Friday, July 15, 2011

බටහිර ආරාම

අනුරාධපුරය.

හිතේ හැටියට අනුරාධපුරේ විඳින්නටනම්, සමාන හිතක් ඇති කෙනෙක් එක්කම යන්නට ඕන. සමාන හිතක් ඇති කෙනා තමන්ට වඩා ටිකක් උනන්දුවක් ඇති කෙනෙක්නම්, තමන් නොදන්නා අලුත් තොරතුරුත් හොයාගෙන එයි, 'හැමෝම දන්නා ' අනුරාධපුරය ගැන.

බටහිර ආරාමයන් ගැන මම දැන ගත්තෙ අන්තිමට අනුරාධපුර ගිය ගමනෙදි. වට වන්දනා පාර දිගේ යනවිට හමුවන ප්‍රතිසංස්කරණය නොකළ, වනයෙන් වැසුණු පුරාණ ගොඩ නැගිලි සමූහයක් මීට අයත්.






මේවා තියෙන්නෙ පැරණි අනුරාධපුර නගරයට බටහිර දෙසින්. එවක නගරයේ වඩාත්ම අයෝග්‍ය පෙදෙස ලෙස සැළකුණේ මේ බටහිර පෙදෙස. මන්ද, සොහොන් බිම් පිහිටියේද, මළමිණී සම්බන්ධ කටයුතුත් පවිත්‍රතා කටයුතුත් පාරම්පරික රැකියා ලෙස උරුම කරගත් කුල හීනයන් ජීවත් වූයේද මේ බටහිර පෙදෙසේ නිසා.

අනුරාධපුරයෙ ඇති සුවිසල්, අලංකාර ගොඩ නැගිලි දිහා බැලූවිට පෙනෙන වැදගත් කරුණක් තමයි, බුදු දහමට එහි හිමි වී ඇති ඉහළ ස්ථානය. කලාත්මක ගුණයෙන් අනූන කැටයමින් පිරි, වඩාත්ම දිගු කලක් රැකෙන සේ ඉදි වූ ගොඩනැගිලිවලින් අති මහත් බහුතරය ශාසනයට අයත් ඒවා.

එහෙමනම් කවුද අර බටහිර පැත්තෙ, සොහොන්පළවල ආරාම හැදුවෙ?

අපේ අප්පච්චිගෙන් ඇහුවනම් කියයි චේ ගුවේරා කාරයො කියලා.

යස ඉසුරු අත හැර මගට බැස සත්‍යය සොයාගත් බුදු රජාණන් වහන්සේගේ ධර්මයට, අර මහා සම්ප්‍රදායය පටහැණි බැව් සිතූ භික්ෂූන් පිරිසක් බිහිව සිටියා අටවන ශතවර්ෂය වනවිට. ඔවුන් තපෝවන ආශ්‍රිතව භාවනාවෙන් දිවි ගෙවූ භික්ෂු පරම්පරාවටම අයත් අය. මේ බටහිර ආරාම, නගර ආශ්‍රිතව විසූ එවන් භික්ෂූන් වෙනුවෙන් ගොඩ නැගුණු ඒවා.

යමකට අප එරෙහි වන්නේද, ඊට ප්‍රතික්‍රියාවක් ලෙස, අර දෙයට අදාල සියලුම අංගයන්ගේ හාත්පසින්ම විරුද්ධ අංශය වැළඳ ගැනීම මිනිස් ගතියක්. නමුත් හැමවිටම ඒක අන්තවාදී වීමක් නොවෙයි; බටහිර ආරාමත් එහෙමයි. ඔවුන් බුදු හිමියන් වදාළ පරිදි වඩාත් සරල, සැහැල්ලු දිවිපෙවෙතකට පෙලඹුණු අය.

ඔවුන්ගෙ ආරාම තනා ගත්තෙ බොහෝකොටම කළු ගල් මත. ඒ වටා උස් තාප්ප ඉදි කොට බාහිර සමාජයෙන් වෙන් කොට තිබුණා. (මේ ලක්ෂණය ඇත්තෙ නගර ආශ්‍රිතව ඉදි කළ ආරාමයන්හි.) ඇතුළත ගොඩ නැගිල්ල බොහෝ විට ප්‍රධාන කොටස් දෙකකට බෙදා, ඒවා යා කෙරෙන පාළමක් සකසා තිබෙනවා. කුළුණු ආදිය බෙහෙවින්ම සුමට හතරැස් බවකින් යුක්තයි. ආරාමය ආශ්‍රිතවම ජල පොකුණක්ද වෙනවා. සමහරවිට කළු ගල මත ගොඩනැගිල්ල ඉදි කිරීම ජලය රැඳවීමට පහසු වෙන්නට ඇති. ප්‍රධාන දොරටුව, දෙපස පිහිටි කුළුණු දෙකකින් සහ ඒ දෙක යා කෙරෙන ගල් තලයකින් සමන්විතයි.






නමුත් ඔවුන්ගෙ විශේෂම ලක්ෂණය වැසිකිළි.

මුළු ආරාමයම අලංකරණයෙන් තොරව නිමවා ඇති මුත් වැසිකිළි ගල් අතිශය මනහර කැටයම්වලින් සරසා තියෙනවා. යොදාගෙන ඇති මෝස්තරත්, අර මහා සම්ප්‍රදායයෙ ආරාමවල විශේෂිත ස්ථාන අලංකාර කිරීමට යොදන ඒවා.

හරියට, "තොප ඔච්චර වැදගත් කොට සළකන පුහු අලංකාරයට, මෙන්න අපි දෙන තැන!" කියන්නට වගෙයි.







 


මේ භික්ෂූන් වහන්සේලා සොහොනෙන් ලබා ගත් වස්ත්‍ර සෝදා, පඬු පොවා සකස් කොට ගත් සිවුරු පෙරවූ බවත්, රළු අහර වළඳමින්, භාවනානුයෝගීව විසූ බවත් සඳහන්.

ඔවුන් ගත් මාර්ගය අනුමත කළ, ඔවුනට අනුග්‍රහය දැක්වූ පිරිස්ද රටේ ඇති තරම් හිටියා. ඒ වගේම, රජයට විරුද්ධ පිරිස් ආරක්ෂාව පතා දුවගෙන එන තැනක් බවටත් මේ ආරාම පත් වුණා.

එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා. ඊට විරුද්ධත්වය පානු වස්, තපෝවන සම්ප්‍රදායයේ භික්ෂූන් අනුරාධපුර අතහැර රුහුණට සංක්‍රමණය කළා.

මින් ඇති වුණු මහජන උද්ඝෝෂණය හා යුද හමුදා විරෝධය කෙතෙක්ද යත්,
සියලුම සම්ප්‍රදායයන්ට අයත් භික්ෂූන් වහන්සේලාගේ අවවාදය පරිදි,
මහ රජුගේ නියෝජිතයින් රුහුණට ගොස්, අර භික්ෂූන් වහන්සේලා හමු වී, සාකච්ඡා කොට, සමාව භාජනයකට දැමීමෙන් තමයි ගැටළුව නිරාකරණය කරගන්නට ලැබී ඇත්තෙ.

ඒ වුණත් බටහිර ආරාමයන්ට තවමත් තියෙන්නෙ කුඩම්මාගෙ සැළකිලි. වනයෙහි ගිලී ඇති මේ ආරාමවලින් යම් තරමට හෝ පාදාගෙන ඇත්තෙ එක් ආරාමයක් පමණයි. හුදෙකලා තැනක, නිදහසේ පිහිටි මෙහි පැමිණෙන බෞද්ධයන් බී ඉවත ලෑ මත් පැන් බෝතල් හා සිගරට් පැකට්ටු ආරාම භූමියේ පිරිලා. අප යන විටත් එහි ඇති පොකුණේ ගැමි කාන්තාවන් දෙදෙනෙක් රෙදි සෝදනවා. 


නිස්කලංක ආරාම භූමිය පුරාවට ගලේ වදින රෙදිවලින් නැගෙන හඬ දෝංකාර දෙනවා.

48 comments:

  1. Very busy.....I will comment again . may be after 2 weeks.

    ReplyDelete
  2. බොහෝ දේවල් මට නොතේරුනත් මට මතක විදියට මම මේ වැසිකිළි ක්‍රමය කලින් දැකලා තිබුනේ. ඔය හරියේම බෙහෙත් ඔරු ත් තියෙනවා නේද?
    ඒත් මේ තරම් ලොකු කතාවක් තියෙනවා කියලා නම් දන්නේ ඔයාගේ බ්ලොග් එකෙන්. කොහෙද කලින් ඉතින් සුද්දෙක් වෙලා රට වටේ ගියා මිසක් ඩිස්කවරි කරන්න ගත්තේ මේ ළඟ කාලෙකනේ. ඔයා කියනවා වගේ කොහෙහරි යද්දි ඒ ඒ දේවල් ගැන උනන්දු වෙන කෙනෙක් එක්ක යන්න මම නම් ඉගෙන ගත්තේ මට පළවෙනිම ලංකාවේ යාළුවා හම්බ උනු දවසේ...

    ReplyDelete
  3. ඒ පාර පුරා විද්‍යාවට බැහැල වගේ.. අනුරධපුරයේ පමණක් නෙමෙයි සීගිරියෙත් තවත් බොහෝ තැන්වලත් කැණිම් නොකොට සනාථ නොකල තැන් බොහෝමැයි. ඒවා අනාගත සිසුන්ට වෙන් කොරල කියලයි පුරා විද්‍යාව කියන්නෙ. නමුත් ඒවල වටිනාකම දන්න දේශපාලුවෝ නිදන් තියෙන තැන් සොයාගෙන ඒවා සංරක්ෂනය කොරනව ස්විස් ගිණුම් වල දාගෙන..

    දේවෝ වස්සතු කාළේන...

    ReplyDelete
  4. මගේ බඩට වදින වැඩක් වගේ........ මේකට කියන්නේ හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටුනා වගේ කියලා.... :

    ReplyDelete
  5. හොඳ ලිපියක් නෙව..
    මගේ යන එන ගමන්වලදී තියෙන පොඩි වෙනසක්ද අවුලක්ද කියලා කියන්න බැරි දෙයක් තමා..බලන තැන් බලනවා.නොබලන තැනුත් තියේ නං ඒවත් බලනවා.
    .ඒත් ඒ හැම දේටම වඩා මං කැමති..බලන්න තියෙන දෙවල් බලලා ඉවර වෙලා..හිත් ගත් තැනක පැත්තකින් පාඩුවේ වාඩි වෙලා. ඒ තැන දිහා බලාගෙන කල්පනා කරන එක..සමහර වෙලාවට එහෙමම වැටිලා නිදා ගන්නවා..ඔය සීගිරිය උඩත් මං පැය දෙකේ තුනේ නින්දවල් දාලා තියෙනවා..රිටිගල දිත් දොයිය බබා..ඒ වගේ තව හුගාක් තැන්...

    ඒ වගේම අහුවෙන්නේ කොතනද එතන ගෙදර වගේ හිතාගෙන දොයියන්න මගේ ලොකු උනන්දුවක් තියේ..(කම්මැලියට කොහේ ගියත් නින්ද ලොකුයි නේද..?)ඒක මහ අපූරු සනීපයක් ගේන දෙයක්... ඔන්න මගේ ඉපැරනි ස්ථාන නැරඹීමේ අත්දැකීම...

    ReplyDelete
  6. පැහැදිලිවම මට තියෙන ගැටළුවක්. වර්තමානයේ වුනත් අදාල පුද්ගලයින් කාමසුඛල්ලිකානුයෝගයට නැඹුරු වීම. දානයට යම් සම්පත් ලැබීම වෙනම කාරණයක් වුනත්, වඩ වඩාත් ඒවායේ ඇලීම, ධනය රැස් කිරීමට පෙළඹීම වගේ දේවල් මූලික බෞද්ධ දර්ශනයට පටහැනියි.ඒ දේ එදත් අදත් වෙනසක් නැතුව ඇති.

    ඔබතුමිය කියනවා වගේම ඊනියා මහා සම්ප්‍රදායට බැහැර කල භික්ෂූන් කොට්ඨාශයක් මේවායේ වැඩ වාසය කළා කියන මතය අපට පිලි ගන්න පුළුවන්.

    ඒ වගේම අනිත් කාරණේ, ජාතියක් හැටියටත් තනි තනි පුද්ගලයින් හැටියටත් අපිට උරුම දුර්ගුණ එදත් තිබුනා.අදත් තියෙනවා.

    වැසිකිලි ගල නම් නියම උපහාසයක්‌.

    ReplyDelete
  7. මම වන්දනාවටත් , විනෝදෙටත් , කරන්න දෙයක් නැතුවටත් තුනටම අනුරාධපුරේ ගිහින් තියෙනව ඒත් ඔහොම තැනක් දැකලවත් අහලවත් නෑ නොවැ..

    හත්තිලව්වේ තව කොච්චර ඔහොම තැන් ඇත්ද..?

    දොස්තර නෝනට බොහොම පින් මේ කරපු බෙදාහදාගැනීමට... ඔය ගැන ලියවිච්ච මොකුත් පොත පත හෙම ගැන ආරංචියක් දෙන්න බැරිද... ශාස්ත්‍රීය වුනත් කමක් නෑ

    ReplyDelete
  8. අනර්ඝයි.. කලින් නොඇසූ කතාවක් කියා මට කියවන්නට තවත් අලුත් මාතෘකාවක් හොයාදුන්නාට ගොඩක් ස්තූතියි.. :)

    ReplyDelete
  9. ගොඩක් වටින විස්තරයක් නංගියේ. කොහොමද ? මට මේ අඩවිය මිස් උනේ? මේක කොහොම හරි මගෙන් මග හැරිලා. මේ ටිකේ විවේකය අඩුයි. මාත් ඉන්න තැනින් වෙන තැනකට යන්න හදනවා. මේවා ගැන උනන්දුවෙන්න මේවායෙ වටිනාකම ලොවට කියන්න හිතුව එකම හරි වටිනවා. අපේ දේවල් වටින්නේ අපිටමයි. මේ ගැන පහළ පංති වල ඉදලාම දරුවන් දැනුවත් කරන එක වැදගත්. අපිට සමාජ අධ‍ය‍යනය කලේ අබේසිංහ මිස්. ඒ කාලේ අපිට මේ දේවල් ගැන වටිනාකම කියා දුන්න නිසා අපි අදත් ඒවා ගැන උනන්දුයි. ස්තූතියි මේ වටිනා විස්තරයට. පසුව අනෙක් පෝස්ට් වලට ලියන්නම්.

    ReplyDelete
  10. මේ නටබුන් අතරෙ මෙහෙම දේවලුත් තිබුණයි කියල දැන ගත්තෙ අද. බොහොම ස්තූතියි නලිනිට,,

    ReplyDelete
  11. කොයි තැනක වුණත් මහ සම්ප්‍රදායන් අනුගමනය කරන්නෙ ජනප්‍රිය මාදිලියේ දේවල් තමයි. සාමාන්‍ය සමාජ ජීවිතයේ වුණත් එහෙමයි. බහුතරය වැළඳ ගන්නා දේ බොහෝ විට ජනප්‍රිය දේ වනු මිස යහපත්ම දේ නෙවෙයි. ඉතින් මහ විහාරික සම්ප්‍රදාය වුණත් රජුන් ඇසුරේ වැඩුනු දේශපාලනික ස්වභාවයක් තියෙනව. දේශපාලනික ස්වභාවය කොතැනද එතන බොරුව, ව්‍යාජය ඉස්මතු වෙනව. අද වුණත් ජනප්‍රිය ආගමික පූජ්‍යවරයින් සියල්ලන්ම වාගේ දේශපාලන අතකොඵ ලෙස තමන්ගෙ භූමිකාව හරියටම සිදු කරමින් ඉන්නේ එලෙසයි.
    එහෙත් බුදුන්ගේ මාර්ගය ඊට හාත්පසින්ම වෙනස් වූවක්. තමන්ගේ ස්වභාවය දැකීම එහි අරමුණයි. ඒ නිසා ඒ මාර්ගයේ යන්නන්ට ප්‍රත්‍යන්ත සහ සමාජ දෘෂ්ඨියෙන් ඈත්වුණු ප්‍රදේශ කරා ගමන් කරන්න සිද්ධ වෙනව අල්පේච්ඡ සහ නිදහස් දිවි පැවැත්මකට.
    මේ කරුණු කළින් දැන සිටියෙ නෑ. දැනුවත් කළාට ස්තූතියි.

    ReplyDelete
  12. ඊළඟ වතාවෙ අනුරාධපුරේ ගියාම බලන්න යන්න කරුණාකරල පොඩි මාර්ග විස්තරයක් දෙනවද?

    ReplyDelete
  13. මියුසියම් එකට ගියාද මාර ගොඩක් කක්කුස්සි කටවල් තිබුණා මං ගිය කාලේ දැන් දශක දෙකකට කලින්.

    ReplyDelete
  14. අද ඔබ තුමිය කාගෙත් වැඩිය සිත යොමු නොවන ඉසව්වක් ගැන
    ලියලා. ස්තූති දැනුවත් කලාට. සීගිරියෙත් අප හැමදාම යන්නේ සීගිරි ගලට විතරයි . ඒත් එහි තියනවනේ අපි නොගිය කොටසක්.කවදා හෝ ඒවත් දැක බලාගන්න යන්න ඕන අවසර අරගෙන..

    ReplyDelete
  15. ඇත්තෙන්ම මාත් මෙහෙම කොටසකුත් ඉඳල තියෙනවා කියල දැනගත්තෙ මේ post එකෙන්... වැසිකිළි ක්‍රමය තුලින් ඔවුන් බාහිර සමාජයට දක්වපු විරුද්ධත්වය ප්‍රකාශ වෙන්න ඇති...ඒ වගේම දිනපතා ඒවා දකින කොට අපි අලංකාරයට දෙන්නෙ මේ තැන කියල හිතෙන කොට එයාලගෙ ආත්ම අභිමානය වැඩි වෙන්නත් වක්‍රව බලපාන්න ඇති නේද...???

    ReplyDelete
  16. රචනය පුරාම පළපුරුදු හා දැණුමැති ටුවර් ගයිඩ් කෙනෙක් එක්ක ගියා වගේ දැනුනා. පූජා නගර දිහා යන්න ඇති උවමනාව මේ පොස්ට එකෙන් වැඩි වුනා.

    බොහෝම ස්තුතියි නොදන්නා බොහෝ දේ විස්තර සහිතව ගෙනහැර දැක්වූවාට.

    ReplyDelete
  17. @ Bindi: මමත් ඊයෙ ටිකක් හදිසියෙන් නිසා සුභ පතන්නට බැරි වුණා යන ගමනට. පරිස්සමෙන් ගිහින් එන්න.

    @ Il mondo di una povera pazza: පැරණි ශිෂ්ඨාචාරවල වැසිකිළි ගැන මටත් හෙණ උනන්දුවක් තිබේ. :D මේ ආකාරයේ වැසිකිළි ගල් අනුරාධපුර කෞතුකාගාරවල තබා තිබෙනවා. ඒ වගේම වෙනත් ආරාමවලින් ගත් කැටයමින් තොර වැසිකිළි ගලුත් තබා තිබෙනවා. මේ විස්තරේනම් එතන දාලා නැහැ.
    ඇත්ත, මේ වගේ පැරණි නගරයකට ගියත්, වනයකට ගියත්, වෙරළකට ගියත්, තැන ගැන අපට සරිලන ආකාරයේ විස්තර දන්නා කෙනෙක් එක්ක යාම ලොකු වෙනසක් එක් කරනවා ගමනට.
    කොයි හරියද නංගිට තේරෙන්නෙ නැත්තෙ? මම හිතන්නෙ, මගේ වාක්‍ය හුඟක් දිගයි මේ පෝස්ට් එක පුරාම.

    @ මාතලන්: යේෂ්. ඒවා හැංගිලා තියෙන්නෙ අපෙන්. පොළොන්නරුවෙත් වනයෙන් සැඟවුණු මහා පොකුණක් බලන්නට ලැබුණා අපට අහම්බෙන්. පණ ගැහි ගැහී ඒ ගමන ගියෙ. හැන්දෑ වරුවක, හයට පමණ පුරා විද්‍යා භූමියෙන් පිටව යන්නට හදද්දි, අර රෝහල අසලදී හමුවුණු නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් කිව්වා එහෙම පොකුණක් තියෙනවය මේ ළඟ කියලා. ඔවුන් පුරාවිද්‍යාවෙ වැඩ කරන අය කියලා කිව් නමුත්, හිටියෙ සිවිල් ඇඳුමෙන්. අපිත් ඉතින් තණ්හාවට ඔවුන් පසුපස ගියා.
    දෙය්යෝ සාක්කි! යනවා, යනවා, යනවා. කැලේ මැද්දෙන්. මම කෝකටත් කියලා පැරණි වාරිමාර්ගයකින් බිඳුණු ගඩොලක් අතට ගත්තා; මගේ යාළුවා කොළඹ ඉන්න එයාගෙ අය්යට කෝල් එකක් අරන් කිව්වා අපේ ගමන ගැන- වෙන මුකුත් හින්දා නෙවෙයි, අපේ මිණී හොයන්ඩ ඕනෙ තැන දැණුම් දෙන්ඩ.
    එක පාරටම කැලේ මැද්දෙන් මහා විශාල පොකුණක් මතු වුණා. දැනට සංරක්ෂණය කර ඇති පොකුණු තරම්ම නොවුණත් සෑහෙන පමණ හොඳින් රැකී ඇති පොකුණක්.
    අපිව මැරුවෙ නෑ.

    ReplyDelete
  18. @ අභීත: ඔයා තාම හික්කඩුවට විතරනෙ ගියෙ. මම ඒ ගැන හිතලා ගාලු කොටුවෙ කතාව නොදා ඉන්නම්. ;-)

    @ මාරයා: ඒ තැන් බලන්නට ඕනෙ ඒ විදිහට තමයි- නිවීහැනේ, වෙලාව අරගෙන, අතීතයට හිතින් ගිහින්, ආගම අමතක කරලා.
    නින්ද ගියා?? ඔයාට නින්ද යන්නෙ නෑ කියලනෙ කියන්නෙ.
    රිටිගල කියන්නෙත් අර තපෝවන සම්ප්‍රදායයෙ ආරාම තිබුණු තැනක්. මම ගිහින් නෑ. යන්න ඕනෙ.

    @ Indunil: ඔව්, එදත් අදත් කියලා ලොකු වෙනසක් වෙලා නැහැ ඔය දේනම්. සමහර චූල සම්ප්‍රදායනුත් අර මහා සම්ප්‍රදායටත් හපන් විදිහට බුදු දහමට පටහැණි වෙලයි කෙළවර වෙන්නෙ.

    ReplyDelete
  19. ස්තුතියි! නොසෑහෙන්නම.....හරියටම තියෙන ඉසව්ව දාන්නකෝ තරහ අවසර ගෙන...

    ReplyDelete
  20. @ සපතේරු උන්නැහේ: බටහිර ආරාම තියෙන්නෙ අනුරාධපුරයෙ පූජා භූමියෙන් සෑහෙන පමණ ඈත්ව. මග හැරෙන්නට ඇත්තෙ ඒ නිසා.
    දැනට මට ඇති එකම මූලාශ්‍රය Handbook for the Ceylon Traveller කියන පොත පමණයි. එය Studio Times හි ප්‍රකාශනයක්. අට වන ශත වර්ෂයෙදි මේ ආරාම බිහි වූ බව මිස, අදාල රජතුමාගෙ නමවත් එහි සඳහන් වෙන්නෙ නැහැ. නමුත් ඊට අදාලව මහා වංශයෙ ඇති ඔය විස්තරය- සමහරවිට.

    @ බුරතීනො: ආව වෙලාවක බලන්නත් යන්න. :)

    @ චාන්දි අක්කා: හැමෝම යන්නෙ පූජා භූමිය තුළ ඇති ස්ථානවලටනෙ. ඉන් කිලෝමීටර කිහිපයක් ඈතින් පිහිටා ඇති බටහිර ආරාම මග හැරීම පුදුමයක් නොවෙයි.

    @ හරී- පිණිපළස: ඉඩ ලද වෙලාවක බලන්න යන්න.

    @ ```Outsider```: ඔව්, රාජ්‍ය අනුග්‍රහය ලැබුණා සේම, රාජ්‍ය බලපෑමත් ඇති වෙන්නට ලැබී තියෙනවා. ධර්ම පුස්තක රැකෙන්නට එය ඉවහල් වෙන්නට ඇති. නමුත් ධර්මය කොතෙක් දුරට රැකුණද කියන එක ගැටලුවක්.

    මග කිව්වොත් මෙහෙමයි: යා යුත්තෙ වට වන්දනා පාරෙ. (නමින්ම හැඟෙන පරිදි, අතීතයේනම් මිනිස්සු මේ තැන් බලන්නට යන්නට ඇති.)
    වට වන්දනා පාර යනු දකුණු දෙසින් තිසා වැවබඩ පුත්තලම් පාරෙන් ඇරඹී, බුලන්කුළම හරහා, උතුරින් පිහිටි රත්න ප්‍රාසාදය/ අභයගිරිය සීමාව තෙක් දිවෙන පාර. අනතුරුව කුට්ටම් පොකුණ හරියෙන් දකුණට හැරී වටය සම්පූර්ණ කිරීමට යනවා.

    අපි ගියෙනම් කුට්ටම් පොකුණෙන් පටන්ගෙන, අභය ගිරිය දෙසට වැටී ඇති මග ඔස්සේ ඉදිරියටම යාමෙන්. (මගදි හම්බෙනවා ලංකාරාමයට යන පාර, පාරෙ වම්පසින්) එතනින් නොහැරී, කෙළින්ම ගොස් බුලන්කුළම වැව දෙසට යන්න. බුලන්කුළම වැව හමු වුණාම, එහි දකුණු අත පැත්තට වැටෙන පාර දිගේ යන්න. ඒක වට වන්දනා පාර. ඒක ගිහින් වැටෙනවා අරිප්පු පාරට. (අරිප්පු පාර කියන්නෙ වට වන්දනා පාර ක්‍රොස් කරලා යන එකක්.) අරිප්පු පාරෙ වමට හැරිලා ටික දුරක් යන්න ඕන. මග දෙපසම බටහිර ආරාමවල නටබුන් තියෙනවා. හෙළි පෙහෙළි කළ ආරාමය තියෙන්නෙ පාරෙ වම් අත පැත්තෙ.

    (පාර වැරදුණොත් මං නෑ.)ආ, ඒ පැත්තෙ ගමේ මිනිස්සු ඔය නටබුන්වලට "මාළිගා" කියලත් කියනවා. බටහිර ආරාම කියන නම සමහරවිට ඔවුන්ට නුහුරු ඇති.

    ReplyDelete
  21. @ කතන්දර: ඔව්, තවමත් තියෙනවා පෙළට තියලා. :D කොතනින් හමුවුණු ඒවාද ආදී විස්තරනම් නැහැ.

    @ Gimhani: ඔව්, ඔව්. සීගිරියෙත් අපි නුදුටු තැන් හුඟක් ඇති. ඔය හැම තැනකටම යන පිපාසාව මටත් තියෙනවා. හැබැයි වැඩේට හොයා ගන්න ඕනෙ, ඒ පිපාසයම තියෙන තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරක්. නැත්නම් රස විඳින්න අමාරුයි.

    @ ප්‍රසංග: ඔව්, තමන්ගෙ ප්‍රතිපත්ති තව තවත් හොඳින් රකින්න ඒ ඉවහල් වෙන්න ඇති.

    @ ඩීන් අය්යා: මටත් ආසයි ආයෙම යන්න. ඉඩක් ලැබෙනතුරු ඉන්නෙ

    ReplyDelete
  22. @ Heeniyata: විස්තරයක් මම දැම්මා. බලන්න තේරෙනවද කියලා. සිතියමක් දාන්න මට තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
  23. ලෝකයේ සුන්දරතම සහ සුවදායකම නගරය අනුරාධපුරය...... ශ්‍රී ලාංකේය මහා ඉතිහාසයේ හෙළි නොවුන බොහෝ දේ තවමත් අනාගත පරපුර වෙනුවෙන් රැකගෙන තිබෙන මහා නගරය... අනුරාධපුරය ගැන හොයන්න උනන්දු වෙන කෙනෙකුට තවමත් හෙළි නොවුන ඒ වගේම අතහැර දමන ලද බොහෝ දේ එමටය.... බොහෝවිට අපි අනුරාධපුරේ ගියාම කරන්නේ වම වන්දනාවේ යන එක... මේ වගේ දේවල් ගැන උනන්දුව හරිම අඩුයි.... විස්තර බෙදාගත්තට ස්තුතියි දොස්තර නෝනේ....
    මේ වගේම අනුරාධපුර ඉතිහාසය ගැන ඉගෙන ගන්න හොඳ තැනක් තමයි... ජේතවන කෞතුකාගාරය... සම්පුර්ණයෙන්ම අවබෝධයක් ලබන්න නම් දවස් කීපයක් වැය කරන්න වෙයි....
    කවදා හරි මැරෙන්නේ අනුරාධපුරේ... ඒක මගේ එකම පැතුම...

    ඔබට ජය !!!

    ReplyDelete
  24. අනුරාධපුරය මගේ සදාකාලික අගනගරයයි. අපිත් නිවාඩු වෙලාවක් ලැබුනු ගමන් නතර වෙන්නේ අභය වැවෙන් නාලා රුවන්මාලි මහ සෑය අභියසයි. පුදුම සහනයක් දැනෙන්නේ.අර සමාන හිතක් තිබිය යුතු කතාවනම් සහතික ඇත්ත. නැත්නම් කොහොමටත්ම ඇවිදින්න , විඳින්න අමාරුයි. මට තවම මේ පඨානගර ගැන පුරාවීද්‍යාත්මකව දෙන විස්තරය පිළිගන්න අමාරුයි. නමුත් ඒ ගැන ඇසූ පුරා විද්‍යා ගවේශකයින් දෙදෙනෙක් දෙ ආකාරයක උත්තර ලබා දුන්නේ. ඔබේ ලිපියට ස්තූතියි :)

    ReplyDelete
  25. හැමදාමත්ම වගේ අනර්ඝ ලිපියක්.අක්කා මේ ගැන ලියපු එක හොඳයි.ඊළඟ පාර ගියාම බලන්න යන්න පුලුවන්.මම මෙච්චර කාලෙකට මේ ගැන දැනගෙන හිටියේ නැහැනේ..
    ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  26. අපි ඉතින් අනුරපුරේ යන්නේ වඳින්න නේ. ඔබේ කතාව හරියටම හරි,. නියම විදිහට හිතේ හැටියට තමුන් කැමති දේ දකින්න අද්‍යනය කරන්න අර මාරය වගේ එවුව ළඟ වැටිලා නිදා ගන්න නම් එක්කෝ තනියෙන් යන්න ඕන නැත්නම් තමුන් වගේම පිස්සෙක් එක්ක යන්න ඕන. ඒ කාලෙත් දැන් වගේ අතලොස්සක් බවුද්ද දර්ශනය අනුව යන පිට ඔපය පිටු දැකපු හිමිවරු හිටි බව ඇත්ත,. දන එවැනි හිමි වරුන් වැඩි වැඩියෙන් අවැසි කාලයක් කියලයි මට හිතෙන්නේ. ඔබ සඳහන් කරනතන් මම දැක නැති බව නම් සහතියකයි. ලජ්ජා සහගතයි පිළිගැනීමට සිදුවීම. ඔබට බොහොම පින් මේ ගැන දැනුවත් කලාට .. අනුරපුරේ හරි පොළොන්නරුවේ හරි ගියාම ඔය කැලයක් අස්සට රිංගනකොට අපේ කෂ්ටිය අදින වළි නිසා දකින්නේ බොහොම ස්වල්පයයි. අය්යෝ තාත්තී කකුල් රිදෙනවනේ.. අය්යෝ බඩගිනියි දැන් ඇති නේද ? යමුද අනිත් එකට.. අය්යෝ තත්තීට පිස්සුද මන්දා අර කැලේ අස්සේ රිංගන්නේ.. මේ කියවන තනිකඩ අයටයි කියන්නේ. පුළු පුළුවන් වෙලාවට ඔවුව බලාගෙන අර මාරයා වගේ ඔවුව වල නිදාගෙන එහෙම ඉවර කරන එක හොඳයි.. මේ දවස්වල ඉන්නේ රජ රටේ වගෙයි..

    ReplyDelete
  27. @ බස්සා: ඔව්, මේ පුරාවිද්‍යා භූමිවල වැටීගෙන, ඒ යුගයන් පිළිබඳ කතා කියමින්, පොත්වල දැක්වෙන විස්තරයන් නටබුන් හා සසඳා බලමින් නිවීහැනහිල්ලෙ කාලය ගෙවන්නට ලැබෙන්නෙ නිතරම නොවෙයි. කෞතුකාගාරයක් නිසි ලෙස නැරඹීමට ඔබ කියන්නා වගේ දිගු කාලයක් වැය කරන්නට ඕන.

    මෙවර අනුරාධපුර ගමනෙදි අහම්බෙන් දැන ගත් අනෙක් කරුණ තමා මහැදුරු පරණවිතානයන් විසින් ලංකාවෙ විශිෂ්ඨතම සඳකඩ පහණයැයි හඳුන්වනු ලැබූ නියම සඳකඩ පහණ දැකීම. බොහෝවිට එහෙම සඳහන් වෙන්නෙ බිසෝ මාළිගය ඉදිරිපිට ඇති සඳකඩපහණ. එය යකඩ කූරුවලින් ආවරණය කොට රස වින්දනයට බාධා කර ඇති මුත්, වඩාත් සුන්දර වූ සදකඩ පහණක් ඊට තරමක් ඈතින් ඒ බිමෙහිම තියෙනවා. ඒ හරිය හෙළිපෙහෙළි කොට නැහැ. අපිත් කූඹි කව්වගෙන, කකුල් හූරගෙන කටු ගාල් අස්සෙන් රිංගලා ගියා. කිසිම ආවරණයක් හෝ අගය කිරීමක් නැතුව ඒ සොඳුරු සඳකඩ පහණ යන්තමින් පසෙන් ගොඩට වෙලා තිබුණා.

    ReplyDelete
  28. @ අනිත්කොණ: ඔව්, අධ්‍යයනයන් අනුව, අලුතින් ලැබෙන සාධක අනුව කතා වෙනස් වෙනවා ඇති. කතා කොහොම වුණත් පුදුම මානසික සුවයක් ගෙන එන්නට සමත් අනුරාධපුරයත් පොළොන්නරුවත්.

    @ තීර්ථ යාත්‍රිකයා: මමත් මේ ගමන වෙනකම්ම දැනන් හිටියෙ නැහැ.

    @ සරත් ලංකාප්‍රිය: කියලා වැඩක් නැහැ. නොබලන අයගෙ තියෙන නරකම පුරුද්ද තමයි බලන එකෙකුටවත් බලන්නට විඳින්නට ඉඩ නොදීම. පුළුපුළුවන් හැටියට තනියෙන් හෝ සමාන පිස්සෙක් එක්කම යන්නට ඕන.
    අපිත් එදා උදේ තේ විතරක් බීලා මේ ආරාම බලන්නට ගියෙ. ඒ ගිය පාරෙ කෑම ගන්නට තැනක් තිබුණෙ නෑ. එන ගමන් කඩේකින් බනිස් ගත්තා උදේ/ දවල් දෙවේලටම හරි යන්න. අපි ඇහුවා තේ බොන්න තැනක් තියේද කියලා. අනේ ඒ හොඳ මිනිස්සු එයාලගෙ ගෙදරට ආරාධනා කරලා, තේ හදලා දුන්නා. බනිස්වලට සල්ලි දුන්නෙත් පෙරැත්ත කරලා.

    මේ දවස්වල අනුරාධපුරේ නෙවෙයි අප්පා. මේ හූල්ලන්නෙ ගිය නොවැම්බරේ ගිය ගමනක් සිහි කරමින්. :(

    ReplyDelete
  29. අහ් අක්ක මේ පැත්තෙ ඇවිත් වගේ.ඔව්ව ඔක්කොම බලන්ඩ නම් නිවී සැනසිල්ලෙ ටික දවසක් ගතකරන්න වෙනව.සැහෙන නටඹුන් ගොඩක් තියනවනේ බලන්න.

    ReplyDelete
  30. ස්තුතියි. මං අනුරාධපුරේ ගිහින් නැහැනේ :) ඇත්තටම මං ටිකක් ඇවිදලා තියෙනවා. හැබැයි අනුරාධපුරේ මිස් වුනේ, මං ලංකාවේ නොහිටි තරුණ කාලේ මුල් හරියේදී මං දන්නා ඔක්කොම එහෙ ගිය නිසා. නැවත යන සෙට් එකක් අහු වුනේ නැහැ. බැන්දට පස්සේ යන්න උනෙත් නැහැ. දැන්නම් රස්නේ පැතිවල යැවෙනවා අඩුයි පොඩිත්තිය ටිකක් ලොකු වෙනකම්.

    අටවැනි සියවස කියන්නේ මා සිතන විදිහට අනුරපුර රාජධානියේ උපරිමය. මට මතක හැටියට පස්වන සියවසේ ධාතුසේනට පෙර ආ ආක්‍රමණ වලින් පස්සේ රජය ස්ථාවරයි. කුමන්ත්‍රණ [මුගලන් සිද්ධිය හැර] හා රෝහණ දේශයේ කැරලි එහෙමත් අඩු කාලයක්. අග්බෝ දෙදෙනා උපතිස්ස වගේ රජවරුන් හිටි මේ කාලවල සෞභාග්‍යයත් උපරිම බවයි මගේ මතය. ගිරිතලේ වැවෙන් පේනවා මොන තරම් ප්‍රබල තත්වෙක අපි උන්නද කියලා ඔය කාලේ.

    මුල් ම පරපුරේ සීගිරි කුරුටු ගී වලින් මේ කාලේ එදිනෙදා ජිවිත ගැන තේරුම් ගන්න පුළුවන්. මට දැන් උදාහරණ නම දෙන්න බැහැ අමතකයි.

    මේ භික්ෂුන් ගැන ඔබ මතු කරන කල්පිත ගැන 100% විශ්වාස කරන්න අමාරුයි. බෞද්ධ පද්ධතිය තුල ඔය තරම් දැඩි විරෝධාකල්ප ඇතිවෙන්න බැහැ කියල හිතෙනවා. ඔය ටොයිලට් ගල සමහර විට වෙන තැනකින් ගෙන්න ඇති. එතන මෙතනට වඩා රිච් විදිහට ෆිනිෂ් කරනවා ඇති.

    දෑහින් දැක ගන්නම ඕනේ මෙව්වා ගැන කතා කරන්න.

    ReplyDelete
  31. @ ගලායන ජීවිතය: දැන් මාස හයහතකට උඩදි ආවෙ. ඔයා අනුරාධපුරේද? ඔව්, හෙමි හෙමින් ඇවිදිමින් බලන්නනම් සෑහෙන දවසක් නිවාඩු ඕන.

    @ සුජීව: මම මේ දැක්කමයි අනුරාධපුරේ ගිහින් නැති කෙනෙක්. ලංකාවට ආවෙ ළඟදි වෙන්න ඕනෙ. (ඇවිල්ලනම් ඉන්නෙ.)
    ස්තුතියි ඉතිහාස තොරතුරුවලට. ඔය ගැන මගෙ මතකයනම් දැන් බොඳ වී ගිහින්. අලුත් කරගන්නට නිස්කලංක වෙලාවක් ආවෙත් නැහැ.

    අර විදිහෙ රැඩිකල් පරපුරක් ඉන්නට හොඳටම ඉඩ තියෙනවා කියලයි මට හිතෙන්නෙ. හේතු කීපයක් නිසා. එකක්, ඒ වනවිට අනෙක් බෞද්ධ රටවලින් හාමුදුරුවරුන්, උගතුන් මෙහි ආවා. තායිලන්තය, බුරුමය ආදී භාවනාවට, අල්පේච්ඡ ජීවිතයට මුල් තැන දෙන බෞද්ධ සංස්කෘතියකින් යුත් රටවලිනුත් එහෙම පිරිස් එන්නට ඇති.
    තවද, මෙවන් ආරාම තිබූ එකම තැන අනුරාධපුර බටහිර ආරාම නොවෙයි. රිටිගල ආදී තැන්වලත් එහෙම ආරාම තිබී ඇත.
    ඉහත දක්වා ඇති වැසිකිළි ගල පිහිටි ගලෙහි නෙළන ලද්දක්. ආරාමයේ කැටයමින් තොර කුළුණු ආදිය මැද, මේ වැසිකිළි ගලෙහි වෙනස හොඳින්ම කැපී පෙනෙනවා.
    අනෙක, විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් ලංකාව තුළ, අනුරාධපුරය තුළමත් පැවතුණානෙ- මහා විහාරය, අභයගිරිය, ජේතවනය එහෙම එකිනෙකට වෙනස්ව විහිදුණු සම්ප්‍රදායයන්. ඉතින්, ඊට බෙහෙවින්ම වෙනස් මගක් ගත් සම්ප්‍රදායයක්, විශේෂයෙන්ම බුදුන් වදාළ මගට වඩාත් සමීප සම්ප්‍රදායයක් පවතින්නට හොඳටම ඉඩකඩ තියෙනවා නේද? මොකද, ධර්මය හොඳින් ඉගෙනගන්නටත් අවස්ථාව තිබුණු නිසා එය හරියට පිළිපදින්නට කැමති භික්ෂු පරපුරකුත් අනිවාර්යයෙන් ඉන්නට ඇති.

    ReplyDelete
  32. හී හී.. මාත් මේ දැක්කමයි අනුරාධපුරේ නොගිය පොරක්.. මොකෝ කියන්නෙ සුජීව මහත්තයො, අපි සෙට් වෙලා යමුද වෙලාවක.. :)

    නලිනි කියන දේට එකග වෙන්න පුළුවන්.. රාජ්‍යය ස්ථාවර වෙලා සෞභාග්‍යමත්ව තියෙනකොට විවේචනයට හා චින්තනයට තියෙන ඉඩප්‍රස්ථා වැඩියි නෙ.. මේ කමෙන්ට්ස් අතරින් මේ වගේ සුන්දර කතිකාවතක් ඇදිලා යනවා දකින්න ආසයි, විශේෂයෙන්ම අප නොදුටු අපේම ඉතිහාසය ගැන..

    ReplyDelete
  33. නලිනි, අනුරාධපුරේ වන්දනා නඩයක් ගිහින් වඳින තැන්වලට වඩා හුදකලා ස්ථාන වඩාත් සුන්දරයි, නිස්කලංකයි, මට අනුරාධපුරේ යන්න ලැබිල තියෙන්නෙ එකම වතාවයි, ඒත් ඒ වතාවෙ බොහොම නිදහස්ව අනුරාධපුරේ පූජා නගරයෙ ඇවිදින්න ලැබුණා, මහා සම්ප්‍රදායෙ ආරාමවලත් නිතර මිනිස්සු ගැවසෙන කොටස ඇරෙන්න අනිත් ප්‍රදේශ වන වැදිලා...

    ReplyDelete
  34. දොස්තර නෝනගෙන් ගොඩක් වටින ලිපියක්. මම මේ සමහර ස්ථාන දැකලවත් තිබ්බේ නෑ. අර කැසිකිලි ගල නම් දැකලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අපි අච්චර ආසා කරන ලෞකික සම්පත් පිලිකුල් කිරීම වගේ දෙයක්. වෙලාවකට හිතෙනවා පිලිකුල් භාවනාවකටම මේ විදිහට හදලදත් කියලා.

    ReplyDelete
  35. ඇවිල්ල ගොඩක් කල්. අනේ මාව කවුරුත් එක්ක ගියේ නැතෝ. ඉහි ඉහි.

    ඇත්තටම උනේ, අනුරාධපුරේ යමුද කියලා ඇහුවොත් දන්නා ඕනෑම සෙට් එකකින් මෙන්න මුන් ගිහිල්ලා. අපි ඇවිදින්න තෝර ගත්තේ ඔය ගල් පර්වත දිය ඇලි වගේ තැන් නේ.

    [ලෝකාන්තෙටත් මේකමයි වෙලා තිබ්බේ. හැම අවුරුද්දෙම එහෙ යන සෙට් එකක් එක්ක සෙට් නොවෙන්න.]

    ඒ මදිවට පහුගිය වසර හතරක් විතර කොහෙවත් ගියේ නැහැ මුල කාලේ පොඩිත්තිට අමාරු නිසාත්, පස්සේ උසස් අධ්‍යාපන ලොරියකට කර ගහපු නිසාත්. දැනුත් රස්නේ පැතිවල යන එක අඩු කරලා තියෙන්නේ එයා නිසා. හැබැයි පොඩිත්ති එවිඩ් ට්‍රැවලර්. සත්තු බලන්නයි කැලෑවල යන්නයි හරි ආසයි.

    ඇත්තටම වෙලාවක අනුරාධපුරේ යන්න ඕනේ. බුරා සිරාවටම යමුද?

    -----------

    නලිනි දැකපු දේවල් එක්ක මට තර්ක කරන්න බැහැ. ඒත් රැඩිකල් නැහැ කිව්වේ බුදු දහම බොහොම ශාන්ත දර්ශනයක් නිසා. මං දන්නා තරමින් වෙනත් අයගේ අඩු පාඩුකම් හොයා එයට විරෝධය දක්වන එක එහි දර්ශනයේ කොටසක් නොවන නිසා. හැබැයි ඉතින් අද කාලේ ආපු පොප් බුදු දහමේත් වෙන්නේ මේ වගේ වැඩ තමා.

    අනික ලංකාවේ බුදු දහම රාජ්‍ය පාලනය හා මිශ්‍ර වීමත් කලින් කල මිසදිටුවන් කියා ඇතැම් නිකායන් පිටු දැකීමත් නිසා මෙවැනි දෙයක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  36. @සුජීව,

    ලබන මාර්තු-අප්‍රේල් දිහාවට තමා ඉතිං ලංකාව පැත්තෙ එන්ට හිතාගෙන ඉන්නෙ, ඊට කලින් නං එන එක ෂුවර් නෑ.. :)

    // ඒත් රැඩිකල් නැහැ කිව්වේ බුදු දහම බොහොම ශාන්ත දර්ශනයක් නිසා. මං දන්නා තරමින් වෙනත් අයගේ අඩු පාඩුකම් හොයා එයට විරෝධය දක්වන එක එහි දර්ශනයේ කොටසක් නොවන නිසා //

    මේක විරෝධය දැක්වීමක් විදියටම දකින්න එපා.. සමහරවිට කලකිරීම වෙන්නත් පුළුවන් නේ.. බුදුහාමුදුරුවොත් පාරිල්‍යෙය වනයට වැඩම කරලා හිටියෙ කාලයක්, සංඝ සමාජෙ වලි නිසා කලකිරිලා..

    ReplyDelete
  37. @ චේජනා: නිදහස්ව ඇවිදින්න ලැබුණනම් ඔයා හරි වාසනාවන්තයි. ඔව්, ප්‍රධාන තැන් කිහිපය විතරයි හෙළි කර තියෙන්නෙ. වන වැදුණු සුන්දර ස්ථාන හුඟක් තියෙනවා.

    @ මධුරංග: පිළිකුල් භාවනාවක්ම වෙන්නැති ඒක.

    @ සුජීව: ගල් පර්වත, දිය ඇළි වගේ තැන්වල යන එකත් මම ආස දෙයක්. අනුරාධපුරේනම් එක වරකින් බලලා ඉවර කරන්නට බැරි තැනක්. බබා ටිකක් ලොකු වුණහම යන්නකො.

    ශාන්ත දර්ශනය ගැන: මෙහෙමනෙ. එකක්, ඔතනදි කතා කරන්නෙ බුදු හිමියන් වදාළ ධර්මය නෙවෙයි, මිනිස්සු අදහන ධර්මය ගැන. සිවුරක් හැඳි පමණින් අර්හත්භාවය නොලැබෙන නිසා විවිධ මත දරන අය සිටින්නට වගේම මත ගැටුම් ඇති වෙන්නටත් ඕනෑ තරම් ඉඩ ඇත.
    ඒ වගේම, බුරතීනොත් පෙන්වා දෙන පරිදි, බුද්ධ කාලයෙත් එහෙම වෙනස් ජීවන රටා අනුගමනය කළ හාමුදුරුවරු වැඩ හිටියා. කාශ්‍යප හිමියන්, එතකොට අර අන්ධ වනයේ මුළු ජීවිත කාලයම ගත කළ සැරියුත් හිමියන්ගෙ සහෝදර හාමුදුරුවො වගේ අය එක පැත්තකින්. අනික් පැත්තෙන්, විහාර වාසීව, රජවරුන්ට, බිසෝවරුන්ට, මෙහෙණිවරුන්ට ධර්මය කියා දෙමින්, ධර්මය ඉගෙන ගනිමින්, රිසි පරිදි ගම් දනව්වල සැරිසරමින් දිවි ගෙවූ ආනන්ද හිමියන් වැනි අය.
    බුදු දහමෙහි ඇති නිදහස නිසා විවිධත්වය ප්‍රශ්නයක් නෙවෙයි.

    අනෙක් කරුණ, පවතින ක්‍රමය බුදු දහමින් වඩ වඩාත් ඈත් වන බව දැක, එයින් මිදී වඩාත් දහමට සමීප දිවියක් ගෙවීමට කැපවීම 'වෙනත් අයගේ අඩුපාඩුකම්වලට විරෝධය දැක්වීමක්' විතරක්ම නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔවුන් ගත් මග නිවනට වඩා කිට්ටුයි කියලයි. අනික් අතින් ධර්මය හැදෑරීමට, පොතපත ලිවීමට මහා සම්ප්‍රදාය දැක්වූ උනන්දුව නිසා අදටත් ඉගෙන ගත හැකි පරිදි ධර්ම ග්‍රන්ථ සුරක්ෂිත වුණා.

    ReplyDelete
  38. ඇත්තටම අනුරාධපුරේ ගියා වගේ දැනුනා. ඉතාම හොඳ ලිපියක් බොහොම සිත්ගන්නාසුළු විදිහට විස්තර කරලා තියෙනවා. බොහොම ස්තූතියි දැනුම වර්ධනය කළාට.

    ReplyDelete
  39. අනුරාධපුරේ නටඹුන්වල ආගමික නොවන ගොඩනැගිල්ලක් නැති තරම්. අඩුම ගානේ රජමාලිගයක් වත් නැහැ ඒ කාලේ සල්ලිකාරයෝ හිටියේ නැද්ද මන්දා මට අනුරාධපුරේ යනකොට හැමදාම හිතෙන දෙයක් ඒක. මිනිස්සු පුද්ගලිකව සරල විදිහට ඉඳලා පොදු දේවල් හොඳට ගොඩ නගලා කියන එකද මන්දා

    ReplyDelete
  40. @ Jචමත්™: බොහොම ස්තුතියි.

    @ ම : ඇත්තටම මමත් ඔය ගැන හිතනවා. පොළොන්නරු යුගයෙනම් රජ මාළිගාත් බොහොමයක් ඉතුරුයි. අනුරාධපුරයෙ සුන්දර හා සුවිසල් හැම නිර්මාණයක්ම බෞද්ධ ගොඩනැගිලි. බිසෝ මාළිගය කියලා නමට කිව්වට, එය පවා ආගමික ගොඩනැගිල්ලක් වෙන්නට ඇතැයි සමහර විද්වතුන් කියන්නෙ සාධක ඇතුව.
    සාමාන්‍ය ජනයානම් හුඟක් සරලව සිටින්නට ඇති. නමුත් රජවරු? සමහරවිට ඔවුන්ගෙ මාළිග ආක්‍රමණිකයින් විනාශ කළාද දන්නෙ නැහැ. එහෙම වුණත් එයින් පෙනෙන්නෙ, රජ මැදුරුවත් අර ආගමික ගොඩනැගිලි තරම් සවිමත්ව සාදා නොතිබුණු බව.

    ReplyDelete
  41. ජල තලයක් මත ඉදි කරපු මේ වගේ ගොඩනැගිලි හැඳින්වුවේ පධානඝර කියලා. ඒවා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලාගේ භාවනා කටයුතුවලට භාවිතා වුණා කියලා තමයි කියන්නේ.

    "එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා."

    මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 3 වෙනි උදය රජතුමාගේ කාලේ.

    රාජ උදහසට ලක්වෙන ඇමතිවරු කීපදෙනෙක් බේරෙන්න ආරණ්‍යවාසී භික්ෂූන්ගේ තපෝවනයට ඇතුළු වුණාම රජතුමයි යුවර රජතුමයි තපෝවනයට කඩා වැදිලා ඇමතිවරුන්ගේ බෙලි කපලා මරලා දානවා. මේකට විරුද්ධව තමයි හාමුදුරුවරු රුහුණට වඩින්නේ.

    අන්තිමට නගරවාසීන්, හමුදාව රජුට විරුද්ධ කැරලි ගහලා ඇමතිවරු මරන්න උපදෙස් දීපු අයව මරලා දානවා.

    රජතුමා අභයගිරියේ රත්නප්‍රාසදයට රිංගලා තමා බේරෙන්නේ. අන්තිමට රජතුමා, යුව රජතුමා ඇතුළු පිරිස හාමුදුරුවරුන්ගෙන් සමාව ගත්තාම තමයි අරගල සංසිදෙන්නේ

    පුලුවන් නම් මම ලියන ඉතිහාස බ්ලොග් එක කියවන්න
    http://eatuwawa.blogspot.com/

    ReplyDelete
  42. @ Hasitha: බොහොම ස්තුතියි ඔබේ දැණුම බෙදාගත්තාට. ඔය සිද්ධියම තමයි- රජතුමාගෙ නම නැති වුණාට ඔය රත්න ප්‍රාසාදයේ කතාව මම කියවපු පොතෙත් සඳහන් කර තිබුණා.
    මේ තැන් දැක්කහම, ඊට අදාල ඉතිහාසය ගැන දැනගන්න කුහුල, ආසාව ඇති වෙනවා.

    ReplyDelete
  43. ගොඩක් වැදගත් ලිපියක් අක්කා

    ReplyDelete
  44. @ සන්සරසිදු: ස්තුතියි මල්ලි.

    ReplyDelete
  45. ඔන්න මේක නම් ඇඩ් එකක්

    සුනිල් අයිය... දන්නෙ නැද්ද?

    බලලා අදහසක් දෙන්නකෝ.

    ReplyDelete
  46. වැදගත් ලිපියක්... විස්තරේ දැක්කම යන්න හිතෙනවා..ඊළඟ සැරේ ගියාම කැරකිලා බලන්න ඕනේ.. ස්තූතියි...

    ReplyDelete
  47. ඒ.... මේ ගැන මම දන්නෙ මෙහෙමයි.

    පණ්ඩුකාභය රජතුමා අුනරාධ ගම, අනුරාධ පුරය බවට පත් කරලා නගරය සැළසුම් කරද්දි, මහා සුසානය දැම්මෙ නගරයෙන් බටහිර පැත්තට. ඒ ඒ කාලෙ තිබුණු විශ්වාස පදනම් කරගෙන. පාංශුකූලික හාමුදුරුවරු මළ සිරුරු දිහා බලාගෙන භාවනා කරන්න මේ ප්‍රදේශයෙ ගැවසුනා. පසුකාලයකදි මේ අය වෙනුවෙන් ඉදිකෙරුණු පධානඝර සංකීර්ණය තමයි බටහිරාරාම කියන්නෙ. මේ සමාන පධානඝර අභයගිරියෙ දීඝ පාෂාණයෙත්, අරන්කැළේත්, රිටිගලත් දකින්න පුළුවන්. පධානඝර ඉදිකිරීම බෞද්ධ වාස්තු විද්‍යාවෙ එක අංගයක්.
    හැම තැනකම කැටයම් රහිත ඉදිකිරීම් අතරෙ කැසිකිලි ගල් වල විතරක් විමාන, කුවේර රූප සහ කාන්තා රූප තියෙන්නෙ, භාවනා කරන හාමුදුරුවරුන්ට ඒ වගේ දේවල් වලට තියෙන ඇලීම තුනී කරගන්න උදව්වක් විදියට කියලයි විශ්වාස කෙරෙන්නෙ.

    පෝස්ටුවට ස්තූතියි. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විස්තරයට. මට රිටිගල යන්නට ලැබුණා මේ ගමනින් පසුව, 2011 අග භාගයෙදි. ඔබ කියන්නා වගේ, එකම ඉදිකිරීම් ක්‍රමය.

      Delete