Thursday, October 18, 2012

පොකුටු බණ්ඩෙ

ළමයින් අසභ්‍ය වදන් අසා සිටීම සාමාන්‍ය සංසිද්ධියක් ලෙස අපේ දෙමවුපියෝ පිළිගත්හ. ඒ නිසා අපට දේශපාලන සංවාදවලට සවන් දීමට තහනමක් නොවීය.

මට මතක මුල්ම දේශපාලන සාකච්ඡාව පැවැත්වුණේ රාත්‍රී කාලයේය. ඒ එහා ගොඩේ පොකුටු බණ්ඩේ හා අල්ලපු කන්දේ ගලේ බණ්ඩේ අතරය. ගෙවල් දෙකම මෙහා කන්දේ වූ අපේ ගෙයට අඩු වැඩි වශයෙන් සම මට්ටමෙක පිහිටි හෙයින් ඔවුන්ගේ සංවාදයට හා අපගේ සවන් දීමට ගෙවල් අතර දුර බාධාවක් නොවිණි. නිදි බව හැඟවීමට විදුලි පහන් නිවා දමා, ඒ පැත්තේ වූ ජනෙල් දෙක අසලට අපි ගුලි වුණෙමු.

මට අපැහැදිලි යම් වචනයක තේරුම මා විමසූ විට, අය්යා "ෂ්, ෂ්" කියා මා නිහඬ කළේ වැදගත් යමක් අතපසු වේයැයි බියෙනි.

ඒ මිනිහාට පොකුටු බණ්ඩේ කියන්නේ ඇයිදැයි මම කාගෙන්දෝ ඇසීමි. "ඒ මිනිහාගේ කොණ්ඩය පොකුටු හින්දාය" යනුවෙන් පිළිතුරු ලැබිණි.

පහළ කුඹුරේ වූ පොදු නාන ළිඳට පැමිණෙන මේ මිනිහා සහ ඔහුගේ කොලු කෙලි බුරුත්තද මම දැක ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේ කොණ්ඩ පොකුටුය. මගේද කොණ්ඩය පොකුටු වූයෙන් මම සිතින් ඔවුන්ට පක්ෂ වූයෙමි.

මෙසේ මම මගේ මුල්ම දේශපාලන හිතෛෂීභාවය ඇති කරගතිමි.



පසු කාලීනව පාසලේ සමාජ අධ්‍යයනය විෂයට මම ලංකාවේ දේශපාලනය පිළිබඳව හැදෑරුවෙමි.

මා තේරුම් ගත් ආකාරයට ලංකාවට නායකයෙක් සිටී; ඔහුට ආණ්ඩුවක් ඇත; ආණ්ඩුවට ක්‍රමයක්ද, වර්ෂයක්ද, සභාවක්ද ඇත; සභාවට සංඛ්‍යාවක් ඇත. මේ සියල්ල ඇත්තේ තාකටපාඩම් කිරීම පිණිසය. ඒ ඒ කාල වකවානුවලට අදාලව මේ දත්ත විමසන ප්‍රශ්නයක් සෑම විභාගයකදීම අසන ලදී.

ඒ ප්‍රශ්නයට හැමවිටම මට බින්දුව ලැබුණේ, පාසල් විභාග වලදී ප්‍රශ්න තෝරා ගැනීමට නොතිබුණු බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට එම ප්‍රශ්නය අත හැරීමට මම මුල සිටම තීරණය කරගෙන සිටියෙමි.



දේශපාලනය නීරස විෂයයක් ලෙස මා හඟින්නට හේතුව, සමහරවිට ඒ පිළිබඳව ලොකු උනන්දුවක් අපේ දෙමවුපියන් තුළ නොතිබීම විය හැකිය. දේශපාලකයන්ට බැනීම සහ ඡන්ද කාලයේදී පොදු මාධ්‍යවල ප්‍රචාරය වූ ඡන්ද කතා ඇසීම හැරුණුවිට, ඔවුන් කළ එකම ක්‍රියාකාරී දේශපාලනය රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමය.

වරක් එක්තරා ඡන්ද කාලයකදී රූපවාහිනියෙන් දිනපතා එක් එක් අපේක්ෂකයාගේ කතාව බැගින් විකාශනය කරන්නට විය. මේ කථික තරගයට සවන් දී බැන වැදීම වැඩිහිටියන්ගේ දෛනික අංගයක් විය. දිනක් අදාල වේලාවේදී රූපවාහිනිය දැමූ අපේ අය්යා "කොල්ලෙක්, කොල්ලෙක්, කොල්ලෙක්.." යයි හඬ නැගුවේ අප්පච්චිට ඇසෙන්නටය. කොල්ලෙක් ඡන්දෙ ඉල්ලනවා බැලීමට මමද කඩාගෙන බිඳගෙන සාලයට දිව්වෙමි.

මා කොල්වින් දැක්කේ එදාය. ඔහුගේ කොණ්ඩය පොකුටු නැත.



ඔය කාලය වනවිට මගේ පන්තිවල ඉගෙනුම ලැබූ ඇතැම් සිසුවියන්ද, චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක්ද ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වු වග මම දැන සිටියෙමි. එහෙත් ඔවුන්ගේ දේශපාලනය සහ මා ප්‍රිය කළ රුසියානු නවකතාවන්හි එන අරගල අතර සමානත්වයක් දැකීමට මම අපොහොසත් වීමි. මා දැන සිටි, දේශපාලනය කතා කළ සියලු දෙනා අනුනට ගරුසරුවක් නොදැක්වූ "හිතට ගත්" අය වූ අතර, පාවෙල් කොර්චාගින් මංකි කැප් එකක් දමාගෙන රෑට රෑට හැඳුනුම් පත් එකතු කිරීමට ගිය වගක් ගැන කොතැනකවත් සඳහනක් නොවිණි.

වෙනස් චරිතයක් ලෙස මා හැඳින ගත්තේ එක් අයෙක් පමණි. වාර විභාගවලින් අපේ පන්තිවල ප්‍රථම ස්ථානය එක දිගටම දිනූ ඇය නිහඬ සිසුවියකි. එක්තරා විවෘත චෙස් තරග වාරයකට අප සහභාගිව සිටියදී, යෞවනියන්ට පොදු ලැජ්ජාවකින් අපේ තවත් මිතුරියක් පෙළෙන්නට වූවාය. පමා වී ශාලාවට පැමිණි ඇයට තරග අයදුම් පත්‍රය භාර දීමට යාමට මහා ලැජ්ජාවක් ඇති විණි. එලෙස ලැජ්ජා වීමට තරම් මනස මෝරා නොතිබූ මම වහාම අයදුම් පත්‍රය ඉල්ලාගෙන ගොස් භාර දුනිමි.
සෙමින් මා ඇමතූ මගේ නිහඬ දේශපාලන මිතුරිය "ඔයා කළේ හරි හොඳ වැඩක්." යැයි කීවාය. 

ඇය ජීවත් වන බව මා දැන ගත්තේ මේ කුඩා සිද්ධිය නිසාය.

පසු කාලයකදී ඇයව සිර භාරයට ගත් පසු, ඇගේ දෙමවුපියන්ද පෙර අරගලයක ක්‍රියාකාරී සාමාජිකයින් බව අනාවරණය විය. ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නට ඇතැයි සිතා මා තනිව දුක් වූ නමුදු, නිදහස්ව පැමිණි ඈ දැන් විශේෂඥ වෛද්‍යවරියක වීමට උගන්නා බව දැන ගත් විට මම ඉතා ප්‍රීති වීමි.
ඇත්ත වශයෙන්ම ඈ රුසියානු කතාවල වීරවරියකට වඩාත් සමීපය.



මෙලෙසම දැඩි දේශපාලනික පසුබිමක් සහිත තවත් යෙහෙළියක මට හමුවූයේ රැකියාව තුළිනි. ඒ පසුබිම කෙතරම් දැඩිද කිවහොත්, රුසියාව හා චීනය එකිනෙකා හා විරසක වූ කල්හි, මගේ යෙහෙළියගේ පියා සිය මිතුරන්ගෙන් භාගයක් අහිමි කර ගත්තේය.

අප හඳුනා ගත් කාලය වනවිට මා වඩාත් ආගම ධර්මයට නැඹුරු වූ අතර මගේ යෙහෙළියගේ දේශපාලනය, මතවාද දැරීමට සීමාව පැවතිණි. පොදුවේ අපි දේශපාලනය හෝ ආගම ගැන කතා නොකිරීමට ප්‍රවේශම් වීමු. යම් හෙයකින් අනෙකා අදාල විෂයයට එළඹුණහොත් උනන්දුවෙන් සවන් දිනිමු. එකඟ විය හැකි යම් කරුණකදී එකඟ වූවා මිස, කිසි විටෙක විරුද්ධ මතයක් ඇද නොගත්තෙමු. එකිනෙකාගේ අදහස් කෙරෙහි අප කෙතරම් ගරු කළාද කිවහොත්, පසු කලෙකදී මා දේශපාලනය කතා කළ අතර ඈ සිල් ගැනීමට ගියාය.



එහෙත් පාසල් වියේදී මම දේශපාලනය කතා නොකළෙමි.
ආණ්ඩු ක්‍රම ගැන පාසලේදී කොතෙක් ඉගැන්වුවද, තේරෙන වයසට එනවිට රටේ ලෝකයේ දේශපාලන තත්වය පිළිබඳව මගේ දැණුම කෙමෙන් අඩු වන්නට විය. ඊට ප්‍රධාන හේතුව විජය පත්‍රයේ අතිරේක එකතු කිරීම හා රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම යන දෙකම නවතාලීම විය යුතුය. මගේ විජය බලන වයස පසු විය; මිණී දැක දැක පාසල් ගොස් ආ අප දෙස, මල් වට්ටි රැගත් දේශපාලකයෝ ප්‍රවෘත්ති හරහා ඉතා ශෝකයෙන් බලන්නට වූහ. මට ප්‍රවෘත්ති බැලීම අප්‍රිය විය.
නමුත් මුල් වරට ඡන්දය දීමට ලැබෙනවිට මට දේශපාලනය හා දේශපාලකයන් පිළිබඳව මනා අවබෝධයක් තිබිණි. බලය ලද පසු ඕනෑම කෙනෙකු හැසිරෙන්නේ එකම ආකාරයට නිසාද, මල් වට්ටියක් සමග දුටු කළ අප්‍රිය නොවිය යුතු නිසාද මම වඩාත්ම කඩවසම් අපේක්ෂකයින් තෝරා ඡන්දය දුනිමි. ඒ අනුව මුල්ම ඡන්දය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුටද, ඊලඟ ඡන්දය මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකුටද දුන්නෙමි. "දිනන පැත්තකට ඡන්දෙ දෙන" ලෙස අපේ අප්පච්චි මට එවර අවවාද කළේය. තෙවන බලවේගයක් පිළිබඳ සංකල්පය ඊට වඩා ආකර්ශණීය වූ හෙයින් මම තවත් සුළු පක්ෂ කිහිපයකට ඉන් පසු ඡන්දය දුන්නෙමි. එපමණක් නොව, එවන් පක්ෂවල ඡන්ද රැස්වීම් කිහිපයකටද ගොස් හිටගෙන අහගෙන සිටියෙමි; ස්ටිකර් එකතු කරගෙන ආවෙමි. මේ පක්ෂ දිනුවාද නැද්ද යන්න අපැහැදිලිය.



නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වෙන හෙයින් ඡන්දය දීම තව දුරටත් වැදගත් වැඩක් නොවූ කල්හිත් මම ඡන්දය දීමට මග ගෙවාගෙන ගෙදර ආවෙමි. ඒ සේවා ස්ථානයේ සිට දුර සළකා බැලූ කල්හි මට දින තුනක නිවාඩුවක් හිමි වන නිසාය. "ඡන්දෙ දෙන්ඩ යන්නෙ." යන වචනය බොරු කළ නොහැකි නිසා නිකමට මෙන් ඡන්දය දීමටද ගියෙමි. ඡන්දය දුන්නේ කාටදැයි බහුතරයක් ඡන්ද වලදී මම නොදැන සිටියෙමි.

එසේ දැන ඡන්දය දීමට මහත් උවමනාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ඇති වූයේ යුද්ධය අවසන් වූ හෙයිනි. එහෙත් ඒ ඡන්දයට මට ගෙදර යා නොහැකි විය.

74 comments:

  1. හප්පා මේක සෑහෙන්න ගැඹුරු දේශපාලන විග්‍රහයක් නෙව... පතුල හොයන්න අමාරු තරමටම...:)

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලො කතා කරන මානයට වඩා හෙණ ගැඹුරුයි ඕං. :P

      Delete
  2. හ්ම්ම මේ ලංකාවේ බහුතරයක දේශපාලන විග්‍රහය
    අපි කියා අයේ ඕකේ ඒ හැටි වෙනසක් නෑ

    පොකුටු කොණ්ඩේ හරි ලස්සනයි නොවැ, කොහෙද මේ ඉත්තෑකූරු ටික මෙච්චල් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්

    වටරවුමේ - මුදියන්සේ

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ බහුතරයක් මිනිස්සු ඔය එක දේශපාලකයෙක්වත්, පක්ෂයක්වත් විශ්වාස කරන්නෙ නැහැ.

      Delete
  3. මම කැමතිම විදි‍යක පෑනකින් ඔබ ලියන්නේ
    ( මාරයාගේ fb එක හරහා මේක දැක්කේ- ස්තූතියි මාරයා )

    ජය!

    ReplyDelete
    Replies
    1. හා හා යෝගීයා තහනම් වචනේ තහනම් වචනේ "දේසපාලනේ" :D

      Delete

  4. මෙන්න නලිනිගෙ තවත් පැත්තක් මම දැක්කා අද! ඇත්තෙනම් පුදුමයි! අනික නියම විග්‍රහයක්, ස්වයං විවේචනයක් සහ හැමදේම!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපිත් ඉඳහිට දේශපාලනේ කතා කරන්ඩ එපායැ, හැමදාම බොලඳ දේවල්ම ලිය ලිය ඉඳල හරි යන්නෙ නෑ නොවැ. :D

      Delete
  5. හා හා පුරා කියලා දේශපාලනය ගැන ලියන්න පටන් අරන්.. :)

    ඉස්කෝලේ එකවසරේ ඉන්න කාලේ තමා පාරවල් අයිනෙ කළු දුම් නගිමින් පිච්චෙන ටයර් දැක්කෙ, හරමානිස් සීයගෙ කටට වෙඩි තියලා. ශාන්ත මාමව ලා කොළපාට ලී ලයිට් කනුවකට තියලා ඇණ ගහලා, ඒවා දැක්කා.. චිමිණි ලාම්පුවත් නිවෙන නොනිවෙන ගානට අඩු කරලා රෑ කෑම කෑවෙ. ඒත් පාටක් හෝ පක්ෂයක් ගැන හරි හැටි දැනගෙන හිටියෙ නෑ..
    ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙ නිවාසාන්තර තරඟ වලට අපිව බෙදලා දාපු වෙලේ මම 'විජය' නිවාසයට තෙරුනා. 'පැරකුම්' නිවාසය නිල් පාටත්, 'ගැමුණු' නිවාසයේ පාට කහ පාටත් උනා. 'විජය' නිවාසයේ පාට රතු! ඒ පාටට තිබුණු ඇල්ම, පක්ෂපාතීත්වය මෑතක් වෙනකන්ම තිබුනා. ඉස්කෝලේ එකවසරේ ඉන්න කාලේ දැකපු දේවල් ගැන විවිධ අදහස් ඇහිලා, කියවලා තිබුනත්, ඒවා හිතින් සාධාරණීකරණය කරා, කවදාවත් වෛර කලේ නෑ. ඒත් දැන්??
    දුර්වර්ණ වූ 'පාටවල්' හැම එකකටම වෛර කරමි.෴

    ReplyDelete
    Replies
    1. පාටවල් සේරම දුර්වර්ණ වෙලා තමා. 88/89 කාලෙ දෙපැත්තම එකයි.

      ඉස්කෝලෙ නිවාසෙ පාටටත් අපි ආස කරන්න පටන් ගන්නවා නේන්නම්. මගෙ කනිෂ්ඨ හා ද්විතියික පාසල් දෙකේම නිවාස වර්ණ ලා නිල්. :D

      Delete
  6. ඔයා අනිවාර්යෙන්ම ඡන්දේ දෙන්නේ දයාසිරි ජයසේකරට හරි බන්ධුල ගුණවර්ධනට හරි නේද..? :)

    ReplyDelete
    Replies
    1. හික්. කොණ්ඩෙ දිහා බලල දිනේෂ්ට ඡන්දෙ දීපු පාර තමා අප්පච්චි කිව්වෙ දිනන පැත්තකට ඡන්දෙ දෙන්න කියලා. :D

      Delete
    2. දිනේෂ් ගේ ඡන්ද ව්‍යාපාර වල චන්දේ නැති පුංචි කාලේ ඉඳන් කකුල් ගෙවෙන කම් කැන්වසින් ගිය මට අද දිනේෂ් ඉන්න තැන දැක්කම බඩ කපාගන්න හිතෙනවා නලිනි.

      Delete
  7. අපූරුයි! මගෙත් දේශපාලන විග්‍රහ මීට ගොඩක් සමානයි ;)

    ReplyDelete
    Replies
    1. ;) මම හිතන්නෙ වැඩි දෙනෙක් අපි වගේ

      Delete
  8. මාරම ලියවිල්ලක් ආන්ටි!

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට තමයි කොමෙන්ට් මොඩරේට් කරන එකේ වාසිය ගන්න ඕන...මම හිතන්නෙ හිත හදාගන්න ඇති,, :))

      Delete
    2. :D @ ලකී: මම අර බ්‍රහ්මදත්ත රජ්ජුරුවො වගෙ ගිහි ගෙය අත්හැර යන්ඩ තීරණය කළා.

      Delete
    3. ස්තුතියි හිරුහිමාවි

      Delete
  9. ඔබේ පළමු වැකියෙන් අපේ රටේ දේශපාලනය අපුරුවට හකුළුවා පෙන්වනවා. අන්තිම වැකියෙන් කියන දේ ගැන නම් ඔබට සතුටුවිය හැකියි මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. :D ඊට පස්සෙ ඡන්දයක් දෙන්න ගියෙ වෘත්තිය සමිති සටනෙදි. ඒක වෙනමම කතාවක්... කතා සාගරයක්!

      Delete
  10. දේශපාලනයේ පාට තමන්ගෙ රුධිරයේ පාට කර නොගත්ත බහුතරයකගේ නිහඬ කතාවම තමයි ඔය..අඩු වැඩි වශයෙන් තමන්ටම අනන්‍ය වෙච්ච කරුණු කාරණා කීපයක්ම මේකට එකතු වෙලා අඩු වෙනකොට ඒක තමන්ගෙම කතාව වෙනවා..හැබැයි ඔය බහුතරයම නිහඬයි..නිසොල්මනේ ඉන්නවා. අර සුළුතරය තමයි රඟන්නෙ..ඒ නිසාම ඒ අය තමයි ලෝකයා දකින්නෙ..වෘත්තීයම කාර්‍යබහුලත්වය මැද උනත් ඔබ මේ කියවීමේ දැඩි පිපාසාවෙන් ඉන්න අපිට වීසි කරපු දිය පොදේ වටිනාකම ඔබට තේරෙන්නෙ නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. සිරාවට වෙනී භයියා!

      Delete
    2. දේශපාලනයෙ තියෙන කැත දැක්කහම එහෙම ඉන්න එක පහසුයි. අනික් අතට බහුතරයක් එහෙම නිහඬ හින්දම එකම රටාව පැවතෙනවද කියලත් හිතෙනවා.
      කැම්පස් ඇතුළෙ රැග් එක වගේ..

      Delete
  11. කිව්වට තරහ වෙන්න ඕන නැහැ . පොඩි කාලේ ඉඳන්ම චන්දෙ සහ පොකුටු කොණ්ඩේ දෙක එකතු වෙලා හැදෙන්නේ මැරයෙක් කියලයි මගේ හිතේ තිබුනේ . ගෝනවල සුනිල් අපේ පැත්තේ පන්සලක පෙරහැරේ ගියා බුදු පිළිමයක් ඔලුවේ තියන් . මිනිහගේ කොණ්ඩේ පොකුටුයි. තව අපේ පැත්තේ හිටියා ex මැරයෙක් .ඒ කියන්නේ ඉස්සර මැරකම් කලාට පස්සේ හොඳ වෙලා . එයාගේ කොණ්ඩෙත් පොකුටුයි. මේකෙන් කියන්නේ නැහැ කොණ්ඩේ පොකුටු වීම මැරකමට සුදුසු කමක් කියල . මොකද හොරපුසෙක් වත් එලෙව්වේ නැති අපේ තාත්තගේ කොණ්ඩෙත් පොකුටුයි. අපිට සාපේක්ෂව එයා සෑහෙන්න අහිංසකයි.

    මටත් ඉස්සර මගේ ආසම සමාජ අධ්‍යනය පොතේ තිබුන අවලක්ෂනම කොටස තමයි ඔය ආණ්ඩු ක්‍රම . මතක හිටින්නෙම නැහැ . ඒ වෙලාවට කට පාඩමින් වගේ ලිව්වට ඩොනමෝර් ද අරකද මේකද මතක හිටින්නෙම නැහැ .

    බලන් ගියහම මේකට කමෙන්ට් එකක් ලියන්න පෝස්ට් එකකින්වත් බැරි වෙයි. අපේ තාත්තත් සෑහෙන්න දේශපාලනය කළා . කටින් විතරයි ඉතින් . අම්ම නම් කිව්වේ බොරු කයිවාරු කියල . අපේ අම්මගේ තාත්ත රනිල් ගොය්යට කැමැත්තෙන් හිටියා මැරෙන කම්ම . රනිල් තරුණ කාලේ ගෙවල් ගාව රැස්වීමකට ඇවිත් . හැබැයි අපේ ආතා 98 දී නැති වුනා .

    අපේ පවුලේ එක එක්කෙනාගේ දේශපාලන චරිතයන් ගත්තම පොතක් වුනත් ලියන්න ඇහැකි . 77 පෙරළියේ ඉඳන් කලගෙඩි ලාම්පු සෙල්ලම , 88 89 කාලය , [ මටත් පාවෙල් කෙනෙක්ව නම් හම්බ වුනේ නැතත් කවුරු හරි මොනවා හරි පෙරලියක් කරයි කියල නම් හිතන් හිටියා . ] .

    මිනිහෙක්ගේ දේශපාලන ජිවිතේ [ මන් වගේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ ] වයසත් එක්ක සමගාමිව දියාරු වෙලා යනවා . එහෙමත් කෙනෙක් තමයි මැරෙනකම්ම අවදියෙන් ඉන්නේ . කලෙක හිටපු පරමාදර්ශී චරිත පස්සේ කාලෙක සවුත්තු වෙනවා . එකක් ඒ චරිත වයසට යාම . අනික අපි වයසට යාම . කවුද පණ්ඩිතයෙක් කිව්වලුනේ '' නියම විප්ලව වාදියා මැරිලා '' කියල .

    නලින්ගේ ලියමනෙන් පේනවා මිනිස්සු වෙනස් වෙන බව . සිල් ගත්ත අය දේශපාලනය කරන්නත් දේශපාලනය කතා කල අය සිල් ගන්නත් යන්නේ ඒක නිසයි. දේශපාලනය කියන්නේ මහා සවුත්තු මාතෘකාවක් වුනත් ලියල තියන විදිහ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. // පොඩි කාලේ ඉඳන්ම චන්දෙ සහ පොකුටු කොණ්ඩේ දෙක එකතු වෙලා හැදෙන්නේ මැරයෙක් කියලයි මගේ හිතේ තිබුනේ //

      නරකද නලිනිටත් ඡන්ද වැඩට බැස්සොත්..?? ;)

      Delete
    2. මමත් බින්දිගෙ කියමන දැක්ක ගමන් කල්පනා කරේ මම හරි රස්සාවද කරන්නෙ කියල....

      Delete
    3. it is ok. Now I know there are docs with curls..you can continue...D

      Delete
  12. හරි අපූරු විග්‍රහයක් . දේශපාලනය දෙස එක එක කාල වල ඔබ බැලූ කෝණය හරි අපූරුවට විග්‍රහ කරල තියෙනවා .
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි. කැපුවත් අහවල් පාට කියන කීපදෙනා ඇර අනික් හැමෝම තමන්ගෙ කෝණය ඒ ඒ කාල වකවානුවල වෙනස් කරගන්නවා වෙන්න ඕන.

      Delete
  13. සෑහෙන ගැබුරු දේශපාලන විග්‍රහයක් නම් තමා. හැබැයි හැමෝම නලිනි වගේ වෙනවනම් වඩාත් සතුටු වෙන්නේ මේ දේශපාලකයොමයි. මම නම් බොහෝ කලෙකට පෙර ඉතා ක්‍රියාකාරි දේශපාලන සත්වයෙක්. නමුත් දැන් දැන් මගේ ඒ ගැන තිබෙන ඇල්ම නලිනිට දෙවනි නැහැ.

    ReplyDelete
    Replies
    1. එක්තරා වයසකදි හැම කෙනෙක්ම වගේ "අයිඩියල්" ලෝකයක් ගැන සිහින මවනවා; ඉනුත් සුළු පිරිසක් එහෙම දෙයක් වෙනුවෙන් කැප වෙලා බැහැගෙන වැඩ කරනවා.
      වැඩි දෙනෙක්ට හති වැටෙනවා. එහෙම නැත්නම් ඊට වඩා වැදගත් දේවල් ජීවිතේට එක් වෙනවා.

      Delete
  14. මට නම් දේශපාලනය නීරසයි..... කොයි එකත් එකයි කියලා තමයි හිතෙන්නෙ... ප්‍ර‍තිපත්ති ගරුක මහත්මා දේශපාලනය තිබ්බෙ ඉස්සර නොවැ... දැන් ඉන්නෙ මංකොල්ලකාරයො/නිධන් හොරු/ස්ත්‍රී දූෂකයො/බාර් හිමියො/ ලයිසන් චණ්ඩි

    ReplyDelete
    Replies
    1. බලය ලැබුණහම හැම කෙනෙක්ම එකයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි

      Delete
  15. උඩ රැවුල තියෙන අයට ආස නැතෙයි....

    ReplyDelete
  16. හැම වචනයකටම වටිනාකමක් එකතු කරලා, හැම වචනයකටම ව්‍යංගාර්ථයක් එකතු කරලා ලියන්න පුලුවන් වෙලා තියෙන්නෙ කොන්ඩේ බොකුටු හින්ද ම වෙන්නැති.

    මේ වගේ ලිපි කවදාවත් පරණ වෙන්නැ. මේ ලිපියේ වඩාත්ම සිත් ගත් වාක්‍ය වුනේ "මගේද කොණ්ඩය පොකුටු වූයෙන් මම සිතින් ඔවුන්ට පක්ෂ වූයෙමි." කියන වාක්‍යය.

    ඔය වගේ තීරණ මමත් එමට අරගෙන තියෙනවා. මෙදා පාර ඔලිම්පික් තරගෙ බලද්දිත් ලංකාවේ නියෝජනක් තිබුනෙ නැති නිසා වඩාත් සජීවි විදිහට තරග නරඔන්න ක්‍රීඩකයෙක් හෝ ක්‍රිඩා කණ්ඩායමක් තෝරා ගත්න පාවිච්චි කලේ ඔය ක්‍රමවේදයම තමා.:)

    ReplyDelete
    Replies
    1. මටත් උඩු රැවුල තියෙන හින්දා මන්....

      Delete
    2. ///ඔය වගේ තීරණ මමත් එමට අරගෙන තියෙනවා. මෙදා පාර ඔලිම්පික් තරගෙ බලද්දිත් ලංකාවේ නියෝජනක් තිබුනෙ නැති නිසා වඩාත් සජීවි විදිහට තරග නරඔන්න ක්‍රීඩකයෙක් හෝ ක්‍රිඩා කණ්ඩායමක් තෝරා ගත්න පාවිච්චි කලේ ඔය ක්‍රමවේදයම තමා.:)///

      ඒ ක්‍රමවේදයේ කොයි හරියටද ගෑනු බීච් වොලිබෝල් සෙට් උනේ..?

      Delete
    3. ඕඕ, මටත් වරක් දෙකක් ඔය වගෙ වැඩ වෙලා තියෙනවා. ටෙනිස් තරගයක් නැරඹීමට "සිද්ද වුණා". මම ක්‍රීඩකයින් ගැන නොදන්න හින්ද, කොණ්ඩෙ කර්ල් කෙනා බලල තීරණය කළා මම කවුරු දිනනවටද කැමති කියල. :D

      @වෙනි: අහ්ම් අහ්ම්. :P ප්‍රභාකරන්ටද පක්ෂ?

      Delete
    4. බීටල්, උඔට සෙට් වුනු හරියට ම තමා :P

      Delete
  17. ඔයාගෙ කතා හෑම එකක්ම මම මුල ඉදන්ම කියෙව්වා.එත් අද තමයි comment කරන්නෙ පලවෙනි වතාවට.දොස්තර නෝනා ලියන කළාවට මම ගොඩාක් ආසයි.මට පොඩි කාළෙ කියවපු පොත් මතක් වෙනවා.මේවා කියවද්දිත් මාව අතිතයට යනවා.

    ReplyDelete
  18. කොන්ඩෙ පොකුටු නිසා පොකුටු බණ්ඩට ඡන්දෙ දෙන එක තමයි හැමෝම කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. අහ්, ලකීගෙත් කොණ්ඩෙ පොකුටුයි නෙව. ඒත් උඩු රැවුලත් තියෙනව නේද??

      Delete
  19. ජීවිතය අනිත්‍යයයි...

    නොදැන නොහිතා කනාෂොට් ගැසීමට අවස්ථාව ලද නමුත් සිතා බලා උවමනාවෙන් ගසන්නට හිටි ෂොට් එකට වැට කඩොළු බැදිනි...

    ReplyDelete
  20. ඔය තුන්වෙනි බලවේගයකට පක්ෂ වීම මං හිතන්නේ තරුණකම නිසාම එන එකක් වෙන්න ඕන! ක්‍රිකට් තරඟයකදී උනත් බලවත් රටවලට එරෙහිව සුලු රටවලට චපෝට් කරන්නෙත් ඔය සිතුවිලි නිසාම වෙන්න ඕන! මටත් දැන් ඡ්න්ද බලේ හම්බෙලා අවුරුදු කිපයක් වෙනවා.හැබැයි තවම එකදු ඡ්න්දෙකටවත් ලංකාවේ ඉන්න උනේ නෑ! කතාව උපරිමයටම රස වින්ඳා

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන. මොකද අර මම ගිය ඡන්ද රැස්වීම් කීපයෙත් වැඩියෙන්ම හිටියෙ තරුණ වයසෙ අය.
      ඒ හැර, ප්‍රධාන පක්ෂ දෙක කතා කරන අන්ත දෙකට නොයා වෙනස්ම මාවතක් පෙන්වන හින්දත් වෙන්න ඇති.

      Delete
  21. Replies
    1. ස්තුතියි දිනේෂ් මල්ලි

      Delete
  22. මගේ දැන් මලකඩකාල තියෙන බ්ලොගේ මුලින්ම මම ලිව්ව මම දේශපාලනෙයි ආගමයි කතාකරන්නෙ නැතිය කියල... එක හින්ද ඕනැම නෑ...

    මමත් ලංකාවෙ ඉද්දි සැරයක් දෙකක් චන්දෙ දීල තියෙනව... මට චන්දෙ දාන එක හෙන අමාරු වැඩක්... ඒක වෙන්නෙ මෙහෙමයි... මගෙ නමේ තියෙනව පොඩි නුහුරු ගතියක්.. ඉතින් මුලින්ම චන්දෙ ලියාපදිංචි කරද්දි නාකි ග්‍රාමසේවක උන්නැහැ දෙකක් දාගෙන ඉන්න වෙලාවකද කොහෙද මගෙ මුල නමේ අග අකුර "ගා" යන්න වෙනුවට "නා" යන්න තමයි ලියාගෙන තියෙන්නෙ... ඊට පස්සෙ වරද්දල ලියාගත්ත නමට ගැලපෙන හැටියට උන්දැම ලිංග බේදෙත් වෙනස් කරල ඉස්ත්‍රී කියල තමා ඕං රෙජිස්ටර් කරල තියෙන්නෙ... ඉතින් චන්දෙ දාන සැරයක් ගානෙ දිවුරුම් පෙත්සම් දෙන්න ඕනැ චන්ද පොලේදි මම ඉස්ත්‍රියාවක් නොවේය කියල.... ඕං වැඩේ..

    ReplyDelete
    Replies
    1. සපා, ඒක "චොකලට්" කියල වෙනස් වෙන්න ඕන නේද එතන? :D

      බ්ලොග් එකේ මලකඩ කඩමු නේද?

      Delete
  23. කාලරේඛා ඔස්සේ ගෙනගිය මේ දේශපාලන විග්‍රහය අපූරුයි.

    මෙතෙක් කාලයකට චන්දය දී තියෙන්නේ දෙවරක්, එයත් දිනවීමට වඩා පරාජය කරවන්න දුන් චන්ද කියන්න පුලුවන්. කොහොමත් චන්දය දෙන අය දිනනේ නැහැ නොවැ.

    ReplyDelete
  24. කිහිප පාරක් කියෙව්වත් මට මොකුත් කියන්න ඉතුරු වුනේ නෑ.
    සමහරවිට මම දේශපාලණය වගේ දේවල් එක්ක සමානකම්, හිතවත්කම් එහෙමත් නැත්නම් අර ඒ කාලේ කලා කියලා කියන දේවල් වලින් පිට දේසපාලන කියවීමක් කරන්න ආස හින්දා වෙන්නැති.
    ඒ වුනාට ලංකාව වගේ රටක නම් පොකුටු බන්ඩේ වගෙ අයට චන්දේ දෙන එක තමයි කරන්න ඕනේ. හි හි...

    ReplyDelete
  25. මගේ ඡන්දයක් මම තවදේමකටවාත් දීලා නැ.ගිහින් අවලංගු කරලා දානවා.ප්‍රතිපත්තිමය දේශපාලනයක් අද නැහැ.ජානතා නියෝජන මුවාවෙන් තමන් තර වෙන එක තමයි කරන්නේ.මිනිස්සු මමත්වයෙන් පිරිලා.ගම , රට යනු ඔවුන්ට තැකිමක් නැ.ඔවුන් බලන්නේ හැම ‍දේම තමන්ගේ වාසියට කර ගන්න.රටකට ශක්තිමත් විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි.එත් රටේ අවාසනාවට අද අපට තියෙන්නෙ පිස්සු බල්ලො වගේ කෑ ගහන කථා විතරයි.

    ReplyDelete
  26. http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  27. ඒකනේ අපිට ඕනේ රාජාණ්ඩු ක්‍රමයක් .අපේක්ෂකයගේ මූණ බලන්න ඕනත් නෑ චන්ද ඕනත් නෑ .හලී සරලයි

    ReplyDelete
  28. ඇත්තම කියනවනම් මෙන්න මේක ලාංකීය දේසපාලනේ තවත් පැතිකඩක්.

    මේ තව උදාහරන කීපයක්:

    1. අපේ තාත්තා කෙනෙක්ට චන්දේ දෙන නිසා අපි එයාට දෙන්න ඕන.
    2. එහා ගෙදර උන් එක්ක අපි තරහයි උන් දෙන්නේ අලියට ඒ නිසා අපි දෙනවා පුටුවට
    3. අනේ එයා ලස්සනට සින්ග් කරනවා - එහෙම කරන්න පුලුවන් සංවේදී අයට විතරයි. මගේ චන්දේ එයාට.
    4. උන් දිනපු වෙලාවේ එහා ගෙදරට ගල් ගහපුව වැදිලා අපේ ගෙදරත් උලු කැඩුනා ඒක නිසා අපි දෙන්නේ අනිත් පැත්තට.
    5. මේ පක්ෂේ අය තමා අපේ කක්කුස්සිය හදන්න ටකරං දුන්නේ ඒ නිසා අපේ චන්දේ එයාලට.

    :D :D :D

    ReplyDelete
  29. ඉතාම ඉහළ ගණයේ විග්‍රහයක්.
    කමෙන්ට් කලේ අද වුනාට මම ඔබේ කතා ඔක්කොම කියවනවා.

    ReplyDelete
  30. බොහොම වටිනා අඩවියක්නේ ... අදමයි මං ආවේ. ඔන්න දැන් දිගටම එනවා.
    ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  31. අනේ...මම හිතුවෙ මෙච්චර ලොකු වෙලත් තමන්ගෙ රටේ දේශපාලනය ගැන බොහොම අඩු දැනුමක් තියෙන කෙනා මම විතරක්ය කියලයි..මාත් නාලිනී අක්කා වාගෙම තමයි..දේශපාලනේ කියන්නෙ මම ආසම නැති විශයක්...මට ඉතිහාසය පෙන්නන්න බැරි ඔය අණ්ඩුක්‍රම ව්‍යවස්තා..අර වගන්ති මේ වගන්ති නම් ලැයිස්තු පාඩං කරන්න තියෙන නිසාමයි..ඔය වර්ෂනං එකක්වත් පාඩන් නෑ මට..ටාවුරුදු 24ක් වෙලත් තාම එක පාරක්වත් චන්දෙ දාලා නෑ මම...ඒ ගැන කිසිම දුකකුත් නෑ.. අදටත් මට පක්ශෙකුත් නෑ... හැබැයි බලාගෙන ඉද්දි හිතෙනවා ඔය කොයි එකත් එකයි කියලනං... :D

    ReplyDelete
  32. අරුනුත් එකයි, මුනුත් එකයි, ඔය අනිත් එවුනුත් එකයි!

    ReplyDelete
  33. දන්නවනේ. මට නම් ඔය පොලිටික්ස් මාර බෝරිං මෙයා. :)

    ReplyDelete