Saturday, August 4, 2012

යැපෙනු පිණිස

කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.

බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.

"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."

"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"

"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."

කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.

"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"

මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.

සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"

"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."

"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.

"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.

වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.

"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."

"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.

"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."

කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.

"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.

"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."

අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.

"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.

"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."

"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.


*****************************************

"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.

"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."

"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."

"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.


"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි  පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.

"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.

"මොකද බැරුව?"

"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."

"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.

"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.

"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."

"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.

"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.

"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.

"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.

"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.


*****************************************


"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."

බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව  දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.

"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.

"මයුරි?"

අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.

"මොකක්ද වැඩේ?"

මූට මොකටද ඒක?

එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.

"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."

මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.

"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."

"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.

"අතනින් වාඩි වෙලා ඉන්ඩ."

පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.


*****************************************

"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"

මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.

මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.

"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"

අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.

"ඔයා අපේ ඉස්කෝලෙමද?"

"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"

"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."

"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."

නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.

"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.

මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.

"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"

එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.

"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.

"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.

"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.

"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.

මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!

"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."

"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."

"මොකක්ද?"

"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."

"සුසන්තයනං කියයි; ඉතිං?"

"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."

මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.

"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."

"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."

මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.

"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."

"හරී!"

මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.

මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.

"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."


*****************************************

සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.

භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.

"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.

"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"

"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."

ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.

"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."

සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.

"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"

ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.

"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.

අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.

"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.

"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.

"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.

හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!

සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.

76 comments:

  1. Replies
    1. මේක කඩා කප්පල් කාරි කුමන්ත්‍රණයක් ! මෙහෙම සීට් බුක් කරන්න පුලුවනිද ? සම්පූර්ණෙන් අසාදාලනයි.කවුරුත් නෑ කියලා බය කරලා අපේ අවධානේ වෙන අතක යවලා නීති විරෝදී විදියට 1 වෙලා .මම නොනවතින උපවාසේ .එන්නේ නෑ පැත්ත පලාතේ :)

      Delete
  2. කෙටිකතාවක් කියවලා විඳින්න පුළුවන් උපරිම රසය විඳින්න පුළුවන් උනා කියලා ලෝබ නැතුව කටපුරා කියන්න පුළුවන් විදියේ කතාවක්.. අනිත් අතට කියවලා ඉවර උනාට පස්සෙ ඒකේ යමක් ඔළුවේ රැඳෙනවා..රසවින්දනය කරලා නැවත හිතන්න දෙයක් ඉතුරු කරලා මෙහෙම ලියන ඒවා කියවන්නෙ අනිත් සේරම වැඩ නවත්තලා..

    ReplyDelete
  3. Replies
    1. :D තැන බුක් කරාට මම පබ්ලිෂ් කරන්න වෙලා ගියානෙ. :(

      Delete
  4. ඇත්තටම රසවත් නිර්මාණාත්මක කෙටි කතාවක්. ජය..,!

    ReplyDelete
  5. මයුරි අතුලට මනාපෙ දෙයි වගේ...

    ප.ලි.
    වෙනි අයියා කියල තියන කතාව හරි...මාත් මෙව්ව කියවන්නෙ සේරම වැඩ නවත්තලා..

    ප.ප.ලි.
    නැත්තං වැඩ සේරම අවුල් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඕඕ, මිනිහෙකුගෙන් උදව්වක් ගත්තහම කළගුණ සළකන්න වෙනවනෙ!

      Delete
  6. කියෙව්වෙමි.. වින්දෙමි.. ඔබ කවුද යයි මම කලින් කියා ඇත..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දකින්නෙ. පේන්න හිටියෙ නෑ නේද?

      Delete
  7. විශිෂ්ට කෙටි කතාවක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. :) මම ඔබේ බ්ලොග් එක දැක්කෙ ඊයෙ. මිනිස්සුන්ට අමතක වෙලා යන, එක්තරා කාල පරිච්ඡේදයක් ගැන නේද?

      Delete
  8. දෙපාරක්ම කියවල බලන්න හිතුන කතාවක්! අගෙයි!

    ReplyDelete
  9. තලු මරා කෑ.....

    "හිතින් මැන ගත් ගණ පූරණය..."
    "බිත්තියෙහි රේඛා සිතුවම්...."
    "ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි..."
    "මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත.."
    "...ඒ සිනහව අමතර බව වැටහීම නිසා..."

    මීලඟ කථාබහ ප්‍රවේසමෙන් කල යුතුය ;-)

    ReplyDelete
    Replies
    1. // "බිත්තියෙහි රේඛා සිතුවම්...." //

      කතාව කියවගෙන එද්දිම මේක ගැන කියන්න ඕන කියල හිතුව... මට කලින් උඹ කියල...

      Delete
    2. මරු නේද ඒ කෑලි?

      වැරදි වෘත්තියකද මෙතුමිය යෙදිල ඉන්නේ - ඈ සපා?

      Delete
    3. මේ දෙන්නව විශ්වාස නැහැ!
      මම මේ මතක් කරන්නෙ එදා අපි කොමඩු කෑවද කියල තිස්ස අය්යා. :D

      Delete
    4. එකක් මග හැරිලා.

      උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.

      හි හි.........

      Delete
  10. අපූරු වියමනක්..ලස්සනයි..

    ReplyDelete
  11. නියමයි... ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  12. පැමිණියෙමි.... කියෙව්වෙමි....
    නැණ පමණින් වටහා ගතිමි....
    කථාව ඉවර නැත....
    සිදුවිය යුතු සේම......
    අගනේය.......
    සිතන්නට ඉතිරිවූ සිතිවිල්ලට....
    බෙහෙවින්ම කැමැත්තෙමි....

    හැමදාම වාගේම නැවුම් ඉදිරිපත් කිරීමකි.

    ReplyDelete
  13. නොමිලේ කෙටි කතා කියවන්න අවස්තාවක් ලබා දීම ගැන පින්.
    " මේ කතා හුදෙක් මාගේ කියවීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"
    'මේ කතාව හු!'

    ReplyDelete
    Replies
    1. :D මම හිතුව කවුරු හරි ඔහොම කියයි කියල.

      Delete
  14. කෙටි කතාව රස වින්දා... කතාවේ දේශපාලනය තවමත් රසවිඳිමින් ඉන්නෙ...

    ReplyDelete
  15. ලස්සනයි

    ReplyDelete
  16. බොහොම පින්.. ඉතාම රසවත් ලිවිල්ලක්..
    ++++++++++++++++

    ReplyDelete
  17. එක සැරයක් කියෙව්වත් නැවත කියවන්න හිතෙන කතාවක් . සුපුරුදු රසය නොඅඩුව .

    ReplyDelete
  18. ලස්සන කතාවක්...

    ReplyDelete
  19. ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  20. රසය පිණිස නොවේ. මදය පිණිස නොවේ! හු! :D

    එහෙමත් යාඥාවක් ඇත්තටම තියෙනවද, නලිනි?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එහෙමත් පාඨයක් තියෙනව, ප්‍රත්‍යවේක්ෂාව.

      Delete
    2. ඒක යාඥාවක් නෙවෙයි හෙන්රි අයියා... භික්ෂු විනයෙහි කොටසක්.. ප්‍රත්‍යවේක්ෂාව.. භික්ෂුවක් ආහාර ගැනීමේදී සිවුරු පෙර‍වීමේදී..සේනාසන පරිහරණයේදී.. ගිලන් පසෙහිදී කල යුතු මෙනෙහි කිරීමක්... ආහාරය එහෙම නැතිනම් පිණ්ඩපාතය ගැනීමේදී ඒ පිළිබඳ කල යුතු ප්‍රත්‍යවේක්ශාවෙන් පසුවයි ආහාරය ගත යුත්තේ...

      "නෙව දවාය.. න මදාය.. න මණ්‌ඩනාය.. න විභූසනාය.. යාවදෙව ඉමස්‌ස කායස්‌ස ඨිතියා යාපනාය.. විහිංසූපරතියා.. බ්‍රහ්‌මචරියානුග්‌ගහාය.. ඉති පුරාණඤ්‌ච වෙදනං පටිහඞ්‌ඛාමි නවඤ්‌ච වෙදනං න උප්‌පාදෙස්‌සාමි.. යාත්‍රා ච මෙ භවිස්‌සති අනවජ්‌ජතා ච ඵාසුවිහාරොචාති"

      යන්තම් මතක හැටියට..ඔන්න ඔහොමයි.. කෙටියෙන් කියනවනං කන දේ කන්නේ ජීවිතය පවත්වා ගැනීමටත් ලෙඩ දුක් වලින් මිදීමටත් බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට අනුග්‍රහයක් නිසා මිස ඇඟ පත හදා ගන්ඩ නොවේය.. යන සිහි කිරීම කරලා ආහාර ගැනීමයි සිද්ධ වෙන්නේ...

      Delete
  21. කාර්යාලයක දකින්න ලැබෙන විවිධ චරිත පෙන්වන හරස් කැපුමක්, ඉතාම නිර්මාණශීලීයි.

    ReplyDelete
  22. මම නම් කොමඩු ඇටත් ගිලිනවා

    ReplyDelete
  23. දොර ඇරෙයි ....දොර වැහෙයි .....අකුරු වචන වෙයි ...වචන පේලි වෙයි
    මට සරායි ,බ්‍රැන්ඩි මතක් වුනා .ඒ විදියමයි .නියමයි . ලස්සනට මයික්‍රො ඩීටේල්ස් ලියලා තියෙනවා උත්ප්‍රාසය ගේන විදියට

    අර කොමඩු සීන් එක සිරා ! එකෙක් නන් දොඩෝනවා .අනිකා කොමඩු ඇට අහක් කරන් කන්න දඟලනවා . කයිවාරු ගහන් ඉන්නකොට අනික් එකා හිතන විදිය අමතක වෙලා ඔහොම වෙනවනේ :)

    මෙහෙම කියමු

    මාගේ මේ බ්ලොග් ලිවිල්ල වනාහි හු !!!!

    ReplyDelete
    Replies
    1. අහ්, ඒකට අපි වගේ කන්න ගිහාම ඉස්සෙල්ලම දෙන්නම එකතු වෙලා කෑම එක ඇනලයිස් කරල ඉන්න ඕන නෙහ්?
      ඔයාගෙ අලුත් බ්ලොග් එකට... :D

      Delete
  24. ලස්සන කතාවක්

    ReplyDelete
  25. lassanai....... ashawen kiyewwa... minissu wiwidhai, vishmai neda... e manussakamakth vindinna puluwan...

    ReplyDelete
    Replies
    1. ඔව්, හැම කෙනෙක්ම එක වගෙ නෙවෙයි. එහෙම බලාපොරොත්තු වෙන හින්දා තමා ගැටුම් ඇති වෙන්නෙත්, හිත ඇතුළෙත්, එකිනෙකා අතරෙත්.

      Delete
  26. අපූරුයි අක්කේ..
    "ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?" මේවගේ දෙයක් ඇත්තෙන්ම මම අහල නැහැ නේ..අනේ මට කියන්නකෝ මේ ගැන..ආසයි දැනගන්න..

    බොහොම කාලයක් වැයකර ඔබ ලියූ මේ ලිපිය ඉතා අගෙයි!:)
    ඔබට ජය අක්කේ.

    ReplyDelete
    Replies
    1. මමත් හරියටම නම්ගම් එක්ක දන්නෙ නැහැ. නමුත් කොහෙදි හරි කියවලා තියෙනවා. හැම දෙයක්ම සිහියෙන් කරන, නිවන අරමුණු කරගෙනම සිත මෙහෙයවන්නට හුරු වුණු භික්ෂූන් වහන්සේලා වෙන්නට ඕන.

      බොහොම ස්තුතියි නංගි

      Delete
  27. ඔන්න මමත් ආවා මේ පැත්තෙ...

    ඔබේ භාෂා භාවිතය නම් ඉතා අනර්ඝයි... දිගටම කියවන්න අනුබලය ලැබෙනවා... ඉදිරියටත් එන්නම් ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවටත් අදහස් බෙදාගත්තටත්.

      Delete
  28. මම කැමති නිදහසේ නලිනී චරිත වලට එබෙන්න අපිට ඉඩ සලස්වන එකටයි.. බොහොම ඉස්සර අතීතයට ගියා.

    ReplyDelete
  29. පොඩි කාලේ ඉඳන්ම ඉබේ ම ඇති වුනු පුරුද්දක් තියෙනවා‍. ඒක වෙලාවකට මට කරදරයක්. කථාවක් කියවන්න ගත්තහම ඒ වෙලාමේ මුලින්ම හිතට එන පරිසරය, උදාහරණයක් විදිහට ඉන්ධන පිරවුම් හලක් වෙන්න පුළුවන්, ඉතිං ඒ පරිසරය තමයි මුළු කථාව පුරාවටම හිතේ තියෙන්නේ. ගෙයක් ගැන කථාවක් වුනත් ඒ ආසන්නයෙන් අවශ්‍ය කාරණා සියල්ල මැවිලා පේන්න ගන්නවා. එතකොට නං වෙලාවකට එපා වෙනවා. ඒත් කරන්න දෙයක් ඇත්තේම නැහැ.

    දැන් අද මේ කථාව කියවද්දි මට සිහි වුනේ අපේ අම්මලාගේ කන්තෝරුවේ එක් දෙපාර්තමේන්තුවක ආහාර ගන්න වෙන් කරපු කාමරය. ඉතිං ඒ කාමරයේදී දැනුනු කෑම සුවඳ පවා මට දැනෙන්න ගත්තානේ. ඒ වගේම අපේ අම්මාත් මාත් එක්ක යනවා කන්තෝරුව අසල බැංකුවට. ඒකත් මේ කථාවට හොඳින් ගැලපුනා. ඊට එහා පැත්තේ තියෙන කැඳ, බෙලිමල් වගේ බීම විකුණන්න ඒ කාලේ තිබුණු කඩේ විතරක් මං ටිකකට පළතුරු බීම සැලක් කරගත්තා... අද නං සතුටුයි මුලින්ම හිතට ආපු පරිසරය ගැන...

    ලස්සනයි අක්කේ කථාව... එකම විදිහේ කථා නොලියා එක එක කථා ලියනකොට ගොඩක් ලස්සනයි. හැබැයි මං හිතුවේ මයුරිට අර මනුස්සයා කරපු උදව්ව නිසා පස්සේ තීරණාත්මක දේශපාලන කථාවකදී හරී පැත්ත නොගෙන වැනෙන්න වෙයිවත්ද කියලා...............

    ReplyDelete
  30. නියම ලියමනක්.මේ කතා ටික එකතු කරලා පොතක් පල කරන්නකො අක්කේ..

    ReplyDelete
  31. අපූරු වචන ගැලපීමක්, කාර්‍යාල ජීවිතය හොඳට හදාරල තියෙනව වගේ..!

    ReplyDelete
  32. ගයන දොස්තරලා අතරට ලියන දොස්තරලා. කවදත්වගෙ ලස්සනට ලියලා....

    ReplyDelete
  33. මේක මරු අක්කේ, නියමයි,
    ජීවත් වෙන චරිත, වට පිටාව.

    මාර අයියේ, උඹයි අක්කගෙයි, පළවෙනියා වෙන එක නම් කුමන්ත්‍රණයක් වගේ...

    ReplyDelete
  34. කියන්න බැරි වුනා මේ කතාවට යොදා ගෙන තියෙන මාතෘකාව අති විශිෂ්ටයි අක්කේ

    ReplyDelete
  35. සටහනක් දිගේ මෙහි ආවේ පලවෙනි සැරේට .හරිම අපුරුයි . දවල් කෑම වෙලාවෙයි , හවස කෝච්චියේ එන කොටයි එක හුස්මට කියෙව්වා . රස විඳ විඳ කියවල ඉවර උනාම හිතන්න පොඩ්ඩක් ඉතුරු වෙලා .දැන් නම් ඉතින් දිගටම එනවා

    ReplyDelete
  36. කොමඩු ඇට උපමාව හරිම අපූරුයි !!

    ReplyDelete
  37. කාලෙකට කලින් ඇවිත් තියෙනවා. ඒත් නිවාඩුපාඩුවේ කියවන්න හම්බ වුණේ අද.
    කතාව නම් හොඳට රස වින්දා. හරිම අපූරුයි.

    ReplyDelete
  38. මමත් වෘත්තීය සමිතියක ලේකම් කෙනෙක්ව හිටි නිසාත්(කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති) නිල නොවන ලෙස දේශපාලනී කරණය වූ වෘත්තීය සමිතියක් සමග ගැටෙන්නට සිදුවූ නිසාත් කතාව බොහොම සමීප බවක් දැනුන.

    ReplyDelete
  39. මේ පැත්තෙ ඇවිත් නිර්මාණ රස වින්දත් අද තමයි අදහස් දක්වන්නෙ ....නලිනි අක්කා ලියන විදිහට මම ගොඩක් කැමතී.හුඟක් වෙලාවට ඔයා ලියන දේවල් වල තියෙන්නෙ අව්‍යාජ කමට.සමහර සිද්ධි මටත් සමීපයි...දිගටම ලියන ඒවා බලන්න මග බලාගෙන ඉන්නවා

    ReplyDelete


  40. මන් මේ පරණ බ්ලොග් හාරන ගමන් . අනර්ඝයි . නලිනිගේ කතා කවදත් අනර්ඝයි . අපේ වැඩ කල තැන්වල සිටි කට්ටියගේ වැඩ කිඩ සේරම මතක් වුනා . දැනටත් ඔය ඉන්නේ මුණු පොතේ පවා . ඒක නෙමේ මයුරිට කියන්න කොමඩු ඇට අයින් කරන්න ඔය හැටි වද වෙන්න එපාය , නිකන්ම හපලා ගිලින්න කියල . හරිම ගුණයි . වේලලා විකුනන්නත් තියෙනවා .

    ReplyDelete
  41. ඉස්සරනම් ‍පොත් කියවීමේ පිස්සුවක් තිබුනා... දැන් වෙලාවත් එක්ක පොත් කියවන එක කාලාන්තරේකට පස්සේ සිද්ධ වෙන දෙයක් වෙලා... මේ වගේ හොඳ නිර්මාණයක් දැක්කම මුල ඉඳන් අගටම කියවනවා... එතකොට ආයෙත් අර එකතැන ඉඳගෙන පොත් කියවපු කාලේ මතක් වෙනවා

    ReplyDelete
  42. යැපෙනු පිණිස කිසිත් නැති...
    ඉක්මණින් ආයෙ එන්න...

    ReplyDelete
  43. මේ පෝස්ට් එක හු.

    (පොඩි විහිලුවක් ඈ.. ඔයාගෙ පෝස්ට් එකින් එක කියවගෙන යද්දි මේකට නම් කොමෙන්ටුවක් දාන්නම ඕනෙ කියල හිතුනා)

    ReplyDelete
  44. ඔයා අළුතින් මොකුත් ලිව්වද කියල බලන්න ආවා. කෝ ලියල නෑනෙ

    ReplyDelete