Thursday, October 11, 2012

අමන ප්‍රශ්න

"අහන්ඩකො ඒයි... මං අර එදා වගේම අමන ප්‍රශ්නයක් අහන්ඩද ඔයාගෙන්?"


(පළවෙනි අමන ප්‍රශ්නය:
"වෘත්තිය සමිතියෙ ඡන්දෙට සෙනග ගෙනියන්ඩ, මෙච්චර හොඳ වාහන අරන්, මෙහෙම කී සැරයක්දෝ එහා මෙහා ගෙනියන්ඩ සල්ලි කොහෙන්ද ඒයි?"

කිරා මැන ලබා දුන් අවංක පිළිතුර:
"ඒ ඒ පැත්තට සහයෝගය දෙන අය සල්ලි දෙනවා....ඕන තරම්!")

එදා ප්‍රශ්නය මතක නිසාදෝ, ප්‍රශ්න අපේක්ෂකයා වටපිට බලා, සෙනග අඩු වනතුරු සිට ප්‍රවේශමෙන් ප්‍රශ්නය භාර ගනී: "ඔව්?"

"ඔයා මෙච්චර වෘත්තීය සමිති වැඩවලට බැහැගෙන වැඩ කරන්නෙ,
අර ක්‍රීඩා කරන අය හරි වෙන තමන් ආස කරන දෙයක නියැළෙන අය එහෙම වගේ මේ වැඩවලින් ලබන තෘප්තිය හින්දා, එන්ඩෝෆීන් ශ්‍රාවය වෙලා, මනස කුල්මත් වෙලා එක කෙළියක් වෙන හින්දද,
එහෙම නැත්නම් අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්ද,
එහෙමත් නැත්නම් දේශපාලනේට ආස හින්දද,
නැත්නම් ඒවගේ මොකක් හරි හින්දද?"

ප්‍රශ්න අපේක්ෂකයා හිඳ ගනී. සෙමින් කියයි:
"මගෙ ළමයා ඉස්කෝලෙ දාගන්ඩ තියන හින්දා."

මම මේ අවංක පුද්ගලයා විශ්වාස කරමි. ඔහුට පක්ෂව ඡන්දය දෙමි.


23 comments:

  1. අනේ මෙහෙමවත් ඇත්ත කියන දෙස්පලුවෝ ඉන්නවානම් රටම දුන්නත් කමක් නැහැ..

    ReplyDelete
  2. //අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්//

    බැරිවෙලා හරි එහෙම කිව්වා නම්, ඡන්දේ දෙන්නේ නැද්ද?

    ReplyDelete
  3. අපූරුයි... මාත් ඡන්දෙ දෙනව :)

    ReplyDelete
  4. ඔන්න ඕකයි ඇත්ත තත්වේ.ඔක්කොම ඉතින් තමන්ගේ බඩගෝස්තරේ ‍රැකගන්නකන් තමයි

    ReplyDelete
  5. තවත් අමන ප්‍රශ්ණයක් අහන්නද? ඇයි ඔයා ඕල්ඩ් බෝයිස්/ගර්ල්ස් එකට ඔච්චර බැහැගෙන වැඩ කරන්නෙ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  6. කවුද මේ වෘත්තීය සමිති නායකයා?:)

    ReplyDelete
  7. මේ මගේ අමන ප්‍රශ්ණය..

    දැන් ඔයා එයාට ඡන්දෙ දුන්න කියලා ඔයාට මොනවද හම්බවෙන්නෙ.. එයා අවංක වුනා කියලා ඔයාට පාන්ද..:D

    ReplyDelete
  8. ඇත්තටම මේවද අමන ප්‍රශ්න කියන්නෙ. :D

    ReplyDelete
  9. ළමයා ඉස්කෝලේ දාගන්න ඇති උවමනාව සම්පූර්ණ කරගන්න නම් "වරම්" ගොඩාක් නැතිව නම් බැහැ තමයි.

    ReplyDelete
  10. ඔන්න ඕක තමා යථාර්ථය

    ReplyDelete
  11. මා ඔබට කැමති මේ නිසයි.. අනෙක් අයත් එය තේරුම් ගත්තා දැයි නොදනිමි...

    ReplyDelete
  12. වෘත්තීය සමිති නායකත්වය දැන් තවත් එක වෘත්තීයක් වෙලා තියෙන්නෙ. සගයන්ට වඩා වැඩිපුර ටිකක් කන්න, බොන්න හොයාගන්න පුලුවන්.

    ReplyDelete
  13. ඒ පාර දරුවෙක් දාගන්න යනවද? අපිටත් හොරෙන්.
    ම්.....හරිම ලස්සනයි. අද කාලෙ වෙන්නෙ මෙහෙම ම නේද?

    ReplyDelete
  14. අවංකත්වය හරියන්නේ නෑ කියල කමෙන්ට් දිහා බැලුවම තේරෙනව...

    ReplyDelete
  15. :) මාර කතාව :)

    ReplyDelete
  16. දරුවව ඉස්කෝලෙකට දාගන්න..වනේ වන හතුරෙකුටවත් මේ වගේ අමාරු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙන්න එපා..!!

    ReplyDelete
  17. ඇත්ත කියනව නම් ඒකවත් මදැයි.

    ReplyDelete
  18. වෘත්තීය සමීති සහ ඒවාගේ නාකියන් යැයි කියාගන්නන්... තූ: කතාකිරීමටත් අකමැති මාතෘකාවක්!

    ReplyDelete
  19. චන්දෙත් ඉවර වුණා නේ?
    හිතල බලද්දි ඇත්ත ඕක තමයි

    ReplyDelete
  20. parata lit dagannai, thara dagannai
    chande denna patan gaththama mehema thamai..
    mewa hadanna baha...
    monawa wela nawatheeda manda..

    ReplyDelete
  21. අක්කේ මම ඔයාගේ බ්ලොග් එකේ හුඟක් සටහන් කියෙව්වා. ඇත්තටම සන්තෝසයි. මම පොඩි කාලේ පොත් කියවල ලබපු චමත්කාරය ආපහු විඳගත්ත. ලංකාවේ මේ වගේ දක්ෂ ලේඛකයෝ ඉන්නවා කියල දැනගන්නත් සන්තෝසයි. හරිම සරල භාෂා රටාවක්. සරල වාක්‍ය. දිය පාරක් ගලනවා වගේ කතා රිද්මය. ඒ වුනාට හිතන්න දේවල් ගොඩයි. ඔයාට බුදු සරණයි අක්කේ, තවත් ලියන්න.

    ReplyDelete