Friday, June 21, 2013

රක්ෂණේ

රංගියි සුරංගයි සේවය කරන්නෙ එකම තැන. සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක් වගේ ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගෙන, ගෙයක් දොරක්, ඉඩමක් කඩමක්, වාහනයක් කරත්තයක්... ඔය ආදී වශයෙන්. ගත්තු ණය ගෙවන්ඩත් එපෑ. ඒ හින්දා දිවා රාත්‍රී සේවය. ආණ්ඩුවෙ රාජකාරියෙන් පස්සෙ පෞද්ගලිකව.
අනාගතය ගැන හිතන රංගි, සුරංගගෙ නමට රක්ෂණයක් අරගෙන, තමන්ම ඒකෙ වාරික ගෙවනවා. නැතුව, සුරංග ඒක කරනකං බලං හිටියොත් දවසක අනාථ වෙන්නෙ තමන් නිසා. රක්ෂණ නියෝජිතයා තමන්ව රැවටීමකට ලක් කරලද කියලා රංගිට සාධාරන සැකයක් ඇති වෙන්නෙ ඔය අතරෙ. ඉතින් සේවා ස්ථානයෙ විවේක වෙලාවෙ, රක්ෂණ නියෝජිතයව ගෙන්නලා, රංගි ප්‍රශ්න කරනවා. කලින් දවසෙ අමතර රාත්‍රී මුරයක් කළ සුරංග, ලැබුණු විවේකයෙදි, මේසෙ උඩ ඔළුව ගහගෙන නිදි.

"මොකද්ද අනේ ඕගොල්ලො රක්ෂණේ ඇඟේ ගහනකං කියන විදිහ නෙවෙයිනෙ ආපහු ගන්න ගිහාම." රංගි, රක්ෂණ නියෝජිත ලාල්ට කෙළින්ම අභියෝග කරනවා.

"ඇයි දැං මොකක්ද ප්‍රශ්නෙ? ඔයා තවම වන්දි ගන්න ගියෙ නෑනෙ?"

"වන්දි ගැනිල්ල තමයි ප්‍රශ්නෙ. දැන් මම දැම්ම එක මොකක්ද, ජීවිත රක්ෂණයක් නේද?"

"ඔව්. ඔයා දැම්ම එක කියන්නෙ, සුරංගගෙ නමට තියන එක." ලාල් පැහැදිලිව වචනයෙන් වචනය ප්‍රකාශ කරන්නෙ, ආයෙ පස්සෙ වැරද්දක් නොකියන්නට වගේ.

"ඉතින් එතකොට, මෙයා," රංගි, නිදාගෙන ඉන්න සුරංගව පෙන්නනවා. "මෙයා මැරුණහම, මට වන්දිය කීයක් හම්බෙනවද?"

"ඒක තීරණය වෙන්නෙ මොකක් හින්දද මැරෙන්නෙ කියන එක මත." ලාල් කියනවා.

"අන්න ඒක තමා ප්‍රශ්නෙ!" මාතෘකාව රංගිට ඕන ඉසව්වට ඇවිත්. "මට මුළින් රක්ෂණ ඔප්පුව ගන්නකොට කිව්ව වන්දිය හම්බෙන්නෙ, මොකක් හින්දා මැරුණහමද?"

"අසාමාන්‍ය මරණයක්නම්."

"ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ. මොනවද ඔයගොල්ලො කියන ඔය අසාමාන්‍ය මරණ?"

"ඒ කියන්නෙ හදිසි අනතුරක් එහෙම වෙලා..."

"එතකොට ලෙඩ වෙලා මැරුණොත්?"

"ඒක සාමාන්‍ය මරණයක්!"

"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ?"

"ඒක ඉතින් එහෙම තමා!" ලාලුත් අරින්නෙ නැහැ.

"දැන් එතකොට මට කියන්නකො." රංගි හරියටම පැහැදිලි කර ගන්නවා, "මෙයා," (සුරංගව පෙන්වමින්), "මෙයා වාහනේ හැප්පිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"

"මෙච්චරයි." ලාල් ලොකු ගානක් කියනවා.

"මෙයා, " (නැවතත් සුරංගව පෙන්වමින්), "හෘදයාබාධයක් හැදිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"

"අච්චරයි. ඒක සාමාන්‍ය මරණයක්නෙ." ලාල් සැහැල්ලුවෙන් අඩු ගානක් කියනවා.

"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ? ඇයි අනේ, වාහනේනං පරිස්සමට ගිහෑකි. ලෙඩවලින්නෙ බේරෙන්න අමාරු. දැන් තරුණ වයසෙ අයට කොච්චර පිළිකා හැදෙනවද? හෘදයාබාධ හැදෙනවද? ඉතින් ඒවා කොහොමද සාමාන්‍ය මරණ වෙන්නෙ?"

"ඒ ඉතින් ඕගොල්ලොන්ගෙ අර්ථ දැක්වීම. මේ අපේ අර්ථ දැක්වීම." ලාල්ට ගානක්වත් නෑ.

"එහෙනං ඉතින් වෙන කරන්න දෙයක් නෑ." රංගි තනියම කල්පනා කර කර කියවනවා. "මෙයාට හෘදයාබාධයක් එහෙම හැදුණොත්, පඩිපෙළක් ළඟට ගෙනිහින් පහළට තල්ලු කරන්න තමා තියෙන්නෙ!"

"අන්න එහෙම කරානං හරි." ලාලුත් සම්පූර්ණ සහයෝගය දෙනවා අදහසට. "එතකොට අර අසාමාන්‍ය මරණ ගොඩට අහු වෙන්නෙ.."


මේසෙට ඔලුව ගහගෙන හිටියට, සුරංග නිදිම නැහැ. ටිකක් ඔලුව උස්සලා, හිනා වෙනවා. ලාල් ඒ හිනාවට බය වෙලා පාදයක් පසුපසට ගෙන ප්‍රවේශමෙන් මුහුණ දුන්නට, රංගිටනම් ගානක් නැහැ.

"කොහොමත් එහෙම කළහම මට දෙපැත්තකින් වාසියි." රංගි හිනා වෙවී කියනවා. "රක්ෂණ වන්දියත් හම්බෙනවා; දැන් වාරික ගෙවන්නෙත් මමමනෙ, මෙයාගෙ නමට රක්ෂණේ තිබුණට; ඒකත් ඉතුරුයි!"

"අපි තව රක්ෂණයක් දාමු." ලාල් යාප්පුවෙන් රංගිට කියනවා. "ඔයාගෙ නමට."

"නෑ, නෑ, ඕන නෑ." රංගි විරුද්ධයි.

"නෑ දැන් ඔය දාලා තියන එක බොහොම ප්‍රාථමික රක්ෂණයක්නෙ. වෙන වර්ග තියනවා, හදිසියෙ මැරුණොත් එහෙම, එයා අරන් තියන ණය, රක්ෂණ සමාගමෙන් ගෙවනවා..."

ඉතින් රංගි ආයෙම රක්ෂණ නියෝජිතයට අහු වෙනවා. සුරංග ඔලුව ගහගෙන නිදියනවා.


හවස් වෙලා. ආයෙම පොඩි විවේකයක්.
සුරංග ඔලුව මේසෙ ගහගෙන නිදි. රංගි අත ඔලුවෙ ගහගෙන බර කල්පනාවක.

"මොකද රංගි?" සෞ‍ම්‍යා අහනවා.

"නෑ අනේ, මං මේ කල්පනා කරන්නෙ, මගෙ මල් පැල වලට මුකුන්ද කෘමි සත්තු වගයක් බෝ වෙලා. කොළ සේරම කනවා. දුකේ බෑ..."

"අපෝ, ඕකද? මං හිතුවෙ වැඩකාර නෝනා ගෙදර ගිහින් වගෙ බරපතල ප්‍රශ්නයක් කියලා."

"වැඩකාර නෝනනං එහෙම ලේසියෙන් යන්නෙ නෑ අනේ, මං එයාලට වඳින ගාතාව දන්නවනෙ. මට මේ මල් පැල ටික බේරගන්න විදිහක් නැතුව."

"ඕවට ගහන්න බෙහෙත් තියනවා නේද? අර ජයසුන්දර දන්නවා."

"ඒක තමා ප්‍රශ්නෙ. මම බෙහෙත් වගයක් අරගෙනත් ගියා. අපි දෙන්නා ගෙදර ඉන්නෙ ඉරිදට විතරයිනෙ අනේ. එදාට තමා බෙහෙත් ගහන්න හිටියෙ."

"ඇයි, දැන් එදාට වෙන වැඩක් වැටිලද?"

"නෑ අප්පා, මේ පෝය වැටිලනෙ ගානට ඉරිදටම. ඉතින් මේ බෙහෙත් ගහන්න විදිහක් නැතුව ඉන්නෙ. ඊලඟ ඉරිදා වෙනකං පැළ ටික තියෙන එකක් නෑ."

"අය්යො, ඕකත් මහ දෙයක්ද? ඔයා ඔන්නොහෙ පෝය වෙන දවසකට ගන්න. ඉරිදට පැළවලට බෙහෙත් ගහල දාන්න." සෞම්‍යා විශේෂඥ උපදෙස් දෙනවා.

"එහෙම පුළුවන්ද?"

"මොකද බැරුව? සිල් ටික ගන්නව සෙනසුරාදට. බෙහෙත් ටික ගහනව ඉරිදට. කොහොමත් වැඩ හින්දා ඔලුව උස්සන්ඩ බැරුව ඉද්දි සිල් රකින්ඩත් ලේසිනෙ."


මෙච්චර වෙලා ඔලුව ගහගෙන හිටිය සුරංග ඔන්න අවදි වෙලා.
"ඒක ලේසි වෙන්නෙ නෑ. මෙයාලගෙ අම්මා කීයටවත් පෝය කල් දාන්න දෙන්නෙ නෑ. ඔයා කියන්නෙ, හැමදාම භාවනා කරනවා!"

"අනේ යන්න අනේ." රංගිට හිත අමාරු වෙලා. "ඔය කිව්වට බෑනත් අපෙ අම්මටමයි හරි යන්නෙ. අර ගිය සතියෙ කරගෙන ආව වැඩේ මතකනෙ?"

"මොකක්ද අනේ?" සෞම්‍යා අහනවා.

"සුරංග ඉතින් ඕන කෙනෙක් කියන දේකට ඔලුව වනන හින්දා, මම වැඩිය මෙයාව පාරට යවන්නෙ නෑ. ගිය සතියෙ දවසක මෙයාව යවන්න වුණා හන්දියෙ කඩේට. හන්දිය කිව්වට මහ දුරකුත් නෙවෙයි.."

"මහ දුරක් නොවෙන්නෙ මොකද? කිලෝ මීටර් බාගයක් විතර යන්න ඕන, වංගු වංගු පාරක, පාළු ඉඩමක් එහෙමත් පහු කරගෙන. මෙයා ඔය කෑ ගැහුවට, ඔය පාළු ඉඩම ළඟින් යන්න බයයි." සුරංග විත්තිකරු විදිහට සාක්කි දෙනවා.

"හරි ඉතින් ඉන්නකො කියන්න." රංගි නැවතත් පැමිණිල්ල ඉදිරිපත් කරනවා. "ඔය පාළු ඉඩම ළඟින් යන්න, ඕන කෙනෙක් බයයි. මං විතරක් නෙවෙයි. ගෙවල් ළඟ සමිතියෙන්, ඔය ඉඩමෙ මුල්ලෙ බුදු පිළිමයක් හදන්න ලෑස්ති කරලා."

"පාළු කපන්නද?"

"පාළු කපන්න හරි, බය නැති කරන්න හරි..." රංගි කතාව කියාගෙන යන්න හදන්නෙ. ඒත් සුරංග මැදින් පනිනවා.
"ආය අමුතුවෙන් බුදු පිළිමයක් නොතිබ්බට, ඒ පැත්තෙ ගෑණු ඔතනින් යන්නෙ ඉතිපිසෝ කිය කිය තමයි."

"ඉතිපිසෝ කිය කිය තමා මම හිටියෙ, මෙයා ගියාට පස්සෙ." රංගි නැවතත් කතාව හරි පාරට ගේනවා. "මොකද, ඔය බුදු පිළිම තිවිල්ලට ආධාර එකතු කර කර සමිතියෙ කට්ටිය කැරකෙනවා. මෙයා ඉතින් මෝරා කරගන්න ලේසිනෙ."

"ආ, මෙයා ඒකට ලොකු ආධාරයක් කරයි කියලද පරිස්සම් කරේ?" සෞම්‍යත් පොහොර දාලා කතාව අහ ගන්නයි වෑයම.

"ආධාරයක් කියන්නෙ, මෙයාගෙ හැටි දන්න හින්දා, මං බයේ හිටියෙ බුදු පිළිමෙම දෙන්න පොරොන්දු වෙලා එයි කියලා. තනියම පාරට අරින්නෙ නැතුව හිටියෙ සුමානයක් දෙකක්.."

සුරංගට හොර හිනාවක් යයි.

"හිනාවෙ හැටියට," සෞම්‍යා අනුමාන කරයි." අහන්න දෙයක් නෑ, එළියට දැම්ම දවසෙ බුදු පිළිමෙ පොරොන්දු වෙලා එන්න ඇත්තෙ."

"බුදු පිළිමෙ විතරක්නම් මදෑ අනේ, සැරියුත් මුගලනුත් දෙන්න පොරොන්දු වෙලා ඇවිත්!"


"එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, රංගි." සෞම්‍යා සියලු කරුණු සළකා බලා,  ජූරියේ තීරණය දෙනවා. "ඔයා ඔය මල් පැල අනිත්‍යයි කියල හිතාගෙන, අර ගෙනාව මැහි තෙල් ටික බීලා දාන්න."

"මේ, මේ, මේ." මෙච්චර වෙලා සන්සුන්ව හිටපු සුරංග හිටි ගමන් කලබල වෙලා. "ඕන මැහි තෙලක් බොන්න, ඔයාගෙ අද පුරවපු රක්ෂණේ ඔප්පුව එනකං ඉඳල!"

49 comments:

  1. මමත් ඔය රක්ෂණේක තමා ජොබ් එක කරන්නෙ..හැබැයි රක්ෂණ ඔප්පු විකුණන්නෙ නම් නෑ.....වෛද්‍ය ප්‍රාරක්ෂණ කටයුතු කරන්නෙ....අපේ රටේ මිනිස්සුන්ට ජීවිත රක්ෂණ ගැන තියෙන දැනුම හරිම අඩුයි...ඉතින් නියෝජිතයා කියන දේ අහල ඒ විදියටම කරනවා...මේ කියන්නෙ ඇත්තද බොරුද කියල නිකමටවත් හොයල බලන්නෙ නෑ...රක්ෂණ වල කොන්දේසි ගැන දැන ගන්නෙ Claim එකක් ගන්න ගියාම...එතකොට තරු පෙනිලා රක්ෂණ ආයතනයට බැන බැන යනවා... හැම නියෝජිතයම එක වගේ නෑ...ජීවිත රක්ෂණය කියන්නෙ මොකද්ද කියලා ලඟදීම පෝස්ට් එකක් දානවා...

    ReplyDelete
    Replies
    1. එහෙම පෝස්ට් එකක් දානවනං ගොඩක් වටිනවා , අහිංසක මිනිසුන්ව රවට්ටන එක තමයි එයාල කරන්නේ , සල්ලි තියන අයත් එක්ක ගරනගනුදෙනු නං එයාල හරියට කරනවා , ඔය පොඩි පොඩි ඉන්ෂුවරන්ස් නං තනිකරම රැවටීමක්

      Delete
    2. මාත් එක පාරක් රක්ෂණ නියෝජිතයෙක් වෙන්න ගිහින් අන්තිමට පුහුණුවත් නිම කරලා ෆීල්ඩ් එකටත් දවසක් දෙකක් බැහැලා ආයේ ඇවිත් ෆීල්ඩ් එකේදී මිනිස්සුන්ට එන ප්‍රශ්න ගැන පැහැදිලි කර ගැනීමට ගියාම තමා තේරුනේ රක්ෂණ කාරයෙක් වෙනවා කියන අපාගත වෙන්න නියම පොටක් කියලා.. අනේ මං අහක් උනා සුටුස් ගාලා... කොහොමත් ඉතිං ඕකත් අර ලොතරැයියික් ගන්නවට වඩා වෙනස් නැහැ.. මොකද ලොතරැයි ගන්න හැමෝටම දිනුං නැහැ වගේ රක්ෂණ ගන්න හැමෝටම වන්දිත් නැහැ... ඕනම වන්දියකට නීතියට අනුවම රිංගන්න නියම හිල් රක්ෂණ ක්ෂේත්‍රයේ තියෙනවා... හැම රක්ෂණ නියෝජිතයම පටන් ගන්නේ අනිත් උන් බොරු කාරයෝ කියන තැනින්.. හරියට අර මේසන් බාස් කෙනෙක් බාගෙට වැඩක් කරලා ගියාම දෙවැනියට එන මේසන් බාස් කතාව පටන් ගන්න තැනින් වගේ... :D

      මුලින්ම රක්ෂණ නියෝජිතයින්ට වාරිකවලින් එන කමිෂන් එක ගැන බැළුවම විතරක් තේරුං ගතෑකි මේ සල්ලි ගන්නේ ආයේ දෙන්නනං නෙවෙයි කියන එක.. ඇයි දෙයියනේ ඇතුලේ පඩි නඩි කමිෂන් ගෙව්වම ඔය ගන්න වාරික වලින් තව වන්දි ගෙවන්න කීයද ඉතිරි වෙන්නේ... එයිට හොදා එක්කෝ ලොතරැයි ගන්නවා... නැත්තං අස්සයින්ට ඔට්ටු තියනවා... එහෙම නැත්තං ගෙවන්න හරි ඉඩමක් ගන්නවා.. කවදා හරි අඩුම ගානේ ඉඩං කෑල්ලවත් තියෙයි...

      Delete
    3. නොගෙන බැරි හින්දා වාහන රක්ෂණයක් ගන්නවා මිස, වෙන එකක්නම් ගන්න හිතක් නෑ මගෙත්.

      Delete
    4. මේ තියෙන්නෙ නියමෙට...රක්ෂණය ගැන ලංකාවෙ බහුතරයකගෙ තියෙන අදහස තමා මේ...මේ වගේ ප්‍රතිරූපයක් හැදෙන්න කෙලින්ම බලපාන්නෙ නියෝජිතයාගෙ කියුම් කෙරුම්......සමහර නියෝජිතයන්ගෙ ක්‍රියාකාරකම් හින්ද මුළු රක්ෂණ ක්ෂේත්‍රයම සවුත්තු වෙලා තියෙන්නෙ.... මාරයියාගෙ කතාව හරි..විකිනුම් වැඩි කරගන්න නියෝජිතයො නොයෙක් දේවල් කරන්න ගන්නවා..ඒ මදිවට අලුතෙන් වැඩට එන අයටත් ඒව පුරුදු කරනවා...ඒ කරන ඒවාට යන්න වෙනම අපායක් හදන්න වෙනවා...නියෝජිතයන්ගෙ ක්‍රියා හින්දා සමාගම් වලට වෙන හානිය දැන් සමහර සමාගම් තේරුම් අරගෙන තියෙන්නෙ...ඒ නිසා ඔවුන් පාරිභෝගිකයාට කෙලින්ම කතා කරල තොරතුරු තහවුරු කරගන්නව..මම නම් Client ට Call කරලා තොරතුරු තහවුරු කරගන්නව..එතකොට Agent බොරු කියල තිබුනොත් අහුවෙනවා...ඒත් රක්ෂණය නෙමේ කියන්නෙ මොකද්ද කියල හරියට දැනගත්තොත් මේ අදහස් වෙනස් වෙන එක නම් ෂුවර්.... මගෙ පෝස්ටු බැලුවොත් පැහැදිලි වෙයි...

      Delete
    5. ඒ පෝස්ටුවත් කියෙව්වා.. ඒත් තවම අදහස වෙනස් උනේ නැහැ නෙව මගෙනං.. මං මේ බලං ඉන්නේ ඉතිරි ලිපි ටිකත් ආවට පස්සේ අහන්න තියෙන ප්‍රශ්න ටික අහන්න කියලා...

      Delete
  2. ජීවිත රක්ෂණය යනු කුමක්ද -2????

    http://insuarnce.blogspot.com/2013/06/2_22.html

    ReplyDelete
    Replies
    1. ජීවිත රක්ෂණ කියන්නෙ මිනිස්සු බය කරල සල්ලි කඩාගන්න නූල් සූත්තරයක්... ;)

      Delete
    2. සරලම පැහැදිලි කිරීම... :D

      Delete
    3. මිනිස්සුන්ගෙ නොදන්න කම හින්දා තමයි බයවෙන්නෙ..මේකට උත්තරේ මගෙ පෝස්ටුවෙ තියෙනව.....

      Delete
    4. රක්ෂණ කාරයෙක් හැමදාම ඇවිත් මට වැඩ කරනවා ජිවිත රක්ෂණයක් ගන්න කියලා. මල ඇනයක් හැම සුමානෙම එනවා ඔෆිස් එකට. අන්තිමේදී මම මෙහෙම් කිවා
      " හොඳයි මම ඔයා කියන ගානට රක්ෂණයක් ගන්නම්, හැබැයි ඔයා මට සහතික වෙන්න ඕන මම මැරෙන්නේ නැහැ කියලා. එහෙම බැරිනම් අපහු මේ පැත්තෙවත් එන්න එපා"

      ඌ එයින් පස්සේ ආවේ නැහැ. :D

      Delete
  3. හෙ හෙ...:)) කසාදෙ උනත් බිස්නස් එකක් කියලා දැනගෙන කරන එක....ඒක නොදැනගෙන කරනවට වඩා හොදයි නේ...

    ඒක් නේමේ....අර වැඩ කාර නෝනාට වදින ගථාව පොඩ්ඩක් අහලා බලලා කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අහ්, ඒක බොහොම වැදගත් ගාථාවක්නෙ. හොයල බලල කියන්නම්. ;)

      Delete
  4. අනිති ජීවිතයේ නිති මරණය (බය) මාකට් කිරීම.

    සෞඛ්‍ය රක්ෂණ (health insurance) ක්‍රමයක් පවතින වෙළෙඳ පොළක තත්වය මීට වඩා බයංකරයි.

    අසල්වැසි ඉන්දියාවේ ජීවිත රක්ෂණ සහතිකය ජන ජීවිතයේ කොටසක්. ඔවුන් දරුවෙකු උපන් මොහොත දී ලබාගන්න ප්‍රමුඛ දෙයක් රක්ෂණ සහතිකය දරුවාගේ අධ්‍යාපන වකවානුවේදී හොඳට ප්‍රයෝජනයට ගන්නවා, ඒ වගේම දෑවැදි ප්‍රධාන අංගයක් වූ ඒ සමාජයේ දීග දෙන කාලයේ ඉදිරිපත් කරන ප්‍රධාන වත්කමක් රක්ෂණ ඔප්පුව.

    අපේ රටේ රබර් සෙරෙප්පු බාටා, ජල නල නම් ස්ලෝන් විදියට නම පාවිච්චි කරනවා වගේ ඔවුන් මංගල යෝජනාවල දී පවා LIC (life insurance certificate) හැටියට කියන අවස්තා පොදුයි.

    ReplyDelete
    Replies
    1. නොදැන සිටි විස්තරයක්, ඉන්දියාව ගැන.

      Delete
  5. හපෝ රක්ෂණ. . වාහන රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ ගැන නම් ටිකක් දන්නව.. ජීවිත රක්ෂණ ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ.. ගොඩක් රක්ෂණ නියෝජිතයොවත් ඕවා හරියට දන්නවා වගේ පේන්නෙත් නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. ඕඕ, මටත් පේන්නෙ මිනිස්සුන්ව රවට්ටන්න එන පිරිසක් වගේම තමා.

      Delete
  6. මං නං රක්ෂණ නියෝජිතයෙක් මූණට හමුවුණත් ඔරවගෙන යන්නේ. යන්තං හිනා වුණොත් ආයේ ගැලවිල්ලක් නෑ ඇණයක්ම වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවගෙ අනික් ජාතිය, ක්‍රෙඩිට් කාඩ් විකුණන්න එන අය

      Delete
  7. හෙක් හෙක් :D නියමයි.

    ReplyDelete
  8. අපොයි මෙහෙත් ආවනේ රක්ෂණ ආන්ටි කෙනෙක්, හරි අමාරුවෙන් ගැලවුනේ... ගොඩක් අය එයා එනකොට දුවනවා හැංගෙන්න. කොහොම හරි රක්ෂණයක් ඇඟේ ගහන්න බලන්නේ. ඒක ඉතින් එයාගේ රාජකාරියනේ කියලා ඉවසනවා. හැබැයි සෞඛ්‍ය සම්බන්ද රක්ෂණයක් ගන්න එකනම් හොඳයි නේද අක්කා... එතකොට ඔය පෞද්ගලික රෝහල් වලට සැත්කම් වලට එහෙම ලොකු ගණන් ගෙවන්න ඕනෑ නැහැනේ

    ReplyDelete
    Replies
    1. හුඟක් අය ගන්නෙත්, සීසර් එකකට එහෙම ඇඩ්මිට් වෙන්න වෙන හින්දම තමා. නැත්නම් ණය ප්‍රශ්න හින්දා.
      අර කිව්වත් වගේ, ඒක ඒ අයගෙ රස්සාවනෙ. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන බව මිනිස්සුන්ට හැඟෙනවානම්, ඔච්චර හැංගෙන්න ඕන නෑ.

      Delete
  9. නියම කතාව නලිනි.අපේ උන්දැත් ඔන්න අපි දන්න මල්ලි කෙනෙක්ගෙන් රක්ෂණයක් කරගෙන ඒ දවස්වල මට කියනවා ඔන්න මම හදිසියේ මැරුනොත් ඔයා අනාථ වෙන්නෙ නෑ කියල. තාම වාරික් ගෙවනවා. හම්බ වෙන දේකුත් නෑ. එන මුදලකුත් නෑ . හදිසියකට ඉස්පිරිතාලෙකට ගියත් අතින් දෙන්න ඕනෙ. ඒවත් නෑ. අනේ මන්දා, මම නම් ඕවා ඒතරම් ගනන් ගන්නේ නෑ. බොරු කාරයො හැම තැනම. මොනව හරි කියල අටවනවා අපිට. පස්සෙ බලත්දි මොනවත් ප්‍රතිලාබ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, මමත් බොහොම සැකෙන් තමයි බලන්නෙ. තවත් සමහර අය බොහොම විශ්වාසෙන් රක්ෂණය වෙන්නෙ

      Delete
  10. අපොයි මංනං ඔය කරදර කා‍රයො දෙන්නෙක්ගෙන්ම බේරිලා ඉඳලත් දැං ආයෙ එකෙක් පස්සෙන් එනව. දැං මිනිහගෙන් මාරුවෙන්නෙ කොහොමද කියල මේ බල බල ඉන්නෙ. :D

    අර පෝය කල්දාන වැඩේ සාර්ථකව කරගන්න බැරිවෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං, මාසෙකට දවසක් සිල් රකින්නනං ඕන, කොයි දවස වුණහම මොකද? හා නැද්ද?

      Delete
  11. ඇ‍ඟේ ලේ වතුර වෙනවා ඒක කියවනකොට. :-O

    ReplyDelete
    Replies
    1. :D මටනං දැන් ඇහිලම ගානක් නෑ!

      Delete
  12. මට නම් අවුල රක්ෂණය ගැන නෙමේ අර ගෑණිත් එක්ක අර මනුස්සයා ඔලුව ගහගෙන කොහොම ජීවත් වෙනවද කියලා.

    ReplyDelete
  13. ""මේ, මේ, මේ." මෙච්චර වෙලා සන්සුන්ව හිටපු සුරංග හිටි ගමන් කලබල වෙලා. "ඕන මැහි තෙලක් බොන්න, ඔයාගෙ අද පුරවපු රක්ෂණේ ඔප්පුව එනකං ඉඳල!"

    හෆොයි . .

    ReplyDelete
    Replies
    1. මතකද ඉස්සර අ.ල. ඇඩ් එකක් තිබුණා, "කළු කපුටා ජීවිත රක්ෂණය" ගැන? ඒක ඇත්තටමත් එහෙමයි කියල මම ඒ කාලෙ දැනං හිටියෙ නෑ

      Delete
  14. ලස්සනයි. ඒත් කාලකින් ඇවිත් කියවන කොට අතීත කතා එක්ක සංසන්දනය කලාම මොකද්දෝ අඩුවක් දැනෙනනවා. වරද හරියටම ගලපා ගන්න නම අමාරුයි.

    හාස්‍යය වෙනුවෙන් ගැලපීම් කෘතීම වෙලාද? හරියට විජය නන්දසිරිට වුනා වගේ. හාස්‍යය ටික වුනත් ස්වාභාවික වෙන තරමට රසවත් වැඩියයි, ගුණාත්මක වැඩියි.

    කෙසේ වෙතත් එදිනෙදා ජීවිතේ සුලබ සිද්ධි බරගානක් ඔබ එකතු කරනවා. මට මේ වගේ අය ඒමට හමු වී තියෙනවා. ජීවිතේ කරත්ත රෝදය කැරකෙන්න පටන් ගත්තම එක යන්නේ අවශ්‍ය දිහාට නොවේ. ඇක්සල් එකේ කිරිකිරිය කොම්පෝස්කරපු සිම්පනියක් නොවේ. ඔන්න ඔහේ දුවනවා. දුවපු නිසා දුවනවා. නවතින්න බැරි නිසා දුවනවා. අග මුලක් නැහැ. ඉතින් ආගම, සමාජ සදාචාරය හරයන් වගේ දේවල් තේරුම ගණන අවබෝධ කරගන්න බැරි වීම පුදුමයක් නොවේ. නිර්වින්දනය වූ මිනිසුන්.

    ලියන්න කියලා හිතේ ලියා ගත්තු කෙටිකතා බර ගානක් තියෙනවා. වෙලාවක ලියන්න ඕනේ. ඒ අතරේ තියෙනවා මේ වගේම කතාවක්. ජීවිත රෝදේ පෙරලා ගන්න දරන වෑයම තුල සිද්ද වෙන අඬන්න ඕනේ නමුත් අපිටම හිනා යන දේවල් ගැන. මැරෙන්න කලින් ලියවුණොත් තමා.

    ඒත් තවම මලු ලිහන සමය අහවරක් නැහැනේ. රස්සාවත් හරියට බින්න විවාහයක් වගේ. තල් අත්තයි හුළු අත්තයි සී වී එකයි හැමදාම රෙඩි කරගෙන ඉන්න වෙනවා. එක සතුටු විවාහෙකුත් නෙවෙයි, වෙන කරන්න දෙයක් නැති නිසා ඔහේ ඉන්නවා. කොයි දේටත් කලින් සෙටල් වෙලා ඉන්න එපයි.

    හැකි වෙලාවක ඉතිරි කතා ආපස්සට කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ කොකාගෙ සමබර විනිශ්චය.
      කොයි දේටත් කලින් සෙට්ල් වෙලා ඉන්න ඕන කියලා නියමයක් නැහැ. එකක් සෙට්ල් වෙනකොට, තව එකක් සෙට් වෙනව නෙව.

      Delete
    2. ඒකනම් සහතික ඇත්ත. පහුගිය මාස හය හතක වුනේ ඕකම තමා. මෙහෙ නම් ජොබ් එක වැනි "අසන්ස්කාර" ධර්මයන් [ඒ කිව්වී මම තාම දන්නේ නැහැ මොන හේතු ප්‍රත්යකට කරන්න ඕනේ කරුමයක්ද කියලා මගේ රස්සාව - ඒ අපේ ෆීල්ඩ් එකේ රෝගයක්] පවා අනිත්‍යයි. ලංකාවේ ඒවා නිත්‍ය නේ.

      Delete
  15. "බුදු පිළිමෙ විතරක්නම් මදෑ අනේ, සැරියුත් මුගලනුත් දෙන්න පොරොන්දු වෙලා ඇවිත්!"


    රංගි අක්ක කිවුවේ අපි දන්න රංගි අක්කා වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ! ඒ රංගි ඔහොම නෙවෙයිනෙ.

      Delete
  16. මනුස්සයා මැරුණත් මොකද රක්ෂණය ලැබිලා, ඒ වුනාට ගස්කන පණුවෝ පෝය දවසේ මරන්න පව්, ඒ තරම් උපාසක මාතාව! කොච්චර උපාසකද කිව්වොත් තමන්ගේ ආගමේ වැඩකට ආධාරයක් කෙරෙනවට මොන තරම් සංතෝෂද?
    ලස්සන කථාව අක්කේ....
    අපේ අම්මාගේ ඇහින් නම් රක්ෂණයක් ගන්නවා කියන්නේ මිනි පෙට්ටියක් ගන්නවා වගේ භයානක දෙයක්. හැබැයි මට හිතෙන්නේ රක්ෂණයක් ගන්නවා කියන්නේ සෙත් ශාන්තියක්, මොකද තමන්ගේ සේවාදායකින්ට රක්ෂණ සමාගම් තරම් හදවතින් ම නිරෝගි සුව පතන කට්ටියක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. //තමන්ගේ සේවාදායකින්ට රක්ෂණ සමාගම් තරම් හදවතින් ම නිරෝගි සුව පතන කට්ටියක් නැතුව ඇති//

      +++++++

      Delete
    2. "තමන්ගේ සේවාදායකින්ට රක්ෂණ සමාගම් තරම් හදවතින් ම නිරෝගි සුව පතන කට්ටියක් නැතුව ඇති."
      මේ කතාව දැක්කහම ඔන්න තව කතාවක් මතක් වුණා. මගෙ යාළුවෙක්ගෙ සහකරු පෞද්ගලික සායනයක් කරගෙන යනවා එක්තරා පැත්තක- කියමුකො බරණැස් නුවර කියල. මගෙ යාළුවා කියනවා නැන්දම්මා භාවනා කරන හැටි: "බරණැස් නුවර හැර අනික් තැන්වල වසන සියලු සත්වයෝ නිරෝගි වෙත්වා..."

      Delete
  17. ඉතිපිසෝ ගාථාව කිය කිය ගියත් සමහරදාට ඔය වංගු වංගු පාරෙ පාළු ඉඩම ලගදී බයවෙනව, මේ ලගදිත් බලියක් නැටුවා ලෙඩෙක් සනීප කරන්න... වැරදිලාවත් යන්න එහෙම එපා ඒ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. නෑ දැන් පිළිමයක් තියනවනෙ

      Delete
  18. ඊයේ කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා .
    මෙහෙ ඉන්නකොට මෙඩිකල් රක්ෂණයක් ඕනෑමයි . පිට අපිට විතරක් නෙමේ . දෙශිය වැසියන්ටත් එහෙමයි ..නිකන් වෙදකම් නැති නිසා .
    අනික ඉන්ටර්නැෂනල් හොස්පිටල්ස් තියෙන්නේ කීපයයි . අසාධාරණ ගණන් . දොස්තරව බලලා ආවත් ඩොලර් සියක් විතර .

    අනික් රක්ෂණ ගැන මටත් තියෙන්නේ රවට්ටයි වගේ අදහසක් , බයක් .
    අපෝ ඔය රක්ෂණ නියෝජිත යාලුවෙක් ඉන්නවා කියන්නේ මාර වාතයක් .

    මේ ජෝඩුව නම් මාරයිනේ . පෝය කල්දාන වැඩේ නම් එච්චර අවුලක් නැහැ . ඕනනම් ඊළඟ මාසෙට දෙකම එකට ගන්න බැරිය .
    අපේ පැත්තෙත් කනත්තක් තිබුණ . හුඟක් අය එතනින් යන්න බයයි . හැබැයි මන් නම් බය ඊට කලින් හම්බ වෙන රබර් වත්ත ගාවින් යන්න . කනත්ත ගාව හොඳට එළියයි . හොල්මනක් ආවත් පේනව.

    ReplyDelete
    Replies
    1. ඕ බින්දි, ඔය අදහස අර ලංකාවෙ නිවාඩු දවස් ගාන වැඩියි කියල හිතන කෙනෙකුට එහෙම ආරංචි වුණොත් ඉවරයි. පෝය 12ම එකට ගන්න ලෑස්ති කරයි.

      Delete
  19. මං සිරිතක් වශයෙන් ගමන් යනකොට ගුවන් තොටට යන්න පාවිච්චි කරන එක ටැක්සියක් තියෙනවා. ඕක එලවන්නෙ තරුණයෙක්.. නම ක්‍රිස්.. දවසක් මිනිහා මාව ගෙනියන්න එන්නෙ ඔලුව රෙදිපටිවලින් ඔතාගෙන.. මං ඇහුව මොකද් ක්‍රිස් මේ කියල.. " මං මෙ ඉස්පිරිතාලෙ ඉඳලයි ආවෙ "කියල මිනිහා කියපි.. "අයියෝ ඕක කිවුව නම්, මම වෙන ටැක්සියක් අරං යනවනෙ" කියල මම කිවුව්. "මට එච්චර ලෙඩක් නැ .. මේ ඔලුව පොඩ්ඩක් තුවාල උනා. මං ක්ලේම් එකක් ගහන්නයි ඉස්පිරිතාලෙ ඉන්නෙ. හොඳට කාලා බීල සැපට ඉඳන් බිස්නස් එකත් කරනවා." ඔහොම කියල.. මිනිහා හිනාවෙනවා..

    ReplyDelete
    Replies
    1. බොරුව කරන මිනිහට ලේසියෙන් වන්දි/ දීමනා/ ශිෂ්‍යත්ව ආදිය ගන්න පුළුවන්. ඇත්ත කියල කොළ පුරවන අයට කොහොමත් ඔය නොයෙක් දීමනා ගන්න බැහැනෙ. මොකක් හරි කාරණාවක් අල්ලගෙන, නොදී ඉන්න තමා බලන්නෙ. :(

      Delete
  20. මම හිතුවා සුරංග අහිංසකයෙක් කියලා, බැලුවහම ඌත් උගෙ ගෑණිටම හරියන එකෙක් ..

    කතාවෙ අනුප්‍රාසය (සිද්ධීන් පෙළගැස්වීම) අගෙයි නගේ ..

    ReplyDelete
    Replies
    1. :D ස්තුතියි ගාමිණී අය්යා

      Delete