වැස්ස පටන් ගන්න යන්නෙ. ආයෙත් ඩෙංගු වැඩි වෙයි.
ඩෙංගු ගැන කලින් වතාවකත් කතා කළා. ඒත් සමහර දේවල් ආයෙ ආයෙත් මතක් කරගන්න ඕන.
"ජීවත් වෙන්න ඕන කැහැට්ටො විතරද?"
එක ඩෙංගු හැදුණු ළමයෙක්ගෙ අම්මාකෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට එහෙම තර්ජනය කර තිබුණා. ඇගේ ළමයා වයස අවුරුදු හත අටක් වෙද්දි කිලෝ 60ක් බර කෙනෙක්.
අපේ රටේ සමහර ළමයින් දැඩි පෝෂණ ඌනතාවයකින් පෙළෙන අතර, තවත් ළමයින් අධිපෝෂණයෙන් පීඩා විඳිනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලටගොදුරු වීමේ දැඩි අවදානමට අමතරව, මෙහෙම ළමයින්ට ඩෙංගු හැදුණහමත් විශාල ප්‍රශ්නයක්.
එකක්, මේ අයට හදිසියකට සේලයින් හෝ බෙහෙත් දීම සඳහා කැනියුලාවක් දමා ගැනීමට නහර සෙවීමේ අපහසුව.
තවත් එකක්, මේ අයගෙ අක්මාව දැනටමත් මේද තැන්පත් වෙලා දුර්වලව තිබීම.
බරපතලම දේ, මේ අයට අවශ්‍ය දියර ප්‍රමාණය, පැයකට තිබිය යුතු මූත්‍ර ප්‍රමාණය වගෙ දේවල්, සාමාන්‍ය ළමයෙකුට වඩා වෙනස් වීම; ඒවා අනුමාන කිරීමට අපහසු වීම කරනකොට, සිරුරට අවශ්‍ය තරම් දියර නොලැබීමෙන් අවයව දුර්වල වීමට ඇති ඉඩකඩ.
සාමාන්‍ය බරක් සහිත දරුවෙකුට සාපේක්ෂව, මහත දරුවෙක්ගෙ අභ්‍යන්තර අවයවවලට හානි වීමටත්, මිය යාමටත් ඇති ප්‍රවණතාවය ඉහළයි.
ඒ හින්දා, ළමයට දැනට ඩෙංගු නැත්නම්, ළමයගෙ උසට, වයසට සුදුසු බරක් පවත්වා ගැනීම සඳහා පියවර ගැනීම දෙමව්පියන්ගෙ, භාරකාරයන්ගෙ වගකීමක්. තමන් ඇඟ හොලවන්නට තියෙන කම්මැළිකම හින්දා, ළමයවත් එහෙම කුසීත ජීවන රටාවකට යොමු නොකර, අනවශ්‍ය තරම් තෙල් සහ පැණිරස කෑම ගිල්ලවන්නෙ නැතුව ළමයා බලා ගැනීම ඒ ළමයට ආදරය පෙන්වන්නට තියෙන හොඳ විදිහක්.
"මුකුත්ම කෑවෙ බිව්වෙ නෑ. ඉතින් ඒ හින්දා චූ ගියෙත් නෑ."
කතාව ඇත්ත. බොන දියර ප්‍රමාණය අඩුයිනම්, හැදෙන මූත්‍ර ප්‍රමාණයත් අඩුයි. එහෙම වෙන්නෙ, වකුගඩු වෙත සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙන හින්දා. නමුත් ඒක මුත්‍ර ප්‍රමාණය අඩු වෙනවා කියන තැනින් නැවතෙන සරල කාරණයක් නෙවෙයි. මොකද, වකුගඩුවලට රුධිරය සැපයෙන්නෙ මූත්‍ර නිෂ්පාදනය සඳහා පමණක් නෙවෙයි. වකුගඩුවලට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් එන්නෙත් රුධිර සැපයුමත් එක්ක. ඉතින් බොන ප්‍රමාණය අඩුයිනම්,වකුගඩුවලටත් ඒක බලපානවා. වඩාත්ම වැදගත් දේ, මූත්‍ර ප්‍රමාණය හෝ එහි පැහැය කියන්නෙ අපිට පැහැදිලිව පෙනෙන දේ. වකුගඩුවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමට තරම් රුධිර පීඩනය අඩු වෙලානම්, අනෙක් අවයවවලටත් ඒ සෙතේම තමා. මූත්‍ර වගෙ එකවරම නොපෙනුණාට, ඒ එක්කම අක්මාව, මොළය, බඩවැල් ආදී අනෙක් අවයවවලටත් හානි සිදුව තිබිය හැකියි.
ඒ නිසා ලෙඩ වුණහම, පිටවෙන මූත්‍ර ප්‍රමාණය, වාර ගණන, පාට ආදිය ගැන සැළකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම, ළමයින්, ගැබිනි මව්වරුන්, වෙනත් අසනීප තියෙන අය, වයසක අය, වමනය හෝ පාචනය වගෙ ඇඟෙන් දියර ඉවත් වෙන අය.
ඒවගෙ වෙනස්කමක් තේරෙන්නනම් ඉතින් සාමාන්‍යය කෙසේද කියන කාරණය ගැනත් අවබෝධයක් තියෙන්නට ඕන.
ඒ වගේම, ලෙඩ වුණහම බොන ප්‍රමාණය ගැන වැඩි අවධානයක් යොමු කරලා, ඒ ඒ වයසට ලැබෙන්නට ඕන අවම දියර ප්‍රමාණයවත් ලබා දීම වැදගත්. ඕක ඉස්පිරිතාලෙදි අපි ගණනය කරන්නෙ මෙහෙමයි:
පළවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 4ක් ගානෙ
දෙවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 2ක් ගානෙ
ඊලඟ ඒවට, කිලෝවට මිලි ලීටර් 1 ගානෙ
වැඩිහිටියෙක්ටනම්, සාමාන්‍යයෙන් කිලෝ පණහෙ ගාන තමා- 10*4+ 10*2+30*1= 90=> සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් විතර හිටින්න.
වමනෙ යනවනම්, පාචනය තියනවනම්, ඔය කියන ගණන් මදි.
අනික බොන දේවල්. ඉස්පිරිතාලෙට එන ළමයි වැඩි දෙනෙක් ඉල්ලන්නෙ කාබනේටඩ් බීම වර්ග. නමුත් ලෙඩ වුණහම දෙන්නට ඕන ලවණ වර්ග අඩංගු, ජීවනී, තැඹිලි, කැඳ, සුප්, ගෙදර හදාගත්තු පලතුරු යුෂ වගෙ දේවල්. මව්කිරි බොන වයසෙ දරුවෙක්නම්, මව්කිරි.
ඩෙංගු රෝගයෙදි ලේ ගැල්මේ අවදානමක් තියන හින්දා, එහෙම දෙයක් වුණොත් හඳුනාගැනීමේ පහසුව සඳහා, රතු/දුඹුරු වගෙ පාට ආහාරපාන වලින් වැළකී ඉන්න එක හොඳයි.
අනික් එක ප්‍රතිකාර සඳහා යොමු වීම. සමහරු උණ අරන් පැයක් යද්දි රෝහල්ගත වන අතර, තවත් අය එද්දි පෙරහැර ගිහින් ඉවරයි. විශේෂයෙන් ඉස්කෝලෙ වාර විභාග එහෙම තියෙද්දි
සමහර වැඩිහිටියන් උණ තියෙන ළමයින්ව පාසල් යවනවා. එහෙම උණ තියාගෙන වාර විභාගෙට ගිය පුංචි කෙල්ලක්, විභාගෙ ඉවර වෙලා ඉස්පිරිතාලෙ ගෙනෙද්දි වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි.
දැඩි අවදානම් සහිත අය, ඒ කිව්වෙ, වයස අවුරුද්දට අඩු ළමයින්, මහත ළමයි, වෙනත් රෝග තියන අය, ගැබිනියන්, වයසක අය දවසකට වඩා උණ තියෙද්දි ඇවිත් පෙන්නන එක හොඳයි. එහෙම නැත්නම් අධික වමනය, පාචනය වගෙ තියනවනම්, සිහි කල්පනාව අඩුයි වගෙ තියෙනවනම්, මුත්‍ර යාම අඩුයිනම්, වෙනත් බරපතල රෝග ලක්ෂණයක් ඇත්නම් කලින් පෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් ඩෙංගුවලට ලේ පරීක්ෂණ කරන්නෙ පැය හතළිස් අටක් පහු වුණහම.
ඒ එක්කම, ඩෙංගු ඇරුණුකොට වෙනත් ලෙඩත් ඕන තරම් තියනවා. ඩෙංගු කියන්නෙ වෛරස් උණක්. ඒ නිසා මුලදි ඩෙංගුම තමයි කියල කියන්න අමාරු වෙන්න පුළුවන්. "හරියට කියන්නෙ නෑ" කියල කලබල වෙන්න ඕන නෑ ඒ නිසා.
හුඟක් වටිනා විස්තර ටිකක් නලිනි. මහතා අයට ඩෙංගු හැදුනම වැඩිය කරදරයි කියල මමත් දැන ගත්තේ අද.
ReplyDeleteදැනුයි තේරුනේ අර පලතුරු වල රහස
:D පොඩි ළමයින්ටනම් දැන් හුඟක්ම වෙලා තියෙන්නෙ, සෙල්ලම් කරනව අඩු වීම වෙන්න ඕන.
Deleteඅප්පා ඩෙංගු නේද......ගිය අවුරුද්දේ අපේ පවුලේ ඔක්කොම හිටියේ ඉස්පිරිතාලේ....
ReplyDeleteපුංචිම පුංචි උනත් මදුරුවා කියන්නේ මොනතරම් වැඩ්ඩෙක්ද?
මම හිතන්නෙ, සතා පුංචි වුණාට, ලෝකෙ වැඩියෙන්ම මරණවලට වග කියන්නෙ මදුරුවා
Deleteදැන් දැන් සරීරයෙන් විසාල ලමයි ප්‍රමාණය වැඩිවෙන ගතියක් පෙන්නුම් කරනවා.. සරීරය විසාල වුනාම සමහර අය ඒ තරම් තැකීමක් කරන්නෙ නෑ.. ඔහේ ලමයාට කවනවා කවනවා විතරයි.. ඒත් ඒක ලොකු අනතුරක් මේවගේ වෙලාවක..
ReplyDeleteළමයා මහත වැඩියි කියල අපි කියනවටත් හුඟක් දෙමව්පියො කැමති නෑ.
Deleteඩෙංගු වලට ට්‍රීට්මන්ට් එකක් හොයාගෙන නැද්ද තවම ? ෆාර්මා මාෆියා ද නැත්නම් ඇත්තෙන්ම බෙහෙත් නැතිවද?
ReplyDeleteමොනවා වුනත් ඔයා ලියන්න ගත්ත එක නම් අගෙයි.
සෑහෙන සාර්ථක මැනේජ්මන්ට් ප්ලෑනක් තියනව. ලංකාව ඒ අතින් සෑහෙන්න ඉදිරියෙනුත් ඉන්නව.
Deleteවැක්සින් වගයකුත් දැන් හොයාගන තියනව. ඉන් එකක්නම් මෙහෙට වැඩක් නැල්ලු. තවම හරියට මාකට් එකට ඇවිත් නෑ.
මෙහෙ දුප්පත් රටවල විතරක් තියන ලෙඩකට වැඩිය මහන්සි වෙන එක තේරුමක් නැතුව වෙන්නැති කවුරුත් කරදර නොවෙන්නෙ. :D
ඕන් අපේ වෙදනටත් ඩෙංගු හැදිලලු හිටං
ReplyDeleteඒක තමා. දැන් සුවය ලබමින් ඉන්න බව කියලා තිබුණා
Deleteබොහෝම වටින දැනුවත් කිරීමක්.
ReplyDelete2014 සමර් කාලය පටන් ගනිද්දි UAEහි පොදු තැන්වල යූරින් චාර්ට් ප්‍රදර්ශණ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා.
ඒවගෙ දේවල් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක බොහොම වැදගත්. මෙහෙ සෞඛ්‍ය අධ්‍යාපනය දෙන එක පහසුයි, සාක්ෂරතාවයත් හොඳ හින්ද.
Deleteමේක කොලේකට අරන් ප්‍රින්ට් කරලා හෑන්ඩ් අවුට් එකක් විදියට සයිට් එකේ බෙදන්න ඕනි.. :) කොහොම කියුවත් මේ අපේ කොල්ලොන්ට බරක් පතලක් නෑනේ මේවා ගැන..
ReplyDelete:D මහත අය ඉන්නවද?
Deleteගොඩක් වටික කාරනා ටිකක් දැන ගත්තා..ස්තූතියි
ReplyDelete:D ස්තුතියි
Deleteමහත ළමයි ඇත්තටම ජාන වල බලපෑමටත් වඩා අ්මලගෙ මොට කම හින්ද තමා මහත් වෙන්නෙ පොඩ්ඩක් කෙට්ටුවට හිටියම ඌ ලෙඩෙක් වෙයි අරකයි මේකයි කියල රටේ නැති ඒව කව්වනව.. බ්ලාහ්...
ReplyDeleteඩෙංගු නෙවී මොනා හැදුණමත් කැනියුලාවක් ගහන්න ගියාම අර පොඩි එකාව බාගෙට තැරි ගහන්න ඕන ඒක ගහන්න.. ෆුහ්
ඕඕ, කාර්ය මණ්ඩලයටත් ඕක මොන වදයක්ද? ළමයටත් වදයක්.
Deleteඑහෙම කෙට්ටුවට ඉදලා කොහොමද... අල්ලපු ගෙදර උන් හින්ට් පාස් කරයි අපේ එකාට කන්න දෙන්නේ නැති හින්දා මංදපෝෂනේ කියලා... එව්ව කොහේද... කව්වනවා රටේ තියෙන තරං චීද් බටර් බ්‍රොයිලර් මස්...
ReplyDeleteඅනික ඉතිං ළමයි හැදුව පලියට උන්ට උයලා පිහලා එලෝලුවක් මාළුවක් කව්වනවට වඩා කොච්චර ලේසිද කඩෙන් ගන්න බනිසක් ගිල්ලෝන එක...
උයන්න පුළුවන් අය ඉතින් තනිකඩ.අසාධාරණ ලෝකේ
Delete:D ළමයින්ව ටිකක් සෙල්ලම් කරන්නවත් යවනවනම්...
Deleteමහත්වෙන එක ඩෙංගු වලට විතරක් නෙමෙයි වෙන ලෙඩ ගොඩකට මුල තමයි. ඒත් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති උනුත් ඉන්නව.
ReplyDeleteහොඳ තොරතුරු ටිකක් ඇතුළත් ලිපියක්.
//ඒත් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති උනුත් ඉන්නව.// ඒ වාසනාවන්තයො.
DeleteI shared your post on Facebook.
ReplyDeleteස්තුතියි. :D
Deleteඉතා වටිනා ලිපියක් අක්කා ! අපේ වාට්ටු වලත් අමාරු වෙන්නේම බර වැඩි ළමුන්ට. ඒක ඔබ කියූ කාරණා තමයි... ඒ වගේම ක්ලිනික් වල බර වැඩි දරුවන් ප්‍රමාණයකුත් ඉන්නවා. වැරදි ආහාර පුරුදු තමා මූලිකම දේ...
ReplyDeleteමං මේ නිකමට කල්පනා කරල බැලුවේ , ඩෙංගු හැදිල මැරුන පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් මහතයි . අම්මෝ හැමදාම මාව මදුරුවෝ කනවා , කොහොමටත් මට අනිත් අයට වඩා මදුරුවෝ ආකර්ෂනය වෙනව කියලයි මට හිතෙන්නේ , මාත් මැරෙයිද මන්දා
ReplyDelete1.පළමු කිලෝග්‍රෑම් 10 සිට එහාට යද්දි අඩු කරන්නෙ ඇයි? (බොන්න බැරි නිසාද)
ReplyDelete2.ලංකාවෙ මධ්‍යම පාන්තිකයන්ගෙ ළමයි අලි පැටව් වගේය කියල දීප්ති බොසාත් අපූරුවට පැහැදිලි කරල තිබුන දවසක්. සාමාන්‍යයෙන් යට ඉඳල ටිකක් උඩට ආපු එවුන් ළමයි වෙනුවෙන් තමයි සියල්ලම කරන්නෙ. සාපේක්ෂව ඉහලම සමාජයේ මේ තත්වය අඩුයි.
3.ලෙඩ තියාගෙන පොඩි එවුන් ඉස්කෝලවල/පෙර පාසල්වල යැවීම නං අන්තිමයි. අපි පොඩිඑකා අසනීප වුනාම හොඳ වෙනකල් පෙර පාසල් යවන්නෙ නෑ. නමුත් හුඟ දෙනෙක් ලෙඩ තියාගෙන එවනව. ඒකෙන් හැම එකාම ලෙඩ වෙනව.