Monday, July 11, 2011

කුටුම්භය

"අක්කා.."
 

සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර  " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
 

"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.

"මල්ලි. වැඩ ඉවරයක් නෑ."


සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.

"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.  




මල් මැසූ කොට්ටය අතට ගෙන දිගු වේවැල් අසුන මත වාඩි වූ සරත් එහි මෝස්තරය පිරික්සා පසෙකින් තැබීය. සංජීව තවමත් පුවත්පතට ඇලවී සිටී.

ඉන්දු සොහොයුරාට මුහුණ ලා හිඳ ගත්තාය.
"ඉතිං මල්ලි?"
"මට එපා වෙලා ඉන්නෙ අක්කා. එහෙන් රස්සාවෙ ප්‍රශ්න. මෙහෙන් ගෙදර එනකොට තව ප්‍රශ්න. දමල ගහල යන්ඩ තැනක් තිබුණනං මං ගිහිං මෙලහට." ඉඩක් ලැබුණු මොහොතට සරත්ගේ සිත උතුරා පිටාර ගලන්නට විය.
"ප්‍රස්න කියන ඒවා කාටත් තියනව. ඒවා නැති තැනක් හොයන්ඩ බෑ." සංජීව අහක සිට පිළිතුරු බැන්දේ පුවත්පතින් ඇස් ඉවතට නොගෙනය.

සරත් ඔහු දෙසත් ඉන්දු දෙසත් බලා යළි නිශ්ශබ්ද විය.
 

"රස්සාවෙ ප්‍රශ්න තිබුණා කියලා ඉතිං ගෙදර ප්‍රශ්න හදාගන්ඩ එපා." ඉන්දු තමන්ට තේරෙන ලෙස විසඳුමක් දුන්නාය.
"මං හදා ගත්ත එකක් නෙවෙයි අක්කා. මේ නිලූ කරන වැඩවලින් මට වැඩපොළටවත් මූණ දෙන්ඩ බැරි වෙනවා."
"මොකද වෙලා තියෙන්නෙ?" එවර සරත්ගේ වදන් සංජීවගේ ඇස් පුවත්පතෙන් ඉවතට ගැනීමට සමත් විය. මානව සම්පත් කළමණාකරණ විෂයට සංජීවට උපාධියක් තිබේ.
 

"ගිය සතියෙ දවසක මට හොරෙන් නිලූ කෑගල්ලෙ ගිහිං තියෙනවා වැඩ ඇරිලා. රොහාන්ගෙ නෝනා දැකලා; ඒත් කතා කරන්ඩ බැරි වෙලා. ඒ නංගි රොහාන්ට කියලා, රොහාන් මගෙන් නිකමට ඇහුවා 'නිලූව දැකලා තියෙනවා මයුරි; කෑගල්ලෙ නෑයො ඉන්නවද' කියලා." 
සරත් මාරුවෙන් මාරුවට ඉන්දුගේත් සංජීවගේත් මුහුණු බලන්නේ ඔවුන්ගේ අදහස් අනුමාන කිරීමට මෙනි.

"මල්ලි මොකද කිව්වෙ?"
"මං කිව්වා එහෙ යන්ඩනම් හේතුවක් නෑ කියලා. ඒ පාර රොහාන් කිව්වා, මයුරි හරියටම දැකපු හින්දයි කිව්වෙ කියලා. මම ඕක ගිය සෙනසුරාදා ගෙදර ආ වෙලේ නිලූගෙන් ඇහුවා."
"ඉතිං?" සංජීව පුවත්පත මේසය මත තබා ඉතිරි වේවැල් පුටුව මතට බෑවිණි.
"පරණ එකාව හම්බෙන්ඩද ගිහිං තියෙන්නෙ?" ඉන්දු විමසුවාය.


"නිලූ කිව්වා ගියෙ නෑමයි කියලා. වෙන කාව හරි දකින්ඩ ඇති කියලා.  ඒකත් වෙන්ඩ පුලුවන් හින්දා මං කට වහගෙන හිටියා. මං සඳුදා පොළොන්නරු යනකං ඉඳලා මේකි රොහාන්ලගෙ ගෙදරට කතා කරලා, ඒ නංගිට හොඳටම බැනලා. රොහාන් මට කතා කරලා කිව්වා, පවුලෙ ප්‍රශ්න තියෙනවනං ඒව උඹලම තියාගනිල්ලා, දැක්ක බව කිව්වෙ ඇඳුණුම්කමට කියලා."


"මොනවා කියලද නිලූ බැනලා තියෙන්නෙ?"

ඉන්දුටත් සංජීවටත් වැඩි විස්තර අවශ්‍යය.


"කේලම් කියනවා කිව්වලු. ඔක්කොටමත් වඩා, ඔය කතාව අස්සෙ අර පරණ එකත් ඇදිලා ඇවිත්. නිලූ හිතං ඉන්නෙ ඒකත් මට කිව්වෙ මයුරි කියලා. කොහොම හරි නිලූගෙ කට හින්දම දැං ඒක රොහානුත් දන්නවා. ඌ තව කීදෙනෙකුට කියලද දන්නෑ."
"ඒක ගැන නිකං කෝල් එකක්නෙ ආවෙ." ඉන්දු මතක් කළාය.
 

"ඒකි හරියට හිටියනම් ඔය මුකුත් නෑනෙ. ඕක තමා මං මල්ලිට ඒ දවස්වලම කිව්වෙ අතෑරලා දාන්ඩ කියලා. ඇහුවෙ නෑනෙ." 

සංජීව සිය අනාවැකිය අකුරටම හරි යාමේ ප්‍රීතිය භුක්ති විඳී.
 

"මං ඒ සැරෙත් ඉවසුවෙ දුව හින්දා අය්යා."
"දුව හින්දා කියලා, දැං මොකද වෙලා තියෙන්නෙ? එතකොට එක ළමයයි; දැං දෙන්නයි. ඕව ඔහොම ඇද ඇද ඉන්ඩ ගිහාම තව ප්‍රශ්න. ඒ කාලෙම කෙළවරක් කරන්ඩ තිබුණා. අනික ඔය බාල ළමයත් මටනං විශ්වාස නෑ."  "මං ඒකත් කිව්වා."
"කිව්වා?" 


ඉන්දුත් සංජීවත් කඳ කෙළින් කරගෙන පුටුවේ ඉදිරියට නැඹුරු වූයේ අලුත් උනන්දුවකිනි.
 

"මං කිව්වා මගෙ දරුවව මං බාර ගන්නං; බාල එකත් අරං යන අතක පල කියලා."
"ඉතිං?"
"එතකොට ඒකි ඇහුවා ඇයි එතකොට බාල එකා උඹේ නෙමේද කියලා. මං කිව්වා ඌව තියාගනිං කෑගලු ගමන මතක් වෙන්ඩ කියලා."
"කියන්ඩ තිබුණෙ ඌව උගෙ මහ එකා ළඟටම අරං පල කියලා." සංජීව නිවැරදි මග පෙන්වීය.
 

"මට වතුර එකක් දෙන්ඩකො අක්කා. හරි තිබහයි." සරත් ඉල්ලීය.
"ඉන්ඩ මල්ලි, දැං වතුර නටනවා ඇති. තේ බොමු."
"නෑ අක්කා, වතුර එකක් බීලා ඉන්නං."
"ඔය ගෑනි මල්ලිට හරි යන එකියක් නෙවෙයි. මං ඔය මගුලටවත් කැමති වුණේ නෑ. මුකුත් කියන්ඩ බැරිකමට හිටියා මිස. මල්ලිගෙ තනි තීරණේනෙ." 


සංජීව කියවන්නට වූ නමුත් සරත්ගේ සිහිය තිබුණේ ඉන් බොහෝ දුරය. ඉන්දු ගෙන ආ වතුර වීදුරුව ඔහු එක හුස්මට බීගෙන ගියේය. ඉන්දු නැවත වාඩිවී කකුල් පිරිමදින්නට වූවාය.
"දැං කෝ?" සංජීව හිස වනා ඇඟෙව්වේ නිලූවය.
"ගෙදර, අය්යා."
"ගියෙ නැද්ද? මං කිව්වෙ, ඒකිට ලැජ්ජා නෑ. වෙන එකියක්නං ගිහිං."
"යන්ඩ හැදුවා. මං දොර වහලා යතුර අරං තමයි මේ ආවෙ."
"මොකක්?"
 

"නිලූ කාමරේට ගිහිං බඩු අස් කරගන්ඩ පටං ගත්තා. දුව බය වෙලා අඬන හින්දා මං ළඟට වෙලා එයාගෙ ඔලුව අත ගගා හිටියා. 
ඒ වෙලාවෙ පුතා දණ ගාගෙන ළඟට ඇවිත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං තරහට කකුල ගස්සලා ඇද්දා. පුතා බිම වැටුණා. එයාට තේරුණේ නෑ මං හිතලා කරපු වග. ඒ හින්දා ආයෙමත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං ආයෙමත් කකුල ගැස්සුවා. 
ඒ ගමන පුතා මගෙ මූණ දිහා බලලා පුදුමෙන් වගේ 'අප්පච්චි?' කියලා කිව්වා." 

සරත්ගේ ඇස්වල කඳුළු කැට එළියට පැනීමට ආසන්නය. ඉන්දු කිසිවක් නොකීවාය.
"අරකිගෙ හොර මගුලෙ ළමයා." සංජීව සිහිපත් කළේය.


"ඒ වුණාට ඌ මට අප්පච්චි කියනකොට මට අහක බලාගෙන ඉන්ඩ පුලුවන්ද අය්යා?"
 

සංජීව පිළිතුරු නොදී පුටුවේ පිටුපසට වී හිඳ ගත්තේය. මානව සම්පත් නිසි පරිදි කළමණාකරණය වී නැත.
 

"තේ හදන්ඩද මල්ලි?" ඉන්දු කිසිවක් සිදුනූණාක් මෙන් විමසමින් නැගිට්ටාය.
"ඕන නෑ අක්කා. මං යන්නම්." සරත් පුටුවෙන් නැගිට්ටේය. ඉන්දු කිසිවක් නොකියා ඔහු පසුපසින් දොරකඩ වෙත ඇදුණාය.
"යන්නං අය්යා." දොර ළඟ නැවතුණු සරත් නැවත හැරී සංජය දෙස බැලීය.
"හා මල්ලි." සංජීවද එවර නැගිට දොර වෙත ආවේය.
"යන්නං අක්කා." සරත් එළියට බැස්සේය. 

ඉන්දු දොර අසළ සිට කෙමෙන් ඈතට යන සොහොයුරා දෙස බලා සිටියාය. සරත්ගේ උස් සිරුර හැකිළී ගොසිනි. ඔහු බිම බලාගෙන මහල්ලෙකු සේ සෙමින් පියවර නගයි.

"පිංගුත්තරයා!"
 

සිය හැඟීම් තනි වදනකින් කැටි කොට ඉන්දුට දමා ගැසූ සංජීව ආපසු හැරී මේසය වෙත ගියේය.

ඉන්දුගෙන් පිළිතුරක් නොලද හෙයින් ඔහු පත්තරය දිග හැරගෙනම තම අදහස ඔප්පු කරන්නට විය.

"ඌට කොන්ද පණ නෑ. ඕක තමා වෙන්නෙ පිරිමියෙක් නැති ගෙදරක හැදුණහම; පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ දන්නෙ නෑ. ඕගොල්ලොන්ගෙ අප්පච්චි තමන්ගෙම ළමයින්වත් දාල ගියා. ඒකටමත් එක්ක හරියන්ඩ පුතණ්ඩියා රටේ ලෝකෙ එවුංගෙ දරුවොත් හදනවා. නෝංජල්කම."

සත්‍යය, පිරිමිකම හා ගැහැණුකම, දරුවන්ට ඇසෙන මානයේ සිට දෙමවුපියන් දබර කිරීම, පවුල ආරක්ෂා කිරීම, සිතේ කැකෑරෙන සොයුරු පෙම හා මුසු වූ ශෝකය ඈ සියල්ල කිරා මැන බැලූ ඉන්දු තව දුරටත් මුණිවත රැක්කාය.

සරත් වංගුවෙන් හැරෙන තුරුම ඈ ඔහු දෙස බලා සිටියාය. 


පාරට ඉහළින් වූ කෝපි වත්ත අඳුරුය. ඊට ඉහළින් සැඳෑ අහසේ හිරු දිලෙයි. ලා රත් පැහැ හිරු රැස් සරත් මත වැටී ඔහු මෙන් දෙතුන් ගුණයක් දිගු සෙවණැල්ලක් පාර මත පතිත වී ඇත. ඒ සෙවණැල්ල අඳුරුමුත් එහි මායිම් තියුණු බව ඉන්දු දුටුවාය.

55 comments:

  1. [[පාරට ඉහළින් වූ කෝපි වත්ත අඳුරුය. ඊට ඉහළින් සැඳෑ අහසේ හිරු දිලෙයි. ලා රත් පැහැ හිරු රැස් සරත් මත වැටී ඔහු මෙන් දෙතුන් ගුණයක් දිගු සෙවණැල්ලක් පාර මත පතිත වී ඇත. ඒ සෙවණැල්ල අඳුරුමුත් එහි මායිම් තියුණු බව ඉන්දු දුටුවාය.]]

    WOW

    ReplyDelete
  2. "මොකද වෙලා තියෙන්නෙ?" එවර සරත්ගේ වදන් සංජීවගේ ඇස් පුවත්පතෙන් ඉවතට ගැනීමට සමත් විය.

    ""______ මානව සම්පත් කළමණාකරණ විෂයට සංජීවට උපාධියක් තිබේ.________""

    හින්ට් ගහනවා කියලා ඔහොමත් ගහනවද

    ReplyDelete
  3. මගේ හිත කීරි ගස්සපු ටික තමයි, තමන් අප්පච්චී කියලා හිතාගෙන ඉන්නා, පොඩි එකා කකුල බදාගෙන නැගිටින්න හදන විට පයින් ගසන්න මිනිහෙක්ට පුළුවන්නම්, ඌ පිංගුත්තරයෙක්ම තමයි....!

    හපොයි, මගේ පපුව පැලෙන්න එනවෝ...!

    ReplyDelete
  4. හිත් ඇදගන්නා කතාවක්. ලස්සනට ලියලා.

    @සුජීව,

    මම කියන්ට හදනදේම කියනකොට මම කොහොමද කමෙන්ට්ස් දාන්නේ :D

    ReplyDelete
  5. හැමදාමත් හිත සසල කරන දේ ලියන ඔබට මගේ ප්‍රණාමය!හිතන්න ගොඩක් ඉතුරු කරන ලිපියක්.අගෙයි සොයුරිය..!

    ReplyDelete
  6. සරත් තම සොයොයුරිය සොයාගෙන ආවේ තමන් අසරණ උන
    වෙලාවේ ලොකු පිලිසරණක් සොයාගෙන. ඒත් ඒ කාරිය සොහොයුරියගෙන්වත් සංජීවගෙන්වත් හරියට උනේ නෑ. මස්සිනාට මානව සම්පත් වලට උපාධියක් තිබ්බත් වැඩක් තියෙනවද මිනිස් සිතක් තේරුම් ගැනීමට හැකියාවක් නැත්නම්.මගේ සොහොහුරෙක් මේ වගේ දෙයක් කියාගෙන මා ගාවට ආවොත් මටනම් බැහැ ඔහොම හිස් අතින් යවන්න. මේ වගේ දෙවල් දුර දිග ගිහින් තමා සියදිවි නසාගැනීම් දක්වා දුර යන්නේ.
    අනිත් කරුන තමා මේ දෙන්න දෙමහල්ලන්ගේ සැක කිරීම් නිසා
    අර අසරන දරුවා පලිද.?එතනත් තියෙන්නේ සැකයක් විතරයි..දරුවා තමන්ගේ උනත් අනුන්ගේ උනත් කිරිසප්ප්යෙක්නේ පලිගන්නේ දරුවාගෙන්ද?
    ඉන්දුයි සන්ජීවයි දෙදෙනාත් අතරේ එතරම් සමගියක් නැහැ වගෙ මට හිතෙන විදියට...

    හොඳ නිර්මාණයක්..දොස්තර නෝනා...ස්තූතියි

    ReplyDelete
  7. ඉතාමත් අපූරැ නිර්මාණයක්.... අද සමාජයේ (සමහර) ස්වාමි පුරැෂයන් මුහුණ දෙන ගැටළුවක් මතුකිරීමක් ලෙස දකිමි... පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවන බොහෝ ගැටළු, දරැවන්ට ඇති ආදරයත්... සමාජයෙන් ඇතිවිය හැකි පීඩනයත් හේතුවෙන් බොහෝමයක් ස්වාමි පුරැෂයින් දුක ද වේදනාවද සිත තුල සිරකර විඳින්නාවු වේදනාව ඉතා සංවේදීව ප්‍රකාශවේ.

    ඔබට ජය !!

    ReplyDelete
  8. "මානව සම්පත් කළමණාකරණ විෂයට සංජීවට උපාධියක් තිබේ."

    "සංජීව පිළිතුරු නොදී පුටුවේ පිටුපසට වී හිඳ ගත්තේය. මානව සම්පත් නිසි පරිදි කළමණාකරණය වී නැත."

    "ඕගොල්ලොන්ගෙ අප්පච්චි තමන්ගෙම ළමයින්වත් දාල ගියා. ඒකටමත් එක්ක හරියන්ඩ පුතණ්ඩියා රටේ ලෝකෙ එවුංගෙ දරුවොත් හදනවා."
    .............................

    හැමදාමත් වගේ මුල ඉඳලා අගට යනකල්ම මොනව හරි දෙයක් මග ඇරෙයි කියලා හිතාගෙන එකම අවධානයෙන් කියවගෙන යන්න පුළුවන් ලියමනක්...අනිත් දේ තමා ඉස්සරහ ගැන අපිට මවා ගන්න දෙයක් ඉතිරි කිරීම...

    "ඇයි දෙයියනේ මෙහෙම දෙයක් කරගත්තේ..උඹට කවුරු නැතත් අපි ඉන්නවා නේද? ඇයි උඹ අපිට කිව්වේ නැත්තේ..එහෙම උනානං මෙහෙම දෙයක් වෙන්න දෙනවද අපි..."

    ඔන්න ඔහොම ගෑනු කෙනෙක් මිනියක් ගාවට වෙලා අඬ අඬ ඉන්න ඒ ළගටම වෙලා "ඒක නේන්නං මොනව නැතත් අපිට කියන්න තිබ්බනේ" කියලා අර අඩන කෙනාගේ හිත හැදෙන්න වගේ ළගට වෙලා කියන පිරිමියෙකුත් ඉන්න ජවනිකාවකුත් ඊළග කොටසින් මවා ගන්න පුළුවන් විදියට කතාව නවත්තලා තියෙනවා...සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්...ඒත් වෙන්නත් පුළුවන්..කවුද ඒක දන්නේ..?
    ...................................
    මිනිස්සු තවත් මිනිහෙක්ගේ ප්‍රශ්නයකදී ඒකට උපදෙස් දෙන්නේ තමන් ඒ ප්‍රශ්නය අල්ල ගන්න තරමට විතරයි..එක අතකින් ඒකට දොස් කියන්නත් බැහැ මොකද හැම කෙනාම ජීවත් වෙන්නේ ඒ ඒ අයගේ ලෝකවල..ඒ ලෝක ඇතුලේ තමන්ගේ ප්‍රශ්න වලට තරං ලොකු තැනක් අනිත් අයගේ ප්‍රශ්න වලට ලැබෙන්නේ නැහැ..ඒක ස්වභාවය..එහෙමත් තැනකදී..එහෙමත් කෙනෙක් විතරයි අනුන්ගේ ප්‍රශනයක් තමන්ගේ කරගෙන ඒකට ගන්න පුළුවන් විසඳුමක් ගැන සාකච්ඡා කරන්නේ..අඩුම තරමින් එහෙම විසඳුමක් නැතත් තියෙන ප්‍රශ්නය තවත් අවුල් නොකර ඉන්නේ..

    හුගක් දෙනෙකුට පුළුවන් "ආ දැක්කද මං කිව්වේ ඕක තමයි..කොහේද උඹ මං කිව්ව දේ ඇහැව්වේ නැහැ..උඹ දුර්වලයා.. මම තමයි කෙරුමා" කියලා ඒ සුළු මොහොතෙත් ස්වයං වින්දනයක් ගන්න විතරයි.

    අන්තිමට සරත්ලට වෙන්නේ එක්කෝ බාර් එහෙක මේසයක් ගාව නවතින්න..එහෙමත් නැත්තං කඹේක බාල්කෙක..කෘමිනාශක බෝතලයක පිහිට හොයන්න..
    එහෙමත් නැත්තං හැමදාමත් අනිත් අයගේ සමච්චල් සහගත හිනා මැද බර ඇදගෙන යන්න...

    හැබැයි කොයි විදියට උනත් එදාටත් අපිට පුළුවන් අන්න අර කාලකණ්නියා පණ නහ ගත්තා කියලා ටිකක් දුක් මුසු බැරෑරුම් ගතියක් මුහුණට ආරූඬ කරගෙන තවත් කෙනෙක් එක්ක කියන්න හරි..ආන් අර මෝඩ බේබද්දා කියලා තවත් කෙනෙකුට පෙන්නලා හිනාවෙන්න හරි...මෙහෙමත් නෝංජල් මිනිහෙක්..ඔහොම ඉන්නවට වඩා මැරෙනවා හොඳයි කියලා අපේ නෙවෙයි වගේ කියන එක හරි කරන්න...

    ඒත් ප්‍රශ්නය අපේනං..?

    ReplyDelete
  9. අම්මෝ ඇති ලියන්න පටන් අරන් !!
    මේ කතාවේ අනිත් පැත්ත ගැන හිතාගන්න් නම ඔය එක ලියන කන් මට බලන් ඉන්න වෙනවා.. ලියන්නම වෙනවා හරිද ? තමුන්ගේ පවුලේ ප්‍රශ්න සකච්චකරන්න නරකම තැන තමුන්ගේ පවුලේ ය ඉන්න තැන කියල මම තදින්ම විස්වාස කරන දෙයක්. එකෙන් වෙන්නේ ප්‍රශ්න ඔඩු දුවල නොවිසඳෙන තැනට තල්ලු වෙන එක විතරයි මගේ මිත්‍රයෙක්ගේ පවුල එහෙම කඩ වැටුන කිසි සාදාරන හේතුවක් නැතිව පවුලේ අයගේ අනවශ්‍ය බලපෑම් සහ මෝඩ උපදෙස් නිසා.
    සුජීව ඉහලින් උපුටල තියෙන අන්තිම චේදයෙන් ඔක්කොම සාරාංශගත වෙනවද ?
    අපේ කොල්ලෝ කියන්න වගේ මගේ බොක්කටම වැදුනේ පොඩි එක තල්ලු කලාම උන දේ තමයි.. හැම පවුල් ආරවුලකින්ම බට කන්න අහිංසක නොදරුවෝ විතරයි..
    දෙවෙනි කොටස එනතුරු මෙතනින් නවත්තන්න ඕන නැත්නම් තව මෝඩ කතා ගොඩක් කියල ...

    ReplyDelete
  10. කවදත් වගේ ලස්සන ලියවිල්ලක් අක්කෙ... නිතර කමෙන්ට් කරන්නෙ නං නෑ.. ඒත් අනිවාර්යයෙන් කියවනව.... සුජීව අයිය වගේම මමත් ඔයා කතාව අවසන් කරල තියෙන විදියට හරිම කැමතියි....තව ඡේද ගණනාවකින් කියන්ඩ ඕනෙ කතාවක් ඔයා වාක්‍ය දෙක තුනකට ගොනු කරපු හැටි නම් හරිම ලස්සනයි!!

    ReplyDelete
  11. දුක්බර කතාවක්, එතාමත් අනර්ග අවසානයක්. අන්තිම වාක්ය පුදුමාකාර සිතුවිලි ගොඩක සම්මිශ්‍රනයක්.
    "ඒ සෙවණැල්ල අඳුරුමුත් එහි මායිම් තියුණු බව ඉන්දු දුටුවාය."
    ඇත්ත. සෙවනැල්ලක් හැමතිස්සෙම අඳුරුය්, හැබය් සමහර විට මායිම තියුනුය්.

    ReplyDelete
  12. //"ඒ වුණාට ඌ මට අප්පච්චි කියනකොට මට අහක බලාගෙන ඉන්ඩ පුලුවන්ද අය්යා?" //

    දාරක ස්නේහය යනු කෙතරම් සොඳුරු දැයි විමසන්නට තවත් යමක් අවශ්‍යදැයි මට සිතේ ...

    හරිම ලස්සන කෙටි කතාවක් ..

    ReplyDelete
  13. මානව සම්පත් කළමනාකරණය උපාධියක් විදියට ලබා ගන්න පුඵවන් දෙයක් නෙවෙයි. ඒක හදවත විසින් කරන දෙයක්.
    පවුල කියන දේ තුළ දරුවා පවා පිට එකෙක් වෙනව මේ විදියට. ඒත් දරුවො කවුරුත් දරුවොමයි. ඔවුන් මනුෂ්‍ය දරුවො. සමාජීය දරුවො. ඔවුන් අයිති ලෝකයටමයි.

    ReplyDelete
  14. කියන්න වචන නෑ අක්කේ. හරිම ලස්සනයි. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ගතිය ඔයාගෙ හැම නිර්මාණයකම තියෙනවා.

    ReplyDelete
  15. මම කියන්න ගිය එක ඒ විදිහටම සුජීව කියලා දාලා.. වෙනසකට තියෙන්නේ අන්තිම වචනේ... WOW වෙනුවට මම දාන්නේ සුපිරි කියලයි...

    ReplyDelete
  16. හිතට තදින්ම දැනෙන විදියට ලියල තියනවා. දරුවන්ගෙ මූණ බලල තීරණ ගන්න බැරිව ලතවෙන අය කොයිතරම් ඇතිද?
    මැණික්

    ReplyDelete
  17. අනේ මන්ද ............ඇතුලත් ගිනි ...පිටත් ගිනි....

    ReplyDelete
  18. පිංගුත්තරයාට පිංගුත්තරයා කව්දැයි හඳුනා ගන්න නොහැකි වී ඇති හැඩයි . . .

    බිරිඳ වැඩ කාරියක් මෙන් ගෙදර වැඩ වලට නැහෙද්දී . . පත්තරයක් දිග ඇරගෙන කනෙක් බීරෙක් වගේ ඉන්න එකාද පිංගුත්තරයා . . . එසේත් නොමැති නම්

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැරදි කාරිය යැයි සැකකෙරෙන අම්මා කෙනෙක්ට සමාව දෙන්න හිත හදා ගන්න දඟලන උතුම් මිනිසාද පිංගුත්තරයා ??

    සුජීව සටහන් කරපු ලෙස කතාවේ අවසන් කොටසින් නලිනි කියන්න හදන දේ තීවර කරලා කියල තියෙනවා.

    ඔයා නම් ඇත්තෙන්ම ප්‍රවීන නවකතා කාරියක් නලිනි කියලා නමකින් බ්ලොග් එකක් ලියනවා වත්දෝ කියලා මට හිතෙනවා.

    හිතේ තෙරපුමක් ඇති කල . . බර අඩියක් තබා හදවත වේදනාවට පත් කරපු . . ඉතාම සංවේදී රටාවකින් ලියපු උසස් කෙටි කතාවක් නලිනි . . .

    ජය වේවා

    ReplyDelete
  19. ලස්සනයි... දෙමව්පියන්ගේ වැරදිවලට අහිංසක ළමයි පලි නෑ.. කතාව කියවගෙන යද්දි එකතැනකදි ඇස් දෙක තෙත් උනා.. නෝනට කියන්න ඕන නෑනේ කොතනදිද කියල...

    ReplyDelete
  20. ලස්සනට ලියලා.නියමයි

    ReplyDelete
  21. පිරිමියා හෝ ගැහැනිය ඔය වගේ නොසන්ඩාල වැඩක් කොරනකොට, අනිත් පාර්ශවය අන්ත අසරණ වෙනව නේද?....මට හිතෙන්නේ සරත් නෝංජල් නැහැ....දරු දෙන්නම දාල අම්මන්ඩි ගියොත්.....

    සරල නැති මහා සොංකීර්ණ ගැටලු...

    ReplyDelete
  22. ෂා.......
    මාරම ගති

    ReplyDelete
  23. අනේ ...පොඩි එව්වො ගැන දුකයි මට..

    ReplyDelete
  24. ඔන්න ඩොක්ට නලිනිත් change එකකට වගේ මුල මැද අග තියෙන කතාවක් මුල මුලටත් මැද මැදටත් අග අගටත් තියල ලියල තියෙනව...

    පුදුමයි..:D

    change එකට ලිව්වට හැමවෙලේම ඕන්නෑ හොඳේ..:D

    මිනිස්සු කිව්වහම ඉතින් මගෙ සබ්ජෙක්ට් එකනොවැ...

    මම නම කතාවෙ හෙඩිම දාන්නෙ "චරිත තුනක්" කියල.. ( because I am a people's man ) ..

    චරිත තුනක් දිහා ඈතින් ඉඳල බලල පැත්තක් නොගෙන කරපු විස්තරයක් වගේ...

    සුජීවගෙ කොමෙන්ට් එක දකින්න කලින් මම හිතුවෙම ඒ ඡේදෙ ගැන ලියන්න ... සුජීවය එක වචනෙකින් ලියන්න ඔනෙ ඔක්කොම ලියල ."WOW"..(this is why I like sudda's lingo sometimes )

    ඇත්තෙන්ම කතාව ආපහු ලිව්ව වගේ ඒ පුංචි ඡේදයෙන්..

    ReplyDelete
  25. මොනවා කියන්නද හිතාගන්න බැහැ,,,,එත් මල්ලිට අනිත් දෙන්නා කතාකරපු විදිය නම් හොඳ නැහැ කියලා හිතෙන්නේ මට නම්

    ReplyDelete
  26. පිංගුත්තර කියන්නේ උදුම්බරාව දාලා ගිය එකා නේද?
    මෙතන තියෙන්නේ වෙනත් කේස් එකක්.

    ReplyDelete
  27. කෙටිකතාවක් වුනත් නව කතාවක ට වඩා දෙයක් මේකේ තියෙනවා නලිනි. මදැයි දුක කියන්න ආවා . විශිෂ්ටයි . අද මන් කලබලෙන් ආවේ . කියන්න ගොඩක් දේ හිතෙනවා . හෙට ආයේ එන්නම්

    ReplyDelete
  28. hemadaama wagema uparimai akke
    eththatama me inn pirimiya nonjalayekda?
    neththam niyama thaththakenekda?
    anemanda.

    ReplyDelete
  29. අනේ හප්පොච්චියේ....මොනව කියන්නද...

    ReplyDelete
  30. මේ අපි අතර ඉන්න මිනිස්සු . මයුරි මිට පස්සේ කාව හරි දැක්කොත් ඕනෑම නම් එයාගෙන්ම අහන්න ''ඔයා කෑගලු ගියාද කියල '' නැතුව හිතවත් කමට හරි මොකට හරි ගෙවල් ගිනි නොතියා .

    නිලූ ..කිතුල්වත්තට ගිහින් ජාන පරීක්ෂාවක් කරලා ඔප්පු කරන්න බබා කාගේදකියල . සරත් ගේ නෙමේ නම් සද්ධ නොකර ඉන්න .

    සරත් ..ඔන්න තේරුම් ගන්න හිතේ අමාරු අක්ක එක්ක කීවට මස්සිනා නම් ගිනි දෙය්යෙක් කියල .දැන් මොකද කියන්නේ ගැණුන්ට ජරා ජාතිය කියන පිරිමි මේ පිරිමියා ගැන

    ඉන්දු ..ඕක තමයි එළියේ ගිනි අපිව පිච්චුවත් සමහර විට ගෙට ගන්න බැහැ.

    සේරටම වඩා මමත් මේ කතාවේ කැමති අන්තිම කෑල්ලට . එතනින් සරත් නෝන්ජලයෙක් මනුස්ස ගති තියෙන මිනිසෙක් ..දරා ගන්න හි චරිතයක් කියල ඉස්මතු කරනවා .

    මේකත් කියන්න ඕන ..නලිනි ඔයාගේ නිර්මාණ ශක්තියට මම හිස නවනවා

    ReplyDelete
  31. අනේ මන්දා කියන තියෙන්නෙ "මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ".. මට නම් හිතාගන්න බෑ...

    ReplyDelete
  32. @ සුජීව: බව්. :D බොහොම ස්තුතියි ලියලා පළ කරන පරක්කුවෙන් ඇවිත් කියවලා බැලුවට.

    @ හර්ෂණ: ඔව් ඔව්. ඌත් ඔහොම තමයි. :D

    @ දුමී: ළමයි උස්සලා පොළොවෙ ගහන තාත්තලා ඇතුළුව තවත් නාමමාත්‍රික තාත්තලා හුඟක් මේ රටේ සිටිත්.

    @ පොඩි කුමාරිහාමි: සුජීව ඔහොම්මයි.

    @ මලිති: බොහොම ස්තුතියි සොයුරිය.

    @ ගිම්හානි: ඇත්ත. අපි හුඟක් වෙලාවට සූදානම් නැහැ වෙන කෙනෙකුගෙ ප්‍රශ්නයක් හෝ දුකක් අහගෙන ඉන්න. අපිට හදිස්සි විසඳුම් දෙන්න.

    @ බස්සා: අන්ත දෙකේම පියවරු බොහොම ඉන්නවා. ඇත්තටම දරුවන්ට ආදරේ හින්දා දරුවන් හදන අය අඩුයි.

    @ මාරයා: ආන් අර මෝඩ බේබද්දා කියලා කාට හරි පෙන්නන්න නේද? (කුරිරු සිනා)

    ඔයාගෙ කොමෙන්ටුව මුල සිට අගටම මිනිස්සුන්ගෙ ඇස් අරවන්නක්. අර අවසන් ඡේදයෙ තියෙන වැකි ටික අපි කොච්චරනම් අහනවද? ඇයි දෙය්යනේ ප්‍රශ්නයක් තිබුණනම් අපිට කිව්වෙ නැත්තෙ කියන එක මරණයකදි කොච්චරනම් අහන්න වෙනවද? නමුත් තවත් මනුස්සයෙකුට කතා කරන්න ඉඩ දෙන අය කොතරම් ටික දෙනාද?

    @ සරත්: නොදන්න දිව්‍යලෝකෙට බයෙන් දන්න අපායෙ රැඳී සිටින බොහොම දෙනෙක් තමන්ගෙ ප්‍රශ්නවලට උත්තර වෙන අයගෙ ජීවිතවලට යොදවලා බලනවා. පවුලෙ ප්‍රශ්න සාකච්ඡා කරන්න නරකම තැන පවුලෙ අනික් අය බවනම් සහතික ඇත්ත.

    ReplyDelete
  33. නලිනි ගෙ නිර්මාණ හරිම අපූරුයි.........මම හරිම ආසයි...මේ බ්ලොග් එක අපට පෙන්වූ මාරයා අයියාට ස්තූතියි

    ReplyDelete
  34. @ හංසකිංකිණි: බොහොම ස්තුතියි සොයුරිය.

    @ සමාධි: බොහොම ස්තුතියි.

    @ මහේෂ් නිශාන්ත: ඇත්තටම දරුවන්ට ආදරේ කෙනෙකුටනම් එහෙම නේද?

    @ ```Outsider``` : ඔව්, කොයි දරුවත් දරුවෙක්ය කියන එක හුඟක් වෙලාවට මිනිස්සුන්ට අමතකයි; 'තමන්ගෙම එකෙක්' කියන හීනෙ පස්සෙ දුවන අයට ළමා නිවාසවල ඉන්න දරුවො පේන්නෙ නෑ වගේ; තමන්ගෙ එකා සැපවත් කිරීම පිණිස අනික් දරුවො පාගන අයට වගේ.

    @ පිණිබිඳු: බොහොම ස්තුතියි සොයුරිය

    @ අභීත: සුපිරි විකි? දත්වලට සම්බන්ධ ඒවමයි මතක් වෙන්නෙ නේද?

    @ මැණික්: පියවරුන්ටත් වඩා හුඟක් මව්වරු එහෙම ඇති.

    @ සිහින: බව් බව්. :D ස්තුතියි සොයුර.

    @ බීට්ල්: බොහොම ස්තුතියි.

    @ සිතුවිලි නිහඬයි: එළියට නොදීත් බෑ; දීලත් බෑ. ඇතුළට අරගෙනත් බෑ; නොගෙනත් බෑ.

    ReplyDelete
  35. "නමුත් තවත් මනුස්සයෙකුට කතා කරන්න ඉඩ දෙන අය කොතරම් ටික දෙනාද?"

    ඔව් එහෙම අය තමා අපිට අඩු...හොඳ වෙලාවට මට එහෙම හම්බ උනා..ඒත් සරත්ට..?

    හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ.. (කුරිරු හිනාවටත් මහත් වෙයි නේද..? අනේ සාදු)

    ReplyDelete
  36. @ දුකා: හුඟක් වෙලාවට අපි වීරයන් හා දුෂ්ඨයන්, සාන්තුවරයන් හා අපරාධකාරයන් පටලවගන්නවා කියලා මට හිතෙනවා.
    අර අන්තිම හරිය අභීත නොදකීවා කියලා මම පතනවා.
    බොහොම ස්තුතියි සොයුර.

    @ මාතලන්: අහන්ඩත් දෙයක්යැ- තේ එපා කිව්ව තැනදි නේද ඇස් තෙත් වුණේ? ඇයි අප්පෙ, කවුද තේ එපා කියන්නෙ? :D

    @ ගලායන ජීවිතය: බොහොම ස්තුතියි.

    @ Il mondo di una povera pazza: බොහොම ස්තුතියි.

    @ හීනියට: ඇත්ත. හුඟක් ගැටලු අපිට එකවරම පෙනෙනවට වඩා සංකීර්ණයි. ඉතින් කොහොමද සරල උත්තර හොයන්නෙ?

    @ පූසා: මට මතක් වුණේ... මගෙ යාළුවෙකුට අතරමං වුණු පූස් පැටව් වගයක් හම්බෙලා. උන්ව පෙට්ටියකට දාලා තියන්නෙ නිදිකරවන්ඩ. දවසක් කොහෙද යන බළල් තඩියෙකුත් ඇවිත් ඒ පෙට්ටියට බැහැලා පැටව් එක්ක නිදිලු. :D අනුන්ගෙ ළමයි වුණාට පූසොන්ටනම් ඒවා ප්‍රශ්න නෙවෙයි.

    @ හරී- පිණිපලස: දෙමවුපියන් එකට ඉඳගෙන රණ්ඩු කරනකොට පොඩි ළමයි අසරණ වෙනවනම් තමා. පව්.

    ReplyDelete
  37. අක්කගේ බ්ලොග් එක බැලුවත් කමෙන්ට් කරන පළවෙනි වතාව.. හරිම ලස්සනයි කථාව, ඒත් සහෝදරියක් විදියට ඒ අක්කා නම් සාර්ථක කෙනෙක් කියන්න බෑ.. තමන්ගේ හිතේ තියෙන දුක කියන්න ඉන්න එකම කෙනා නිසයි මල්ලි තමන්ගේ අක්කා හොයාගෙන එන්නේ, ඒත් සහෝදරයට ලැබෙන ප්‍රතිචාරය මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට ලැබිය යුතු අන්දමේ ප්‍රතිචාරයක් නම් නෙවෙයි..
    කථාව නම් සුපිරියි

    ReplyDelete
  38. @ සපතේරු උන්නැහේ: මළා! චැහ්. මගෙ කීර්ති නාමයට කැළලක් වෙලා නෙව, දන්නෙම නැතුව. :D වහාම අගමුල නැති පැටලිල්ලක් ගැන ලියන්ට ඕන.
    චරිත තුනක් කියන නම හොඳයි තමයි. කතාවට ගැලපෙනවා. නමුත් ඒ නම ඇති ප්‍රසිද්ධ කතාවක් තියෙනවනෙ.

    සපතේරු උන්නැහේ මිනිස්සු ගැන, මිනිසුන්ගෙ චර්යාවන් ගැන, චරිත ලක්ෂණ ගැන උනන්දු බව මම දන්නවා. බ්ලොග් එක කියවනකොට ඒ බව හොඳින් පෙනෙනවා.

    @ deeps: තමන්ගෙම ගැටලුවල ගිලිලා ඉන්න නිසා හෝ හුරුවක්/ උනන්දුවක් නැතිකම නිසා හෝ එවැනි වැරදි හුඟක් වෙනවා කියලා මටත් හිතෙනවා.

    @ කතන්දර: ඔව්, ඔවැනි සිද්දියකදි සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ කටට එන වචනෙ දාන්නට මම අකමැති නිසා මේ වචනෙත් කමක් නැහැ කියලා හිතුවා. කොහොමත් අනික් කෙනෙක්ව අපහාසයට ලක් කරන්නට යෙදෙන එකක්නෙ.

    @ mahima: මම හිතන්නෙනම් නියම තාත්තා කෙනෙක් කියලා. නමුත් වෙනස් විදිහට හිතන අය වැඩියි නේද?

    @ Bindi: බොහොම ස්තුතියි දෙසැරයක්ම ඇවිත් ගියාට. වටිනා උපදෙස් හුඟක්. අර නිලූට දීලා තියෙන උපදේසෙ තමා මට අල්ලලා ගියෙ. ( සරත්ගෙ නෙවෙයිනම් සද්ද නැතුව ඉන්න.) :D

    @ නචියා: හ්ම්. සමාජෙ වෙන හුඟක් දේවල් හිතා ගන්න බැහැ.

    ReplyDelete
  39. @නලිනි;

    මැඩම් ඔයා දැන් ඇගනී ලියනවා වැඩියි හරිද? මං දන්නා එකම ඇගනී ලවර් තමයි ශර්ලොක් හෝම්ස්. [එයා පත්තරේ බලන්නේ අනුන්ගේ ඇගනී හොයන්නනේ] නලිනිත් ලිව්වොත් දැන් ඇගනීයක්.

    හැබැයි ඉතින් ලියන එක කන පැලෙන්න ලියනවා. හැමදාම දකින අහන දේ. ඔය වගේ කතාවක් අම්මා කිව්වා මේ පහුගිය ඉරිදා රෑ. එකේ නම් සරත් සුයිසයිඩ් කරගෙන. නිලූ ඇත්තටම කේස්. සංජීව කෙනෙක් ඇති අපිට නොපෙනුනාට.

    ටික දොහකට කලින් බස් එකේ පස්ස සීට් එකේ උන්නු අය ඊව්ස් ඩ්රොප් කරවාපු එකක්. මෙන්න එයාලගෙම වචනයෙන්. "මල්ලි දැන් කොළඹ ඉන්නේ, ඒ ගෑනිට මල්ලි කැමැත්තක් නැහැ. විනොදෙටනේ කරලා තියෙන්නේ. බලෙන් බැන්දුවේ." ... "දරුවටත් කැමති නැහැ අනේ මල්ලි. බඳින්න කලින් නේ බඩට ආවේ. එකිගේම ළමයනේ. එකී වගේ නැතයි"

    හපොයි මේ ජීවිතේ.

    මෙන්න මගේ විචාර කෑල්ල. ගිනි පත්තු වෙච්ච ජීවිත ගැන අහවල් විචාර ද කියලා හිත කියනවා හැබැයි.

    මුලිං ම ඔයා නිර්මාණය කල සරත් චරිතය ඔහුගේ අක්ක සමග දක්වන බැඳීම ඔක්කොම තිතට යනවා. මෙයා ටිකක් ටිමිඩ් පොරක්. හැබැයි පහු වෙලා බන්දලා දුන්නම [ලජ්ජාවට] චාටර් සිද්දි වලට මුහුණ දෙන්නෙත් මේ වගේ අය.

    නිලූ ගුප්තයි. ඔයා එයාව සුද්ද කරන්න යන්නේ නැති එකයි වටින්නේ. ඔයාට කියන්න ඕනේ ඒකමනේ. සරත් ගේ නොවුනම වුනත් පොඩි එකාට සලකන්න බැහැනේ එහෙම.

    සංජීව ගැන ඔයා සාධාරණය ඉටු කරන්නේ නැහැ නලිනි. මොනවදෝ අඩුයි. ඔයාට ලඟදි කාත් එක්ක හරි තරහ ගියාද? සංජීවගේ කළු තීන්ත ගාලා වැඩියි. දේවදත්තයාට වත් එලව එළවා ගහන්න එපා. ඒක නිර්මාණයේ අඩුවක්.

    මං මුලින් ම කිව්වා වගේ ෆිනිශය වාව් ය.

    @පොඩ්ඩි;

    වෘත්තියෙන් නිර්මාණ කරණයේ යෙදෙන [මට ලඟදි එහෙම දෙයක් පෙනුන] කෙනෙක් ට අපට වඩා කියන්න දේවල් නැද්ද අප්පා. අපි මේ ලේමන් ඔටුවෝ.

    ReplyDelete
  40. @ Neranji: බොහොම ස්තුතියි සොයුරිය.

    @ ප්‍රාර්ථනා: බොහොම ස්තුතියි නංගි.
    ඇත්ත, මානසිකව වැටිලා ඉන්න කෙනෙක් ගැටලුව කියනකොට, ඊට කොහොම ප්‍රතිචාරයක් දක්වන්නද කියලා වැඩි දෙනෙකුට අවබෝධයක් නැහැ. හුඟ දෙනෙකුට අහං හිටියත් ඇති.

    @ මාරයා: :-) නෑ නෑ. කුරිරු හිනාවට කැහැටු වෙනවා.

    @ සුජීව: මළ සේක. තවත් ඇගනි කිහිපයක් සිතේ තිබුණි. දැන් ඉතින් වෙන අතක් බලා ගන්න ඕන.
    අර කතාව ගැනනම් කියන්න තියෙන්නෙ හපොයි කියලම තමයි.

    විචාර කෑල්ලට බොහොම ස්තුතියි. මිනිස් ස්වභාවයන් ගැන පැහැදිලි කිරීමක්.
    සංජීව ටිකක් කළු හුරුයි වගේ නේද?

    ReplyDelete
  41. නලිනි;

    සන්ජීවලා විසින් මවන ලද දිව්‍ය ලෝකයට රැවටී සන්ජිවලා විසින් දුන්නු ඉයර්ලි ප්ලෑන් වලට වැඩ කර සන්ජිවලා විසින් කරපු අප්රේසල් වලින් වෙඩි කා, සන්ජිවලා දෙන මිටිගේෂන් ප්ලෑන් වලින් බෙහෙත් දා ගන්න අපිට නම සන්ජිවලා කළුවට පෙනේ. එහෙත් පුද්ගලිකත්වය ඉකමවා යන මගේ විදචාරකයා [හප්පට හුඩු මූ යන දුර] දේවදත්තයාට වත් එලව එළවා ගහන්න කැමති නැත.

    කොටින් ම බෞද්ධ සාහිත්‍යයේ එන පක්ෂග්‍රාහී පුද්ගල වන්දනාව හෙවත් ස්වාධින රුපවාහිනිකරණය එලියට පනින්නේ එහි දේවදත්ත නම් මිනිහාටත් නිගන්ටනාතපුත්ත නම ශාස්තෘ වරයාටත් ගහන ගැහිල්ලෙනි. එතනදී බෞද්ධයින් හඩ්ඩාටත් එහාය. අසප්පු කාරයින්ටත් එහාය. [මේ ටික නිසා මෙතන ගින්නක් නො ඇවිලේවා යි පතමි. ටික දොහකට මිසින් යන්නට සිතා සිටින නිසා ගිනි තියපු මා නම් ගොඩ ය]

    ReplyDelete
  42. පවුල කියන ඒකකයේ අඳුරු පැත්ත තියුණුවට ගෙනහැර දක්වපු මේ කතාව අන්තිම ඡේදයෙන් කැටිකරලා තියෙන්නේ හරිම ලස්සනට.

    සරත් වංගුවෙන් හැරී ගියේ... වංගුවට එපිටින් බලා ඉඳින අයගෙන් ප්‍රශ්ණය නිරාකරණය කරගන්න පිටුවහලක් ලැබුණේ නැතිව වුවද සරත්ගේ හිත දෙබෑකර ගලන කුණු අගල මත ඔහු පාලමක් නැතත් ඒදණ්ඩක්වත් කරන්න තරම්වෙන ගස්කඳක් ඇතිබව ඒත්තු ගන්වමින්. ඒ ගැන කියවෙන්නේ අපූරුවට //ඒ ගමන පුතා මගෙ මූණ දිහා බලලා පුදුමෙන් වගේ 'අප්පච්චි?' කියලා කිව්වා." //

    අකැමැත්තෙන් පිටින් ඉඳන් බලද්දී පිංගුත්තරයා ලේබලය සර්ත්ලාට ලැබුණත් විවාහ සංස්ථාව බැඳතබා ගන්නා ඔවුන්, එය බිඳීගියහොත් සමාජයේ දෝෂදර්ශණයට ලක්වී අසරණවෙන කාන්තාව හා විසිරෙන දරුවෝ රැකගන්නා සරත්ලා පිං-ගුප්තලා නෙවේද? මල් කෙසේ වෙතත් ගල් විසිවෙන්න පුලුවනි මේ අදහසට, එය කාසියේ පැත්තක් විතරයි. නැතිනම් ජීවිතය වටා පොතේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ සඳහන් කරන පරිදි ගල්කිස්ස පවුල් උසාවිය මීට වඩා කාර්යබහුල තැනක් වෙන්න තිබුණි...

    පොස්ට් එක උණු උණුවෙම කියෙව්වාත් සටහන කරන්න වෙලාවක් ලැබුණේ නැහැ.

    ReplyDelete
  43. @ සුජීව: කට්ටියම මිසිං වෙන්න යනවනෙ. බින්දිත් මිසිං වෙන බව කියලා තිබුණා.

    @ ඩීන් අය්යා: බොහොම ස්තුතියි ඩීන් අය්යා කාර්ය බහුල ජීවිතය මැද ඇවිත් සටහනක් එක් කළාට. මොන විදිහෙ ලේබල් වැදුණත් වෙනස් විදිහට, පරාර්ථකාමී විදිහට හිතන අය නිසා තමයි ලෝකෙ හොඳ තැනක් වෙන්නෙ.

    ReplyDelete
  44. [ පුතා දණ ගාගෙන ළඟට ඇවිත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං තරහට කකුල ගස්සලා ඇද්දා. පුතා බිම වැටුණා. එයාට තේරුණේ නෑ මං හිතලා කරපු වග. ඒ හින්දා ආයෙමත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං ආයෙමත් කකුල ගැස්සුවා.
    ඒ ගමන පුතා මගෙ මූණ දිහා බලලා පුදුමෙන් වගේ 'අප්පච්චි?' කියලා කිව්වා." ]

    ඔතෙන්ට එනකම්ම සරත් ගැන තිබුනෙ දුකක්..අනේමන්දා...

    "මා කල වරද කිමදැයි මගෙ අප්පච්චී..."

    පුතා ඇස්වලින් ඇහැව්වෙ මේකද ???

    ReplyDelete
  45. හිතට දැනෙන කතාවක්. මෙවැනි කතා අනන්තයි. මේ වගේ ඉවසන පිරිමි අය දැක්කම සමහරු හිතන්නේ නිවට කම නෝන්ජල් කම කියා ඒත් ඒක එක්තරා විදියක බෝසත්කමක් නොවේද.

    ReplyDelete
  46. අද සමාජයේ ගොඩක් පවුල් ප්‍රශ්ණ වලට සැකය මුල් වෙනවා නේ. මේත් ඒ වගේ අවස්ථාවක් නේ. සමහරවිට ඇය වෙන උවමනාවකට කෑගලු ගියාද දන්නේ නෑ. නමුත් කෙනෙක් කියන දෙයක් අහගෙන මේ සේරම හිතනවා. තාත්තා පුතා ගැන සැක කරනවා වෙන අයෙකුගේ දරුවෙක් කියලා. අන්තිමට මනුස්සකම මතුවෙනවා පුතාට තියෙන සෙනෙහසත් සමඟම. හරිම ලස්සනට හිතේ යථාර්තය සමග කරන සටන මතුකල නිර්මාණයක්. එන්න එන්න හොද නිර්මාණ බිහිවෙනවා. හරිම සතුටුයි නංගි. කාලය හොයාගෙන මෙහෙම දේ කරන සංවේදී දොස්තර වරියන් ඉන්න එක අපේ වාසනාව නේද?

    ReplyDelete
  47. @ ප්‍රසංග: හුඟක් ගැටලුවලදි "නොදනිමි කාගෙ දොසා". :)

    @ Anithkona: ඔව්, එහෙම මිනිස්සු ඉන්නෙ අනික් මිනිස්සුන්ට වඩා ඉහළ මානසික මට්ටමක.

    @ චාන්දි අක්කා: ස්තුතියි අක්කා. මේක කාලෙකට ඉහත ලිව් එකක්. නැවත පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළා.

    ReplyDelete
  48. චරිත හරිම ලස්සනට ගොඩ නඟලා තියෙනවා.., ගොඩක් වෙලාවට හිතෙනවා මේ අපි කියවන්නේ වෙන වෙන නාම වලින් අපි අතරේම ඉන්න චරිතම නේද කියලත්..,
    කලමණාකරණය නොවුනු මානව සම්පත, කොදෙව්වක හිරවුණු මනුස්සකම්.., කුටුම්භ ගත, ඇතුලු හදටම නැවුනු පුද්ගල අත්දැකීම්, මේ ඔක්කෝම මවන්නේ අවසානයට ආවෘත පරිපූර්ණ කතාවක්..! හරිම ලස්සනයි..! ජය!!

    ReplyDelete
  49. හරිම ලස්සන කතාවක් අක්කේ. අක්කට ගොඩක් ලස්සනට ගලපලා ලියන්න පුලුවන් නේ. අක්කගේ ලියමන් කියවන්න කලින් මම මෙහෙම ලිපි කියවලා තියෙන්නේ සොදුරු සිතේ වත් අක්කාගෙන් විතරයි. වත් අක්කට වගේම චන්දිමා අම්මටත් ලියන්න පුලුවන් නේ.
    අක්කත් මාතර ද ? (මාතර ගොඩක් අයට ලස්සනට ලියන්න පුලුවන් ලූ...)

    ReplyDelete
  50. මේ පෝස්ට් එක කලින් දැක්කට කියවන්න ගියේ නැහැ. නමින්ම තේරුනා විවේක බුද්ධියෙන් යුතුව කියවියයුතු බොහොම සංවේදී කතාවක් වග. ඒ හින්දා පස්සට තිබ්බ. ඉතින් අද තමා කියෙව්වේ. "විශිෂ්ටයි"

    අන්න දුකාටත් මට හිතුනු දේම හිතිලා.
    //ඔයා නම් ඇත්තෙන්ම ප්‍රවීන නවකතා කාරියක් නලිනි කියලා නමකින් බ්ලොග් එකක් ලියනවා වත්දෝ කියලා මට හිතෙනවා.//

    සපතේරු උන්නැහැ යෝජනා කරන නමට මම නං එකඟ නැහැ. (It seems that I am destined to disagree with Mr. Cobbler. Hikz..) ඩොක්ට දාල තියෙන නම වඩා අර්ථාන්විතයි. මේ තියෙන්නේ ගල් මල් බොහොම පැහැදිලිව කියල.
    //පවුල කියන ඒකකයේ අඳුරු පැත්ත තියුණුවට ගෙනහැර දක්වපු මේ කතාව....//

    හැබැයි මට මෙන්න මේ ටික නං කතා රසයට පොඩි බාධාවක් උනා.
    //සත්‍යය, පිරිමිකම හා ගැහැණුකම, දරුවන්ට ඇසෙන මානයේ සිට දෙමවුපියන් දබර කිරීම, පවුල ආරක්ෂා කිරීම, සිතේ කැකෑරෙන සොයුරු පෙම හා මුසු වූ ශෝකය ඈ සියල්ල කිරා මැන බැලූ ඉන්දු තව දුරටත් මුණිවත රැක්කාය.//
    ලේකඛයා මැද්දට සමාජ විද්‍යාඥයෙක් පැනල වගේ ගතියක් දැනුන.

    සංජීව චරිතය කළු වැඩී කියල සුජීව කිව්වට එහෙම චරිත අද සමාජයේ ඕන තරං ඉන්නවනෙ. අනෙක සංජීවගේ චරිතයේ තව ලක්ෂණ පෙන්නන්න ගියොත් මේ කෙටි කතාව ඉඩ මදි වෙනවා.

    ඉතින් හැමදාමත් වගේ පමාවෙලා කමෙන්ට් කලාට ඩොක්ට තරහ වෙන එකක් නැහැ කියල හිතනව.
    ජය වේවා! දිගටම ලියන්ඩ. පොතක් පලකිරීම පිලිබඳ මගේ යෝජනාවත් සලකා බලන්න.

    ReplyDelete
  51. @ Lishan Puwakowita: බොහොම ස්තුතියි සහෝ.

    @ මධුරංග: නැහැ මල්ලි මම නුවර. බොහොම ස්තුතියි දිරිමත් කළාට.

    @ පොත් ගුල්ලා: බොහොම ස්තුතියි දිගු විචාරයටත් දිරි ගැන්වීමටත්. මොන පමාවක්ද? ටිකක් පරණ කතාවක් කවුරු හරි කියවලා තියෙනවා දැක්කහම මට වඩාත් සතුටුයි.

    ReplyDelete
  52. මේක ලිවේ ගෑනු කෙනෙක්මද කියල සැකයි .......

    ReplyDelete