Saturday, June 11, 2011

පරිස්සමෙන් හිටු!

ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...


හිටුකො!

ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.

එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.

සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත

විරිත්තන්නම් නුඹට මම.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.

මම දන්නවා

එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.

මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.

පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.

නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.

හිටුකො...

වැරදි ගෑණිව
තරහ කර ගත්තෙ නුඹ.

69 comments:

  1. හිටුකෝ..!
    දෙන්නම් හොද දඬුවමක්..

    "යටලීයෙන් මල් පූදිනවා.." කියලා අහල තිබ්බට යටලීයේ හොල්මන් කරන්න හදන මීයෙක් ගැන ඇහුවමයි.මට මේක දැක්කාම මතක් උනේ මේ කෑල්ල..

    "මම එන්නම්
    ඔබ පිපි මාවතේ
    හරකෙක් වී
    ඔබව කන්නම්
    වමාර වමාරා"

    ReplyDelete
  2. wow...........ඉස්සරවෙලාම කියන්න ඕනෙ මැඩම් මම හොඳටෝම හිනා උනා මේක කියවලා...මැඩම්ට පින්..කාලෙකට පස්සෙ මට කියවලා හිනා වෙන්න පද ටිකක් ලිව්වට....

    ආදරේ කරපු හිතකට පලි ගන්න අමාරුයි නේද මැඩම්...මාත් ඔහොම කියනවා...මගේ අයිති කාරයට.... මම මැරිලා හොල්මනක් වෙලා පස්සෙන් එනවා කියලා....

    වෙනස් විදියට හිතපු...වෙනස්ම නිර්මාණයක්.....

    ReplyDelete
  3. හිටුකො මමත් ඔහොම කරනව ඇයි යකෝ...

    ReplyDelete
  4. මටත් පේන්නෙ තරහාවෙලා තියෙන්නෙ වැරදි ගෑණි එක්ක වගේ :D

    ReplyDelete
  5. හරි ගෑනි වැරදි ගෑනි කියලා නෑ තරහා ගියාම ඔක්කෝම එකයි වගේ හි හි හී

    ReplyDelete
  6. වැරදි ගෑනිව
    තරහ කර ගත්තෙ නුඹ.

    හොඳම වැඩේ නේද. ඔහොම වෙලා මදි අපිව තරහ කරගත්ත උන්ට.

    ReplyDelete
  7. ආවෙ පලවෙනි පාරට මෙ පැත්තට...හිතෙන ඔක්කොම එක වචනෙකින් කිව්වොත් 'මැක්‍‍‍‍‍‍‍‍‍‍සා"

    ReplyDelete
  8. වැරදි ගෑනිව
    තරහ කර ගත්තෙ නුඹ

    තරහ වුනාම කොයි ගෑණිත් වැරදි ගෑණි වෙනවද මංදා.....

    ReplyDelete
  9. නොවෙන් දඩබ්බර මීයෙක්
    පව් පුරවන්නට කර බලලෙක්
    වෙනවා නම් මවුසියෙක්
    සයිබරයේ සැරිසරන තුරු
    අත්ලේ වකුටුව රැඳෙතෑකි...

    ලස්සනයි අදහස, hide n seek මතක් විය.
    කාලෙකට පසුව ඊයේ හවස ටොම් ඇන්ඩ් ජෙරී බලන්න වුනා පොඩි දුවත් එක්ක.

    ReplyDelete
  10. වැරදි ගෑනිව
    තරහ කර ගත්තෙ නුඹ.........

    ReplyDelete
  11. හරිම ලස්සනයි අක්කෙ.ගොඩක් වෙනස් අදහසක්.ඔයාගෙ බ්ලොග් එකේ පෝස්ට් සේරම කියෙව්වා.තව තවත් ලස්සනට ලියන්න. සුබ පැතුම්....

    (සජී)

    ReplyDelete
  12. ඇත්තටම ලස්සනයි අක්කෙ. ලොවෙත් නෑ. අමුතුම අදහසක්, අමුතුම ශෛලියක්, නියමයි.

    ReplyDelete
  13. දිල් - මැඩම් කියල ෆෙන්ච් වලින් කතා කරන්නේ මීයා ට ද?

    ReplyDelete
  14. අනේ මන්ද.. මීයා.. කතාකරන්නත් බය මාත්තුරුකාවක්.. දොස්තර නෝන කියන්නේ.. මී දෙන ගැනනේ.. එතකොට ඔය මීයාට උපහාර පිණිස ගම් පවා නම් කරල තියෙනව.. මීගමුව.. මීතොටමුල්ල.. එතකොට ඔය මී ගුල මුරකරන මීයට කියන්නේ මී මුරේ, මීයා ඉඳ හිට දුමක් පිට කොරනව ඒ දුම මීදුම ලෙස නම් කරනවා. මී යාගෙන් ලබාගන්නා කිරි වලට මී කිරි කියාද, සැර පරුෂ මීයන් මී උණ කාරයන් ලෙසද හඳුන්වනවා.. කරදරකාර මීයන් මී වද ලෙසද, මීයා ලබා දෙන පැනී මී පැනි ලෙසද නම් කරනවා.. etc.. etc...

    වැඩි වැඩ ඕන නෑ නෝනේ... උඩ ඉඳන් තුවාලයකට මී යූරින් ටිකක් දැම්මනම් වැඩේ අහවරයි..

    ReplyDelete
  15. අඩේ... එතකොට අර මට වහල උඩ ඉදන් විරිත්තන මීයා...

    ReplyDelete
  16. පොත් ටික නම් කන එක

    ෂුවර් මේ මි දෙන

    හිටු හොර මියා කියා

    ඔහු ගෙනාවොත් බළලෙක්

    තමයි වැඩ වරදින

    [මොකෝ ගෙදර අවුලක්වත්ද ...බත් හැලිය ඉදුනාම ලියන්නකෝ තව කවියක්]

    ReplyDelete
  17. වැඩිය දැඟළුවොත් තියනව උඹට මී පාසානම්.....

    ReplyDelete
  18. @ හිතමිතුරු: :D මෙන්න මෙයා එළියට ඇවිත්. ආයෙ එහෙම හැංගෙන්නෙ නෑ.

    @ දිල්: හිනා වෙන්ඩත් එපැයි මැඩම්. :D හොල්මනක් වෙලා එයි කියලා බය වෙලා ඇති දැන්.

    @ නදී: දාන්ඩ නංගි පහක්.

    @ හරි- පිණිපළස: යෙෂ් යෙෂ්. ලේසි වෙන්නෙ නෑ...

    @ දුකා: හික් හික්.

    @ පිණිබිඳු: ඕඕඕඕඕ, අපිත් එක්ක විහිළු නෑ.
    ;-)

    @ සබිත්: සාදරයෙන් පිළි ගන්නවා සහෝ. ස්තුතියි සටහනක් එක් කළාට.

    @ අභීත: ඒක පොසිබල්. :D

    @ ගල්මල්- Coral: මවුසියෙක් වෙන එකත් හොඳ අදහස. ටොම් ඇන්ඩ් ජෙරී එකේනම් මට මීයත් එක්ක තරහයි. පවු, අහිංසක පූසා.

    @ emailkawikari: ඕඕඕ, තරහ කරගත්තනම් විඳවන්න වෙයි ඒ ගොල්ලොන්ට..

    @ මාරයාගේ හෝරාව: :D මාරයෙක් බය වෙලාද මන්දා...

    @ සජී: බොහොම ස්තුතියි සහෝ කියවා අගය කළාටත්, සුභ පැතුමටත්.

    @ කසුන්: බොහොම ස්තුතියි මල්ලි.

    @ කතන්දර: එහෙම මොකක් හරි වෙන්න ඕන...

    @ මාතලන්:
    මේ සින්දුව අහලා තියෙනවද?
    මී අඹ වනයේ මීයෙක් මැරිලා මී ගඳ පැතිරෙන්නේ
    ***********( දෙවන පෙළ මතක නැහැ.)
    මීයගෙ යාළුවො මී කුණ වටකර රැස්පොට් පෙන්නන්නේ
    ලා නිල් පාටට දිලිහෙන මීයව කොහොමද වළලන්නේ

    @ හර්ෂණ : දරුණු සිනා!

    @ බින්දි: අද රෑට පාං අනේ.

    ReplyDelete
  19. මාතලන් උන්නැහේගේ මී කතාව නියමයි.

    ReplyDelete
  20. මීය ගැන මාස්ටර්ස් එකක් තියෙනව... තව සින්දු තියෙනව...

    හිතුනොත් පෝස්ට් එකක් දාඤ්ඤකෝ....

    ReplyDelete
  21. දොස්තර නෝනා...

    මේක නම් අපූරු නිර්මාණයක්... කියන්නට ගොඩක් දේ හිතට ආවත් දැනට දෙකක් කියන්නම්..

    # ඔබ තුළ ඉතාම වටිනා නිර්මාණශීලිත්වයක් තියෙනව... ඔබ ඒකෙන් වැඩ ගන්නව මදිද මන්ද..ඔබ ගීත රචනා කරන්න ගත්තොත් ඉතා අගනා නිර්මාණ... ගොඩක් දෙනෙක් අතරට යන මාධ්‍යක් වෙන ගීතය හරහා ඉදිරිපත් කරන්න හැකිවෙයි කියල හිතෙනව...( ඒ කිව්වෙ මේකෙ concept එකේ තියෙන creative ගතිය ගැන හිතල )

    # " හිටුකො.." මෑතකදි කියවපු නිසඳැසක දැකපු අපූරුම යෙදුම.....

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  22. නලිනි....

    " හිටුකො "........ මෑතදි කියවපු නිසඳැසක දැකපු අපූරුම යෙදුම...

    ඒ වගේම හරිම එකක්

    ඔබේ නිර්මාණශීලිත්වයෙන් ඔබ වැඩගන්නවා මදියැයි මට සිතේ...ගීත රචනා කලාව වගේ දෙයකට දායකත්වයක් නොදෙන්නෙ ඇයි..?

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  23. මා අහල තියෙනව සමහරු ආදරය අහමි උනාම
    තමා කලක් ආදරය කල කෙනාට වෛර කරනව කියල
    මේ මී කෙල්ල වගේ .ඒත් සැබෑවට ආලය කල කෙනනෙක්ගේ
    සිත තුල කිසිම මොහොතක වෛරයක්නම් ඉපදෙන එකක් නැහැ.
    මම මේ මී කෙල්ල නම් මම කරන්නෙ යට ලීයට ඇවිත්
    ඔහු සුව නින්දක ඉන්නෙ කියල බලල යනව විතරක් නෙමේ
    ඔහුට බාධා කරන ඔහුට විරත්තන අනිත් මීකෑලි එලවල දානවා.
    හොඳ නිර්මාණයක්.
    තුති

    ReplyDelete
  24. මේකෙ දාල තියෙන comments ටික දැක්මත් හිනා යනව :)

    ReplyDelete
  25. කවි ලියන්න බැරි මං
    මක්කා කොරන්නද?

    හිටුකෝ

    හොද කවියක් හදාගන්නකං

    ReplyDelete
  26. ane mata kanduluth awath ekka..
    adere kalama dala giyath ehema thamaii ne d..math try karala thiyeneawa tharahama tharaha hithand..hmm.. beri una..

    ReplyDelete
  27. මට නම් මීයො හරි මී දෙන්නු හරි පෙන්නන්ඩම බෑ. ඒ හින්ද මගෙ යට ලීයෙ හොල්මං කොරන්ඩ ආවොත් ඉතින් සොරිම තමයි.

    මේ කොටස තමයි මගෙ හිතට ඇල්ලුවෙ,

    / මියැදෙන්ට කල ආ විට
    නුඹට දුක නොහිතෙන්ට
    ඈතකට ගොස් මැරෙන්නම් මම. /

    ReplyDelete
  28. අලුත් අදහසක්, රස වින්දා..හරිම අපූරුවට කණගාටුවත් එක්ක තරහ මුසු කරලා තියනවා...

    මම දන්නෙ නැහැ ඔබ මේ තරම් ගැඹුරට හිතුවද කියලා..ඒත් අපි අපේ අපේක්ෂාවන් ඉටු නොවුන තැන මොන තරම් බොළඳ විකල්පද හොයන්නෙ නේද ?
    ඒකනෙ අවධානම ගැන නොහිතා අවධානය ගන්න මීයෙක් වෙන්න හදන්නෙ.

    ReplyDelete
  29. මීයා . . . .
    මීයාට ඉංග්‍රීසියෙන් කියන්නේ "මීටරේ"ය. මීයන් ප්‍රධාන වශයෙන් වාසය කරන පලාත "මීගොඩ" නම්වේ. මීයාගේ ගෑනු සතා "මීදෙන" වන අතර මීදෙන ගේ කිරි "මීකිරි" නම්වේ. මීයා ඇඳුම් කැපීමට පාවිච්චි කරන්නේ "මී කතුර" වන අතර ගොවිතැන් කරන මීයන්ගේ වැඩියෙන්ම වවන්නේ "මී අඹ"වේ. පැනි නිපදවීමට මීයා දක්ෂය . . . ඒ "මී පැනි"ය. මී පැනි වලට අමතරව මීයා ඉටි කර්මාන්තයද කරයි. මීයාගේ ඉටි "මී ඉටි" නම්වෙ. මීයා සතුරන්ට පහර දීමට "මී විත" යොදාගන්නා අතර සටනකින් පැරදී සතුරාට නොපෙනී යාමට "මී දුම" භාවිතා කරයි. මීයා ගැන ලියවුනු ගීත පවා ඇත . . .
    මී අඹ වනයෙහි මී ගඳ පතුරා . . . . . මීයෙක් ඇවිදින්නේ . . . .
    ලා අලු පාටට . . . . දිලිසෙන හින්දද . . . . වලිගය සොලවන්නේ . . . .

    ප.ලි.
    ඔච්චරයි දැං මතක . . . .

    ReplyDelete
  30. මීයෙක් වුනොත් නේද? :D

    ReplyDelete
  31. මට ඇත්තටම කුතුහලයක් ඇතිවුනා මේ වගේ පද පේලි ටිකක් ලි‍යවෙන්න තරම් හේතු කාරනාව මොකක්ද කියල දැනගන්න. පුළුවනි නම් කියන්න. මට දැං මැවිල පේනව profile picture එකේ සිටින කාන්තාව ඉදලක් අරං මිනිහෙක් පස්සෙන් පන්නන හැ‍ටි :D

    "පරෙස්සමෙන් හිටු"

    කාලෙකින් අහපු ආදරවන්තම බැනුම. හැබැයි හරිම සැරයි. පපුවට හොදටම වැදුන සිරාවට. පවු අහිංසකයට ඔය විදියට සලකන්න එපා.

    මම දැන් මේ පේලි ටික දහවතාවකට වඩා කියවල ඇති.

    ReplyDelete
  32. කලකදී මී අඹය මගෙ දැන් මීයෙක්ය
    කලකදී මී වදය මා හා දැන් වලිය
    මීයෙක් වෙලා අස්සට වී යටලීය
    නො ඉඳින් සොඳුර වෙන බලලෙක් උඹ කාය ...

    ReplyDelete
  33. හරිම අපූරුයි ඕං.......
    සූට්ටක් වෙන්න (සූට්ටක්ම නෙමෙයි ඉතිං) බය සතෙක් තමයි මී උන්නැහේ....

    ReplyDelete
  34. @ මාතලන්: දාන්න දාන්න පෝස්ට් එකක්. අපරාදෙනෙ ඉගෙන ගත්තුවා.

    @ සපතේරු උන්නැහේ: බොහොම ස්තුතියි අගය කිරීමට. ගීත රචනා කරන්නට තරම් හොඳ වචන කෝෂයක් මගෙ ළඟ නැහැ කියලා හිතනවා. හිටුකො කියන එක ටිකක් විතර රස්තියාදු වචනයක් හින්දා වෙන්නැති වැඩිය කවුරුත් පාවිච්චි නොකරන්නෙ. :)

    @ Gimhani: මළා. මට අමතක වුණා තව මීච්චියො ඇති කියලා. :D බොහොම ස්තුතියි.

    @ Hishan Melanga: :D එක ජාතියෙ කුරුල්ලො...

    @ වෙද ගෙදර මහ වෙදනා: මටත් මෙහෙම එව්වා මිස වැදගත් මාතෘකාවක් යටතේ වැදගත් කවියක් ලියාගන්ඩ බෑ. වෙද මහත්තුරුන්ටනම් බෙහෙත් වට්ටෝරු කවිවලින් කියන්ඩ පුළුවන්නෙ. ඉස්සර අපේ සීයා කියනවා.

    @ නිර්නාමික සහෘදයාට: යෙෂ්. තරහ හිතන්ඩ වටින දෙයක් වුණොත් මිසක..

    @ Ravi: බොහොම ස්තුතියි. මම හිතුවා කාටවත් ඔය ටික පෙනිලා නෑ කියලා.

    @ Luckey: එච්චර ගැඹුරටනම් මම හිතුවෙ නෑ. උදේ කුස්සියට යනකොට කැරපොත්තෙක් හිටියා; කැරපොත්තන්ට බය යාළුවෙක් මතක් වුණා; එයාගෙ ගෙදර මී ප්‍රශ්නයක් මතක් වුණා.... ඔහොම ඔහොම සිද්ධි හිතට එනවත් එක්ක පදවැල හිතේ ලියවුණා උදේ වැඩට යන්ඩ ලෑස්ති වෙන අතරෙ.
    නමුත් ඔබ කියනවා වගේ වැඩිදුර නොහිතා අවදානම් ක්‍රියාවලට යොමු වෙනවා තමයි ඇතැම් අය.

    @ ඕනයා: තවත් මී එක්ස්පර්ට් කෙනෙක් වගේ. සතුරන්ට පහර දීමට මී විත භාවිතා කරන බව අදයි ඇහුවෙ. :D

    @ පූසා: මළා! පූසෙක්!!

    @ Hishan: මම කවියට මුල් වුණු සිද්ධිය ඉහළින් ලකීට කිව්වා.

    @ සරත් ලංකාප්‍රිය: වෙන බළල්ලුයි මීච්චියොයි ඉන්න බව අමතක වුණානෙ. ස්තුතියි කවියට.

    @ Heeniyata: උං එක පාරටම දුවන හැටියට බය හිතෙනවනෙ. ඒත් උංගෙ ඇස් හරි අහිංසක පාටයි. නැවතුණු වෙලාවක බලන්නකො.

    ReplyDelete
  35. දොස්තර නෝනො මට ඇත්ත කියන්න ඔයාට මේ කවි සිතුවිලි
    පහල උනේ මහත්තයත් එක්ක පොඩි වලියක් ගිහින් හිටපු වෙලාවක නේද??
    මේ වචන සෙට් එකෙන් කියන්න පුලුවන් .

    හිටුකො...

    වැරදි ගෑනිව
    තරහ කර ගත්තෙ නුඹ.

    ReplyDelete
  36. @ Gimhani: 'පොඩි'? හුහ්. ;-)
    ඇත්තටම නෑ. ඒ කෑල්ල දැම්මෙ කතාව ටිකක් පොදු මාතෘකාවක් කරන්න. මොකද ඇත්තම පසුබිම් කතාව එච්චර පොදු කතාවක් නෙවෙයි. උදේ කුස්සියෙ කැරපොත්තෙක් හිටියා; ඌව දැක්කහම කැරපොත්තන්ට බය යාළුවෙක් මතක් වුණා; එතකොට එයාට තිබුණු මී ප්‍රශ්නයක් මතක් වුණා; ඔහොම ඔහොම ගිහින් හිතට ආව පද ටිකක්.

    -හිතුවා මදි මගෙ කටින් අල්ල ගන්ඩ-

    ReplyDelete
  37. උදේ ඉඳං
    දවස පුරා
    එහෙ දුවලා මෙහෙ දුවලා
    ඉවර කරපු වැඩ සටහන
    ලොක්කට හරි මදි වෙලාලු
    හවස් වරුවෙ කනේ පුළුන්

    ඒ ගින්නෙන් හිත දැවී දැවී
    ගෙට ගොඩ වුනු ගමන ඕන්

    මෙන්න ඔයා නොරොක්‌ වෙලා
    අහවල් වරදක් වෙලා ද?

    විඩා නිවා ගන්න කියල
    ඔබා ගත්ත රූ පෙට්ටිය
    නොදකින්
    මේ කියන කතා
    කොලු ගැටයෙක් වෙඩි තියාල මරා දාල
    පාර පුරා කෝලහාල
    හිත නිවෙයිද

    ඒ ගැන හිත විස්සෝපෙන්
    ඔයා ළඟට ආපු ගමන්

    මෙන්න ඔයා නොරොක්‌ වෙලා
    අහවල් වරදක් වෙලා ද?

    හෙන හත වැදුනත් මොකද
    අඩු ගානේ ගහල නම්
    එංගලන්තේ කෑලි හැලෙන්න
    මැච් පොජ්ජට බෙල්ල දැම්ම
    හපොයි හපොයි
    අසූ දෙකට ඕල් අවුට්
    තුක්‌ නොදකින්
    කොහොම හිටිය ටීම් එක ද

    යෝකර් ඒක හිතේ වැදී
    දැවී ගියා මගෙ හදවත
    ඒ අස්සේ ඔතන ඉඳං
    මොකද්ද ඔය කතන්දරේ

    මෙන්න ඔයා නොරොක්‌ වෙලා
    අහවල් වරදක් වෙලා ද?

    හිතේ දුකට මහන්සියට
    වැටුණු තැන ම නින්ද ගියා
    මහ රෑ
    නින්ද අතරෙ යාන්තමින්
    මෙන්න ඔයා ඉකි ගහනව

    මාත් එක්ක තරහ වෙලා
    දෙනවලු මට
    හිතා ගන්න බැරි දඬුවම්
    මට වද දෙන්නට එනවලු
    මීයෙක් වී

    අනේ ඔයා කවදාදෝ
    තේරුම් ගන්නේ?

    යටලියේ ඉඳගෙන
    විරිත්තමින් බලන් ඉන්න
    මීයා හෙම නොවෙයි ඔයා

    මගේ හිතේ කුණු අහුලන
    එකතු කරන් තව පැසවන
    කුස්සියෙ තඩි ඩස්ට්බින් එක

    - මීයාගේ සැමියා

    [අන්තර්ජාල ජෝක් එකක් ඇසුරිනි]

    ReplyDelete
  38. හිටුකො!

    මියැදෙන්ට කල ආ විට
    නුඹට දුක නොහිතෙන්ට
    ඈතකට ගොස් මැරෙන්නම් මම.

    නොදැන මා මළ බව
    නුඹ බලාවි යට ලීය දෙස.
    නුඹ හොයාවි කාමරය පෙරළගෙන
    මාව.
    නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
    පාළුවක් හිතේවි නුඹට
    මා නැතිව.


    මගේ හිත සසල විය.... :((

    හිටුකො....මං නිසා දුක් විඳින්නට නොදෙමි මං නුඹට.... :'(
    හරිම සුන්දරයි.... :)

    ReplyDelete
  39. //
    හිටුකො!
    මියැදෙන්ට කල ආ විට
    නුඹට දුක නොහිතෙන්ට
    ඈතකට ගොස් මැරෙන්නම් මම
    //

    මීච්චිය දඟකාර නටපු යට ලී දිගේ
    පිටවෙලා ගිහින් යළි නොමඒවි ඒ යුගේ
    වෙන්වෙලා යනතුරුම තේරුනේ නැහැ අගේ
    ජීවිතේ කොටසක්ව උන්න බව උඹ මගේ

    පලි: රවි කිවුව වගේ මේ කවි පන්තියෙ තියෙන මමත් ආසම කෑල්ල තමා ඒ..

    ReplyDelete
  40. මේක හරි යන වැඩක් නෙවේ..හැමෝම බලාගෙන යනකොට මී මාස්ටර්ලා..ආයේ ඉතිං මමයි කියලා නිකං අත අරින්න කැමතියෑ..පරණ උනත් කමක් නැහැ මෙන්න මගෙනුත්..හැබැයි ඔය ඇස් ලොකු දත් දිග විරිත්තන මීයාට නෙවෙයි උගෙන් පීඩා විඳින්නට නියමිත අර අසරණ අහිංසකයා වෙත...

    ලෙහෙසියෙන්ම සාදා ගත හැකි සරල මී උගුලක්...

    අවශ්‍ය ද්‍රව්‍ය...

    වර්ග අඩියක පමණ ලෑලි කැබැල්ලක් (අගලක් පමණ ඝණකමැති)
    අගල් දෙකේ යකට ඇන දෙකක් (කඳ මහත)
    බකට් කම්බි කැබැල්ලක් (අගල් 15ක පමණ)
    කරවල කැබැල්ලක්
    පොල් කැබැල්ලක්

    සාදා ගන්නා විදිය...
    පළමුව යකඩ ඇණ දෙක අප විසින් තෝරා ගත් ලෑල්ලේ අගල් දහයක පමණ පරතරයක් සිටින සේ සවිකරන්න.එය ලෑල්ලෙන් අගලක් පමණ ඉහලට තිබිය යුතුය.
    ඉන්පසුව එම ඇණ දෙක අතර බකට් කම්බිය තදින් ඇදෙන සේ ගැට ගසන්න..කම්බිය ලෑල්ලට අගල් තුන්කාලක් පමණ සමාන්තර තුරකින් තිබිය යුතුය.
    දැන් යකඩ ඇණ දෙකෙහි හිස් මත පොල් කැබැල්ල හා කරවල කැබැල්ල රඳවන්න..ඔව් දැන් ඔබට ඉතාමත් සරල මී උගුලක් ලැබී ඇත...මෙය මීයා නිතර ගැවසෙන තැනකින් තබා සුවසේ නින්දට යන්න...(අර යටලීය උඩ බැරිනං..නිල්පාට කමිසේ කිට්ටුව උනත් කමක් නැහැ)

    මෙහි ක්‍රියාකාරීත්වය...
    මීයා පැමිණේ...ඌට ගැටළුවකි...එක් පසෙක කරවල කැබැල්ලකි..අනික් පස පොල් කැබැල්ලකි...තෝරා ගැනීමක් කල යුතුය..(කොහොමටත් මේ මීයා කෑදර මීයෙකි..ඌ මැරෙන්න කලින් සිටි ගැහැණූ ආත්මයේදී තිබු තණ්හාව තාමත් අත හැර ගත නුහුනු මීයෙකි එසේ හෙයින් මීයා මෙසේ කල්පනා කරයි...පොල් කෑල්ල දෙස බලා.."පොල් කෑල්ල මුලින්ම කනවද..?" නැවතත් කරවල කෑල්ල දෙස බලා "කරවල කෑල්ල මුලින්ම කනවද.."
    මෙසේ දෙතුන් විටක්ම දෙලොවක් අතර සිර වූ මීයා කල්පනා කරනා විට ඌට නොදැනුවත්ම උගේ හිස කිහිප විටක්ම එහා මෙහා හැරවෙනු ඇත..අමතක නොකරන්න ඌ දැන් සිටින්නේ පොල් කෑල්ලටත් කරවල කෑල්ලටත් මැදීවීය..ඒ කියන්නේ උගේ ගෙලට යටින් ඇත්තේ අර සිහින් කම්බියයි..අහෝ අසරණ කෑදර ඇස් ලොකු මියෘ..ඌ නොදැනීම කම්බිය මත ඇතිල්ලෙන ගෙල කැපී මීයා අවසන් ගමන් යනු ඇත...

    හරි කතාව ඔතනින් ඉවර වෙන්නේ නැත...
    මේ මීයා මිනිහකු සම්බන්ධව පෙරේතකම නිසා මැරිලාවත් ආසාව නොගිය එකේ මේ මිනසා ඊට වඩා පෙරේතයකු විය හැක..එසේ නම් ඔහුට මෙම උගුල වියදම් වැඩි දෙයක් ලෙස හැගෙනවාට සැක නැත..එහෙනම් මෙන්න මීටත් වඩා පහසු ක්‍රමයක්...

    දෙවැනි ක්‍රමය...

    අවශ්‍ය ද්‍රව්‍ය...
    පෙර තිබූ ලයිස්තුවේ තිබූ පොල් කැබැල්ල සහ කරවල කැබැල්ල ඇර අනිකුත් දෑ...

    සාදන ක්‍රමය...
    පෙර පරිදිම වේ..නමුත් පොල් කැබැල්ලක් සහ කරවල කැබැල්ලක් නැති හෙයින් ඒවා සවි කල යුතු නොවේ...

    ක්‍රියාකාරීත්වය...

    මීයා පැමිණේ..(පෙරසේම...)
    ඌට නැවතත් ගැටළුවකි...
    "පොල් කෑල්ලත් නැහැ.."
    "කරවල කෑල්ලත් නැහැ.."...
    ප්‍රතිඵලය පෙර සේමයි..හිස දෙපසට හැරවේ..ගෙල කැපේ..මීයා අවසන් ගමනේ...

    (සැලකිය යුතුයි-ඔබ ඇත්තටම මීයාට ආදරය කරන්නෙක් නම් මෙය ක්‍රියාකරවීමට පෙර දෙවරක් සිතා බලන්න...)

    ReplyDelete
  41. තරහ ගියාම ලියන කවි.. හලේ... සන්දුක්කේ....

    ඒත් මෑද පදවල ගීතවත් බව අර 'හිටුකො' එකෙන් සුට්ටිච්චක් බිඳෙනවද මන්දා.... මොකද මෑද පද වල ලස්සන උපමා යොදල තියන නිසා...

    මෙන්න මේ කොටස් වල හරිම ලයාන්විත ගතියක් තියනව... මම ආස විදියේ...

    නුඹ ආදරෙන් කියවන
    පොත් ඉරා කැබලිකොට
    නුඹේ නිල් පාට කමිසයේ
    උණුසුමට
    කූඩුවක් හදාගෙන
    ගුලි වී නිදන්නම් මම.....

    තව කෑල්ලක්....

    එතකොට
    නුඹට අනුකම්පා හිතේවි
    මා ගැන.

    මට නිදන්නට ඉඩ හැර
    පා තුඩින්, නිහඬව
    අඩි තබා ඇවිදීවි නුඹ
    සොරෙකු සේ
    නුඹේම කුටිය තුළ.....

    අපූරු ගැහැණු අවිහින්සක ගතියක් දෑනෙනවා ඒ පද වල... ඔන්න අක්කෙ... කවිය ලස්සනයි.. ඒ ලාසන කවිය අස්සෙ එබුව අර 'හිටුකො' කෑල්ලට දිලා නම් ආස නෑ...

    මේ ඉතින් මට හිතෙන හෑටි....

    ජය වේවා !!!!

    ReplyDelete
  42. පද පෙළ නම් අපුරුයි......

    "මියැදෙන්ට කල ආ විට
    නුඹට දුක නොහිතෙන්ට
    ඈතකට ගොස් මැරෙන්නම් මම.

    නොදැන මා මළ බව
    නුඹ බලාවි යට ලීය දෙස.
    නුඹ හොයාවි කාමරය පෙරළගෙන
    මාව.
    නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
    පාළුවක් හිතේවි නුඹට
    මා නැතිව."

    මගේ හිතට ගොඩක්ම වැදුනේ මේ ටික......හදවතින්ම ආදරේ කරන කෙනෙක්ට ඒ ආදරේට රිද්දන්න බෑ මොන දේකලත්.....

    ReplyDelete
  43. මරු අක්කේ..මරු නිසඳැස...

    ReplyDelete
  44. ඇත්තෙන්ම මටත් හිතුනේ ගිම්හානි කියපු දේම තමයි.. ඒ මොකද අපේ මැඩමුත් ඔන්න ඔහොම යටලීයේ ඉඳන් විරිත්තනවා වළි දාට.. මන් ඉතින් කොන්දේසි විරහිත සාම සාකච්චා තියනවා.. අපේ දු ස්න්ගිත්ත කියන්නේ "තාත්තීට පිස්සු.. එයාට ඔහේ ඉන්න කියල ගණන් ගන්නේ නැතුව ඉන්නකෝ.. එතකොට එයාම එයි "තාත්තී" කියාගෙන .." කියල.. හපොයි ඉතින් එහෙම එනකම් ඉන්න ගියොත් වෙන අලාබ හානි ගැන පොඩ්ඩි දන්නේ මොනවද ?

    ReplyDelete
  45. මී(යා) හා සම්බන්ද රසබර යෙදුම් බොහෝමයක් එක්ක කර මාතලන් උන්නැහේ හා ඕනයාට බොහෝම ස්තුතියි.

    එතකොට මීයන්ගේ මුත්තා ද මීමුත්තා?

    ReplyDelete
  46. හරිම අපූරුයි

    ReplyDelete
  47. අය්යෝ මීයෝ ගැන නම් කතාකරන්න එපා.මහ එපාම කරපු ජාතියක්....එත් කවි ටික නම් පන්කාදුයි...

    ReplyDelete
  48. හික්ස්.. මේකට හිනහත් යනව..
    ලියලතියෙන විදියට..
    හොදටම තරහ ගිහින් වගේ...
    හැබැයි නියමයි ඈ... ජය!!

    ReplyDelete
  49. දොස්තර නෝනා, කවිය නම් පට්ටම පට්ට. මාරයාගේ FB යොමුවෙන් තමයි කවිය දැක්කේ.
    කවිය කියෙව්වම ගෙදර එක්කෙනා එක්ක වලියක් දාගන්න ඇත්තටම බය හිතුන LOL .

    ReplyDelete
  50. අද තමයි ‍මේ සිත් ආර පැත්තට පනින්න ලැබු‍නේ.
    හැ‍මෝම කිව්වා ව‍ගේ නියම අදහසක් ‍නේ අක්කා. (සමා‍වෙන්න අක්කා යනු‍වෙන් ආමණ්‍ත්‍රණය වැරදි නම්)

    ඔය මී කතා වලින් මං වැඩිපුරම ආසා මී පුර වැසි‍යෝ කියන නාට්‍ය ‍යේ එන ‍
    පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියනවා
    පස්සටත් තවත් ලියනට හි‍තේ ඇදීලා තියනවා...... සිංදුවට. ‍මේක දැක්කම මට ඒ නාට්‍ය මතක් උනා.

    ReplyDelete
  51. @ සුජීව: ලස්සන පරිවර්තනය. (ඕක ලිව්ව මෑන් මෙලහට ඩස්ට්බින් එකේ ඇති නේද?)

    @ මකුළු පැංචි: බොහොම ස්තුතියි. මකුළුවොන්ටනම් කරන්ඩ වැඩ හුඟක් තියෙනවනෙ තරහ ගියොත්.

    @ බුරතීනො: යෙෂ් යෙෂ්. හොරෙන්ම ජීවිතයෙ කොටසක් වෙන්නයි ප්ලෑන් එක. දන්නෙම නැතුව පාළු හිතෙන්න.

    @ මාරයා: හිටුකො....

    @ නචියා: :-)

    @ ජීවිතේ මල්: බොහොම ස්තුතියි නංගි දීර්ඝ විචාරයට.

    @ සිතුවිලි නිහඬයි: ඒක ඇත්ත. එතකොට ඉතින් තනියෙන් දුක හිතාගෙන ඉන්ඩ වෙනවා.

    @ තීර්ථ යාත්‍රිකයා: බොහොම ස්තුතියි මල්ලි.

    @ සරත් ලංකාප්‍රිය: අන්න නියම මිනිස්සු. :-) කොන්දේසි විරහිතව සිදු වූ සිද්ධිය පිළිබඳව වගකීම භාරගැනීමක් තමයි ඕනෙ කරන්නෙ... පොඩ්ඩි ලොකු වෙනකොට අම්මගෙ ටැක්ටික්ස් ඉගෙන ගනී, දැන් ඔයාගෙ පැත්තෙ වුණාට.

    @ ඩීන් අය්යා: එහෙම වෙන්න ඕනෙ නේ?

    @ අයෙෂා: බොහොම ස්තුතියි.

    @ රන්දික කුලතුංග: එපාම කරපු එකෙක් වෙලා ඇවිත් තමයි වද දෙන්ඩ ඕනෙ.. :-))

    @ හිම කුමාරි: තරහ? තව මට තරහ ගියෙ නෑ.... :-))

    @$මරුමුස්$: මරුමුස්ලා මොකට බය වෙනවද? :D

    @ හා පැටික්කි: :D "ලියලා" දෙපිට වචනෙ.

    ReplyDelete
  52. හම්මෝ..හොඳ වෙලාවට මං ඉන්න කාමරේ යටලීයක් නැහැ...

    ReplyDelete
  53. දොස්තර නෝනගේ ලිවිල්ල අපූරැයි..හිතට එන දේ අමුවටම කියන එක තමයි හොඳ.. ශෛලියත් ආවේණිකයි...හිනාවෙනවටත් අඬනවටත් වැඩිදෙයක් තියනවා මට හිතෙන විදියට..
    මමත් බ්ලොග් ලියන්න පටන්ගත්තේ දොස්තර නෝනගේ බ්ලෝග් එක කියවලා තමයි..
    වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://jbasnayaka.blogspot.com/
    ඔබට ජය....

    ReplyDelete
  54. බස්සා: බොහොම ස්තුතියි අගැයීමට. ඉන්ඩ ඇවිත් බලන්ඩ ඔයාගෙ බ්ලොග් එක.

    ReplyDelete
  55. මගෙ සිවිලිම උඩ මීයො ගොඩාක් ඉන්නව. රෑ තිස්සෙම මට වද දෙනව උන් කෑ ගහනව ..මොනවද මන්දා ඇද ගෙන යනව.. මන් සිවිලිම ඇතුලට ලයිට් එකක් දමල තමයි නිදා ගන්නෙ. අද උදේ පාන්දරම කපුටො රංචුවක් කෑ ගහන සද්දෙට මම ඇහැරල බලනකොට තඩි මීයෙක් මැරිල ඉන්නව මගෙ ජනේලෙ ලඟම.. කපුටො කොටල . මැරුනෙ කොහොමද කියල දන්නෙ නැහැ මට හරි දුකක් ඇති උනා. කොච්චර කේන්ති ගියත් ඉස්සර දවස්වල.. දැන් මේ නිසදැස කියෙව්වහම ඒ දුක තවත් වැඩි උනා.ම්ම්ම්ම්ම්.. ලස්සන ..සංවේදී නිර්මාණයක්...

    ReplyDelete
  56. @මාරයා,

    යටලීයක් නැහැ..!!?? එතකොට කොහොමද බං නාරිලතා මල් පූදින්නෙ..??

    ReplyDelete
  57. මරු අදහස... හික් හික්.. මම කැමතියි...
    ~Hipo~

    ReplyDelete
  58. great one .... you really got da talent .... good luck ......

    ReplyDelete
  59. @ Weni: කණගාටුව තවත් පෑරුවට සමා වෙන්න. ඇත්තටම මොන කරදර තිබුණත් එහෙම සතෙක් මියගොස් සිටිනවා දැක්කම දුකයි.

    @ Hipo: :D වැඩේ දෙමු..

    @ නිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි.

    ReplyDelete
  60. @බුරා...

    ලැප් එකේ තිරය මතින්..:D

    @Hipo...& නලිනි...

    හිතේ ඇති...

    ReplyDelete
  61. @ malithi: බොහොම ස්තුතියි. එහෙනම් පරිස්සමෙන් හිටු.

    ReplyDelete
  62. හරිම ලස්සනට ලියලා තියනවා, ඇත්තටම ඔයා ලියන ඒවයේ ලොකු වෙනසක් තියනවා .....

    මේක නම් මරු ....

    ReplyDelete
  63. @ පන්සල් හන්දිය: ස්තුතියි අදහස් බෙදා ගත්තට.

    ReplyDelete
  64. මේක කියවද්දි අල්මාරිය පැත්තෙන් සද්දයක් ඇහුනා. අනිවා මීයෙක්..

    ReplyDelete
  65. අක්කා මේක නම් මරු ඈ. :)

    ReplyDelete