචාරයක් දාන්නේ ඔයා එක පිලි ගෙන මං කියන විදිහට ලියන්න ඕනේ කියලා හිතාගෙන නොවේ. ඔයාගේ නැචුරල් විදිහට ලියන්න.

    නලිනිගේ සුන්දර ලේඛන ශයිලිය නම් අඩු නැතිව තිබ්බා. ඔය ෆ්ලෝ එකටයි වචන ගැලපිමටයි මං හරි කැමතියි. දිග හා කොට වගන්ති මිශ්‍රනයත් පට්ට.

    කතාව නම් පෙර කතා තරම් ජිව ගුණයකින් පිරි නැත්තේ සියල්ල පේන කිවවා වගේ ප්‍රේඩික්ටබල් නිසා. කතාව තුල ට්විස්ට් ඇන්ඩ් ටර්න් තව තිබ්බ නම්, හා වඩාත් අවිනිශ්චිත අවසානයකට ගියා නම් අගෙයි.

    ඒත් කෙසෙල් හා පැණි වල මිලට අද තියෙන වටිනාකම දැක්කම මට හිතුනා නලිනි මේක ඇත්තටම අත් විඳපු දෙයක් [ඔයාගේ උසස් පෙළ කාලේ ඒවා ඒ තරම් මිල නැති නිසා]. මේ සාධකය කතාවේ වත්මන් ප්‍රායෝගිකත්වයට හානි කරනවා. ඒක නොතිබ්බ නම් පට්ට.

    දැන් අතුරු කතා.

    මුලින්ම මේ ඇඩ් එක මගේ බ්ලොග් එකෙන්.

    දෙන්න ද නොදෙන්න ද?

    මගේ කවියත් හැබැයි ප්‍රේඩික්ටබල් ඇන්ඩ් නතින් බිග් වගේ, ආපහු හැරිලා බැලුවම.

    ඔය ප්‍රශ්නය අප කාටත් පොදුයි. හැමදාම හිත ටැකල් කරන ප්‍රශ්නයක්. දෙන්න ද නොදෙන්න ද?

    ලියන්න කාරනා බොහොමයි. දුක හිතෙන අය ඇස් පියා ගන්න.

    - 2001 විතර කාලේ පත්තරේ ගිය කතාවක්. හින්ගන්නියකට උපන් නිරෝගී පුංචි පැටියෙකු ගෙ අත් දෙක කරකවා කඩා දාලා කල්ලියේ නායකයා. නිරෝගී පොඩි එවුන මොකටද? අම්මට දරුවාගේ වේදනා වින්ද ගන්න බැරුව හොස්පිටල් ගිහින් අත් දෙක හදා ගන්නවා. ඒත් අම්ම ආයිත් ආ ගමන අර නරුමයා දරුවාගේ අත් ආයිත් කඩනවා. මෙවර අම්මා හිඟන කමට හෙන වැදීයන් කියලා හොස්පිටල් ගිහින් පොලිසිත් යන්නේ. එතනින් අහාට මං දන්නේ නැහැ. පොලිසිය නේ ඉතින්...

    දරුවන් වඩාගෙන එන අයට මා සල්ලි දීම නැවැත්තුවා විතරක් නොවේ මුනටම කියනවා.

    - ඉස්කෝලේ යන පුංචි කාලේ බස් එකේ යන්න සල්ලි නැතිය කියලා මගෙන් එකෙක් ගානක් කඩා ගත්ත. බයටයි දුන්නේ, ඒ නිසා මට බුවා මතක හිටියා. අවුරුදු කිහිපයකින් මෙන්න මු මට සේම් ස්ටොරිය අත අරිනවා. මං කිව්වා, "මං ඔයාට කලින් දවසේත් සල්ලි දුන්න නේද?" කිව්වා විතරයි මෙන්න මූ දිව්වා. එදා ඉඳං ඒ ගේමට මං දෙන්නේ ඔය ගේම. "මං ඔයාට කලින් දවසේත් සල්ලි දුන්න නේද?"

    - රට ඉන්න නෑයෝ කෙල්ලක් ආවා ලංකාවේ හිඟන්නන් දරුවන් ප්‍රදර්ශන භාණ්ඩ ලෙස යොදා ගන්න එක ගැන වැඩ සටහනක් කරන්න. මං එයාට උදව් කළා එක්ක ගිහින් හා පරිවර්තනයෙන්. අපි එම් සී එක ළඟ අම්ම කෙනෙක් ගෙන ප්‍රශ්න ඇහුවා. මෙයා කියන හැටියට, හබියා එකතැන [හැබැයි පැටව් නම් හැදෙනවා]. දරුවා පොඩිකාලේ ඔහොම කරනවා ලු. ලොකු උනාම බංගලාවක වැඩට දෙනවලු. තව දරුවෙක් හදා ගන්නවලු [පාරේ තියන් ඉන්න]. අපි මුලින්ම සල්ලි දුන්නු නිසා එයා බය නැතිව කිව්වේ.

    අතුරු කතා එමටයි. මං හැමදාමත් ඇහැ අරගෙන බලන් ඉන්න දෙයක් මේක. කරන්න දෙයක් නැති කමින් අපි දුක් විඳිනවා හිතෙන්. හැබැයි කොට සැනසුමකට මා සුදානම් නැහැ. සල්ලි දීම බොහෝ විට කල හැකි නරක ම දෙයයි.

    [[වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ දීම එක්කනම් මම එකඟ වෙන්නෙ නෑ. දරුවන්ව හෝ බිසවව දන් දෙන්ඩ එයාට අයිතියක් නැහැ. බිසවත් දරුවනුත් වෙනත් මිනිස්සු. එයාට අයත් භාණ්ඩ නෙවෙයි. එච්චර ඇම්මක් තිබුණනම් ගිහින් එයාටම ජූජකගෙ ගෙදර වැඩකාරකම් කරලා දෙන්ඩ තිබුණනෙ]]

    දාන්න නංගි පහක් [නංගි කිව්වේ සීමාවාසික 2003 කිව්වා නිසා]. මේක මයි මාත් හිතන විදිහ. වෙස්සන්තර කළා කියලා මේ වගේ කාලකන්නි වැඩ වලට සාදු කියන්න බැහැ මට.

    හැබැයි මාරයා[නන් වහන්සේ - මෙතන බන කිව්ව නිසා] කිව්ව ඉතිරි ටික නම් පට්ට. සිම්බෝලිකලි බැලුවොත් ඇත්ත නේද?

    ඔබට ජය.

    ReplyDelete
  35. මනුස්සකම......................

    කොළොම් තොටෙන් නැව් නැංඟා.....

    ReplyDelete
  36. චේතනාව නෙව කර්මයට මුල් වෙන්නෙ, දෙන දේ හදවතින්ම දුන්නාම ඉවරයි ...........

    ReplyDelete
  37. ඇත්තටම අසරණ වෙන මනුස්සයෙකුට වත් උදව් ලැබෙන එක නවතිනවා මේ වගේ වැඩ කරන අය නිසා. මොනවා කරන්නද. මිනිස්සු කාලා බලන්නද....

    ReplyDelete
  38. @ සුජීව:
    [මුලින්ම මේ ඇඩ් එක මගේ බ්ලොග් එකෙන්.

    දෙන්න ද නොදෙන්න ද?

    මගේ කවියත් හැබැයි ප්‍රේඩික්ටබල් ඇන්ඩ් නතින් බිග් වගේ, ආපහු හැරිලා බැලුවම.]

    ඔයාගෙ කවිය කියෙව්වා කලිනුත්. කමෙන්ටුවක් දාන්නට තව හිතන්නට ඕනෙ කියලා හිතුවා. අපේක්ෂිත දේවල් ජීවිතේට තියෙන එකේ අගේ තේරෙන්නෙ අනපේක්ෂිත දේවල් එක්ක ඉන්න වුණහම. ඒ නිසා මමනම් කැමතියි ප්‍රිඩික්ටබල් දේවල්වලට.

    දරුවන් පෙන්නාගෙන යැදීම ගැන- සඥ්ඥා පුවරු අසල උස්සාගෙන ඉන්න ළමයින් බොහොමයකට නිදි පෙති/මත් ද්‍රව්‍ය දීලා නිදි කරවා තියෙන බව අසා තියෙනවා. ඒ ඇරුණුකොට ළමයට දසමයක් හරි ආදරේනම් ඔහොම අව්වෙ තියාගෙන වද දෙයි කියලා හිතන්නට අමාරුයි.

    [කරන්න දෙයක් නැති කමින් අපි දුක් විඳිනවා හිතෙන්. හැබැයි කොට සැනසුමකට මා සුදානම් නැහැ. සල්ලි දීම බොහෝ විට කල හැකි නරක ම දෙයයි.]
    ඔව්, ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව වෙනස් කරන සැලැස්මක් ඕන.

    5

    බොහොම ස්තුතියි දීර්ඝ කොමෙන්ටුවට.

    @ මාතලන්: හම්බන්තොටින් නෙවෙයිද? ;-)

    @ පන්සල් හන්දිය: ඔව්, එහෙම දුන්නහම ඉවරයි.

    @ නචියා: ඇත්ත. තමන් රැවටුණා/කරදරේක වැටුණා කියලා හිතුණොත් මිනිස්සු කෙනෙකුට උදව් කරන්න ඉස්සෙල්ලා දෙවරක් හිතනවා. අනතුරක් වුණු වෙලාවක, හොරෙක් ගෙදරකට පැන්නහම මිනිස්සු ඇහුණෙ නෑ පෙනුණෙ නෑ වගේ ඉන්නෙත්, එයින් පස්සෙ විඳින්නට වෙන ගැහැට ගැන හිතන නිසා.

    ReplyDelete