Monday, April 2, 2012

මාෂ්මෙලෝස්

ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්.

අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ මධුරි. බාර ගැන මට කිසිම අදහසක් තිබුණෙ නැහැ.  කුමුදුනිත් ඒ ගැන විශ්වාස කළා. මමත් නිලුත් එකතු වුණේ, ඒගොල්ලන්ට එහෙම බාරයක් වෙන තැනට වැඩ සිද්ද කළේ අපි දෙන්නා හින්දා.
********************


කඳවුර සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තිබුණෙ මධුරිටත් කුමුදුනිටත්. ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, පත්‍රිකා ආදිය සඳහා චිත්‍ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා.
අපි සේරම දාහතර දෙනෙක්.

අපිට යම් මග පෙන්වීමක් අවශ්‍යයි කියලා අපේ බාලදක්ෂිකා ආචාර්යවරිය හිතුවා. එහෙම අනවශ්‍යයි කියලා අපි හිතුවා. ඒත් මේ ලෝකය හුඟක් කුරිරුයි. මග පෙන්වීම සඳහා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නෙක්ව ආචාර්යවරිය තෝරාගත්තා. එක් කෙල්ලෙක් ඒ වසරෙ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියෙ. අනෙක් කෙල්ල අපේ වයසෙම වුණත්, අපට වඩා බොහොම මෝරලා!

ඉතින් අපි කඳවුරු බැඳගත්තා. ඒ අපේ ආචාර්යවරියගෙම වත්තෙ.

එතන බොහොම ලස්සන තැනක්. ඇගේ නිවස පිහිටා තිබුණෙ කඳුකරයේ රක්ෂිත වනයකට මායිම්ව. භූමියේ බෑවුමට සරිලන පරිදි මට්ටම් කිහිපයකින් යුත් නිවසෙහි හැම මට්ටමකින්ම පිටතට දොරවල් තිබුණා. පහළම මට්ටමෙහි තිබුණේ කාමර දෙකකින් හා කුස්සියකින් සමන්විත කුඩා ඇනෙක්සියක්. එහි වාසය කළේ සුදු ජාතික කාන්තාවක්.

ඇනෙක්සියේ මිදුලේ ඉදිවුණු අපේ කඳවුරු භූමිය ප්‍රධාන නිවෙසට පහසුවෙන් පෙනෙන්නෙ නැහැ. අපව දැක ගැනීමටනම්, එක්කෝ නිවසේ ප්‍රධාන මිදුලෙහි කෙළවරට පැමිණ පහත බැලිය යුතුයි. එහෙමත් නැත්නම්, දෙවන මට්ටමෙහි ඇති කාමරවල කවුළුවෙන් බැලිය යුතුයි.
මේ කාමරවල සිටියේ අපේ ආචාර්යවරියගෙ පුත්‍රයා සහ ඔහුගේ මිතුරා. ඔවුන් වරින් වර කවුළුවෙන් පහළට එබුණා. සුදු ජාතික කාන්තාව සිය අත දරුවා රැගෙන දොරකඩට පැමිණියා; අපව පෙන්වා දරුවා නැළවූවා. අපිත්  වැඩ අතරතුරම දරුවා සුරතල් කළා: "කැරපොතු පැටියෝ...."

අපට මග පෙන්වීම සඳහා පැමිණි කෙල්ලන් දෙදෙනා කඳවුරට පැමිණියේ ආහාර සඳහා පමණයි. මග පෙන්වීමට ආවානම් පහසු නොවන බව උන් දෙන්නා කලින්ම තේරුම් ගන්නට ඇති.
ආහාර සඳහා පැමිණෙනවිට උන්ගේ පිඟන්වලට කැඩුණු බිත්තර, හොදි ගංගා ආදිය බෙදා තැබීමට අප උත්සුක වුණත්, අනුනට මග පෙන්වීමට තමන් හොඳටම දක්ෂ බව පෙන්වමින් මේ කෙල්ලන් හිඳ ගත්තේ, හොඳ බිත්තර සහ යහමින් මාළු පිණි බෙදා තිබූ අනුන්ගේ පිඟන් ඉදිරියෙනුයි!

ඒ පළමු දිනයේ දිවා ආහාරය.
මධුරි කිසියම් කරුණක් නිසා ප්‍රධාන නිවස තුළට කිහිප වරක්ම දිව්වා. ගෘහපාලිකාව හා කිහිපවරක් මුණු මුණු ගෑවා. ආහාර වෙලාවෙ එකට හිඳ ආහාර නොගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුවන මධුරි දිහා ආචාර්යවරිය බැලුවෙ නොසතුටින්.

මමත් හිටියෙ නොසතුටින්. මොකද, අර හතුරු කෙල්ලන් සඳහා බෙදුව කැඩුණු බිත්තරයක් මට හම්බෙලා තිබුණ හින්දා...

මධුරි මට ඇහෙන් කතා කළා. ආහාර සපයන කණ්ඩායමේ නිසා, නැගිට එහෙ මෙහෙ යාමට මට නිදහස තිබුණා.

"හරි වැඩේ තමයි. අද දවල් අතුරුපසට ගෙනත් තිබුණු මාෂ්මෙලෝස් ටික අර වල් කොල්ලො දෙන්නා කාලා!"

ඒක මට එතරම් නරක ආරංචියක් වුණේ නෑ; මොකද මම මාෂ්මෙලෝස් කන්නෙ නැති හින්දා.

"කොහොමද උන් අතට ඒ ටික ගියෙ?"
"මෙහෙ තිබිලා කූඹි වැහුවොත් කියලා, මම ඒක ගේ ඇතුළෙන් අරන් තිබ්බා. ප්‍රේමා තමයි කිව්වෙ, පුංචි මහත්තයා ඒ ටික සේරම කෑවා කියලා."

කොල්ලාට පාඩමක් ඉගැන්විය යුතුයි. ඒත් ඊට ඉස්සර අතුරුපසට යමක් දිය යුතුයි. අපි කඩිනමින් කතා බහ කරගෙන, රාත්‍රී ආහාරය සඳහා ගෙනත් තිබුණු කෙසෙල් ඒ සඳහා ගත්තා.

දිවා ආහාරයෙන් ඉක්බිති ආචාර්යවරියත්, මග පෙන්වන කෙල්ලන් දෙදෙනාත් ප්‍රධාන නිවසට ගියා.

ඒ දිනවල අප අතේ අමතර මුදල් ගැවසුණේ නැහැ. ඒ හින්දා රාත්‍රී ආහාරය සඳහා අතුරුපස සපයා ගැනීම අපට ගැටළුවක් වුණා. ආහාරය සඳහා ආචාර්යවරිය පැමිණෙන නිසාත්, පදක්කමක් ලබා ගැනීම පිණිස සංවිධානය කෙරුණක් නිසාත්, අඩුපාඩු තබා ගැනීමට මධුරි කැමති වුණේ නැහැ. ඉතින් අපි රාත්‍රී ආහාරය සඳහා භාවිතා කළ කිරි මිරිකන ලද පොල් වලින් පොල් ටොෆී හදන්නට තීරණය කළා. අමතර සීනි නොතිබුණෙන්, අපේ තේ සඳහා වූ සීනි ඒ සඳහා භාවිතා කරන්නට වුණා.

සිද්ධිය දැනගත් අපේ කෙල්ලන් දාහතරම සීනි පරිත්‍යාගයට එකඟ වුණත්, අපි කවුරුත් නොසන්සුන්. අර කොල්ලාට පාඩමක් උගන්වන්නේ කොහොමද?
අපට පෙනෙන්නට බැරි කෙල්ලන් දෙන්නාත් මීට හවුල්යැයි අපි සැක කළා. එහෙම සැක හිතෙන්නට හේතුව කඳවුරේ කිසිම ක්‍රියාවකට සහභාගි නොවුණු උන් දෙන්නා ගෙතුළට වී අර කොල්ලන් සමග පාඩම් කිරීමයි.

අපේ කෙල්ලන් එකිනෙකා නොයෙක් වැඩ කටයුතුවල මුවාවෙන් වරින් වර ගෙතුළට රිංගුවා; ඔත්තු බැලුවා:
"අර සුදු කොල්ලගෙ නම නලින්."
"අනිකා රජීව."
"ඌනම් එච්චරම නරක පාටක් නැහැ."
"මම ශීතකරණෙ අරිනකොට නලින් හැරිලා බැලුවා. ඌ මොනවද කකා හිටියෙ..."
"අපේ මාෂ්මෙලෝස්!"
"මම යනකොට නලින් මේසෙ අස්සෙන් අනුෂ්කගෙ කකුල පාගනවා."
"ඊඊඊඊඊඊඊයා!"
"අනුෂ්කත් අනික් පැත්තට පයින් ගැහුවා!!"
"ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආ!!"
"අර මිදුලෙ තියෙන චොපර් එක නලින්ගෙ. ඌ ඒකෙ නැගලා කොහෙද ගියා."

ඉතින් එදා හැන්දෑව වෙනවිට අපි බොහොම තොරතුරු එක්‍ රැස් කරගෙන හිටියා:
ඒ කොල්ලන් දෙන්නා ඉතා වල්ය;
උන් දෙන්නා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් සමග මොකක්දෝ මොකක්දෝ එකක් ඇත;
නිවසේ සුළු සුළු වුවමනාවන් සඳහා නලින් බයිසිකලෙන් නගරයට යන්නේය;
අපේ ආචාර්යවරිය නිදන්නේ ඉහළම මාලයේ වන අතර ඇය ළමයින් පාඩම් කරන කාමර පැත්තට නොඑන්නීය;
ගෘහ පාලිකාව වන ප්‍රේමා අපේ පැත්තේය....

ඔය වගෙ.

ඒ අතරට අපි තවත් දෙයක් සැලසුම් කළා. අපේ මාෂ්මෙලෝස් කෑව එකට ඒ කොල්ලන්ට ලැජ්ජා කරවීමට.

එදා රාත්‍රියේ ආහාරයෙන් පසු ආචාර්යවරිය යම්කිසි අවශ්‍යතාවයක් හින්දා ඉක්මණින් ගියා. ඈ ගිය පසු කඳවුරු ගිණි මැලය වටා හිඳගෙන අපි ගී කිව්වා. ඉන් එක් අංගයක් කෑම කෝච්චිය:

"කිරි-බත්, කිරි-බත්, කිරි-බත්" එක් කණ්ඩායමක් ගයනවා;
"කැවුම්- කොකිස්, කැවුම්-කොකිස්, කැවුම්-කොකිස්" ඊලඟ කණ්ඩායම ගයනවා; 

"උඳු-වැල්, උඳු-වැල්, උඳු-වැල්" අන්තිම කණ්ඩායම ගයනවා.
වෙලාව බලලා, අපි සේරම එක හඬින් කෝච්චියේ හූව නැගුවා:
 

"මාෂ් මෙලෝ.....ස්!"

ටිකක් සද්දෙ අඩුවෙන් දෙවන මාලයෙන් හඬක් නැගුණා: 


"අපි තමයි කෑවේඒඒඒ!!"

අපිට යක්ෂ කේන්තියි. කෑවා මදිවට තව ලැජ්ජාවක් නැතුව එකට එක කියන්නටත් ඉදිරිපත් වෙලා. මුන්ව තියන්නට වටිනවද? ඒ මදිවට අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නටත් ඒක හරිම හුරතලයක්. උනුත් හිනා වෙනවා.

බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ.

සිද්ධිය ගැන කතා කරන්නට කරන්නට අපේ තරහ තව තවත් ඇවිස්සුණා.
"මුන්ට පාඩමක් උගන්නන්නට ඕන." නිලූ අවසාන තීරණය දුන්නා.
"ඔව්, ඔව්."
"ආයෙ හොරා නොකන්නම පාඩමක්."

එදා රාත්‍රියේ අපි පලි ගැනීමේ නියම සැලසුම හැදුවා.
කූඩාරම් තුනක් තිබුණට, අපි දාහතර දෙනාම එදා නිදා ගත්තෙ එකම කූඩාරමක. තුන් හතර දෙනෙකුට පමණක් සෑහෙන ඒ කූඩාරමේ අපි වටේට හිස් දාලා, මැද්දෙන් කකුල් එක උඩ එක දාගෙනයි හිටියෙ. හෙල්ලෙන්නටවත් බැහැ. ඒ මදිවට අර වල් කොල්ලන් ගැන අනියත බියකින් මධුරි වප්පිහියකුත් උස්සන් ඇවිත් කූඩාරම තුළ තියන් හිටියා. වැඩිහිටියන් ගන්නා තීරණයකට එකඟ වන කුඩාවුන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණා. මමත්, මධුරිත්, කුමුදුනිත්, නිලුත් කුටු කුටු ගාමින් සාකච්ඡා කළා.

පහුවදාට එළි වුණා. සාමාන්‍ය කඳවුරු ජීවිතය ඇරඹුණා.

ඔත්තු බැලීම සඳහා වරින් වර එකා දෙන්නා ප්‍රධාන නිවසට ගියා. ශීතකරණයට යමක් දැමීමට, ඉන් යමක් ගැනීමට, හැලියකට පියනක් ප්‍රේමාගෙන් ඉල්ලාගැනීමට වැනි නොයෙක් හේතු දක්වමින් කුස්සිය පැත්තෙන් පිරිසක් ගියා.

එදිනට සැලසුම් කර තිබූ කඳවුරෙහි හදිසි ක්‍රියාදාමයට සූදානම් වීමේ මුහුණුවරින් තවත් පිරිසක් ප්‍රධාන මිදුල පැත්තෙන් පාරට ගියා. පාරෙහි සිට පහත බලනවිට ඒ නිවසේ විශාල කොටසක ඔත්තු බැලිය හැකියි.

දහවල් අපේ ආචාර්යවරිය නගරයට ගියා. ප්‍රේමා කුස්සියේ වැඩ. අපේ හතුරන් පිරිස දෙවන මහලේ පාඩම් කරමින් සිටියා.

මමත් නිලුත් පිහියකුත් රැගෙන, ප්‍රධාන මිදුල හරහා ඉස්තෝප්පුවට ගොඩ වුණා. එහි කෙළවරක නවතා තිබුණේ නලීන්ගෙ චොපර් බයිසිකලය. ගෙතුළින් යමෙක් එතිදැයි මම ඔත්තු බලන අතරතුර නිලූ බයිසිකලයට "සාත්තු" කළා.

දිගු විනාඩි කිහිපයක් ගෙවුණා.
"හරි." නිලූ කිව්වෙ ඇහෙන්.

එදා මුළු හැන්දෑ වරුවම අපි හිටියෙ උනන්දුවෙන්, ප්‍රවෘත්ති අපේක්ෂාවෙන්. වරින් වර එකිනෙකා ගෙතුළට රිංගා බැලුවා ඇයි නලින් කොහෙවත් නොයන්නෙ කියලා. හෙට උදෑසනින් කඳවුර ඉවරයි. අපේ ඇස් පනාපිටම "සාධාරනය" දැකීමට අපි පුල පුලා බලා සිටියා. නිලූ කිව් පරිදි, බයිසිකලය පැදගෙන මීටර සියයක් යන්නට ලැබෙන්නෙ නැහැ....

සවස් වුණා.

අපි හිටියේ තේ සාදමින්. හදිසියෙම කෑ ගසන හඬක් ඇසුණා. රිලවුන් රංචුවක් කඳවුරු භූමිය ආක්‍රමණය කරලා. සෝදා වේලෙන්නට නවා තිබුණු හැලියක් එකෙක් උස්සගෙන ගිහිල්ලා. තවත් කිහිපදෙනෙක් කූඩාරම් තුළට රිංගන්නට වෑයම් කරනවා. බියට පත් කෙල්ලන් හූ තියනවා. ඒ අතර අපේ යකා අවුස්සමින් අර වල් කොල්ලන් කවුළුවෙන් අප දෙස බලමින් විනෝද වෙනවා.
සුදු ජාතික කාන්තාව දරුවත් වඩාගෙන පිටතට අවුත් ඔහුට රිලවුන් පෙන්වනවා.

මේ කෝලාහලය අතරතුර, පිටතට ගොස් සිටි අපේ ආචාර්යවරියත් පැමිණුනා. ඇය කඳවුරු භූමියට ආවෙ රතිඤ්ඤා කරල් කිහිපයක් රැගත් ප්‍රේමාත් සමග. ප්‍රේමා රතිඤ්ඤා කරලක් දැල්වූවා.

"ඩෝං!"

රිලවුන් මොහොතකට වැඩ නතර කරලා බැලුවා.

 සුදු ජාතික කාන්තාව අපේ ආචාර්යවරිය සමග මොකක්දෝ කතාවක්. ඇය දරුවා ආචාර්යවරිය අතට දෙනවත් එක්කම ප්‍රේමා දෙවන රතිඤ්ඤා කරලත් දැල්වූවා.
"ඩෝං!"

රිලවුන් ළමයින් විතර ගැස්සුණේ නැහැ. උන් ටිකක් ඈතට පැනලා, ඒ අවටම ගස්වලට නැග ගත්තා. අනතුර පහ වූ වහාම, නැවත පහළට බසින සූදානමෙන් ඉවසීමෙන් බලා සිටියා.

ඇතැමෙක් කම්මැළිකමට වගේ තමන් හිටිය රඹුටන් ගහේ ගෙඩි ටික සූරා දාන්නට වුණා.

"ෂිහ්! ෂිහ්!!" ප්‍රේමා කෑ ගැහුවා. ඇය එක දිගට තමන් අතේ තිබුණු රතිඤ්ඤා දල්වමින් ගස් උඩට විසි කරන්නට උත්සාහ ගත්තා. රිලවුන් වඩාත් ඉහළට නැගගෙන ඉවසීමෙන් බලා සිටියා.

"එපා ප්‍රේමා. වැඩක් නැහැ." ආචාර්යවරිය කිව්වා. "අහස් කූරු යවන්නට ඕන."
"අහස් කූරු එහෙනම් කඩෙන් ගේන්ටය කියලා පුංචි මහත්තයට කියන්නට ඕන." ප්‍රේමා කිව්වා. "ගෙදර තිබුණු ඒවා ඉවරයි."

අපි පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මේ තමයි අපි බලාපොරොත්තුව සිටි ඒ සුන්දර මොහොත.

තව ටිකකින් නලීන් බයිසිකලයේ නැගී කඩේට යනු ඇති; තව ටිකකින් සලබලාං යනුවෙන් සද්දයක් එනු ඇති; තව ටිකකින්....

"එහෙනම් දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ." ආචාර්යවරිය දරුවාව ගෙට ගෙනයන්නට හැරුණා. 

"කේට් බයිසිකලෙත් අරන් ටවුමට යනවා කියලා ගියා!"

සලබලාං සද්දෙ ඇහුණෙ ඒත් එක්කමයි.
**************************

එදා හොඳටම රෑ වෙනතුරු අපි කේට්ගෙ දරුවා බලා ගත්තා. ආචාර්යවරිය අපේ තරහකාර කෙල්ලනුත් සමග කේට් රැගෙන රෝහලට ගිහින්. ප්‍රේමා දරුවාට කිරි හදා පහළට එව්වා. අපි කඳවුරෙහි කෑම ඉව්වෙ නැහැ. මධුරි දෙවියන්ට කන්නලව් කරන්නට වුණා:
"මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ දෙය්යනේ. අනේ ඉක්මණට කේට්ව සනීප කරලා දෙන්න. අපි බුමුතුරුණක් පූජා කරන්නම්, මාළිගාවට...."

ඉන් පස්සෙ ඇයත් කුමුදුනිත් එකතු වෙලා නිලූටත් මටත් දොස් කියන්නට වුණා.
"තරහ ගිය පලියටම ඔහොමත් වැඩ කරනවද?"
නිලූ හොර පූසෙක් මෙන් බිම බලාගෙන හිටියා.

මම දරුවාගේ හිස අත ගෑවා.

නලීන් හා රජීව පහළට ආවෙ ඒ අතරතුර.
"ප්‍රේමා කට්ටියටම කෑම ඉව්වා. ඇවිත් කන්න."
"අපිට බඩගිනි නැහැ."
"එන්න. උයලා තියෙන්නෙ."
"අපි අරගොල්ලො එනකම් ඉන්නම්."
"නැහැ, අම්මා කිව්වා කට්ටියට කන්න කියන්න කියලා."
"අපි ගිහින් කමු නේද? නැත්නම් හරි නැහැ." කුමුදුනි කිව්වා.

අපි අදිමදි කරමින් නැගිට්ටා. රංචුවම එක ගුලියට වත්තෙ පඩිපෙළ ඔස්සේ මිදුලට නැගලා ඉස්තෝප්පුවට ගොඩ වුණා. දොර ළඟදි නලීන් ආපසු හැරිලා බිම බලාගෙන මිමිණුවා,

"අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්‍රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා."

85 comments:

  1. පැත්ත පලාතේ කවුරුත් නැද්ද කොහෙද... මං එකද දන්නෑ...?

    පෝතක බාලයක්ෂයෝ කියන්නේ මුන්ට නේද...

    ReplyDelete
    Replies
    1. අප්‍රියල් 02 දාපු පෝස්ඒ එකකට අප්‍රියෙල් 01 කමෙන්ට් කරන්නෙ කොහොමද?

      Delete
    2. එහෙම නැතුව කොහොමද එක වෙන්නේ :P

      Delete
    3. බුද්ධියෝ අපි දෙන්නම කමෙන්ට් කලේ 1 වෙනිදා ලංකාවට 2දා ලබලා ඒ වෙද්දී..

      Delete
    4. :D හ හා. පෝස්ට් කරන්නත් කලින්ම කමෙන්ට් කරලා!

      Delete
  2. මේක කෙටි කතාවක්ද,ඇත්තට උනු සිදුවීමක්ද කියලා හිතා ගන්න බෑ,,අයියෝ මාෂ්මෙලෝස් කරපු වින්නැහියක්.ඔයාගේ ලිවීම ගැන නම් හැමදාම වගේ සුපිරි...
    මාෂ්මෙලෝස් කන්න ආසාවක් ආවා එකපාරටම...
    මම 1 දෝ

    ReplyDelete
    Replies
    1. සත්‍යයද ප්‍රබන්ධයද මුසු කරලා ලිව්ව එකක්. :D

      Delete
  3. මලක පෙති ආකාරයට කූඩාරමක නිදා සිටිනා දැරිවියන් රැසක්.
    මැද්දේ වක් පිහියක්.

    මේකට චිත්‍රයක් ඕනෑ.

    ReplyDelete
    Replies
    1. හ හා. ඇත්තටම එදා නිදාගත්තු විදිහ මතක් වෙනකොටත් හිනා යනවා. කූඩාරම මැද්දෙ කණුවක් හිටවලා වගෙ කකුල්!

      Delete
  4. පික්සු කථාවක්නේ හප්පා........දොස්තර නෝනගේ රටාවට මම කවදත් කැමතියි.... අවසානේ වෙනකම්ම දන්වන් කුතුහලය වගේම දේන විවිධ ඉඟි තුලින් කියවන්නට දෙන රසාස්වාදය බොහොම අපුරුයි.....

    ඒ වගේම වින්ඳනය අවසානයේ හිතන්න බොහෝ දේ ඉතිරි කරනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. :D පිස්සු කතාත් ලියන්න එපායැ.

      Delete
  5. වෙනද වගේම.... සුපිරියි......

    ReplyDelete
  6. එහෙම කොල්ලෝ සැක කරන්න නාකයි...

    ReplyDelete
    Replies
    1. කොල්ලො එහෙම හොරා කන්න නාකයි...

      Delete
  7. කෙල්ලො තමයි කෙල්ලො..මට මතක් උනේ අපේ චූටි අක්කා සහ එයාගෙ යාලු කෙල්ලො රංචුව..සිද්ධි දාමය නොකඩා ලස්සනට අකුරු වලින් අමුනලා..අපිව අරන් යන්නෙ වෙනම ලෝකයකට...
    \\බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ. \\
    හිතට දැනෙන ඉරිසියාව සාධාරනයි මෙහෙම අපූරුවට පද ගලපන කොට..ඒ ගැන අහිතක් හිතන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා සංවර ළමයින්ට ළමා කාලයක් කියලා මතක් කරන්නවත් දෙයක් නෑනෙ.

      Delete
  8. අනේ අම්මෝ මාර පලි ගැනීමක්නෙ.මාතෘකාව දැකලා විස්තරේ ටිකක් කියවගෙන යනකල් මීටර් වුනේ නෑ මොකක්ද සීන් එක කියලා.අන්තිමේදී බැලින්නම් වල් කොල්ලො ටික හොද වුනාද?

    ReplyDelete
    Replies
    1. :D හුඟක් වෙලාවට ඔය වගෙ සිද්දි කෙළවර වෙන්නෙ එහෙමනෙ,

      Delete
  9. නියමයි කෙටි කතාව.

    ReplyDelete
  10. මට සමහර ෆිල්ම් බලද්දිත් පරණ නවකතා බලද්දිත් යකා නගින වෙලාවල් තියෙනවා..ඒ තමා පොඩි කතා බහකි සිද්ධ උනානං සෑහෙන වැරදි ගොඩක් අඩු කරගන්න පුළුවන්කම තියෙද්දී මිනිස්සු කතා නොකර ඒවා හිතේ තියං තනිවම ගන්න තීන්දු තීරණ හින්දා අන්තිමේදී තමුන්ටත් කෙලවගෙන තව අහක ඉන්න අය දහස් ගානකටත් කෙලවන එක...

    හැබැයි බලං ගියාම ඒ කතාවේ සම්පූර්ණම රඳා පැවැත්ම තියෙන්නේ ඒ වැරැද්ද මතම තමා...ඒක තේරුම් යන්නේ පස්සේ කාලෙක...

    අදහස් හුවමාරුව කොයි තරම් වැදගත්ද කියලා හිතෙන්නේ මේ වගේ කතාවලදී තමා...ඒත් අපේ තියෙන ලොකු කමටයි..අනිත් පැත්තේ ඉන්න එවුන්ගේ තියෙන මහන්තත්තෙටයි පින් සිද්ද වෙන්න අපි අතරේ ලේසියෙන් දෙයක් කතා බහ කරලා විසඳගන්නවා අඩුයි..ඉතිං හැමදාමත් අපිට කතා තියෙනවා කියන්න...
    හරි ඒ ටික දැන් ඉවරයි...

    ...............
    "ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම"

    සෑහෙන්න බරක් ඇඳලා තියෙන හැඩයි...:D:D:D
    ආහාර වට්ටෝරු සකස් කිරීම...මට මැවිලා පේනවා ඒ ආහාර වට්ටෝරු කොහොම තියෙන්න ඇද්ද කියලා...අනිත් උන් සෑහෙන දුකක් විඳින්න ඇති...:P

    එතකොට අර ක්‍රියාකාරකම්වලට මොනවද තිබුනේ..පණ යනකල් ඇවිදීම වගේ ඒවද..:D

    "පත්‍රිකා ආදිය සඳහා චිත්‍ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා."

    කැලෑ පත්තර වගේ ඒවා වෙන්න ඇති..
    ඒ මදිවට ත්‍රස්තවාදී කණ්ඩායම් රැස් කිරීමකුත් වෙලා තියෙනවා...

    ඒ ඔක්කෝමත් හරි අර සුදු ළමයා හුරතල් කරලා තියෙන කැත..සික් ඉතරක් මෙහෙමත් අය...

    ReplyDelete
    Replies
    1. :P මම කියන්නෙ නෑ ඉතින්

      Delete
  11. කවදා හරි ඇමරිකාවටත් සුදු ජාතික කාන්තාවට වෙච්චි වැඩේ වෙයිද? හැබැයි වුනු දාට අපිම දෙවියන් යදියි අනේ ඔව්න් සුව වේවා !!! කියලා නේද?

    :)

    ReplyDelete
    Replies
    1. ඕඕ, අපි එහෙමනෙ. ප්‍රභාකරන් ගැන වුණත් කට්ටියට කොච්චර දුකද දැන්? :D

      Delete
  12. මාශ් මෙලෝ කෑලි කිහිපයකට මෙහෙම කලා නම් මට හිතා ගන්නත් බෑ අනිත් දේවලට මෙයා කරන දේවල්....
    හික්ස්...

    ReplyDelete
  13. හෆොයි.. මම හිතන් හිටියේ ඔයවගේ මදාවි වැඩ කරන්නේ අපි විත‍රයි කියලා. දැන් බැලුවම කෙල්ලොත් එහෙමනෙ.. දෙයියොත් ඉතින් පාපිස්සක් පගාවට අරන් ඔයාලව යහතින් ගෙදර එවුවා.

    ReplyDelete
    Replies
    1. දෙවියො කොච්චර දේවල් පගාවට ගන්නවය කියලා අපි හිතන් ඉන්නවද? :D දැන් ඔය රුපියලක් දෙකක් දැම්මෙ නැත කියලා වාහන හප්පවන්නෙ. :D

      Delete
  14. බලාගෙන යනකොට ඔක්කොමලා පව්, අර මගපෙන්වන්න ආපු කෙල්ලෝ දෙන්න ඇරුනම. නලිනිගේ ගොඩක් කතාවල වගේ මේකත් අවසන් කරලා තියන විදිහ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කිසි හේතුවක් නැතුව පෙන්නන්න බැහැ සමහර ළමයින්ව. පස්සෙ කාලෙක ඒ ළමයින්ගෙ හොඳ ගතිගුණ දැකලා හිතවත් වුණා.

      Delete
  15. බාලදක්ෂ කියන්නෙ ඉතිං විනෝද සාගරයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ළමයින්ට හොඳ අත්දැකීමක්.

      Delete
  16. අයියෝ නලින් ලා පව් අනේ :(
    හිහි මොනා නැතත් කට්ටිය නියමයි. තරහා කාරයෝ එක්ක මටත් ඉන්න බෑ. ගහගන්නමයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, ඕනවට වඩා ඉවසන්න ඕනම නැහැ. :D

      Delete
  17. බාල දක්ෂිකාවො කෙසේ වෙතත් බාල යක්ෂිකාවො ටිකක්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හැමෝම එහෙම තමා කිව්වෙ.

      Delete
  18. අයියෝ මාශ්මෙලොස් වලට උණු හදියක්'

    ReplyDelete
    Replies
    1. මාෂ්මෙලෝස් කෑලි විස්සක ලොකු බලයක් තියේ!!

      Delete
  19. පව් අප්පා නලින්.......... කෙල්ලො කූරයි

    ReplyDelete
  20. අන්තිමයි...ඒ කිව්වෙ අන්තිම අපූරුයි....විශිෂ්ඨයි..දාන්ට නලිනි පහක්.....හෙහ්,හෙහ්,

    ඇත්තටම නිලූ අර මොකද බයිසිකලේට කළේ?....ඇණ බුරුල් කළාය?

    ReplyDelete
    Replies
    1. හහ් හා! අන්න හිතන්න යමක්! :D ළමයින්ට වැරදි ආදර්ශ දෙනවා කියලා මෙතනට එන දෙමවුපියො මාව අල්ලගන්න බැරි නෑ බයිසිකලේට කරපු දේ කිව්වොත්.

      Delete
  21. අවසානය වෙනකම්ම කුතුහලය ඇති කරලා . නියමයි . වෙනදට වඩා තියෙන වෙනස වෙච්ච දේ කිව්වා එකයි . නැත්තන් අපි එපාය වැටුනේ මොකාද කියල කල්පනා කරන්න . ලස්සනම කතාවක් .

    ReplyDelete
    Replies
    1. :P ෂිහ්, කල්පනා කරන්න දෙයක් ඉතුරු කරල නෑ නෙහ්? අපරාදෙ.

      Delete
  22. අක්කෙ, ඒත් මම නම් හිතන්නෙ අර "අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්‍රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා." නම් බබා පාර්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන දැනම කෑවා වෙන්නයි ලොකුම ඉඩක් තියෙන්නෙ.

      Delete
  23. අපි පොඩි කාලේ කඩේකින් මාෂ් මිලෝස් හොරෙන් කෑවා ගොඩක් කාලයක්..
    අන්තිමට අතේ මාට්ටු වුනා..

    ස්තුති අතීතයට ගෙනිච්චට..

    ReplyDelete
  24. සුපිරියි!

    හිත ගත් ලස්සනම කියමන:
    //බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ//

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ හුඟක් වෙලාවට කෙනෙකුගෙ තරහ ඇවිස්සෙන්න ලොකුම හේතුවක්, ආයෙ ආයෙ ඒ ගැන කතා බහ කරමින්, තරහ ඇවිළෙන පැත්තටම පොහොර දා ගැනීම

      Delete
  25. හම්මෝ මෙයාලා ඉස්සරත් මෙහෙමද ? :D

    ReplyDelete
    Replies
    1. ම්හු. හලි අහිංතකයි, දැන් වගේම.

      Delete
  26. සික් . . මාෂ්මෙලෝස් ටිකකට ඔච්චර හරියක් කොලා නං . . ඊට ලොකු දේකට ???

    ReplyDelete
    Replies
    1. අනේ නෑ, අපි හලි අහිංතකයි.

      Delete
  27. හයියෝ මාෂ්මෙලෝස්!!!
    කට්ටිය නං කියලා වැඩක් නෑ

    ReplyDelete
  28. අන්න ගෑල්ලමයි!

    ReplyDelete
  29. ජිවිතේ එක්තරා පරිච්චේදයක්. කෙල්ලෙක් කොල්ලෙක් කතා කලොත් ''ඊයා '' . යාලුයි කියල දැන ගත්තොත් '''ඉකෙයියා ''. මට '' දිරි දැරියෝ '' කතාව මතක් වුනා . නලිනිත් කියවල ඇති නේද .

    ReplyDelete
    Replies
    1. මම දිරි දැරියෝ කියවල නැහැ. හොයාගෙන කියවන්න ඕන.

      Delete
  30. හොඳ දඬුවමක් ලැබිලා තියනවා හැබැයි.:)

    ReplyDelete
  31. හෆොයි... මාෂ්මෙලෝස් නිසා වුන හදියක්..

    ReplyDelete
    Replies
    1. :D ඒ කාලෙ අපිට දැන් වගේ රසවත් කෑම බීම බහුලව ලැබෙන්නෙ නෑනෙ. ඉතින් ඔය මාෂ්මෙලෝස් වගේම, කෑම්ප් එකේ දෙවෙනි දවසෙ මධුරිගෙ අම්මා හදන් ආව පෑන් කේක්ස්නුත් අමා රසට තවමත් මතකයි.

      Delete
  32. ලිව්ව රසවත්ම පෝස්ට් එකක්

    මුං බාලදක්ෂිකාවො වෙලත් කරල තියෙන්නේ මහ කඩා කප්පල්කාරී වැඩ .ඒ මදි වට මරු චන්ඩි වක් පිහියකුත් තියන් නිදි :)

    හප්පා ඔය හැටි අර කොල්ලො ඇලජික් වුන නිසා තමා ප්‍රස්නේ වුනේ . අපි ඔය කඳවුරේ හිටියනම් ෂුවර් අර පදක්කමට ලකුණු එකතු කරගන්න ගමන් අර අයියයි මල්ලියි බෙදා ගන්න බැරුව උන්ට ඇස් ගහලා කොමල පාලම කඳවුරේ වලි යනවා :)

    ReplyDelete
  33. ඇත්තටම මටත් එක පාරටම මතක් උනේ පිං ළමයා කථා පොත. ලේඛිකවගෙ නම නම් මතක නැහැ. එකෙත් තියෙනවා මේ වගේ ම වැඩ.
    හපෝ මෙයාලා හරි ළමයි තමයි, මාශ්මෙලෝස්වලට මෙහෙම කරානම් , අර කොල්ලො දෙතුන් දෙනෙක් මෙයාලගෙ බත් පිඟන් දෙක තුනකට වග කිව්ව නම් කොහෙන් නතර වෙයිද?
    තව ඇති නේ ඉස්කෝල කාලෙ කරපු මගඩි වැඩ ගැන කථා, ලියන්නකො ඒවත්.

    ReplyDelete
    Replies
    1. හරි ''පින් ළමයා ''පලවෙනි කොටස .'' දිරි දැරියෝ'' දෙවෙනි කොටස . ලියුවේ හේමා චන්ද්‍රිකා වගේ මතක

      Delete
    2. අන්න හරි බින්දි, පළමු කොටස පිං ළමයා. ඒකෙත් තියෙනවනේ ගෘහවිද්‍යාවට ප්‍රැක්ටිකල් කරන්න ගිහින් කරපු වැඩ. ලස්සන පොත්, පුංචි කාලෙ ආසාවෙන් කියවපු. ඔව් ඔව් ලේඛිකාව හේමා චන්ද්‍රිකා ලියනගේ මහත්මිය.

      Delete
    3. ඒ කාලෙ කියෙව්ව යොවුන් නවකතා හුඟක් රසවත්. සාගරිකා, කොරල් දූපත, ඩොල්ෆින් දූපත, තුන් යහළු වික්‍රමය වගේ ගොඩක් පොත් මගෙ ළඟත් තිබුණා. ඒත් අපේ අක්කා යාළුවන්ට දීලා, ඒ හුඟක් පොත් ආපහු ලැබුණෙ නැහැ.

      Delete
  34. දැන් නිකමට හිතලා බලන්න හරි අක්කා ඔය මාෂ් මෙලොස් වෙනුවට චොකලට් පෙට්ටියක් එහෙම එහෙ මෙහෙ උනොත් මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා..:D

    ReplyDelete
    Replies
    1. ඕ,,,,,,,,,,,,,,,, එහෙම මුකුත් වෙලාද? මේ ගොල්ලොනංහරි දරුණුයි අප්පා :D :D

      Delete
    2. චොකලට්? කෝ චොකලට්?

      Delete
    3. නැහැ නැහැ එහෙම කිසිම දෙයක් නැහැ... මං කිව්වේ මේ එහෙම උනොත් කියලා...:D

      Delete
    4. මොකක්ද චොක්ලට් කතාව? කොහෙන්ද චොක්ලට්? කාගෙන්ද චොක්ලට්? කාටද චොක්ලට්? කා ළඟද චොක්ලට්?

      Delete
    5. හෆ්ෆා දැන් තමයි තේරෙන්නෙ මාස් මෙලෝස් නිසා අර අහිංසක කොල්ලන්ගෙ ජීවිත බේරුනා..මාරයා කීව වගේ ඕක චොක්ලට් උනා නම් සුවර් කොල්ලන්ව පෙති ගහයි එදා රෑම..අර පිහියෙන්..හයියෝ...

      Delete
    6. බුදු අම්මෝ වෙනි අයියේ..ඇඟ හීතල වෙන කතා කියන්න එපා...

      Delete
    7. ඇයි මල්ලි ඇත්ත සත්‍ය තේරෙන්න ගන්න කොට ඇඟ සීතල වෙන්නෙ නැද්ද ? මට මතකයි ඒ දවස වල අපි පොඩිම කාලෙ බෙහෙත් ගන්න ඩොක්ටර්ස්ලා ළඟට යන කොට බෙහෙත් විදී..තිත්ත බෙහෙත් බොන්න දෙයි කියලා බයේ අඬනවනෙ..ඩොක්ටර්ස්ලා ළඟ තියෙනවා ටොෆී, චොක්ලට් වගේ ඒවා අපිව නලව ගන්ඩ..අද කාලෙ තත්වෙ කොහොමද දන්නෙ නෑ ? මට මැවිලා පේන්නෙ..පොඩි ළමයිව නලවා ගන්න ඩොක්ටර්ස්ලා ළඟ තියෙනවා චොක්ලට් පෙට්ටියක්..ඒත් ඒ ටික ඉවර වෙන්නෙ.. ???!!!

      Delete
    8. කොහොම හරි මේක හින්දා, හරි නංගිගෙ චොක්ලට් ටික හරි තැනට හම්බුණා...

      Delete
    9. යාන්තන් ඇති....දැනුයි ඇගට ලේ ට්කක් ඉනුවෙ..මේකෙ ස්ක්‍රීන් ෂොට් එකක් අරගන තියාගන්න වෙයි වගේ...:D

      Delete
  35. ලබන සැරේ ගියහම එලියට යන්න ඉස්සර ඇන මුරිච්චි ටික බලන්න වෙයි වගේ....

    ReplyDelete
  36. සිද්ධි විචිත්‍රයි. කතාව අපූරුයි !

    ReplyDelete