Monday, April 16, 2012

බ්ලිට්ස්

ජීවිතේ චෙස් වගේ.

අපට අයත් හැම ඉත්තෙක්ම එහා මෙහා කරන වාරයක් පාසා අපි අවදානමක් ගන්නවා. හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්.

හැම පියවරක් පාසාම කල්පනා කරලා, හොඳ නොහොඳ, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙ හැකියාව ආදිය කිරා මැන ඉත්තන් අදින්නට හැම වෙලේම හැකියාවක් නැහැ. සමහරවිට අපේ දැනුම මදි. පුහුණුව මදි. එහෙමත් නැත්නම් අපට කම්මැළි වන්නටත් පුළුවනි. හැන්දෑ වෙලා නිසා ඉක්මණට තරගවාරය අවසන් කරන්නට හිතුණා වෙන්නට පුළුවනි.
එහෙමත් නැත්නම් නියමිත කාල සීමාවක් ඇතුළත තරගය අවසන් කළයුතු බවට තීරකයන් දැනුම් දුන්නා විය හැකියි.

ඔන්න එතකොට අපි කලබල වෙනවා.
වැඩිදුර නොහිතා ඉත්තන් එහා මෙහා අදිනවා. හරියට බ්ලිට්ස් වගේ.
සමහරවිට දිනන්නට ඉඩ ඇත.
පරාජය වුණොත් අපි නිවී හැනහිල්ලෙ පසු තැවෙනවා: අපරාදෙ...

ඉස්සර සමහර දවසට ඉස්කෝලෙ යන්නට පෙර මම අම්මලට වඳින්නෙත් බ්ලිට්ස් ක්‍රමයට:
"අම්ම සාදු, අප්පච්චි සාදු."
දේශපාලකයෙක් වගේ අත් දෙක උස්සලා මම දුවනවා.
"කෑම එක ගත්තද?" අම්මා කෑ ගහනවා.
"දුවන්ඩ විතරක් බලාගෙන ඉන්නෙ, ටිකක් උදෙන් නැගිටලා ගෙදර වැඩකට උදව් වෙන්ඩ." අප්පච්චි කෑ ගහනවා.

දැන් ගෙදර යන්නෙ කලාතුරකින්. ගියත් හෙට වැඩනම් අද හවසින් ආපහු එනවා. අන්තිම මොහොත වෙනකම් ඉන්නෙ නැහැ.
අම්මලත් විශ්‍රාමිකයි; හදිසියක් නැහැ.
අම්මට වැන්දහම අම්මා බොහොම වෙලා හිස අතගානවා. වැඳලා නැගිට්ටට පස්සෙත් අම්මා බොහොම වෙලා හිස අතගානවා.
අම්මා හිස අතගානවට මම කැමතියි. මුකුත් කිව්වත් නොකිව්වත්, ඒ ස්පර්ශයෙ හදවතට දැනෙන ආදරයක්, කරුණාවක් තියෙනවා; ආශීර්වාදයක් තියෙනවා.

යාළුවො, නෑදෑයො, ගුරුවරු ආදීනුත් වෙලාවකට හිස අතගානවා. එක්කො වෙන් වෙද්දි. එක්කො මම හිත අමාරුවෙන් ඉද්දි. එහෙම නැත්නම් හිතවත්කමට. කතාවට කිව්වට කවුරුත් හිස අතගාලා ටොකු ඇනලා නැහැ. හමුවීමකදි වෙන් වීමකදි බදාගෙන ඉඹලා වෙන්වන යාළුවන්ට වඩා අරෙහෙම හිස පිරිමදින යාළුවන් ළඟ මොකක්දෝ ලෙංගතුබවක් දැනෙනවා.

ඉස්සර දවසක අම්මා සැත්කමකට භාජනය වීමෙන් පසු මම ඈ ළඟ හිටියා. අම්මට විරුද්ධ පස ඇඳේ හිටියෙ ඒ සැත්කමටම ලක් වුණු තවත් අම්මා කෙනෙක්. ඇගේ දියණියත් ළඟ හිටියා. ඈ මට වඩා මේරූ කෙනෙක්. අපි දෙන්නගෙම අම්මලාට හොඳින් සිහිය තිබුණෙ නැහැ. දෙන්නම තද නිද්‍රාවක.
මම අම්මගෙ දෙපා පිරිමදින්නට වුණා. අම්මා ජීවිත කාලයක් පුරා කොයිතරම් වෙහෙසුණාද? දෙපා පිරිමදිනකොට සිහිය නැති වුණත් පහසුවක් තියේවියයි මම කල්පනා කළා.

ඉදිරි ඇඳ අසල හිටිය කාන්තාව මට ටිකක් තදින් කතා කළා:

"මොකක්ද ඔය ඔයා කරන වැඩේ තේරුම? එයාට ඕක දැනෙන්නෙ නෑනෙ. ඔයා ඔය කරන්නෙ බොරු වැඩක්. නිකං ඔයාගෙ හිත රවට්ට ගන්න විතරක් කරන වැඩක්."

අම්මට ඒක නොදැනෙන්නට ඉඩ ඇති බව වගේම, එහෙම දැනුණත් ඒ මා බව නොදැනීමට හොඳටම ඉඩ ඇති බවත් මම දැන හිටියා. ඒත් එහෙම කිරීමෙන් අම්මට පහසුවක් ලැබේවියයි යන සිතුවිල්ල හින්දා මගෙ හිතටත් සහනයක් ඇතිවුණා.
අර කාන්තාව දිගින් දිගටම කියවන්නට වුණා:
"තේරුමක් නෑනෙ. එයා දන්නෙත් නෑ. පිස්සු..."

එහෙම දැනගන්නට ඕනද? 

එහෙම අවශ්‍ය නැතැයි එදා මම හිතුවා. අම්මට පහසුවක් දැනෙනවනම් ඒ ඇති.

ඊට ගොඩක් කාලෙකට පස්සෙ, මම අලුත් තැනක රැකියාවට ගියා. මුල් දින කිහිපයෙදි මම අනෙක් අය කටයුතු කරන හැටි බලා ඉඳලා, ඔවුන්ට අත් උදව් දීලා, ඔවුන්ගෙ උපදෙස් පරිදි කටයුතු කරලා පුහුණු වුණා.

එතන බරපතල සැත්කම් කරන ශල්‍යාගාරයක්. උදෑසන හත වෙනවිට රෝගීන් එහි ගෙන එනවා; ඒ බොහෝවිට ගිලන්රියෙන්. සැත්කම් සඳහා ගතවන කාලය දිගයි. හැකි තරම් උදයෙන් ඇරඹුවොත් තමයි දිනකට සැත්කම් දෙකක් කරගන්නට ලැබෙන්නෙ. එහෙම නොවුණොත් බරපතල රෝගවලින් පෙළෙන මේ රෝගීන්ගෙ ජීවිත අනතුරේ. ඉඳහිට කෙනෙක් සැත්කම් කරනතුරු බලා සිටිද්දි වාට්ටුවෙදි මියයන අවස්ථාත් තිබුණා.

එක දවසක් උදෑසන අට වන තුරුත් රෝගියා ගෙනත් නැහැ. සැත්කමට නියමිතව හිටියෙ තරුණ ගැහැණු ළමයෙක්. ගිලන් රියෙන් ගෙන එන්නෙ රෝගියා පමණක් නිසා ඥාතීනුත්, ඇගේ සහෘදයාත් වේලාසනින්ම ශල්‍යාගාරයට ඇවිත්. ඒ සැත්කමට පෙර අවසන් වතාවට ඇයට ආශීර්වාද කිරීමට. ශල්‍ය වෛද්‍යවරුනුත් ඇවිත්. හැමෝම කලබල වෙලා. ඇයි මේ පරක්කුව?
දුරකථන ඇමතුම් හැම අතටම. "ඉක්මණට එවන්න; ඉක්මණට එවන්න."

නියමිත වෙලාවට වඩා පැයකටත් පසුව රෝගියාව යන්තම් ගෙන ආවා. ඇය හිටියෙ ට්‍රොලියක සැතපිලා. ගිලන් රියෙන් කෙලින්ම විදුලි සෝපානයට; සෝපානයෙන් එළියට ගන්නවත් එක්කම කෙළින්ම ශල්‍යාගාරයට. එළියෙ බලා සිටි ඥාතීන් දුවගෙන ආවට කතා කරන්නට තබා කිට්ටු වෙන්නටවත් වෙලාවක් තිබුණෙ නැහැ. ඇගේ සහෘදයා ඈත හිඳ අත දිගු කර යන්තමින් ඇගෙ හිස අතගෑවා. හිස අත ගෑවෙ කවුරුන්ද කියා හෝ ඒ අත ගෑවාද නැත්නම් කාගෙ හරි අතක් වැරදිලා වැදුණාද කියන එක හෝ ඇයට දැනුණෙ නැහැ. හැම තැනම ලොකු කලබලයක්.

එදා සැත්කම රෑ අටත් පසු වෙනතුරු කෙරුණා. එතරම් වෙලා සිටින්නට නියමයක් මට නැතුවත්, අවසානයක් දැකීමට වුවමනා නිසා මම හිටියා. සැත්කම අවසන් වෙන ලකුණකුදු නැති නිසා මම අවසානයේ ගෙදර ගියා.

ඒ තරුණියව බේරා ගන්නට බැරි වුණා. සිහි නොලබාම ඈ මිය ගියා.


අවසන් පලයට එයින් වෙනසක් නොවුණත්, ශල්‍යාගාරයට යන්නට මොහොතකට පෙර ඇගේ සහෘදයා හිස අත ගෑ බව ඇය දැන ගත්තානම්....

එහෙම වුණානම් ඒ සිද්ධිය මට මීට වඩා පහසුවෙන් අමතක කරන්නට තිබුණා.

62 comments:

  1. ඔය හිස අතගෑම හැමකෙනා ලගම නෑ,,මම හිතන්නේ ඕක හිතලා කරන දේකුත් නෙමේ..තවත් පාරක් කියවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ආ මේ මම 1 වෙලා නලිනි අක්කගේ බ්ලොග් එකේ,,,හික්,,හික් හරි සන්තෝසයි

      Delete
    2. උඹ දශම ගානෙන් බේරුනේ...:D

      Delete
    3. ඕඕ, මගෙ 16 වෙනිද පෝස්ට් එකට 15 වෙනිදා දැම්ම කමෙන්ට් එකක්. :D

      Delete
    4. කොහොමද වැඩේ... 1 උනේ සෑහෙන්න ප්ලෑන් කරලා හරි යන්නේ නෑ හැමදාම පහු වෙලා බෑ නේ

      Delete
  2. මුලින්ම කියන්න එපෑ මේ නම මට තේරෙන්නේ නැහැ..උදේ පාන්දරම චෙස් ගැන කියලා තියෙන හින්දා හිතා ගත්තෑකි මේක චෙස්වල මොකක් හරි යෙදුමක් තමා කියලා... ඒත් ඉතිං අපි දන්නවද චෙස්..?

    හිස අතගෑම...

    පුංචිම කාලේ මායි මල්ලියි නිදා ගත්තේ තාත්තා ගාව..එතකොට අම්මා රට... තාත්තා අපි දෙන්නගේ ඔළුව අතගානවා නින්ද යනකල්..ඔය මොනවා හරි කියන ගමන්ම...

    මල්ලිට නින්ද යන්න ඒ හැටි කාලයක් යන්නේ නැහැ.. ඉතිං මුලින්ම මල්ලිගේ ඔළුව අතගාලා මිනිහා නිදා ගත්තට පස්සේ මගේ ඔළුව අත ගෑවෙනවා... විනාඩි කිහිපයකින් මටත් නින්ද යනවා.. ඒත් ඒ නින්ද යනකල් ගතවෙන විනාඩි කිහිපය තමා ජීවිතේ සැපම විනාඩි කිහිපය... මාත් සමහර වෙලාවල්වල තාත්තගේ හිස අතගානවා.. හරියට ඒක නිකං හුවමාරුවට ‍බලා ගැනිල්ලක් වගේ... තාත්තත් ඒකට හුගක් කැමතියි...

    ටිකක් ලොකු වෙනකොටම මට වෙනම නිදා ගන්න ලැබුනා... ඒත් මල්ලියි තාත්තයි හැමදාම එකම ඇදේ හිටියේ...

    අන්තිම කාලේ තාත්තා අසනීප වෙනකල්ම ඒක එහෙමමයි...ඉතිං හැමදාමත් මල්ලිට ඔළුව අතගෑවීමේ වාසනාව ලැබුනා..මට නෝ චාන්ස්...ඒත් අදටත් ඒ අතගෑමේ සනීපේ මට මතකයි...ආයේ ඉතිං ඔළුව අතගෑවීමක් මේ කපේට සිද්ධ වෙලා නැහැ... ඒත් හදිසියකදී මගේ අත අනිත් සමහරක් අයගේ ඔළුවලට යනවා අදටත්... ඒ අර කිව්ව සනීපය මං දන්න හින්දා..මට නොලැබෙන සිහින මතකය...ඒක බොහෝම ලෙංගතු ස්පර්ශයක්...

    ...........

    දැන් ඉතිං මගෙනං කෙස් යන්න පටන් අරගෙන තියෙන්නේ හෙට අනිද්දට අත ගාන්න වෙන්නේ හිස නෙවෙයි තට්ටේ...:D

    ReplyDelete
    Replies
    1. මාරෙ,

      චෙස් ක්‍රීඩාවෙ නීති රීති සංකීර්ණයි වගේම ඔය ක්‍රීඩාවට යන කාලය තීරණය කරන ක්‍රමත් ටිකක් පැටලිලි සහිතයි...

      මේ නමට අදාලව දැන ගන්න ඕන මෙච්චරයි...
      චෙස් ගේමකට ගතවන සාමාන්‍ය කාලයක් තියෙනව... අපි හිතමුකො පැය 3ක් කියල...ඕක දෙකට බෙදුවොත් එක්කෙනෙකුට පැය එකහමාර නොවැ... ඕක මැන ගන්න අපූරු ඔරලෝසුවක් තියෙනව... ඒක ඔරලොසුවක් කිව්වට ඔරලෝසු දෙකක් එකට හයිකරපු ඔරලෝසු කුට්ටමක්... අපි හිතමුකො ලකියයි නලිනියි චෙස් ප්ලේ කරනව කියල... ලකී නම් ඉස්සෙල්ල මූව් එක කරන්නෙ එයා ඒක කරල එයාගෙ ඔරලෝසුව උඩ තියෙන බොත්තම ප්‍රෙස් කලහම එයාගෙ ඔරලෝසුව නැවතිලා නලිනිගෙ ඔරලෝසුව පටන් ගන්නව... නලිනි කල්පනා කරන්න ගන්න වෙලාව දැන් ඔරලෝසුව දුවනව... එයා මූව් එක කරපු ගමන් එයාගෙ පැත්තෙ ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබනව... එහකොට එයාගෙ එක නැවතිලා ආයෙත් ලකීගෙ ඔරලෝසුව පටන් ගන්නව... එක්කෙනෙක් ගතකරන වෙලාව මැනගන්නෙ ඔහොමයි...

      කතාව මේකයි...

      සාමාන්‍ය ගේම් එකකට පැය තුනක් විතර ගියාට... බ්ලිට්Z කියන ක්‍රමේට සෙල්ලම් කරනකොට එක්කෙන්කුට දෙන්නෙ පොඩි කාලයක් විනාඩි 15ක් වගේ.. විනාඩි පහෙන් ඉවරකරන ගේමුත් තියනව...

      ...........

      දොස්තර නෝන ප්‍රංශ දාම් ඇදල තියනවද දන්නෙ නෑ.... :D

      Delete
    2. අනේ සපා උඹට වෙන ගන්න කෙනෙක් හිටියෙම නැද්ද හැබෑටම......
      නිකන් මැරුං කන්න වෙන වැඩනෙ මෙව්වා....උඹ හදන්නෙ චෙස් අදින එකත් මාරාන්තික ක්‍රීඩාවක් කරන්නද..:D:D


      අනික මම දන්න චෙස්....:D:D

      Delete
    3. තැන්කූ සපා... වැඩේ තේරුනා..ඕකට තෑපෑලෙනුත් මට ක්‍රමේ කියා දීලා එවලා තිබුනා බ්ලොග් එකේ අයිතිකාර නෝන මහත්තයා..:D දෙන්නගෙම උපදෙස් අනුව මට දැන් ඕක මෙව්වා නෙලා තියෙන්නේ...

      මේ ඒක නෙවෙයි බං මොකක්ද අර ලකියා චෙස් අදින කතාවක් කිව්වේ..:D:D:D
      අනේ ඌයි මායි දන්න චෙස්...

      ප්‍රංශ දාම්නං ඕනම නැහැ...මංනං කරන්නේ ප්‍රංශ දාම් අදින එකෙක් එක්ක නෝමල් දාම් අදින එකයි...එතකොට ඌත් දිනුං මාත් දිනුං..හොඳා නේද එහෙම...

      Delete
    4. ම්හු. ප්‍රංශ දාම් ඇද නැත. බොහොම ස්තුතියි ක්‍රීඩාව ගැන විස්තරයට

      Delete
    5. "ටිකක් ලොකු වෙනකොටම මට වෙනම නිදා ගන්න ලැබුනා... ඒත් මල්ලියි තාත්තයි හැමදාම එකම ඇදේ හිටියේ...

      අන්තිම කාලේ තාත්තා අසනීප වෙනකල්ම ඒක එහෙමමයි...ඉතිං හැමදාමත් මල්ලිට ඔළුව අතගෑවීමේ වාසනාව ලැබුනා"

      ඒවා ස්වාධීන වීම වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දි

      Delete
  3. වැඩිදුර නොහිතන පුංචි පුංචි දේවල් නිසා නිවිහැනහිල්ලෙ පසු තැවෙන එක පොදු ධර්මතාවයක් වගේ.....හ්ම්ම්ම්

    ReplyDelete
  4. "හමුවීමකදි වෙන් වීමකදි බදාගෙන ඉඹලා වෙන්වන යාළුවන්ට වඩා අරෙහෙම හිස පිරිමදින යාළුවන් ළඟ මොකක්දෝ ලෙංගතුබවක් දැනෙනවා.."

    හ්ම්ම්ම්ම් :-(

    ReplyDelete
    Replies
    1. එහෙම මුකුත්ම නොකරන අයත් ලෙංගතු විය හැකියි. :D ඒත් ඉතින් අරෙහෙම දෙයක් දැනෙනවා වැඩියිනෙ.

      Delete
  5. ගත මැරුණට සිත් ‍මැරෙන්ට කල් යන නිසා, ගත නිසල විටක හිස අත ගෑ විට සිතට නොදැනෙන බැව් සිතිය නොහැක.

    උදේම කියෙව්වේ නියම කතාවක්. ස්තුති !

    http://samindikasrimantha.blogspot.com

    ReplyDelete
    Replies
    1. හ්ම්. දැනෙන්නට ඉඩ ඇත, ඒ බව හඟවන්නට නොහැකි වුණත්.

      Delete
  6. හිතට වදින කතාවකි...

    ශල්‍යාගාරයට යන්නට මොහොතකට පෙර ඇගේ සහෘදයා හිස අත ගෑ බව ඇය දැන ගත්තානම්.... :-( :-(

    ReplyDelete
    Replies
    1. :( නිකමට හැරිලා බැලුවනම්..

      Delete
  7. තමන් ගොඩාක් ආදරය කරන කෙනෙක් එක්ක ගත කරන්න තියන සුළු මොහොතක් වුවත් ගොඩක් වටිනවා.. මේ කතාවෙ තරුණිය සහෘදයා තමන්ගෙ හිස අතගෑම දැන ගත්තත් නැතත්.. ඒ හිස අතගෑමේ සුළුම සුළු මොහොත ඒකී සහෘදයාට මහමෙරක් වගේ දැනෙන්න ඇති... මිනිසුන්ගෙ චිත්ත ස0තානයන් තුල ඇති හැගීම් හරිම අපූර්වයි.....

    ReplyDelete
    Replies
    1. ඔව්, එයාට ඒක යළි යළිත් ආවර්ජනය කරන මතකයක් වෙන්නට ඇති. අවුරුදු දහයකට විතර පස්සෙ මටත් තවම මතකනම්.

      Delete
  8. ටච් මූ. ඕක අමතක කරන්න.
    ඕක සසර කෙටි කර ගන්න සැක්‍රිෆයිස් එකක්
    අදිමුද චෙස් අතක් ?

    ReplyDelete
    Replies
    1. ටච් මූව්ස් තියෙනව හැබෑ ජීවිතේදිත්, ආපසු හැරිල්ලක් නැති. :D

      Delete
  9. හ්ම් හිත කීරි ගැහිලා ගියා

    පොඩිම පොඩි කාලේ මම බිම පෙරලිලා අම්මට තාත්තට වැඳලා තියේ .පස්සේ ඉස්කෝලේ යද්දී බ්ලිට්ස් ක්‍රමෙටවත් වැන්දේන් නෑ .කෑම එක ගත්තා දිව්වා අම්මේ මම යනෝ , තාත්තේ මම යනෝ ..එච්චරයි .ඉස්කෝලේ දී අහනවනේ අම්මට තාත්තට වඳින ලමයි අත උස්සන්න කියලා .මම ඉතින් හැමදාම අත් පහල දාලා ඉන්නවා .එහෙමත් දවසක විබාගෙකට යද්දී අවුරුද්දට තමයි වැන්දේ .

    පස්සේ ගෙදරින් සෑහෙන්න කාලෙකට පිට වෙලා ඈත යන වෙලාවල වඳින ගියහම මට හරි අපහසුයි හිතට එන හැඟීම දරාගන්න . නිකන් ඇඬෙන්න වගේ , මම එයාලගෙන් වෙන් වෙනව වගේ ගතියක් එනවා .ඒ නිසා එහෙම යන දවස් වල කලින්ම ලෑස්තිවෙලා අම්ම එක්ක කතා කරකර ඉඳලා හිමින්ම යන පුරුද්දක් තිබුණා වඳින අමතක වුන තාලෙට .ගමන් බිමන් වැඩි කාල වල ඕවා ගැන අම්ම එක්ක තාත්ත එක්ක වාද විවාද වෙලා හිතුවක්කාර විදියට යන වෙලාවලුත් තියේ නිකන් "මං යනවා" කියලා . එහෙම ගියාම හරි අමාරුයි නිවී සැනසිල්ලේ පසු තැවෙන එක තමයි වෙන්නේ . වැඩට ගියත් ඒ ගැන හිතෙන්නේ .

    මේ ලඟදී දවසක ඒ සේරම දේවල් මතක් වෙලා හයියෙන් අඬන්න හිතුනත් හරි අමාරුවෙන් හිත තද කරන් හිටියා

    හමු වීම් කෙසේ වෙතත් සමීපතමයන්ගෙන් දිග කාලෙකට හරි කෙටි කාලෙකට වෙන් වීමකදී මම ඒ සමුගැනීමේ මොහොත මග අරින ගතියක් තියෙනවා . කවුරුහරි ඒ වෙලාව ගැන මතක් කලත් තව වෙලා තියේ කියලා වෙන වෙන වැඩ කර කර ඉන්නවා එක්කො මග ඇරලා යනවා.පුලුවන් තරම් සාමාන්‍ය තත්වයක් හැටියට ඒ දේ තියාගන්න මට ඕනෙ ඒත් මට සමීප අනික් අයට ඒක හරි වෙනස් අවස්තාවක් .

    තමන්ට සමිප කාට වුනත් ආදරය , කරුණාව , ගෞරවය දක්වන්න ඕනේ වුනාම ඒකට ප්‍රමාද වෙන්න නරකයි කියලයි මට හිතුනේ .ලැබෙන මුල්ම අවස්තාවෙන් අපි ඒ දේ නොකලොත් ඒ මොහොත අපෙන් ගිලිහිලා යන්න තියෙන ඉඩ වැඩියි කියලා මට දැන් හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. හ්ම්. අපිට හිතෙන්නෙ නෑ ඒ වෙලාවට, නමුත් සමහරවිට ඒ අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්. ජීවිතය අවිනිශ්චිතයිනෙ

      Delete
  10. දොස්තර නෝනා කිව්වා වගේම ඕක හෙදකමක්. අපි හිතුවට සිහි නැතුව ඉන්න කෙනෙකුට එය දැනෙන්නේ නෑ කියලා. ඒක වැරදි වැටහීමක්. මම කුඩා කාළයේ එළෝ ගිහින් මෙළෝ ඇවිත් තියෙනවා. නමුත් මට දැණුනේ අම්මයි තාත්තයි මගේ දැපැත්තේ ඉඳන් හිස අතාගාන එක. මම පුදුම සුවයකින් උන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මගේ හිස පිරිමැද මැද උන්න අම්මයි තාත්තයි එතනින් ඉවත් කරලා තියෙනවා. මම විකාර දේවල් කියලත් තියෙනවා. කකුලේ මහපටැගිලි එකට තියලා බඳින්න කියලා කියලත් තියෙනවා. (මම ඒ කාළේ එහෙම දෙයක් ගැන දන්නෙත් නෑ.) කොහොම හරි මම ඇස් අරින කොටත් අම්මා මගේ හිස පිරි මැද මැද උන්නේ.

    ReplyDelete
  11. "ගිලන් රියෙන් කෙලින්ම විදුලි සෝපානයට; සෝපානයෙන් එළියට ගන්නවත් එක්කම කෙළින්ම ශල්‍යාගාරයට.එළියෙ බලා සිටි ඥාතීන් දුවගෙන ආවට කතා කරන්නට තබා කිට්ටු වෙන්නටවත් වෙලාවක් තිබුණෙ නැහැ. ඇගේ සහෘදයා ඈත හිඳ අත දිගු කර යන්තමින් ඇගෙ හිස අතගෑවා. හිස අත ගෑවෙ කවුරුන්ද කියා හෝ ඒ අත ගෑවාද නැත්නම් කාගෙ හරි අතක් වැරදිලා වැදුණාද කියන එක හෝ ඇයට දැනුණෙ නැහැ. හැම තැනම ලොකු කලබලයක්."

    මේක එදා ඔය සැත්කම් කාමරේදි තිබුණ තත්වේ වුණත් අපි වැඩිදෙනෙක්ගේ මුළු ජීවිතේම මේ වගේ මම හිතන්නේ... කිට්ටු වෙන්න කතාකරන්න හිස අතගෑවේ කවුද බලන්න වෙලාවක් නෑ... අරකෙන් මේකට, මේකෙන් අරකට, ඒකෙන් තව එකකට... හැමතැනම ලොකු කලබලයක්... :(

    අද නම් වැදුනා පාර බඩ කොරවෙන්නම...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හුඟක් වෙලාවට ලොකු කලබලයක්. :(

      Delete
  12. මමත් මගේ හිස අත ගානවට ගොඩක් කැමතියි.. අම්මා එහෙම කරද්දි අම්මගේ උකුළ උඩම මට තවමත් නින්ද යනවා.. මම ඒ දේට ආසයි..

    ReplyDelete
  13. "හමුවීමකදි වෙන් වීමකදි බදාගෙන ඉඹලා වෙන්වන යාළුවන්ට වඩා අරෙහෙම හිස පිරිමදින යාළුවන් ළඟ මොකක්දෝ ලෙංගතුබවක් දැනෙනවා.."

    හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ........................................

    ReplyDelete
  14. දොස්තර නෝනගේ හැම ලිපියක්ම වගේ හිත පතුලටම දැනෙන, කියවලා ඉවර වෙලා විනාඩි ගාණක් යනකල් උඩ බලාගෙන කල්පනා කරන්න හිතෙන ලිපියක්. හරියට ප්‍රතිවාදියාව චෙක් මේට් කරන්න අන්තිම ඉත්තාව අදින්න ඔන්න මෙන්න තියෙද්දි මං ෆ්ලෑග් ඩවුන් උනා වගේ.

    ReplyDelete
  15. මං කල්පනා කලේ වෙනම දෙයක්. හැම දොස්තර කෙනෙක්ටම මෙහෙම දැනෙනවද දන්නෙ නෑ නේද? නැත්තම් කාලයක් යද්දි මේක සාමාන්‍ය දෙයක් වෙයිද?

    කොහොම උනත් සංසාර ගමනෙදී මිනිසුන් මූණදෙන අනේකවිධ කරදර වල අපි ඇස්වලින් නොදකින දේ බලන්න ඔයාලට "වාසනාව" තියෙනවා. මං හිතන්නෙ ඒක වාසනාවක්. ඕගොල්ලන්ට ඇත්ත ඇති සැටියෙන් පේනවා. නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හුඟක් මිනිස්සු ජීවත් වෙන්නෙ ලෙඩ රෝග, මරණය, දුක, ප්‍රියයන්ගෙන් වෙන් වීම ආදිය තමන්ට සිදු නොවෙන දේවල් කියලා හිතාගෙන. නමුත් අපට අවස්ථාව ලැබිලා හැමදාකම ඒක අත්විඳින්නට. ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. කාලයක් යද්දි නිතරම අත්විඳින විදිහෙ සිදුවීම් විඳ දරාගැනීමෙ හැකියාව වැඩි වුණත්, එදිනෙදා ජීවිතයෙදි මානසික පීඩනයනම් හුඟක් වැඩියි.

      Delete
  16. අවාසනාවට ගොඩක් දෙනෙක්ට ඒ ආදරය දැනෙන්නත්.. ඒ ආදරය දෙන්නත් මතක්වෙන්නෙ ජීවිතයේ පරක්කුවෙලා..
    කලබල ජීවිතයේ අන්තිම ඉත්තා අදිද්දි... පරක්කු වැඩියි..

    හිතට දැනුන සටහනක්...! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්. සමහරු පරක්කු වෙලා බවවත් නොදකින තරමට කලබලයෙන්

      Delete
  17. අපේ ගොඩක් ඉස්පිරිතාල ඔය වගේ තමා. පහසුකම් සැපයීම දේශපාලනය කට්ටියට බාර දීල, අපි ලෙඩාට ප්‍රතිකාර කළානම්, මීට වැඩිය හොඳින් නින්ද යයි කියල මටත් හිතෙනවා. ඒත් එතකොට අර සැත්කම් කරනකම් බලන් ඉන්න කාලේ මැරෙන ගන නම් වැඩි වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, රෝහල් සේවාව පවත්වාගෙන යන්නට ඒ කලබලය අවශ්‍යයි. තව කොච්චර දේවලට රන්ඩු කරගන්නට වෙනවද? නොයෙක් දෙනාට පින්සෙණ්ඩු වෙන්නට වෙනවද? හරියට තමන්ගෙ පෞද්ගලික දෙයක් කරවගන්නට වගේ.

      එහෙම නොකර හිටියොත්, අර විදිහට මියෙන ගාන වැඩි වෙයි.

      Delete
  18. මමත් සිංහල අවුරුද්දට වගේ මිසක් උදේට රෑට අම්මලට වැන්දේ නම් නැහැ . අපේ දිහා ඒ හොඳ පුරුද්ද ඇති නොවුනේ ඇයිද මන්ද . දැන් නම් අවුරුද්දකට වතාවක් වඳින්නේ හරිම අමාරුවෙන් . මන් අකමැති අම්ම අන්දන හින්දා . ටක් ගාල පැනල එන්න ඇත්නම් හොඳයි . අඬා වැලපෙන දීර්ග සමුගැනීම් වලට වඩා යන්තම් ඔලුව අතගෑම හොඳයි වගේ . ජිවිතේ සියුම් තැන ස්පර්ශ කරන ඔබේ ලිපි වල වටිනාකම අපමණයි .

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් අඬනවා, හේතුවක් නැතත්. ඒකට මුහුණ දෙන්න අමාරුයි තමයි.

      Delete
    2. හේතුව තමා අම්මා වීම. “අපේ අම්මත් එහෙමයි“ කියලා මම කියන්නෙ නෑ හුඟක් අම්මලා එහෙමයි කියලා අපි කව්රුත් දන්න හින්දා....

      Delete
  19. //අම්මා හිස අතගානවට මම කැමතියි. මුකුත් කිව්වත් නොකිව්වත්, ඒ ස්පර්ශයෙ හදවතට දැනෙන ආදරයක්, කරුණාවක් තියෙනවා; ආශීර්වාදයක් තියෙනවා.//

    උදෙන්ම කියෙව්වේ තදින් හිතට වැදුන දෙයක්, මොනවා කියන්නද ලියන්නද හිතාගන්න බැහැ.

    කඳුලු ගංඟා දැක දැක සමු අරගෙන නැව් නැඟලා යන එක ජීවිතයේ කොටසක් වෙලා ගොඩාක් කල්. අම්මා තාත්තා හිස අතගාල යැව්වාම ලොකු හයියක් තියෙනවා දැනෙනවා, ඒ හයියා ආයෙ කවරදාවත් ලැබෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ පරිච්ඡේද එක කාලෙකදි ඉවර වෙනවා. වෙනස්ම ජීවිතේකට හුරු වෙන්නට වෙනවා. මටත් හිතන්නටවත් අපහසු මාතෘකාවක්

      Delete
  20. මේ ළඟදී මම අජහන් බ්‍රහ්මවන්සෝ කියන යුරෝපිය ජාතික ස්වාමින්වහන්සේගේ දේශනාවක සීඩී එක ඇහුවා. මට මතක් උනේ එකේ කියපු කතාවක්,, හාමුදුරුවන්ගේ යාලුවෙක්ගෙ අම්ම සිහිය නැති වෙලා කිසිකෙනෙක් අඳුනාගන්න බැරි වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට යාලුවා හැමදාම ගිහින් ඇඳ ළඟ පැය ගණන් වාඩිවෙලා අම්මට කතාකලාලු.. ඉතින් දොස්තර මහත්තය කිවුවලු මොකටද ඔය මෝඩ වැඩේ කරන්නේ දැන් අම්මගේ සිහිය කල්පනාව නැති නිසා ඔයා කවුද කියලවත් එයා දන්නේ නැහැනේ කියලා. හාමුදුරුවන්ගේ යාලුවා එතකොට කීවාලු එකට කමක් නැහැ ඩොක්ටර් මම දන්නවනේ මේ ඉන්නේ මගේ අම්මා කියලා..
    අපි ආදරේ කරන බව ලබන්නාට දැනෙනවාට වඩා වැදගත් නොදැනෙන වෙලාවට ඒ ආදරේ දීම කියලා මම හිතනවා. ඒ නිසා නේද අපි දරුවන් නින්දේ ඉන්න වෙලාවේ ඒ ගොල්ලන්ව ඉඹීන්නේ ?

    අර චෙස් කතාව නම් ජීවිතේට බොහොම සම්බන්දයි අපි අදිනවා.. අනිත් අයට පෙනෙන හරි වැරදි අපිට පෙනෙන්නේ නැහැ. පෙනුනට ඒ අයට කියන්නත් බැහැ කියන්නෙත් නැහැ.. බොහොම තීරණ මියෙම්වා රැකෙම්වා කියලා ගන්නවා හිඔරිඉයොත් හොඳයි නැත්නම් ඉතින් !!

    ReplyDelete
    Replies
    1. අනෙක් අයට හරි වැරදි පෙනි පෙනී අපට නොකියා ඉන්න එකනම් හොඳටම ඇත්ත. තීරණ ගනිද්දි අපි හැම වෙලේම තනියම. තීරණ හරි ගියොත් එහෙමයි. වැරදුණොත් ඒ වගකීමත් තනිකරම අපේ

      Delete
  21. මම කියලා බලෙන්ම ඉල්ලගන්න දෙයක් මේක..... කියලා හරි එහෙම කරන වෙලාවට ඒ දැනෙන දේ හාදු 10කින් වත් දෙන්න බෑ.ඉල්ලන්නෙ නැතුවම කෙනෙක් එහෙම කළොත් කොයි තරම් දැනෙනවා ද........

    ReplyDelete
    Replies
    1. :D මම බලෙන් ඉල්ලවගන්න ඕන වෙලාවක.

      Delete
  22. අපේ නිකීතා ඉපදුන වෙලාවෙ එයාට Meconium aspiration කියල වෛද්‍යවරු කියන සංකීර්ණ අනතුරකට මුහුණ දෙන්න වුණා අපට තේරෙන හැටියට එයාගෙම අපද්‍රව්‍ය එයාගෙ ස්වසන පද්ධතියට ඇතුල් වුණ එක තමයි වුණේ... ඉතාම අසාධ්‍ය තත්වෙක තමයි එයා හිටියෙ...මට වෛද්‍යවරුන්ගෙ කතාබහෙන් තේරුනේ එයා ජීවත්වෙයි කියල 50 % ක විස්වාසයක් තමයි තිබුනෙ... වෙන්ටිලේටර් එක දාන්න පුලුවන් උපරිම සෙටින්ග්ස් වලට දාලත් එයාගෙ ලේ වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමානය උරාගන්නෙ නෑ...

    දවස් දෙකක් ඔහොම හිටිය... බලනකොට බට වලින් වැහිල පුතාව පේන්නෙ නැති තරම්...එයාගෙ අම්ම වෙන ඉස්පිරිතාලෙක... ඔපරේෂන් එකෙන් ටිකට් කපල නෑ...

    මම පුතාව බලපු ජේෂ්ඨ වෛද්‍යවරය එක්ක කතා කරපු වෙලාවෙ එයා කිව්ව පුලුවන්නම් දරුවගෙ අම්මට දරුවව පෙන්නන්න කියල... මම ඒක සමන්තිට කියපුවහම එයා පෑරෙන මැහුම්වලින් ලේ එද්දි ආව පුතාව බලන්න... පුතා ඉන්නෙ එන් අයි සී යූ එකේ... බලන්න දෙන්නෙ නෑ... අපි විනාඩියකට අවසර ඉල්ලගත්ත... සමන්ති අර වීදුරු පෙට්ටියෙ පුන්චි දොරෙන් අත දාල පුතාගෙ ඔලුව අතගෑව... එලියට ඇවිත් සමන්ති මට කිව්ව... අපේ පුතා ජීවත් වෙනව ඔයා බය වෙන්න එපා කියල..... එදා හවසම පුතාගෙ බ්ලඩ් ගෑස් හොඳ අතට හැරෙන්න පටන් ගත්ත.....

    කතාව දිගයි... පුතා දවස් තිහක් වෙන්ටිලේටර් එකේ හිටිය... එයා ඒත් ජීවිතේ අතහැරියෙ නෑ... මම දන්නෙ නෑ අම්ම ඔලුව අතගානව එයාට දැනුනද කියල.... නමුත් අර අත්දැකීම් බහුල වෛද්‍යවරය අම්මට එයාව පෙන්නන්න කිව්වෙ හේතුවක් ඇතුව වෙන්න ඇති කියල මට අදත් හිතෙනව....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අම්මගෙ ආශීර්වාදය බබාට ලැබෙන්න ඇති. අම්මත් තවම සුවය නොලබා සිටියදී ඇවිත් කරන ආශීර්වාදයක්නෙ.

      ඉස්සර දවසක අපේ දැඩි සත්කාර ඒකකයෙ හිටියා දැඩිව ගිලන් වූ රෝගියෙක්. ඔහුගෙ මොළය මැරිලා වගේ තමයි පෙනුණෙ. කිසිම ක්‍රියාකාරිත්වයක් නැහැ. නමුත් රෝගීන් බලන වෙලාවට, ඔහුගෙ සහකාරිය ළඟට ආවහම, හෘදයෙ වේගය වැඩි වෙනවා.

      Delete
  23. මැරෙන්න යනකොට ලෞකික බැඳීමක් සිහිවුණාම යන්න නොගිහින් ආපහු එන්න හිතෙනවා.

    ඒකට හිස අතගෑමත් බලාපන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්. හිතේ බැඳිමක් ඇති වෙන්න පුළුවන් තමයි

      Delete
  24. මමත් හරිම ආසයි හිස අතගානවට, මගේ තාත්තා නැති වෙලා මිනිත්තු 10 කට පස්සෙයි මට රෝහල වෙතට යන්නට පුළුවන් උනේ. ඒ වෙද්දීත් ඔහු ඇඳක් මත සතප්පවලා සිටියේ. ඔහු ලඟට ගිහින් ඔහුගේ හිස අතගා මම ප්‍රර්ථනා කලේ මතු බවයෙත් මගේම තාත්තා වේවා කියලා. ඒ හිස අත ගාන වෙලාවේදී ඔහුට ඒ බව නොදැනුනත් ඒ වෙලේදී මට දැනුන හැඟීම අදත් හැමදාමත් මට දැනෙනවා :)

    ReplyDelete
    Replies
    1. ආදරය කරුණාව වෙන කෙනෙකුට දීමත් හිතට සුවයක්. එහෙම හිතට සමීප තාත්තා කෙනෙක් ඊලඟ භවවලදිත් ඔබටම හමු වෙයි.

      Delete
  25. මම නම් (පොඩි කාලෙන් පස්සේ) මගේ කොන්ඩේ අල්ලන්න කාටවත් දෙන්නේ නෑ වෙන්න ඕනේ. ඇයි අප්පා කොච්චර අමාරුවෙන්ද ඔය ගාණට හරි තියෙන කෙස් ටිකත් තියන් ඉන්නේ. අනික අර මූස් වලින් අරවයින් මේවයින් ගන්න හැඩය නැති උනොත් කවුරු හරි ඔළුව අතගාලා. පේනවනේ අපි වගේ අය හිතන විදිය. හික් හික්....(ඔන්න ඉතින් ඔය ලස්සන කොල්ලෙක් හෙම ඉන්න සැලෝන් එකක නම් ප්‍රශ්නයක් නෑ )

    මට මතකයි මම පොඩි කාලේ අම්මට වැන්දගෙන ඉන්නවා එයා ඔලුව අතගාලා මොනවා හරි කියන කම්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එයා මාව වඩා ගන්නවත් එක්ක. උදේටයි රෑටයි අපි පොඩි කාලේ ඉඳන් එයාලට වැන්දා. මම හිතන්නේ මට ඒවට ලකුණු හම්බ වුනා වෙන්නත් ඕනේ දහම් පාසලෙන්.
    අන්තිම පාර ලංකාවෙන් පිට වෙන වෙලේ අම්ම කිව්වේ ඔයා හොඳ ළමෙක් වෙන්න ජීවිතේ අවුල් කරගන්න එපා. අපි නැති කාලෙක හරි දුක් නොවෙන්න දේවල් කරන්න කියලා. එවෙලේ මට ඒ තරම් අවබෝධයක් තිබ්බේ නෑ. එයාපෝට් යන්න පරක්කු වෙන හින්දා දිව්වා. ඒත් ආපහු මම ලංකාවට ගිහින් ජීවත් වෙන මගේ අම්මව දකින්න බැරි වුනා. මට මතකයි එක දවසක් එයා මිය යන්න ටික දවසකට කලින් මම එයාට මම ඔයාගේ ළමෙක් නෙමෙයිනේ කියලත් තරහා ගිහින් කීවා. ඒත් ඇක්සිඩන්ට් එක වෙනවෙලේ මගේ අම්මා මාව ගන්න එමින් ගමන් තමයි හිටියේ. මට කවදාවත් ආයේ චාන්ස් එකක් හම්බ උනේ නෑ සමාවෙන්නවත් කියන්න.
    එදා ඉඳන් අද වෙනකම් මම හැමවෙලේම ලංකාවෙන් එද්දි බොහෝ වෙලාවට ඒ මගේ අන්තිම චාන්ස් එක කියලා හිතලා අර ඔයාට අරහං හාදු වලින් මගේ හිතවතුන් ගෙන් සමුගන්නේ. කොටින්ම මම අපේ මල්ලි අපේ පුතාලා හා මගේ පවුලේ අය/ සමීප හිතවතුන්ගේ අතින් අල්ලගෙන තමයි මුලු කාලයම ගත කරන්නේ. බොහොමයක් එක්ක ඉන්නකොට ඉතින් අර හාදු වැස්සකුත් එක්ක. ඒ අපි සමාජ වශයෙන් වෙනස් හින්දා වෙන්න ඇති. ඒ උනාට මම කාගෙවත් ඔලුව අල්ලන්නේ නම් නෑ. මට එහෙම කරනවට කැමතිත් නෑ.

    ReplyDelete
  26. නලිනි හැඟීම්බර පෝස්ට් දමන්න දක්ශයි. පෝස්ට් එක කියවලා අපේ එවුන් දාලා තියෙන කමෙන්ට් දැක්කම මේ ඔක්කොම අර පෝස්ට් එකේ අතුරු ඵල නේද කියලා හිතෙනවා.

    මාරයා, සපතේරු උන්නැහේ, මාතලන්, TG, Il mondo di una povera pazza, සරත් වගේ අය ලියලා තිබ්බ කමෙන්ට් බොක්කටම වැදුනා නලිනිගෙ පොස්ට් එක වගේම.

    මම පෞද්ගලිකව දන්න අපේ යාලු මිත්‍ර වෛද්‍යවරු ඇරුනාම අනිත් වෛද්‍යවරුන්ටත් හැඟීම් දැනීම් තියෙනබව නලිනිගෙ පෝස්ට් කියවන කොට මට හැමදාම හිතුන දෙයක්, (උදා: සේලයින් කතාව මේ කතාව.) කිව්වට අමනාපවෙන්න එපා නලිනි, 'සමහර' දොස්තරලා විශේෂයෙන්ම විශේෂඥ අය හැසිරෙන්නෙ කතා කරන්නෙ පොලිස් කාරයො වගෙ. වැඩි විස්තර කමෙන්ට් එකකින් නෙවෙයි පෝස්ට් එකකින්ම දාන්නම්කො.

    ම්ම්ම්. අපේ ගෙදර නම් වැඳීමටත් වඩා වැලඳ ගැනීම තමයි කෙරෙන්නෙ. ළමයි දෙන්නම කොච්චර ලොකු උනත් නිදාගන්න කලින්, ගෙදරින් යන්න කලින් අපිට හග් එකක් දෙනවා ඉස්සර වගේම. අපි අතරෙ මොනතරම් බැඳීමක් තියෙනවද කියලා ඒ ස්පර්ශයෙන් අපට මතක් වෙනවා.

    එතකොට අර ඉස්පිරිතාලෙ අනිත් ලෙඩා ගාවා හිටපු ගෑනිට තිබ්බ රුදාව මොකක්ද අප්පා? මාර ගෑණියෙක්නෙ.

    මගේ හොඳම යාලුවෙක් ඔය විදියට මෝට බයික් ඇක්සිඩන්ට් එකකින් කෝමා එකක හිටියා. අපි මාරුවෙන් මාරුවට ලඟ හිටියා. මගේ එක යාලුවෙක් කිව්වා කෝමා එකක හිටපු කෙනෙකුට එයා කැමතිම සංගීත ඇල්බමය දිගින් දිගටම වාදනය කලාම සිහිය ආවා කියලා. ඒක අහලා අපිත් යාලුවා ගාවා ඉන්නකල් නම කියකියා ඔලුව අතගගා කතාකලා, නමුත් සිහිය නොලබාම යාලුවා මියගියා. නමුත් එයාට අපිව ඇහෙන්න ඇති කියලා අපිට දැනුනා.

    henryblogwalker the Dude

    ReplyDelete
  27. ඔබතුමිය වෛද්‍යවරියක් බව මම දැන ගත්තේ හෙන්රියා(Henry blogwalker) ලියලා එව්වට පස්සේ. සිත් ආර කියවලා තමයි දැනගත්තේ ඉතාම සංවේදි සිතක් ඇති වෛද්‍යවරියක් බව. කතා ටික හරි අගේට ගලපලා, සංයමයෙන් ලියලා තියෙනවා.

    වනජීවියෙක් හැටියට මම දෙමාපිය ‍රැකවරනයෙදි ශරීර ස්පර්ශය කොයි තරම් වැදගත් ද කියලා ඉගෙනගෙන තියෙනවා. අලි අම්මලා මොනදේ කර කර හිටියත් විනාඩි කීපයකට සැරයක් හොඬේ, කකුල්, වලිගෙ දික් කරලා තමන්ගෙ පැටියා ස්පර්ශ කරලා බලනවා. මගේම අම්මයි තාත්තයි දෙන්නත් අපි වැඩිහිටියන් උනාට පස්සෙත් කොහේ හරි යනකොට ආශීර්වාද කරලා සිපගත්තා. අපේ දරුවොත් බැහැරක යනකොට අපි කොච්චර හදිස්සි උනත් බලෙන්ම හරි ඉඹිනවා. ඒ බැඳීම අපි එකිනෙකාට වරදක් නොකරන්න හේතු වෙනවා කියලා මට හිතෙනවා.

    අපේ කෙල්ලත් ඉස්සර ඉස්කෝල වෑන් එකට දුවන ගමන් ගේට්‍ටුව හරියෙ දි තමයි 'තාත්තෙ සාදු' කියලා අත වනන්නෙ. කොල්ලා පුංචි කාලෙ මූණ ඉම්ඹහම කම්මුල පිහිදා ගන්නවා. දැන්නම් එහෙම කරන්නෙ නෑ.

    ReplyDelete
  28. හැමදාමත් වගේ ලිපිය කියෙව්වට පස්සේ ලොකු සුසුමක් පිට වුනා.

    මාත් ආසයි ඔලුව අතගානවට. ඉස්සර මම අම්මගේ පය පාමුල වාඩි වෙලා ඔඩොක්කුවට ඔලුව තියන් ඉන්නවා අතගාන්න කියල. ඒ වෙලාවට දැනෙන සනීපේ කියලා නිම කරන්න බැහෑ. අම්මා රට යන්න ගත්තට පස්සේ ඒ අත්දැකීම ලබා ගන්න ලැබුනේ කලාතුරකින්.

    ReplyDelete
  29. චෙස් ගැන පෝස්ට් එකක් බලන්න ආවේ. සංවේදී සටහනක් අක්කේ !!
    මං මේ දවස් වල ඉන්නේ අනිත්‍ය සත්‍ය මෙනෙහි කරන්න සුදුසු ම තැනක. දුක වෙන්වීම.මාපේ කෙනෙක් අපෙන් වෙන් වුනාම ඒ දුක වඩාත් දැනෙනවා. ඒත් පිටස්තර ජීවීතේට මුල්ම වතාවට දැක්ක කෙනෙකුගෙ වේදනාව තේරුම් ගන්න එක..හ්ම්ම්

    ReplyDelete