Thursday, April 12, 2012

අවුරුදු

හැන්දෑවෙ මුණුපුරන් එන හින්දා අම්මා කොකිස් බදිනවා.
"රෑ වෙලා කොන්දෙ කැක්කුම කියයි!" මම හොරෙන් හිතනවා.

මට මතක ඇති කාලෙ ගෙදර ලොකු භාජන කිහිපයක් තිබුණා. අවුරුදු කාලෙට අම්මා රෑ මැදියම වෙනතෙක් වැඩ කරනවා. මුං කැවුම්, මුංගුලි, කොකිස්, උඳුවැල්, වැලි තලප ආදිය හදලා භාජන පුරවනවා.
වත්තෙ නොයෙක් වර්ගවල කෙසෙල් තිබුණා. අප්පච්චි මේ කෙසෙල් කැන් කපනවා. මිදුලෙ කොණක වලක් හාරනවා. වලේ එක් පැත්තක බටයක් සවි කරලා. අප්පච්චි වළලන කෙසෙල් නොඉදෙන හින්දා, අය්යට කියලා කෙසෙල් ඇවරි අඩුක් කරවනවා. අපි හැමෝම දුං ගැහිල්ලට හවුල් වෙන්නෙ ආසාවෙන්.

ඒ කාලෙ අපි පොඩියි.
අවුරුද්දට ගේ මැද්දෙ ටකරමක් තියලා, ඒ උඩ ලිපක් බැඳලයි කිරි ඉතිරෙව්වෙ. අපි හොඳ ඇඳුම් ඇඳගෙන, වටේ ඉඳගෙන කිරි උතුරන තෙක් බලා හිටියා.
කිරිබත් කන වෙලාව ආවෙ ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ.

නොනගතයට නොකා ඉන්නවාය කියන එක ඒ කාලෙ වීරකමක්. අය්යා බලාගෙන ඉන්නෙ අපි බඩගිනි ඉවසගන්නට බැරුව කයිද කියලා. එහෙම කන එක ලැජ්ජාවට කාරණයක්. ඉඳහිට කෙනෙක් හොරෙන් කන වෙලාවල් තිබුණා.

ඒ අපි පුංචි හින්දා.

ටික ටික ලොකු වෙනකොට එහෙම නොකා ඉන්න එක අපිට කරදරයක් වුණා. "අය්යෝ, තව වෙලා තියෙනවද?" අපි ටිකක් නහයෙන් අඬන්නට වුණා.

නැකැත් වෙලාවට කන්නට බලා හිටියත්, එහෙම එක පාරටම කන්නට ලැබුණෙ නැහැ. නැකතට අම්මත් අප්පච්චිත් කිරි ගහකට කොටන්නට ගියා; ළිඳත් එක්ක ගනුදෙනු කරන්නට ගියා. අපිට පාඩම් පොතක් කියැවිය යුතුව තිබුණා.

කිරිබත් පෙනි පෙනී!

අවුරුදු ගෙවී යනකොට අපි වැඩිහිටියන් වුණා; හිතුවක්කාර වුණා; ගොඩක් දේවල් ඉගෙනගත්තා; සම්මතයන්, චාරිත්‍රයන් ප්‍රශ්න කරන්නට වුණා:
"දැන් හැමදාම නැකතට වැඩ පටන්ගෙන හරි ගියාද?"
"නොනගතේට කෑවට මොකද වෙන්නෙ?"
"එහෙම වැඩ අතාරින්නට බැහැ; අනිද්දා මට විභාගෙ. මුකුත්ම කියවලා නැහැ."
"මේ පාන්දර නැගිටගෙන කිරිබත් කන්න? මට නිදිමතයි."

හුඟක්ම පාන්දරට ලිප මොළවන නැකත යෙදී තිබුණොත්, කන නැකත යෙදී තිබුණොත්, ඒක ගණන් නොගෙන සමහරු නිදාගත්තා.
නොනගතය මැද ඇවිත් හැළි වළං අදිමින් සමහරු කෑම හෙව්වා.
තෙල් වැඩියයි, පැණිරස වැඩියයි කැවිලි වර්ග ප්‍රතික්ෂේප කරන්නට වුණා.
නොනගතයට කන එක, නැකතට නොනැගිටින එක වීරකමක් විදිහට සළකන්නට වුණා.

පුරුද්දක් විදිහට වැඩ අල්ලන නැකතට අප්පච්චි අපට කතා කළා. නොඑන අය ගැන කියලා ආව අයට සැර කළා. නොනගතය මැද කන ළමයින් දිහා නොරිස්සුමෙන් බැලුවා.
අම්මා වෙනස්. දාච්ච හේන් උඩින් පුරාහඳ පායනවා වගේ අපේ රළු හැසිරීම් මත්තෙදි අම්මා වඩාත් සෞම්‍ය වුණා. නොනගතය මැද කෑම හොයන ළමයින් වෙනුවෙන් උයා පිහා තියන්නට අම්මා හුරු වුණා. රස කැවිලි වර්ග අඩුවෙන් පිළියෙල කළා. මිරිස් සැරට හුරු කැවිලි වර්ග පිළියෙල කළා.

පුංචි කාලෙදිට වඩා හරි ඉක්මණින් කාලය ගත වුණා.

අපි ගෙදරින් ගියා.
අම්මලා හින්දා අවුරුද්දට ගෙදර එන්නට මම හුරු වුණා- අවුරුද්දනම් මොකක්ද, තවත් එක දවසක්...

අම්මලා වයස්ගත වෙලා, ලෙඩ වෙලා. ඉස්සර වගේ හුඟක් කැවිලි පෙවිලි හදන්නට අපහසුයි.

මං ගෙදර එන හින්දා අම්මා පුංචි භාජනයකට උඳුවැල් ටිකක් බැදලා දෙනවා. රටතොට ඇවිදලා එන මම අම්මට උපදෙස් දෙනවා: මේවට සීනි දාන්නට එපා; එතකොට රස නැහැ. කිතුල් පැණි දාන්නට ඕන!
අම්මා එකට එක කියන්නෙ නැහැ. මෙච්චර කල් මම හැදුව කෑම රස නැතිද කියලා අහන්නෙත් නැහැ. කිතුල් පැණි දාලා කැවිලි හදලා දෙනවා.

කාලයත් එක්ක අම්මලා ආගමට දහමට හුඟක් නැඹුරු වුණා.
ආමිස දේවලට නැඹුරුව අඩු වෙලා නිරාමිස දේවලට නැඹුරුව වැඩි වුණා. හැම පෝයටම සිල් ගන්නට පටන් ගත්තා. තේරුමක් නැති දේවල් බැහැර කළා.
අවුරුද්දට උදේ කෑමට කිරිබත් හැදුවා. නැකත කීයටද කියලා ගණන් ගත්තෙ නැහැ. අක්කා පරණ අවුරුද්දට ගෙනා කැවිලි පෙවිලි කිහිපයක් කෑම මේසෙ උඩට ආවා.


මට මතක විදිහට ගිය අවුරුද්දෙ....

පුරුදු පරිදි අම්මලා වෙනුවෙන් අවුරුද්දට ගෙදර ආව මම හිතේ හැටියට නිදා ගත්තා. දවල් වෙලා නැගිටලා, අතපය හිරි ඇරලා කුස්සියට ගියා. මම නොනැගිට්ටට අම්මලා උදේට කිරිබත් හදලා ඇතැයි බලාපොරොත්තු වුණා.
ඒත් ලිප උඩ තිබුණෙ බත් මාළු.

මම ටිකක් එහෙ මෙහෙ විපරම් කළා. වහලා තියෙන භාජන ඇර බැලුවා.
කොටින්ම බල්ලන්ගෙ කෑම භාජනත් විපරම් කළා: අම්මලා කාලා ඉතුරු කිරිබත් සේරම බල්ලන්ට දාලද දන්නෙ නැහැනෙ.

අම්මලා කිරිබත් ඉව්ව පාටක් නැහැ.


"ඇයි දුව?"
"කිරිබත් ඉව්වෙ නැද්ද?" මම ඇහුවා.
"නෑ. ඇයි ඔයාට කිරිබත් ඕනෙද?"
"නෑ, කමක් නෑ."
"ඕනෙනම් කිරිබතක් උයලා දෙන්නම්. වැඩිය වෙලා යන්නෙ නෑ."
"නෑ, කමක් නෑ."

ගෙදර කිරිබත් තියෙන දවසට මම උදේ ඉඳන් රෑ වෙනතුරු, එහෙම නැත්නම් කිරිබත් හැලිය ඉවර වෙනතුරු, වරින් වර කිරිබත් කනවා. පිඟානකට බෙදාගෙන නෙවෙයි. එතනින් යන එන ගමන්, වරකට කෑල්ලක් දෙකක්...
මට නිකං සාංකාව වගෙ.

අම්මා මේ සැරේ කිරිබත් උයයි, මං හිතන්නෙ.
මං අහන්නෙ නෑ අම්මගෙන්. ඒත් අම්මා උයයි මං හිතන්නෙ...

37 comments:

  1. මාව උස්සගෙන ගිහින් කිරිබත් හා අවුරුදු කෑම තියෙන ගෙදරක් ළඟ තිබ්බ වගේ.


    මම පොඩි කාලේත් අර ඔයා කියපු අවුරුදු තමයි. අපේ ගෙදර අපිට හොරෙන් කන්න චාන්ස් තිබ්බේ නෑ. අම්මා ඒ වෙනුවට ගෙදර එලියෙන් ලිපක් හදලා කෑම හදලා තහනම් වෙලාවේ එතන ඉඳන් කන්න දුන්නා.
    කිරි බත් නේද? මම අහන්නේ ඔහොම අහිංසක අපේ හිත රිදවන්න ඔය වගේ ඒවා කියනවද?
    සුභ අළුත් අවුරුද්දක් නළිනි....

    ReplyDelete
  2. ලෙඩක් තියනව කියල ඩිංගිත්තක් හරි දැනෙන්නත් ඕනෙ
    හොඳ දොස්තර මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි සොයාගන්නත් ඕනේ
    උන්දැල හරි බේත නියම කරන්නත් ඕනේ

    මෙව්ව කොල්ල එනකල් බේත පරිස්සම් වෙන්න ඊයං වහන්තරාවක් තියෙන්නත් ඕනෑ සත්තිමත්ව - බේත බොනකොට වහන්තරාව උසික්ක කොන්නව තමා... එහෙම කියල අර වහන්තරාව ඕනෑ නෑ කියත හැක?

    ReplyDelete
  3. අහන්න දෙයක් නෑ. අම්ම මේ සැරේ කිරිබත් උයනවා. ගිය සැරේ කිරිබත් හෙව්ව බව අම්මලට හොඳට මතක තියනවා. ලබන සැරෙත් කිරිබත් උයයි මං හිතන්නේ.
    වයසත් එක්ක ජීවිත වෙනස්වන විදිහ අපුරුවට ලියල තියනවා. පොඩි කාලේ මතක් වෙනකොට දුක හිතෙනවා. ආයේ ඉතින් ඒ කාලෙ එන්නෙ නෑනේ.

    ReplyDelete
  4. ඇත්තටම අවුරුද්ද හිතට දැනුනා.... ඒ වගේම හීන් වේදනාවක් ඉස්මුදුනේ ඉඳලා මහපටැඟිල්ල දක්වා දිව්වේ මටත් නොදැනීම... දැන් අපිටවත් අපේ දරුවන්ට වත් ඒ අවස්ථාව නැහැ.... අපි කාර්යබහුල වෙලා... දරැවන්ගේන පවුලෙන් ඈත්වෙලා..... ඉස්සර තිබුන පරිබෝජන රාටාවත් එක්ක ජිවිතේ තිබුන සරළ බව අපි විසින්ම නැති කරගෙන.... අනේ මන්දා... නමුත් අපිට දැන් මේ රටාවෙන් ගැලවෙන්න බැහැ....

    පාර තියනකම් අපි දුවනවා.... හති වැටෙනවා කියලා දැන දැනම දුවනවා......

    ReplyDelete
  5. අවුරුද්ද අපිත් සැමරුවා ලංකාවෙදී කතෝලික ආගමික උනත්,,,මේ රටවල හින්දා ඒවත් අපෙන් වෙන්නෙම නෑ දැන්,,මතකයන් විතරයි,,සුභ අලුත් අවුරුද්දක් වේවා නලිනි අක්කා

    ReplyDelete
  6. කියවල ඉවර උණාම දුකත් හිතුනා අක්කි.. අද සමාජයේ පිස්සු බල්ලො වගෙ දුවන රේස් එකට අපි ඔක්කොම අහුවෙලා ඉන්නෙ.. ඒත් එක දෙයක් නොවෙනස්ව තියනව මොනා උනත්.. ඒතමයි අම්මගෙ ආදරය..ඔයා අම්මගෙන් ඇහුවත් නැතත් අම්ම දන්නවනම් ඔයා කිරිබත් වලට ආසයි කියල කිරිබත් උයනව අනිවාර්යෙන්

    ReplyDelete
  7. හැම ගෙදරම මෙහෙම වෙන්නැති...

    හැබැයි මේ කයිය ගහන අය පවුල් පන්සල් වෙලා තමන්ගේ ගෙදරකට ගිහායින් පස්සේ එන පළවෙනි අවුරුද්දේ ඉඳන්ම ආයෙත් අලුත් ගෙදර කිරිබත් හැදෙන්න ගන්නවා...

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා... නලිනිටත් සිත් ආර කියවන හැමටත්... :)

    ReplyDelete
  9. ජීවිත කතාව කෙටි කතාවක් කරලා. ඒක දොස්තර නෝනගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම ජීවිත කතාව. අපේ අම්මත් කිරිබත් හදයි මයෙ හිතේ.

    අපේ අම්ම තවමත් අව්රුද්දට මට අලුත් සරමකුයි කමිසෙකුයි දෙනවා. මේ සැරෙත් ගෙනල්ල අල්මාරියේ හංගල තියෙනවා මම හොරෙන් දැක්ක.

    නලිනි ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  10. කතාව කියවමින් ජීවිතයේ කාල වකවානු කිහිපයක් ඔස්සේ ඒ මේ අත පෙරළුනා.

    කර දණ්ඩ උසමහත් වෙද්දි නොයෙකුත් දේවල් විමසීම, ඒ ඒ කාලයට අනුරූප මිමි හදාගෙන කිරන්න මනින්න පෙළඹීමත් සිතක ඇතිවන කුතුහලය, විමසීමේ ස්වභාවය නිසා වෙන්න ඇතැයි හිතෙනවා. ගෙවල් වලින් ඈත්වෙලා අවුරුද්දට පවා ගෙදර යන්න බැරි තත්වයකට පත්වූ කාලෙක අරකී දේවල් වල වටිනාකම නොසෑහෙන්න දැනෙන්න වුනා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  11. හ්ම්ම්!! මොනා කියන්නද තේරෙන්නේ නැත.. මම දැන් අවුරුදු 6කින් ගෙදර අයත් එක්ක නැකතට (නැකතටම නොවුනත් අවුරුදුදාට) කිරිබත් කෑල්ලක් කෑවේද නැත.. මේක කියෙවුවාට පස්සෙ මට නිකං සාංකාව වගේය.. කිරිබත් දංකුඩ කන්නට ආසාවක් ආවේය.. :)

    ReplyDelete
  12. අවුරුදු හතරකින් නොදැනුන අවුරුද්දේ මිහිර මේ අකුරු අතරේ දැනුනා.. ඇත්තමයි අක්කේ..

    සුභ පුලුත් අවුරුද්දක් අක්කටත්...

    ReplyDelete
  13. කතාවා කියෙව්වම කොහේදෝ ලෝකෙක අතරමන් උන හැගීමක් ආවා. තාමත් හිතනවා
    මොනාද කියන්නේ කියලා . මුකුත් කියන්නේ නැ. හිතට එන්නේ නැ.

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා !
    අම්ම කිරිබත් උයල දේවී නෝනෝ.

    ReplyDelete
  14. ආපහු පුංචි කාලෙට ගියා වගේ. කිරිබත් කන්ට මාත් හරිම ආසයි.

    සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් නලිනිට. (අම්මා කිරිබත් උයලා ඇති.) :D

    ReplyDelete
  15. //අවුරුද්දනම් මොකක්ද, තවත් එක දවසක්...//

    අද ලිපියට නම් මම ගොඩක් ආසයි..... අපි ලොකු වෙනකොට...අවුරුද්ද මොන තරම් වෙනස් වෙනවද.... අපේ සිතුවිලි මොන තරම් වෙනස් වෙනවද.... අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් වෙන තරමට අපෙන් ඒක ඈත් වෙලා..... කන වෙලාවට අලුත් ඇඳුමක් අඳින එක ඉස්සර අනිවාර්යයි!! හරිම ආසවෙන් ඉන්නේ එදාට...හම්බවුණු අලුත් ඇඳුම අඳින්න..ඒත් දැන්නම් ඇඳන් ඉන්න කැහැට්ට පිටින්ම තමා කන්න ඉඳ ගන්නෙත්!! හෙහෙ.....

    ReplyDelete
  16. සංවේදී සත්‍ය. හරිම අපූරුයි !!

    ReplyDelete
  17. නියම පෝස්ටුව අක්කෙ...අම්මා අනිවාර්යෙන් හදයි කිරිබත්. ඔයාට හිතුන දේවල් මටත් වෙලාවකට හිතෙනවා.

    සුභ අලුත් අවුරුද්දක් වේවෝ...!!!

    ReplyDelete
  18. මේක කියෙව්වම මාත් මගේ ළමා කාලේ ඉඳන් මේ අද දව්සේ මේ මොහොත වෙනකන්ම ඇවිදගෙන ගියා.

    මගේ පොඩි කාලේ අවුරුද්දත් අඩු වැඩි විදියට ඔයා ලිව්ව් වගේමයි . අවුරුද්දට මට තාත්තගෙන් ඔංචිල්ලාවකුත් ලැබුනා.අවුරුදු කෑම නැකතට කලින් හොරෙන් කන්න අපි එක්ක අපේ තාත්තත් එකතුවුනා :)

    කාලේ ගෙවෙද්දී අපි ලොකුවෙලා ගෙදර අතෑරලා රස්සාවලට යද්දී දෙමවුපියො වියපත්වෙද්දී පොඩි කාලේ අවුරුද්දේ තිබ්බ ෆැන්ටසිය අඩුවුනා . රස්සවට ගිය මුල් කාලවල අවුරුදු තෑගි අරන් ගෙදර එන එක ලොකු වැඩක් වුනත් එක අවුරුද්දක් දෙකක් ගෙවුනම ඒකත් සාමාන්‍ය දෙයක් වුනා . මට නම් අවුරුද්ද ඉතුරු ඇනුවල් ලීව් දාලා ගෙදර ඇවිත් නිදාගන්න ප්ලෑන් කරන කාලයක් වුනා . සමහර අවුරුදු වල මම ගෙදර හිටියෙත් නෑ .හරියටම කිව්වොත් ගිය අවුරුද්දේ මම අවුරුදු මේසෙට ගෙදර නෑ . නංගී මේ අවුරුද්දේ ගෙදර නෑ .තව සමහර වෙලාවට අවුරුදු දවස් දෙක තුන මොනවත් නොකර ගෙදර ඉඳලා පහලව ඉඳන් ඔෆිස් නොගිහින් ගෙදර ඉඳන් වැඩ කරන සිරිතකුත් තියෙනවා .පොඩි කාලේ වගේ නෑදෑයො බලන්න ,පුන්‍යකාලේට පන්සලට යන්න දැන් හිතෙන්නේ නෑ .හාවා හඳ දකින්න වගේ ගෙදර එන අපි පොඩි කාලේ දන්න අඳුනන සමාජයට ගියහම උත්තර දෙන්න බැරි ප්‍රශ්න පත්තර ලැබෙනවා දැන් කොහෙද වැඩ , මොනවද කරන්නේ , ආණ්ඩුවේ රස්සාවක් කලානම් ගෑණු ලමයෙකුට හොඳයිනේ , කොහේද පදිංචිවෙන්නද හිතන් ඉන්නේ , එතකොට දෙමවුපියො ගමේ තනියම නේද , ඇයි වැඩිය ගෙදර නැත්තේ , දැන් වයස හරිනේ වගේ ලෝකයක් නැති කතා .මේව අහන් ඉඳලා එපා වෙලා රුස්සන්නේම නැති නිසා නෑගෙවල් වල යන එක හරි අඩුයි .දන්න කියන සමාජය වර්ජනය කිරීම ගැන අපේ තාත්ත අපිට නිතර සැර දැම්මත් අම්මා අපි ගැන උපේක්ෂා සහගතයි.

    ඔය වගේ දෙවල් නිසා මට හිතෙන්නේ පහුගිය කාලේම අවුරුද්ද මග අරින්න හරි, අඩුවෙන්ම අවුරුද්ද එක්ක එකතුවෙන්න හරි මම පුරුදු වෙලා ඉන්නව කියලා. ඒත් අම්මයි තාත්තයි අපි හිටියත් නැතත් පුලුවන් විදියට ඉස්සර වගේම නැකැත් චාරිත්‍ර කරනවා . කැවිපි පෙවිලි නම් ගොඩක් හදන්නේ නෑ කන්න කවුරුද් නැති නිසත් තෙල් සීනි සීමා කරන්න ඒ දෙන්නටත් සිද්ද වෙලා තියෙන නිසා .ඒත් ගෙවල් අතුපතු ගාලා අස් කරලා දොර රෙදි හෝදලා , මිදුල් සුද්දකරලා ලෑස්තිවෙනවා . දැන් අවුරුද්ද දාට ගෙදර එන්න තියෙන එකම හේතුව අම්ම තාත්ත විතරයි .ඉන් එහාට අවුරුද්දේ අර පුංචිකාලේ තිබ්බ මතක ෆැන්ටසිය මේ කාලේට ආරෝපණය කරගන්න බෑ .ඔය ඔක්කොම අතෑරලා දැම්මත් මටත් අවුරුද්දට කිරිබත් නම් ඕනේ .මේ සැරෙත් සේරම කරදර මැද්දේත් අම්ම කිවා කිරිබත් උයන්න ඕනේ කියලා .ඒකටම අලුත් මුට්ටියක් ගෙනිල්ලා මට උයන විදිය ගැන උපදෙස් එහෙමත් දීලයි තියෙන්නේ :)

    අද වෙනකොට මම කැමති පොඩි ළමයෙක් හැටියට මට අවුරුද්දේ තිබුණ මතක විතරක් ඉතුරු කරන් ඉන්න .අවුරුදු සතුටු වෙන කාලයක් වුනත් මට හිතෙන්නේ අවුරුද්දට වඩා අනික දවස් වල මම සතුටෙන් ඉන්නවා කියලා . අවුරුද්දත් එක්ක වටවුන සමහර සම්මතයන් දැන් දැන් කරදරයක් විදියට දැනෙන්න අරන් කියලා හිතෙනවා . එක්කො රස්සවල තියෙන වගකීම් නිසා ඒ දේවල් වලට ඒ තරම් අවධානයක් දෙන්නේ නෑ වගේ ගතියක් තියෙනවා .මුල්ම කාලේ එහෙම කරද්දී ලොකු ගිල්ටි ෆීලින්ග් එකක් දැනුනත් අද වෙනකොට ඒකත් නැතුව ගිහිල්ලා සාමාන්‍ය දෙයක් වෙලා

    ReplyDelete
  19. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  20. අනිත්වානං මංදා.. හිතුනොත් හෙට උදේට මං කිරිබත් උයනවා... අද ඩියුටි...

    ReplyDelete
  21. අපේ අම්ම හදාපු රසම දේ තමයි උඳු වැල්.. මම ගෙදර නැති කාලේ අම්ම මගේ කොටස ටින් එකක දාල තියනවා.. මම එන දවසා අම්ම ඉවෙන් වගේ දැනගෙන හිටියා. කොච්චර නොනගතේ තිබ්බත් අම්ම අපිව බඩගින්නේ තිබ්බේ නැහැ.. කලින් උයලා කාම ජාති තියලා තිබ්බා. අදත් අවුරුද්දට අපි කැවුම් කිරිබත් කනවා.. අම්මගේ තාත්තාගේ සුවඳ නැතුව.. ඒ වෙනුවට අපි අපේ දරුවන්ට කවනවා. උන්ට එවුවා කන්න ආසාවක් නැහැ.. කෙල්ලට ඉතින් කවන්න වෙන්නේ ස්කයිප් එකේ තමයි..

    ReplyDelete
  22. කියවල ඉවරවුනාම දැඩි කණගාටුවක් දැනුන. ඕනම දේක අගය දැනෙන්න ඒ දේ නැතිවෙන්න ඕන. ඒ වගේම තේරුමක් නෑ කියල අපි ප්‍රතික්ෂේප කරන දේවල් අපේ ජීවිත වලින් අයින්කරල බැලුවම අන්තිමට ඉතුරු වෙන්නෙ අමුම අමු බවක් විතරයි. හරියටම කියනවනං වැඩකට නොගත් මැටිගොඩක් වගෙයි.

    ReplyDelete
  23. අමතක උනා.... සුබ අලුත් අවුරුද්දක් වේවා, හැමෝටම.

    ReplyDelete
  24. ජීවිතේ පලවෙනි වතාවට අවුරුද්දට ගෙදරින් පිට. මේ යන ප්ලේන් එකක නැගල හොරෙන් යන්න හිතෙනව. හෙට උදේම එන එකනෙ.

    ReplyDelete
  25. ගොඩක් ලස්සන ලිපියක්. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  26. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  27. අපේ වයසත් එක්ක අපි හිතන පතන විදි වෙනස් වුනාට අපේ හිත ඇතුලෙ ඉන්න කෙනා ඒ කාලෙට යන්න තාම ආසයි..
    සුන්දර සිතුවිලි අකුරු කරන්න පුළුවන් ඉසිඹුවක් ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  28. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. හිතට දැනුනේ සංවේගයක්. පොඩි කාලෙම ඉන්න තිබුනානම් කියලත් හිතෙනවා. ලස්සන ලිපියක්. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  29. මටත් අවුරුද්ද ගැන කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි . වෙනස අපි පවුල් වෙලා ආයෙත් අර චක්‍රය මුල ඉඳන් පටන් අරන් . මන් නම් කොකිස් මුන් කැවුම් ..පැණි වළලු හැදුවා . කැවුම් කන්න මගේ පෙරේතකම තාම එහෙමමයි . පන්සලුත් ගියා . නලිනිට අම්ම කිරිබත් හදල දෙන්න ඇති . අපි නම් උදේට කිරිබත් හදන්නයි ඉන්නේ

    ReplyDelete
  30. ගිය පාර දෙකේම මම තනියම අවුරුදු උයාගෙන කාලා සැමරුවේ. මේ පාර නම් අවුරුද්ද අල්ලලාම ගෙදර ආවා.
    නලිනිගේ අම්ම අනිවාර්යෙන් කිරිබත් හදයි මේ පාර. කිරිබත් හදාගන්න අමාරු කෑමක් නෙවෙයි. එත් නොනගතේ බඩගින්නේ ඉඳල, නැකතට කන අම්ම හදන කිරිබතේ විශේෂ රසක් තියෙනවා.

    අපි පොඩි කාලේ අපේ අම්මලාටත් ඔහොම හිතුනද දන්නේ නැහැ නේද. හැම දෙයක්ම වෙනස් වෙනවා. නලිනිත් පොඩි බබෙක් එක්ක අම්මෙක් උන දාට සමහර විට ආයෙත් අවුරුදු සිරිය පොඩි බබාගේ හිනාවෙන් විඳීවි :)

    ReplyDelete
  31. මටනම් කිරිබත් නොමැත ... ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  32. මම බලා හිටියෙ ලිපිය මැදදී චාරිත්‍ර ප්‍රශ්න කරන්න පටන් ගත්තට පස්සෙ ලිපිය අගට වෙද්දී ලමයි වැඩිහිටියො වෙලා අම්මලා අප්පච්චිලා වයසට ගියාම ආයෙම චාරිත්‍ර පිළිපදින්න ගනී කියලා. එහෙම වුනේ නෑනේ?

    අපේ ගෙදර මුල ඉඳන්ම අවුරුදු නැකතෙ සියලුම චාරිත්‍ර කලේ නෑ. ‍තෝරාගත්ත අත්‍යාවශ්‍ය කියලා හිතෙන ඒවා වගයක් විතරයි කලේ. ලිප ගිණි මෙලවීම, කිරි ඉතිරවීම කලා.

    නලිනිටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක්ම වේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
  33. හැම කෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
    අම්මා කිරිබත් ඉව්වා. :D

    ReplyDelete
  34. අම්ම කිරිබත් ඉව්වනෙ...අපි අම්මට පණිවිඩයක් එව්වා....නැත්තං මෙතන ඇවිත් නහයෙන් අඩනකොට අපි කාපුවත් එලියට දාන්න හිතෙයි..:D:D

    ReplyDelete
  35. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
  36. සාමාන්යෙන් කොම්න්ත් කරනවා අදු වුනත් මේක් කියෙවුවම නොකර බැරිවුනා.
    සුපිරියටම ලියලා තියනවා අක්කේ. හරිම හුරු බවක් දැනෙනවා.

    සදා ජය

    ReplyDelete